කන්දහාර් ආශ්චර්යය - තලේබාන් ග්‍රහණයේ වසරක් ගත කළ රුසියානු ගුවන් කාර්ය මණ්ඩලයේ කතාව (The Miracle Of Kandahar)

කන්දහාර් ආශ්චර්යය - තලේබාන් ග්‍රහණයේ වසරක් ගත කළ රුසියානු ගුවන් කාර්ය මණ්ඩලයේ කතාව (The Miracle Of Kandahar) - Your Choice Way
1996 අගෝස්තු 16 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ජාත්‍යන්තර ගුවන් තොටුපලට හදිසි ගොඩ බෑමක් ලෙස ගුවන් යානයක් ගොඩ බසිනා ලදී. මෙම යානය බලාපොරොත්තුවෙන් සිටි යානයක් නොවූ අතර ගුවන් තොටුපල සේවකයින් සහ කාර්ය මණ්ඩලය වහාම මේ තුළ සිටි මගීන් හමුවීම සදහා ඒ දෙසට දිව යන ලදී.

යානය තුළින් පුද්ගලයන් හත් දෙනෙක් මතු වූහ. ඔවුන් හත් දෙනා කලබල වූ නමුත් ජයග්‍රාහී මුහුණින් පසු වූ අතර ඊට අමතරව ඔවුන් යටතේ රැවුල වවා ගත් තවත් පුද්ගලයන් තිදෙනෙක්ද විය. ප්‍රාණ ඇපකරුවන් හත් දෙනෙක් දින 378 කට පසු පළමු වරට සිය නිදහස භුක්ති විඳීමත් සමඟ විශාල ජාත්‍යන්තර අර්බුදයක් ඒ අයුරින් අවසන් විය.

ඊට වසරකට පෙර එනම් 1995 අගෝස්තු 3 වන දින RA-76842 දරණ ගුවන් යානය ඇල්බේනියාවේ ටිරානා ගුවන් තොටුපළේ සිට නැගෙනහිර බලා ගුවන් ගත විය. මෙම එන්ජින් හතරේ ප්‍රවාහන යානය විසින් යුද්ධයක් සඳහා අවශ්‍ය කුඩා ආයුධ සහ පතොරම් සහිත පෙට්ටි 1000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටින ලදී.

ඒරොස්ටාන් ගුවන් සේවයට අයත් වූ RA -76842 යානයට එදින පැවරී තිබුණේ යුද්ධයෙන් පීඩාවට පත් වී තිබූ ඇෆ්ගනිස්ථානයට පියාසර කොට මෙම සැපයුම් ලබා දීමයි. 1988 දී සෝවියට් සංගමය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානය තුළ ජනවාර්ගික හා ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක් අතර සිවිල් යුද්ධයක් වර්ධනය විය.

ඒ අනුව 1994 දී ඇෆ්ගනිස්ථානයේ ගම්බද ප්‍රදේශ යටත් කර ගනිමින් නව කණ්ඩායමක් ක්‍රමයෙන් හිස එසවීමට පටන් ගන්නා ලදී. මෙම නව බලකාය තමන්ව හදුන්වගත්තේ තලේබාන් (පෂ්තෝ භාෂාවෙන් "ශිෂ්‍යයින්" යන අර්ථය ලබා දේ) ලෙසය. මොවුන් ප්‍රථම වතාවට දකුණු කන්දහාර් පළාතේ මද්රාසා වලින් මතු වූ අතර අනෙක් සටන් කරන කන්ඩායම් වලට එරෙහිව වඩාත් කුරිරු සහ ඵලදායී ලෙස සටන් කරමින් වේගයෙන් සාර්ථක වීමට පටන් ගන්නා ලදී.

මේ කාලයේදී රුසියාවේ මොස්කව් සහ ඇෆ්ගනිස්ථානයේ අණ දෙන නිලධාරියෙකු වූ අහමඩ් ෂා මසූද් අතර නොසන්සුන්කාරී නමුත් අත්‍යවශ්‍ය සන්ධානයක් ගොඩනැගෙන ලදී. අහමඩ් ෂා මසූද් යනු සෝවියට්-ඇෆ්ගනිස්ථාන යුද්ධ සමයේදී සෝවියට්වරුන්ට හිසරදයක් වූ මෙන්ම ඔවුන්ට එරෙහිව සිටි මහා සාධකයකි. එහෙත් ඇෆ්ගනිස්ථානය තුළ ගැටුම් උත්සන්න වීමත් සමඟ සහ තලේබාන්වරුන්ගේ හිස එසවීමත් සමග මේ හමුදා නායකයා සිය හිටපු සතුරා වූ රුසියාවේ ආධාර පිළිගත් අතර රුසියාවද ඒ අනුව යළි එම රටේ තමන්ට අවශ්‍යය කරන පාලනයක් පිහිටුවිය හැකි ප්‍රයෝජනවත් වත්කමක් ලෙස ඔහුව සලකන ලදී.

ඒ ආකාරයට රුසියාව ලබා දුන් යුධ ආධාර රැගෙන පියාසර කරමින් සිටි යානයක් වූ RA-76842 භාණ්ඩ ප්‍රවාහන යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වූයේ ව්ලැඩිමීර් ෂර්පැටොව් ය. ඔහු ගුවන් ගමන් දහසක් පමණ සිදු කර ඇති ප්‍රවීණ ගුවන් නියමුවෙකි. යානාවේ ඉතිරි කාර්ය මණ්ඩලයට සම නියමු කසිනුරා කයිරුලින්, නැවිගේටර් ඇලෙක්සැන්ඩර් ස්ඩෝරා, ගුවන් ඉංජිනේරු අෂ්කාඩ් අප්පියාසොව්, ඉංජිනේරුවන් වන සර්ජි බුටූසොව් සහ වික්ටර් රියාසනොව් සහ ගුවන් විදුලි ක්‍රියාකරු යූරි විෂිව්සෙව් ඇතුළත් වූහ.

මෙම යානය එදින කාබුල් වෙත පියාසර කළ ගුවන් යානා තුනෙන්, තුන්වැන්න විය. ඊට පෙර රුසියානු යානා දෙකක් සාර්ථකව ඇෆ්ගන් අගනුවර වෙත ලඟා වී තිබූ අතර RA - 76842ට ඊළඟට සැපයුම් බෙදා හැරීම සිදු කල යුතුව තිබෙන ලදී.

එහෙත් අවාසනාවට ඔවුන්ට පෙර පැමිණි යානය තලේබාන්වරුන්ගේ රේඩාර් වලට හසු වී තිබූ අතර මෙම නිසා ඔවුන් විමසිල්ලෙන් පසු වන ලදී. ඒ අනුව RA - 76842 දුටු විගස තලේබාන් සංවිධානය විසින් ඔවුන් සතුව ඇති මිග් -21 ප්‍රහාරක ජෙට් යානා වලින් එකක් ඒ පසුපස යවන ලදී. 

ඒ වන විට වේලාව උදෑසන 10.00 පමණ වූ අතර RA-76842 යානය ඒ වන විට කන්දහාර් පළාතට ඉහළින් පියාසර කරමින් සිටින ලදී. ඒත් සමගම යානාවේ සිටි කාර්‍යය මණ්ඩලයට අනතුරු ඇගවීමක් ලැබෙන ලදී. එයින් කියැවුනේ "වහාම ගොඩබසිනු" ලෙසය. එයත් සමගම ඔවුන්ට දර්ශනය වූයේ ඊට මදක් ඈතින් පියාසර කරමින් තිබූ මිග් -21 ප්‍රහාරක ජෙට් යානයයි.

ගුවන් නියමු ෂර්පටොව් තමා සහ කාර්ය මණ්ඩලය මුදා හරින ලෙසට එම පණිවුඩය එවන ලද භූමියේ සිටි පිරිස සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළද ඉන් ඵලක් නොවූ අතර භූමියේ සිට කතා කළ පුද්ගලයා යානය ගොඩ බස්සන්නේ නැති නම් වෙඩි තබා බිම හෙළන බවට සිය අවසාන නියෝගය නිකුත් කරන ලදී. ඒ අනුව ෂර්පටොව් එයට අනුකූල වන ලෙසට තම කාර්ය මණ්ඩලයට නියෝග ලබා දෙන ලදී.

ඒ අනුව RA-76842 යානය සිය කාබුල් වෙත තිබූ ගමන් මග වෙනස් කොට එම පළාතේ අගනුවර මෙන්ම තලේබාන්වරුන්ගේ උපන් ස්ථානයද වූ කන්දහාර් වෙත යානය හරවා ගෙන යන ලදී. කන්දහාර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යානය නතර කළ විගස ගිනිඅවි රැගත් තලේබාන් ත්‍රස්තයන් කිහිප දෙනෙක් යානයට ඇතුළු විය.

ප්‍රථමයෙන්ම මෙම කාර්ය මණ්ඩලයෙන් තලේබාන් සංවිධානයේ නිර්මාතෘ එක් ඇසක් පමණක් හිමි මුල්ලා මොහොමඩ් ඕමාර්ගේ අධීක්ෂණය යටතේ ප්‍රශ්න කිරීම්වලට භාජනය විය. ඒ අනුව මෙම සිදුවීම ඕමාර්ගේ බලකායට වාසිදායක අවස්ථාවක් නිර්මාණය කරන ලදී. එනම් 1988 දී රුසියාව තම හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගත් පසුවද තවමත් ඔවුන් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියා සඳහා මැදිහත් වීම් සිදු කරන බවට මේ අල්ලා ගත් රුසියානු පුද්ගලයින් හරහා ඔවුන්ට ඔප්පු කර ගැනීමට හැකි වනු ඇත.

මෙම කාර්ය මණ්ඩලය පළමු සති කිහිපයේ ඔවුන්ගේම ගුවන් යානයේ රඳවා තිබූ අතර ඉන්පසු ඔවුන්ව කන්දහාර් ආණ්ඩුකාරයාගේ නිල නිවස වෙත රැගෙන යන ලදී. ඒ අනුව එම නිවසේ ඔවුන්ට දින 378ක පමණ කාලයක් එක දිගට රැඳී සිටීමට සිදු විය.

එහිදී ඔවුන් ගත කල කාලය ඉතා කටුක එකක් විය. මෙම කාර්ය මණ්ඩලයට ඇෆ්ගන් උෂ්ණත්වය, ප්‍රමාණවත් ආහාර නොමැතිකම සහ ඔවුන්ගේ තලේබාන් ආරක්ෂකයින්ගෙන් අයුතු ලෙස සිදු වූ හිරිහැර විඳ දරා ගැනීමට සිදු විය. ඔවුන්ට රාත්‍රියේ නිදා ගැනීමටද සිදු වූයේ බිම වූ අතර පානය කිරීමට තිබූ අපිරිසිදු ජලය හේතුවෙන් ඔවුන් බොහෝ දෙනෙක්ට රෝග වැළදෙන ලදී. ප්‍රධාන ගුවන් නියමු ෂර්පටොව්හට තලේබාන් අත්අඩංගුවේ සිටියදී ආමාශයේ තුවාලයක් මෙන්ම සෙංගමාලයද ඇති විය.

ඊට අමතරව ඉඳහිට විනෝද චාරිකාවක් සඳහා ඔවුන් මෙම කාර්ය මණ්ඩලය පිටතට ගෙන යන ලදී. එමෙන්ම ඔවුන් මෙම පුද්ගලයින් හත් දෙනාට කාඩ් සෙල්ලම් කිරීමටද ඉඩ ලබා දුන් අතර ඔවුන් ඔවුන්ගේ පරිවර්තකයා ලෙස සිටි පුද්ගලයා සමඟ මිත්‍ර සබඳතාවක් පවා ඇති කර ගත්හ. එමෙන්ම ඔවුන්ට ඔවුන්ගේ යානයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමටද අවස්ථාවක් හිමි විය. ඔවුන්ගේ යානය තවමත් ධාවන පථයේ නතර කර තිබූ අතර සෑම මාස දෙකකට වරක්ම ෂර්පටොව් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ට යානයේ ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා අවශ්‍යය සාමාන්‍ය කාර්යයන් ඉටු කිරීම සඳහා රැගෙන යන ලදී.

මෙවැනි සිදුවීම් නිසා ඔවුන්ව ළඟදීම මුදා හරිනු ඇතැයි ඔවුන් තුළ කුඩා විශ්වාසයක් තිබූ අතර සමහර අවස්ථාවලදී තලේබාන්වරුද ඔවුන්ව ළඟදීම මුදා හරින බවට පැවසීය. එහෙත් එම පොරොන්දුව ඉටු නොවීය.

ෂර්පටොව් පසුව පැවසුවේ එහි සිටියදී ඔහු මුහුණ දුන් භයනකම සිදු වීම වූයේ දිනක් තලේබාන් ආරක්ෂකයින් කිහිප දෙනෙක් ඔහුව නිදා සිටින මොහොතක තුවක්කු හිසින් ඇණ ඔහුව කිරීම බවයි. ඉන්පසු තලේබාන්වරුන් මෙම කාර්ය මණ්ඩලයේ පිරිස රෙදි කම්හලක් වෙත රැගෙන ගිය අතර ඔවුන්ව කෙටි කාලයක් එහි රදවා ගෙන සිටින ලදී. එයට හේතුව වූයේ රුසියානු විශේෂ බලකායක් විසින් ඔවුන්ව ගළවා ගැනීමට මෙහෙයුමක් සිදු කිරීමට නියමිත බවට තලේබාන් සංවිධානයට තොරතුරක් ලැබීම නිසාය. එහෙත් එවැනි මෙහෙයුමක් කිසි දිනෙක සිදු වූයේ නැත.

මෙම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා බොහෝ දෙනෙක් නොයෙක් උත්සාහයන් දරණ ලදී. මෙයට මැදිහත් වූ මැදිහත්කරුවන් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්, ඉස්ලාමීය සම්මේලනයේ සංවිධානය, පකිස්ථානු අගමැති බෙනාසීර් භූතෝ සහ එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් සහ උප ජනාධිපති අල් ගෝර් ද ඇතුළත් විය. මෙම සිදු වීමට මැදිහත් වූ තවත් මැදිහත්කරුවෙකු වූයේ ඒරොස්ටාන් භාණ්ඩ ගුවන් සමාගමේ කළමනාකරු මුනීර් ෆයිසුලින් ය. ඔහුගේ මැදිහත්වීම මගින් සිරකරුවන්ට ආහාර සහ ලියුම් ලබා දීමට හැකි විය. එහෙත් අවාසනාවට ඔහුට මෙය අතරතුර හෙපටයිටිස් වැළදුන අතර පසුව ඔහු වෛරසයට ගොදුරු වී මිය යන ලදී. මෙම සිදු වීමේදී මිය ගිය එකම පුද්ගලයා ලෙසද සැලකෙන්නේ ඔහුය.

1996 අගෝස්තු 3 වෙනිදා වන විට මෙම පිරිස සම්පූර්ණ අවුරුද්දක් වහල්භාවයෙන් ගත කරන ලදී. මේ වෙද්දී ඔවුන්ට වැටහී තිබුණේ ඔවුන්ගේම මාර්ගයකින් මිසක් වෙනත් කිසිදු මාර්ගයකින් ඔවුන්ට බේරීමක් හිමි නොවන බවයි. 

ඒ අනුව රහසිගතව මේ ප්‍රාණ ඇපකරුවන් හත්දෙනා මාස දෙකකට වරක් අළුත්වැඩියාව සඳහා ඔවුන්ගේ යානය වෙත රැගෙන යන අවස්ථාවේදී පැන යාම සඳහා සැලසුම් සකස් කරන ලදී. ඔවුන් මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූයේ සාම්ප්‍රදායික ඉස්ලාමීය යාච්ඤා දිනයක් වන සිකුරාදා දිනයක ය. ඕනෑම කුඩා අත්වැරදීමකින් ඔවුන්ට ක්ෂණික මරණයක් හිමි විය හැකි බවට ඔවුන් හොදින් දැන සිටි අතර එහෙත් ඔවුන්ට ඒ හැර වෙනත් විකල්පයක්ද නොවීය.

ඔවුන්ගේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සතියකට පෙර ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද නියෝජිතයෙකුට ඔවුන් සමඟ කතා කිරීමට අවස්ථාවක් උදා විය. එහිදී කාර්ය මණ්ඩලයේ පිරිස මෙම නියෝජිතයාට තම සැලැස්ම පිළිබඳ පැවසූ අතර  එම නියෝජිතයාද සිකුරාදා දින ඔවුන්ගේ ගුවන් යානය පරීක්‍ෂා කිරීමට ඉඩ සලසන ලෙස තලේබාන්වරුන්ට ඒත්තු ගැන්වීමට සමත් විය. අවසානයේදී ඔවුන් ගැලවීමට බලාපොරොත්තුවෙන් සිටි දිනය එනම් 1995 අගෝස්තු 16 වැනි සිකුරාදා දිනය උදා විය.

ඒ අනුව එදින උදෑසන කාර්ය මණ්ඩල සාමාජිකයන් ගුවන් තොටුපල ධාවන පථයේ තවමත් නතර කර ඇති තම භාණ්ඩ ප්‍රවාහන යානය වෙත ගෙන යන ලදී. ඒ වන විට කාලය හිමිදිරි පාන්දර වූ අතර මේ මිනිසුන් හත් දෙනා සාමාන්‍ය පරිදි යානයේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටින ලදී. ආසන්න වශයෙන් තලේබාන් සටන් කරුවන් පහළොවක් හෝ විස්සක් ඒ කාලය පුරා ඔවුන්ගේ ආරක්ෂාවට සිටින ලදී.

නඩත්තු කිරීමේ කොටසක් ලෙස කාර්ය මණ්ඩලය යානය පණ ගැන්වීමට උත්සාහ ගන්නා ලදී. එහෙත් වසරක් පුරාවට එක තැන නතර කර දමා තිබූ නිසා යානයේ එන්ජිම ක්‍රියාත්මක වූයේ නැත. ඔවුන් දෙවන වරටත් උත්සාහ කළ නමුත් නැවත එය අසාර්ථක විය. 

මද වේලාවකින් දහවල් යාච්ඤාව  ආරම්භ වූ අතර ඒ සමඟ විසි දෙනෙකු පමණ සිටි තලේබාන් ආරක්ෂක පිරිස කණිෂ්ඨ ආරක්ෂකයින් තිදෙනෙකු දක්වා අඩු විය. ඉතිරි පිරිස යාච්ඤා සඳහා සහභාගී වූ අතර ආරක්ෂාවට සිටි තිදෙනාගෙන් දෙදෙනෙක් ප්‍රහාරක රයිෆල් වලින් සන්නද්ධව සිටියහ.

මේ වන විට ෂර්පටොව් තෙවන වරටත් එන්ජිම පණ ගැන්වීමට උත්සාහ කළ නමුත් එයද අසාර්ථක විය. කාලය ඉක්මනින් ගෙවී යමින් තිබූ අතර පැන යාම සඳහා තිබූ ඔවුන්ගේ එකම අවස්ථාවද මෙය විය. එහෙත් අවසානයේදී ගුවන් යානයේ සහායක බල ඒකකය සඳහා බලය ලබා ගැනීමෙන් පසුව දැවැන්ත ගුවන් යානයේ එන්ජින් හතරේ ටර්බෝෆෑන් වලින් පළමුවැන්න අවසානයේදී පණ ගැන්වෙන ලදී.

සෙමින් ෂර්පටොව් සහ ඔහුගේ සගයන් යානය ගුවන් පථයේ ඉදිරියට සෙමින් ගමන් කෙරවූ අතර ඒ අතරතුර කාලයේදී ඔවුන් යානයේ ඉතිරි එන්ජින් තුන ක්‍රියාත්මක කර ගැනීම සඳහා වේගයෙන් උත්සාහ දරමින් සිටින ලදී. එමෙන්ම ඔවුන් යානයේ සිටි තලේබාන් ආරක්ෂකයන් තිදෙනාට ප්‍රකාශ කළේ මෙය යානය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේම කොටසක් බවයි. ඔවුන් තිදෙනා දැනට පමනක් කාර්ය මණ්ඩලය පැවසූ දෙය විශ්වාස කරන ලදී.

ඔවුන් ඉදිරියට ගමන් ගත් මෙම ධාවන පථය ඉතා කුඩා එකක් වූ අතර දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන යානයකට යාන්තම් ගමන් කිරීමට හැකි වූ එකක් විය. නමුත් ඔවුන්ගේ නිදහසට ඇති එකම මාර්ගය එයයි. එහෙත් බලාපොරොත්තු පෙරදැරිව ෂර්පටොව් කෙසේ හෝ එම මාර්ගය ජය ගැනීමට සමත් විය.

පිටත සිටි තලේබාන් භටයන් යානය චලනය වන අයුරු දුටු අතර වහා යානය අල්ලා ගැනීම සදහා ඒ පසුපස දුව එන ලදී. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් යානය ගමන් ගත් ගමන් පථයට පැමිණියද ඒ වන විටත් RA-76842 යානය ධාවන පථයේ කෙලවරින් පොළවෙන් ඈත් වෙමින් ගුවන කරා ලඟා විය.

යානය ඉහළට යන විට ඒ තුළ සිටි තලේබාන් ආරක්ෂකයින් තිදෙනාට යම් කිසි දෙයක් වැරදී ඇති බව වැටහෙන ලදී. නමුත් ෂර්පටොව් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මෙම සිදු වීමද බලාපොරොත්තු වූ අතර ඔවුන් සකස් කළ සැලසුමේ මෙයටද විසදුමක් විය. ඒ අනුව ෂර්පටොව් යානය එකවරම වේගයෙන් පහළට ගන්නා ලදී. මේ එකවර සිදු වූ ගැස්සීම යානය තුල සිටි ආරක්ෂකයින් තිදෙනා බිම හෙලීමට සමත් විය. ඒ අනුව එකවරම ක්‍රියාත්මක වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් වහා පැන ඔවුන්ව අල්ලාගෙන ඔවුන්ව නිරායුධ කරන ලදී.

RA -76842 යානය පියාසර කළේ පොලොවෙන් මිටර් 100ක් තරම් අඩු උසකින් වූ අතර සමහර අවස්ථා වල ඊටත් පහලින්ද ගමන් ගන්නා ලදී. ඔවුන් මෙසේ කිරීමට මූලික හේතුව වූයේ තලේබාන් රේඩාර් වලට හසු වීම වළක්වා ගැනීමයි. එසේ වුවහොත් මිග් ප්‍රහාරයකට අනිවාර්යයෙන්ම ගොදුරු විය හැකි බව ඔවුන් හොදින් දැන සිටින ලදී. තලේබාන්වරුන්ද මෙම යානය සෙවීම සදහා ඔවුන්ගේ මිග් යානයක් සහ හෙලිකොප්ටරයක්ද යෙදවුවද ඔවුන්ට මෙම යානාව පිලිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.

මුලින් ඔවුන්  ඉරාන ගුවන් කලාපයට ඇතුළු වූ අතර එහිදී ඉරාන ගුවන් සීමාව තරණය කිරීමට ඔවුන්ට අවසර ලැබුනි. එමඟින් ඔවුන් පර්සියානු බොක්ක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට ගමන් ගන්නා ලදී. පැය එකයි විනාඩි විස්සකට පසු RA-76842 යානය කිසිදු ගැටළුවක් හෝ සිද්ධියක් නොමැතිව පියාසර කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බසින ලදී. ඒ අනුව එහි සිටි මිනිසුන් හත් දෙනාම නිදහස සඳහා පියවර තැබූහ.

මෙම කාර්ය මණ්ඩලය නිර්භීතකම සහ ධෛර්යය වෙනුවෙන් සම්මානයටද පාත්‍ර වූ අතර ව්ලැඩිමීර් ෂර්පටොව් සහ කසිනුර කයිරුලින්ට ගෝල්ඩ් ස්ටාර් පදක්කම පිරිනමනු ලැබූ අතර ඊට අමතරව “රුසියානු සමූහාණ්ඩුවේ වීරයා” යන පදවියද හිමි විය. ඉතිරි කාර්ය මණ්ඩල සාමාජිකයන් වූ අෂ්කාඩ් අබ්බයාසොව්, සර්ජි බුටූසොව්, වික්ටර් රියාසානොව්, යූරි විශිවට්සෙව් සහ ඇලෙක්සැන්ඩර් ස්දෝරා යන අයටද ඔවුන්ගේ ධෛර්යය පිළිබද පදක්කම් හිමි විය....විශ්මිත ඉතිහාසය
කන්දහාර් ආශ්චර්යය - තලේබාන් ග්‍රහණයේ වසරක් ගත කළ රුසියානු ගුවන් කාර්ය මණ්ඩලයේ කතාව (The Miracle Of Kandahar) - Your Choice Way
ව්ලැඩිමීර් ෂර්පටොව්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කන්දහාර් ආශ්චර්යය - තලේබාන් ග්‍රහණයේ වසරක් ගත කළ රුසියානු ගුවන් කාර්ය මණ්ඩලයේ කතාව (The Miracle Of Kandahar) කන්දහාර් ආශ්චර්යය - තලේබාන් ග්‍රහණයේ වසරක් ගත කළ රුසියානු ගුවන් කාර්ය මණ්ඩලයේ කතාව (The Miracle Of Kandahar) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2021 Rating: 5

0 comments:

Post a Comment