බොහෝ දෙනෙකුට මරු කැඳවූ කෙනඩි පවුලේ ශාපය (The Curse Of The Kennedy Family)

බොහෝ දෙනෙකුට මරු කැඳවූ කෙනඩි පවුලේ ශාපය (The Curse Of The Kennedy Family) - Your Choice Way
"උඩ සිටිනා කවුරුන්ම හෝ කෙනෙකු අප පවුලට කැමැත්තක් නොදක්වයි" - රොබර්ට් එෆ්. කෙනඩි.

එක්සත් ජනපදය තුළ රාජාණ්ඩු ක්‍රමයක් නොමැති වුවත් කෙනඩි පවුල ඒ ආසන්නයටම පැමිණීමට සමත් විය. කෙනඩි පවුල පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ 1960 දී ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි සහ ඔහුගේ සොහොයුරු රොබර්ට් එෆ්. කෙනඩිගේ ඝාතනයන් සමගය. එහෙත් සැබැවින්ම කෙනඩි පවුල යනු එක්සත් ජනපදයේ ඉතාමත් කැපී පෙනෙන හා ධනවත් දේශපාලන පවුලකි. ඔවුන් දේශපාලනය පමණක් නොව ව්‍යාපාර, රාජ්‍ය සේවාව සහ විනෝද කර්මාන්තය යන ආදී ක්ෂේත්‍ර රාශියක සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් විය. එමෙන්ම මෙම පවුල එකල ඉතා පොහොසත් හා බලවත් එකක් වූ අතර එක්සත් ජනපදය තුල ඔවුන් දිවි ගෙවනු ලැබුවේ රාජකීයන් ලෙසය. එහෙත් වසර කිහිපයක් තුළ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් රාශියක් හේතුවෙන් මෙම පවුලට සිය සාමාජිකයන්ගෙන් බොහෝ දෙනෙකු අහිමි වූ අතර මේ හේතුව නිසා මෙම පවුලට ශාපයක් බලපා ඇති බවට බොහෝ දෙනා විශ්වාස කිරීමට පටන් ගන්නා ලදී.

එක්සත් ජනපද දේශපාලනය තුළ වසර 64ක කාලයක් කෙනඩි පවුලේ එක් සාමාජිකයෙකු හෝ සිට ඇති අතර ඒ අතුරින් ඉතා කැපී පෙනුනු තැනැත්තා වූයේ ජෝන් එෆ්. කෙනඩිය. ඔහුව සලකනු ලබන්නේ එක්සත් ජනපද ඉතිහාසයේ බිහි වූ කීර්තිමත් ජනාධිපතිවරුන්ගෙන් කෙනෙකු ලෙසය.

"ජැක්" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ජෝන් එෆ්. කෙනඩිගේ පවුල ඉතා විශාල එකකි. එක්සත් රාජධානියේ එක්සත් ජනපද තානාපති වූ ජෝශප් පී. කෙනඩි සහ රෝස් කෙනඩි යනු ඔහුගේ දෙමාපියන් විය. 1917 මැයි 29 දින මැසචුසෙට්ස් හි බෘක්ලයින් හිදී උපත ලැබූ ඔහු සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැනියා විය. ඔහුගේ ප්‍රසිද්ධියට පත් සහෝදර සහෝදරියන් අතර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ඔලිම්පික් උළෙලේ නිර්මාතෘ යූනිස් කෙනඩි, එක්සත් ජනපද නීතිපති රොබට් එෆ්. කෙනඩි සහ සෙනෙට් සභික ටෙඩ් කෙනඩි ද අයත්ය.

එමෙන්ම රෝස්මේරි කෙනඩි යනු මොවුන්ගේ එක් දරුවෙකු වූ අතර ජෝන් එෆ්. කෙනඩිගේ සොහොයුරියකි. එහෙත් එම පවුලේ අනෙක් දරුවන් මෙන් නොව ඇය යම්කිසි මානසික ගැටලු කිහිපයක් සමඟ පොරබදමින් සිටි අතර මේ නිසා ඇයගේ දෙමාපියන් සහ පවුලේ පිරිස ඇයව සැලකුවේ පවුල තුළ තිබූ අසාර්ථක වීමක් ලෙසය. රෝස්මරී ඉතා අඩු බුද්ධි මට්ටමකින් යුත් තරුණියක් වූ අතර ඇගේ සෙසු සහෝදර සහෝදරියන් මෙන් ළඟා විය යුතු නිශ්චිත ඉලක්කයක් ඇයට තිබුණේ නැත. එමෙන්ම එකල මානසික සෞඛ්‍යය පිලිබඳ එතරම් බැරෑරුම් ලෙස සලකනු ලැබූ නැති නිසා රෝස්මේරිට අවශ්‍ය නිසි සැලකිල්ල දෙමාපියන්ගෙන් ඇයට ලැබුනේ නැත. ඊට අමතරව ඇය කටයුතු කලේද තම වයසේ අයෙකු මෙන් නොව කුඩා දරුවෙකු ලෙසය. ඇය බොහෝ විට අධික ලෙස කෝපයට පත් වූ අතර බොහෝ විට ඇගේ දෙමාපියන් සමඟ වාද කළාය.

ඇයගේ මෙම චර්යාත්මක ගැටලු ඇය තුළ පැවති මානසික සෞඛ්‍ය ගැටලුවක් බවට පැහැදිලිව පෙන්නුම් කළ නමුත් ජෝසප් එෆ්. කෙනඩි තම පවුලේ ප්‍රතිරූපය හා කීර්ති නාමය නොකඩවා රැක ගැනීමේ අරමුණින් තම දියණියට මොළයේ පූර්ව ඉදිරිපස කොටසේ ශල්‍යකර්මයක් සිදු කිරීමට තීරණය කරන ලදී. එවකට ඇය 23 වන වියේ පසු විය. කෙසේ වෙතත් රෝස්මරීගේ මව වන රෝස් මේ කාරණය සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි බවද සදහන් වේ.

මෙම ක්‍රියාවලියෙන් පසු ඔහුගේ දියණියට හොඳ සුවයක් ලැබෙනු ඇතැයි වෛද්‍යවරු ජෝසප්ට සහතික වූ නමුත් අවසානයේ සිදු වූයේ තත්ත්වය තවත් නරක අතට හැරීමකි. ශල්‍යකර්මයෙන් අනතුරුව රෝස්මරීට ඇවිදීමට හෝ නිසි ලෙස කථා කිරීමට පවා නොහැකි විය. එමෙන්ම මෙම හේතුව නිසාම 2005 දී ඇය මිය යන තෙක්ම ඇයට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වූ ආයතනයකට වී දිවි ගෙවීමටද සිදු විය.

පවුලේ නාමය සහ ප්‍රතිරූපය රැක ගැනීමට ඇගේ පියාගේ දැඩි උත්සාහය නොවන්නට රෝස්මරීට යහපත් ජීවිතයක් ගත කළ හැකිව තිබුණි. එමෙන්ම රෝස්මරීගේ දෙමාපියන් දැඩි කලකිරීමට පත් වූයේ ශල්‍යකර්මය අසාර්ථක වීමටද වඩා කෙනඩි පවුලේ "කැත තාරා පැටවා" ගැන දැන් මුළු මහත් සමාජයම දන්නා නිසාය. බොහෝ දෙනා විශ්වාස කරන්නේ කෙනඩි පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකුට මරු කැඳවූ ශාපය ආරම්භ වූයේ එම පවුල විසින් රෝස්මේරි කෙනඩි හට සිදු කරනු ලැබූ මෙම අසාධාරණය නිසා බවයි.

ජෝන් එෆ්. කෙනඩිගේ පියා වූ ජෝසප් කෙනඩි විසින් ජනාධිපති ධුරය සදහා සහ නායකත්වය සඳහා එම පවුලෙන් මුලින්ම තෝරා ගනු ලැබුවේ ජෝන් එෆ්. කෙනඩි නොව ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන කනිෂ්ඨ ජෝශප් කෙනඩිය. එහෙත් දෛවය ඊට ඉඩ තැබුවේ නැත. ජෝශප් කෙනඩි දෙවන ලෝක යුධ සමයේදී ප්‍රංශයේ බෝම්බ හෙලීමේ ගුවන් මෙහෙයුම් වල නියමුවකු ලෙස කටයුතු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. එහෙත් මෙම මෙහෙයුමක් අතරතුර ඔහුගේ ගුවන් යානයේ පිපිරීමක් සිදු වූ අතර එමගින් යානයේ සිටි නියමුවන් දෙදෙනාම මිය යන ලදී. මෙම පිපිරීමට හේතුව අදටද අභිරහසක්ව පවතී.

මෙවැනි බිහිසුණු ගුවන් අනතුරු ඉන්පසු කෙනඩි පවුලට නිතර බලපෑම් සිදු කරන ලදී. 1948 මැයි 13 දා ජෝන් එෆ්. කෙනඩිගේ සහෝදරියක් වූ කැත්ලීන් කෙනඩි ගුවන් අනතුරකින් ප්‍රංශයේදී මිය ගියාය. 1948 දී කුණාටුවක පියාසර කරමින් සිටියදී ප්‍රංශයට ඉහළ අහසේදී  ගුවන් යානය කඩා වැටුණු අතර එමගින් ඇය සහ යානයේ සිටි තවත් තිදෙනෙක් මිය ගියහ. මිය යන විට ඇය 28 වන වියේ පසු විය. මේ ආකාරයට වසර හතරක් තුළ කෙනඩි පවුලට සාමාජිකයන් දෙදෙනෙක් අහිමි විය.

කෙනඩි පවුලේ දීප්තිමත්ම දරුවා වූ ජෝන් එෆ්. කෙනඩි සහ ඔහුගේ බිරිඳ ජැකලින් දරුවන් ලැබීම සම්බන්ධයෙන් කටුක අතීතයකට හිමිකම් කියන ලදී. 1955 දී ජැකලින් ගබ්සාවකින් පීඩා වින්ද අතර ඊළඟ වසරේ එනම්1956 දී ඇය මියගිය දරුවෙකු බිහි කළාය. 1963 දී ඔවුන්ගේ පුත් පැට්රික් නොමේරූ ලෙස උපත ලැබූ අතර පසුව ශ්වසන අපහසුතා හේතුවෙන් ඔහුගේ උපතින් දින දෙකකට පසු මිය යන ලදී.

කැත්ලීන් කෙනඩි මියගොස් වසර 15ක් ගත වන තෙක් කෙනඩි පවුලට හොඳ කලක් උදා වූ අතර ජෝන් එෆ්. කෙනඩි එක්සත් ජනපද ජනපති වීමත් සමග එම පවුල එහි සාර්ථකත්වයේ උච්චතම අවස්ථාවට ලඟා විය. එහෙත් 1963 නොවැම්බර් 22 වෙනිදා ජෝන් එෆ්. කෙනඩි ඩලස් නගරය හරහා යමින් සිටියදී ඔහුගේ රථ පෙළපාලියට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී ඔහුට තුන් වරක් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහුගේ ඝාතනය එක්සත් ජනපදය කැළඹීමට ලක් වූ අතර එහෙත් මෙම ඝාතනයට සැබෑ හේතුව කුමක්ද යන්න අදටද අභිරහසකි.

කෙනඩි පවුලේ ඝාතනයට ලක් වූ එකම පුද්ගලයා ජෝන් එෆ්. කෙනඩි පමණක්ම නොවේ. ජෝන්ගේ බාල සොහොයුරු වන රොබර්ට් එෆ්. කෙනඩි 1968 ජූනි 6 වන දින කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් ජනපතිවරණ ප්‍රාථමිකය ජයග්‍රහණය කළේය. එහෙත් අවාසනාවන්ත ලෙස එදිනම ඔහුව සිරාන් නමැති තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.  ඔහුගේ ඝාතනය ජෝන් එෆ්. කෙනඩිගේ ඝාතනය තරම් දැඩි අවධානයකට ලක් නොවූ නමුත් මේ සිදුවීම මගින් කෙනඩි පවුල දැඩි කම්පනයකට ලක් කරන ලදී. 

1973 දී රොබර්ට් එෆ්. කෙනඩිගේ පුත් ජෝශප් පී. කෙනඩි (කනිෂ්ඨ) රිය අනතුරකට මුහුණ දුන්නේය. එහෙත් වාසනාවකට මෙන් එම අනතුරින් ඔහුට හානියක් සිදු නොවීය. 1984 දී රොබර්ට් කෙනඩිගේ අනෙක් පුත්‍රයා වූ ඩේවිඩ් කෙනඩි කොකේන් මත් ද්‍රව්‍ය අධික ලෙස ලබා ගැනීම හේතුවෙන් මිය යන ලදී. තම පියාගේ ඝාතනයෙන් පසු ඔහු යම් ආකාරයක මානසික රෝගයකින් පෙළුණු බවට විවිධ කතා මතු විය. ඉන් අනතුරුව 1997 දී රොබර්ට් කෙනඩිගේ තවත් පුතෙකු වන මයිකල් කෙනඩි හිම මත ලිස්සා යාමේදී අනතුරකට ලක්ව මිය යන ලදී. ඔහු කෙනඩි පවුලේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙක් සමඟ ඇස්පන් හි නිවාඩුවක් ගත කරමින් සිටියදී මෙම අනතුර සිදු විය. 

මෙම පවුලට බොහෝ සාමාජිකයන් අහිමි කළ අවාසනාවන්ත ගුවන් යානා අනතුරු යළි එම පවුලට 1999 දී පහර දෙන ලදී. මෙහිදී එයට ගොදුරු වුයේ ජෝන් එෆ්. කෙනඩිගේ එකම පුත්‍රයා වූ ජෝන් එෆ්. කෙනඩි ජූනියර්ය. 1999 ජූලි 16 දින සිදු වූ ගුවන් අනතුරකින් ඔහු මිය යන ලදී. මෙහිදී ගුවන් යානය පදවාගෙන යන ලද්දේ ඔහු විසින්ම වූ අතර ඔහුගේ වරදක් හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවට වාර්තා විය. මෙම සිදුවීමෙන් ජෝන් කෙනඩි ජූනියර්, ඔහුගේ බිරිඳ කැරොලින් සහ ඔහුගේ නැන්දණිය මිය යන ලදී.

ජෝශප් පී. කෙනඩිගේ බාලම පුත්‍රයා වූ හිටපු සෙනෙට් සභික ටෙඩ් කෙනඩිගේ දියණිය වූ කාරා කෙනඩි 2011 දී වොෂිංටන්හිදී හෘදයාබාධයක් හේතුවෙන් මිය යන ලදී. මිය යන විට ඇය 51 වන වියේ පසු වූ අතර ඇය මිය ගියේ ව්‍යායාම සැසියක් අතරතුරදීය.

මීට අමතරව කෙනඩි පවුලේ බොහෝ දෙනෙක් විවිධ අනතුරු වලට සහ ලෙඩ රෝග වලටද බොහෝ ලෙස ගොදුරු වූ අතර ඊට අමතරව තවත් බොහෝ දෙනෙකුට විවිධ අපරාධ සඳහාද චෝදනා එල්ල විය. ටෙඩ් කෙනඩිගේ බෑනා කෙනෙකු වන විලියම් කෙනඩි ස්මිත් හට 1991 දී ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වූ අතර පසුව ඔහු එයට වරදකරු විය. එමෙන්ම 1973 දී ටෙඩ් කෙනඩිගේ 12 හැවිරිදි පුත්‍රයා වූ එඩ්වඩ් ජූනියර්ට අස්ථි පිළිකාවක් හේතුවෙන් එක් කකුලක් අහිමි විය. ඊට අමතරව රොබර්ට් එෆ්. කෙනඩි ජූනියර්ගේ බිරිඳ 2012 මැයි මස 12 වෙනිදා ගෙල වැලලාගෙන සිය දිවි නසා ගන්නා ලදී.

කලක් ඇමරිකාව තුළ මෙන්ම සමස්ත ලෝකයේම බලවත්ම පවුලක්ව පැවති කෙනඩි පවුලට වසර කිහිපයක් තුළ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් නිසා සිය පවුලේ සාමාජිකයන්ගෙන් බොහෝ දෙනෙක් අහිමි විය. මෙම සිදුවීම් මාලාව පිළිබඳ බොහෝ දෙනා අදහස් පල කරමින් කියා සිටින්නේ කෙනඩි පවුලට සිදු කරන ලද ශාපයක් හේතුවෙන් මෙම සිදුවීම් සිදු වන බවයි. එහෙත් කෙනඩි පවුල මේ පිළිබදව පවසන්නේ තමන් එවැනි සිදුවීමක් විශ්වාස නොකරන බවය. එසේනම් ඔබ මෙම සිදුවීම් මාලාව හදුන්වනු ලබන්නේ කෙසේද? අහම්බයෙන් සිදු වූ සිදුවීම් මාලාවක් ලෙසද? එසේත් නැතිනම් එම පවුලට බලපා ඇති යම් කිසි ශාපයක් ලෙසද?
බොහෝ දෙනෙකුට මරු කැඳවූ කෙනඩි පවුලේ ශාපය (The Curse Of The Kennedy Family) - Your Choice Way
රෝස්මේරි කෙනඩි ඇගේ ශල්‍යකර්මයට පෙර සහ පසු

බොහෝ දෙනෙකුට මරු කැඳවූ කෙනඩි පවුලේ ශාපය (The Curse Of The Kennedy Family) - Your Choice Way
කැත්ලින් කෙනඩිගේ ගුවන් යානය ප්‍රංශයේදී අනතුරට පත් වූ අයුරු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බොහෝ දෙනෙකුට මරු කැඳවූ කෙනඩි පවුලේ ශාපය (The Curse Of The Kennedy Family) බොහෝ දෙනෙකුට මරු කැඳවූ කෙනඩි පවුලේ ශාපය (The Curse Of The Kennedy Family) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2021 Rating: 5

0 comments:

Post a Comment