දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 31 ලෝක සකසුරුවම් දිනය (Significance Of The Day - October 31 World Savings Day)

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 31 ලෝක සකසුරුවම් දිනය (Significance Of The Day - October 31 World Savings Day) - Your Choice Way

ලෝක සකසුරුවම් දිනය (World Savings Day) (ඔක්තෝම්බර් 31) අදයි.

1924 ඔක්තෝබර් 31 වෙනි දින ලෝක ඉතිරිකිරීමේ බැංකු සංගමය සංවිධානය කළ ජාත්‍යන්තර ඉතුරුම් සමුළුවේදී මෙම දිනය පළමුවරට ප්‍රකාශයට පත් කරාන ලදී.

අන්තර්ජාතික ප්‍රජාව ලෝක සකසුරුවම් දිනය වෙනුවෙන් ඉමහත් වැදගත්කමක් ලබා දෙයි. එය අරුමයක් ලෙස දැකිය යුතු ද නැත. ලෝකයේ ධනවත් රටවල් මෙන්ම දුප්පත් රටවල් ද ඇත. ඒ කුමන රටකට වුව ද ඉතිරි කිරීම වැදගත්ය. එයට හේතුව, එමඟින් රටේ, පුද්ගලයන්ගේ අනාගතය තීරණය කරන බැවිනි. රටක් සෑදෙන්නේ එවන් කණ්ඩායම් රැසකිනි. ඒ අතින් සලකා බැලුව ද, සකසුරුවම් බව ඉතා වැදගත්ය. ඒ, රටක් අනාගතයේ ගමන් කරනුයේ කවර දිශාවට ද යන්න එමඟින් තීරණය කරන හෙයිනි.

විද්වතුන්, සකසුරුවම පිළිබඳ අවධාරණය කරයි. කිසිවකු අතැති ධනයවත්, වත්පොහොසත්කම්වත්, යානවාහන ආදියෙන්වත් ඔහු ධනවතකු නොවේ. යම් පුද්ගලයකුගේ දිනක ආදායම රුපියල් ලක්ෂයකැයි සිතමු. එයින් පමණක් ඔහුගේ සකසුරුවම මැනිය නොහැකිය. ඒ තැනැත්තා දිනකට එයින් කොපමණ මුදලක් ඉතිරි කරන්නේ දැයි ගණන් බැලිය යුතුය. ඒ අනුව ඒ පුද්ගලයා කිසිවක් ඉතිරි නොකරයි නම්, ඔහුගේ හෝ ඇයගේ ඉතුරුම් වටිනාකම බින්දුවකි. තවත් අයකුගේ දිනක ආදායම රුපියල් පන්සියයක් යැයි සිතමු. ඔහු එයින් රුපියල් දෙසියයක් ඉතිරි කරතොත්, කලින් සඳහන් කළ දිනක රුපියල් ලක්ෂයක ආදායම ලබන්නාට වඩා මොහු ප්‍රගතිශීලීය. ඒ, තමන්ගේ අනාගතය අනුනට බරක් නොවන්නට කටයුතු කරන නිසාය. රටකට වඩා වැදගත් එවැන්නන්ය. රටක ඉතුරුම් එරට සංවර්ධනයට ඉවහල් වන නිසා, ඉතිරි කිරීම පුරුද්දක් බවට පත් කර ගැනීම අත්‍යවශ්‍යය. යම් රටක ජනතාව ඉතුරු කිරීම පුරුද්දක් කර ගෙන නැති නම්, එරට අනාගතය පැහැබර නොවේ. එනම්, එරට තුළ මතුවට භාවිතයට මිල මුදල් නොපවතින හෙයිනි. එසේ වූ විට, ආහාර පාන, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු දේ සපයා ගැනීම දුෂ්කරය. එහෙත්, ඒ දුෂ්කරතාවලින් රට බේරා ගැනීමට එරට මහ ජනතාවට හැකිය. ඉතිරි කිරීම ඊට කදිම මඟකි. එහෙත් එය පුරුද්දක් කර ගත යුතුය. නොඑසේ නම් උපයන ආදායමටත් වඩා වැඩි වියදමක් දැරීමට සිදු වේ. ඒ අතින් ඉපයීම තමන්ට මෙන්ම රටට ද වැඩදායී වූවකි. ව්‍යවසායකත්වය හෝ සේවා නියුක්තිය මඟින් ප්‍රතිඵලයක් ලබා ගැනීමේ වගකීම සෑම රටවැසියකුටම ඇත.

රටකට විදේශ විනිමය අත්‍යවශ්‍යය. එරට, විදෙස් රටවල් සමඟ ගනුදෙනු කරන්නේ එමඟිනි. රටකින් රටකට එවනවිදේශ මුදල්, එම රටවල් සංචිත වශයෙන් පවත්වා ගනී. විදෙස්ගත වූවන් මෙරටට එවන මුදල් ඉතිරි කිරීමෙන් ඒ ඒ තැනැත්තන්ගේ යැපෙන්නන් ජීවිකාව සරි කර ගනිති. එමෙන්ම අනාගතය ස්ථාවර කර ගැනීමට ස්ථිර නිවෙසක් තනා ගැනීම ආදි සිහින විදෙස්ගත වන්නන් තුළ පවතී. ඒවා සැබෑ කර ගැනීමට නම්, ඔවුන්ගේ මෙරට සිටින ඥාතීන් සකසුරුවම දැන සිටිය යුතුය. නොඑසේ නම්, දිවා රෑ වෙහෙසී මෙරටට එවන මුදල්, මෙහි සිටින්නන් අපරීක්ෂාකාරිව වියදම් කිරීමය. එයින් උපයන්නාටවත් යැපෙන්නන්ටවත් සෙතක් නොවේ.

උපයන; අතට ලැබෙන සියල්ල වියදම් කිරීම විද්වතුන් අගය නොකරයි. ඒ පිළිබඳ විවිධ ආගම්, දර්ශන මඟින් ද අවධාරණය කර ඇත. බුදු දහමේ එන එවැන්නක් නම්, උපයන දෙය කොටස් හතරකට බෙදීමය. එයින් දෙකොටසක් ආයෝජනයටත් තවත් කොටසක් පාරිභෝජනය පිණිසත්ය. පාරිභෝජනය කළ යුත්තේ එක් කොටසකි. අනෙක් ආගම්, දර්ශන මඟින් ද මිනිසාට ඉතිරි කිරීමේ වැදගත්කම මතු කරයි. එය කෙතරම් දුරට පිළිපදින්නේ ද? එපමණට සැනසිල්ල ඇති වේ.

තවමත් බොහෝ දෙනකුගෙන් ඇසෙන මැසිවිල්ල නම්, උපයන දෙය මදි බවය. ඉන් පාරිභෝජනයට වෙන් කළ පසුව ඉතිරි කරන්නට යමක් නොවන බව ද ඇසේ. එහෙත් තම තමන්ම වියහියදම් දෙසට හැරී බැලූ විට, එහි ඇති තතු වැටහේ.

ආහාරපාන සඳහා උපයන දෙයින් කොටසක් වැය වේ. එය අනිවාර්යය. මඟතොට ගමන් වියදම් ආදිය ද එසේය. එහෙත් අනවශ්‍ය ඇබ්බැහිකම්, සූදුව ආදිය එසේ නොවේ. ඉන් මසකට ඉතිරි කර ගත හැකි ප්‍රමාණය සුළු පටු නැත.

තව දුරටත් අප අපේම නොසැලකිල්ල හා අලසකම් නිසා ද අමතර වියදම් ගොඩ ගැසේ. විවේකය ගෙවන්නට එකිනෙකා පුරුදුව සිටින්නේ වෙනස් අයුරිනි. ගෙවතු වගාව වැනි ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තක නියැළිය හැකි නම්, එය කාටත් වාසියකි. ඉතිරියට දිරියකි. එසේම ඉන් ලැබෙන තෘප්තිය මිල කළ නොහැකි තරම්ය. එය දූ දරුවන්ට ද ආදර්ශයකි. බල කිරීම හා පෙලඹවීමට වඩා, කුඩා දරුවන්ට මව්පිය වැඩිහිටියන්ගේ ආදර්ශය වැදගත්ය.

සකසුරුවම ජීවිතවලට බද්ධ වනුයේ කුඩා කල සිටම ඊට යොමු වූ විටය. එවිට අමුතුවෙන් අනුන්ගෙන් ඉතිරි කිරීම පිළිබඳ ඉගෙනීමක් අවශ්‍ය නැත.

සකසුරුවම, මිල මුදල් සමඟ පමණක් බැඳෙන්නක් නොවේ. කෙනකුට එදිනෙදා කටයුතුවලදී එය ජීවන විලාසිතාවක් බවට පත් කර ගත හැකිය. එවිට එය කතාබහේ සිටම හැඩගැසෙනු නියතය. ඇතැම්හු තොරතෝංචියක් නැතිව දොඩවති. එයින් අනුන්ගේ වටිනා කාලය කා දමති. එයින් ද යමෙකුගේ හැදියාව සහ ඒ තැනැත්තාගේ කළමනාකාරිත්වයේ බුහුටි බව පෙන්වයි. අනෙක, සමහරු සකසුරුවම් දිනය බැංකු හා මූල්‍ය ආයතනවලට පමණක් අදාළ කිරීමය. එය නිවැරැදි නොවේ. එදින පොදු මහ ජනතාවට වැදගත් දවසකි. පිම්මේ දුවන තරගකාරී ජීවිතයේ ඉලක්ක දෙස ඉවසිල්ලෙන් බැලීමේදී, මෙතෙක් පැමිණි මඟත්, තව දුරටත් තරණය කළ යුතු මඟත් එවිට පසක් වේ.

සකසුරුවම හුරු වීමටත්, ඒ හුරුව වඩා වර්ධනය කර ගැනීමටත් මෙදින හොඳ කොළ එළියකි.

දවසේ කාලය කළමනාකරණය කර ගැනීමට එවිට හැකිය. ව්‍යාපාරිකයකුට එම කටයුතු සඳහා දැනට වඩා කාලය අවශ්‍ය වන්නට පුළුවන. එවිට වඩාත් ඵලදායී කටයුතු තෝරා බේරා ගැනීමටත්, අනෙක් ඒවා අඩු කිරීමටත් හැකියාව ලැබේ. එමඟින් අනවශ්‍ය වියහියදම් ද අඩු වේ.

තව අතකින් රක්ෂාවක නියැළෙන්නකුට ප්‍රවාහන වියදම්, ඇදුම් පැලඳුම් සඳහා වන වියදම් ආදිය තදින් දැනේ. එසේම එයින් අඩුකර ගත හැකි කොටස් තිබෙන්නට පුළුවන. දිනපතාම පාහේ බොහෝ දෙනා, ප්‍රධාන මංසන්ධියක සිට කාර්‍යාලයට ඒමට කුලී රියක් යොදා ගනිති. සමහරුන් බොහෝ විට ඊට පෙලඹෙන්නේ අලසකම නිසාය. කාල කළමනාකරණයක් නැතිකමින්ය. එහෙත් උදෑසනින් ඒ කුඩා දුර පා ගමනින් යෑමට බොහෝ දෙනකු පෙලඹෙන්නේ අඩුවෙනි. නැවත වැඩ නිම වී ඒ දුර පයින් එන්නේ ද කලාතුරකිනි. එහෙත් ඒ වෙනුවෙන් මාසිකව කුලී රථ සඳහා ගෙවන කුලිය බොහෝය. බොහෝ දෙනකුට ඒ වග නොවැටහෙන්නටත් කරුණක් වේ. ඒ, එදිනෙදා වියහියදම් සටහන් කර තැබීමේ පුරුද්දක් නැතිකමිනි. බොහෝ තනිකඩයන් පමණක් නොව, විවාහක යුවළ ද මේ පිළිබඳ නොතකති. ගිණුම් අංශයේ රැකියා කරන සමහරු ද බොහෝ විට පෞද්ගලික ජීවිතයේදී අය වැය සටහන් නොකරන වග පර්යේෂණයකදී සනාථ වූවකි.

අසල්වාසින්‍ට, නෑයන්ට පමණක් නොව, මූල්‍ය ආයතනවලට ද බොහෝ දෙනෙක් ණය වී සිටිති. අද වන විට එය සාමාන්‍ය දෙයකි. එහෙත් ණය ගනුදෙනුවලදී මූල්‍ය සාක්ෂරතාව යම් පමණකටවත් තිබිය යුතුය. මෙරට ක්ෂුද්‍ර මූල්‍ය උගුලේ සිර වී එම ගිනි පොලී ගෙවා ගත නොහැකිව ළතැවෙන්නෝ එමට සිටිති. ඒ අය ගෙන් බොහෝ දෙනෙක් දවසට සියයට එකක පොලියට ණය ලබා ගත් අයය. එහෙත් දින, සති, මාස ආදි වශයෙන් කල් ගත වූ විට එකතු වන වැල් පොලිය පිළිබඳ හරි වැටහීමක් ඒ අයගෙන් බොහෝ දෙනකුට තිබී නැත. ඇතැමුන්, ගේ - දොර, වතු - පිටි සින්න වී, මහ මඟට ඇද වැටෙන තැනට පත්ව ඇත. එය ජාතික ප්‍රශ්නයක් තරමට ඔඩු දුවා තිබෙන සැටියකි. රජය ද ඒ පිළිබඳ මැදිහත් වී ඇත. ඒ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින්, ජනතාව දැනුම්වත් කරන අතරතුර, ඒ උගුලේ පටලැවුණු තැනැත්තන් ඉන් මුදා ගැනීමට කටයුතු කරමිනි. එහෙත්, සකසුරුවම් බවින් යුතුව ජීවත් වීමට හුරු වුව හොත්, ඒ අවදානම මඟ හැරේ. ලෝක සකසුරුවම් දිනයෙහි විශාල අරුතක් ගැබ්ව ඇත්තේ එබැවිනි.

තොරතුරු අන්තර්ජයයෙන්...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 31 ලෝක සකසුරුවම් දිනය (Significance Of The Day - October 31 World Savings Day) දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 31 ලෝක සකසුරුවම් දිනය (Significance Of The Day - October 31 World Savings Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment