දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 14 ලෝක ප්‍රමිති දිනය (Significance Of The Day - October 14 World Standards Day)

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 14 ලෝක ප්‍රමිති දිනය (Significance Of The Day - October 14 World Standards Day) - Your Choice Way

ලෝක ප්‍රමිති දිනය අදයි. සෑම වසරකම ඔක්තෝබර් 14 වැනි දිනය යෙදී ඇත්තේ ප්‍රමිතියක අවශ්‍යතාව කෙරෙහි ලෝක අවධානය යොමුකිරීම සඳහාය. 

1946 දී ප්‍රමිති දිනයක් ලෙස ඔක්තෝබර් 14 දින විශේෂයෙන් තෝරා ගනු ලැබුවේ රටවල් 25 ක නියෝජිතයින් ප්‍රථමයෙන් ලන්ඩන් වෙත රැස් වී ප්‍රමිතිකරණය පහසු කිරීම කෙරෙහි අවධානය යොමු කර ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීමට තීරණය කිරීමත් සමඟ ය. 1970 වන තෙක් පළමු ලෝක ප්‍රමිති දිනය සමරනු ලැබුවේ නැත.

පළමු ලෝක ප්‍රමිති දිනය 1970 දී සමරන ලදි.


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 1964 අංක 38 දරන ලංකා ප්‍රමිති කාර්යාංශ පනත යටතේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමිති පිළිබඳ ජාතික ආයතනය යි. එම ආයතනය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති ආයතනය වීම හේතුවෙන් ජිනීවාහි මූලස්ථානය පිහිටි ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයෙහි (ISO) සාමාජිකයකු වේ. අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ සාමාජිකයන් ලෙස ජාතික ප්‍රමිති ආයතන තම ජාතික ප්‍රමිතිවල පිටපත් අන්‍යෝන්‍ය පදනමෙන් අදාළ පාර්ශ්වයන් සමඟ හුවමාරු කර ගන්නා අතර ප්‍රමිති, තාක්ෂණික රෙගුලාසි සහ ප්‍රමිති හා බැඳුණු ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික මට්ටමින් ප්‍රජාවට තොරතුරු ප්‍රචාරණය කිරීමේ වගකීම ද උසුලයි.

1984 අංක 06 දරණ පනත මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති අයතනය ලෙස ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පද්ධති, වෙළඳ භාණ්ඩ, සේවා, ද්‍රව්‍ය පරිචයන් සහ මෙහෙයුම් සඳහා පරාමිතීන් සකස් කිරීම සඳහා ස්ථාපිත කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ආයතනය වේ.

සෑම වසරකම ඔක්තෝබර් 14 දින IEC, ISO, සහ ITU හි සාමාජිකයින් ලෝක ප්‍රමිති දිනය සමරනු ලබන අතර එය ජාත්‍යන්තර ප්‍රමිති ලෙස ප්‍රකාශනයට පත් කරනු ලබන ස්වේච්ඡා තාක්ෂණික ගිවිසුම් සංවර්ධනය කරන ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත ප්‍රවිණයන්ගේ සහයෝගී උත්සාහයට උපහාර දැක්වීමේ මාධ්‍යකි.

IEC, ISOසහ ITU විසින් සකස් කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතීන් තාක්ෂණික අභියෝගයන්ට මුහුණ දිය හැකි වන පරිදි අත්හදා බලන ලද සහ සත්‍ය විසඳුම් සැලකිල්ලට ගෙන සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ පුළුල් ලෙස ප්‍රවීණ හා විශේෂඥ දැනුම බෙදා ගැනීමට උපකාරී වේ. බලශක්තිය ඉතිරි කිරීම, ජලය සහ වාතය ගුණාත්මකභාවය පිළිබඳ සියලු ම අංශ ප්‍රමිති මඟින් ආවරණය කරයි. ඔවුන් ප්‍රමිතිගත ක්‍රියා පිළිවෙත් සහ මිනුම් ක්‍රම ඉදිරිපත් කරන අතර ඒවායේ භාවිතය මඟින් කාර්මික නිෂ්පාදන හා ක්‍රියාවලීන්හි පාරිසරික බලපෑම් අවම කිරීමට, සීමිත සම්පත් නැවත භාවිත කිරීමට පහසුකම් සැලසීමට සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

ලෝක ප්‍රමිති දිනය ඇතුළත් වන පරිදි මෙම වසරෙහි ජාතික තත්ත්ව සතිය ඔක්තෝබර් මස 12 වැනි දා සිට 18 වැනි දා දක්වා නම් කර ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දී තිබේ. ජාතික තත්ත්ව සතිය සැමරීම වාර්ෂිකව සිදුකරන ක්‍රියාවලියකි. එමඟින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා සංවිධාන, පාසල්, කාර්මික විද්‍යාල, විශ්වවිද්‍යාල සහ සාමාන්‍ය ජනතාව විශේෂ වැඩසටහන් හා සිදුවීම් මඟින් අදාළ වසරේ තේමාව යටතේ අඛණ්ඩ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට දිරිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අරමුණ වේ.

වගකීම්

ජාතික ප්‍රමිති ආයතනය (National Standars Body) ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ආර්ථිකයේ සෑම අංශයකට ම, ප්‍රධාන වශයෙන් කාර්මික, හා වෙළෙඳ අංශවල ජාතික ප්‍රමිති සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්ම කිරීම ප්‍රවර්ධනය කිරීමට පහසුකම් සැපයීම යි. මේ සඳහා අවශ්‍ය ජාතික ප්‍රමිති සකස් කිරීම මූලික කර්තව්‍යය වේ. තාක්ෂණයේ දියුණුව, ආර්ථිකයේ සහ වෙළෙඳ කටයුතුවල සිදු වන වැඩිදියුණු වීම සමඟ වේගයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා මෙම ප්‍රමිති සමාලෝචනය කිරීම සහ යාවත්කාලීන කිරීම ද ආයතනයේ ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් බවට පත් ව ඇත.

(උදා: SLS) භාණ්ඩයක් සඳහා ලබාදෙන SLS සලකුණ මගින් පිළිබිඹු වන්නේ එය ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරට අනුකූලව නිරන්තරයෙන් නිෂ්පාදනය කරන බවත් තත්ත්වය මනා ලෙස පවත්වා ගෙන යන බවත් ය. විදුලි උපකරණවල අවම බලශක්ති කාර්යසාධන මට්ටම ළඟා කරගැනීම සඳහා ලබාදෙන සලකුණක් ද තරු පහක් දක්වා තරු ශ්‍රේණිගත කළ තක්සේරුවක් මත පදනම්ව විදුලි උපකරණ සඳහා බලශක්ති ශ්‍රේණිගත කිරීම මත ලබාදෙන සලකුණක් ද වෙන වෙන ම දැක්වේ.

භාණ්ඩයක් මත ඇති සහතික ලාංඡනයෙන් පැහැදිලි වන්නේ එම භාණ්ඩ නිරතුරුව අදාළ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලව නිපදවන බව ය. ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරෙහි සඳහන් අවශතාවලට අනුකූල බව සහතික කිරීම පිණිස ආයතනය මඟින් නිශ්චිත කාලසීමාවන්වලදී තත්ත්ව ආරක්ෂණ පද්ධතිය නිරීක්ෂණය කිරීම, පරීක්ෂා කිරීම සහ භාණ්ඩ පරීක්ෂණය යොදා ගැනේ. මේ නිසා උසස් තත්ත්වය පිළිබඳ විශ්වාසයකින් යුතුව භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට උදා වේ.

අදාළ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලව භාණ්ඩ නිපදවීමේ වගකීම නිෂ්පාදකයා වෙත පැවරෙන පරිදි සහතික ලාංඡන ක්‍රියාවලිය පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රතිපත්තිය යි. මෙම අරමුණ ඉටුකරගැනීම සඳහා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නියම කරන උපදේශන අනුව යමින් උචිත තත්ත්ව ආරක්ෂණ පද්ධතියක් ගොඩනඟා ගැනීමට, එය වාර්තාගත කිරීමට සහ ක්‍රියාවේ යෙදවීමට බලපත්‍ර ලාභීන්ට ඉඩකඩ සලසා ඇත. එම තත්ත්ව පද්ධතියේ නිරන්තර සඵලභාවය සනාථ කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන නිලධාරීන් විසින් නිශ්චිත කාලසීමාවන්වලදී සිදු කරනු ඇත.

සහතික ලාංඡනයන් සුරක්ෂිත කිරීමේ වගකීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතු වන අතර සහතික ලාංඡනය අවභාවිතය සහ සහතික ලාංඡනයට අදාළ කොන්දේසි කඩ කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වේ. එවැනි වරදක් සඳහා දඩයක් හා/හෝ වසර දෙකකට නොවැඩි කාලයක සිර දඬුවමක් නියම කිරීමට ප්‍රමිති ආයතන පනත යටතේ ඉඩ සැලසේ. තව ද බලපත්‍රය දරන්නාගේ භාණ්ඩයේ තත්ත්වය, නිෂ්පාදන ක්‍රියාවලියේ තත්ත්වය අදාළ ප්‍රමිතියට වඩා බාලකර ඇති විටදී හෝ බලපත්‍රය නිකුත් කිරීමේදී පනවන ලද කොන්දේසි කඩකර ඇති ඕනෑම අවස්ථාවක දී හෝ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට හැකියාවක් ඇත.

SLS සහතිකය

SLS ලාංඡනය සඳහා බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියා පිළිවෙළ ද සුවිශේෂ වූවකි. SLS සහතික ලාංඡනය තම භාණ්ඩ සඳහා භාවිත කිරීමට අදහස් කරන නිෂ්පාදකයකු, පළමුවෙන් ම එම භාණ්ඩය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයක් තිබේද? යන්න තහවුරුකොට දැනගත යුතු ය. ඉන්පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අයදුම් පත්‍රයක් යොමු කළ යුතු වේ. විවිධ ප්‍රමිතීන් යටතේ ආවරණය වන භාණ්ඩ රැසක් නිපදවන අවස්ථාවකදී ඒ එක් එක් භාණ්ඩය සඳහා වෙන ම අයැදුම්පත් යොමු කළ යුතු ය. අයැදුම්කරුවකු එක ම වෙළඳ නාමය යටතේ කර්මාන්තශාලා කිහිපයක යම් භාණ්ඩයක් නිපදවන්නේ නම් ඒ සියලු කර්මාන්තශාලා සඳහා වෙන් වෙන් වශයෙන් අයදුම් පත්‍ර, එක ම අවස්ථාවකදී යොමු කළ යුතු ය.

අයදුම් පත්‍රයක් ලැබීමෙන් පසු එහි සඳහන් තොරතුරු මත පදනම් ව තත්ත්වය ආරක්ෂණය සඳහා නිෂ්පාදකයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඇගයීමට ලක් කරනු ලැබේ. අනතුරුව නිෂ්පාදන ආයතනය ක්‍රියාවට නංවා ඇති තත්ත්ව කළමනාකරණය පද්ධතිය පරික්ෂා කොට සනාථ කිරීම පිණිස කර්මාන්ත ශාලාවට ප්‍රමිති ආයතනයේ විගණන නිලධාරින් පැමිණෙනු ඇත. කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීම, භාණ්ඩ පරීක්ෂණය සහ නියැදි සඳහා වන සියලු වියදම් සහ පහසුකම් සැලසීම අයැදුම්කරු විසින් සිදු කළ යුතු ය. භාණ්ඩ අදාළ ප්‍රමිතියට අනුකූල වන විට සහ සතුටුදායක මට්ටමකින් තත්ත්ව ආරක්ෂණ පද්ධතිය ක්‍රියාවට නංවා ඇති විට, සහතිකකරණයට අදාළ නිර්ණායක සපුරාලන්නේ දැයි තවදුරටත් තහවුරු කරනු පිණිස විශේෂ නිලධාරී මණ්ඩලයක් විසින් අවසන් වරට කර්මාන්තශාලාව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හෝ ඔහු/ඇය විසින් බලය පවරන ලද නිලධාරියකු විසින් හෝ සහතික ලාංඡනය භාවිතයට අවසර දිමේ බලපත්‍රය නිකුත් කරනු ඇත. බලපත්‍රය නිකුත් කිරීම සඳහා පරීක්ෂණය කරන ලද භාණ්ඩ නියැදි අදාළ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල වීම, සතුටුදායක තත්ත්ව ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක ව පැවතීම, බලපත්‍රය නිකුත් කිරීමට අදාළ පොදු කොන්දේසි, විශේෂ කොන්දේසි සහ වාර්ෂික බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා නිෂ්පාදකයා එකඟවීම යන අවශ්‍යතා සපුරාලිය යුතු ය. මීට අමතර ව නිෂ්පාදනයට සුවිශේෂිත වූ සීමා තිබිය හැක.

විවිධ සේවා

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දෙන අනෙකුත් සේවාවන් වන්නේ ක්ෂේත්‍ර ගණනාවකට අදාළ පද්ධති සහතිකකරණය ලබාදීම යි. ඒ අනුව ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධතිය මගින් ඕනෑම ආයතනයක තත්ත්වය, ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා මෙහෙයවීම සහ පාලනය ඇති කරයි. ගුණාත්මක තත්ත්ව කළමනාකරණ පද්ධති සඳහා මෙය සාමාන්‍ය ප්‍රවේශයක් සපයන අතර එමගින් ගුණාත්මක අවශ්‍යතාවන්ට අනුකූලව නිෂ්පාදන සහ සේවාවන් අඛණ්ඩව ලබා දීමටත්, අපනයන වෙ‍ෙළඳපොළට ඇතුළත් වීමටත් ආයතනයකට මනා රුකුලක් ලබාදේ.

ව්‍යවස්ථාදායක අවශ්‍යතා සහ සැලකිය යුතු පාරිසරික බලපෑම පිළිබඳ තොරතුරු සැලකිල්ලට ගනිමින් පරිසර හිතකාමී පද්ධතියක් නිර්මාණය කිරීමට ISO 14001 කළමනාකරණ පද්ධතිය, ආයතනයකට හැකියාව ලබාදෙයි. කැපී පෙනෙන සාධක වන්නේ නිසි ලෙස පාලනයන් භාවිතා කරමින් වායු දූෂණය, ජල දූෂණය, ශබ්ද දූෂණය නාස්තිය හා අවදානම් සහ අනතුරු අවම කිරීමයි. ව්‍යාපාරය කරගෙන යන අතරතුර පරිසරය පිළිබඳ සැලකිලිමත් වන ඕනෑම නිෂ්පාදන හෝ සේවා සංවිධානයක් සඳහා මෙම ක්‍රමය අදාළ වේ. FSSC 22000 යනු ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතික කිරීමේ ක්‍රමයකි. 

මෙමඟින් ආහාරපාන සුරක්ෂිතතාවය පිළිබඳ විශේෂිත පූර්ව අවශ්‍යතා සපුරා ඇති බවට සහතික කෙරේ. ISO 22000 කළමනාකරණ පද්ධතිය, ආහාරදාමයේ සෑම තරාතිරමකම ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා භාවිතා කළ හැකි අතර ආහාරවල ගුණාත්මක භාවය සහ ආරක්ෂාව සමස්ත කළමනාකරණය සඳහා වැදගත් වේ. එය ආහාර සැකසීමේදී සිදුවිය හැකි සියලු ම දූෂණය පාලනය කරයි. HACCP නම් කළමනාකරණ පද්ධතිය ආහාර පරිභෝජන අවස්ථාවේදී ආහාර සුරක්ෂිත බව සහතික කිරීම සඳහා ආහාර දාමයේ ඕනෑම සංවිධානයකට ආහාර සුරක්ෂිතතා උපද්‍රව පාලනය කිරීමේ හැකියාව පෙන්නුම් කළ යුතු ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් සඳහා අවශ්‍යතා නියම කරයි. මෙම ක්‍රමය ආහාර ගොවිතැන, සැකසුම්, ඇසුරුම් ද්‍රව්‍ය, ප්‍රවාහනය සහ ගබඩාව සඳහා යොදාගත හැකිය. ISO 50001, බලශක්ති කාර්යක්ෂමතාව, බල ශක්තිය ඵලදායී ලෙස භාවිතය සහ පරිභෝජනය තුළින් ආයතනයට එහි බලශක්ති ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට හැකිවීම මත ලබාදෙන සහතිකය යි. මෙම සහතිකය සියලුම අංශවල සියලුම නිෂ්පාදන හා සේවා සංවිධාන සඳහා අදාළ වේ. GMP සලකුණ ඕනෑම නිෂ්පාදනයක යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතික කිරීම සඳහා භාවිතා කරයි. OHSAS 18001 සහතිකයෙන් තහවුරු කෙරෙන්නේ ආයතනයක වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂිත අවදානම් පාලනය කිරීමට සහ සේවකයින් සම්බන්ධ අවදානම් අවම කිරීමෙන් එහි ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට ඇති හැකියාව යි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යභාරය පිළිබඳ කතාබහ කිරීමේදී ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානය (SLNQA) පිරිනැමීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ම ය. එය වනාහී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් ලබාදෙන, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන ඕනෑම ආයතනයක තත්ත්වය, ගුණාත්මක කාර්යසාධන විශිෂ්ටත්වය සහ ව්‍යාපාර තිරසාරභාවය පිළිගැනීම සඳහා වාර්ෂික ව පිරිනමනු ලබන සම්මානයකි. මෙම සම්මාන ප්‍රදාන වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක ප්‍රකට මැල්කම් බෝල්ඩ්රිජ් ජාතික තත්ත්ව සම්මානයට අදාළ යම් නිර්ණායක පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන්නකි.

ප්‍රමිතිකරණය සහ තත්ත්වයට අදාළ තොරතුරු සපයාදීම, පරීක්ෂණාගාර සේවා වර්ග හයක් සැපයීම, තත්ත්ව කළමනාකරණ පුහුණු පාඨමාලා ලබාදීම, භාණ්ඩ සහතිකකරණය,ආනයන පරීක්ෂාව යන සේවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිරන්තරයෙන් ලබාගත හැක. මිති විද්‍යා අංශය මඟින් මිනුම් උපකරණ ක්‍රමාංකනය කිරීමේ සේවාවන් ද ලබා දේ. විශේෂයෙන් ම covid- 19 ගෝලීය ව්‍යාප්ත වසංගතය පැතිරීම පාලනය කරන අතරතුර ආයතනික කටයුතු බාධාවකින් තොරව දිගින් දිගටම පවත්වාගෙන යෑම සඳහා ස්වාධීන තෙවන පාර්ශවීය පද්ධති සහතිකකරණයක් ලබාදීමට ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ඉදිරිපත්වී සිටී. මෙම සහතිකය (SLS 1672: 2020) මඟින් ඕනෑම ආයතනයක් විසින් සපයනු ලබන බාහිර ක්‍රියාකාරකම්, නිෂ්පාදන සහ සේවාවන් කොවිඩ් -19 වසංගතය සම්ප්‍රේෂණය නොවන ලෙස ලබාදීමේ හැකියාව සහ කැපවීම පෙන්නුම් කිරීම පිළිබඳ පද්ධති සහතිකකරණයක් ලබාදීම සිදු වේ. www.slsi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගත හැකිය.

කාංචනා සිරිවර්ධන (dinamina.lk) සහ අනෙකුත් තොරතුරු අන්තර්ජාලයෙන්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 14 ලෝක ප්‍රමිති දිනය (Significance Of The Day - October 14 World Standards Day) දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 14 ලෝක ප්‍රමිති දිනය (Significance Of The Day - October 14 World Standards Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2021 Rating: 5

0 comments:

Post a Comment