අත්භූත බෝනික්කා 🙄😟😯 රොබට් 😱 👻 (Robert)

අත්භූත බෝනික්කා 🙄😟😯 රොබට් 😱 👻 (Robert) - Your Choice Way
අද්භූත හෝ ශාපලත්යැ යි මිනිසුන් විසින් සලකන භාණ්ඩ රාශියක් පිළිබඳ තොරතුරු ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවනවා. මේ ලැයිස්තුවට ක්‍රීඩා භාණ්ඩ හා විශේෂයෙන් 'බෝනික්කන්' කිහිප දෙනෙකු ද ඇතුළත්. වසර 100කට අධික ඉතිහාසයක් තිබෙන 'රොබට්' නම් බෝනික්කා ඒ අතරින් ඉදිරියෙන්ම සිටිනවා. සාමාන්‍ය කුඩා දරුවෙකුගේ ජීවමාන ප්‍රමාණයෙන්ම නිමවා, සැබෑ ඇඳුම් ආයිත්තම්වලින් සරසා ඇති මේ බෝනික්කා වටා ගෙතුණු අද්භූත ප්‍රවාදය ලොමු ඩැහැගැන්වෙන තරමේ එකක් වෙනවා.

කළු පැහැ ඇස් හා සිදුරු කරන ලද කම්මුල් සහිත රොබට්, විශාල ඇස් හා දිගුකරගත් දිවක් සහිත කුඩා සුනඛයෙකු ද අත දරා සිටිනවා. මේ නිසා මොහුට ලැබී තිබෙන්නේ අමුතුම පෙනුමක්. මේ පෙනුමම කුඩා දරුවන් භීතියට පත් කරන්නට සමත්. මේ බෝනික්කා රැඳී සිටි ස්ථාන කිහිපයකම සිදු වූ අවාසනාවන්ත සිදුවීම් දාමයක් නිසා, ඔහු ශාපලත් අයෙක් බවට බොහෝ දනා විශ්වාස කරනවා.

රොබට් ගේ උපත
රොබට් නම් බෝනික්කා නිෂ්පාදනය කරනු ලබන්නේ 1904 වසරේ ස්ටේෆ් නම් විසිතුරු හා ක්‍රීඩා භාණ්ඩ නිපදවන ජර්මානු සමාගමක් මඟිනුයි. රිචඩ් ස්ටේෆ් නම් තැනැත්තෙකුට අයත් එය එම වසරේ දී කුඩා දරුවන් සඳහා වූ බෝනික්කන් තැනීම ආරම්භ කළ අතර, රොබට් එසේ තනන ලද මුල්ම බෝනික්කෙකු වෙනවා. කෙසේ නමුත් මේ බෝනික්කා අලෙවි කිරීම සඳහා නිපැයූවක් නොවන අතර, කුඩා දරුවන් ආකර්ෂණය කරගනු වස්, සිය වෙළඳසලෙහි ප්‍රදර්ශනය සඳහා තැබීම සඳහා නිපැයූවක්.

ජර්මනියේ දී නිපැයූ රොබට් නම් බෝනික්කා ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කී වෙස්ට්හි විසූ රොබට් යූජින් ඔටෝ නම් දරුවා අතට පත් වීම මෙන්ම, එයට 'අද්භූත බලයක්' ලැබීම පිළිබඳවත් විවිධ කතා පැතිරී තිබෙනවා. ඉන් එක් කතාවකට අනුව ඔටෝ පවුලට සේවය කළ එක් බහමාස් ජාතික තරුණියක මෙම බෝනික්කා මිල දී ගෙන, එයට 'වූඩූ' නම් සූනියමක් කවා, මෙම පවුලට තෑගි දී තිබෙන්නේ තමන්ට් සිදු වූ සිත් රිදවීමකට පලි ගැනීම සඳහා යි. තවත් කතාවකට අනුව මේ බෝනික්කා රොබට් ඔටෝගේ මුත්තණුවන් විසින් ජර්මනියේ දී මිල දී ගෙන ඔහු හට තෑගි දී තිබෙනවා. කෙසේ හෝ වේවා තමන්ට ලැබුණු මේ ත්‍යාගය පිළිබඳව කුඩා රොබට් ඉතා සතුටට පත් වුණු අතර ඔහු එය තමන් යන සෑම තැනකම ගෙනයන්නටත්, එයට තමන් විසින් භාවිතා කළ ඇඳුමක් අන්දවන්නටත් ක්‍රියා කළා.

කෙටි කලෙක දීම රොබට් වීන් මෙම බෝනික්කා තමන්ගේම ප්‍රතිරූපකයක් ලෙස සලකන්නට වුණා. ඔහු බෝනික්කා හට 'රොබට්' යනුවෙන්ම ඇමතූ අතර, තමන්ට ලැබෙන දේ ඒ සමග 'බෙදාගන්නටත්' තමන්ගේ ප්‍රශ්න ඒ සමග 'සාකච්ඡා කරන්නටත්' පටන්ගත්තා. මේ නිසා ඇත්තෙන්ම එය යම් ප්‍රමාණයක 'ජීවමාන' වස්තුවක් සේ සලකන්නට ඔටෝ පවුල ක්‍රියා කළේ සිය පුත්‍රයාගේ සිත සැනසීම සඳහා යි.

ගැටළු ඇරඹෙයි
සිය බෝනික්කා හට කුඩා රොබට් ඔටෝ කෙතරම් ආදරය කළේ ද යත් සිය නිවසෙහි එක් තැනක ඔහු ඒ වෙනුවෙන්ම කාමරයක් පිළියෙල කරනවා. මෙහි බෝනික්කා වෙනුවෙන් ගෘහ භාණ්ඩ ද තැබූ ඔහු 'ඔහු' හට සෙල්ලම් කිරීම සඳහා ක්‍රීඩා භාණ්ඩ ද තබනවා. මේත් සමගම ඔටෝ නිවසෙහි විවිධාකාරයේ අමුතු සිදුවීම් සිදුවන්නට පටන්ගන්නවා. එම නිවසෙහි විවිධ භාණ්ඩ කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව එක් වරම එහෙ මෙහෙ 'ගමන් කිරීමට' පටන්ගත් අතර, රොබට් ඔටෝ පවසා සිටියේ මේවා සිදුකරන්නේ රොබට් නම් බෝනික්කා බව යි.

ඔටෝ පවුල මුල දී උක්ත සිද්ධීන් හුදු අහම්බයන් ලෙස සලකා, ඒවා අමතක කරනු ලැබුවා. එමෙන්ම ඔවුන් සිතුවේ මේවා රොබට් ඔටෝ විසින් සිදුකරන ක්‍රීඩාවකම කොටසක් බව යි.

කාලයගේ අවෑමෙන් චිකාගෝ විශ්වවිද්‍යාලයයට ඇතුළු වූ රොබට් ඔටෝ එහිදී හොඳින් අධ්‍යාපනය හදාරා, වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා නිව්යෝක්හි කලා සිසුන්ගේ ලීගයට ඇතුළු වෙනවා. අනතුරුව පැරීසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයයට අනුයුක්ත වූ ඔහු හට සිය අනාගත බිරිය වන ඈන් හමුවනවා. ඇය හා විවාහ වූ ඔහු කලකට පසු නැවතත් කී වෙස්ට්හි, ඊටන් වීදියේ අංක 534හි පිහිටි සිය නිවසට පැමිණෙනවා. රොබට් ඔටෝ විසින් එය හඳුන්වන ලද්දේ 'කලාකරුවාගේ නිවස' ලෙස යි.

මේ වන විටත් රොබට් නම් බෝනික්කා උක්ත නිවසෙහි තමන්ට වෙන් වූ කාමරයෙහි නිරුපද්‍රිතව සිටියා. කෙසේ නමුත් මේ වන විට රොබට් ඔටෝ වැඩිහිටියෙකුව සිටි නිසා ඔහු එම බෝනික්කා කුඩාකල මෙන් එහෙ මෙහෙ රැගෙන ගියේ නැහැ. මේ නිසා ඔහු හට නිවසෙහි උඩ තට්ටුවෙ ස්ථානයක් ස්ථිරවම වෙන් වුණා. මෙම ස්ථානයේ රොබට් නම් බෝනික්කා සිටිනු වීදියෙහි ඔබ මොබ යන කාටත් පැහැදිලිව පෙණුනා.

මඳ කාලයකට පසු බට අළුත්වැඩියා කරන්නට පැමිණි කාර්මිකයෙකු හට 'කලාකරු නිවස' තුළින් කුඩා දරුවෙකු සිනහ වෙන හඬක් ඇසුණා. කෙසේ නමුත් ඒ මොහොත වන විට කිසිවෙකුත් නිවසෙහි සිටියේ නැහැ. මෙය සොයාබැලීමේ දී ඔහු නිරීක්ෂණය කරන්නේ බෝනික්කා තමන් සිටින් පැත්ත මාරු කර ඇති බව යි. එමෙන්ම බෝනිකාගේ උකුළ මත තිබූ ක්‍රීඩා භාණ්ඩ එක් වරම පසෙකට විසි වී යනු තමන් දුටු බැව් ඔහු ප්‍රකාශ කළා. ඒ බෝනික්කා විසින් එය 'විසිකරන' අයුරක් හුවා දක්වමිනුයි.

මේ අතර ඊටන් වීදියේ ඇවිද යන්නන් හැකිතාක් රොබට් නම් බෝනික්කා ගෙන් වසන් වී යන්නට උත්සාහ කළා. ඒ එක් වරම එය චලනය වී සිය ඉරියව් වෙනස් කරනු කිහිප දෙනෙකු විසින් දැක තිබූ නිසා යි. එමෙන්ම තවත් කිහිප දෙනෙක් බිය වී තිබුණේ මෙම බෝනික්කා ඔවුන් දෙස ඇස් හරවා බැලූ බවට හැඟුණු නිසා යි.

ඔටෝ නිවසට පැමිණි අමුත්තන් කිහිප දෙනෙක් හටම කිසිවෙක් එහි තරප්පු පෙල ඔස්සේ පහළට පැමිණෙනු ඇසී තිබුණා. එමෙන්ම ඇස් අදහාගත නොහැකි අන්දමින් එහි වූ භාණ්ඩ එහෙ මෙහෙ විසි වනු දැක තිබුණා.

රොබට් නම් බෝනික්කා හට නව හිමිකරුවෙක් හිමි වෙයි.
1974 වසරේ දී රොබට් ඔටෝ මියයනවා. මේ වන තුරුත් රොබට් නම් බෝනික්කා සිටියේ ඔහු සන්තකයේ යි. ඔහුගෙන් අනතුරුව ඔටෝ ජීවත් වූ නිවස මිල දී ගත්තේ මර්ටල් රොයිටර් නම් තැනැත්තියක් විසිනු යි. මේ නිවසත් සමග ඇයට එහි වූ ගෘහ භාණ්ඩ ඇතුළු තවත් විසිතුරු භාණ්ඩ රාශියක හිමිකම ලැබුණු අතර, මේ අතරට රොබට් නම් බෝනික්කා ද ඇතුළත් වුණා.

මර්ටල් බෝනික්කා සමග වසර 20ක් ජීවත් වූ අතර 1980 දශකයේ දී ඇය නව නිවසකට යද්දී මේ බෝනික්කා ද රැගෙන ගියා. මේ කාලය තුළ දී මේ බෝනික්කාගේ අසාමාන්‍ය චර්යාවන් ඇය ද අත්විඳි අතර අවසානයේ ඇය එය ඊස්ට් මාටෙලෝ කෞතුකාගාරයට භාරදුන්නේ එහි අද්භූත බලයක් ඇති බව පවසමිනු යි. කෙසේ නමුත් කෞතුකාගාරයේ පාලකයින් ඇගේ විශ්වාසය අවඥාවෙන් බැහැර කළා. නමුත් ඔවුන් රොබට් නම් බෝනික්කා ප්‍රදර්ශනය සඳහා නොතැබූ අතර, ගබඩා කාමරයක තබා තිබුණා.

රොබට් නම් බෝනික්කා කෞතුකාගාරයට ලැබුණු බැව් ආරංචි වීමත් සමග ඒ පිළිබඳ තතුදත් බොහෝ දෙනා එහි පැමිණියේ එය දැකබලාගන්නට යි. මේ නිසා වහාම එය ප්‍රදර්ශනය සඳහා තබන්නට එහි කාර්යයමණ්ඩලයට සිදුවුණා. ඉන් අනතුරුව කිසිවෙකුත් ඒ හා සබැඳි අසාමාන්‍ය සිද්ධියක් ඍජු ලෙස අත්වින්දේ නැහැ. කෙසේ නමුත් එය නිපදවා වසර 115ක් ගත වූ 2019 වසරේ දීත් සමහරක් දෙනා තමන් රොබට් නම් බෝනික්කා අසල දී කැමරා ක්‍රියා විරහිත වීම හා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිසිලෙස ක්‍රියාත්මක නොවීම වැනි අසාමාන්‍ය සිද්ධීන්වලට මුහුණ පෑ බව පවසනවා

අන්තර්ජාලයෙන් සකස් කල කරුණු ❤දිලා
අත්භූත බෝනික්කා 🙄😟😯 රොබට් 😱 👻 (Robert) - Your Choice Way

අත්භූත බෝනික්කා 🙄😟😯 රොබට් 😱 👻 (Robert) - Your Choice Way

අත්භූත බෝනික්කා 🙄😟😯 රොබට් 😱 👻 (Robert) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අත්භූත බෝනික්කා 🙄😟😯 රොබට් 😱 👻 (Robert) අත්භූත බෝනික්කා 🙄😟😯 රොබට් 😱 👻 (Robert) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2021 Rating: 5

0 comments:

Post a Comment