උඳුගොව්වා කෑමට සිංහල වෙදකමේ එන සාර්ථක අත් බෙහෙත් 18ක් මෙන්න (Udugowwa)

උඳුගොව්වා කෑමට සිංහල වෙදකමේ එන සාර්ථක අත් බෙහෙත් 18ක් මෙන්න (Udugowwa) - Your Choice Way
🌿 අපේ සමාජයේ වෙසෙන බොහෝ දෙනා තමන්ගේ රූපලාවන්‍ය පිළිබඳ විශේෂයෙන් සැලකිල්ලක් දක්වනවා. එවන් තත්ත්වයක් තිබියදී චර්ම රෝගයක් වැළඳුනොත් මොකක් වෙයිද ? බොහෝ විට මානසික වශයෙන් පීඩාවට පත් වේවි.

🌿 චර්ම රෝග ගණයට ගැනෙන උඳුගොව්වන් කෑම (Alopecia Areata) නමැති හිසෙහි කැළැල් ඇතිවීමේ රෝගි තත්ත්වය නිසා බොහෝ විට බොහෝ දෙනා අපහසුතාවට පත් වෙනවා.

🌿 උඳුගොව්වන් කෑම කියන්නෙ කුමනාකාරයේ රෝගී තත්ත්වයක්ද ? ඒ සඳහා බලපාන්නෙ කුමනාකාරයේ හේතු සාධකද ? මේ සඳහා ප්‍රතිකාර තිබෙනවාද ?

✅ උඳුගොව්වන් කෑම කියලා කියන්නේ සතෙක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්ද ?
👉 සමාජයේ වෙසෙන බොහෝ දෙනා හිතන් ඉන්නේ හිසේ තිබෙන කෙස් ගස් උඳුගොව්වා කියන සතෙක් කෑම නිසා ඇතිවන රෝගී තත්ත්වයක් විදිහටයි.

👉 ඒත් ඒක වැරැදි අදහසක්. මේ රෝගය ඇති වන්නේ සතෙක් නිසා නෙමෙයි. විවිධ ශාරීරික හේතු නිසා ඇතිවන චර්ම රෝග තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

✅ එසේ නම් උඳුගොව්වන් කෑම කියලා කියන්නේ ?
👉 වෛද්‍ය විද්‍යාවේදී උඳුගොව්වන් කෑම කියලා කියන්නෙ Alopecia Areata කියන තත්ත්වයයි. ඒත් මේ රෝගය වැළඳෙන ක්‍රමය මොකක්ද කියලා මෙතෙක් සොයාගෙන නෑ.

👉 ඒක විෂබීජයක් නිසාවත්, සතෙක් කෑම නිසාවත් ඇතිවන රෝගයක් නෙමෙයි. එහෙම සිතීම මිථ්‍යාවක්. ඒත් මේ රෝගී තත්ත්වය වැළඳීම සඳහා හේතු කාරණා කිහිපයක් බලපාන බවට සැක කෙරෙනවා.

✅ එම හේතු කාරණා මොනවාද ?
👉 ශරීර අභ්‍යන්තර රෝග (immunological) නිසා මෙවැන්නක් ඇතිවන්න ඉඩ කඩ ඇතැයි සිතන්න පුළුවන්. ඒ වගේම ජාන සම්බන්ධ (Jentic) රෝගයක් විදිහටත් මෙය ඇතිවිය හැකි බව සමහරු පවසනවා. මීට අමතරව ඒ ඒ පුද්ගලයන්ට බලපාන මානසික පීඩාකාරී තත්ත්වයන් හේතු කරගෙන මේ චර්ම රෝගය ඇතිවිය හැකියි. රෝගී තත්ත්වයක් නිසා හෝ සමීපතමයකුගේ මරණයක් නිසා හෝ වෙනයම් කරුණක් හේතු කරගෙන ඇතිවන මානසික ව්‍යාකූලත්වය, ආතතිය නිසා උඳුගොව්වන් කෑම ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

✅ මේ රෝගය බෝ වන චර්ම රෝගයක්ද ?
👉 කොහෙත්ම නෑ. වෙනත් කෙනෙක්ගෙන් තවත් අයෙක්ට මේ රෝගය බෝ වීමේ ප්‍රවණතාවක් ඇත්තෙ නෑ.

✅ උඳුගොව්වා කෑමට අත් බෙහෙත්
01. එළබටුකොළ යුෂ, මීපැණියෙන් ආලේප කරන්න. ඉදුණු එළබටු ගෙඩි යුෂ මී පැණියෙන් අනා ගෑම ද යෝග්‍යයි. එළබටු ඇට දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

02. ජාපාල කොළ උඳුගොව්වා කෑ තැන අතුල්ලා බාඳුරා දළු අඹරා තලතෙලින් අනා ගාන්න.

03. ඔළිඳ ඇට හා එම මුල් එකට අඹරා උඳුගොව්වා කෑ තැන ගාන්න. ඔළිද ඇට මද මී පැණියෙන් අඹරාගෑම ද සුදුසුයි.

04. නුග දළු කේසර බැබිල දළු සමව ගෙන අබතෙල් සමඟ අනා පොඩිකර රසකිඳ වැලේ ඉස්ම හා විනාකිරි සමඟ එක්කොට අනා අව්වේ කකාරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය සුදුසුයි.

05. කඳුලැස්ස දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

06. දේවධාර අමු රසකිඳ ඉස්මෙන් අඹරා ගාන්න.

07. නියඟලා අල අරලිය කොළ ඉස්මෙන් අඹරා ගාන්න.

08. වියළි ඉඟුරු තල තෙලෙන් අඹරා නැවත අත්තන කොළ යුෂ වලින් අඹරා ගාන්න.

09. නියඟලා අල බදුල්ල ඇට, කළුතල සමව ගෙන කරවිල කොළ ඉස්මෙන් අඹරා ගාන්න.

10. දුම්මැල්ල කොහොඹ කොළ එක පමණ ගෙන කොටා මිරිකා යුෂ ගෙන දින කිහිපයක් උඳුගොව්වා කෑ තැන ආලේපය සුදුසුයි.

11. වතු කහඹිලියා අමු කහ එකට කොටා මිරිකාගත් ඉස්ම දින කිහිපයක් එක දිගටම එම ස්ථානයේ ගාන්න.

12. දේවධාර කැබැල්ලක් දෙහි යුෂවලින් ගලගා කතා නොකර දින 14ක් උඳුගොව්වා කෑ ස්ථානයේ මදක් සූරා ගාන්න. මෙහිදී සූරන්නට අමු කොස් කොළයක් හෝ කොටකිඹුලා කොළයක් ගත හැකිය.

13. අමු රසකිඳවැල් කැබැල්ලකින් කැපූ මුහුණතින් උඳුගොව්වා කෑ තැන පිරිමදින්න. මෙය සුවවනතෙක් දින කිහිපයක් කිරීම වටී.

14. අමු පොල්කොළ පිළිස්සුණු අළු තල තොලෙන් අඹරා එහි ගාන්න.

15. ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් උරච්චි කර රෝගියා රාත්‍රී නින්දට ගිය පසු කතා නොකර ආලේප කිරීම.

16. හබරල පිත්තට හුණු ආලේප කර උඳුගොව්වා කෑ ස්ථානයේ ගාන්න.

17. සිවිය දළු ඉඟුරු දළු තලතෙලෙන් කකාරා ගාන්න.

18. ගැට තුඹ කොළ දුම්කොළ සමඟ අඹරා හුණු මිශ්‍ර කර උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය යෝග්‍යයි.
🌿 දින කිහිපයක් බෙහෙත් කර හිස කෙස් ඒමට ගත් පසු කුරුම්බා ලොඳ රතුලූනු සමඟ අඹරා ගාන්න.

🌿 දැලි පෙත්තක් දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

🌿 දෙහි ගෙඩියක් තුළට පල්මාණික්කන් දමා දින 7ක් තැම්බෙන්න හැර පසුව එය අඹරා ගාන්න.

✅ මෙවැනි අත්බෙහෙත් ගැනීමේදී විශේෂයෙන් සමහර අයට ආසාත්මිකතා ඇතිවිය හැකියි. එවිට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන්ම නවතා සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව මතක තබාගන්න.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
උඳුගොව්වා කෑමට සිංහල වෙදකමේ එන සාර්ථක අත් බෙහෙත් 18ක් මෙන්න (Udugowwa) උඳුගොව්වා කෑමට සිංහල වෙදකමේ එන සාර්ථක අත් බෙහෙත් 18ක් මෙන්න (Udugowwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 24, 2021 Rating: 5

0 comments:

Post a Comment