ගුණ සුවද දෙකම පිරි විශ්මිත හෙල ඔසුව ඉගුරු පියලි (Iguru Piyali)

ගුණ සුවද  දෙකම පිරි විශ්මිත හෙල ඔසුව ඉගුරු පියලි (Iguru Piyali) - Your Choice way
✅ ඉගුරු පියලි කියන නම ඇතැම් අයට නුහුරු නමක් වුණත් බොහෝ ගැමියන්ට එය ඉතා හුරුපුරුදු නමක්. බුලත් විට හපන්න පුරුදු වෙලා ඉන්න බොහෝ පිරිසකට නැතුවම බැරි දෙයක් තමයි ඉගුරු පියලි කියන්නේ. ආයුර්වේදයේ Zingiberace කුල හෙවත් හරිද්‍රා කුලයට අයත් ශාකයක් වන ඉගුරු පියලි Kaempferia Galahga නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා.

⭕ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සුගන්ධ වට්ටා, චන්දු මාලිකා, ගන්ධ මූලිකා, ෂටී යන අන්වර්ථ නාමයන්ගෙනුත් මේ ශාකය හඳුන්වනවා. දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉගුරු පියලි සහ හරන් කහ යන ශාක දෙකම ෂටි කියල හඳුන්වනවා. ශ්වසන ව්‍යුහ රෝගවලට ඉගුරු පියලි සහ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝගවලට හරන් කහ ඉපැරැණි දේශීය වෛද්‍යවරු අනුමත කර තිබෙනවා.

⭕ ඉගුරු පියලි කියන්නේ පොළොව මතුපිට වර්ධනය වන පුංචි පැළෑටියක්. එකිනෙකට පත්‍ර සමීපව කැටි වෙච්ච ඉගුරු පියලි ශාකයේ පත්‍ර ඕවලාකාරයි. සුදු සහ රෝස පාටට හුරු මලක් හටගන්න මේ ශාකයේ අල ඉගුරු අලය වගේම පොළොව යට වර්ධනය වනවා. මේ අලය විතරක් නොවෙයි ඉගුරු පියලි කොළයත් ඉතාම සුගන්ධවත්. මේ ශාකය අපේ මේ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව රෝග රැසකට ඔසු ගුණ සලසන අද්විතීය ඖෂධීය ශාකයක්.

⭕ ඉගුරු පියලි ඖෂධයේ ඇති ඔසු ගුණ පිළිබඳ සඳහන් කළොත් උණ, අතීසාරය, කැස්ස, ඇදුම වැනි රෝග ඇතුළුව තවත් රෝග රාශියක් සුව කරන්නත් ගුණදායකයි. සුව නොවන තද කැස්සක් හටගත් අවස්ථාවක ඉගුරු පියලි අල කැබැල්ලක් පිරිසිඳු කරල අරගෙන හප හපා ඉන්නව නම් ඕනෑම තද කැස්සක්, කල්ගත වූ කැස්සක් වුණත් සුවකරගන්න පුළුවන්.

⭕ ආයුර්වේදයේ වටිනා ග්‍රන්ථ අතර චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව, අෂ්ඨාංග හෘද සංහිතාව වැනි ග්‍රන්ථවලත් මේ සුවිශේෂී ඖෂධයේ ගුණ පිළිබඳ සඳහන් වෙනවා. චරක සංහිතාව අනුව, ඉගුරු පියලි හික්කාව නැති කරවන සුවිශේෂී ඔසුවක්. ඒ වගේම ඇදුම නිට්ටාවටම සුව කරන බෙහෙතක්.

⭕ බුලත් විට රසවත් කරන්නත් සුවඳවත් කරන්නත් යොදා ගන්නා ඉගුරු පියලි ශරීරයේ බාහිර සහ අභයන්තරික රෝග රැසකට සුවය සලසන ඖෂධයක් කියල ධන්වන්තරී නිඝණ්ඩුවේත් සඳහන් වෙනවා. ඉගුරු පියලි බාහිර ඔසුවක් ලෙස භාවිත කිරීමේදී ශරීරයේ ඉදිමුම් වේදනා නැති කරන්නත්, මුඛ රෝග, දන්ත රෝග නැති කරන්නත්, මුඛය සුගන්ධවත් කරන්නත් ඉතා යෝග්‍ය ඔසුවක්. අභ්‍යන්තර රෝග පිළිඔඳ කතා කළොත් හික්කාව, කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සුව කරන්නත් මේ ඔසුව ඉතා සුදුසුයි.

⭕ ඉගුරු පියලි පත්‍ර සහ අල හොඳින් වියළා දුම් කබලකට දමා දුම් අල්ලනව නම් (දුම ඉරීමත් කරනවා නම්) හික්කාව මුළු මනින්ම සුවකර ගන්න පුළුවන්. ඒ වගේම හෙම්බිරිස්සාව කැස්ස වැනි තත්ත්වවලදී ඉගුරු පියලි හොඳින් වියළා කුඩු කරගෙන මීපැණි ස්වල්පයක් එක්ක මිශ්‍රකර වරකට මදටිය ඇටයක් තරම් ගුලියක් ආහාරයට ගන්න. මෙය මී පැණිත් සමග ආහාරයට ගන්නවා නම් ඉතා සුදුසුයි. ඒ වගේම ඉගුරු පියලි වියළා කුඩුකරගෙන තල තෙල්වලට දමා ළිපේ රත්කර තෙලක් හදාගෙන පපුවේ නළලේ ආලේප කරනව නම් කැස්ස, හෙම්බිරිස්සාව, ඇදුම වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග මුළුමනින්ම සුවතට ගන්න පුළුවන්. ඒ වගේම මේ තෙල තුවාලවල ආලේප කරනව නම් තුවාල ඉක්මණින් සුවකරගන්න පුළුවන්. හන්දි ඉදිමුම්, හන්දි ආශ්‍රිත රතු වීම් හෝ ආතරයිටීස් වැනි තත්ත්වයකදී මේ තෛලය මඳක් රත්කර පුළුන්වල පොගවා හන්දිවල ඒ පුළුන් තබා බඳින්න. මේ ඖෂධීය පිළියම එවැනි රෝගාබාධ සුවකර ගැනීමට ඉතා සුදුසුයි.

⭕ යටි පත්ලේ කටුවක් ඇනී වේදනා ගෙන දෙන අවස්ථාවකදී ඒ කටුව එළියට අද්දවා තුවාලය සුවකරවීමටත් මේ අද්වීතීය ඖෂධය භාවිතා කරන්න පුළුවන්. ඉගුරු පියලි කොළ වතුරත් සමග මිශ්‍රකර හොඳින් බෙහෙත් ගලේ අඹරලා යටි පත්ලේ කටුව ඇනුණ ස්ථානයේ ඒ ඇඹරුම් ද්‍රාවණය තබා බඳින්න. එවිට යටි පත්ලේ ඇති වේදනා දෙන, පැසවීමට ලක්කළ කටුවක් වුණත් ඉක්මනින් ශරීරයෙන් පිටතට ඇදෙනවා. අතීත වෙදැදුරන් මෙම ප්‍රතිකර්මය බොහෝ අවස්ථාවලදී භාවිතාකර තිබෙනවා. යටිපත්ලේ ඉදිකටුවක් වැනි මලකඩ විස සහිත යමක් ඇනුණොත් ඉගුරු පියලි කොළ ස්වල්පයක්, යකඩ කුඩු ටිකක් (වෙදැදුරන්ගේ උපදෙස් පරිදි ගත යුතුය). පෙරුම්කායම් සමග මිශ්‍ර කර මහපටැගිල්ලේ කෙළවර ටිකක් හම ඉවත්කර කපා බැඳිය යුතුයි. යටි පතුලේ ඇනුණු ඉදිකටු හෝ මලකඩ යමක් යටිපත්ලෙන් පිටතට ඇද ගැනීමට එය කදිම ඖෂධීය උපක්‍රමයක්.

⭕ ඉස්හොරි මර්දනය කිරීමටත් ඉගුරු පියලි ඖෂධය ඉතා ගුණදායකයි. අමු ඉගුරුපියලි අල ස්වල්පයක් ගෙන හොඳින් කොටා ඇල්දිය ජෝගුවක එය හොඳින් දියකර දිනපතා ස්නානය කිරීමට මිනිත්තු කිහිපයකට පෙර එයින් හිස සෝදන්න. දිනපතා මෙම ඖෂධීය සත්කාරය හිසට සිදු කළොත් හිස්හොරි නැති වෙනවා. උකුණන් නැති වෙනවා. ඒ වගේම දීප්තිමත් දිගු කළු කෙස් කළඹක් ලබන්නත් මෙය අගනා ක්‍රමවේදයක්.

⭕ සෙම්ප්‍රතිශ්‍යාව, පීනස වැනි තත්ත්වයන් නිසා උදෑසන අවදි වන අවස්ථාව සහ රාත්‍රී නින්දට යන අවස්ථාව ඔබට දැඩි වෙහෙසකාරී පීඩාවක් ගෙනදෙනවා. නාසය හිරවෙනවා. සොටු දියර ගලනවා. එවන් පීඩාකාරී තත්ත්වයකදී ඉගුරු පියලි සහ තල තෙල් මිශ්‍රව සාදාගත් තෙල් ටිකක් පුළුන් කැබැල්ලකට පොගවා නාසයට තබා ඉහළට අඳින්න. දින දෙකක් තුනක් මෙය කළොත් ඉක්මන් සුවය ගෙන දේවි.

⭕ දේශීය ඖෂධ බොහෝමයක් නිපදවීමේදි (අරිෂ්ට, තෛල, චූර්ණ) ඉගුරු පියලි ඖෂධයත් එයට භාවිතා කරනවා. එයට හේතුවක් තමයි ඒ ඖෂධයට සුගන්ධවත් බවක් ලබා ගැනීමට ඒ වගේම ඖෂධීය ගුණයකුත් එහි පවතින නිසා. බොහෝමයක් කෂාය වර්ග සඳහාත් වෙදැදුරන් ඉගුරු පියලි ඖෂධය භාවිතා කිරීමටත් උපදෙස් ලබා දෙනවා. මේ ඖෂධයේ පවතින අධික සුගන්ධවත් බව නිසාම ඉතිහාසයේ විවිධ දේවල් සුගන්ධවත් කිරීමට ඉගුරු පියලි අල යොදාගෙන තිබෙනවා. එය අදටත් සුදුසුයි. අල්මාරියක රෙදි සුගන්ධවත් කිරීමට කපුරු වෙනුවට ස්වභාවික ඉගුරු පියලි කැබලි කිහිපයක් දමා තබන්න පුළුවන්.

⭕ මුඛය ආශ්‍රිත රෝග සුවකර ගන්නත් සුදුසු යෝග්‍යම ඔසුවක් තමයි ඉගුරු පියලි කියන්නේ. කටේ තුවාල හටගත් විට, සෙම්ගෙඩි හටගත් විට, විදුරු මස් දියවන විට, මුඛය දුර්ගන්ධ විට ඉගුරු පියලි ස්වල්පයක් තළා වතුර වීදුරුවකට දමා හොඳින් කට සෝදන්න. කිහිප වරක් මෙය කළොත් එය සියලූම මුඛාශ්‍රීත රෝගවලට ඉක්මන් සුවයක් ගෙන දේවී. ඒ වගේම ශරීරයේ ඉදිමුම් වේදනා ස්ථානවල ඉගුරු පියලි අල ටිකක් කබලේ බැද තළලා ආලේප කළොත් වේදනා, ඉදිමුම් සුවකරගන්නත් පුළුවන්.

⭕ දකුණු ඉන්දියාව, මලයාව, පිලිපීන දූපත්වල, මැලේසියාව, තායිලන්තය වැනි රටවල රෝපණය වන ඉගුරු පියලි ආහාර පිසීමේදී රස කාරකයක් ලෙසත් භාවිත කරනවා. කැස්ස, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව වගේ සෙම් රෝග අවස්ථාවලදී ඉගුරු පියලි ස්වල්පයක් වියළා හොඳින් කුඩු කර ඉගුරු පියලි කුඩු තේ හැන්දකට සීනි හෝ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර ඒවා උණූ වතුර වීදුරුවකට දමා හොඳින් කලවම් කර ලූණු ස්වල්පයකුත් එයට මිශ්‍රකර පානය කරන්න. මේ ඖෂධය දින කිහිපයක් උදේ සවස පානය කළොත් ඒ සෑම රෝග තත්ත්වයකටම ඉතාම සුවදායකයි.

✅ බඬේ කැක්කුම, අජීර්ණය වැනි රෝග පීඩාවන් නිසා ඇතිවන ආමාශගත රෝග සියල්ලක්ම සුවකර ගන්නත් ඉගුරු පියලි ගුණදායකයි. ආමාශගත රෝගවලින් පෙළෙන අවස්ථාවලදී ඔබ කළ යුත්තේ ඉගුරු පියලි අල කැබැල්ලක් හපා යුෂ ගිලීම පමණයි. එවිට උදරාබාධ සුව වනවා වගේම අජීර්ණ තත්ත්වයත් සමනය වනවා.

⭕ ශරීරයේ විවිධ හේතු නිසා විසර ගෙඩි හටගන්නා අවස්ථා තිබෙනවා. එවිට ඉගුරු පියලි කැබැල්ලක් හොඳින් තළා තල තෙල් සමග මිශ්‍ර කර විසර ගෙඩිවල ආලේප කරන්න. මඳ වේලාවක් ගිය විටදී ඒ විසර ගෙඩි පුපුරා සැරව ඉවත් වී යනවා. ඉන් පසු තුවාලය ඉක්මණින් සුවතට හැරේවී.

⭕ අධික ලෙස වැඩ කිරීම නිසා හෝ වෙහෙස වීම නිසා හිස කැක්කුම් හටගන්න පුළුවන්. එවිට ඉගුරු පියලි කොළ ස්වල්පයක් හොඳින් තළා එහි ඉස්ම රෙදි කැබැල්ලකට පොගවා නළලේ ආලේප කරන්න.

⭕ පුංචි දරුවන්ට සෙම් රෝගත් සමග කනේ කැක්කුමක් හටගැනීමේ අවධානමක් තිබෙනවා. එවිට සාදික්කා ඇට, ඉගුරු පියලි, උණු වතුරින් අඹරාගෙන කන වටේ ආලේප කරන්න. ක්ෂණිකව කනේ වේදනාව සුවවී දරුවාට සහනයක් දැනේවි.

⭕ වෙහෙස මහන්සි වී රැකියා කරන්නට සහ විවිධ ක්‍රීඩාවල නියැළෙන්නන්ට මස් පිඩු වේදනා ඇති වෙනවා. එවිට ඉගුරු පියලි අල ස්වල්පයක් හොඳින් තළා එය හාල් පානු වතුර වීදුරුවකට මිශ්‍ර කර රැයක් වසා තබා දිනපතා උදෑසන වේදනා තැන්වල ඒ ඖෂධීය දියරය ආලේප කරන්න. ශරීරයේ මස්පිඩු වේදනා සමනය වීමට දින කිහිපයක් අඛණ්ඩව මෙය කිරීමත් වැදගත්.

⭕ කෑම අරුචිය විටදී මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සූදුරු, මහදුරු, කොත්තමල්ලි සමග ඉගුරු පියලි ස්වල්පයක් (සියල්ල සමව ගන්න) මිශ්‍රකර එය මුට්ට්යක දමා වතුර පත දෙකක් දමා එය පත එකකට සිඳුවා මිරිස් හොද්දක් වගේ සාදා ගන්න. එයට ලූණු, සියඹලා, සුදුලුනු ස්වල්පයක් බැගින් මිශ්‍ර කිරීමත් ගුණදායකයි. එසේ සාදාගත් ඖෂධීය උකු ද්‍රාවණය ආහාරයට ගන්නවා නම් ඔබට කෑම අරුචිය නැතිකර කෑම රුචිය වර්ධනය කරන්නත් එය ගුණදායකයි. වෙළඳපො‍ළේ දක්නට ලැබෙන බොහෝමයක් දේශීය ඖෂධ නිෂ්පාදන වල ඉගුරු පියලි ඖෂධය සම්පාදිතයි. චූර්ණ, අරිෂ්ට ආදි විවිධ ඖෂධ වර්ගවල මේ අද්විතීය ඖෂධයේ ගුණ සහ සුවඳ අන්තර්ගතයි.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගුණ සුවද දෙකම පිරි විශ්මිත හෙල ඔසුව ඉගුරු පියලි (Iguru Piyali) ගුණ සුවද දෙකම පිරි විශ්මිත හෙල ඔසුව ඉගුරු පියලි (Iguru Piyali) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2021 Rating: 5

0 comments:

Post a Comment