රෝග රැසකට සුව ගෙනෙන ගම්මාලු (Gammalu [Pterocarpus Marsupium])

රෝග රැසකට සුව ගෙනෙන ගම්මාලු (Gammalu [Pterocarpus Marsupium]) - Your Choice Way
✅ ශ්‍රී ලංකාවේ පහතරට ප‍්‍රදේශයේ විශේෂයෙන් ම වියළි හා අතරමැදි කලාපයේ අඩි 3000 දක්වා උසින් හමුවන ගම්මාලු Pterocarpus Marsupium, තෙත් කලාපයේ ද හොඳීන් වගා කළ හැකි ශාකය කි. සාරවත් පසෙහි මෙන් ම ජලය එක් රැස් නොවන බෑවුම් සහිත පතන භූමිවල ඇති වියළි නිසරු පසෙහි ද ‘ගම්මාලු’ හොඳින් වැවේ. ඖෂධීය ගුණයෙන් අනූන ගම්මාලු බොහෝ රෝග සඳහා ගුණදෙන ඔසුවකි. දියවැඩියාව, මුත‍්‍ර රෝග, සමේ රෝග, අතීසාරය වැනි රෝග සමනය කිරීමෙහිලා සමත් ඖෂධීය ගුණයන් ගම්මාලු ශාකය සතුව ඇත. එසේම කෙසේ වැඩීමටත් අකලට හිසකෙස් පැසීමටත් ගම්මාලු කදිම ඔසුවකි. 

🌿 ගම්මාලු ශාකයෙහි පොත්ත කැපූ විට වෑස්සෙන රතු පැහැ කිරි දියවැඩියා රෝගයටත්, අධික රුධිර පීඩනයටත් කදිම ඔසුවකි. දැවමය වටිනාකමින් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද යුත් ගම්මාලු ඉතා ප‍්‍රයෝජනවත් ශාකයකි. ගන කහ අළු පොත්තකින් යුත් විශාල ගසක් ලෙස වැඩෙන ගම්මාලු ශාකයේ අතු බෙහෙවින් විහිදී ඇත. විශාල පත‍්‍ර, පති‍්‍රකා කොටස් පහකට, හතකට පමණ බෙදේ. පති‍්‍රකාවල අග‍්‍රය මද වශයෙන් හෝ හොඳින් පෙනෙනා අයුරින් හෝ දෙකට බෙදී තිබෙනු දැක ගත හැකිය. 

🌿 දිලිසෙන මතුපිටක් සහිත ගම්මාලු පත‍්‍රයන්හි පැහැදිලිව හා සමාන්තරව පිහිටි නාරටි රාශියක් ද වේ. ජූලි සිට සැප්තැම්බර් මාසය දක්වා ගම්මාලු ශාකයෙහි මල් හටගන්නා අතර ඒවා කුඩා කහ පැහැති මල් වේ. මේ කහ පැහැති කුඩා මල්, පොකුරු වශයෙන් අතු බෙදුණු මල් පොකුරක පිහිටයි.

🌿 ගම්මාලු සෙමෙන් වැඩෙන ශාකයක් බැවින් ගම්මාලු ශාකයේ ඵලහට ගැනීමට අවුරුදු 15 ක් පමණ ගතවේ. ගම්මාලු වගා කිරීමේදී වෘක්ෂයේ මුල්වලින් හට ගන්නා පැළ වලින් මෙන්ම බීජවලින් ද ගම්මාලු වගා කරගත හැකිය. ගම්මාලු පැළවලින් වගා කර ගැනීමේදී ගම්මාලු වෘක්ෂයේ මුල්වලින් හටගන්නා පැළ පරෙස්සමෙන් ඉවත් කොට බඳුන් ගත කිරීමෙන් පසුව බෝ කරගත හැකිය. ගම්මාලු බීජ මගින් වගා කර ගැනීමේදී අවුරුදු 20 කට වඩා වයසින් මේරූ වෙනත් ගම්මාලු ගස් කීපයකට මැදිව මනාව වැඩුණු ගසකින් ගම්මාලු ඵලය ලබා ගැනීමෙන් අනතුරුව එවැනි ඵල රෙදි හෝ ගෝනි මල්ලක දමා ගලා යන ජල පහරක පැය 48 ක් පොඟවා තවන් කර ගත යුතුය. නැතිනම් එසේ පැය 48 ක් පෙඟවූ ඵලය වටා ඇති පියාපත වැනි කොටස කපා, ඵලාවරණය සිදුරුකොට පැය 24 ක් ජලයේ පොඟවා වැලි තවානේ තවන් කරගත හැකිය.

🌿 තවානේ අඟල් 3 ක් පමණ උසට වැඩුණු පැළ බඳුන් ගත කොට මාස 9- 12 අතර කාලයක් රැක බලා ගැනීමෙන් පසු අඩි 25-25 පරතරය ඇතිව ක්ෂේත‍්‍රයේ සිටුවිය හැකිය.

✅ ගම්මාලු ගසේ ගුණ

🌿 ගම්මාලු අරටුව දෙහි යුෂින් ගල ගා ආලේප කිරීම තැලීම් හා උළුක්කුවලදී බෙහෙවින් සිදුවනවා සේ ම තැලීම් හා උළුක්කුවලදී එය කදිම සහනයක් ගෙන දෙන අත් බෙහෙත් ක‍්‍රමයකි. දත් කැක්කුම්වලදී ගම්මාලු ලාටු කැක්කුම දෙන දත මත තබා සැපූ විට වේදනාව සමනය වේ.

🌿 අතීසාරය සඳහා ගුණ දෙන ඔසු ගුණයක් ඇති ගම්මාලු ශාකයේ ලාටු සහ පොතු යොදාගත් කෂාය අතීසාරයේ දී පානය කිරීමට දීම හෙළ වෙදකමේ බහුලව සිදුවේ. කෙස් වැඩීමේ ශාක ඖෂධීය ගුණයක් ගම්මාලු සතුව ඇති අතර අකලට හිස කෙස් පැසීම ද පාලනය කිරීමට ගම්මාලු යොදා ගැනේ.

🌿 ගම්මාලු යොදා සාදා ගත් තෙල් හිස ගැල්වීම අකලට හිස කෙස් පැසීම පාලනය කරයි. එසේම අධික ලෙස මුත‍්‍ර පිටවීම පාලනය කිරීමෙහි හැකියාවක් ද ගම්මාලු සතුව ඇත. ගම්මාලු අරටුවෙන් සාදා ගත් කෂාය අධික ලෙස මුත‍්‍ර පිටවන රෝගීන්ට පානය කිරීම සඳහා දීම ද හෙළ වෙදකමේ දී බහුලව සිදුවේ.

🌿 'ගම්මාලු' අරටුවෙන් සාදා ගත් කෝප්පයක සිසිල් දිය දමා රැයක් තබා එය උදෑසනින් හිස්බඩ පානය කිරීම දියවැඩියාව පාලනය කිරීමට යෝග්‍ය වේ. සමේ රෝගවලදී ද ගම්මාලු බෙහෙවින් භාවිත කරන ශාකයක් වන අතර කුෂ්ඨ රෝගවලදී ගම්මාලු කොළ අඹරා ආලේප කිරීමෙන් සහනයක් ලැබේ.

විශ්මිත හෙළ ඔසු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රෝග රැසකට සුව ගෙනෙන ගම්මාලු (Gammalu [Pterocarpus Marsupium]) රෝග රැසකට සුව ගෙනෙන ගම්මාලු (Gammalu [Pterocarpus Marsupium]) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2021 Rating: 5

0 comments:

Post a Comment