Dewana Adukkuwa Song Lyrics - දෙවන අඩුක්කුව ගීතයේ පද පෙළ

Dewana Adukkuwa Song Lyrics - දෙවන අඩුක්කුව ගීතයේ පද පෙළ
ලොස් කබෙයියෙරෝස් (බොහෝ දෙනා දන්නා ලෙස, ලොස් කැබලරෝස්) 2 වන අඩුක්කුව

ආ මඟ ......

පෙර හමුවේදී සඳහන් කළා, ලොස් කබෙයියෙරෝස් ඉපදුණු හැටි.

නෙවිල්ගෙ සිත්හී, "ෆර්නෑන්ඩො ට්‍රියෝ"  (Fernando Trio) අතහැර වෙනත් කණ්ඩායමක් හදන්න ඕනෑය කියන වස්තු බීජය උපදින්නෙ 1960 දි. ඒත් මේ නව කණ්ඩායමේ උපත සිදුවුණේ 1961 මැයි මාසයේ.

කණ්ඩායමට ඇතුළත් වුණා.....

නෙවිල් ප්‍රනාන්දු, හැරල්ඩ් පෙරේරා, ඇනස්ලි පෙරේරා, එමිල් ප්‍රනාන්දු හා
ලෙස්ටර් ප්‍රනාන්දු යන අය.

කණ්ඩායමේ නම, ස්පාඤ්ඤ නමක්. ඒ නම "Los Cabelleros".
Los - The යන අරුත (පුරුෂ ලිංග බහු වචන අව්‍ය පදයකි)
Cabelleros - අශ්වාරෝහක යන අරුත

එවිට,
Los Cabelleros - අශ්වාරෝහකයෝ

ඉංග්‍රීසි අකුරු දිහා බලලා උච්චාරණය කළොත්, "ලොස් කැබලරෝස්" විදිහට තමයි කියවෙන්නෙ. ඒත් ll (එල් අකුරු දෙකක් එකට) ආ කල, ස්පාඤ්ඤ බසට අනුව එය "අයි" හඬ ලෙසයි කියැවෙන්නෙ. එනම් සැබෑ උච්චාරණය "ලොස් කබෙයියෙරෝස්". තවමත් බොහෝ දෙනා කියන්නෙ "ලොස් කැබලරෝස්" කියල.

දිගු දුර දුම්රිය වල මගීන්ට ආහාරපාන ලබා දෙන සේවයක් තියෙනවානෙ. ඒකට වෙන් කෙරුණු මැදිරියේ සඳහන් වෙන්නෙ "Buffet" කියල. පැරණි ප්‍රංශ බසින් ආ වචනයක්. ඕකත් මෙලෝ හසරක් නැතුව කියනව "බෆට්" එක කියල. නෑ ඒක "බුෆේ".

අපි මෙහෙම පටලවා ගත්ත තැන් අනන්තයි.

අපට හොඳ පොහොසත් බසක් තියෙනව. සමහර දේ එනම් අපේ සංස්කෘතියට බාහිරෙන් ආව දේවලදි, ඒ ආව තැන අනුව විදෙස් වචනයකින් කියන්න අපි පුරුදු වෙනව. School - ස්කූල් - ඉස්කෝලෙ වෙලා තියෙනව. අපට ඒ අරුත සිංහල වචනයකින් කියන්න පුළුවන් නම් වෙනත් වචන අවශ්‍යද ? පාසල කියල වචනයක් තියෙනවානෙ.

කොහොමවුනත් පිටින් ගන්නා දෙයක් භාවිතා කරන විට, එහි අරුත දැන වැහැරීම කළ යුතුයි.

නෙවිල් තම කණ්ඩායමට නම තිබ්බෙ "Los Cabelleros" කියල. ඒක ඔහුගෙ කැමැත්ත. ඔහු ස්පාඤ්ඤ සංගීතයට බොහෝ කැමති, ඒ ඇසුරු කළ ස්පාඤ්ඤ ගී ගැයූ කෙනෙක්. කණ්ඩායම පිහිටුවලා ඔවුන් ස්පාඤ්ඤ ගී ගැයුවා. ඒ නිසා "Los Cabelleros" නම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. එය උසුරුවපු ආකාරයයි වැරදි.

හැබැයි බොහෝ කාලයක්, තවමත්, කියන්නෙ ලොස් කැබලරෝස් කියල. නෙවිල් පවා මේ වැරැද්ද හදන්න උත්සුක වුණේ නෑ කියල, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවා කියනවා. මේ ගැන දිග යාං හෑල්ලක් ලියන්න හිතුවෙ නෑ. යමක් ගෙන හැර දක්වන්න උවමනාවක් තිබ්බ නිසා මේ ටික ලියවුණා.

(චීනෙවත් නැති තරම් චයිනීස් ආපනශාලා අපේ රටේ තියෙනව නෙ?
ඒ වයෙ තියෙනව "ෆ්‍රයිඩ් රයිස්". මෙලෝ වගේ වගක් නැති පිරිසක් මෙතනට ඇවිල්ල ඉල්ලනව මට "රයිස්" එකක් දෙන්න කියල. දැන් මේක සමාජ ගතවෙලා "ෆ්‍රයිඩ් රයිස්" රයිස් වෙලා. අවධානයටයි..... කිව්වෙ.)

ඉතින් හරි පීල්ලට වැටෙමුකෝ.
ආරම්භයේදි "Los Cabelleros" කණ්ඩායම ගායනා කළේ ස්පාඤ්ඤ, ඉංග්‍රීසි හා වෙනත් බටහිර ගීත.

සාද හා  හෝටල වල එයාලා, බටහිර පන්නයට නැඹුරු සිංහල ගී කිහිපයක්, මුල් ගීයට ටිකක් වෙනස් ඌරුවකට ගැයුවා. මේ වෙනස ඔවුන් ගී ගැයූ සමාජ තලය විසින් වැළඳ ගත්තා. නැත්නම් නැගල ගියා. හැබැයි ප්‍රබුද්ධ යැයි පිළිගත් තැන ඊට පිළිගැනීමක් ලැබුණෙ නැහැ. සිංහල ගී ගයන්න ආරාධනා ලැබුනට මේ කණ්ඩායම් ගැයුවේ අනුන්ගේ ගීත.

ඉතින්, නෙවිල්ටත් හිතිල තිබුණා ඔවුන්ගේම සිංහල ගීයක් කියන්න. (ලා සිලෝනියන්ස් නායක නොයෙල් රණසිංහට ත් මේ ඕනෑකම ඒ විදියටම තිබුණා.)

මේ විදියට "මල් බර හිමිදිරියේ ගීය" එළි දැක්කා කියල මීට කලින් සටහන් කළා. ඊට පස්සෙ ගැයූ ගී කිහිපයකුත් ඉදිරිපත් කළා.

දැන් දෙවන අඩුක්කුවට .....

නෙවිල් ප්‍රනාන්දු සතු කුසලතාවන් බොහෝ විට ඇගයීමට ලක්වුණා. ඒ අනුව මෙතෙක්  ලොස් කබෙයියෙරෝස් ආ මඟ ට මල් වැටෙන්න පටන් ගත්තා. අද එතැන් සිට ......

සංගීතය විෂයක් ලෙස ද හදාරා අන් අයට ද ගුරුහරුකම් දෙන සුජාතා අත්තනායක වැනි ප්‍රවීනයන් ද නෙවිල් ගේ කෞශල්‍යතා අගයමින් ඔහු ලවා තනු නිර්මානය කර ගැනීමට ද පෙළඹී සිටියහ.
(උදාහරණයක්)

මේ සුජාතා එලෙස නිර්මානය කර ගනු ලැබූ ගීයක්.

මංගල කසී සළූ
මාලා
දෑතේ රන් වළලූ .....//
හැඳ පැළඳ මා
සියා ඔබගේ
අතිනත ගත් දිනයේ
අතිනත ගත් දිනයේ

ජීවනගීය ලොවේ මියුරූ
සවනට නොදී සැලේ

ජීවනගීය ලොවේ මියුරූ
සවනට නොදී සැලේ

සියොතුන්ගේ ගීතේ මා ඇසුවා //

මංගල කසී සළූ
මාලා
දෑතේ රන් වළලූ
හැඳ පැළඳ මා
සියා ඔබගේ
අතිනත ගත් දිනයේ
අතිනත ගත් දිනයේ

මල්සර මිණි බුබුලූ දිලිසේ
සිහිනෙන් නොදුටු රැයේ

මල්සර මිණි බුබුලූ දිලිසේ
සිහිනෙන් නොදුටු රැයේ

මල්සර මිණි බුබුලූ දිලිසේ
සිහිනෙන් නොදුටු රැයේ

නීල තරු පොකුරූ මා දුටුවා //

මංගල කසී සළූ
මාලා
දෑතේ රන් වළලූ
හැඳ පැළඳ මා
සියා ඔබගේ
අතිනත ගත් දිනයේ ඒ ඒ......

අතිනත ගත් දිනයේ ඒ ඒ...... ////.

ගායනය : සුජාතා අත්තනායක
පද : සුනිල් ආර්. ගමගේ
තනුව : නෙවිල් ප්‍රනාන්දු

ලොස් කබෙයියෙරෝස් ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය ....

ලොස් කබෙයියෙරෝස් 1964 න් ඇරඹූ සිංහල ගී ගායනය, වසර දෙකක් වැනි කෙටි කාලයකදී බොහෝ දෙනා අතර මහත් ජනප්‍රියත්වයක් අත්කර ගත්තා පමණක් නොව, ප්‍රවීනයන්ගේ ද සිත් ඇද බැඳගත් බවට ඉහත ගීතය මනාවූ නිදසුනකි.

ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම ඒ වන විට ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් තුළ යම් ලකුණක් හදාගෙන තිබුණි. එය මනාව වටහා ගත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා වේදියා නෙවිල් ඇතුළු පිරිසට තම සිනමා කෘතියට එක්ව ගීයක් ඉදිරිපත් කරන්නට ඇරයුම් කරයි. 
අමරදේවයන් ද, ලොස් කබෙයියෙරෝස් ලකුණ, නෙවිල් ඇතුළු කණ්ඩායමේ ගමන් මඟ හා ඔවුන් ගේ ඇඟේ ඇති සංගීතය හොඳින් කියවා අධ්‍යනය කර තිබූ බව, මේ ගීතයේ තනුවෙන් ද, නාද සංකලනයෙන් හා යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ආදියෙන් ද මනාව පසක් වේ.

ඉදින් නෙවිල් ද, අමරදේවයන්ගේ මේ ගී නිර්මානයට මහත් අභිරුචියකින් එක්වූවාට සැකයක් නැත. "දෙලොවක් අතර" චිත්‍රපටියට ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම "ගයන ගැයුම් නටන නැටුම්" ගායනය ඉදිරිපත් කරමින් පෙනී සිටියේය. එය ඔවුන්ගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තියයි.

ගයන ගැයුම්
නටන නැටුම්
ඉවත හෙළයි
සෝක සුසුම් .....//

නිදන ලොවෙන් දවස උදාවී
සිහින මැදින් සතුට සිනාසේ
නුරා දෙතොල් පුරා එයින්
සුරා බඳුන් පුරා දෙමින්

ගයන ගැයුම්
නටන නැටුම්
ඉවත හළෙයි
සෝක සුසුම්

හිරු ඇහැරී බලන වෙලාවේ
පෙණ බුබුලේ සතුට නිමාවේ
හෙට උදයේ
හිරු එළියේ
සිහින ලොවේ
සැපත නිවේ

ගයන ගැයුම්
නටන නැටුම්
ඉවත හෙළයි
සෝක සුසුම්

ගයන ගැයුම් (ආ....
නටන නැටුම් (ආ....
ඉවත හළෙයි (ආ....
සෝක සුසුම්

මන්ද රැඳෙනු තවත්
මෙන්න උදය ඇවිත්
නින්ද නොලබන අන්ධ අඳුරෙන්
කැන්දු විදුලිය මෙන්

ගයන ගැයුම්
නටන නැටුම්
ඉවත හළෙයි
සෝක සුසුම් .....///.

ගායනය : ලොස් කබෙයියෙරෝස්
පද : මහගම සේකර
තනුව හා නාද සිත්තම : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
1966 වසරේදී තිරගතවූ "දෙලොවක් අතර" සිනමා කෘතියට නිර්මානය වූ ගීයකි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ ගීය කෙරහි අතිශය පැහැදුණු බව සැක හැර ම කිව හැක්කේ, එතුමන්ගේ ඊළඟ සිනමා කෘතිය වූ "රන්සළු" සඳහාද ගීයක් ඉදිරිපත් කිරීමටද නෙවිල් ට කළ ආරාධනය නිසාය.

බඳුන් පිරී ඉතිරෙන මී
ලඳුන ළවන් පුරා
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ
අවර බිඟුන් නුරා

සැන්දෑ වලා පෙළින් මිදී
පහන් සිලේ ‍රැඳී

පාන මියුරු ලීලා

පාන මියුරු ලීලා
මැවේ ‍රැඟුම් අපේ

ගීත නළු කලා පෙරපර යා නොදී බැඳී //
සිතුම් පැතුම් මැදුම් මඟෙහී
‍රැඳී රසින් වැඩී

නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී //
දිගන්තයන් සෙයින් වෙන්වී සදා පෙමින් රැඳී

බඳුන් පිරී ඉතිරෙන මී
ලඳුන ළවන් පුරා
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ
අවර බිඟුන් නුරා

ගායනය :  නෙවිල් ප්‍රනාන්දු
පද රචනය :  බී.ටී. මෙන්ඩිස්
තනුව :  පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

1967 දී තිරගත වූ "රන්සළු" සිනමා සිත්තමට  නෙවිල් ප්‍රනාන්දු මේ ගීය ගැයුවේ, ලොස් කබෙයියෙරෝස් ලෙස නොව ඒකල ගායනයක් ලෙසිනි.

එය හොඳ තත්වයකින් සංරක්ෂණය වී නොමැත.
වීඩියෝවකට යොමුව

පසු කලෙක පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්, නිරෝෂා විරාජිනී හා සමග මේ ගීය ගැයූවෝය.

1969 තිරගතවූ "පැංචා", ද්‍රවිඪ චිත්‍රපටියක් ඇසුරෙන් නිෂ්පාදිත වාණිජ චිත්‍රපටියක්. එම චිත්‍රපටියේද ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම ගීයක් ගයන දර්ශනයකට පෙනී සිටියා.

ලස්සණ ලෝකෙට පා ඔසවාලා
හණමිටි හැරමිටි පැත්තක දාලා
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

බොළඳ සිතුම් ඉවතට යයි
වෙළඳ පැතුම් අහකට වෙයි ...//
හදවතේ පහන් සිළුවේ
ඔබ නැළවෙයි ඔබ නැළවෙයි සදංගනී
හදවතේ පහන් සිළුවේ
ඔබ නැළවෙයි ඔබ නැළවෙයි සදංගනී

ලස්සණ ලෝකෙට පා ඔසවාලා
හණමිටි හැරමිටි පැත්තක දාලා
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

සිලිටි දෙතොල් හිතට නැඟෙයි
දිගටි දෙනෙත් පියා සලයි .....//
හදවතේ යහන් මළුවේ
ඔබ සැතපෙයි ඔබ සැතපෙයි සදංගනී
හදවතේ යහන් මළුවේ
ඔබ සැතපෙයි ඔබ සැතපෙයි සදංගනී

සිලිටි දෙතොල් (ආ...
හිතට නැඟෙයි (හිතට නැඟෙයි හිතට නැඟෙයි
දිගටි දෙනෙත්  (ආ...
පියා සලයි (පියා සලයි පියා සලයි  
හදවතේ යහන් මළුවේ
ඔබ සැතපෙයි ඔබ සැතපෙයි සදංගනී
හදවතේ යහන් මළුවේ
ඔබ සැතපෙයි ඔබ සැතපෙයි සදංගනී

ලස්සණ ලෝකෙට පා ඔසවාලා
හණමිටි හැරමිටි පැත්තක දාලා
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා ...

හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා ....

ගායනය : ලොස් කබෙයියෙරෝස්
පද : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව : නෙවිල් ප්‍රනාන්දු

1969 දී තිරගතවූ "පැංචා" චිත්‍රපටියේ ගීයකි. මේ ගීය පමණක්, චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළ ටී.එෆ්. ලතීෆ් ගෙන් බැහැරව නෙවිල් විසින් නිර්මානය කරන්නට යෙදුණි.

1970 දී තිරගතවූ "නිම්වළල්ල" චිත්‍රපටිය සඳහා මූලික පියවර තැබුණේ රංජිත් ලාල් ඇතුළු මිතුරු කැළ ආනන්දයේ උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටින අවධියේමයි (1967 දී). එහි එක් ගීයක් සී.ටී. ප්‍රනාන්දු විසින් ගායනා විය. ඒ "නිසයුරු මුතුළැල්" නම් ගීයයි. ඊට අමතරව තවත් ගීයක් සඳහා රංජිත් ලාල් ඇතුළු මිතුරු සමාගමයේ තෝරා ගැනීම වූයේ   නෙවිල් ප්‍රමුඛ ලොස්කබෙයියෙරෝස් කණ්ඩායමයි. නෙවිල් හමුවී මේ කාර්යයට ඔහුව එකතු කර ගනිද්දිත් රංජිත් ලාල් ගීතය ලියා ඒ සඳහා සංගීත නිර්මානය ද නිමවා තිබුණේය. රංජිත් ලාල් එය නිමවා තිබුණේ ලොස් කබෙයියෙරෝස් ලකුණ ට අනුගත වෙමිනි. ("නිම්වළල්ලේ" අතීත කතාව ඉතා සුන්දර එකකි. ඒ කතාවට මෙන්න මේ යොමුවෙන් පිවිසෙන්න පුළුවන්)

හොඳ හඬ තත්වයක නොතිබුනත්, අහන්න "නිම් වළල්ල" චිත්‍රපටියට ගැයූ මේ ගීයත්.

අනන්ථ වූ තරු පිපෙන රැයේ
සරා සඳේ සොමි කැන් පාවී
නැවුම් මලක රොන සොයා ඇදේ
රිදී වලා සළු තුළින් පෙරී ....//

හද සන්තානය හිවුඩු පිපේ
සිහින් සිනා වැසි බිඳු අතරේ

හද සන්තානය හිවුඩු පිපේ
සිහින් සිනා වැසි බිඳු අතරේ

පිපාසිතවු සිතුවිලි අතරේ
එවන් සිනා වැසි බිඳු විසිරේ //

දෑස රන් බඳුන් එකිනෙක ගැටෙමින්
මියුරු පැතුම් මී ඉතිරේ ඉන් ...//

දෑස රන් බඳුන් එකිනෙක ගැටෙමින්
මියුරු පැතුම් මී ඉතිරේ ඉන්

යොවුන් මලේ රොන්සුණු සිඹිමින්
සිහින තුළින් නව ලොවක් මැවේ

යොවුන් මලේ රොන්සුණු සිඹිමින්
සිහින තුළින් නව ලොවක් මැවේ

xxxx xx xx xxxx xxxx
xxxx xx xx xxxx xxxx

සිහින ලොවට බඹරිඳුන් ඇදේ ///.

ගායනය : ලොස් කබෙයියෙරෝස්
පද : රංජිත් ලාල්
තනුව හා සංගීතය : රංජිත් ලාල්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewana Adukkuwa Song Lyrics - දෙවන අඩුක්කුව ගීතයේ පද පෙළ Dewana Adukkuwa Song Lyrics - දෙවන අඩුක්කුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2021 Rating: 5

0 comments:

Post a Comment