එන්නත් තුනක කතාවක් ( A Story Of Three Injections )

එන්නත් තුනක කතාවක් ( A Story Of Three Injections ) - Your Choice Way
එන්නත් ගැන බහුලව කතා කරන මේ කාලයේ, අපේ පාඨක ප්‍රජාව සමග පොදුවේ එන්නත් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ඇති විය යුතු බවට අපි විශ්වාස කරනවා. බොහොම සරළව කියනවා නම්, එන්නතකින් කරන්නේ යම් රෝගයකට මුහුණ දීමට අපගේ ශරීරයේ ස්වභාවිකව තියෙන ප්‍රතිශක්තිය සකස් කර දීමයි. 

ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙන ලිපි මාලාවක ආරම්භයක් විදිහට අද අපි කතා කරන්නේ ලෝක ඉතිහාසය කණපිට හරවපු එන්නත් තුනක් ගැන.

1. වසූරිය 

වසූරිය කියන්නේ අපි හැමදෙනෙක්ම වගේ අහල තියෙන ඒත් වාසනාවට ගොඩක් අය දැකල නැති අසනීපයක්.
ඊජිප්තු යුගයේ ඉදලම පැවතගෙන ඉන්නවයි කියලා සැලකෙන මේ රෝගයේ ඇතැම් ප්‍රභේද වැළඳෙන තුන් දෙනෙකුගෙන් එක් අයෙකුට මරණය අත්වෙන තරමට භයානකයි. විසිවෙනි සියවස තුළ පමණක් මේ රෝගය නිසා ජීවිත මිලියන 300 ක් අහිමි වෙනවා. මේ වෛරසයෙන් ජීවිතය ගලවා ගත් අයගෙනුත් සෑහෙන්න කොටසකට අන්ධභාවය වැනි දරුණු විපාකවලට මුහුණදීමට සිද්ධ වෙනවා.

1960 ගණන් වෙනවිට වසරකට මෙම රෝගය නිසා මිලියන දෙකක් පමණ දෙනා මිය යෑමේ ප්‍රවණතාවක් ඇති වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝකයටම වසූරිය එන්නත ලබාදීමේ විශේෂ ක්‍රියාන්විතයක් අරඹන්නේ මේ කාලයේදී යි. අතිශයින්ම සාර්ථක වෙන මේ ක්‍රියාන්විතය නිසා 1980 වෙනකොට මුළු ලෝකයෙන්ම මේ රෝගය අතුගා දමන්නට මිනිසුන්ට හැකි වෙනවා. 

මෙය කෙතරම් සාර්ථක ද කියනවා නම්, මෙම රෝගය සම්පුර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කර, තවදුරටත් එන්නත් කිරීම අවශ්‍ය නොවන තත්ත්වයකට අද අපි පැමිණ සිටිනවා. එය මුළු ලෝක වාසී ජනතාවගේම ජයග්‍රහණයක්. මේ හේතුව නිසා අද ජීවත්වෙන බොහෝ දෙනා මෙම රෝගය දෑසින් දැක නොතිබීමට තරම් වාසනාවන්ත වෙලා තියෙනවා.

2. පෝලියෝ

පෝලියෝ කියන්නේ මීට තරමක් වෙනස් කතාවක්. මේ වෛරසය ශරීරගත වන අයගෙන් සියයට හැත්තෑවක් විතර කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ. 25% ක් පමණ උණ, උගුරේ අමාරුව, හිසරද වැනි බොහොම සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි පෙන්වන්නේ. හැබැයි, රෝගය වැළඳෙන දෙසීයකගෙන් එක් අයෙක් විතර අංශභාගය (paralysis) වැනි තත්ත්වයක් කරා යනවා. මේ තත්ත්වයට ලක් වෙන අයගෙන් ඇතැම් දෙනා මරණයට ලක් වෙන අතර, කොටසක් දෙනා සම්පූර්ණයෙන් සුවය ලබනවා. තවත් කොටසක් ජීවිත කාලයක් පුරා පවතින ශරීර කොටසක් පණ නැති වීමේ ආබාධයකට ලක් වෙනවා. මේ තත්ත්වයට ලක්වෙන කුඩා දරුවන්ට ජීවිත කාලයක් පුරාවට මේ ආබාධ සමඟ ජීවත් වීමට සිදු වීම ඒ වකවානුවේ බහුලව දක්නට ලැබුණ ඉතාම අවාසනාවන්ත සිද්ධියක්.

මේ ලෝකය පුරා වගේම ලංකාවෙත් කාලයකට පෙර දුලභ නොවූ රෝග තත්ත්වයක්. ඒත් ලෝකය පුරා පෝලියෝ එන්නත ලබාදීමත් සමඟ පෝලියෝ රෝගය බොහෝ රටවල් වල සාර්ථකව පාලනයට ලක් වෙනවා.
ශ්‍රී ලංකාව තුළ අද දක්වා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන එන්නත් වැඩසටහන නිසා අවසාන වරට පෝලියෝ රෝගියෙක් වාර්තා වන්නේ 1993 දීයි. අද අපේ දරුවන් පෝලියෝ නොමැති වටපිටාවක සතුටින් ජීවත් වෙනවා. දරුණු යුද්ධයක නටබුන් වගේ කුඩාකල පෝලියෝ රෝගයට ගොදුරු වුණු, දැන් වැඩිහිටියන්ව සිටින පුද්ගලයින් සමාජයේ වරින් වර අපට මූණ ගැසෙන්නේ මෙම දරුණු රෝගය තුරන් කිරීමට වෙහෙස වුණු සියලු දෙනාම සහ ඉන් විපතට පත් පුද්ගලයින් ආවර්ජනය කරන්නාක් මෙනි.

පෝලියෝ කතාවේ වෙනස මෙන්න මේකයි. පෝලියෝ රෝගය තවමත් ලෝකයේ රටවල් වාර්තා වෙන්නේ පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ පමණයි. සිවිල් යුද්ධ පවතින ඇතැම් ප්‍රදේශ වල එන්නත්කරණය පිළිබඳ පැතිර ගොස් ඇති විවිධ දුර්මත හා යුධමය වාතාවරණය මෙයට හේතු විය හැකි බවට වාර්තා වල සඳහන් වෙනවා.
ලෝකයේ රටවල් දෙකක වුවත් තවදුරටත් මෙම වෛරසය නිදැල්ලේ පැවතීම නිසා, තවමත් රෝගය නැවත පැතිරීමේ අවදානමක් තියෙනවා.  එනිසාවෙන් ලංකාව ඇතුළු ලෝකයේ රටවල් තවදුරටත් එම ප්‍රතිශක්තිකරණ වැඩසටහන පවත්වාගෙන යනවා.

3. සරම්ප

සරම්ප කියන්නේ හරිම සරල ලෙඩක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ අද ලෝකයේ වෛද්‍ය විද්‍යාත්මක දියුණුව නිසා සරම්ප වල මරණ ප්‍රතිශතය ඇතැම් දියුණු රටවල සියයට 0.3 ක් වැනි කුඩා අගයක් ගැනීම නිසයි. එන්නත් නිසා සාර්ථකව පැතිරීම පාලනය කිරීමත් සමග මේ රටවල ඇතැම් අයට මේ රෝගය තියෙන බරපතලකම කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අමතක වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල වේගවත් පැතිරීමත් එක්ක, මේ දියුණු රටවල්වල එන්නත් පිළිබඳව වැරදි විශ්වාස වගේම, එන්නත් වෙනුවට ලබා දිය හැකි යැයි කියැවෙන විවිධ වැරදි ප්‍රතිකාර ක්‍රම ගැන වේගයෙන් තොරතුරු පැතිර යන්නේ මේ කාලයේදී යි. 

ඒකෙන් සමජගත්වුනු මේ වැරදි විශ්වාස වගේම, රෝගයේ බරපතලකම හරිහැටි නොදැනීම නිසා මේ රටවල ඇතැමුන් මෙම එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවයක් 2012 සිට වරින් වර දක්නට ලැබුනා. මේ නිසා දකින්නට ඇතිවුණු ඉතාමත්ම අවාසනාවන්ත කාරණය තමයි, එක දිගට එන්නත් ලබා දීම නිසා පාලනය කරගෙන තිබූනු සරම්ප වගේ රෝග තත්ත්ව 2018 පමණ කාලයක සිට මේ රටවල් තුළ ශීඝ්‍රයෙන් හිස එසවීමක් දක්නට ලැබීමයි. 2018 දී පමණක් සරම්ප නිසා අහිමි වූ ජීවිත ගණන එක්ලක්ෂ හතලිස් දාහක්. 

ශ්‍රී ලංකාවේ අපි මේ අතින් අනික් රටවල් වලට වඩා ගොඩක් වෙනස්. දියුණු වෙමින් පවතින රටක් වුණත් රජයෙන් නොමිලේ ලබාදෙන එන්නත් නිසා ප්‍රතිශක්තීකරණ වැඩසටහන් අතරින් ලෝකයේ ඉදිරියෙන්ම පවතින වැඩසටහනක් අපිට හිමියි.

සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා අපි පෝලියෝ, සරම්ප, රුබෙල්ලා වැනි ඇතැම් රෝග ලෝකයේ අනෙක් රටවල පවතිද්දීත්, අපි අද වෙනකොට සාර්ථකව පාලනය කර තියෙනවා. ඒ විදිහට සාර්ථකව පාලනය කරගත්ත වගේම  ඉදිරියටත් එසේ පවතින්න ප්‍රධානම සාධකයක් වෙන්නේ ශ්‍රී ලංකික බුද්ධිමත් ජනතාවයි. 

දියුණු යැයි සැලකෙන රටවල් පවා වැරදි විශ්වාස හා කටකතා නිසා විවිධ වෛරස නැවත හිස එසවීමේ තර්ජනයකට මුහුණ දෙමින් තියෙන අවස්ථාවක, අපි ඒ රෝග සාර්ථකව පාලනය කරගෙන තිබීමේ ගෞරවය හැම කාලයකම වගේ අදටත් නිදහස් සෞඛ්‍ය සේවය යටතේ නොමිලේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඉදිරියට ගෙන යාමට කැපවී සිටින රජයන් හා ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වන සෞඛ්‍ය සේවකයන්ට පමණක් නොව ඒ වැඩසටහන් වලට උද්යෝගයෙන් සහයෝගය දෙන අපේ රටේ බුද්ධිමත් ජනතාවට හිමිවිය යුතුම බව අපි විශ්වාස කරනවා.

පුදුම ලෝකය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එන්නත් තුනක කතාවක් ( A Story Of Three Injections ) එන්නත් තුනක කතාවක් ( A Story Of Three Injections ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2021 Rating: 5

0 comments:

Post a Comment