මිලින මලින් පවසන අනියත 💐🥀🌺🌼🌹💐

මිලින මලින් පවසන අනියත 💐🥀🌺🌼🌹💐 - Your Choice Way
ක්‍රමානුකූල දිවිපෙවෙතක් ගත කරන සෑම කෙනෙක්ම, දවසේ නියමිත කිස,නොපිරිහෙළා පූරණය කරගැනීමට වෙහෙසේ. ඒ නිසා, ඊට නියමිත කාල සටහනක්,නොහොත් න්‍යාය පත්‍රයක් සකසා ගනී. එදින නිවෙසට, පාසලට, සේවා ස්ථානයට,පන්සල හෝ පල්ලියට,අවමඟුලට, මංගල්‍යයට,ආදි වශයෙන් අනුමාතෘකා යටතට තම නියෝජනය අවශ්‍ය වන බවටද ඔහු කල්පනාකාරි වෙයි. කාල කළමනාකරණයද ඒ හා අනුවම යෙදේ .

ලොකු, කුඩා , උගත්, නූගත්, දුප්පත්, ධනවත්, බාල, තරුණ, වැඩිහිටි,ස්ත්‍රී, පුරුෂ,රෝගී, නිරෝගී, රැකියා සහිත රහිත ලක්ෂණ අවලක්ෂණ ආදි කී නො කී කවර ප්‍රභේදයකට ,ආගමකට, ජාතියකට , වර්ගයකට, දේශයකට, තරාතිරමකට  නමුත්, එදිනෙදා මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වේ. ෙමි උක්ත  අනුමාතෘකාවන්ද බොහෝ විට, ඒ සියල්ලන්ටම පොදු ඒවාය. නිවෙස, සේවා ස්ථානය, මඟුල් ගෙදර, පාසල, පල්ලිය, පන්සල, අවමඟුල,පෙරහර බුදු පුද ආදි වශයෙන් ඒ අවස්ථාවන් ශ්‍රේණිගත කළ හැකිය. තම නියෝජනය වෙනුවෙන්, ඊට යම් යම් කළමනා මෙවලම් ද අඩුවැඩි වශයෙන්වත් සැපයිය යුතු නොවෙතොත් ඒ ඉතා කලාතුරකිනි. මේ සෑම තැනකටම අවැසි අංගෝපාංග අතර, ‘මල්’වලට අප ලබාදෙනුයේ සුවිශේෂී ස්ථානයකි. ගතානුගතිකව හෝ අවශ්‍යතා අනුව මල්වලට නියමිත තැන ලබාදීමට අපි පුුරුදුව සිටිමු. මල්, අචේතනික වස්තුවක් බව අපි දනිමු. ඒත්, සොබා දහම විචිත්‍රවත් කරන ‘මල් පිළිබඳව, ඉන් ටිකක් ඔබ්බට අවධානය යොමුකිරීම, වඩා වැදගත් වෙතැයි අපි විශ්වාස කරමු.

තම නිවෙස් මෙන්ම ගෙවත්ත අලංකාර කිරීම සදහා, විශේෂයෙන් කාන්තා පක්ෂය උනන්දු වීම ස්වාභාවිකය. විසිතුරු ගෙමිදුලක් සකසා ගැනීමට, කාන්තාව, තම රූපය හැඩගැන්වීමට තරම්ම වෙහෙසක් ගනී. විවිධ වර්ණ, විසිතුරු නිමාව, කල් පැවැත්ම, ප්‍රමාණාත්මක බව, සුවඳ, අලංකාරය, නවතාවය ආදි විවිධ ලක්ෂණ සලකා, පුදුමාකාර කැපවීමක්, ඔවුන්, මල් වගාව වෙනුවෙන් කරනු අප දැක ඇත..සාලයේ ටීපෝව, පාසලේ පන්තිකාමරය හා බුදු මැදුර, සේවා ස්ථානයේ කාර්ාලයය.එහි බුදුමැඳුර, මගුල් ගෙදර, මංගල පෝරුව, මනාලිය හා යෙහෙළියන්, පල්ලිය,පන්සල,පෙරහැර මෙන්ම අවමගුල ආදි සැම තැනක්ම මල්වලින් පියැවෙන හිඩැස,අන්කවර ලෙසකින් සපුරා ලිය හැකිද?

ලස්සන ගෙවත්තක් ඇතිවිට, ඒ නිවෙසට සිරිතක බැල්ම හෙළන බවද අපි අසා ඇත්තෙමු. අපේ පියවි ඇසට සිරිකත නොපෙනෙතත්, නිවෙසට යන එන අය පවා,ගෙවත්ත දුටුමතින් ප්‍රබෝධයට පත්වීම අරුමයක් නෙවේ. මලක පැහැය, සුවඳ   මටසිලිටි බව, පි‍්‍රයමනාප ගතිය හා මෘදු බව,අපට කියාපාන රහස් නම් කවරේදැයි අපි නොදනිමු. එහෙත්, මෙලොවට පමණක් නොව පරලොවට පවා වැඩදායක විය හැකි අර්ථවත් රහස් සම්භාරයක් එම මල්වල රශ්මිධාරා සමඟම අපේ දෑස්වලට කාන්දු වේ. එම අදහස් හඳුනාගන්නට,අපගේ දෘෂ්ටිකෝණයන් සමත්වෙතොත්, ග්‍රහණය කරගතහොත් එමඟින්ම අපට අපගේ විමුක්තිය පවා සාධනය කරගත හැකිවේ.එසේ හදුනා ගන්නා අදහස්, ප්‍රායෝගිකවන්නේ නම්,අපේ මේ අතිදීර්ඝ සසර ගමන,  නවාතැන් පොලවල් සොයායාම නවතාලන දිනය ඉතා සමීප වනු අත. එහෙත් හිරුඑළිය,ජලය. පොහොර ආදි අත්‍යවශ්‍ය ආහාර සපයමින්, මල් වගා කරන්නට දැඩි ව්‍යායාමයක යෙදුනත්, තෘප්තියට වඩා යමක් මෙතෙක් එමගින් අපි සෙව්වෙමුද?

මල්, පූජනීය වස්තුවකි. බොහෝ විට ආදායම් මාර්ගයක්ද වේ. පාපී චේතනා යටපත් කරගෙන බුදුරදුන්ට පූජාකිරිමෙනුත්, සමස්ත සසරටම වාසිදායක ආදායමක් ඉන් ලබාගත හැකිය. එම ධර්මතාවය කිසිවිටෙකත් අපේ මසැසට නොපෙනේ. එය හුදෙක් දාර්ශනික දෘෂ්ටි පථයකට ම ගෝචර වන්නක් හෙයිනි.ඇස, කන, දිව, නැහැය, හා කය අපි පසිඳුරන් නමින් හඳුන්වමු. මේවා ආයතන නමින්ද දහමෙහි යෙදේ. මේවා ‘මනස’ ද ඇතුළුව ‘සළායතන’ යැයිද හැඳින්වේ.රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ ,ධම්ම යනු ඒ හා බැඳෙන අරමුණුය. මේවා අපේ ආයාසයක් ඇතුවත් නැතුවත් ක්‍රියාත්මක වන්නෝය. අප පූජනීය වස්තුවක් සේ සලකන මල, යථෝක්ත ආයතන හරහා කිසියම් වටිනාකමක් අප වෙතින් ලබාගනී. ඒ පිළිබඳව විශ්ලේෂණාත්මකව එහෙත් ප්‍රවේසමින් සලකා බැලීම උභයාර්ථය සලසන්නකි.මව් ඇකයේ සිටියදී හා විශේෂයෙන් මව්කුසදීමයි අප, ලොව්තුරා බුදුපියාණන්ට මල් පූජා කරන ගාථාව ශ්‍රවණය කළේ. අතිශය ශාන්ත දාන්ත ලීලාවෙන් ගැයුනු  කර්ණ රසායනයක් බඳු එම ගාථාව, එදා මෙදා තුර අනුකරණය කළා මිස, එමඟින් අපට දෙන පණිවුඩය ගැන එතරම් අවධානයක් නොවීය. “පුප්ඵං මිලායාති යථා ඉදං මෙ කායො තථායාති”“මේ පුෂ්පය මිලිනව යම් ධර්මතාවයක් පිළිබිඹු කරයිද එසේම මාගේ කයද විනාශ මුඛයට පත්වේ යන අදහස මෙහිදි අපට ගලපා ගත හැකිය. මහා කාරුණික බුදුපියාණන් වහන්සේගේ අඩවන් දෑසින් ගලා හැලෙන මෙත් සහගත කරුණාබර බැල්මද නිශ්චල බුදුමැදුරේ ලෙළ දෙන දීප්තිමත් පහන් ආලෝකයද අපට මේ පණිවුඩය ම කියාපායි. බුදු කුටිය පුරා විහිදෙන සුවඳ දුම් රැල්ලෙන් හැඟවෙන අනිත්‍යතාවයද යථෝක්ත අදහසම තව තවත් තීව්‍ර කරන සෙයක් දැනේ. පුෂ්පයත් මිනිස්කයත් පිළිබඳ යථාර්ථය එය නම් සජීවි, අජීවි වන, ලොව අනෙක් වස්තුන් ගැන කවර කථාද?

මලේ පැහැය, හැඩයට , සුගන්ධයට කිසිත් හානියක් නො කරන්නටද කෘමීහු විශේෂයෙන් වග බලා ගනිති. අතිශය පුළුල් පරාසයක කථාන්තරයක් එමගින් කියැවෙද්දී, අපි ඒ මල් නෙළා, බුදුපුදට හා අනෙක් අවශ්‍යතා වෙතොත් ඒවාටද වෙන් කරමු. ගෙයි සාලයට ද අමුතු අලංකාරයක් ලබාදෙමු. ඒවායේ වර්ණවත්, බව සුවඳ , හැඩය,ආදායම ආදියට ඇසින් නැහැයෙන් මනසින් ආදි ඉඳුරන් මගින් ඇලෙමු. බැඳෙමු, මල්වල රොන් සඳහා ගැවසෙන මීමැස්සන්ගේ නාදය අසා, දෙසවන් පිනවමු. එහිද ඇලෙමු. බැඳෙමු, විකසිත මල් ගොන්න සිසාරා හමන සුවඳ සිත් ආඝ්‍රාණය කරමු. සුවඳටද ඇලෙමු. රැඳෙමු, සෑම මල් පෙත්තක්ම අතට, මුදු සිනිඳු සුවයම ගෙන දෙයි.අවසරයක් ගත් ඇසිල්ලෙහි ඒ සුසිනිදු බව පිළිබඳ මතකය අවදිකර එහිද ඇලෙමු. බැඳෙමු. මේ ආදි වශයෙන් ඒ ඒ ඉඳුරන් ඔස්සේ සිතද පිනායාම, නැවත නැවත පිනායාම නිරායාසයෙන් සිදුවන්නකි.වර්ණයෙන්, පැහැයෙන්, සුවඳින් ආකර්ෂණීය වුවද පුෂ්පයද අනිත්‍යතාවයට ගොදුරු වේ.උදෑසන පිබිදෙන එය මිලිනවීම අරඹන්නේද ක්ෂණිකවය. ඒ පිබිදුණු අවස්ථාවේ පටන්ය. ලෝකයේ සැම සජීවි හා අජීවි වස්තුවකම යථාර්ථය මෙයයි.පඨවි, ආපෝ, තේජොි්, වායෝ යනු වෙනස්වීම ස්වභාවකොට ම පවතින්නක් බැවින්, ඒ සුසංයෝගයෙන් හටගත් පුෂ්පයටත් වෙනස් වීම පොදුය. මේ ආදි කරුණු සියල්ල සලකා ‘මල හරහා ලැබිය හැකි ආස්වාදය බැහැර කිරීම නොව, විය යුත්තේ, ඒ මගින් තම ප්‍රඥාව අවදිකරගැනීමට වෑයම් කිරීමයි. එනම්,ආස්වාදයත් සමඟම ගලා එන ආදීනවය, විශේලේෂණය මගින් එහි නිස්සාරණය වටහා ගැනීමයි.සත්ත්වයා උපතක් ලබන්නේ කර්මානුරූ පවය. 

එයද අවිද්‍යාව හා තෘෂ්ණාවද දෑතට මිට මොළවාගෙනය. ජීවිතයක් පවත්වාගෙන යාමේදි එපමණටම අවිද්‍යාව හා තණ්හාව සමීප ව සිටී. මේ හේතුන් නිසාම සත්ත්වයා යළි යළිත් කර්ම රැස්කරයි.  සජීවි, අජීවි සෑම දෙයක් හරහා තෘප්තියම බලාපොරොත්තු වේ. ‘ලැබුණොත් ඇලීම,නැතහොත් ගැටීම කද බැඳගෙන ජීවත් වේ. මේ ක්‍රියාකාරිත්වය උසිගන්වන්නේ ඒ සමඟම එක්ව පවතින මෝහයයි. එහි භයානක ඵලය වන්නේ අතිදීර්ඝ සසරට ඇද  වැටීමයි.අප සසරට වට්ටන අරමුණු පිළිබඳ බුද්ධිමත්ව යම් ආවර්ජනයක යෙදුණොත් මේ භයංකර තත්ත්වය නොපිට හරවා ගත හැකිය. අපි මල් පිළිබඳ විශ්ලේෂණයක යෙදුනෙමු.අපේම ගෙමිදුලේ ඇති මල් ගස්, අපේ ඇස් , කන්, නාසා ආදිය හරහා පස්කම් සුව ගෙන දෙන අයුරු දුටුවෙමු. මේ පිළිබඳ ගැඹූරින් කල්පනා කරන විට, අර, ලැබූ සුවය පිටුපස දුකද අප වෙත පැමිණෙන බව දකිමු. මල මෙන් අපේ ජීවිතද මිලින වේ. මල විකසිතව තිබියදී බුදු පුදට හෝ අනෙක් යහපත් කටයුත්තකට යෙදවීම, අතිරික්තය ආයෝජනයක යෙදවීම වාගේ,අපේ ජීවිතද  ප්‍රයෝජනවත් යමකට යෙදවීම ඥානාන්විත බව පෙනේ.කෙමෙන් ජරාවට පත් වන ඉඳුරන්, සවිබල තිබියදීම සද්කාර්යයට යෙදවිය යුතුය. දැන් දැන් අපගේ ප්‍රඥාව මෝදුවේ. අපි නුවණැස මෙහෙයවමු.ලෝකයේ හොඳ හා නරක වශයෙන් දෙපැත්තකි. ප්‍රඥාව අනුව නම්, හොඳ පැත්ත තෝරා සමීප කරගත යුතුවෙමු. ගෙදර දොර පාසලේ, දහම්පාසලේ ගැවසෙද්දි හදුනාගත් හොඳ  දේ විමසමු, මෛතී‍්‍රය, කරුණාව, දයාව ඉවසීම ආදි ප්‍රසන්න ගති සිරිත් අනුගමනයෙන්, අවශේෂ සමාජයෙන් පමණක් නොව දෙවියන්ගෙන් පවා බුහුමන් ලද හැකි සිල්වත් බව අප වෙත බැස ගනී. සම්බුද්ධ දේශනාවට අනුව,

1. චන්දනං තගරං චාපි - උප්පලං අථ වස්සිකී
2. න පුප්පගන්ධො පටිවාතමෙති – න චන්දනං

සඳුන් තුවරාල ආදි මල් සුවඳට වඩා සද්පුරුෂයාගේ සිල් සුවඳ හැම දිසාවෙහි,උඩු සුළඟෙහි පවා පැතිරෙන බවයි ඒ.සැබැවින්ම සිල්වතා ඉඳුරන් පාලනය කරන්නෙකි. ඇසත් රූපයත්, විඤ්ඤාණයත් එක්වීම ඔහුට බාධකයක් නො වේ. හේ රූප දකී. ශබ්දත්,අසයි,අනෙක් ඉඳුරන්ද සක්‍රියය. එහෙත් ඒ කිසිවක් නිසා, විඤ්ඤාණයෙන් ගත හැකි තීන්දු තීරණ කිසිවකට හෙතෙම වහල් නොවේ. ජීවිතයට එදිනෙදාට නිසි සියලු කිස සුපුරුදු ලෙස ඉටුකරයි. නිරතුරු උපේක්ෂාව මිස, කිසිවකට ඇලීමක්ද ගැටීමක්ද නැත. ඊට සාපේක්ෂව මුළාව බැහැර වී ඇත.තවදුරටත් ඒ තත්තවය රැක ගැනීමට වීර්යවත්ව සිහිය පවත්වයි. ඉඳහිට හෝ යෙදෙන අවහිර බාධකද නැතුවා නොවේ. හේ ඒ සියල්ල  ප්‍රඥාවෙන් දරා සිටී. තට්ටු කරන්නාට දොර ඇරේ. කීවාක් මෙන්, පෙර පිනක් නිසා අහම්බෙන් නමුදු, ලැබු මේ ජීවිත නිවැරැදි ව යෙදුවොත්, විපුල ප්‍රයෝජනයක් අත් පත් වේ.

කිසිම පීඩාවක් වෙහෙස මහන්සියක්, වියදමක් නොවන මේ ප්‍රතිපදාව, උත්තරීතර රහත්ඵලය දක්වා අප කැටුව යන කුල ගෝත්‍ර, වර්ණ භේද, ස්ත්‍රි පුරුෂ, වයස් සීමා, අධ්‍යාපන සුදුසුකම් ආදි බෙදීම් නැති, මැදහත් බවම ප්‍රකට වන්නකි.යම් තරමකින් හෝ මෙවන් අස්වැසිල්ලක් අත්පත් කරගැනීමට, සාංසාරික   පිහිටීමක් නම් අවශ්‍යවන්නේමය. බුදුපියාණන් වහන්සේ ගුරූපදේශ රහිතව අවබෝධකොට ගෙන දේශනා කළ ඒ උත්තරීතර අකාලික දහම අනුව ලද හැකි, එම ලොව්තුරු නිවන සදහා සිහිල් මං පෙත් හෙළි පෙහෙලී කරගැනීමට, අද අදම වෙර  වඩමු.

{සටහන අයිතිය ® රොෂාන්}✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිලින මලින් පවසන අනියත 💐🥀🌺🌼🌹💐 මිලින මලින් පවසන අනියත 💐🥀🌺🌼🌹💐 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, January 12, 2021 Rating: 5

0 comments:

Post a Comment