රතන සූත්‍ර දේශනාවේ සිංහල අනුවාදය

රතන සූත්‍ර දේශනාවේ සිංහල අනුවාදය
මෙතැන්හි රැස්වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද ඒ සියලු අමනුෂ්‍යයෝම සතුටු සිත් ඇත්තෝ වෙත්වා. තවද මාගේ වචනය මැනවින් අසත්වා.

භූතයිනි, එබැවින් නුඹලා සියල්ලෝම මේ වචනය අසන්න. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරන්න. යම් කෙනෙක් දිවා රෑ පුද පඬුරු පූජා කෙරෙත්ද එබැවින් නොපමාවම ඔවුන්ව ආරක්ෂා කරන්න.

මෙම මනුෂ්‍ය ලෝකය හෝ නාග ලෝකය ආදී වෙනත් ලෝකයක හෝ යම් කිසි ධනයක් වේද ස්වර්ගයෙහි​ හෝ යම්කිසි උථුම් රත්නයක් වේද ඒ කිසිවක් තථාගතයන් වහන්සේ හා සමාන නොවේ. බුදුරදුන් කෙරෙහි මෙම රත්නභාවය උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

එකඟ වූ සිත් අැති තථාගතයන් වහන්සේ කෙලෙසුන් දුරු කරන හෙයින් ක්ෂය නම් වූ රාගයෙන් වෙන්වීමට නිමිති වූ විරාග නම් වූ මරණයක් නැති හෙයින් අමත නම් වූ යම් නිවනක් අවබෝධ කළේද ඒ ධර්මය හා සම වූ කිසිවක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවයද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

ශ්‍රේෂ්‍ඨ වූ බුදු රජාණන් වහන්සේ පිරිසිදු වූ යම් ආර්ය මාර්ගයක් වර්ණනා කළ ​සේක්ද යම් මාර්ගයක් පිරිසිදු වූ හෙයින් එකී ආනන්තරික සමාධිය බුද්ධාදී ආර්යයන් වහන්සේලා දේශනා කරත්ද එම සමාධිය හා සම වූ සමාධියක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවයද උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සත් පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත්ද ප්‍රශස්ත වූ එකසික අටක් ආර්ය පුද්ගලයෝ වෙත්ද මේ සැම දෙනම සතර යුග කෙනෙක් වෙති. සුගත නම් වූ බුදුරදුන් ගේ ශ්‍රාවක වූ එම ආර්යයන් වහන්සේලා සැදැහැවතුන් විසින් දෙන ලද දක්ෂිණාවට සුදුස්සෝ වෙති. මෙම බුද්ධශ්‍රාවකයන් කෙරෙහි දෙන ලද දානය මහත්ඵල ඇත්තේ වෙයි. සංඝ රතනය කෙරෙහි මේ රත්න භාවයද උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙම ගෞතම නම් වූ තථාගත ශාසනයෙහි යම් කෙනෙක් ස්ථිර වූ සිතින් මනාකොට පිළිවෙත් සපුරා සියලු කෙළෙසුන් කෙරෙන් මිදුණාහුද ඔවුහු නිවන් සුව විඳින්නාහු රහත් ඵලයට පැමිණියාහු නම් වෙති. සංඝරත්නය කෙරෙහි මේ රත්න භාවයද උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යම් සේ පොළොවෙහි යටට බැසගත් ඉන්ද්‍රඛීලය සිව් දිගින් හමන සුළඟින් සෙල විය හැකි නොවේද? යම් පුද්ගලයෙක් චතුරාර්ය සත්‍යය නුවණින් අවබෝධ කළේද ඒ ආර්ය පුද්ගලයා ඒ ඉන්ද්‍රඛීලය බඳු යැයි කියමි. සංඝරත්නය කෙරෙහි මේ රත්න භාවයද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යම් සෝවාන් උතුමෙක් ගැඹුරු නුවණින් යුත් බුදු රජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද චතුරාර්ය සත්‍යයන් තමාම අවබෝධ කෙරෙත්ද ඔවුහු බෙහෙවින් ප්‍රමාදව කටයුතු කළත් කිසිසේත් අට වන උත්පත්තියක් නොගනිති. සංඝ රත්නය කෙරෙහි මේ රත්න භාවයද උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙම සෝවාන් පුද්ගලයා ගේ සෝවාන් මග හා ඵලය පහළවීම සමග සත්කාය දෘෂ්ටිය ද සැකය ද යම් කිසි සීල ව්‍රත ආදියක් හෝ පවතීද මෙම සංයෝජන ධර්ම තුන දුරු කරන ලද්දේ වෙයි. හෙතෙම සතර අපායෙන් ද මිදුනේ වෙයි. සය වැදෑරුම් බරපතළ පාපයන් කිසිසේත් නොයෙදෙයි. මෙයද සංඝ රත්නය කෙරෙහි උතුම් රතන භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

ඒ සෝවාන් පුද්ගල තෙමේ කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ ප්‍රඥප්ති මාත්‍ර වූ කිසියම් වරදක් කරන්නේ නමුදු හෙතෙම එය සැඟවීමක් නොකරන්නේය. එය කිසිකලෙකත් සිදු නොවන දෙයකි. දක්නා ලද නිවන් පදය ඇති සෝවාන් පුද්ගලයා අතින් වරද සැඟවීම කිසි කලෙකත් සිදු නොවන බව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙයද සංඝ රත්නය කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

වන ලැහැබ තුළ ග්‍රීෂ්ම සෘතුවෙහි පළමු ග්‍රීෂ්ම මාසයෙහි හෙවත් බක් මාසයෙහි සුපිපි ඵල ඇත්තේ වෙයි. එසේම නිවන් පුරට පමුණුවන උතුම් වූ ධර්මය ලෝසතුන්ගේ හිත පිණිස බුදුරදුන් දෙසූ සේක. මෙය බුදුරදුන් කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලෙයන් සෙත් වේවා.

උතුම් වු නිවන දක්නා වූ උතුම් නිවන් සුවය දෙන්නා වු උතුම් නිවන් මග ගෙන හැර පාන්නා වූ අනුත්තර වූ බුදු රජාණන් වහන්සේ උතුම් දහමක් දෙසු සේක. මෙයද බුදුරදුන් කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යම් රහතන් වහන්සේ නමක ගේ පුරාතන කර්ම ප්‍රශීණ වූයේද අලුත් භාවයක් නැත්තේද මතු භාවයක් කෙරෙහි නොඇලුණු සිත් ඇති ප්‍රශීණ වූ ප්‍රතිසන්ධි විඳාන බීජ ඇති පුනරුත්පත්තියෙහි ආශාවක් නැති ​ධෛර්ය සම්පන්න වූ ඒ රහතන් වහන්සේලා මේ පහන නිවෙන්නාක් මෙන් පිරිනිවෙත්. මෙයද සංඝරත්නය කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙතැන් හි රැස්වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද අහසෙහි වූද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද අපි හැම දෙනාම තථාගත නම් වූ දෙවිමිනිසුන් විසින් පුදන ලද බුදුරදුන් නමදිමු. සත්හට සෙත් වේවා.

මෙතැන් හි රැස්වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද අපි හැම දෙනාම දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ ධර්මය නමදිමු. සත්හට සෙත් වේවා.

මෙතැන්හි රැස්වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනාම දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සංඝරත්නය නමදිමු සත්හට සෙත් වේවා.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රතන සූත්‍ර දේශනාවේ සිංහල අනුවාදය රතන සූත්‍ර දේශනාවේ සිංහල අනුවාදය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2020 Rating: 5

0 comments:

Post a Comment