පිටසක්වළ ගැන බුද්ධ දේශනාවේ සදහන් කරුණු - Your Choice Way

තාරකා විද්‍යාඥයන් කියන ‘ගැලැක්සි’ බුදු හිමියන් හැඳින්වූවේ චක්කවාළ නමින්.අග්ගඤ්‍ඤ සූත්‍රය ලෝක ප්‍රභවය හා සමාජ ප්‍රභවය පිළිබඳව ඉගැන්වෙන බෞද්ධ ත්‍රිපිටකයට අයත් වැදගත්ම සූත්‍රයයි. මෙහි ඇත්තේ කථාවකි. එම කථාව සත්‍ය සිදුවීමක් ද නැත්නම් බුදුන් වහන්සේ විසින් කරුණු පැහැදිලි කරනු ලැබීම සඳහා එකල සමාජයේ පැවැති ආඛ්‍යානයක් උපයෝගී කර ගැනීමක් ද යන්න පිළිබඳව විද්වත්හු විවිධ අදහස් පළ කරති.මානව ප්‍රභවය පිළිබඳව ඉදිරිපත්ව ඇති ප්‍රසිද්ධතම මතය වන්නේ චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කෙරුණු පරිණාමවාදයයි. ඒ පිළිබඳව ඉදිරිපත්ව ඇති තවත් මතයක් වන්නේ වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණි ජීවීන්ගෙන් මානවයා ප්‍රභවය වූ බව පැවසෙන පැන්ස්පර්මියා සිද්ධාන්තයයි.නූතන පර්යේෂණ හා ගවේෂණ මඟින් පසු කී මතය තහවුරු කෙරෙන සාධක රාශියක් ලැබී තිබේ. පෘථිවියට අාසන්න ග්‍රහලෝක සමග ඓන්ද්‍රිය හා ජීවී ද්‍රව්‍ය නිරන්තරව හුවමාරු වන බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. 

(ඉරිදා ලංකාදීප 2017.04.30) කොලොම්බියානු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ඒ ජීව ග්‍රාහකයන් පෘථිවියට පැමිණීමට පෙර අඟහරු ග්‍රහයා මත උපන් බව අනාවරණය කරති. ඒ අනුව ඔවුන්ගේ අදහස වන්නේ පෘථිවියේ ජීවත් වන සියලු දෙනා පිටසක්වළින් පැමිණි ජීවීන්ගෙන් පරිණාමය වී ඇති බවයි.​ෙමම ප්‍රකාශ බුදුන් වහන්සේ විසින් මෙයට ශත වර්ෂ 25කට පෙර දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් කරුණු හා බෙහෙවින් සැසඳේ. කිසියම් සිද්ධාන්තයක් රසවත් ලෙසත්, ශ්‍රාවකයන්ගේ අවධානය ලැබෙන පරිදිත්, පහසුවෙන් තේරුම්ගත හැකි පරිදිත් ඉදිරිපත් කිරීම දේශකයන්ගේ ස්වභාවයයි. ඒ අනුව අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන (දීඝ නිකාය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, 3-137 පිටු / සරල සිංහල දීඝ නිකාය, මිල්ටන් මද්දුමගේ, 2013, ගොඩගේ, 185 – 190 පිටු) එම පණිවුඩය බුදුන් වහන්සේට රසවත් කථාවක් ලෙස ඉදිරිපත් කළ බව පිළිගත හැකිය.

බුදුන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කළේ විශ්වය පිළිබඳව ජනතාවට කරුණු කියා දීමට නොවේ. වාසෙට්ඨ හා භාරද්වාජ යන බමුණන් දෙදෙනා අතර පැවති අදහස්වල සාවද්‍ය බව සාක්ෂි සහිතව පෙන්වා දීමටය.‘‘වාසෙට්ඨ, දීර්ඝ කාලයකට පසු මේ ලෝකය වැනසෙන කල්හි බොහෝ සත්ත්වයෝ මෙයින් චුතව ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඕපපාතිකව උපදිති. ධ්‍යාන චිත්ත බලයෙන් උපන් ඔවුහු ප්‍රීතියම ආහාරකොට ගෙන තමන්ගේම ශරීර ආලෝකයෙන් බබළවමින් ආකාශයෙහි හැසිරෙති. කල්යාමෙන් යළිත් මේ ලෝකය හට ගන්නා කල්හි ඒ සත්ත්වයෝ මිනිස් ලොව ඕපපාතිකව පහළ වෙති.’’ (ස.සි. දීඝ නිකාය, 186) බුදුන් වහන්සේ මෙහිදී සත්ත්වයා යනුවෙන් අදහස් කළේ ජීවී ද්‍රව්‍යයයි. කරණීය මෙත්ත සූත්‍රයේ එන “කාණුක” යන්න ඒ සඳහා යෙදූ පදයයි. බුදුන් වහන්සේ ලෝකය දෙආකාරයකින් පෙන්වා දෙති. ‘‘මහණෙනි, මේ ලෝකයේ ආරම්භය අවිනිශ්චිතය. අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් මෙහෙය වනු ලැබ ජාතියෙන් ජාතිය සැරිසරන සත්ත්වයන්ගේ ආරම්භය ද පෙන්විය නොහැකිය.’’නූතන විද්‍යාඥයන් පවසන පරිදි විශ්වය බිලියන සංඛ්‍යාත තාරකා ග්‍රහ​ෙලා්ක ආදියෙන් පිරී ඇත. පීරිසි හෝ සර්පිල ආකාරයට ගොනු වී ඇති ඒවා ගැලැක්සි නම් වෙයි. 

අප වසන ක්ෂීර පථය ගැලැක්සි විසි හතරක පොකුරකින් එකක් පමණි.ගැලැක්සි යන්න බුදුන් වහන්සේ හැඳින්වූයේ චක්කවාළ යන නමිනි. (සමන්තා චක්කවාළේසු අත්‍රා ගච්ඡන්තු දේවතා) ඒ, චක්‍රයක ස්වරූපයෙන් භ්‍රමණය වන නිසාය. සහස්සී ලෝක ධාතු යනුවෙන් බුදුන් වහන්සේ හැඳින්වූයේ චක්කවාළ (චක්‍රවාට) දහසකින් සමන්විත පද්ධතිය. දස දහසකින් සමන්විත ලෝක ධාතු දස සහස්සී ලෝක ධාතුයි. නූතන විද්‍යාඥයන්ගේ අදහස අනුව එය බිලියන 140 ක් පමණ වේ.බ්‍රහ්ම ලෝකත්, දිව්‍ය ලෝකත්, මනුෂ්‍ය ලෝකයත් ජීවීන් සහිත ලෝකයන්ය. බ්‍රහ්ම ලෝක අතර රූපාවචර හා අපරූපාවචර බ්‍රහ්ම ලෝක වෙයි. රූපාවචර (රූපය සහිත) බ්‍රහ්ම ලෝක නම් පියෙවි ඇසට පෙනෙන ජීවී අංශු සහිත ලෝකයි. අරූපාවචර (රූපය රහිත) බ්‍රහ්ම ලෝක නම් ජීවී ද්‍රව්‍ය පියෙවි ඇසට ​නොපෙනෙන ලෝකයි. අඟහරු ලෝකයෙන් පෘථිවියට පැමිණි ජීවීන් ද එසේ පියෙවි ඇසට නොපෙනෙන ජීවී අංශු විය හැකිය. ස්ත්‍රී පුරුෂ නිමිති හට ගත්තේ යැයි අග්ගඤ්ඤ සූත්‍රය දක්වන්නේ ඒවායේ උපාදාය රූපයන් හට ගැනීමයි.

බුදුන් වහන්සේ වදාළ අනෙක් ලෝකය නම් පඤ්චස් කන්ධයෙන් සැදුම් ලත් නාමරූපවලින් ප්‍රභාවිත සත්ත්ව ලෝකයයි.ලෝකය ක්‍රියාත්මක වන්නේ සංවඩ්ඪමාන (සංවෘත) හා විවඩ්ඪමාන (විවෘත) ක්‍රියාවලියකිනි. (දීඝ නිකාය, පාටික සූත්‍රය) සංවඩ්ඪමාන නම් ලෝකය ජීව ගුණයෙන් වැඩෙන කාලයයි. විවඩ්ඪමාන නම් ජීව ගුණයෙන් පිරිහීම හෙවත් හැකිළෙන කාලයයි. ගත වූ වසර බිලියන හතරක කාලය තුළ අඟහරුගේ පාරිසරික තත්ත්වයෙන් 66% ක් අභ්‍යවකාශයට මුසු වී තිබේ යැයි නව පර්යේෂකයන් කියන්නේ අඟහරුගේ ජීවය පැවති පරිසරය එහි රඳාපැවැත්මට නොහැකිව විනාශව අභ්‍යවකාශයට විසිර යන්නට ඇති බවයි. 

පෘථිවියට ද මෙයට පෙර එයම සිදු වන්නට ඇත.‘‘දීර්ඝ කාලයකට පසු මේ ලෝකය වැනසෙන කල්හි බොහෝ සත්ත්වයන් එයින් චුතව යන්නෙන්’’ ඒ බව පැහැදිලි වෙයි. වසර බිලියන තුනකට පමණ පෙර පෘථිවියේ අඩු ඔක්සිජන් ප්‍රතිශක්තියක් තිබූ අතර අඟහරුගේ ඔක්සිජන් ප්‍රමාණවත් තරම් වූ බැව් ජෛව රසායන විද්‍යාඥ ස්ටීවන් බෙකර් සඳහන් කරයි.විවඩ්ඪමාන කාලය තුළ යළිත් ජීවය වර්ධනය වෙයි. පෘථිවියේ මානව සන්තතිය ඇති වූයේ ඒ සංවඩ්ඪමාන කාලය තුළ දීය. විශ්වයේ පවතින සියල්ල අනිත්‍යය. ඒවා කැඩී බිඳී විනාශ වී යයි. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ දහම අඟහරු ලෝකයට සාධාරණය. ඒ අනුව බුදුන් වහන්සේ ආභස්සර බ්‍රහ්ම ලෝකය නමින් හැඳින්වූයේ අඟහරු ලෝකය ද යන්න පිළිබඳව සිතන්නට කාලය එළැඹ ඇත.අභිධර්ම පිටකයේ සඳහන් වන පරිදි පරිනිර්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලෝකයේ වසර 1200 කි. බ්‍රහ්ම ලෝකයේ කාලය දික් වන්නේ කල්ප ගණනිනි. එම ජීවීන්ගේ වයස ද කල්ප ගණනින් දක්වා ඇති බැවින් ඒවා බොහෝ කලක් විනාශ නොවී පැවති බව අදහස් වෙයි. 

පායාසි රජ්ජඤ්ඤ සූත්‍රයේ දැක්වෙන පරිදි තව්තිසා දිව්‍ය ලෝකයක උපත ලැබූවකුට නැවත මනුෂ්‍ය ​ලෝකයට පැමිණිය හැකිවුව හොත් ඒ වන විට එදා ජීවත් වූ කිසිවකු දක්නට නොලැබෙයි. (ස.සි. දීඝ නිකාය, 162 පිට) ඒ ගමන සඳහා එතරම් දීර්ඝ කාලයක් ගත වෙන බැවිනි.‘‘වාසෙට්ඨ, එකල මුළු සක්වලම එකම ජල කඳකි. තද කළුවරය. තවත් බොහෝ කල් යාමේදී හිරු සඳු පහළ විය. තවත් කල්යාමේදී ඒ ජලයෙහි රස පොළොව පහළ විය. ඒ රස පොළොව වර්ණයෙන් හා සුවඳින් වෙඬරු පිඬක් මෙන් විය. (ස.සි. දීඝ නිකාය, 187 පිට) නූතන පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි පෘථිවිය බිහි වූ මුල් අවධියේදී එය සම්පූර්ණ ජලයෙන් වට වී තිබිණ. ඔක්ෂිකරණය වීමට අවශ්‍ය බොරොන් උල්කාෂ්මයක් මඟින් අඟහරුගේ සිට පෘථිවියට පැමිණි අතර උෂ්ණත්වයත් ආලෝකයත් ලැබීම නිසා එය ඝන බවට පත් විය. විද්‍යාඥයන්ගේ මෙම ප්‍රකාශත් අග්ගඤ්ඤ සූත්‍රයේ එන කථාවත් එක සමාන බව මෙයින් පෙනේ.

‘‘රස පොළොව නැති වී ගිය කල්හි ඇති වූ මොළොක් පසින් බිම් මල් මතු විය. සත්ත්වයෝ ඒ බිම්මල් ආහාරයට ගනිමින් බොහෝ කාලයක් ජීවත් වූහ. ඒ කාලය තුළ ක්‍රමයෙන් ශරීර වර්ණය අඩු වූ අතර රළු ද විය. බිම්මල් වෙනුවට බදා ලත් නම් වැල් විශේෂයක් පහළ වූයේ ඉන් අනතුරුවය.’’ (දී.නි. 187) මෙයින් කියවෙන්නේ එතැන් සිට සත්ත්ව පරිණාමය හා ජෛව පරිණාමය සිදු වූ ආකාරයයි. පෘථිවි ඉහළ වායු ගෝලයේ පවතින උල්කාෂ්මයන්ගෙන් නික්මුණු පොසිල කොටස් සහ ඇල්ගී කොටස් එහි තැන්පත් විය. අග්ගඤ්ඤ සූත්‍රයේ බිම්මල් ලෙසින් සඳහන් කරන්නට ඇත්තේ මේ ඇල්ගී විශේෂ විය හැකිය.මෙසේ ප්‍රභවය වූ පෘථිවිය එතැන් සිට පරිණාමයට භාජන වූ ආකාරය පෙන්වන්නේ බුදුන් වහන්සේ වදාළ පංච නියාම ධර්මයෙනි. එනම් උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම හා චිත්ත නියාමයි. ‘‘වාසෙට්ඨ, එකල හිරු සඳු හෝ තාරකා නැත. රෑ දාවල්, මාස්, අර්ධ මාස්, ඍතු භේද නැත.’’ (දී.නි.) මෙසේ ප්‍රභවය වූ පෘථිවිය තුළ ඍතු භේද හටගත් ආකාරය ඉන් කියැවේ. ඍතු භේද හෙවත් උතු නියාම නිසා මහ පොළොවේ සංයුතිය ද ස්වභාවික පරිසරය ද වෙනස් විය. 

ඒ හේතු කොට සියලු මිනිස් චර්යා හා ක්‍රියාකාරකම් පරිණාමයට පත් විය.‘‘එසේ දිගු කලක් ගත වීමේදී ස්ත්‍රී පුරුෂ නිමිති පහළ වී මෙවුන්දම් සේවනයෙහි යෙදුණි.’’ (දීඝ නිකාය 188 පිට) ඒ ජීව අංශු උපාදාය රූප සහිත සත්ත්වයන් බවට පත් වූ ආකාරය කියවෙන බීජ නියාමයයි. බීජ නියාමය පවතින්නේ උප්පාද, ඨිති භංග යන ලක්ෂණවලට අනුගතවය. සත්ත්ව සන්තතිය ඇති වෙමින් නැති වෙමින් වෙනස් ස්වභාවයන්ට පත් වෙමින් පවතී. ඒ අනුව එක් පරම්පරාවක් කලින් පැවති පරම්පරාවට වෙනස් වෙයි. වඳුරෙකු වශයෙන් සිටි සත්ත්වයා මානවයා බවට පත් වූයේ ඒ ආකාරයෙනි. එක් පරම්පරාවක් ලබා ගන්නා දැනුම හා සංස්කෘතිය ඊළඟ පරම්පරාවට උරුම වෙයි. පරිණාමවාදය නමින් හඳුන්වන්නේ ඒ බීජ නියාමයයි.‘‘හිරු සඳු හා ඍතු භේදය ආරම්භ වීම යනු උතු නියාමයේ ආරම්භයයි. වැස්ස අව්ව හා ඍතු භේදය හේතු කොට සියලු මිනිස් ක්‍රියා හා චර්යා පරිණාමයට පත් විය. අප අද අත් විඳිමින් සිටින්නේ එහි ප්‍රතිඵලයි. තවදුරටත් එය නොකඩවා පරිණාමයට පත්වෙමින් පවතී. මුලින් ඇති වූ සත්ත්වයන් හා පරිසරය වෙනස් වී නව පරිසරයක් ගොඩනැගීම ධම්ම නියාමය අනුව සිදුවෙයි. මිනිසා මහලු වී මිය යන්නේත් නව පරම්පරාවක් බිහි වන්නේත් ඒ අනුවය. 

​ෙමතෙක් විද්‍යාවට හසු නොවූ කොටසක් ඇත. ඒ චිත්ත නියාමය හා කම්ම නියාමයයි. සිත එකවරම පහළ වූවක් ද නැත්නම් අනෙක් ධර්ම මෙන් පරිණාමය වන්නක් ද කර්මය පුද්ගලයා මියගිය පසු තවදුරටත් නොනැසේ ද යන්න තවදුරටත් පර්යේෂණ කිරීමට ඉඩ තබා තිබේ.ඉන් අනතුරුව ඇති වූ සත්ත්වයන් අතර කුල ගෝත්‍ර ආදී වෙනස්කම්, උස් පහත්කම් සහිත සමාජ ක්‍රමය සත්ත්ව පරිණාමයේම කොටසක් ලෙස සමාජ පරිණාමය ද අග්ගඤ්ඤ සූත්‍රයෙන් විවරණය කරයි.බුදු සමයෙහි අරමුණ වන්නේ විශ්වය පිළිබඳ දැනුම විවරණය කිරීම නොව විමුක්ති මාර්ගය පහදා දීමය. එබැවින් විශ්වයේ අග මුල, දිග පළල සොයා වෙහෙසවීම ඊතලයකින් විදිනු ලැබූ පුද්ගලයා එයට පිළියම් නොකොට ඊතලයේ ස්වරූපය හා විදිනු ලැබූ පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයමින් කාලය ගත කරනවා වැනි නිශ්ඵල දෙයකැයි චුල්ල මාලුංක්‍යපුත්ත සූත්‍රයේදී (ස.සි. මජ්ඣිම නිකාය, 2-122) බුදුන් වහන්සේ දේශනා කළහ.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පිටසක්වළ ගැන බුද්ධ දේශනාවේ සදහන් කරුණු - Your Choice Way පිටසක්වළ ගැන බුද්ධ දේශනාවේ සදහන් කරුණු - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, September 16, 2020 Rating:

0 comments:

Post a Comment