ඇත්තටම හත් දවසේ බණ කියන්නේ ඇයි?

පුතවපරං ගහපති අරිසාවකෝ උට්‌ඨාන වීරියාධිගතෙහි භොගෙහි…… යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කළේ අනේපිඬු සිටාණන්හටය. සෝවාන් එලයට පැමිණි පුද්ගලයකු පවා චාරිත‍්‍ර ශීලය ලෙසට පූජා විධි පහක්‌ අනුගමනය කළ යුතු බව උන්වහන්සේ වදාළහ. එය ඥති බලිය, අතිථි බලිය, පූර්වපේ‍්‍රත බලිය, රාජ බලිය, දේවතා බලිය නමින් හැඳින්වෙයි.

ඥති බලිය, ඥතීන් උදෙසාද අතිථි බලිය නිවසට පැමිණෙන ආගන්තුකයන් උදෙසාද රාජ බලිය රජයට බදුගෙවීම් ආදිය උදෙසාද, දේවතා බලිය දෙවියන් උදෙසාද, පූර්ව පේ‍්‍රත බලිය මියගිය ඥතීන් උදෙසාද කරනු ලබන සත්කාරයන් වෙයි. පූර්ව පේ‍්‍රත බලිය ලෙස හඳුන්වන්නේ කුමක්‌ද? එය අනුගමනය කළ යුතු ආකාරය කෙළෙසද? මේ පිළිබඳව විමසුම් කිරීම හා නිවැරදි කිරීම අපේ අරමුණයි.

නිවසක යමෙකු මියගිය විට සත්දවසේ බණකීම සහ පසුදින දන්දීම සිරිතය. සත්දින ධර්ම දේශනාව වෙනුවෙන් මියගිය පුද්ගලයාට නිවසින් පිටත ගොක්‌කොළ ආවරණයක්‌ සාදා පහනක්‌ දල්වා ආහාර බඳුනක්‌ තැබීම සම්ප‍්‍රදායයි. සත්දින ධර්ම දේශනය මියගිය ඥතියා මූලික කරගෙන සිදුවන බැවින් ගොක්‌කොළ ආවරණයේ පහන් දල්වා ඥතියාට බණ ඇසීමට සහ ආහාරය පුද ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කිරීම සිරිතය. එය මියගිය ඥතියා වෙනුවෙන් කරනු ලබන සැලකීමකි. ගෞරවයකි. ප‍්‍රතිග‍්‍රාහකයකු හෙවත් ලැබීමට කෙනකු සිටීමෙන් දීම සහ ගැනීම අපට පෙනෙයි. එයට දානය යෑයි කියනු ලැබෙයි.

දේව පූජා සහ බලි යාගයේදී කෙරෙන්නේ පිදීම පමණකි. එය භුක්‌තිවිඳීම නොපෙනෙයි. නොපෙනෙන බලවේගයනට සහ පෙනෙන උදවියට දෙනු ලබන දෙයෙහි කුසල් ඇත. කේන්ද‍්‍ර සටහනේ ග‍්‍රහබලය දුබලව මියගිය උදවියට එම කුසල් අනුමෝදන් කිරීමේ නිවැරදි පිළිවෙත හඳුනා ගැනීම ජීවත්වන සැමටම යහපතකි. ජන්මියකු මනුකය හැරයාම සංවේගයට කරුණකි. එවැනි අවස්‌ථාවන්හිදී පිරිත් කීම වැනි යහපත් දේ තුළින් රෝගියා සුවපත්වීම හෝ සිතුවිලි තරංගයන් යහපත් වීම සිදුවෙයි. යහපත් මනසකින් සිදුවන මරණය යහපත් උපතකට හේතුවෙයි. තණ්‌හාව, ආශාව මැද මියයන තැනැත්තා පේ‍්‍රත, භූත ආදී පහත් බලවේගයන් ලෙස හැසිරීමට ඉඩ ඇත.

මට්‌ඨකුණ්‌ඩලී දරුවා දහසය වියෙහිදී රෝගයකින් මිය යාමට ආසන්න වූයේ පියාගේ දැඩි මසුරුකම නිසා ප‍්‍රතිකාර නොලැබීමෙනි. පියා සමග වෛරයෙන් මට්‌ඨකුණ්‌ඩලිය පණ අදිමින් සිටින අවස්‌ථාවේදී බුදු හිමියන් ඔහු මියගොස්‌ නිරයේ උපත ලබන බව දුටුවේය. එහෙයින් බුදු හිමියන් සෞම්‍ය වූ ආලෝක ධාරාවක්‌ මට්‌ඨකුණ්‌ඩලී වෙත යොමු කළේය. එය කිමෙක්‌ දැයි අපහසුවෙන් හැරී බැලූ මට්‌ඨකුණ්‌ඩලි දුටුවේ තථාගතයන් වහන්සේගේ මහා කාරුණික මුහුණයි. මට්‌ඨකුණ්‌ඩලීගේ සිත සැදැහැයෙන් පිරුණේය.

ඔහු මිය ගියේය. ඔහුගේ සිතේ ඇති වූ නිරාමිස ප‍්‍රීතිය තුළින් ඔහු දේව ආත්මයක්‌ ලද්දේය. භූතයන්, පේ‍්‍රතයන් පිළිබඳව ජනතාව අතර තොරතුරු සුලභය. යමෙකු මිය පරලොව ගොස්‌ තම නිවසට නිවැසියන් හට කරනු ලබන කරදර හිරිහැර අප අසා ඇත. එම පහත් ආත්මයන් නිවෙස්‌හි ලාමක සිත් ඇත්තන්ගේ ශරීර තුළට ආවේශ වී නොයෙකුත් විකාරයන් කරයි.

රෝග පීඩා ඇති කරයි. අඬමින්, වැළපෙමින්, හිසකෙස්‌ විදාගනිමින් ඔවුන් කරන විකාරයන් තවත් විටෙක ශාස්‌ත‍්‍රකීම වැනි අංගයකට යොමුවෙයි. එවිට එම පහත් බලවේගයන් ආවේශ වුවත් ඒ තුළින් නොයෙකුත් පුදපූජා ලබාගැනීමට මාර්ගයන් උදාකර ගනිති. ඇතැම් විට නිවාසයන්හි බඩු භාණ්‌ඩ පෙරලීම, පිසින ලද බත්පතෙහි ඇගිලි සලකුණු තැබීම ආදියද එම ආක‍්‍රමණශීලී බලවේගයන් සිදුකරනු ලබත්.

මෙවැනි දැ සිදුවන්නේ ඇයි?යමෙකු මියගිය පසු නිවැසියන් සත් දින බණට නිවසේ ගෙමිදුලේ පහන් පැලක්‌ තනති. පේ‍්‍රත තටුවක්‌ තබති. ඒ මළගිය ඥතියා වෙනුවෙන්ය. ඔහුගේ බත්පතට අමතරව ඔහු ප‍්‍රියකළ දුම්වැටිය, මත්පැන් ආදියද නිවැසියන් තබන්නේ තම ප‍්‍රියයා වෙනුවෙන් උපන් සැබෑ අනුකම්පාවෙනි. මේ සියල්ල පහන් පැලෙහි තබා නිවැසියන් මියගිය තැනැත්තාට ආහාර පිළිගෙන දන් නිවසෙහි භික්‌ෂූන් වහන්සේගේ ධර්මදේශනාව ඇසීමට ආරාධනා කරති. මියගොස්‌ සත්දිනක්‌ ඉක්‌ම යනතුරු මළගිය තැනැත්තා භූත ලෝකයේ සැරිසරණ බව පොදු විශ්වාසයයි. නිවැසියන් භුත ආත්මය වෙනුවෙන් තබන ආහාරයට සහ ආරාධනාවට ආකර්ෂණය වන්නේ මියගිය භූත ආත්මය පමණක්‌ නොවේ.

එම නිවසට භූමියට ඇල්ම බැල්ම ඇති ඥතීන්, මිතුරන් වූ නොවූ කල්ප ගණනක්‌ භූත ලොව සැරිසරණ පිරිස්‌ එහි පැමිණෙති. මියගිය තැනැත්තාට පේ‍්‍රත, භූත ආත්මගත වූවකු ලෙස සලකා දන්දීම මියගිය තැනැත්තාට එම ආත්මයෙහිම ආත්මගතවීමට රුකුලකි. අනෙකුත් පේ‍්‍රත, භූත පිරිස්‌ද ඔහු හා එක්‌ව එම නිවැසියන්ගෙන් එවැනි පුද පූජා පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීමට මාර්ගයකි. එය නිවැසියන් නොදැන හෝ තමන් කරගන්නා මහත් ව්‍යසනයකි. මළගිය ඥතියාගේ සත්දින බණට පහන් පැල තුළ පහනක්‌ දල්වා මළගිය ඥතියා ඇතුළු එහි වසන සියලූම පේ‍්‍රත භූත කොටස්‌ සඳහා ධර්ම දේශනාවට සවන්දීමට ආරාධනා කිරීම යහපත්ය.

ධර්මදේශනය අවසානයේ නිවසේ පිළියෙල කරන ආහාරය පිළිගැනීමට ආසන්න විහාරස්‌ථානයේ හෝ බෝධිය අසලට පැමිණෙන ලෙස ආරාධනා කිරීම නිවැරදි පිළිවෙතයි. ධර්ම දේශනාව අවසානයේ පහන් පැල තුළ දැල්වූ පහන නිවා දමා මළගිය ඥතියා වෙනුවෙන් සකසන ලද ආහාර බඳුන නියමිත බෝධීන් වහන්සේ අසලට ගෙන ගොස්‌ එය අඩි දෙකහමාරක පමණ උස්‌ ස්‌ථානයක තැබිය යුතුය.

පහනක්‌ දැල්වීමෙන් අනතුරුව එම ඥතියා ඇතුළු නිවස සහිත භූමියේ සිටින සියලූම මළගිය ඥති මිත‍්‍රාදීන්ට ආහාරය සඳහා ආරාධනා කොට ධර්මශ‍්‍රවනයෙන් සහ අනුමෝදන් වූ පිනෙන් යහපත් ආත්ම භවයක්‌ පැතීමත් නිවස නිවැසියන් සහිත භූමියට ඇති ඇල්ම බැල්ම ඉවත්කර ගන්නා ලෙස අයෑදීමත් නිවැරදි ක‍්‍රම වේදයයි. එවිට අයහපත් වූ ආත්මයන් එම බෝධි මූලයට බද්දව පින්පෙත් වර්ධනය කර ගනිති. මෙලෙස යහපත් වූ ආත්ම තරංගයෝ යහපත් ලෙස පින්පෙත් ලැබීමෙන් යහපත් වූ ප‍්‍රතිසන්ධියකට සැපත්වෙති.

සත්දින ධර්ම දේශනාවෙන් එලෙස මළ ගිය ඥතියාට පින්පෙත් දීමෙන් නිවසට යොමුවන පහත් ආත්මයන්ගේ උවදුරු දුරුවෙයි. බෝධිය අබියස සුවඳ කූරු, පහන් දල්වා ආහාරය පිදීමෙන් පසු මෙම ගාථාව සිහිපත් කිරීමෙන් එම කටයුතු අවසන් වෙයි.

‘‘ගන්ධං දීපංච ධූපංච – පානීයං භෝජනං පිචං පතිගණ්‌හන්තු සන්තුට්‌ටිතා – ඥති පේ‍්‍රතා ඉදං බලිං’’
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇත්තටම හත් දවසේ බණ කියන්නේ ඇයි? ඇත්තටම හත් දවසේ බණ කියන්නේ ඇයි? Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2020 Rating: 5

0 comments:

Post a Comment