ස්තූප ඇතුළේ හෙළයන් සිතුවම් ඇන්දේ ඇයි ? (Why Did The Helas Draw Paintings Inside The Stupas?)

චිත්‍ර ශිල්පියෙක් සිතුවමක් ඇඳීමෙන් පසු එය රසවිඳින්නන් දෙස බලා නිහතමානි සතුටක් ලබයි. ඕනෑම චිත්‍ර ශිල්පියෙක් සිතුවමක් නිර්මාණය කරනු ලබන්නේ තවකෙකුට නැරඹීමටය. නමුත් පුරාණ සිතුවම් ශිල්පීන් මිනිසුන්ගෙන් සඟවා තැබීමට ද සිතුවම් නිර්මාණය කළේ යැයි පැවසුවහොත් එය ප්‍රශ්නාර්ථයක් ගෙන දෙනු ඇත. එවන් සිතුවම් කලාවක් ලෙස ස්තූප ඇතුළත ඇඳි සිතුවම් හඳුන්වා දිය හැකිය. ස්තූපය වනාහි බෞද්ධයන්ගේ පූජනීය වස්තූන් අතර ප්‍රමුඛ ස්ථානයේ වන්දනාවට ලක්වන අංගයකි. බෞද්ධයන්ගේ ත්‍රිවිධ චේති අතරින් ශාරීරික චේතිය හෙවත් ස්තූපයට ඉතා වැදගත් ස්ථානයක් හිමිවන අතර එයට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතු ඒ තුළ තැන්පත් කර ඇතැයි යන ආගමික විශ්වාසයයි. දෙස් විදෙස් පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්වූ බෞද්ධාගමික වාස්තු විද්‍යා නිර්මාණ අතර ස්තූපය විශේෂ අවධානයක් දිනාගෙන ඇත්තේ ක්‍රිස්තු පූර්ව 6වන සියවසේ සිට නිර්මාණය වෙමින්, නවාංග එකතු වෙමින් නූතනය දක්වා වර්ධනය වෙමින් පැමිණි ආගමික නිර්මාණයක් වන බැවිනි.

ස්තූපයක වාස්තු විද්‍යා අංග අතර ගර්භයට ප්‍රධාන තැනක් හිමි වේ. උදර, අණ්ඩ, කුච්ඡ, ඝට, කුම්භ යන පර්යාය නාම වලින් ද හඳුන්වන ගර්භය ස්තූපයේ විශාලතම කොටස වේ. ස්තූපයක හැඩය තීරණය වන්නේ ගර්භයේ හැඩය අනුව වන අතර වෛජයන්ත පොතෙහි ස්තූප හැඩ 6ක් දක්වා ඇත. ඝණ්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ආම්ලාකාර යන්න එම හැඩයන් වේ. මංජු ශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍රයේ ඉහත ස්තූප හැඩයන්වලට අමතරව ප්ලාණ්ඩවාකාර නමින් ලූනු ගෙඩියක හැඩය ඇති ස්තූප හැඩයක් සඳහන් කර ඇත. උක්ත ගර්භය තුළ පිහිටි ධාතු ගර්භය ස්තූපයේ වැදගත්ම වාස්තු විද්‍යා කොටස ලෙස හැඳින්විය හැකිය. එයට හේතුව ධාතුන් වහන්සේලා ඇතුළු වටිනා පූජා වස්තු ඒ තුළ තැන්පත් කිරීමයි.රුවන්වැලි මහා සෑය හා සේරුවිල යන ස්තූපයන්හි මෙසේ නිර්මාණය කරගත් ධාතු ගර්භයන් සිතුවම්වලින් අලංකාර වූ බව වංශකථා පෙන්වා දෙනු ලැබේ. එම සිතුවම්වල වස්තු විෂය බුද්ධ චරිතය හා සම්බන්ධ සිද්ධීන් මෙන්ම දෙවිවරු හා බ්‍රහ්මයන් පිළිබඳ සිදුවීම් ද වේ. මේ බව තහවරු කරමින් නාවාගල, මහියංගන, දැදිගම කොටවෙහෙර, නීලගිරිය, මිහින්තලා හා කොට්ටියඹුල්වල ධාතු ගර්භ ඇතුළත සිතුවම් වලින් අලංකාර කර ඇති බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී තිබේ. මෙම සිතුවම් කලාවේ සුවිශේෂිත්වය වන්නේ ස්තූප ගර්භය අභ්‍යන්තරයේ මේවා ඇඳීම නිසා ස්තූපයේ වැඩ නිමවීමෙන් පසුව ඒවා කිසිවෙකුට නැරඹීමට නොහැකිවීමයි. ඒ අනුව ස්තූප ධාතු ගර්භ සිතුවම් යනු මිනිසුන්ට කිසිදිනෙක බැලිය නොහැකි ලෙස සඟවා තැබීමට ඇඳි සිතුවම් විශේෂයක් ලෙස හඳුන්වා දීම යුක්ති සහගතය.

නාවාගල විහාරය කටියාව යාය 1 ගම්මානයේ පිහිටා ඇති අතර තලාව කැකිරාව මාර්ගයේ 15 වැනි සැතපුම් කණුව අසලින් කටියාව වැව පාරේ සැතපුම් 4 ක් පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානයට ළඟා විය හැකිය. ලඳු කැලෑවකින් වැසී තිබූ මෙම ස්තූපයේ 2013 වර්ෂයේ සිදු කරන ලද කැණීම මගින් තොරතුරු රාශියක් අනාවරණය කරගෙන තිබේ. මෙම ස්තූපයේ ඉතිහාසය පිළිබඳ සඳහන් කිරීමට ප්‍රමාණවත් සාධක නැතත් කැණිම් මගින් ආවරණය වූ තොරතුරු අනුව කනිට්ඨතිස්ස රාජ සමය එනම් ක්‍රි.ව. 2 වන සියවස දක්වා දිවෙන බව පෙනේ. එම ඉතිහාසය තහවුරු කරන සිරිපතුල් ගල්, ආසන මෙන්ම යූපස්තම්භ මෙම ස්තූපය අසලින් ලැබී තිබේ. ස්තූපය අසලින් ලැබී ඇති සාධක අනුව මෙම ස්තූපය අනුරාධපුර මුල් කාලවකවානුවට අයත් බවට අනුමාන කළ හැකිය. වටප්‍රමාණය මීටර් 112ක් පමණ වූ ගර්භයේ උස මීටර් 10කට ආසන්නය. බොහෝ කලක් වන ගහනයෙන් යුක්ත වීම නිසා මෙන්ම නිධන් හොරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ද ගර්භයට හානි සිදුවී ඇත. මෙම ස්තූපයේ ධාතු ගර්භ ඉහළ හා පහළ අන්තවල ඉදිකර තිබේ. එක් තිරස් මටටමක ධාතුගර්භ 9 ක් පමණ තිබී ඇති අතර එසේ හමුවී ඇති ධාතු ගර්භ සංඛ්‍යාව 29 කි. සතර පැත්තෙන් ගඩොලින් නිමවන ලද ධාතු ගර්භය මතුපිට ගල් පුවරුවකින් ආවරණය කර ඇති අතර ගඩොලින් කළ බිත්ති ඇතුළත හුණු කපරාරු කර තිබේ.

එක් ධාතු ගර්භයක හමු වූ අනුරාධපුරයේ මුල් යුගය නියෝජනය කරන සිතුවම් වඩා වැදගත් වේ. කහ සහ රතු වර්ණය භාවිතයෙන් ගරාදිවැට හා අත් ලකුණුවලින් හැඩ ගැන්වූ සිතුවම් වලින් කුමන අදහසක් අර්ථවත් වූයේ ද යන්න විද්වතුන් අතර තවමත් එකඟත්වයට පැමිණ නැත. එසේම ඒ තුළ වූ මැටි ඵලක ලෙස හැඩ ගැන් වූ ශ්‍රාවක රූප කොටස් ද හමුවී ඇත. කෙසේ නමුත් මෙම සිතුවම් කොටස් දෙස බැලීමෙන් මනාව පෙනී යන්නේ මේවා අනුරාධපුර මුල් අවධිය නියෝජනය කරන බවය.මිහින්තලේ කණ්ඨක චෛත්‍යයට නැගෙනහිරින් පිහිටි ස්තූපයක ගර්භයේ තිබී අනුරාධපුර යුගයට අයත් සිතුවම් කොටස් හමුවී තිබේ. මෙම සිතුවම් ක්‍රි. ව. 7-8 ශතවර්ෂවලට අයත් බවට මත පලවේ. 1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ස්තූපය කැණීම් කර තිබෙන අතර විශ්කම්භය අඩි 88 කි. මෙහි කලාත්මක චිත්‍ර 28ක් පමණ දක්නට ලැබෙණු බව විද්වතුන් ප්‍රකාශ කරයි.

එම සිතුවම්වල දක්නට ලැබෙන්නේ ඉඟෙන් උඩ කොටස පමණක් වූ රූප සමූහයකි. ඒවායේ පහළ කොටස වලාකුළින් වැසීගිය ආකාරයට නිරූපණය කර තිබේ. මෙම සිතුවම් වලින් දෙවිවරුන් පිළබිඹු වන බව පරණවිතාන මහතා පෙන්වා දී ඇත. සිතුවම් ඇඳ තිබෙන්නේ රේඛා සටහන් මගින් වන අතර චිත්‍රවලට වර්ණ යෙදීම සීගිරි චිත්‍ර සම්ප්‍රදායට අනුව කර තිබේ. මෙහිදී රතු, කහ, කළු හා පලාවන් යන වර්ණයන් භාවිත කර ඇත, අනුරාධ සෙනෙවිරත්න මහතා ද දක්වා ඇත්තේ මෙම සිතුවම් රේඛා මගින් පමණක් කර ඇති බවය. සමහර දේව රූප අතින් නෙළුම් මල් ගෙන සිටින අතර තවත් සමහර රූප දෙඅත් එක් කොට වඳින ආකාරයක් දැක්වේ.

පැරැණි බිතු සිතුවම් පිළිබඳ විශේෂඥයකු වූ මංජු ශ්‍රී මහතා මේ සිතුවම් වලින් දැක්වෙන්නේ බෝසතුන් සහිත අප්සරාවන් යැයි කියයි. මෙම සිතුවම් චාර්ල්ස් මහතා විසින් පරීක්ෂා කර ඇති අතර උසස් ශිල්පීන්ගේ චිත්‍රයන්හි දක්නට ලැබෙන රේඛාවන්ගේ ලාලිත්‍ය, රූපයන්ගේ හැඩය, පරිමාණය, සමබර හා සිත් ගන්නා ගතිය නොඅඩුව ඇති බව එම මහතා පෙන්වා දෙයි. විඡේසේකර මහතා ද සඳහන් කරන්නේ මෙහි රචනාව උසස් බවය. මැනවින් සංතුලිත බවය. එසේම ඒවා නිශ්චිතවම දෙවිවරුන්ගේ රූප බවට පෙන්වා දී තිබේ. පොළොන්නරු යුගයේ ආරම්භක අවදියේදී පමණ කරන ලද සිතුවම් කොටස් කිහිපයක් මහියංගන ධාතු ගර්භයෙන් ද ලැබී තිබේ. ඉතාම සීමිත සිත්තම් ප්‍රමාණයක් ඉතිරි වී ඇති අතර මෙම සිතුවම් සීගිරි හා වෙනත් ස්ථානවල දක්නට ලැබෙන සිතුවම් නිර්මාණය මෙන් විශිෂ්ට ලක්ෂණ පෙන්නුම් නොකරන බව එම නිර්මාණ ශෛලීන් සැසැදීමේ දී තහවරුවන බව විද්වතුන් පෙන්වා දෙයි. මෙහි බුදුන් වහන්සේ බෝධි වෘක්ෂයකට පහතින් ඇති ආරුක්කුවක් යට වැඩ හිඳින ආකාරයට නිරූපණය කර ඇත. බුදුන් වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂය ශෛලීගත ආකාරයට දක්වා ඇති නමුත් එය බෝධි වෘක්ෂයක් බව අවබෝධවන ආකාරයට සිත්තම් කර ඇත. 

බුදු හිමියන් පිරිවරා සිටින පුද්ගලයන් තිදෙනා බ්‍රාහ්මණයන් බව ඇතැමකුගේ අදහස වුවද මෙම රූප තුනෙන් ශිව දෙවියන් තම ත්‍රිශූලය සහිතව ද විෂ්ණු දෙවියන් සිය අත් සතරින් දෑතකින් මල් බඳුනක් ගෙන සිටින ලෙස ද දැක්වෙන අතර අනිත් රූපයෙන් බ්‍රහ්මයා ද දක්වන බවට ද මතයක් පවතී. බුදුරදුන්ගේ හිස් ජටා මඩුලුු ගැන්වුණු කේශකලාපය සහිතව මැනවින් දක්වා තිබේ.උන්වහන්සේගේ වම් පසින් දැක්වෙන රූපය ඉතා හැඟීම් ප්‍රකාශ කරන සුළුය. ඔහු සිය වමතෙහි නෙළුම් පොකුරක් දරා සිටී. යොදා තිබෙන වර්ණ අතර රත නොහොත් ඔරේන්ජ් පැහැය, කහ, කළු හා සුදු පාට ද වෙයි. මෙම ධාතු ගර්භය හා චිත්‍රයන් මෑත අනුරාධපුර සමයට අයත් ඒවා ලෙස පරණවිතාන මහතා සඳහන් කරන අතර ඒවා සම්ප්‍රදායෙන් හත් වැනි සියවසටත් නවවැනි සියවසටත් අතර කාලයට අයත් විය හැකි බව චාර්ල්ස් මහතා සඳහන් කරයි. මේ සිතුවම් කැබලි අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබේ. මහා පරාක්‍රබාහු රජු තමන් උපන් දැදිගම පුරවරයේ තමන් උපන් ස්ථානයේ සූතිඝර චේතිය ඉදිකර ඇති අතර කාලයාගේ ඇවෑමෙන් නටඹුන්ව පැවැති එම ස්තූපය පරාක්‍රමබාහු රජු විසින් තමන් උපන් ස්ථානයේ කරන ලද දාගැබ විය හැකි බව එච්.ඩබ්. කොඩ්රින්ටන් මහතා 1930 දී ප්‍රකාශකර ඇත. මේ පිළිබඳ පර්​ෙ‌ය්ෂණය කිරීමට 1947 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් ආරම්භ කරන ලද අතර ඒ අනුව මෙම ස්තූපයේ වටප්‍රමාණය අඩි 804ක් ලෙසත් උස අඩි 47ක් බවත් අනාවරණය කරගෙන තිබේ.

මෙහි කැණීම් වාර්තාවේ සඳහන්වන ආකාරයට රේඛාමය ලෙස ඇඳ තිබූ සිතුවම් සමූහයක් මෙහි ප්‍රධාන ධාතුගර්භයේ තිබී හමුවී ඇත. ඒවා රත්හිරියල් නම් පාෂාණය භාවිතයෙන් ඇඳ තිබූ අතර එම රේඛා සිතුවම් තුළින් දෙවි දේවතාවන්, භික්ෂූන්, මල් ආදී දෑ නිරූපණය කර ඇත. නමුත් පසුකාලයේ දී එම සිතුවම් විනාශ වී තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල වන රක්ෂිතයේ පිහිටා තිබෙන නීලගිරි ස්තූපය පිළිබඳව මහාවංශය ප්‍රමුඛ මෙරට වංශකතා සාහිත්‍යයේ සඳහන් නොවේ. නමුත් මහාවංශයේ 24වන පරිච්ඡේදයේ 8, 9, 10 ගාථාවල සඳහන් වන මහානුග්ගල දාගැබ වර්තමාන නීලගිරි සෑය බවට මත ඇත. එල්ලාවල මේධානන්ද හිමියන් රචිත මාගම රාජධානිය ග්‍රන්ථයේ දී (2012 දෙවන මුද්‍රණය) නීලගිරි සෑය පිළිබඳව විවරණයක යෙදෙන අතර උන්වහන්සේ ද එම මතය සපථ කර තිබේ. අඩි 611ක දැවැන්ත වටප්‍රමාණයකින් හා අඩි 75ක පමණ උසකින් යුත් (දැනට ශේෂව ඇති උස) ලාහුගල වන රක්ෂිතයේ සැඟව පවතින නීලගිරි ස්තූපයේ ඓතිහාසික පසුබිම පිළිබඳව වංශකතා සාධක කිසිවක් දක්නට නොමැතිවීම එහි නිර්මාණ කාලය තහවුරු කර ගැනීමට ප්‍රබල ගැටලුවක් වී ඇත. නමුදු නීලගිරි දාගැබේ ඉදිකිරීම් ලක්ෂණ, කැණීම් මගින් ස්තූප මළුවේ තිබී මතුකරගත් ඡත්‍ර ගල්වල සාධක, ඡත්‍ර දණ්ඩ 2ක සාධක, ස්තූපය මුදුනේ දැනටත් දක්නට ලැබෙන යූපය හා ස්තූප මළුවෙන් දැනට අනාවරණය කරගෙන ඇති සිරිපතුල් ගල් හා ආසන ගල් පෙන්නුම් කරන්නේ මෙම ස්තූපය ක්‍රිස්තු පූර්ව අවධියේ ඉදිකරන ලද්දක් බවය.මෙහි සිදුකරන ලද කැණීම්වලදී කංචුකය තුළ නිර්මාණය කර තිබූ ධාතු කුටි සමූහයක් මතුකරගෙන ඇති අතර ඉන් එක් කුටියක් වසා තිබූ ගල් පුවරුවක ඇතුළු පැත්තේ ඇඳ තිබූ නෙළුම් මලක සිතුවමක් හමුවී තිබේ. 

ඉතා සරල සිතුවමක් වන මෙහි කාල නීර්ණය කිරීමට එය ප්‍රමාණවත් නොවන නමුත් එම ධාතු කුටීර ක්‍රි.ව. 3, 4 සියවස්වලට අයත් යැයි අනුමාන කරන බැවින් එම සිතුවම ද එම කාලයට අයත් බව නිගමනය කළ හැකිය. සබරගමුව පළාතේ අටකලන් කෝරලයේ කඳවෙල් පත්තුවේ උස්බිමක කොට්ටිඹුල්වල රජ මහා විහාරය පිහිටා ඇති අතර මෙය වළගම්බා රජු විසින් ගොඩනගන ලද විහාරයක් බව ජනප්‍රවාදයේ පවතී. එම මතයට අනුව මෙහි වැඩ විසූ හිමිනමක් වළගම්බා රජුගේ සේනා සංවිධානයට සහය දී ඇත. ලෙන් විහාරයක් ලෙස ගොඩනගා ඇති මෙම විහාරයේ ලෙන අඩි 120ක දිගකින් හා අඩි 23ක් පමණ උසකින් යුක්ත වේ. එහි කටාරම් කොටා ඇති අතර එම නිසා මෙම ලෙන ක්‍රිස්තු පූර්ව අවධියේ දී භික්ෂු වාසස්ථානයක් ලෙස පැවැති බව අනුමාන කළ හැකිය.මෙහි ඇති පෞරාණික ස්තූපය නිදන් සොරුන් විසින් විනාශ කර ඇති අතර එහිදී එම ස්තූපයේ ධාතු ගර්භයේ ඇඳ තිබූ සිතුවම් සමූහයක් මතු වී තිබේ. මෙහි වර්ණ බොහෝ සෙයින් විනාශ වී ඇති අතර රතු, කළු හා දුඹුරු පැහැය උපයෝගී කරගෙන ඇඳ තිබූ පුද්ගල රූ සමූහයක හිස් පමණක් පැහැදිලිව දක්නට ලැබේ. එම රූ ස්ත්‍රීන්ගේ බව පැහැදිලිව හඳුනාගත හැකි වේ. මෙම සිතුවම්හි ලක්ෂණ අනුව මෙම ධාතු ගර්භ සිතුවම් මහනුවර යුගයේ දී නිර්මාණය කරන ලද ඒවා බව පෙනේ. මේ අනුව මෙරට සිතුවම් කලාවේ නව මානයක් ලෙස මිිනිසුන්ගෙන් සඟවා තැබීමට ස්තූප ඇතුළත ඇඳි මෙම සිතුවම් හඳුන්වා දිය හැකිය.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ස්තූප ඇතුළේ හෙළයන් සිතුවම් ඇන්දේ ඇයි ? (Why Did The Helas Draw Paintings Inside The Stupas?) ස්තූප ඇතුළේ හෙළයන් සිතුවම් ඇන්දේ ඇයි ? (Why Did The Helas Draw Paintings Inside The Stupas?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, August 07, 2020 Rating:

0 comments:

Post a Comment