රන් සෙම්බුවක් මතුවන - තඹදොළ ඇල්ල (Tambadola Ella)

පෝය දිනවල සඳ එළියෙන් තඹදොළ ඇල්ල වර්ණවත් වෙද්දි ඒ ඇල්ලෙන් රන් සෙම්බුවක් මතුවන බවට විශ්වාසයක් තියෙනවා. 

වන ගහනය නිසා අඳුරින් යුතු මේ ජල තටාකයට අතරින් පතර වැටෙන හිරු කිරණ විසින් තඹ පැහැ ජලධාරා රත්තරන් පැහැයෙන් බබළවන අපූරුව ඔබ විස්මයට පත්කරන බවට මට සැකයක් නෑ.

ගමන් මඟ- පළාත - බස්නාහිර පළාත දිස්ත්‍රික්කය - කළුතර පිහිටීම - අගලවත්ත ප්‍රාදේශීය සීමාවේ පොල්ගම්පළ රිදීවිට ගම්මානයේ පිහිටා ඇත.

පොල්ගම්පොළ කුරුවිට පාරෙන් හැරී මඳ දුරක් යන විට හමුවන තඹදොළඇල්ල සොබාදහමේ තවත් අපූරු නිර්මාණයකි. මෙහි ඇති සුන්දරත්වය විඳගැනීමටත්, ඒ ආශ්‍රිතව දිය නෑමටත් ඈත එපිටින් පවා ඇදී එන පිරිස සුළුපටු නොවේ.

මහ දහවල පවා රාස්සිගේ අව්ව වැටෙන ගොම්මන් කාලය සේ හැඟීමක් සිතට එක්කරනවා. දහස් සංඛ්‍යාත රැහැයියන් එකවරම කරන මේ මුනුමුනුවට සමහර වෙලාවට හිත තිගැස්සෙනවා. ඒ රැහැයි නාදය අබිබවා එකවරම කෑරලකුගේ තියුණු නාදයෙන් පරිසරයේ ඒකතානමය බව බිඳී ගියේ සැණෙකින්. එකිනෙකා හා සුසංයෝගී ව වෙළී ගිය තුරුලතා මැදින් අප නිහඬවම ගිය ගමන හිටිවනම නවත්වන්නට තරම් ඒ නාදය තියුණුයි.

තඹදොළ ඇල්ලට කැඳවාගෙන යන්නේ ෆයිනස් වගාවෙන් හෙබි අඩිපාර දි‍ගේ. පහසුවෙන් දිරා නොයන ෆයිනස් පත්‍ර වැටී මුළු පොළෝ තලයම දුඹුරු පැහැගෙන. ඒ වගේම දැඩි ලිස්සන සුළු බවකුත් ඇතිවෙලා. මේ බොහෝදෙනා අතර ජනප්‍රිය මාර්ගයෙන් නොගොස් වෙනස් විදියේ අත්දැකීමක් ලබන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, ස්වභාවික දොළ පාරේ පිහිටි ගල් මතින් පනිමින් දියඇල්ල තෙක්ම යා හැකියි. 

තටාකයේ සුවදායී ව වැතිරී සිටින අතරේ අවට වනාන්තරය දෙස විමසුම් සහගතව බලන්නටත් අමතක කරන්න එපා. නේකවර්ණ සමනලුන් ඒ මේ අත පියඹමින් විචිත්‍ර මල්වල පැණි බොන ආකාරය ඔබේ නෙතට රසඳුනක් වේවි. ඔබේ නොහික්මුණු හැසිරීමෙන්, බීමත්කමින් මෙන්ම ඝෝෂාවෙන් අවට පරිසරය කෙලසන්නට නම් එපා. ඒ පරිසරයේ සුන්දරත්වය මිහිතලය ඔබට දායාද කරන්නේ ඔබ කෙරෙහි වන අපූර්ව සෙනෙහසකින්. අපිත් ඊට පෙරළා සෙනෙහස දැක්විය යුතු ම යි.








උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රන් සෙම්බුවක් මතුවන - තඹදොළ ඇල්ල (Tambadola Ella) රන් සෙම්බුවක් මතුවන - තඹදොළ ඇල්ල (Tambadola Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 12, 2020 Rating: 5

0 comments:

Post a Comment