ලංකාවේ රොබින් හුඩ්ගේ - සරදියෙල් ගම්මානය 💪🧔🏾 (Saradiel Village)

අද අපි කතා කරන්න යන්නේ සූරයෙක් වෙනුවෙන් නිර්මාණය වූ ගම්මානයක් ගැනයි.

ගම්මානයක් කිව්වට මෙය මිනිස්සු ජීවත්වෙන ගම්මානයක් නෙමේ අතීත උරුම විදහා දක්වන පිළිරු තමා මේ ගමේ තියෙන්නේ.

මාවනැල්ලේ උරුමයට වටිනාකමක් එක් කරන උතුවන්කන්ද, ලංකා ඉතිහාසය තුළ සලකුණු තබන්නේ සරදියෙල් චරිතය නිසා නේ.

සරදියෙල් ජීවත්ව සිටි වකවානුව සිහිපත් කරන "සරදියෙල් ගම්මානය", උතුවන්කන්ද පාමුල දී සිත අතීතයට කැඳවාගෙන යන්නට සමත් අපූරු ස්ථානයක් කිව්වොත් නිවැරදී.

ඉතිහාස කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

1832 මාර්තු 25 වැනි දා උපත ලද දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල්, ඉංග්‍රීසි පාලනයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් වැරැදිකරුවකු ලෙස නම් කර තිබූ හෙයින්, ඔහු සැඟව සිටියේ උතුවන්කන්ද ප්‍රදේශයේය .

කොළඹ සිට උඩරටට ප්‍රවාහන කටයුතු සිදුකළ ගමන් මාර්ගය හොඳින් දර්ශනය වන ස්ථානයක සැඟවී, එම මඟෙහි ගමන් ගන්නා ඉංග්‍රීසි ජාතිකයන්ට හා ඔවුන්ගේ පාක්ෂිකයින්ට පහරදී ,ඔවුන් සතු වස්තුව පැහැරගෙන ජනතාව අතර බෙදා දුන් නිසා , සරදියෙල් “ලංකාවේ රොබින් හුඩ්” ලෙස හැඳින්විය .

අවස්ථා කිහිපයකදීම අත් අඩංගුවට ගත්ත ද එයින් මිදී පැන යාමට තරම් සරදියෙල් දක්ෂයකු විය. ලංකා ඉතිහාසයේ පළමු වරට පොලිස් නිලධාරියකු මරා දැමෙන්නේ ද ඔහු අතිනි.

1864 මාර්තු 21 වැනි දින අත් අඩංගුවට ගත් සූර සරදියෙල් නම් ජනතාවගේ වීරයා, 1864 මැයි මස 7 වැනි දින මරුමුවට පත් කරනු ලැබුවා.

ඔන්න ඕක තමා සරදියෙල්ගේ කතාව කෙටියෙන්...

“ සරදියෙල් ගම්මානය “ ද අතිශයින් ම දැකුම්කළු ය. අක්කර හයක තරම් විශාල භූමි භාගයක් තුළ ගොඩනැගී ඇති සරදියෙල් ගම්මානය වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාගේ සංකල්පයක් අනුව, ගොඩනැගුණු ස්ථානයකි.

1980 දශකයේ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස එතුමා සේවය කරන අවදියේ එක්තරා රෝගියකු පරීක්ෂා කිරීමට ගිය ගමනකදී, ඔහුට සරදියෙල් පිළිබඳ අධ්‍යයනයක යෙදීමට ලැබුණු අවස්ථාව, මේ අපූරු නිර්මාණයෙහි මූලාරම්භය ලෙස හැදින්වෙනවා.

එවක් පටන් සිය සිතෙහි නිර්මාණය වූ මේ කලාත්මක සහ ඉතිහාසය ප්‍රතිනිර්මිත අපූර්ව ගම්මානය සැබෑවක් කරන්නට ආරියසේන වෛද්‍යතුමන් සිය කාලය ශ්‍රමය වැය කරමින් බොහෝ වෙහෙස විය.

එවක ගමෙහි මූලික කේන්ද්‍රස්ථානය වූ ආරච්චිගේ නිවෙස ආශ්‍රිතව ගව ගාල, ගම ගෙදර, කුරහන් ගල, නැකැති රාලගේ ගෙදර, රන්කරුවාගේ ගෙදර, කුඹල් ගෙදර, වෙද ගෙදර, මුළුතැන්ගෙය, වී බිස්ස, තිඹිරි ගෙය, දඬුකඳ කියන මේ කරුණු කාරණා සියල්ල පිළිවෙළකට නිමවා ඇති මේ ගම්මානය තුළ, එම කාල වකවානුවේ ජන ජීවිතය කියවාගත හැකි පරිදි නිර්මිත පිළිරූ ඇසුරින් නරඹන්නන් අතීතයට රැගෙන යයි.

සරදියෙල් සිය ළමා වියේ අකුරු කළ තැන් පටන් ගෝන්දිවෙල ආරච්චිගේ මල්ලිගේ පුතාට බැට දුන් ආකාරය සහ අනතුරුව චෞරයකු වීම තෙක් සරදියෙල් චරිතය ක්‍රමානුකූලව ගොඩනැඟුණු ආකාරය විදහා දැක්වීමට සියුම් භාව ප්‍රකාශන පවා ඉස්මතු කරමින් මේ ප්‍රතිමා නිර්මාණය කරන්නේ, චිත්‍ර කලා ගුරුවරයකු වන මිල්ටන් ජයපාල මහතා යී.

ඉතින් ඔයාලත් මෙහි ගිහින් අපේ රොබින් හුඩ්ගේ මතකය අවදි කරගන්න.













උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවේ රොබින් හුඩ්ගේ - සරදියෙල් ගම්මානය 💪🧔🏾 (Saradiel Village) ලංකාවේ රොබින් හුඩ්ගේ - සරදියෙල් ගම්මානය 💪🧔🏾 (Saradiel Village) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2020 Rating: 5

0 comments:

Post a Comment