තලගුණේ වෙහෙරේ හාස්කම් (Miracles of Thalagune Vehera)


දැනට මාස දෙක තුනකට පෙර එක් උදෑසනක මා හඳුනන විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ තලවින්න පදිංචි ඩබ්ලිව්.එම්.යූ. වීරසේකර මහතා දිගු කලකට පසු මා සොයාගෙන ආවේය. ඔහු අතේ ලිපිගොනුවක් විය. මහනුවර පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුගස්තොට නුදුරු නවයාලතැන්න පිහිටි ජනප්‍රවාද රැසකට මුල්වූ තලගුණේ විහාරය පිළිබඳ ලියැවුණු ඔහු අතින් සකස් කළ තොරතුරු කීපයක් ලිපිගොනුවේ අැතුළත් විය. ඔහු එම විහාරය කිට්ටුව පදිංචිව සිටි දැනට සේවයෙන් විශ්‍රාම ගිය විදුහල්පතිවරයෙකි. ජනප්‍රවාද අනුව එලාර සමග සටනට යන දුටුගැමුණු කුමරු යුද සේනාව සමග පේරාදෙණිය නුදුරු ගැටඹේ හරහා පැමිණ කටුගස්තොට පසු කර මහවැලි ගංඉවුර දිගේ නවයාලතැන්නේ තලගුණ විහාරයට පැමිණ එහි දින කිහිපයක් සේනාව සමග ලැගුම් ගෙන ඇත. මහවැලි ගඟ අද්දර සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානය විශාල ලෙස පැතිර ගිය ගල් තලාවකින් යුක්තය.

ගල්තලාව පිටුපසින් වේරගල නමැති කඳු ගැටයක් පිහිටා ඇත. ඒ නිසාම මෙම ස්ථානය ද වේරගල වෙහෙරගල යන නම්වලින් හඳුන්වයි. දින කිහිපයක් එහි ලැගුම් ගත් ගැමුණු කුමරු තම ගමන සිහිවීමට මෙම ගල් පර්වතය මත කුඩා දාගැබක් ගොඩනඟා ඇත. ඉන්පසු මීගම්මන හරහා මහවැලි ගඟ දිගේ උඩදුම්බර වේඬරුව හරහා මහියංගණය බලා ඉදිරියට ගමන් කළ බව කියැවෙයි. ගැමුණු කුමරු හා සේනාවට උඩදුම්බරදී ප්‍රදේශයේ ජනතාව කෑමබීම හා වෙඬරුවලින් සංග්‍රහ කළ බැවින් ඒ ස්ථානය අදටත් වේඬරුව යන නමින් ප්‍රකටය. තවත් ඉදිරියට යද්දී පසුකළ රජු වෙනුවෙන් සොරබොර වැව ඉදිකළ යක්ෂ ගෝත්‍රික යෝධයෙකු වූ බුලතා යෝධයා ජීවත්වූ ගම් ප්‍රදේශය හමුවෙයි. ඒ ප්‍රදේශය අදත් හඳුන්වන්නේ කිරිපට්ටිය නමිනි. පසුකල ගැමුණු කුමරුට සටන් බිමේදී බුලත් විට සැපයීම බාරව සිටි බැවින් එම පදවියේ නාමයෙන් ඔහු බුලතා නමින් ප්‍රකට විය.

උඩදුම්බර මහවෙල සිට මිණිපේ ජනපදයේ මොරයාය ගම දක්වා දරුණු ප්‍රපාතය මැදින් යෝධ ගල් තබා ගල් පඩිපෙළ නමැති අති දුෂ්කර කෙටි පටු මාර්ගය එදා ඉදිකළේ බුලතාගේ බිරිඳ වූ යෝධ ගැහැනියයි. කුමරු යුද බිමේ සිටිය දී රාජකාරී ඉටුකර ලැබෙන විවේකයෙන් බුලතා කුමරුට හොරෙන් ඉතා රහසිගතව ගල් පර්වතයක් අද්දර පිහිටි සොරබොර වැව කරවීය. බුලතාට දහවල් කෑම ගෙන යන සිරිමල් එතනා නම් ඔහුගේ බිරිය එම පටු දුර්ගය ඉදිකිරීමට යන එන ගමන්වල දී යෝධ ගල් පතුරු ගෙනවිත් ගල්පඩි පෙළට දමා ගල්පඩි​ පෙළ මාර්ගය ඉදිකර ඇත. එයද සොරබොර වැව මෙන්ම අතිදුෂ්කර කාර්යයකි. සොරබොර වැවත් ගල්පඩිපෙළත් දෙකම ගැමුණු කුමරු එකදා විවෘත කළ බව ජනකතාවල එයි. වීරසේකර මහතා මා වෙත විස්තර කළේ වෙහෙරගල කඳු පාමුල පිහිටි තලගුණ විහාරයේ ආරම්භය පිළිබඳ කතාවයි. තලවින්නේ පදිංචිව සිටි ඔහු නිතර මෙම ස්ථානය පසුකර යන බැවින් එම ස්ථානය නිතර ඔහුගේ ඇස ගැටෙයි. ඔහුගේ හිතවතෙකු වූ තලවින්නේ පදිංචි විමලරත්න නමැති විශ්‍රාමික ගුරු මහතා ද ඔහුගේ අත්දැකීම් හා කතාවට හවුල් වී ඇත. තලගුණ වෙහෙරේ හා වෙහෙරගල කන්දේ හාස්කම් ගැන ඔහු තම කතාව අරඹයි.

වෙහෙරගල අක්කර කීපයක පැතිරුණු විශාල ගල් පර්වතයක් මේ ගල් පර්වතය පිටුපස්සේ වේරගල කන්ද පිහිටලා තියෙනවා. ගල් පර්වතය උඩ පිහිටලා තියෙන තලගුණ දාගැබ එකම පරණ බෝධියක් තිබුණා. ගමේ මහලු පරණ අය මේ දාගැබට බෝධියට අධිපති දෙවිවරු වෙනුවෙන් පුද පූජා කළා. ඉස්සර ගමේ අය දාගැබට දඬු බෙර පින්කම් කළා. ඉඩෝර කාලවල ඒ වගේ දඬුබෙර පින්කම් පවත්වලා ඉවරවුණාම වර්ෂාව ලැබෙනවා. ගොවිතැන්වලින් යැපුණු ප්‍රදේශයේ ජනතාවට ඒ වැස්ස හරි වැදගත්. මේ ප්‍රදේශය අයිති ගම නවයාලතැන්න කියලා ඉස්සර ඉඳලා ප්‍රසිද්ධයි. ඒකට හේතුව කුඹුරු නවයායක් ඉතා සශ්‍රීකව මේ ප්‍රදේශයේ පිහිටා තිබීමයි. තල වගාව එළවළු වගාව වෙනත් ගොවිතැන් මේ ප්‍රදේශයේ බොහොම සශ්‍රීකව සිද්ධ වුණා.

මේ වෙහෙරගල කන්ද අයිනේ දුප්පත් අහිංසක ගොවියෙක් හිටියා. දවසක් දාගැබක් ගැලවුණු ගලක් අරගෙන ගිහින් ගෙදරකට යන පාරේ පඬියකට තියලා තිබෙනවා. එදා අකුණු ගහලා අකාල මහා වරුෂාවක් වැටුණා. තද අකුණු පාරක් වැදිලා දාගැබෙන් ගෙනාව පඬියට දාලා තිබුණු ගල කෑලි කෑලිවලට විසිරිලා ගියා. පරණ මිනිස්සු මේ දාගැබට කිරිආහාර පූජා කළා. ලෙඩ රෝග අසනීපවලදී දාගැබක බාරවෙලා හත්දවසක් බෝධිපූජා තිබ්බම ලෙඩ රෝග සනීපවෙලා තියෙනවා. දවසක් දාගැබෙන් ගැලවුණු ගලක් ගෙනත් දුප්පත් කෙනෙක් ගෙදර මිරිස් ගලට අරගෙන තියෙනවා. වැඩි දවසක් ගියේ නෑ. එයා පිස්සු හැදිලා. ඒ විකාරෙන්ම ගෙනාපු ගල ආපහු දාගැබ ළඟට ගිහින් දාලා තියෙනවා. මම තවත් තොරතුරක් කියන්නම්. දාගැබ කිට්ටුව ගොවියෙක් පදිංචි වෙලා හිටියා. වැස්ස නැති කාලෙක එයාගේ ගේ මැදින් ලොකු වතුර ගොබයක් එක පාරටම මතුවුණා. මේ තරම් ලොකු වතුර ගොබයක් වෙහෙරගල කන්දේ කොහේ හැංගිලා තිබුණා කියලා හොයාගන්න බැරි තරම් පුදුමයි. පිරුණු පොකුණකින් ගලාගෙන වතුරක් වගේ තමා අර විශාල වතුර ගොබය එක පාරටම ගේ මැදින් ගලාගෙන ආවේ. පසුව මේ වතුර ගොබය නැවතුණා.

වෙහෙරගල කන්දේ බොහොම ඉස්සර ලොකු ගුහාවක් තිබුණු බව වයසක අය කියනවා. දාගැබට කන් කිට්ටු කරල තිබ්බම මීමැහි රංචුවක් යනකොට ඇහෙන ශබ්දයක් තියෙනවා. ඒක මිහිර සද්දෙට පිරිත් කියනවා වගේ ඇහෙන ශබ්දයක්. කිසිම කෙනෙකුට දාගැබ අවට ගොවිතැන් බත් කරන්න බෑ. දාගැබ අයිති පන්සලේ හිටපු ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන දාගැබ අවට සුද්ද කරලා ගොවිතැන් කරපු කෙනෙක් හිටිහැටියෙම මැරුණා. එක්දාස් නවසිය අසූ ගණන්වල සංස්කෘතික ත්‍රිකෝණයෙන් මේ දාගැබ ප්‍රතිසංස්කරණය කළා. ඒ වැඩට හවුල් වුණු අයට යහපතක් වුණේ නෑ. පවුල් කැඩිලා විසිරිලා ගියා. අකාලයේ මිය ගියා. මේ දාගැබ අලුත්වැඩියා කරන්න ආපු වෙළෙන්දකුගේ නෑයෙක් කාලයක් දාගැබ ළඟ පදිංචිවෙලා හිටියා. ඒ වුණාට ඒ ආපු කණ්ඩායම අතරම එක එක කලකෝලාහල ඇතිවෙලා අර මැණික් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානයත් විනාශ වෙලා ගියා. 1992 විතර සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරී කණ්ඩායමක් මේ දාගැබ සාරා පරීක්ෂණයක් කිරීමට ආවා. ඒ හෑරීමේ දී දාගැබේ එක තැනකින් විශාල ගල් කුට්ටියක සිදුරක් මතුවුණා. ඒක අඟල් හතරක් තරමේ අතක් ඇතුළට දාන්න පුළුවන් තරමට පුංචි සිදුරක්. ඒ සිදුර දාගැබේ තිබුණු රහස් උගුලක් කියලා පස්සේ එළිවුණා. ඒ සිදුර දාගැබේ නිධානය ආරක්ෂා කිරීමට යොදපු උගුලක්.

1993 සංස්කෘතික ත්‍රිකෝණය කටුගස්තොට පොලිසිය ග්‍රාම නිලධාරී සහාය ඇතුව දාගැබේ නිදන් කොටුවේ තිබිලා පුරාවස්තු හැත්තෑ අටක් හොයාගත්තා. ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට යැව්වා. නිදහන් වස්තුවල තිබුණු දේවල් ගැන එක එක කතා පැතිරිලා ගියා. වටිනා පුංචි රත්තරන් පිළිමයක් හමුවුණා කියලා පොලිසියේ මහත්තුරු කියලා තියෙනවා. මුල් කාලයේ ගැමුණු කුමාරයා දවස් කීපයක් සේනාව සමඟ නතරවෙලා ඉන්න කොට තමා මුල්ම පුංචි දාගැබ වෙහෙරගල ගල මුදුනේ හැදුවේ. ඒ හින්දා පළාතම සරුසාර වුණා. දියුණු වුණා. ඊට පස්සේ ඒ සේනාව මීගම්මන හරහා මහියංගණය බලා පිටත් වුණා. දාගැබ ලොකුවට බැඳලා තියෙන්නේ ඊට පස්සේ මහනුවර කාලයේ. මේ දාගැබ ඊට පස්සේ කැලෑ වැවිලා පාළුවට ගියා. පිටින් ආපු නිධාන හොරු කීප සැරයක් දාගැබ හාරලා තියෙනවා. දැන් දාගැබ ළඟ පන්සලේ ස්ථිර පදිංචිය තියෙන හාමුදුරු නමක් ඉන්නවා. එළාර රජ්ජුරුවොත් එක්ක ගැමුණු කුමාරයා රට මැදින් යුද්දෙට යනකොට මුලින්ම හදපු හාස්කම් තිබ්බ ස්ථානයක් හැටියට එදා අය තලවින්න දාගැබට ගරු සත්කාර කළා. ටිකෙන් ටික අලුත් දියුණුව එක්ක ඒ පුද සත්කාර ගෞරව අඩුවෙලා ගිහින්. විමලරත්න මහතා තේ කෝප්පයක් තොල ගාමින් තමාගේ දිග කතාව නවත්වයි. හමා ගිය තද සුළඟකින් මිදුලේ ගස් තදින් ඒ මේ අත සෙලවෙන අයුරු මට පෙනෙයි.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තලගුණේ වෙහෙරේ හාස්කම් (Miracles of Thalagune Vehera) තලගුණේ වෙහෙරේ හාස්කම් (Miracles of Thalagune Vehera) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2020 Rating: 5

0 comments:

Post a Comment