බිසවගේ කොන්ඩ කූර හා බැදි ජනප්‍රවාදය - මාකූරාව රජමහා විහාරය (Makurawa Rajamaha Viharaya)

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ‍‍කොට්ඨාස‍යේ මාකූරාව ගමේ විහාරය ඓතිහාසික වැදගත්කමක් ඇති රජමහා විහාරස්ථානයකි. කෑගල්ල නගරයේ සිට බුලත්කොහුපිටිය මාර්ගයේ කිලොමීටර් 5ක් පමණ ගිය විට මෙම රමණීය ගම්මානය හමුවේ. මහා මාර්ගයෙන් දකුණු පස වෙල්යාය පසු කරන විට මෙම විහාරස්ථානය පිහිටා තිබේ.

මෙම විහාරස්ථානයේ විහාරාධිපති හා ශ්‍රී ධර්මඥාණ ධර්මායතන පිරිවෙනෙහි අධ්‍යක්ෂක ගින්නලියේ රතනසාර හිමියෝ ගමට මාකූර යන නම හැදී ඇති අයුරු විස්තර කරමින් විහාරස්ථානය අසල වැවක් පිහිටා තිබෙන බවත් එහි නටබුන් දැනටත් දක්නට ඇති බවත් පැවසූහ.
එකල වලගම්බා රජු හා බිසව ඇතුළු පිරිස මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටිය දී මෙම වැව දැක දිය නෑමේ අදහසින් නතර වී, බිසව ජලස්නානය කරමින් සිටිය දී කොණ්ඩයේ ගසා තිබුණ රත්තරන් කොණ්ඩ කූර දියට වැටුණු විට බිසව 'මගේ කූර වැවේ' යැයි පවසා ති‍බේ. මෙම කතාවෙන් පසු මෙම ගමට මාකූරාව යන නම පටබැඳී ඇති බව උන්වහන්සේ පැවසූහ.

"මෙම විහාරස්ථානය අසල ගනේගොඩතැන්න යන ස්ථානයේ විහාරස්ථානයක් තිබිලා තියෙනවා. පෘතුගීසින් එය විනාශ කළ බවත් පැවසෙනවා.

මේ අතර කාල‍යේ ඉන්දියාවේ සිට වෙළෙඳාමේ පැමිණි බමුණන් පිරිසක් බෝධීන් වහන්සේලා වැඩමවමින් සිටිය දී රෑ බෝ වූ නිසා මෙහි තිබුණු වැවෙන් ගොඩවීමට නොහැකිව විහාරස්ථානය ඇති ස්ථානයේ නවාතැන් ගෙන තිබෙනවා. පසුදින නැවත ගමන යාමට ආරම්භකරද්දී රැගෙන ආ බෝධීන් වහන්සේලා වැඩම කිරීමට බලන විට එක් බෝධීන් වහන්සේ නමක් තිබූ තැන මුල් ඇදලා. පසුව තවත් බෝධීන් වහන්සේලා කිහිපනමක් එම ස්ථානයේ රෝපණය කර බමුණන් මෙම ස්ථානයෙන් පිටව ගිය බව කිය‍වෙනවා."

පසුව ගම්වාසීන් විසින් බෝධීන් වහන්සේ ඇති ස්ථානයේ විහාරස්ථානයක් ගොඩනඟා ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.

දැනට මෙහි ඇති ටැම්පිට විහාරය ගනේගොඩතැන්නේ දී සෑදූ එකකි. බෝධීන් වහන්සේ රෝපණය කිරීමෙන් පසු දැව වලින් සාදා ඇති මෙම විහාර ගෙය වැව දිගේ පා කරගෙන විත් ගල් කණු උඩ තැන්පත් කර ඇත.

විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් වැඩ විසූ කඩදොර ශ්‍රී සද්ධානන්ද නාහිමියන් වහන්සේ යම් අයකුගේ ඉදිකටුවක් ඇණුනහොත් හෝ ගිලුණහොත් ශරීරය තුළදීම දිය කර හැරීමේ ඇතුළු සර්වාංගික වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් උසුලා ඇත.





උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිසවගේ කොන්ඩ කූර හා බැදි ජනප්‍රවාදය - මාකූරාව රජමහා විහාරය (Makurawa Rajamaha Viharaya) බිසවගේ කොන්ඩ කූර හා බැදි ජනප්‍රවාදය - මාකූරාව රජමහා විහාරය (Makurawa Rajamaha Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2020 Rating: 5

0 comments:

Post a Comment