කහ ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන 40ක්

නිවෙසක තිබිය යුතු පැළෑටි අතර තවත් වටිනා කහ පැළෑටිය පිළිබඳ අද සටහන් තබමු. Zingiberaceae කුලයට අයත් කහ ශාකය කුළු බඩුවක්, ‍ඖෂධයක් මෙන්ම වර්ණකයක් ද වේ. මෙය කාන්තාවෝ රූපලාවණ්‍ය කටයුතු සඳහා ද යොදා ගනිති. එමෙන්ම දෛනික ජීවිතයේදී භාවිතයට ගත හැකි අත් බෙහෙතක් වශයෙන් ද කහ සැලකේ. කහ ශාකයේ රයිසෝම හරහා ප්‍රචාරණය කර ගත හැකි අතර බුරුල් පසක රයිසෝම සිටුවීම මගින් වඩාත් ප්‍රශස්ථ අස්වැන්නක් ලැබිය හැකිය. සාමාන්‍යයෙන් වසරේ නොවැම්බර්-ජනවාරි අතර කාලයේ දී කහ අල නෙළීමට සුදුසුම කාලය ලෙස සැලකේ. කහ ශාකයේ භූගත කඳ එනම් අලය ඖෂධීය ගුණයෙන් යුක්තය. අඟල් 18ක් පමණ උසට වැඩෙන ශාකයේ පත්‍ර අඟල් 10ක් පමණ දිගින් යුක්ත අතර අඟල් 4ක් පමණ පළලය. සිහින්ය. උල්ය. කහ කොළයේ නටුව කොළයේ තලය තරම් දිගින් යුක්තය. අඟල් 6ක් පමණ දිගින් යුක්ත ශුකිය තුළ මල් හට ගනී. මල් කහ පැහැති ද්වී ලිංගිකය. ඵලය ස්ඵෝටිකාවකි. කහ ශාකයේ නිජ බිම දකුණු ආසියාවයි. නිවර්තන ප්‍රදේශවල වාණිජ බෝගයක් ලෙසද වගා කරයි. කහ ශාකය ඉතා සාර්ථක වාණිජ බෝගයක් වන අතරම වාණිජ ලෝකයේ ඉහළ ඉල්ලුමක් මෙන්ම ඉහළ වටිනාකමක්ද සහිතය.
කහ ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන 40ක්

කප හා වාතය සමනයට ගුණදායක කහ ,පිත වර්ධනය කිරිමකින් යුක්ත වන බැවින් ග්‍රැස්ට්‍රයිටීස් රෝගින්ට සහ පිත්තාශයේ ගල් ඇති විටද කහ භාවිතය සිමා කිරිම රෝගි තත්ත්වයට ගුණදායකය.ශරිරයේ ඉදිමුම් සහිත වේදනාව සමනය කිරිමටත්, කුෂ්ඨ හා තුවාල පිරිසිදු කිරිමටත් අමු කහ භාවිතා කෙරේ. (ආහාර රුචිය ඇති කිරිමට ච කහ ඉතා යෝග්‍ය ඖෂධයකි.

අන්ත්‍රගත කෘමිනාශක ගුණයක් ඇති නිසාම කහ සියලු වයස්වල පසුවන්නේ පණුරෝග සමනයට ද වඩාත් යෝග්‍යය වේ.හික්කාවෙන් පෙළෙන රෝගින්ට වියළී කහ පුලුස්සා ඇවිළෙන විට එකවර නිවා දැමිමේදි නගින දුම ගුණදායකය.ශරිරයේ ඇතිවන ආසාත්මිකතා සඳහා අමු පොල් කොළ දුමට කහ කුඩු දමා දුම ඇල්ලිමෙන් ගුණය ලැබේ.

රුධිරයේ සුදු සෛල වැඩි කිරිමේ ගුණයකින් යුතු කහ, ඇදුම රෝගින්ට මී පැණි සමඟ මිශ්‍රකර ගැනිම ද යෝග්‍යය වේ.පුරස්ථිත ග්‍රන්ථි ඉදිමුණ රෝගි තත්ත්වය සඳහා කහ භාවිතය ගුණදායක අතර මල්ගෝවා ව්‍යාංජනයට කහ වැඩිදුර දමා ගැනිමෙන් , පුරස්ථිත ග්‍රන්ථි ආශ්‍රිතව සහ පියයුරු ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා තත්ත්ව පාලනය කරගත හැකිය.ස්වාභාවිකවම අක්මාවේ ඇතිවන විෂ තත්ත්ව ඉවත්කර රුධිරය පිරිසිදු කිරිම ද ගුණදායකය.

ශරිරයේ ඇතිවන අර්බුද ග්‍රන්ථි ගෙඩි වලට රුධිරය ගමන් කිරිම අඩුකිරිම නිසා පිළීකාවන් වර්ධනය විම සිමා කිරිමටත් , තුවාල පටකවල නව පටක වැඩි තුවාල ඉක්මණින් සුව විමටත් කහ උපකාරි වේ.ගංසුරිය කොළ පොතු ,අමුකහ එකට දමා තැම්බු ජලය තුවාල සේදිම සඳහා භාවිතා කිරිම ද ගුණය.

ශරිරයේ ඇතිවන කුෂ්ඨ , දද , ඇති අවස්ථාවේදි අමු කහ කොටා ගැල්විම හෝ තම්බා වතුරෙන් සේදිම ද යෝග්‍යය.දිලිරි ආසාදන වළක්වා ගැනිමට හින් නිදිකුම්බා අමුකහ දමා තම්බා ඇත්තෝර කොළ ද අමුකහ සමඟ අඹරා තලපය ගැල්විම ද සුදුසුය.සියඹලා කොළ අමුකහ සමට ගෙන තම්බා හෝ කොටා ශරිරයේ ගැල්විමක් ආසාත්මිකතා අවම කරගත හැකි බව ආයුර්වේදයේ පෙන්වා දේ.

ශරිරයේ වේදනා සහිත තැන්වලට කහකුඩු වියළි ඉඟුරු සමඟ මිශ්‍රකර විනාකිරෙන් අනා ශරිරයේ වේදනා සහිත ඉදිමුන ස්ථානයට පැලැස්තර යෙදිය හැකිය.රුව වැඩි කිරිමට භාවිතා කරන ආයුර්වේද පැක් වර්ග, ස්ක්‍රබ් වර්ග , ක්ලෙන්ස් වර්ග අතර ද ප්‍රධානම අමුද්‍රව්‍ය ලෙසට භාවිතා කරන කහ වඩාත් යෝග්‍ය වන්නේ ස්වභාවික කහ අමුවෙන් ගැනිම බව ද මතක තබා ගත යුතුය.

කහ ශරිරයේ ගැල්විමෙන් මැරුණූ සම ඉවත් වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණකි. එම නිසාම සම පැහැපත් කිරිමේ ආලේපනයක් ලෙසත් අකලට සම වයසට යෑම වැළැක්විමේ ඖෂධයක ලෙසත් අතිතයේ සිට අද දක්වා කහ භාවිතා කර තිබේ.ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති කහ තරුණ බව රැකීමට, සම පැහැපත් කිරීමට ඉතා සරලවම යොදාගත හැකි මහඟු ඖෂධයක් වේ.

අතීතයේදී රාජකුමාරිකාවන් තම රූප ස්වභාවය වර්ධනය කර ගැනීමටත්, ශරීර පැහැය ආරක්ෂාකර ගැනීමටත්, ස්නානයට පෙර කහ, සඳුන්, සහ කොකුම් පොතු තම්බා, අඹරා ශරීරයේ ගැල්වූ බවද ඉතිහාස සාක්ෂි අතර හමුවේ.කූඩැල්ලන් කෑ විට ඇතිවන රුධිර වහනය නතර නොවනා තත්ත්වයේදී කහ කුඩු, මී පැණි සමඟ මිශ්‍රකර තුවාලයට තැබීමෙන් රුධිරය යෑම නතරවී තුවාලය සුවවේ.

අපස්මාර රෝගයෙන් පෙළෙන්නන්ට කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ගුණය ලැබෙන අතර කහ දුම ඇල්ලිය යුත්තේ රාත්‍රියේදී බවද ආයුර්වේදයේ පෙන්වා දේ. එලෙසින් දුම් ඇල්ලීමෙන් පසු පැය 2-3 යන තුරු ජලය පානය නොකළ යුතු බවද ශාස්ත්‍රයෙහි ඉගැන්වේ. තවද ගෝනුස්සන් දෂ්ට කළ විට කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ගුණයක් ඇති බව ග්‍රාමීයව ජීවත්වන්නෝ දනිති.

කන් අමාරු ඇති විට කහ කුඩු සිනාක්කාරම් කුඩු 1:20 අනුපාතයට ගෙන කන සේදීම සුදුසුය.අක්ෂි රෝග සඳහා බහුලවම භාවිත කරනුයේ කහ ශාකයේ අල නොව මුල් වීමද විශේෂත්වයකි.සමේ බිබිලි ඇති විට අත් කහ සහ ඔලිව් සමඟ මිශ්‍රකර හෝ අත් කහ තල තෙල් සමඟ මිශ්‍රකර ගැල්වීමෙන් ඉක්මන් සුවය ලැබේ.

පැපොල රෝගයේදී හට ගන්නා තුවාල කැළැල්වලට කහ කුඩු මී පැණියෙන් අඹරා ගැල්වීමෙන් කැළැල් ඉක්මනින් නැතිවී යන අතර තුවාල ඇති අවස්ථාවේදී ඇතිවන කසන ස්වභාවයද එමගින් නැතිවී යයි.

හන්දි ඉදිමෙන අවස්ථාවේදී කහ කුඩු වෙඩි ලුණු සමඟ මිශ්‍රකර ඉදිමුණු ස්ථානයේ ගැල්වීමෙන් ඉක්මන් සුවය ලැබේ. වේදනා සහිත ඉදිමුමටද මෙය ඉතාම යෝග්‍යය.ආමාශගත රෝග රැසකට පහතින් දැක්වෙන කසාය ඉතාම යෝග්‍යය.

වියලි කහ, තිප්පිලි, වියළි ඉඟුරු, එනසාල්, වළඟසාල් කලන් 6 බැගින් ගෙන, කළු ගම්මිරිස් කලන් 3ක් යොදා චූර්ණකර, මිශ්‍රකර, කලන් බාගය බැගින් උදේ සවස ගැනීම යෝග්‍යය. කෙසේ නමුත් කහ ඖෂධ ප්‍රතිකාරය පිත්නාළයේ රෝග ඇති අයට ලබා නොදිය යුතු බව ආයුර්වේදයේ පෙන්වා දේ.

පීනස් රෝගයෙන් පෙළෙන්නන්ට, වියළි ඉඟුරු කුඩු මේස හැඳි 01, වියලි කහ කුඩු මේස හැඳි 01, තැඹිලි ගෙඩියක ඇස්ස කපා රාත්‍රියට මෙම ඖෂධ දමා තබා උදෑසන පානය කිරීමෙන් රෝගය සුවවේ.

බරවා රෝගයේදී සුදු රුධිරානු සෛල වැඩිවන අවස්ථාවේදී කහ කුඩු මී පැණි සමඟ මිශ්‍රකර රෝගියාට ලබාදීම රෝග සුව වීමට හේතු වන්නකි.

හන්දි ඉදිමෙන අවස්ථාවේදී අමු කහ, මී පැණි දමා අඹරා, ඉදිමුම ඇති ස්ථානයේ ගැල්වීම ඉතාම යෝග්‍යය.

කහ අලයෙහි බහුලව අඩංගු කර්කියුමින් රසායනය හේතුවෙන් කහ වර්ණය ලැබී ඇති අතර වර්ණ ගැන්වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ එහෙයිනි.

ලොව දත්ත පිරික්සීමේදී කහ භාවිතයෙන් වර්ණ ගැන්වීම වැඩිපුරම කරන රටවල් ලෙස හැඳින්වෙන්නේ පර්සියාව සහ ඉරානයය.

ආහාර රස ගැන්වීම සහ ආහාර වර්ණ ගැන්වීම සඳහා භාවිත කරන ඊ කාණ්ඩයේ අංක අතර කහ සංකේතවත් කර ඇත්තේ ෑ 100 ලෙසය.

අදවනවිට ලොව පුරා කහ ඖෂධයකට අමතරව චීස්, බටර්, මාගරින්, අච්චාරු, මත්පැන්, පලතුරු, කේක්, ජෙලි, සෝස් වර්ග, අයිස්ක්‍රීම්, ජෙලටීන්, පොප්කෝන් මෙන්ම බත් වර්ණ ගැන්වීමටද භාවිත කරන බව සඳහන්ය.

මධුමේහය රෝගීන්ට ගුණදායක කහ කොලොස්ට්‍රෝල් රෝගීන්ගේ එල්. ඩී. එල්. කොලෙස්ට්‍රෝල් ප්‍රතිශතය අඩු කිරීමටත් උපකාරී වේ.

රුධිරයේ මේද ප්‍රමාණය අඩු කිරීමේ ගුණයකින් යුතු කහ, උළුහාල් සමඟ මිශ්‍රකර ගැනීමෙන් මේදය ජීර්ණ කිරීමේ ක්‍රියාවලිය පහසු කෙරේ.

සොරයිසිස් නම් පොතු කබර රෝගයෙන් පෙළෙන්නන්ටද කහ භාවිතයෙන් රෝග පාලනයට ගුණදායකය.

ප්‍රතිශක්ති ගුණය ඉහළින්ම ඇති කහ පිළිකා නාශක ගුණයෙන්ද යුක්තය. විශේෂයෙන්ම අග්න්‍යාසයේ, අන්නශ්‍රෝතයේ සහ අන්ත්‍රයේ ඇතිවන පිළිකා වළක්වා ගැනීමේ ගුණයකින් යුතු කහ අසාත්මිකතාවලදී බාහිරින් ගැල්වීමෙන් සුවය ලැබේ.

පේශී වේදනාවන් ඇති විට කහ කුඩු, පොල්තෙල් සහ තල තෙල් මිශ්‍රකර ආලේප කිරීමෙන් ක්ෂණිකව වේදනාව නැතිවී යන බව ආයුර්වේදයේ පෙන්වා දේ. පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමේදී බාහිරින් යටිබඬේ ගැල්වීමත්, කසාය පිළියෙල කර පානය කිරීමත් ඉතාම ගුණදේ.

ආමාශගත තුවාල ඇති කරවන බැක්ටීරියාව විනාශ කිරීමේ හැකියාවක් කහ සතුවන අතර එවැනි රෝගීන්ට දිනපතා කහ ග්‍රෑම් 3ක් මී පැණියෙන් ගැනීම යෝග්‍යය.සමේ ඇතිවන දිලීරවලදී පුපුල කොළ, අමුකහ කොටා දෙහි ඉස්ම සමඟ මිශ්‍රකර ආලේප කිරීම ඉතාම යෝග්‍ය ඖෂධයක් වේ.

මහා අන්ත්‍රයේ හට ගන්නා රෝගී තත්ත්වයන් සමනය කිරීමට සමත් කහ, කටින් කෑමට සේම රෝගීන් වස්ති කිරීමටද යොදා ගැනේ.පෙනහලු පිළිකාවලදී කහ, ඉඟුරු, කුරුඳුපොතු සමඟ ගැනීම යෝග්‍ය අතර එයටම කහ, සුදුලූනු, කළු ගම්මිරිස් ද මේ සඳහා භාවිත කෙරේ.


සමේ ඇතිවන පිළිකා තත්ත්වයන්ගේ දී කහ කුඩු කෝමාරිකා සමඟ මිශ්‍රකර ආලේප කෙරේ. සුව නොවනා තුවාල ඇති විට අමු කහ අල, පලා කෝමාරිකා පිත්තේ මැදට දමා වතුර නොදා ගන්නා පොල්කිරි දමා මැටි මුට්ටියක දමා තම්බා අඹරා තුවාලය ඇති ස්ථානයේ බැඳීමෙන් සුව නොවනා තුවාල ඉක්මනින් සුවවේ.

ඇතැම් පුද්ගලයන්ගේ සමේ මේද ගැටිති ඇති විට අහු ගැට, අමු කහ, හාල් සේදූ වතුරෙන් තම්බා අඹරා ගැල්වීම යෝග්‍යය.

අන්සයිමර් රෝගීන් සඳහා අමුක්කරා අල සමඟ කහ දමා සාදා ගන්නා කසාය ආයුර්වේදයේදී භාවිත කෙරේ. ඇදුම රෝගීන්ට ඇතිවන ආසාත්මිකතාවලදී භාවිතා කෙරෙනා කහ ශරීරයේ ඇතිවන ආසාත්මිකතාවලදී තැඹිලි කොළ සමඟ කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ඉක්මන් සුවය ලැබේ.

ඖෂධීය ගුණයෙන් ඉහළ කහ ඉන්දියාවේ මෙන්ම අප රටේද සිදුකරන සෑම දේව පූජාවකදීම භාවිත කෙරෙන ප්‍රධානම අමුද්‍රව්‍ය වන අතර සෑම ශාන්ති කර්මයකදීමද භාවිත කෙරේ. තවද අතීතයේදී අප රටේ මෙන්ම ඉන්දියාවේ නිවසක තැන්පත් කෙරෙන මෘත ශරීරයක් කනත්ත කරා ගෙන ගිය පසු කහ යොදා මිනිය තැන්පත් කළ ස්ථානය පිරිසුදු කෙරේ. මෙමගින් කිලිහරණය කිරීමක් වෙන බව එදා මෙන්ම අදද පැවතගෙන එන විශ්වාසයකි.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කහ ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන 40ක් කහ ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන 40ක් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2020 Rating: 5

0 comments:

Post a Comment