නොමළ මිනිසා (Horror)

නොමළ මිනිසා (Horror) - Your Choice Way

හඩක් නගමින් විවෘත වූයේ මෝචරියේ දොරයි.විශාල කාමරය අදුරින් පිරී පැවතුනි.තද ශීතලට ඔරොත්තු දෙන ඝනකම් ඕවර් කෝටයක් පැලද කාමරයට ඇතුළු වූයේ අමල් ය.
ඔහු මෙම රෝහලේ සේවය කරන්නේ මෝචරියේ රාත්‍රී මුරකරු වශයෙනි.මෙදින දහවල් එක් විශේෂ සිදුවීමක් අමල්ගේ මතකයේ තදින් රැදී තිබින.

" අපෝ කවුද බං ඒ ගෙනාවේ ?? "

" දන්නෑ බං.කවුරු උනත් පට්ට පොරක් වගේ.බලපංකෝ ඇගේ සයිස් එක "

ගයාන් මහත් පිලිකුලෙන් යුතුව විමසුවේ ඔවුන් අසලින් ගමන් කරමින් තිබූ ට්‍රොලියේ පැටවූ තරමක් හැඩිදැඩි
සිරුර දෙස බලමිනි.තවමත් ප්‍රාණය නිරුද්ධ නොවූ මිනිසාගේ දෑස් අඩවන් ව තිබින.
ඔහු අසලින් ම හෙදියන් කිහිපදෙනෙකු සමග ඔහුගේ පණ නල මෙතෙක් රැකගැනීමට උර දෙමින් සිටි යන්ත්‍රය ද රැගෙන යමින් තිබින.

" අමල්, එන්න ඉක්මනට අපිත් එක්ක "

රැගෙන යමින් තිබූ ට්‍රොලියේ පසුපසින් මහත් කලබලයෙන් ගමන් කල වෛද්‍යවරයා අමල් ඇමතුවේ ය.
කතා කල සැනින් ඔහුද එම ට්‍රොලියේ පසුපසින් ගමන් ඇරඹීය.

" ආහ්. ගර්ර්.. "

එක්වරම ට්‍රොලිය මත සිටි හැඩිදැඩි මිනිසාගෙන් පිටවූයේ ගෙරවීමක් හා සමාන කෙදිරියකි.ඒ හඩින් අමල් තරමක් තිගැස්සුන්ද අනෙක් අයට එය සාමාන්‍ය දෙයක් වූ බව අමල්ට පෙනුනේ ය.
නැවත සන්සුන් වූ මිනිසා ඊලග විනාඩියේදී ට්‍රොලිය මතින් හිද ගත්තේ දුන්නක් ආකාරයෙනි.එවිට ඔහුගේ දෑස් හොදින් විවෘත ව තිබූ දෑසින් කැකෑරෙන වෛරයක් ඇති බව අමල් දුටුවේ ය.

" දඩාස් "

ඊලග නිමේෂයේදී කපා හෙලූ ගසක් මෙන් මහ හඩක් නගමින් ඔහු ට්‍රොලිය මත ම ඇද වැටුනි.වෛද්‍යවරු හා හෙදියන් මහත් කලබලයෙන් ට්‍රොලියේ ගමන නවතා එම මිනිසාව වට කරගත්හ.නමුත් පලක් නොවූ බව අමල්ට වැටහුනි.
ට්‍රොලිය මතම එම මිනිසා අවසන් ගමන් ගොස් සිටියේ ය.
අමල් පසෙකට වී සිදුවන සියල්ල දෙස හිස් බැල්මෙන් බලා සිටින්නට වූයේ ය.
එක අයෙක් රැගෙන ආ සුදු රෙද්දකින් මෘත දේහය ආවරණය කල අතර ඉන් පසුව එය මෝචරිය කරා රැගෙන යාමේ කාර්යය පැවරුනේ මෝචරියේ මුරකරු හා එය භාරව කටයුතු කල අමල්ට ය.

ශික් මේ මගුලත් මට ම ගෙනියන්න උනානේ.. මේ පියසිරියා කොයි වෙලාවකවත් පේන්න නෑනේ.......

පියසිරි යනු මෘත දේහයන් මොචරිය වෙත රැගෙන විත් ඒවා පිළිවෙලකට එහි ගබඩා කර තැබීමට රෝහලෙන් පත්කර සිටි කම්කරුවෙකි.
සිතින් බැන වදිමින් ඔහු ට්‍රොලිය ඉදිරියට ගෙන යන්නට විය.එය ඔහුට තල්ලු කිරීමටවත් නොහැකි තරමට ම බරක් දෑතට දැනෙන්නට වූයේ ය.

කවුරු උනත් පව්.. ශික් මොකක් වෙලා මැරුනද දන්නෑ

එක්වරම පැමිනි සීතල සුලගක් නිසා අමල්ගේ ගත මෙන් ම සිත ද හිරිවැටී ගියේ නිමේෂයකිනි.
එම සුලගින් මෘත දේහය නිරාවරණය කර තිබූ සුදු රෙදිකඩ මදක් ඉවත් ව මල මිනිසාගේ මුහුණ හොදින් පෙනෙන්නට විය.
ඒ වනවිට අමල් සිටියේ මෝචරියට ඉතා ලගින් තිබූ අදුරු පටු කොරිඩෝවක් තුලින් ගමන් කරමින් වූ අතර එහි කිසිදු ජනේලයක් හෝ කුඩා වා කවුළුවක්වත් නොතිබින.
එසේ තිබියදී එක්වරම හැමූ සුලග ගැන ඔහුට වෙනසක් දැනින.

අම්මෝ.. දැන්නේ මූණ හරියට දැක්කේ.. මිනිහත් එච්චරම හොද පාටක මනුස්සයෙක් නෙමෙයි වගෙ......

මෘත දේහයේ කුරිරු මුහුණ දුටු අමල්ට සිතුනේය.

නැවත එම රෙදි කඩින් මෘත දේහය ආවරණය කිරීමට සැරසුන ද එක්වරම අමල්ගේ අතට සීතල ස්පර්ශයක් දැනින.

ආහ්..

වහ අත ඉවතට ගැනීමට සිතුවද එය දඩු අඩුවකට සිර වූ කලෙක මෙන් විය.එදෙස බැලූ ඔහු දුටුවේ දරදඩුවී තිබූ මළසිරුරේ අතකින් තම අත දැඩිව අල්ලාගෙන සිටින බවකි.
හදවත දෙගුණයක් පමන වේගයෙන් ක්‍රියා කරන තරම් බියක් ඔහු සිත තුල ජනිත වූ අතර කෑ ගැසීමට ද මුව විවර නොවුනි.

" පලිගන්නවා.. මං.. ආපහු එනවා.. "

එක්වරම පිය වී තිබූ මලසිරුරේ දෑස් විවර වූ අතර ඒවා තද සුදු පැහැති විය.ඒවා මහත් ක්‍රෝධයෙන් යුතුව අමල් දෙස බලා එසේ පවසා නැවත ට්‍රොලිය මතට වැටුනි.
තවත් දෙපයට වාරු නොවූ නිසා අමල් එහිම බිත්තියට පිටදී වාඩි වුනේ ය.

" මොකෝ බං මේ මිනියකුත් තියන් වාඩිවෙලා උඹ භාවනා කරනවද ? "

එසැනින් ඇසුනු පුරුදු කටහඩක් නිසා අමල් හිස ඔසවා බැලීය.බොහෝ සේ ගැස්සී තිබූ ඔහුගේ සිත ක්‍රමයෙන් සන්සුන් වන්නට වූයේ ඔහුගේ හොදම මිතුරා ගයාන්ගේ රුව තමා අභියස සිටිනු දැකීමෙන් පසුය.

" න්.. නෑ.. ම්.. මට.. මේ.. ටිකක් මහන්සි වගේ හ්.. හිතුනා බං "

" අපෝ මොකක්ද බං.. මෙහෙ දියං මං ඕක ගෙනියන්නං "

එසේ පැවසූ ඔහු ට්‍රොලිය ද රැගෙන ඉස්සර වූයේ අමල්ට ඔහු පසුපසින් පැමිනෙන්නැයි අතින් සන් කරමිනි.
මෝචරිය තුලට ගිය ගයාන් කිසිදු අපහසුවකින් තොරව මිනිය අදාල ස්ථානයේ ගබඩා කොට තබා ඉන් පිටවූයේ අමල් ද සමගිනි..

දහවල සිදු වූ එම සිදුවීම ඔහුගේ සිත තුල දෝංකාර දෙන්නට විය.
සෙමින් කාමරයට පැමිනි ඔහු එහි අදුර දුරලීමට සිතා බල්බය දැමීය.ඉන් විහිදුනේ ද ඉතා මලානික ආලෝකයක් වූ අතර අමල්ගේ සිතේ තිබූ බිය වැඩිවීමට එම මලානික අලෝකය සමත් විය.
දෑත් තද කොට පපුවට බැදගත් ඔහු කාමරය පුරා මිනී පරීක්ෂා කරමින් යන්නට විය.
එය රෝහලේ නීතියක් විය.සෑම දිනකම භාරකරුවන් විසින් රැගෙන ගිය මිනී හැර අනෙක් ඒවා රාත්‍රී නවය වනවිට සියල්ලම තිබේදැයි පරීක්ෂා කලයුතුය.

" ටක්.. ටක්.. "

අමල් කාමරය පුරා ඇවිදිමින් මිනී පරීක්ෂා කරන අතර තමාගේ පියවර හඩම ඔහුට දැඩිව දෝංකාර දී ඇසෙන්නට විය.
සියළුම මිනී පරීක්ෂා කර අවසන් වූ ඔහු තම ජංගම දුරකථන තිරය දෙසට නෙත් යොමු කලේ වේලාව බැලීමටය.
නවයයි දහය ලෙස වේලාව සටහන් ව තිබින.
මිනී සියල්ලම පාහේ විශාල ශීත ලාච්චු තුල ගබඩා කොට තිබින.
සියල්ල හොදින් අවසන් කල ඔහු කාමරයෙන් පිටතට පැමින එහි තිබූ අසුනට බර වූයේ ය.
එතනට රෝහලෙන් පිටත පරිසරය හොදින් දර්ශනය වූ අතර ඈත දැල්වෙමින් තිබූ බලබ දෙකක එලිය හැර වෙනත් ආලෝකයක් එහි දැකගත නොහැකි විය.

.....හ්ම්ම්ම්.....

සුසුමක් හෙලූ ඔහු අදුර දෙස බලාසිටින්නට වූයේ පාළුව තනිකම සිතතුල රජයමින් සිටියදී ය.
අදුරට දෑස් යොමා සිටි ඔහුට එක්වරම අදුර තුලින් ඔහු දෙසට පැමිණෙන රුවක් ඇස ගැටුනි.
ක්‍රමයෙන් ඒ රුව ලං ව උස් ව පෙනෙන්නට වූ අතර ඔහුගේ සිතේ සියුම් බියක්ද හටගත්තේය.

" මට මේ කෙනාගේ බොඩි එක ගන්න පුළුවන් ද "

පැමිනි අමුත්තා ජාතික හැදුනුම්පතක් අමල් වෙත දිගු කරමින් පැවසුවේ ය.අදුර තුල සිට ඔහු අමල් ව ඇමතූ අතර හැදුනුම්පත අතට ගත් අමල් ජංගම දුරකථනයේ ආලෝකයෙන් එය බැලීය.
එහි සටහන් වූයේ දහවල රැගෙන ආ හැඩිදැඩි පුද්ගලයාගේ චායාරූපයකි.

" එහෙම ඉල්ලුව ගමන් දෙන්න බෑ.ඒකට ඩොක්ටර්ස්ලගෙන් අවසර ගන්න ඕන "

" හා.... හරි..... ඕන කෙනෙක්ගෙන් අවසර අරගෙන මට බොඩි එක භාරදෙන්න.. "

" ඔයා මැරුන කෙනාගේ කවුද? "

" මල්ලි "

රළු හඩකින් අමල්ට පිලිතුරු දුන් තැනැත්තා සමග අමල් පිටත්වුයේ වෛද්‍යවරයා හමුවී මෘත දේහය භාර දීමට අවසර ගැනීමටයි.
අදුරෙන් මෑත් ව ආලෝකය ඇති පෙදෙසකින් ගමන් කරද්දී අමල් අමුත්තා දෙස හොදහැටි බැලීය.ඒ දුටු දසුනින් ඔහු මහත් භීතියට පත් වූයේ ය.
ඒ ගමන් කරමින් සිටියේ මියගිය පුද්ගලයාමයි කීවොත් නිවැරදිය.
එක්වරම ඔහුගේ වෙනස දැනුනු අමුත්තා හඩ අවදි කලේ ය.

" ඔහ්.. බය වෙන්න එපා.. මැරිලා ඉන්න අයියයි මමයි නිවුන්නු "

" හ්ම් "

හඩෙහි තිබූ රළු බව ඔහුගේ මුහුනින්ද දිස් විය.
වෛද්‍යවරයාගෙන් අවසරගෙන පැමිනි අමුත්තා ට මෘත ශරීරය භාර දීමට අමල් කටයුතු කලේ ය.

අමුත්තා පිටව ගිය පසු නැවත මෝචරිය අසල අසුනට පැමිනි අමල් එයට බර වූයේය.

ආපු මිනිහා හරි අමුතුයි.. අනේ මන්දා.. ශික් මට තාම බැරි උනානේ ඒ මිනිහා මැරුනේ කොහොමද කියලා දැනගන්න............

කල්පනා කරමින් සිටි ඔහුවෙත හදිසියේම කදිම අදහසක් පහල විය.ඒ ගයාන් නමැති ඔහුගේ මිතුරාගෙන් මරණයට හේතුව අසා දැනගත හැකි බවයි.
ඒ ගයාන් නිතරම වෛද්‍යවරු සමගින් ම සිටිමින් ඔවුනට සහය වීම ඔහුගේ කාර්යය වූ නිසාය.
වෙලාව බැලූ ඔහුට රාත්‍රී එකොලහ නෙස සටහන් ව තිබෙනු දැකගත හැකිවිය.හෙට උදෑසනම ගයාන් හමුවීමට යාමේ අදිටනින් ඔහු ජංගම දුරකථනය ඔබමින් සිටියේ ය.

" ක්‍රාස්.. ක්‍රාස්.. "

මෝචරියේ ඇතුලත දොර පහුරු ගාන ශබ්දයක් ඇසුනු අතර එය තුල කිසිදු ප්‍රානියෙකු නොසිටි බැවින් අමල්ගේ සිත තරමක් තිගැස්සුනා කීවොත් නිවැරදිය.
නැවතත් හොදින් සවන් දුන් ඔහුට එම ශබ්දය ම පෙරට වඩා හයියෙන් ඇසෙන්නට විය.
සිතට දිරිගත් ඔහු ජංගම දුරකථනයේ ආලෝකය දල්වාගෙනම කාමරයේ දොර විවෘත කලාය.එහි ඇතුළු වූ ඔහුට කිසිදු වෙනසක් දක්නට නොලැබුනි.

" දඩාස් "

මහ හඩක් නගමින් දොර වැසී ගියේය.පිරිමි සිතක් වුව ද ඒ හඩින් සසලව ගියේය.පිම්මට දෙකට දොර අසලට පැනගත් අමල් දොරට වැරෙන් පහර දෙමින් දොර විවෘත කිරීමට උත්සහ ගත්තේ ය.

" ටකස් "

එක්වරම දොර විවෘත කිරීමට තැත් කිරීම නවතා එම හඩට සවන් දුන් ඔහුට අවබෝධ වූයේ දොර පිටතින් අගුළු වැටුනු බවයි.
මහත්සේ බියෙන් සිටි ඔහුට එය හැගී යාමත් සමග දෙපා මෙන් ම මුළු ගතම අප්‍රාණිකව යනු දැනින.
සෙමෙන් සෙමෙන් ආපසු හැරුනු ඔහු කාමරයේ දොරට පිටදී සිට කෙල බිදක් ගිල ගත්තේ ද අපහසුවෙනි.

" දඩාස් "

ශබ්දයක් නගමින් එවර විවෘත වූයේ මිනී කාමරයේ වූ මෘත ශරීරයන් බහාලන ශීත්කල පෙට්ටි ලාච්චුවකි.
වහා එදෙසට දුරකථනයේ ආලෝකය එල්ල කල අමල් දුටුවේ එම ලාච්චුව තුලින් නැගී සිටින මිනිසෙකුගේ රුවකි.

" ක්.. කවු.. කවුද ඔතන, ?? "

අමල් හැකිවෙර යොදා කෑ ගසා ඇසුවේ ය.නමුත් ඉන් පලක් නොවීය.ලාච්චුව තුලින් නැගී සිටි රුව ක්‍රමයෙන් ඉන් බැස අමල් දෙසට පැමිනෙන්නට විය.වෙන කරන්නට දෙයක් නොවූයෙන් ඔහු මහ හඩින් දෑත් එක්කොට ඉතිපිසෝ ගාථාව කියන්නට වූයේ ය.
එක්වරම ඒ රුව අතුරුදහන් වූ අතර ගාථාව කීමට ද ඔහුට අමතක වූයේ එසේ අතුරුදහන් වූයේ නම් ඒ රුව මනුෂ්‍යයකු නොව අමනුෂ්‍යකු වීමට ඉඩ තිබූ බැවිනි.
කාමරය සිසාරා දුරකථන ආලෝකය එල්ල කලද ඒ රුව දක්නට නොවූ නිසා ඔහු දොර අසලින් අඩි දෙක තුනක් ඉදිරියට ගියේය.

" හ්ම්ම්... හ්ම්ම්.. "

තමා පසුපසින් යමෙකු හුස්මගන්නා බව ඔහුට දැනෙන්නට වූයේ ඔහුගේ ගෙල ප්‍රදේශයට සීතල සුලං පහරක් රටාවකට පතිත වීමට පටන්ගත් නිසාය.ගෙල හරවා බැලීමට පවා බිය වූ ඔහු සිටියේ සිහිසුන් වීමට ආසන්නවය.
නමුත් මෙයින් පිටවීමට නම් නැවත දොර කරා යා යුතුය.
සිතෙහි හා ගතෙහි ඉතිරි ව තිබූ ස්වල්ප ශක්තියෙන් ඔහු දොර වෙතට යාමට ආපසු හැරුනේ ය.

නමුත් ඔහුගේ දෑස් ඉදිරිපිටම සිටගෙන සිටියේ දහවල මියගොස් සිටි පුද්ගලයා ය.ඔහුගේ හිසකෙස් අතරින් වෑස්සුනු උණුසුම් රුධිරය නලල දිගේ විත් ටයිල් ඇතිරූ පොලොවේ පතිත වූයේ " ටික්.. ටික්.. " යන හඩිනි.
දෑස් දහවල දුටු අයුරින් ම තද සුදු පැහැ වූ අතර ඔහි අමල් දෙස බලා සීරුවට සිනාසුනේය.
ඉන් අමල් දුටුවේ ඔහුගේ සුදුපැහැ දත් දෙපල රත් පැහැ ලේ වලින් වැසී ඇති බවයි.
ඔහුගේ දකුණු අතෙහි වූයේ මුගුරකි.ඔහුනේ වූයේ වියරු වූත් සැනසිලිදායක සිනාවකි.

" ම්.. මං පලිගත්තා.. හහ්.. හහ්.. හා "

මහ හඩින් සිනාසුනු මිනිසා ක්‍රමයෙන් දුමාරයක් බවට පත් ව නොපෙනී යත්ම අමල් සිහිසුන් විය.

" මොකෝ බං උඹට ඊයේ උනෙ?? "

" ම්.. මුකුත් නෑ.. "

දිගු නින්දකින් අවදි වූ අමල්ගේ ඇගපත රිදුම් දෙන්නට වූයේය.වටපිට බැලූ ඔහුට අවබෝධ වූයේ ඔහු සිටින්නේ තමා සේවය කරන රෝහලේ ම ඇදක් මත බවය.
ඔහු අසලින් ම සුපුරුදු සිනාවත් සමග සිටියේ ඔහුගේ මිතුරා ගයාන් ය.

" නැත්තේ මොකෝ බං, උඹ දොරත් ලොක් කරන් මිනී කාමරේ ඇතුලේ වැටිලා ඉද්දි සිරිදාස දැකලා තමයි අපිට කිව්වේ  "

" හ්ම්ම්.. "

දිගු සුසුමක් හෙළූ අමල්ට පෙරදින රැයේ වූ සිදිවීම එකිනෙක මැවී පෙනෙන්නට වූ නමුත් ඔහු කිසිවක් කිසිවෙකු සමග නොකීවේ කිසිවෙකු ඔහුව විශ්වාස නොකරන බව හොදින් ම දන්නා නිසාය.

" මේ ඒක නෙමේ බං, ඊයේ දවල් ගෙනාව අර උස මහත මෑන් මැරිලා තියෙන්නේ මොනවා වෙලාද දන්නෑ නේ ?? "

අමල් මිතුරාගෙන් විමසුවේ පෙරදින සිටම ඔහුගේ සිතට වද දෙමින් තිබූ ප්‍රශ්නයකි.

" අහ්... අප්පටසිරි උඹ ඒක කිව්වමයි මතක් උනේ බං.ඊයේ රෑ ඒ බොඩි එක භාරගෙන ගෙනිච්ච එකා මැරිලා ඉදලා අද උදේ හම්බවෙලා තියෙන්නේ ඉස්පිරිතාලෙ ගේට්ටුව ලග තිබිලා "

" මොකක්?? "

" ඔව් බං.. උන් දෙන්නා නිවුන්නුලු.. ඔය මැරිච්ච එකා අයියලු.. දේපල කේස් එකකට මල්ලි අයියව පොල්ලකින් ගහලා මරලා බං "

අමල්ට සියල්ල ම වැටහුනේ ය.පෙරදින රාත්‍රියේ මැරුනු මිනිසා

" මං පලිගත්තා "

යැයි මහත් සතුටින් හා සැනසුමින් යුතුව පැවසුවේ ඔහු ඔහුට අවශ්‍ය දේ ඉටි කරගත් නිසා යැයි අමල්ට තේරුම් ගියේය.
ඇදේ අනෙක් ඇලයට හැරුනු ඔහු සිත නිදහස් කරගැනීමට සිතා නැවත සුව නින්දකට් වැටුනේ ය.

.........නිමි............
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නොමළ මිනිසා (Horror) නොමළ මිනිසා (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment