ලක්දිව පැවති පාරම්පරික කුකුල් පොර (The Traditional Cockfight)

ලක්දිව පැවති පාරම්පරික කුකුල් පොර (The Traditional Cockfight) - Your Choice Way
සියම් ශිලා ලිපියට ගිය කුකුල් පොරය
කුකුල් පොර අද කාලේ නම් නීත්‍යානුකූල නොවන, මත්ද්‍රව්‍ය භාවිත කරන, ඔට්ටු අල්ලන ක්‍රීඩාවක්. ඒත් බොහෝම ඉස්සර කාලේ සියම් ශිලා ලිපියක ලක්දිව කුකුල් පොර කෙළිය ගැන කියැවී තිබෙනවා. එහි සඳහන් වෙලා තිබෙන්නේ කුමාරවරු දෙදෙනෙක් අනුරපුරයේදී සහභාගිවූ කුකුල් පොර කෙළියක් සම්බන්ධවයි. එහිදීත් අද වාගේම සණ්ඩු සරුවල් දරුණු ලෙස සිදුව ඇතැයි කියැවෙන්නේ කුකුල් පොර පිටියේ සටනකදී එල්ලවූ පිහිපහරකින් ඔවුන් තුවාල ලබා මියගොස් තිබෙන බව සඳහන්ව ඇති නිසයි.

මේ ගැටුමින් මියගිය කුමාරවරුන්ගේ භෂ්මාවශේෂ එකල දඹදිව රාජ්‍ය පාලනය කළ ධර්මාශෝක රජු වෙත යවා එම අළු යොදා සිද්ධාර්ථ ගෞතම කුමාරයා සහ ඔහුගේ බිසව වූ යශෝධරා දේවියගේ පිළිරුවක් ඉදිකරන ලෙස මියගිය කුමාරවරුන්ගේ පිය රජු ඉල්ලීමක් කළ බවත් එම ශිලා ලිපියේ කියැවෙනවා.

ඊට අමතරව ක්‍රිස්තු වර්ෂ 851 දී සිරියානු ජාතික අබු සෙයිඩ් අල් හසාන් යනුවෙන් හැඳින්වුණු කුමරුවකු එවක ලක්දිව කළ සංචාරයකදී කුකුල් පොර කෙළියක් දුටු බව සඳහන් කර තිබෙනවා.

කුකුල් පොරයට සහභාගිකරවන කුකුළන්ගේ හොඳින් වැඩුණු පොර කටු පිහිටලා තිබෙනවා. මේ පොර කටුවලට වානේ තල යොදන්නට උන්ගේ හිමිකරුවන් අමතක කරන්නේ නෑ. මොකද මේ කුකුල් පොරයේ ජයග්‍රහණය වෙනුවෙන් රන්, රිදී, මුතු මැණික් පමණක් නොවෙයි ඉඩකඩම් වැනි දේ ද පරදුවට තැබෙන නිසයි. ඔට්ටු තබන්නට දෙයක් නොමැති නම් ඇඟිලි පුරුක් කෙටේරියකින් කපා තුවාල වූ ඇඟිලි උතුරන තල තෙලේ දමා හෝ තෙල් දැමූ පහන් කඩක් ඇඟේ තබා එය දල්වා අමු මස් දැවෙන පුළුටු ගඳ ප්‍රතිපක්ෂයට දැනෙන තුරු වේදනාව නොහඟවා සිටි බවයි අල් හසාන් කුමරු පවසා ඇත්තේ.

එවකට සීතාවක රජ කළ දෙවැනි රාජසිංහ රජුගේ සොහොයුරෙක් වූ මාතලේ යුවරජ වශයෙන් කටයුතු කළ වික්‍රමසිංහ කුමාරයාත් කුකුල් පොර කෙළියට බොහෝ සේ ඇළුම් කළ අයෙකි. ඔහුගේ අන්වර්ථ නාමය වුණේත් 'පොර කුකුල් කුමාරයා' යන්නයි. එය එසේ වුණේ යුව රජකමට වඩා ඔහු කුකුල් පොර ක්‍රීඩාවට ප්‍රිය කළ බව රුබෙයිරු නම් පෘතුගීසි කපිතාන් වරයා සටහන් කර තිබෙනවා. පෘතුගීසින් හා නිතර නිතර සටන් වැදුණු දෙවැනි රාජසිංහ රජු 1652 දී ඕලන්දයට ලිපියක් යවමින් සියම් දේශයේ පොර කුකුලන් ඉල්ලා යවා ඇති බව පී.ඊ. පිරිස් සිය පෘතුගීසි සමය නම් ග්‍රන්ථයේ සටහන් වෙනවා....

ක්‍රිස්තු වර්ෂ 1642 වර්ෂයේදී රාජසිංහ රජුගේ මිත්‍රත්වය පතමින් සිටියා. මේ අවස්ථාවේදී මිත්‍රවන්නේ මොන පාර්ශ්වය එක්කද කියලා රජු තීරණය කළේ තමන්ගේ සොහොයුරිය උපදෙස් දුන් පොර කුකුල් පොරයක තීරණය අනුවයි. දැන් ඔය ඉඟුරු දීලා, මිරිස් ගත්ත කතාව තීරණය කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි පොර කුකුළෙක්. මෙතැනදී රජුගේ නැගණිය සාස්තර කීමේ හැකියාවක් තිබුණා කියලා අතීත කතාන්තරවලින් කියැවෙනවා.

දැන් තමන්ගේ නැගණියගේ උපදෙස් පිට රජ්ජුරුවෝ පොර කුකුළන් තිදෙනෙකුට රටේ අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පවරනවා. එතැනදී රජු වෙනුවෙන් කළු පාට පොර කුකුළෙකුත්, ලන්දේසීන් වෙනුවෙන් සුදු පාට පොර කුකුළෙකුත්, පෘතුග්‍රීසින් නියෝජනය කරමින් රතු පාට පොරකුකුළෙකුත් සටන් බිමට යොමු කරනවා. වැඩේ කියන්නේ රතු කුකුළයි, සුදු කුකුළයි පොර කොටද්දී එයින් ජය හිමිවන්නේ සුදු පොර කුකුළට. ඒ නිසා රජු පෘතුගීසින් වෙනුවට ලන්දේසීන්ව තෝරාගන්නවා.

මේ අතර රජු සහ ලන්දේසීන් අතර මිත්‍ර ගිවිසුමට කුමක් සිදුවනු ඇත්දැයිත් සොයා බලා තිබුණේ කළු කුකුළා හා සුදු පොර කුකුළා අතර සටනක් පැවැත්වීමෙනුයි. පුදුම වැඩේ කියන්නේ පොර කුකුළන් දෙදෙනා ජය පැරදුමෙන් තොරව තරගය අවසන් කිරීමයි. ඒ නිසා රජතුමා තීරණය කරනවා මුහුදු බඩ පළාත් පාලනය ලන්දේසීන්ට ලබාදී උඩරට අධිරාජ්‍ය තමන් යටතේ පවත්වා ගන්න. බැරිවෙලාවත් කළු කුකුළා පැරදුණානම් එහෙම සුද්දට උඩරට යටත් කරගන්න ඉන්න ඕනෑ වෙන එකක් නැතිවෙන්නත් ඉඩතියෙනවා. මොකද රජු පොර කුකුළු නිමිත්තට මෙතරම් ඈඳිලා සිටපු ආකාරය බලද්දී රටම ලන්දේසීන්ට බාරදෙන්න පවා ඉඩක් තිබූ නිසා.

කොහොම නමුත් උඩරට රජුටත්, මුහුදු බඩ පළාත් ලන්දේසීටත් දෙන්න රජු තීරණය කරලා තිබුණේ සිය නැගණියගේ පොර කුකුළු නිමිත්තට අනුවයි. එය 1657 වසරේ ලක්දිව සංචාරය කළ ජර්මානු ජාතික ජොහන් ජාකොබ් සාර් විසින්ද මෙම පුවත සනාථ කර තිබුණා. පොර කුකුළු කෙළිය රට තුළ කොතරම් ප්‍රබලව මුල් බැසගෙන තිබුණේද යත් එම ක්‍රීඩාව පාලනය කරන්නට රාජාණ්ඩු අමාත්‍යංශයැයි පිළිගැනීමට සිදුවන ආකාරයේ ආයතන නිර්මාණය කරලා ඊට රජුගේ නිලධාරීන් පත්කර තිබුණා.

ඒ රාජකාරීවලට අදාළ නම්පවා ලබා තිබීමෙන් ඒ බව මොනවට සනාථ වෙනවා. අද පවා බලංගොඩ ප්‍රදේශයේ පුද්ගල පෙළපත් නම් අතර ‘පොර කුකුල් මුදියන්සේලාගේ’ යන්නත් කුකුළු කෝරළය යන ප්‍රාදේශීය කෝරළ නාමය ඊට කදිම නිදසුනක්........

පොර කුකුළු ක්‍රීඩාව කොතෙක් ජනප්‍රිය ක්‍රීඩාවක් වුණාද කියනවා නම් 1768 තරම් ඈත කාලයේ දී මෙරට මුහුදු බඩ පළාත් පාලනය කරපු ලන්දේසීන් කොළඹ කුකුළු පොර කෙළි වෙනුවෙන්ම විශේෂ බලපත්‍ර නිකුත් කළා.

ඒත් උත්සව කාල තියෙද්දී ඕනෑම කෙනෙකුට විශේෂ බලපත්‍ර නැතුව ඕනෑඹ කෙනෙකුට මේ කටයුත්ත සිදු කළ හැකිව තිබුණා. මේ බව ලංකාවේ ඕලන්ද බලය නැගීම කියන කෘතිය ලියන පී.ඊ. පීරිස් මහත්තයා ලියා තිබෙනවා.

ඒ බර්ට්ලොඩ්ගේ ලංකාව හැඳින්වීම කියන පොතේ කියන්නේ සුද්දෝ වාර්ෂිකව රික්ස් ඩොලර් කියන මුදල් ඒකක දසදහසක් කුකුල් පොරකොටු බදු වශයෙන් එකතු කරගත් බවයි. රැවෙන්බජර්ගේ වාර්තාවට අනුව 1833 වසරේදී ඉංග්‍රීසින්ට මේ පොර කොටු බලපත්‍ර අලෙවිකරණ වැඩෙන් පවුම් 344 සිලිම් 10ක ආදායමක් සොයාගැනීමට හැකිවී ඇතැයිද කියෙනවා.

ඒ විතරක් නම් මදැයි 1847 අවුරුද්දේ පියර්ස් ඊගන් කියන ලේඛකයා ලියූ ක්‍රීඩා නමැති පොතෙන් ලංකාව ඇතුළේ කුකුල් පොර කෙටවීම සීඝ්‍රව සිදුවූ බවත් සඳහන් කෙරෙනවා.

හැබැයි අතීත ගැමියා තමන්ගේ පොර කුකුළා තමන්ම පුහුණු කරගත්තා. උන්ට කදිරා, රසම්බා, හීන්, පොඩියා, වල්ලියා වගේ නම් තැබූ බවයි කියැවෙන්නෙ. ඒ විතරක් නොවෙයි පොර කුකුළු බිත්තර පොර කිකිළියක ලවා රක්කවන්නේ සිවලකුගේ හමක් උඩ තබලා ලු. එහෙම රැක්කෙවුවාම ප්‍රතිවාදියාට බියගෙන දෙන්නේ සිවලා වගෙයි.

කුකුල් නාම්බා ගොළු හඬලන්නට පටන් ගත් පසුව රංචුවෙන් වෙන් කරලා තනිකරනවා. උගේ කකුල්වල වගේම බෙල්ලෙ තියෙන පිහාටු ගලවලා බත් පිඟාන සෝදලා ගන්න ඉඳුල් වතුරෙන් නාවනවා. ඒ වගේම මස් පිඬු තලලා ශක්තිමත් කරනවා කියලා ‘සිංහල පොර කුකුළා ග්‍රන්ථය ලියපු පී.ඒ.පී. දැරණියගල මහතා කියා තිබෙනවා.

එහෙම කරලා නිකං ඉන්නෙ නෑ. ඌට වී, කඩල, කුරක්කන්, සූරියකාන්ත මල් ඇට, මුරුංගා වගේම ඉරිඟු වගේ ධාන්‍ය ආහාර ලබාදෙනවා. බෙහෙත් කොළ වර්ගත් අතරින් පතර මේ විදිහට දෙන ආහාර වේලට එකතු කරන්න අමතක කරන්නෙ නෑ. ඒ විතරක් නොවෙයි අමු බිත්තර, අමු ඉස්සෝ, තලගොයි මාලු වගේම තල තෙලේ බැදපු රෝ, අමු මස් පවා කවන්නේ පොර කුකුළාගේ කායික, මානසික ශක්තිය ඇති කරන්නයි. මේ දේවල් අපට කියවන්න හැකියාව ඇත්තේ අර මම ඉස්සෙල්ලා කියපු පොර කුකුළු ග්‍රන්ථය පරිශීලනය කරලයි.

පොර කුකුලාගේ පොරකටු වැඩෙන්න පටන්ගත්තාට පස්සේ උගේ පිහාටු ගලවනවා. ගෙල පිටිපස්සෙ පිහාටු ඉතිරි කරලා බෙල්ල මුල පියාපත්, පපුව, ගාත් වගේ තැන්වල තිබෙන පියාපත් මුළුමණින්ම ගලවනවා. ඊට පසුව තමයි නියම පොර පුහුණුව ලබාදෙන්නෙ. වෙනත් කුකුල්ලු එක්ක පොරවදින්න දීලා,

පිනුම් ගස්සවලා, පිහිනන්න දමලා හුරු කරලා ඇඹුල් හොඬරවාලු ගෙඩි දෙකක් දමලා, පොල් හකුරු, රතු ලූණු මිශ්‍රකළ තනාගත් විරේකයක් ඉඳහිට දෙනවා. අර උදුරලා දාපු පිහාටු වැඩුණට පස්සේ තමයි තවත් පොර කුකුළෙක් හා සටනට යොදවන්නේ.

ඒකට කියන්නේ නලවනවා කියලයි. සටනින් පස්සේ කුකුළාගේ උගුරේ හිරවුණු සෙම තිබෙනවා නම් ඒවා ඉවත් කරන්නෙ හොට ඇතුළට වතුර දාලා එසැණින් හිස පොළොව දෙසට හරවා ගෙල පිටිපස්සට හෙමින් තට්ටු කිරීමෙනුයි. ඒ වගේම සටනේදී වූ තුවාල උණු අළුවලින් තවලා, දිවිකදුරු කිරි දමනවා.

සටනට ඉස්සෙල්ලා දිනයේ එළු ඇල දිවක් කෑමට දෙනවා. සටනට ඉස්සෙල්ලා ලැබෙන අන්තිම ආහාර වේල වන්නේ පිට්ටු, බිත්තරයක්, අරක්කු ටිකක්. හැබැයි වතුර දෙන්නේ අඩුවෙන්. මේ විධිහට සටනට යන පොර කුකුළා පහරෙන් දෙකෙන් සිය ප්‍රතිවාදියාව මරා දමන අවස්ථා තිබෙනවා.

එහෙම නැත්නම් පැයක්, දෙකක් සටන ඇදෙන අවස්ථාත් නැතිවා නොවෙයි. ප්‍රතිවාදියාගේ ඇ ඟට පැනලා ඒහෙම නැත්නම් ඉහළ අසට පීනලා, ප්‍රතිවාදියා ම ඟ හැරලා සටන් කරන බවයි කියැවෙන්නෙ....

කුකුළුවා රජමහා විහාරය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම ලෙන් විහාරයක් වන කුකුළුවා රජ මහා විහාරය, අති දුෂ්කර ගමන් මාර්ගයක් නිමකර වනගත ප්‍රදේශ හරහා අඩිපාරවල් දිගේ ළගාවිය යුතු බෞද්ධ සිද්ධස්ථානයකි. නිරිඇලි කඳුවැටිය මුදුනේ කඳු ශිඛරයක මෙම ලෙන් විහාරය පිහිටියේය. මෙහි ප්‍රධාන ලෙන් දෙකක් දැකිය හැකි අතර, විශාල ලෙන විහාරය සඳහාද කුඩා ලෙන දේවාලය සඳහාද වෙන්වී ඇත. මෙම විහාරයේ සිට රත්නපුර පොත්ගුල් විහාරය දක්වා උමං මාර්ගයක් වෙතැයි ද ජනප්‍රවාදයේ සඳහන්ය.

කුකුළුවා රජ මහා විහාරය පුරා විද්‍යා සමීක්ෂණයකට මෙතෙක් ලක්වී නොමැත. එහෙත් මෙහි ආරම්භය පිළිබඳව ප්‍රධා මත දෙකක් පවතී. පළමු වැන්න මෙය විදේශ ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට වන වැදී සිටි වට්ට ගාමිණී අභය (වලගම්බා) රජු මෙම ලෙන් වලද තුන් මාසයක් පමණ රැඳී සිටිය බවත්, පසුව විහාරස්ථානයක් බවට පත් කළ බවත්ය. දෙවැන්න, මෙය 1 වන රාජසිංහ (සීතාවක රාජසිංහ) රජ සමයේ ගණින්නාන්සේලා සැඟවී සිටි ස්ථානයක් බවය. සීතාවක රජු තමා අතින් පියා මැරුණු පාපයෙන් ගැලවීමට අරිට්ටකී වෙණ්ඩු සමග එක්වී බෞද්ධ විරෝධී කටයුතු වල යෙදීම නිසා, එකල ස්වාමීන් වහන්සේ  සීතාවක රාජධානියෙන් සැගවී ගියහ. රාජධානියට අයත් පාලන ප්‍රදේශයේ කෙළවර කඳු මුදුනේ පිහිටි මෙම ලෙන් වල ස්වාමීන් වහන්සේ වැඩ විසූහ.

නිරීක්ෂණයට ලක්වන කරුණු අනුව මෙම දෙවන මතය සනාථ වන බව පවසන අතිපූජ්‍ය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ මෙම විහාරයේ ඉතිහාසය සීතාවක යුගයෙන් එහාට නොයන බව ප්‍රකාශ කරති. මෙහි ලෙන්වල කොටා ඇති කටාරම් පවා ඒ බව සනාථ කරන්නට කදිමට සාක්ෂි දරයි.

1 වන රාජසිංහ රජු විසින් නිරිඇල්ලේ තිස්මදය නාරායන බ්‍රහ්මචාරී මුදියන්සේට ප්‍රදානය කළ නිරිඇලි නින්දගමේ දකුණු කෙළවරේ පිහිටි මෙම විහාරය කනත්තේ ලෙන් විහාරය ලෙසින් දක්වා ඇත. පැරණි රාජ්‍ය පරිපාලන කොට්ඨාශ ක්‍රමය අනුව මෙම කනත්තේ ලෙන් විහාරය දිගම්පොත කෝරළේට අයත් වෙයි. 

 සිංහල අලුත් අවුරුදු උත්සවයක් මුල්වරට පවත්වා ඇත්තේ 1555 දී සීතාවක රජ සමයේදීය. මහනුවර රජ සමයේ සිංහල අලුත් අවුරුදු උත්සවයක් මුලින්ම පැවැත්වෙන්නේ 2 වන රාජසිංහ රජ දවස 1637 දී ය.

ක්‍රි.ව. 1635 සිට 1687 දක්වා රාජ්‍යය කළ දෙවැනි රාජසිංහ රජතුමා හැඩිදැඩි සිරුරකින් යුත් කී‍්‍රඩාවලට මහත් ඇල්මක් දැක්වූ රජ කෙනෙකි. එතුමා මහත් ඇලුම් කළ කී‍්‍රඩාවක් වී ඇත්තේ කුකුළු පොර කෙටවීමයි. එනිසා කුකුළන් පොර කෙටවීමේ තරගයක් තබා ජය ගත් කුකුළා අයිතිකරුට ගම්වරයක් ප‍්‍රදානය කරන බව කියා කල් තබා රටවටා අණ බෙර කරවා ඇත.

 මහනුවර රජවාසල පැවැත්වුන එම කුකුළු පොර තරගයට සපරගමුවේ දිග්ගම්පත කෝරළයේ (වර්තමාන කලවාන ආසන්නයේ) අයගමට නුදුරු පරගල නමැති හද්දා පිටිසර ගමේ ගැමියෙක් සහභාගි වූයේය. කෝරාළ නම් වූ මෙම ගැමියා තරගය සඳහා ඔහුගේ හොඳ පළපුරුදු පොර කුකුළකු ද රැගෙනය. ඔහු සමඟ දහ අට දෙනකු එම තරගයට සහභාගි වී ඇත.

පරගල - කෝරළගේ කුකුළා ඒ සියලුම කුකුළන් පරදවා ජයග‍්‍රහණය කළේය. (මෙම කුකුල් පොර කරුවා පරගල ගමේ දක්‍ෂ මන්තර කාර පරපුරකට අයත් බවත්, මොහු එම කුකුළු පොර තරගයේදී අනෙක් කුකුළන් දහඅට දෙනාම මරාදමා ඔහුගේ කුකුළා ජයග‍්‍රහණය කරවූයේ බලගතු මන්තරයකින් මතුරන ලද කහනූලක් පිටතට නොපෙනන අන්දමට තම කුකුළාගේ අත්තට්ටක පිහාටු අතර ගැටගසා තිබීමෙන් බවත්, මේ අනුව කුකුළා ආවේශව ප‍්‍රතිවාදී කුකුළන්ට පහර දීමෙන් ජය ලැබූ බවත් කියවේ.)

මේ ගැන ඉතා සතුටට පත් රජතුමා ඔහුගේ “කෝරාළ” යන නමේ මුලට පරගල විජේසුන්දර කුකුළු කෝරාළ යන රාජ දක්නය එක් කොට පරගලට නුදුරුව අක්කර හාරසියයක් පමණ විශාල වූ ගම්වරයක් ඔහුට ප‍්‍රදානය කර ඇත. “කුකුළේගම” යන නාමයෙන් අදත් හැඳින්වෙන්නේ එම ගම්වරයයි.

දින කීපයකින් මෙම සිද්ධිය ප‍්‍රදේශය පුරා මහත් ප‍්‍රසිද්ධියට පත්විය. ඒ නිසා එතෙක් දිග්ගම්පත කෝරළය කියා ව්‍යවහාර වුණු කෝරළය - කුකුළු කෝරලය නමටත්, මෙම ප‍්‍රදේශය මැදින් ගලා ගිය දික්ඔය - කුකුළු ගඟ නමටත්, පරගලාගම ඉහත්තෙහි ගල උඩකන්දේ පිහිටා ඇති මුහුදු මට්ටමේ සිට හරියටම අඩි 3,000 ක් උසැති කුරුළුගල නමැති විශාල පර්වතය - කුකුළු ගල නමටත්, පරගලට නුදුරු පිඹුරේ පිහිටි මෙම කනත්තේ ගල්ලෙන් විහාරය - කුකුළුවා විහාරය නමටත් පරිවර්තනය වී ඇත.

කුකුළු කෝරළය ඓතිහාසික සිංහරාජ වනය ඇතුළත් ගෙදගල කන්ද, නැගිරිකන්ද, මාන කන්ද, ගලඋඩ කන්ද, තපස්වර කන්ද , ඉළුඹකන්ද, ගවරගිරියේ මාතලේ ගල්ලෙනත් ඇතුළු ඉතා දැකුම්කළු සුවිශේෂි ස්ථාන රාශියක්ම පිහිටා ඇති වනගත ප‍්‍රදේශයකි.

අතීතයේ කුකුළුවා විහාරයේ ගොදුරු ගම් වූයේ නිරිඇල්ල සහ උඩකන්ද ගමය. කුකුළු කෝරළය ජනාවාස වීමේදී නිරිඇලි කන්ද හරහා පැමිණි වේරගම ආරච්චි පරපුරේ ප්‍රථම නවාතැන උඩකන්ද ගම විය. උඩකන්ද කන්කානම නැමැති අයෙක් මොවුනට නායකතක්වය සැපයීය. විහාරය පාමුල වූ එම භූමියේ ඔවුන් සියවස් දෙකක් පමණ කාලයක් ගත කළ අතර, කිසියම් හේතුවක් නිසා ප්‍රදේශය ජනශුන්‍ය වී, වැසියෝ පිඹුර නැමැති ආසන්න ගමට පදිංචියට ගිය අතර, විහාරය කැලෑවට යටවී වවුලන්ගේ වාසභවනක් බවට පත් වීය.  මේ කාලයේ මෙහි තිබූ චිත්‍ර වවුලන්ගෙන් විනාශයට පත්විය.

කුකුළුවා විහාරය ගැන නැවත අසන්නට ලැබෙන්නේ 1892 දී මෙහි සැතපෙන පිළිමය සොරුන් විසින් විනාශ කිරීමෙන් පසුවය. මෙහිදී පිළිමයේ හිසට පපුවට උරහිස් වලට වෙඩි තබා විනාශ කළ බව සඳහන්ය.

මේ කාලය වන විට කුකුළු කෝරළය භාර රටේ මහත්තයා වූ දෙල්වල ලොකුබණ්ඩාර මහතා එවකට කලවාන තිලකරත්නාරාම විහාරාධිපති දැලිවල සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සැදැහැවතුන්ගේ ආධාරයෙන් කුකුළුවා විහාරය නැවත ප්‍රතිසංස්කරණය කෙරිණි.

නැවත 1934 දී රත්නපුර සද්ධාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් කුඩා ලෙන තුළ දේවාලයක් හා භණ්ඨා කුළුනක් ඉදිකරන ලදි.

කෙසේ වූවත් කුකුළුවා විහාරය තුළ අඛණ්ඩව සංඝාවාසයක් ඇති නොවූ නිසා අවුරුද්දේ  බොහෝ කාලයක් පවතින්නේ වනගතවය. විහාරයේ පියස්සක සවිකර තිබූ කුකුළු රුව පවා හොරුන් විසින් ගෙන යනු ලැබ්නි.

ජනශ්‍රැතියන්ට අනුව මෙහි කුකුලෙක් ප්‍රමාණයට රනින් කල හෝ මැණිකකින් කැටයම් කරන ලද ගලක් නිධන් කර ඇති බවද පැවසේ....

කුකුළු කෝරලය සබරගමුවේ කෝරළයක් ලෙස ඉතිහාස ගත තොරතුරු මහනුවර යුගයේ දැක්වේ.

පෘතිග්‍රීසි පාලන සමයේ සබරගමුව ලෙස සලකා ඇත්තේ බස්නාහිර පලාතට අයත් දෙහිගම්පල්, පනාවල, අටලුගම් යන කෝරළ තුනක් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කුරුවිට නවදුන්, අටකලන්, දික්ගම්පල, එතරාවා, මැද යන කෝරලයන්ය.

   රත්නපුර දිසාව බෙදා වෙන් කරන ලද කොරල 7ක් බව පොත් පත් වල සඳහන් වේ. ඒ හත කුරුවිට, නවදුම්, අටකලන් දිග්ගම්පත , එතරාවා, මැද, කොලොන්න වේ.

සබරගමුව දිසාවට අයත් කොරල බෙදා වෙන් කිරීමේදී කුරුවිට, නවදුම්, අටකලන්, කෝරල වලත් කැඩී ඉතිරි වූ කොටස දිග් ගම්පත කෝරලයට වෙන් විය.

මෙම ප්‍රදේශයේ බිම වැටකෙයි කොලයක් වගේ දිගට විහිදුනු ප්‍රදේශයක් ලෙසට බැවින් දිග්ගම්පත කොරලය ලෙස නම් ලැබී ඇත. උතුරින් නවදුන් කෝරලය හා අටකලන් කෝරලයද, කළු ඟගද නැගෙනහිරට අටකලන් කෝරලයද. දකුණට හිනිදුම් පත්තුව හා මොරවක් කෝරළයද, බටහිරට පස් යොදුන් කේරළයද යන මායිම් දික්ගම්පොත කේරළයට අයත් වේ. මෙම කෝරළය උඩපත්තුව,මැද පත්තුව, පල්ලේ පත්තුව වශයෙන් කොටස් 3කි. එනම් වර්තමානය වන විට උපදිසාපති කොට්ඨාශ 2 කට වෙන් වේ.

   කුකුළු කෝරළයේ ඉතිහාසය දෙස බැලූ විට “මානෙල් ගල්ලෙන” වැනි ස්ථාන වලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මිනිසුන් ජීවත් වූ බවට සාධක හමු වේ. මෙහි ඉතිහාසය දෙවනපෑතිස් රජුගේ කාලය දක්වා සම්බන්ධ වේ.

දික්ගම්පොත කෝරළය කුකුළු කෝරළය වූ හැටි දික්ගම්පොත කොරළයෙන් ගෙනගිය එක්තරා නම ගිය කළු කුකුළකු මහ වාසල සියළු කුකුලන් පරදවා ජය ගත්හ. මේ කුකුළාගේ ජයග්‍රාහී බව දැක සතුටු වූ රජතුමා තෑගි දී පරගල ටිකිරි කෝරාළට ගම්වරක් තෑගි දී පරගල විජයසුන්දර කුකුළු කෝරාළ යන නම පටබැන්ද බව සඳහන් වේ.

මෙම කුකුළුවා විහාරය වෙඩි දමා කඩා නිදන් වස්තු ගත් බව කියවේ. සොරුන් විසින් විහාරය වෙඩි දමා කැඩූ අවස්ථාව පිළිබඳව ජන කවියේ එන්නේ මෙසේය.

සිරිලක පරිසිදු නවදුන් කෝරලේ මැද පත්තුවේ නිරි ඇලි කන්දේ පින්කළ රජවරු තැනවු විහාරෙ බොල් වී තිබුණයි හිම මැ මැද්දේ පව් කළ හොරු රැළ කුකුළු විහාරේ පිළිමෙ කඩන්නට කළ යුද්දේ දෙව්රට ලමැදට සිරුරට වෙඩි තුන තැබුවා ලෝකෙට පර සිද්දේ කුකුළුවා ලෙන් විහාරය කලවාන ගම් ප්‍රදේශයට අයත් කුකුළුවා විහාරය පැරණි ලෙන් විහාරයකි. මෙම ලෙන කුකුලෙකුගේ ස්වරෑපය ගත් නිසා කුකුළුවා විහාරය ලෙස සැලකේ.

එහෙත් “කුකුළේගම” නැමැති ගම් ප්‍රදේශයට එම නම ලැබුනේ අතීතයේදී මෙම නමින් ගෙනා පොර කුකුළෙකු කුකුළු පොරයෙන් ජය ගත් නිසා බව සඳහන් කරයි.

  දික්ගම්පොත කෝරළයෙන් ගෙනා කුකුළු පොර           කොටන්ඩ
  කොක් හඩලා සවරම් කෙළ අනෙක් කුකුළු                  මරාලන්ඩ
  වික්මැති යුධ කරපු රජ වාසල සතුටු                              වෙන්ඩ
  එදා පටන් නම් තැබුවයි කුකුළු කෝරළය                       කියන්ඩ

රත්නපුර ජන ප්‍රවාද : කර්තෘ බන්දුල ලියනගේ රුසිගල කන්ද : පිටු අංක 103

කුකුළු කෝරළයේ නාවල කන්ද ප්‍රදේශයේ ඇති “රුසිගල ” රුසිගල රිසිගල යන නම් වලින් හැඳින්වේ. අත්භූත පැවතුම් ඇති කන්දකි. සෘෂිගල ලෙස හඳුන්වන්නේ ප්‍රධාන මාවතේ සිට තරමක් ඈතින් පිහිටි මෙම කන්දේ ඈතට දිස්වෙන පර්වතය අතීතයේ කිසියම් සෘෂිවරයෙකු වාසය කරන ලද ස්ථානයක් යැයි සිතිය හැක.

වළගම්බා රජු සැඟවී සිටි කුකුළුවා විහාරය
කුකුළු කෝරලයේ පල්ලේ පත්තුවේ පිඹුරේ ගමට යාබදව හිරිඇල්ලේ කන්දේ පිහිටි මෙම ලෙන විහාරයක් බවට පත් කළේ වළගම්බා රජු යයි ජනප්‍රවාදයේ එයි....

ලක්දිව පැවති පාරම්පරික පොරකුකුල් කලාව සහ සතුන්ගේ ආර පර්යේෂණ කරන්න දේශීය විද්වතුන් පවා කටයුතු කරලා තිබෙනවා. එවැනි අය අතර සිටි ප්‍රමුඛයෙක් තමයි මහාචාර්ය පී.ඊ.පී.දැරණියගල කියලා කියන්නේ. ඔහු මේ විධිහට සිදුකරන ලද පර්යේෂණ වලදී දේශීය ජන ක්‍රීඩාවේ ඇති වැදගත්කම මනාව අවබෝධ කරගත්තා. ඒ නිසා ඔහු ඒවා උසස් ගුණාංගවලින් යුක්ත බව දිගින් දිගටම සිය පර්යේෂණ වාර්තා ඔස්සේ ප්‍රකාශ කරන්නටත් කටයුතු කළා.... අපෙන් අභාවයට යන අපේ දේ රැක ගන්න තමයි එතුමා කටයුතු කලේ...

....................අන්තර්ජාලය ඇසුරෙනි.........දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලක්දිව පැවති පාරම්පරික කුකුල් පොර (The Traditional Cockfight) ලක්දිව පැවති පාරම්පරික කුකුල් පොර (The Traditional Cockfight) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment