පොප් මහ රජු මයිකල් ජැක්සන්ගේ අවසන් දින කිහිපය (Mr. Michael Jackson)

පොප් මහ රජු  මයිකල් ජැක්සන්ගේ අවසන් දින කිහිපය (Mr. Michael Jackson) - Your Choice Way

මයිකල් ජෝසෆ් ජැක්සන් යනු, මෙලොව ජීවත් වූ ජනප්‍රියතම මිනිසාය කීම අතිශයෝකිතයක් නොවේ. එමෙන්ම ලොකු, කුඩා, පොහොසත්, දිළිඳු සෑම රාජ්‍යයකම, සෑම වීදියකම, සෑම නගරයකම, නියම් ගමකම, වීදියකම ඉන්නා ඕනෑම වයස් සීමාවකට අයත් කෙනෙකුට “මයිකල් ජැක්සන්” යන නම කී විට, අවම වශයෙන් ඔහු කවරෙක්ද, නියෝජනය කළේ කුමන ක්ෂේත්‍රයක්ද යන්න සිහිපත් වන තරම් ප්‍රසිද්ධියකින් හෙබි හෙයින්, එතෙක් මෙතෙක් ජීවත් වූ ප්‍රසිද්ධම මිනිසුන්ගෙන් කෙනෙකු බවද අතිශයෝක්තියක් නොවේ. ඇතැම් විට හෙතෙම, ජීවත් වූ බවට සුපැහැදිලි සාක්ෂි සහිත, මෙලොව ප්‍රසිද්ධම මිනිසා විය හැක.

මානව සංහතියේ සංගීත කලාව, නර්තන කලාව මෙන්ම විනෝදාස්වාදය උඩු යටිකුරු කර, එකී ක්ෂේත්‍රයන් සඳහා අලුතින් නිර්වචන එක් කළ මයිකල්, අදටත් ලොව විශාලතම ජනප්‍රිය සංකේතය ලෙස සැළකේ. මෙතෙක් නොනැසී පවතින අනුගාමිකයන් පරපුරක නර්තනාභාෂය ඔහු වේ.

රොක් සංගීතය ඇතුළු, සංගීත ක්ෂේත්‍රයේ ශානර ගණනාවක විශිෂ්ඨයෙකු ලෙස හඳුනාගත්තද, මයිකල් ජැක්සන්ට ලැබුණු විරුදාවලි අතර, ලොව සුපතල විරුදය වූයේ “කින්ග් ඔෆ් පොප්” හෙවත් “පොප් සංගීතයේ රජු” ලෙසය. ඉන්ඩියානා ප්‍රාන්තයේ, ගැරී නම් ප්‍රාදේශිකයක, එදිනෙදා ජීවිතය ගැට ගසාගැනීමේ අරගලයක නිරත ජෝ සහ කැතරීන් ජැක්සන් යුවලගේ සත්වැනි දරුවා ලෙස උපන් හෙතෙම, සිය වෘත්තීය ජීවිතයේ කූඨ ප්‍රාප්තියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක පමණ වත්මක් සහිත වූවෙකි. සැබැවින්ම මහ රජෙක්ට ගැළපෙන නිවාස සහ දේපළ සහිත වස්තු සම්භාරයක්ද, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, ප්‍රංශය, ඩෙන්මාර්කය, පෘතුගාලය, ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍යය, යෝර්දානය, ඊශ්‍රායලය, සවුදි අරාබිය, ලෙබනනය, චීනය, ජපානය, වියට්නාමය, දකුණු කොරියාව ආදී රටවල් විශාල ප්‍රමාණයකින් ගෙන්වන ලද ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් තරම් වටිනා පුරාවස්තු එකතුවක්ද පිරිවරාගෙනය, ඔහු ජීවත් වූයේ.

දුක්බර, වෙහෙසකර ළමා කාලයක්, භෞතික සාර්ථකත්වය පසුපස සිය දරුවන් හරක් රැළක් සේ එළවූ හිංසාකාරී පියෙක්, යොහෝවාගේ සාක්ෂිකරුවන් නම් අන්තවාදී ආගමික කල්ලියට සම්බන්ධ මවක් නිසාවෙන්, උපන් දිනයක්, සාදයක්, නත්තලක් යනාදී මේ කිසිවක් නොසමරන ලද කර්කෂ පරිසරයක ජීවත් වූ මයිකල්ට, තම අසල්වැසියන් අතර කුඩාවුන් සමඟ එළිමහන් ක්‍රීඩා කරන්නට අවසරයක් හෝ වේලාවක්ද නොවීය. “ජැක්සන් ෆයිව්” සංගීත ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා නොනවතින පුහුණුවීම් මත්තේම හැපෙනවා හැර, ළමයෙකු, නව යෞවනයෙකු ලෙස ජීවිතය විඳින්නට ඔහුට කිසිදු අවකාශයක් නොලැබිණි.

මේ සියලු කම්කටොළු මැඩගෙන සංගීත ප්‍රයාමයේ අධිරාජ්‍යයෙකු ලෙස නැගී සිටියේ වුවද, පෙප්සි වෙළඳ දැන්වීම් රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුර, විවිධ රෝගාබාධ, වේදනා නාශක ඖෂධ වලට ඇතිවූ ඇබ්බැහි වීම, ළමා අපචාර චෝදනා හා ඒ සමඟම ලොව පුරා බොහෝ මාධ්‍ය වලින් ඔහු ඉලක්ක කරගෙන එල්ලවූ ප්‍රහාර, ඔහුගේම නාස්තිකාර දිවි පෙවෙත නිසා මතුවූ ණය කන්ද, යනාදී පීඩාවන් රැසකින්, මේ හිනි පෙත්තට නැගි මිනිසාගේ ජීවන පදනම බෙහෙවින්ම සොළවන ලද්දේය. සිය දිවි නසාගනු ඇත, අනතුරකින් මිය යනු ඇත, සිපිරි ගෙයකදී මිය යනු ඇත, යනාදී බොහෝ අනාවැකි වලට පාත්‍ර වූ මයිකල් ජැක්සන්, අවසානයේ 2009 වසරේ ජූනි මස 25 වැනිදා, සිය නිවසේ “බෙහෙත් කාමරය” ( Medication Room) නම් වූ නිදන කාමරයක “කැලිෆෝනියා ක්වීන්” වර්ගයට අයත් සයනයක් මතදී ජීවිතයෙන් සමුගත්තේය.

එහෙත්, ඔහුගේ ජීවිතය මෙන්ම, මරණයද ආන්දෝලනයෙන් මිදුණේ නොවේ. මයිකල් මියගොස් කෙටි කළකින්ම ඔහු මිය ගියාද, නො-එසේ නම් නොසැලකිල්ල මත හෝ උවමනාවෙන්ම මරා දමනු ලැබුවාද යන සැකය, ඔහු ජීවත්ව සිටින තුරුම පහර දුන් මාධ්‍ය ජාලවලින්ම ලෝකයට ප්‍රක්ෂේපණය විය.

“නෙවර්ලන්තය” හැර යාම සහ අවසන් නවාතැන....
මේ වනාහි ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි මයිකල් ජැක්සන්ගේ අවසන් නවාතැනේ ලිපිනයයි. ඔහුගේ අසල්වැසි නිවාස අයිති හෝ අයත්ව තිබුනේ, ගායක මික් ජැගර්, සුපිරි හොලිවුඩ් නිළි මැරිලින් මුන්‍රෝ, අග්‍ර ගණ්‍ය සංගීතඥ ජෝජ් හැරිසන්, සුපිරි ගායිකා බාබරා ස්ට්‍රේසන්ඩ්, ඩිස්නි නිර්මාතෘ වෝල්ට් ඩිස්නි වැනි එක්සත් ජනපදයේ සුපිරි පැලැන්තියේ චරිත වලටය.

මයිකල් ජැක්සන්ට අයත්ව තිබූ නිවාස හා දේපළ වලින් ප්‍රසිද්ධම නිවාසය පිහිටියේ කැලිෆෝනියාවේ “සන්ට බාබරා”හිය. ඔහු 1988 වසරේදී මිළට ගත් එම නිවස්නය සහ වතු යාය හෙතෙම “නෙවර්ලන්ඩ් රැන්ච්” ලෙස නම් කිරීමෙන් පසු, එය ඔහුගේ නිත්‍ය වාසස්ථානය ලෙස ලොව සුපතල විය.

2003 වසරේදී ඔහුට එරෙහිව නැගුණු ළමා අපචාර චෝදනා අවසානයේදී නඩු අංක 1133603 ” කැලිෆෝනියා ප්‍රාන්ත ජනතාව එදිරිව මයිකල් ජෝෂප් ජැක්සන්” ලෙස අධිකරණය හමුවේ තබන ලදී. 2005 වසරේ ජූනි මස 13 වැනිදා, ඉන් නැඟුණු චෝදනා 14 ටම මයිකල් ජැක්සන් නිවැරදිකරු බව තීන්දු වීමෙන් එම නඩුව අවසන් විය.
නඩුව අවසන් වූ පසුව, තමාට තවදුරටත් උක්ථ ආන්දෝලනයට මැදිවූ “නෙවර්ලන්ඩ්” වතුයායේ නිවහන ” නිවසක් ලෙස නොදැනෙන” බව කී මයිකල් ජැක්සන්, 2006 වසරේදී සිය දරුවන් සමඟ ඉන් ඉවත්විය. ඉන් පසුව ඔහු සිය පවුල සමඟ නිත්‍ය වාසය කරගත්තේ, 2004 වසරේ සිට මාසයකට ඇමරිකානු ඩොලර් ලක්ෂය බැගින් ගෙවමින් කුළියට ගෙන සිටි, ඔය ඉහත කී කැරොල්වුඩ් හි නිවහනය.

සමුගැනීමේ සංචාරය – “This Is It “
වසර 2008 මැද භාගය වනවිට මයිකල් ජැක්සන් ණය බරින් මිරිකී සිටියේය. තමාට එරෙහිව නැගුණු චෝදනා හේතුවෙන් ඔහුට අනුග්‍රහය දැක්වූ බොහෝ පාර්ශව ඔහු හැර යෑම, මාධ්‍ය විසින් ගොඩනගන ලද සෘණාත්මක ප්‍රතිරූපය නිසා ආදායම් කිහිපයක් අඩුවීම, නඩුව පැවති කාළය තුල බෙහෙවින්ම ශරීර සෞඛ්‍යයෙන් දුර්වල වීම සහ ඒ සියල්ලටමත් වඩා ආර්ථිකයට අහිතකර සාධකය වූ වියදම් අධික ජීවන රටාව මයිකල්ට බෙහෙවින්ම නරක දසාවක් ගෙනාවේය. ඒ වනවිට ඔහු සතුව මූල්‍ය වශයෙන් පැවතියේ ඇමරිකානු ඩොලර් මිලියන 240 ක් පමණ වූ අතර, ණය කන්ද ඇමරිකානු ඩොලර් මිලියන 400 ( 2008, අගෝස්තු 17 ) පමණ උස්විය. නෙවර්ලන්ඩ් වතුයාය උගසට තබා ආයෝජන බැංකුවකින් ගන්නා ලද ණය මුදලට මාස තුනක් සඳහා හිඟ වාරික විය. සිය පුතුන් දෙදෙනාගේ සහ දුවණියගේ වියදම්ද එන්න එන්නම අධික වෙමින් පැවතිණි.

මේ කාළය වනවිට මයිකල් ගත කලේ සාපේක්ෂව නිහඬ ජීවිතයකි. නඩුවෙන් දිනුවද, එම චෝදනාවෙන් අත්වූ අපකීර්තියේ හෙවණැල්ල උසාවි දොරකඩ නතර වූයේ නැත. ආහාර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පෝෂණ මට්ටම දිනෙන් දින පහළ වැටී, අවසානයේ තම වයස වසර පහළොවකින් පමණ ඉක්මවා ගිය සිරුරක් මයිකල්ට ලැබිණි. බාරගත් බොහෝ සන්දර්ශණ සහ මහජන පෙනී සිටීම් අවලංගු කරන ලද්දේ, එක දිගට විනාඩි විස්සකට වඩා හිටගෙන ඉන්නටවත් නොහැකි තැනකට පත්වීම හේතුවෙනි. තමන්ගේ සිරුරට කරගත් ප්ලාස්ටික් සැත්කම් වල බලපෑම ඉකුත්වීම හේතුවෙන් ඔහුගේ සම් කැබැලි ගැලවී වැටීම පවා සිදුවිය.

එහෙත් දිනෙන් දින සිය ධනය පිරිහී යාම හමුවේ, කෙටි කාළයකට හෝ නැවත ජාත්‍යන්තර ප්‍රාසාංගික ප්‍රයත්නයක් දියත් කර, නැවත සිය වෘත්තිය දිවිය ආරම්භ කළ යුතු බව මයිකල් සිතුවේය. තමා දුර්වලයෙකු ලෙස වේදිකාගත වනු දකින්නට රසිකයන්ට ඉඩ නොදිය යුතු හෙයින්, මේ සිය “අවසන්” ප්‍රාසාංගික ප්‍රයත්නය විය යුතු බව හෙතෙම තීරණය කළේය. මේ බව හෙතෙම ලොස් ඇන්ජලස් හි “ස්ටේප්ල්ස් සෙන්ටර්” අයත් AEG සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රැන්ඩි ෆිලිප්ස් හට කියන්නේ 2009 වසරේ ජනවාරි මසදීය.

මයිකල් ජැක්සන් සිය විශ්මය ජනක වෘත්තික දිවියේ අවසානය සනිටුහන් කිරීමට තෝරාගන්නේ ලන්ඩන් නුවර “O2 Arena” නැමැති දැවැන්ත ප්‍රසංශ ශාලාවයි. එහි ප්‍රසංග 50 ක පමණ දීර්ඝ ප්‍රසංග මාලාවක් සිදුකර, ලන්ඩන් නුවරට සදහටම සමුදීම ඔහුගේ අපේක්ෂාව වූ බව 2009 වසරේ මාර්තු මස 6 වැනිදා මයිකල් සියලු මාධ්‍ය ජාල ඉදිරියේ “දිස් ඊස් ඉට්” ප්‍රසංග මාලාව ප්‍රකාශයට පත් කළ මොහොතේ කළ කථාවෙන් හෙළිවිය.

අප්‍රේල් සහ මැයි මාස වල මයිකල් මේ අවසන් ප්‍රසංග මාලාව උදෙසා පුහුණු වීම් කටයුතු ඇරඹුවේය. “කැරොල්වුඩ්” නිවසේ සිය නිදි යහන අසළ තිබූ කණ්නාඩියේ ඔහු පුහුණුව සඳහා තමාව දිරිමත් කරවන වැකි කිහිපයක් ලියා තබාගෙන, සෑම උදෑසනකම ඒ වදන් කියවා දිරි වඩවා ගත්තේය. නමුත්, ඒ වනවිට ආහාර අරුචිය, අධික ලෙස වේදනා නාශක සහ මත් රසායන වලට ඇබ්බැහිව සිටීම නිසා මයිකල්ගේ සිරුරේ බර බිය උපදවන තරමට අඩුවී තිබිණි.

මයිකල් ලන්ඩන් ප්‍රසංග වලට පුහුණු වීම් ඇරඹුවේ ලොස් ඇන්ජලස් නුවර “ස්ටේප්ල්ස්” මධ්‍යස්ථානයේදීය. මැයි මාසය පුරාවට මයිකල් නැතුව, ඔහුගේ නර්තන සහ තාක්ෂණික කණ්ඩායම් පුහුණුවීම් වල නිරත වූහ. මැයි මාසයේ දෙවැනි සතියේ මයිකල් තරමක් රෝගාතුර වීමත් සමඟ, ජූලි මාසයේ ලන්ඩන් ප්‍රසංගය පොරොන්දු වූ පරිදි පවත්වා ගන්නට හැකිවේද යන සැකය එහි සංවිධායකයන්ට විය. එහෙත් “දිස් ඊස් ඉට්” සඳහා ඒ වනවිට ඩොලර් මිලියන 100 කට අධික වටිනාකමක් සහිත ටික අළෙවි වී තිබිණි. එය ඉතිහාසයේ ප්‍රකාශයට පත් කළ ප්‍රසංගයක් සඳහා එතෙක් වාර්ථා වූ විශාලතම “ඔන්ලයින්” ටිකට් අළෙවියද විය. ප්‍රසංග මාලාවේ පළමු ප්‍රසංග දහයෙන් පමණක් ඔහුට ඩොලර් මිලියන 50 ක ආදායමක් ලැබෙනු ඇතැයි මයිකල් අනුමාන කළේය.

ජූනි මාසයේ එක දිගට දින 6 ක් පමණ මයිකල් ජැක්සන් ස්ටේප්ල්ස් මධ්‍යස්ථානයේ පුහුණු වීම් වල නිරතවිය. ඒ වනවිට සජීවී වේදිකාවටත් හඳුන්වා දී තිබුණු “ත්‍රිමාණ රූප” ප්‍රක්ෂේපණ හැකියාවන් මයිකල්ගේ නිරීක්ෂණයට ලක්විය. මෙම ප්‍රසංග මාලාවේදී තමන්ගේ විශිෂ්ඨතම ගීත නිර්මාණ දෙකක් වන “ත්‍රිලර්” සහ “ගෝස්ට්” නම් ගීත සඳහා වේදිකාවට කැන්දන “අවතාර” රූපයන්ට මේ ත්‍රිමාණ පසුතල තාක්ෂණය යොදන ආකාරය ඔහු සැලකිල්ලෙන් බලා සිටියා පමණක් නොව, ඒවාට උපදෙස් ද ලබා දුන්නේය.

නමුත් ජූනි 23 වැනිදා “ටෝමේ ටෝමේ ” යනුවෙන් හඳුන්වන පුද්ගලයෙකු මයිකල් හමුවට පැමිණියේය. හෙතෙම මයිකල්ගේ අවසන් වසර කිහිපය තුළ ඔහුගේ ප්‍රධාන උපදේශකයා විය. “වේදිකාවට පැමිණ තමාව වැළඳගන්නැයි” මයිකල් ඔහුට ඇරයුම් කළවිට, මයිකල්ව වැළඳගත් ටෝමේ හට යම් අන්ත්‍රායක් වැටහී ගියේය. මයිකල් කෙතරම් කෙසඟදැයි යන්න ටෝමේ වටහාගත්තේ ඔහුගේ බාහුවලට මයිකල්ගේ පිටෙහි ඇටකටු ගැටීමත් සමඟය. ඉන් අනතුරුව මයිකල් ජැක්සන් වචන පහෙන් පහට හති අරිමින් තමා සමඟ දොඩමළු වූ ආකාරය, ටෝමේ පසුවට මයිකල් ගැන ලියූ බොහෝ කතුවරුන්ට කියා තිබිණි. ලන්ඩනයේදී ප්‍රසංග 50 ක් තබා, එක් ප්‍රසංගයක් වත් සම්පූර්ණ කරගැනීමට ඇවැසි ශරීර ශක්තියක් මයිකල්ට නැති බවත්, එය කරන්නට ගියහොත් ඔහුගේ ජීවිතය අනතුරට පත්විය හැකි බවත් ටෝමේට වැටහී ගියේය. පසුව “කොෆි බීන්” අවන්හලකදී මයිකල්ගේ මව පුද්ගලිකව මුණගැසුණු ටෝමේ, මයිකල්ට මේ ප්‍රසංගය නතර කර, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමුවන්නට කියන්නැයි, ඇයගෙන් ඉල්ලා සිටියේය.
මයිකල් වේදනා නාශක වලට පුරුදු වුනේ ඇයි?

මේ සඳහා වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් දකින ප්‍රධාන හේතු තුනකි
1988 වසරේදී පෙප්සි සමාගමේ වෙළඳ දැන්වීමක් රූගත කිරීම් අතරතුරු ඇවිළුණු ගින්නකින් ඔහුගේ හිසට සහ සමට තෙවැනි ශ්‍රේණිගත පිළිස්සීම් සිදුවීම.

1999 වසරේදී “මයිකල් ජැක්සන් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්” යන නමින් පැවැත්වූ ප්‍රසංග දෙකකින්, ජර්මනියේ මියුනික් නුවර පැවැත්වූ ප්‍රසංගයේදී, “අර්ත් සෝන්ග්” ගීතය අතරතුර, මයිකල් නැග සිටි පාවෙන පීඨිකාව අඩි 50 ක් පහළට කඩා වැටීමෙන් ඔහුගේ කශේරුකාවට හානි සිදුවීම සහ එතැන් සිට සදාතනික වේදනාව සහ නින්ද නොයාමේ රෝගය වැළඳීම.

ඉහත කී කරුණු දෙකත්, සමාජ පීඩනයත් නිසාවෙන් ඔහුට මානසික අර්බුද හට ගැනීම සහ සමහර වේදනා නාශක ඖෂධ සතු නිර්වින්දන ගුණය ඒ අර්බුද සමනය කරන්නටද යෝග්‍ය වීම.

“පෙප්සි දැන්වීමේ අනතුරින් පසුව පිළිස්සුම් තුවාල සහිතව මයිකල් රෝහල් ගත කරද්දී “

මයිකල් ඇබ්බැහි වූ බව කියන වේදනා නාශක ඔසු –
ප්‍රොපොෆෝල් ( වෙළඳ නාමය : ඩිප්‍රිවාන් – එන්නත් ලෙස ) – මයිකල්ට මරු කැඳවූ රසායනික ඖෂධ
ඩයසපෑම් ( වෙළඳ නාමය : වැලියම් ) – ආතතිය දුරලන සහ නින්ද නොයෑම අඩු කරන ඔසුවකි
ලොරේසපෑම් ( වෙළඳ නාමය : ඇටිවෑන් ) – ආතතියට සහ ස්නායුගත ආබාධ වලට ඔසුවකි.

මේ ඔසු වලින් දෙකක්ම සිරුරට එන්නත් කළ යුතුවූ අතර, ඒ සඳහා රෝහල් වල වෛද්‍යවරුන් පොළඹවා ගැනීම අපහසු වූ හෙයින්, පෞද්ගලික වෛද්‍යවරුන් තබාගෙන, ඔවුන්ගෙන් ඒවා ඉල්ලා ගැනීමට මයිකල් පෙළඹුණේය.

වෛද්‍ය කොන්රැඩ් මරේ ( Dr. Conrad Murray )
පෙප්සි කොමර්ෂල් අනතුරෙන් පසුව වේදනා නාශක ඔසු වලට ඇබ්බැහිව සිටි මයිකල්, අවසානයේ මයිකල්ගේම විවිධ අනවර්ථ නම් වලට ලියන බෙහෙත් තුණ්ඩු වලින් ඒ ඔසු ඔහුට ලබාදෙන වෛද්‍යවරුන් කිහිපයක්ම ඇසුරු කළේය, අවසන රෝහල් වලට ගොස් ප්‍රතිකාර ගැනීම අත්හැරිය මයිකල්, ඒ වෙනුවට තමාට අවශ්‍ය ඕනෑම ප්‍රතිකාරයක් නිවසේදීම කරගන්නට ක්‍රමවේදයක් සකස් කලේය. සාමාන්‍යයෙන් නිවසකදී නොකළ යුතු ප්‍රතිකාරද මේ අතර විය. ඒ සඳහා විශේෂඥ පළපුරුද්දක් සහිත වෛද්‍යවරුන්ට හිතවත් වී, ඔවුන් තමාගේ සේවයට නම්මා ගැනීමේ පුරුද්දක් මයිකල්ට විය.

ඔහුට වෛද්‍ය කොන්-රැඩ් මරේව මුණගැසෙන්නේ මේ කාළයේදීය. වෛද්‍යවරයෙකුටත් වඩා මයිකල්ගේ හොඳ හිතවතෙක් බවට පත්වූ කොන්-රැඩ් මයිකල් ඉල්ලන ඉල්ලන රසායනික ඔසුව ගෙනවුත් දෙන්නට විය. මේ භයානක ගණුදෙනුව ලෝකයෙන් වසන්වී පැවතුනේ, මයිකල් ඔහුගේ නිවහනේ සුවිශේෂී නිදන කාමරයට අඩුම තරමින් තම දරුවන්ටවත් ඇතුළු වීම වාරණය කර තිබූ හෙයිනි.

වෛද්‍ය කොන්‍රැඩ් මරේට සිය පුද්ගලික වෙදැදුරා වීම සඳහා පොප් මහරජු විසින් මසකට ඇමරිකානු ඩොලර් 150,000 ක වේතනයක් ගෙවන ලද්දේය.

ජූනි 24 සහ අවසන් රාත්‍රිය
24 වැනිදා සවස් යාමයේ මයිකල් සිටියේ ස්ටේප්ල්ස් මධ්‍යස්ථානයේය. පුහුණුවේ තමන්ගේ නර්තන කොටස පැය කිහිපයක් කිරීමෙන් අනතුරුව, සිය නර්තන වෘන්දයේ අය පුහුණුවන හැටි නිහඬව බලා සිට, ඔවුන්ට ගුරුහරුකම් දීම මයිකල්ගේ සිරිත විය. රාත්‍රී 11.30 පමණ වෙනතෙක් හෙතෙම “අර්ත් සෝන්ග්” සහ “ත්‍රිලර් ” ගීත රූපාවලි දෙක සඳහා තම නර්තන ශිල්පීන් පුහුණු වෙන ආකාරය නිරීක්ෂණය කළේය.

නමුත්, වෙනදාට පුහුණුව අවසන් වූ වහාම නිහඬවම ස්ටේප්ල්ස් වෙතින් පිටව යන මයිකල්, එදා රාත්‍රී 12.00 ට පුහුණුව අවසන් වූ වහාම වේදිකාවට නැග, “සියලු දෙනාම හොඳින්ම පුහුණු වුනා…අපි ඉතාම සාර්ථකයි ” කියා සිය සහාය ශිල්පීන් වැළඳ ගත්තේය. අනතුරුව වේදිකාවෙන් බැස යන්නට මොහොතකට පෙර සියල්ලෝ දෙසම හැරී බැලූ මයිකල් “මම ඔබ සැමට ආදරෙයි ! බොහොම ස්තූතියි ! හැමෝම ඉතාම හොඳට තම කොටස කරනවා ! මා ඔබව හෙටත් හමුවෙන්නම් ! ඔබ සැමට දේවාශිර්වාදය ලැබේවා !” කීවේය. මයිකල්ගේ හැසිරීම වෙනදාට වඩා උද්යෝගී බවත්, ඔහුගේ සිනහව හිස්, අහිංසක සිනහවක් බවත් පුහුණුවට රැස්ව සිටි පිරිසට පෙනිණි.

රාත්‍රී 1 පමණ වනවිට මයිකල් කැරොල්වුඩ් වෙත ළඟා වූ විට, එහි ගේට්ටුව අසළ කුඩා රසික කණ්ඩායමක් රැස් කමින් සිටිනු දුටුවේය. මයිකල් ඔවුන්ට අතවනා, වචන කිහිපයක් පවසා, කෙළින්ම සිය නිදන කුටියට පිය මැන්නේය. මිලියන ගණනක් උමතු රසික රසිකාවියන් මොර දෙද්දී, ලොව පුරා දැවැන්ත ප්‍රසංග වේදිකා දෙවනත් කළ පොප් සංගීතයේ මහ රජු, තම රසිකයන් පිරිසක් දකින, ඔවුන්ට අමතන අවසන් අවස්ථාව එය බව කිසිවෙකුත් දැන සිටියේ නැත. වසර 8 ක් පමණ තිස්සේ දැක හුරු පුරුදු පරිදි, වෛද්‍ය කොන්-රැඩ් මරේගේ BMW රථය සිය මිදුලේ නවතා තිබෙනුද මයිකල්ගේ නෙත ගැටිණි.

කෙළින්ම නිදි යහන කරා ගියද, සුපුරුදු පරිදි නින්ද මයිකල් කරා නොආවේය. එක්කො ඔහුගේ ඉන්සොම්නියා රෝගී තත්වය නිසා හෝ, නැතහොත් පුහුණුවීම් වල උද්යෝගය තවමත් සිය සිරුරේ ඇති නිසා බව සිතූ මයිකල්, අවසානයේදී පහත මාලයේ සිටි සිය වෛද්‍යවරයාව කැඳවා තමන්ට නින්ද යන්නට වෙනදා කරන ප්‍රතිකර්ම කරන මෙන් ඉල්ලා සිටියේය.

( මෙතැන් සිට කථාව කියන්නේ වෛද්‍ය කොන්-රැඩ් මරේ ලොස් ඇන්ජලස් පොලිස් දෙපාර්තමේන්තුවට දුන් කට උත්තර මත පදනම්වය. ඒවායේ සත්‍යතාවය හෝ නිවැරදි අනුපිළිවෙල ගැන තහවුරු කර ගත හැකි වෙනත් කිසිදු මූලාශ්‍රයක් නැති බව එම පොලිස් දෙපාර්තමේන්තුව කියති. නමුත් මයිකල් ගේ සහෝදර “ජෙරමයේන් ජැක්සන්” පවසන අන්දමට මයිකල්ගේ කාමරයේ සහ නිවස අවට සී.සී.ටී.වී දර්ශණ විශාල ප්‍රමාණයක් මැකී ගොස් තිබිණි. ඒවා මැකී තිබුනේ කෙසේද, මකා දමන ලද්දේ කවුරුන්ද කියා තමා නොදන්නා බව “ජෙරමයේන්” ජැක්සන් 2011 වසරේ සී.එන්.එන් රූපවාහිනිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී හෙළිදරව් කළේය )

ඖෂධ ප්‍රතිකාර ලබාදෙන්නට පෙර ස්වභාවික ක්‍රමවේදයකට මයිකල් නින්දට දමන්නට සිතූ වෛද්‍ය මරේ, මයිකල්ගේ නිදන කාමරයේ තිබූ සවුන්ඩ් සිස්ටම් එකේ ශබ්දය අවම කර, විදුලි ලාම්පු වල එළියද හොඳටම අඩු කළේය. ඒ කිසිවක ප්‍රතිඵලයක් නොවූ කළ, හෙතෙම මයිකල්ට කාළයක් තිස්සේ නිරතුරුව ලබා දුන් ඖෂධ මාලාව එකින් එක සැපයීම ආරම්භ කළේය.

පළමුව “වැලියම්” නම් වෙළඳ නාමය සහිත ඩයසපෑම් මිලිග්‍රෑම් 10 පෙත්තක් මයිකල්ට ලැබිණි. මෙම පෙත්ත බොහෝවිට ලබාදෙන්නේ රෝහල් වල “කොලෝනස්කොපි ” නමින් හඳුන්වන ගුද ප්‍රවේශ නිරීක්ෂණ ක්‍රමවේදයට ලක්වන රෝගීන්ටය. නමුත් එය මස්පිඩු ගැස්ම, වලිප්පුව සහ ආතතිය සමනයටද යොදාගන්නා බැවිනි, මයිකල්ට ලැබුණේ. මයිකල් මේ පෙත්ත වසර 25 ක් පමණ තිස්සේ හොඳින් හඳුනන ඔසුවකි. ඔහු නව යෞවන වයසේ සිට ඉතිරි ජීවිත කාළයම දැඩිලෙස ආතතියෙන් පෙළුණු කෙනෙකි. ( මයිකල්ගේ ළමා කාළයේ දුක් පීඩා සහිත අත්දැකීම්, පියාගේ මෘග සැළකීම යනාදිය නිසා ඔහුගේ සිතේ පැළපදියම් වූ අනාරක්ෂිත බව මේ තත්වයට මුල් වන්නට ඇති බව කියැවේ ). මේ ඔසුව වෛද්‍ය මරී මයිකල්ට නැවත දීම ආරම්භ කළේ ඔහු “ප්‍රොපෆෝල්” නම් වඩා බැරෑරුම් ඔසුවට තිබෙන ඇබ්බැහියෙන් මුදවාගන්නට බව හෙතෙම කියයි.

ජූනි 25 – අළුයම 2 ( පැය 02:00) –
මයිකල්ට තවමත් නින්දක් නැත. වෛද්‍ය මරේ, “අයි.වී තෙරපි” හෙවත් සේලයින් දෙන ආකාරයෙන්ම නළයක් මඟින් ඖෂධයක් රුධිර නාළගත කරන “ඉන්ට්‍රවෙනස් තෙරපි ” ක්‍රමවේදයට, මයිකල් ජැක්සන්ට ඉහත සඳහන් තෙවන ඖෂධය වන “ඇටිවෑන්” යන වෙළඳනාමයෙන් ඇති ලොරේසපෑම් ඖෂධය ලබාදෙයි. මාත්‍රාව මිලිග්‍රෑම් 2 යි.

අලුයම 3 ( පැය 03 : 00 )
මයිකල් තවමත් නිදි නැත. අලුයම 2.40 ට පමණ සුළුම සුළු මොහොතකට නින්දට ගිය හෙතෙම, මිනිත්තු කිහිපයක් ගිය තැන යළි අවදි වූයේය. අවදිවීමෙන් පසුව කැරකිල්ල සමඟ සිහි මඳ ගතියක් පෙන්වමින් සිටියේය. සිරුරේ අධික දහදිය දැමීමක් සිදුවූ අතර, එය මිනිත්තු පහක් පමණ පැවතිණි. වෛද්‍ය මුරේ විසින් “වර්සෙඩ්” යන වෙළඳනාමයෙන් තිබෙන බෙන්සොඩයසෙපීන් ඔසුවක් වන “මිඩාසොලාම්” යන රසායනික ඔසුව අයි.වී ක්‍රමවේදය හරහා මයිකල්ට ශරීරගත කරවන ලදී. මිඩාසොලාම් යනු උදෑසන දෙකට දුන් ලෝරාසපෑම් ඔසුවට වඩා ප්‍රබල නිර්වින්දකයක් සහ විවේකාරී ඔසුවකි – දුන් මාත්‍රාව මිලිග්‍රෑම් 2

අලුයම 4 ( පැය 04 : 00 )
මයිකල් අවදියෙනි. හෙතෙම අධික ලෙස තෙහෙට්ටුවට සහ නිර්වින්දක ඔසු වලටත් නින්ද නොයෑම හේතුවෙන් මානසික කළකිරීමටත් පත්ව සිටියේය. “මට නිදාගන්න ඕන දොස්තර කොන්-රැඩ් !….මම අද ( ජූනි 25 ) හවසත් මගේ පුහුණුවීම් කරන්න ඕන. මට එන්ගලන්තයේ ප්‍රසංගයට සූදානම් වෙන්න තියෙනවා” සයනය මත මුණින් තලාවී හිඳිමින් මයිකල් කීවේය..

අලුයම 5 ( පැය 05:00 )
සයනය මත ඒ මේ අත පෙරළෙමින් මයිකල් මැසිවිලි කියන්නට විය. “කරුණාකරලා මට කිරි ටිකක් දෙන්න, මට නිදාගන්න ඕන ” හෙතෙම බෑගපත් විය. මෙහිදී මයිකල් “කිරි ” ( මිල්ක් ) ලෙස හැඳින්වූයේ අප පානය කරන කිරි නොව, කිරි පැහැ ද්‍රාවණයක් වන “ප්‍රොපෆෝල් ” ( ඉහත සඳහන් පළමු ඔසුව ) නම් බළගතු නිර්වින්දක ඖෂධයයි. එය දීම ප්‍රතික්ෂේප කළ බව කියන මරේ නැවතත් අයි.වී හරහා ඇටිවෑන් මිලිග්‍රෑම් 2 ක් දුන්නේය.

අලුයම 7.30 ( පැය 07 : 30 )
නින්ද අසළකවත් නැත. “වර්සේඩ්” තවත් මිලිග්‍රෑම් 2 ක් අයි.වී හරහා මයිකල්ට දුන් වෛද්‍ය මුරේ මයිකල්ගේ ඔක්සිජන් මට්ටම “පල්ස් ඔක්සිමීටරයකින්” මනිමින් සිටියේය.

මෙතැන් සිට කථාව ලොස් ඇන්ජලස් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂකයන් සහ කැලිෆෝනියා ප්‍රාන්ත නීතිපති කාර්යාංශය කියන්නේ එක විදියකටය. වෛද්‍ය කොන්-රැඩ් මරේ කියන්නෙ තවත් විදියකටය. අප මුලින් කොන්-රැඩ්ගේ දෘෂ්ඨිකෝණයෙන් එය කියවමු.

උදෑසන 10 : 30 ( පැය 10:30)
කොන්-රැඩ් මරේ කියන අන්දමට තමාට ප්‍රොපෆෝල් දෙන මෙන් ඉල්ලා මයිකල් බැගෑපත් වූයේය. “මම කීයට ඇහැරුණත් කමක් නෑ. මට “මිල්ක්” දෙන්න” කියමින් හෙතෙම හඬමින් සිටියේය. අවසානයේදී කරන්නටම දෙයක් නැති වූ තැන, වෛද්‍ය මරේ ඩිප්‍රිවාන් යන වෙළඳ නාමයෙන් යුත් ප්‍රොපෆෝල් මිලිග්‍රෑම් 25 ක් මයිකල් ජැක්සන්ට එන්නත් කරන ලදී. දිගු ඈනුමක් හැර, සුසුමක් හෙළුූ මයිකල් ජැක්සන් හුස්ම වේගය අඩුකර, දෑස් වසාගෙන නින්දට වන්නේය. ( ෆොරෙන්සික් පරීක්ෂණ වාර්ථා වලට අනුව එය මයිකල් සිහි මූර්ජා වීමකි ). ප්‍රොපෆෝල් ඔහුගේ රුධිරයට එක්වූ මොහොතේ පටන් ඔහුගේ ආශ්වාස වේගය අඩුවෙමින් පැවතී ඇත.

වෛද්‍ය මරේ පවසන අන්දමට, ඔහු තවත් මිනිත්තු දහයක් පමණ, මයිකල්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය පල්ස්-ඔක්සිමීටරයකින් මනිමින්, ඔහුගේ සයනය අසළ හිඳ ඇත. 10.50 ට පමණ මිනිත්තු කිහිපයක් සඳහා වෛද්‍ය මරේ එතැනින් නැගිට වැසිකිලියට ගොස් තිබේ.

නැවත පැමිණි මරේ, එම කාමරයේම හිඳිමින් විනාඩි 90 ක් පමණ කාළයක් දුරකථන ඇමතුම් 3 ක යෙදී ඇත. එකක් ලාස් වේගාස් නුවර ඔහුගේ වෛද්‍ය සායනයටය. දෙවැන්න “බොබ් රසල්” නම් ඔහුගේ රෝගියෙකුටය. තෙවැන්න හියුස්ටන් නුවර “සේඩ් ඇන්ඩින්” නම් වේටර්වරියකටය.

මයිකල් ජැක්සන්ගේ හුස්ම ගැනීම මේ වනවිට නැවතී මිනිත්තු 60 ක් පමණ වී තිබුණු බව මරණ පරීක්ෂණයේදීත්, රහස් පරීක්ෂණයේදීත් අනාවරණය විය. මයිකල්ගේ ශ්වසන ක්‍රියාවලිය නැවතී ඇති බව මරේ දුටුවේ කීයටද යන්න මරේට එරෙහි අපරාධ පරීක්ෂණයේ ප්‍රබල ලෙස මතුවූ ප්‍රශ්ණයක් විය.

මයිකල්ගේ ශ්වසනය නැවතී ඇත්තේ, මරේ වැසිකිළියේ සිට නැවත පැමිණෙන්නට ඇතැයි සැලකෙන වේලාව ආසන්නයේය. එසේ නම් උදෑසන 12:21 වන තෙක්ම මරේ 911 හදිසි සේවාවට ඇමතුමක් නුදුන්නේ ඇයි?

මරේ නම් කියන්නේ ඔහු මයිකල්ගේ ශ්වසනය නැවතී ඇති බව දුටු වහාම ඔහුට “සී.පී.ආර්” ( Cardiopulmonary resuscitation) හෙවත් කෘත්‍රිම ශ්වසනය ලබාදීම ආරම්භ කළ බවය. නිවැරදි ක්‍රමවේදයකට අනුව නම් එය කළ යුතුව තිබුණේ, මයිකල් ජැක්සන්ගේ සිරුර ඇඳෙන් සමතල පොළවක් මතට ගෙන, මරේගේ අත්ල දෙකම මයිකල්ගේ පපු ප්‍රදේශයට තබා, පීඩනය එල්ල කරමිනි. නමුත් මරී මයිකල්ට කෘත්‍රිම ශ්වසනය දී ඇත්තේ ඔහුගේ දකුණු අත මයිකල්ගේ සිරුරට යටින් යවා, ඔහුව වත්තම් කරගෙන, වම් අතිනි. මරේ දකුණත හුරු මිනිසෙකි.

පහත මාලයේ කුස්සියේ, මයිකල්ගේ සුප්‍රකට කෝකියා වන “කයි චේස්” ( Kai Chase) නම් තරුණිය ජැක්සන් පවුලේ දරුවන් සඳහා දිවා ආහාරය සකසමින් සිටියේය. මයිකල් උදෙසා තමා පිළියෙල කල “වයිට් බීන් සුප්” එක තවමත් ශීතකරණයේ තිබෙන්නේ ඇයිදැයි ඇය කල්පනා කරනවිට වෛද්‍ය මරේ පියගැට පෙළින් පහළට කලබලයෙන් දිව ආවේය. “ගිහින් ඉක්මණට “ප්‍රින්ස්” ( මයිකල්ගේ වැඩිමහල් පුතු ) හොයන් එන්න” ඔහු කීවේය. ප්‍රින්ස් ජැක්සන් දිව ආ විට “ඔයාලගෙ තාත්තාට අමාරුයි !” කියා හෙතෙම ආපසු ඉහළ මාලයට දිව්වේය. එතැන් සිට කොන්-රැඩ් මරේ පිස්සෙකු මෙන් හැසිරුණේය.

පසු කළෙක පැවති නඩු විභාගයේදී මරේගේ නීතිඥ එඩ් චර්නොෆ් උසාවියට කී අන්දමට, ජංගම දුරකථනයකින් “911” ඩයල් කර හදිසි සේවාව ඇමතිය හැකි බව මරේ දැන සිට නැත. මයිකල්ගේ කැරොල්වුඩ් නිවසේ ස්ථාවර දුරකථනයක් නැත. එසේ හෙයින් මරේට 911 ඇමතිය නොහැකිව, මුලින්ම අමතා ඇත්තේ “මයිකල් අමීර් විලියම්ස්” නම් මයිකල්ගේ සහායකයාටය. ඔහු පසුව අමතා ජංගම දුරකථනයෙන් 911 අමතන ලෙස කීවිට, උදෑසන 12:12 ට පමණ 911 ඇමතුම දී තිබේ.

නිවසේ මිදුලේ මයිකල්ගේ අංගාරක්ෂකයන් දෙදෙනෙකු සිටියේය. එක් අයෙකු වූයේ “ඇල්බර්ටෝ ඇල්වාරෙස්” ය. අනෙක් කෙනා වූයේ “ෆාහිම් මොහොමඩ්” ය. මුරේ ඔවුන් දෙදෙනාටම කථා කරනු ඇසී ඔවුහු කාමරයට දිවගිය විට, මයිකල් ගේ කට සහ දෙනෙත් අඩවන්ව විවර වී තිබෙනු තමා දුටු බව ඔවුහු පසුව අධිකරණයට පැවසූහ.

911 පැරාමෙඩික් වරුන් පැමිණේ........
පස්වරු 12:26 ට මයිකල්ගේ සයනය අසළට 911 හදිසි සේවයේ “පැරාමෙඩික්” වරුන් පැමිණ තිබේ. “රිචඩ් සෙනෙෆ් සහ මාටින් බ්ලවුට් ” නම් පැරාමෙඩික්වරුන් දෙදෙනා මයිකල්ට යළි ජීවය දීමට උත්සාහ දරද්දී කායි චේස් මෙනෙවිය “ප්‍රින්ස්, පැරිස්, බ්ලැන්කට්” යන දරුවන් තිදෙනා සමඟ එම කාමරයට පැමිණ ඇත. සිය පියා සිටින තත්වය දුටු පැරිස් ජැක්සන් දියණිය එහිම බිම වකුටුවී හඬන්නට වූ නිසා, ඔවුන්ව කාමරයෙන් පිටතට ගෙන යන ලෙස මයිකල්ගේ ආරක්ෂකයන්ට දන්වන ලදී. අනතුරුව ඔවුන් සිවුදෙනා කුස්සියට වී අත් අල්ලාගෙන හඬමින්, මයිකල්ට සුවය පතා දෙවියන් යැදීම ඇරඹූහ.

තමා කාමරයට ඇතුලු විගස සයනයක් මත වයස්ගත මිනිසෙකු වැතිර සිටිනවා යැයි සිතුණු මුත්, කවුරුන් හෝ සිය කණට කර “ඒ ඉන්නේ මයිකල් ජැක්සන්” යැයි කීවිට, එම කාමරය තිබූ ආකාරය දුටු තමා විමතියට පත්වූ බව හෙතෙම පසුව මාධ්‍ය හමුවේ කීවේය. අයි.වී ක්‍රමවේදය භාවිතා කරමින් රසායනික ඖෂධ ලබාදෙන තත්වයක් එහි තිබුණත්, බෙහෙත් කාමරයක් සඳහා ඇවැසි වෙනත් කිසිදු උපකරණමය පහසුකමක් එහි නොතිබූ බව ඔහු කීවේය.

මරේගේ පට්ටපල් බොරු.........
වෛද්‍ය මරේ මෙහිදී පැරාමෙඩික් කණ්ඩායමට පල් බොරු දෙකක් කීවේය. එකක් වන්නේ තමා මයිකල් ජැක්සන්ගේ හුස්ම නැවතී තිබෙන බව දුටු විගසම 911 ඇමතූ බවය. දෙවැන්න වන්නේ මයිකල් හුස්ම ගැනීම නතර වූයේ කොයි වෙලාවේදැයි රිචඩ් සෙනෙෆ් අසන විට “මේ දැන්” යැයි පැවසීමය. තමාගේ වගකීම් විරහිත ක්‍රියා කළාපය හෝ මයිකල් නැසීමට කරන ලද කවර ආකාරයක හෝ කුමන්ත්‍රණය උවමනාවෙන් වසාගන්නට කොන්-රැඩේ මරේ කියන ලද පල් බොරු මාලාවක ආරම්භය මෙය විය.

රෝහළට ගෙන යෑම.......
රෝගියාට සී.පී.ආර් නිවැරදිව ලබා දීම සිදු කළත් කිසිදු ඵලක් නොවීය. අනතුරුව පස්වරු 12:57 ට, එම ප්‍රදේශයට යාබද “රොනල්ඩ් රේගන් යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ලොස් ඇන්ජලස් මෙඩිකල් සෙන්ටර්” නම් රෝහලේ වෛද්‍ය රිෂෙල් කූපර්ට මෙඩික් වරුන් දෙදෙනා දුරකථනයෙන් ඇමතූ විට, රෝගියා මියගොස් යැයි ප්‍රකාශයට පත් කිරීමට ඔහු අවසර දුන්නේය.

නමුත් රෝගියා අසළ දණගසාගෙන ඔහුගේ අතක් මැණික් කටුවෙන් ඔබාගෙන සිටි මරේ, මයිකල්ගේ තවමත් නාඩි වැටෙන බව කීවේය. රෝගියා මියගිය බවක් පිළිගැනීම මරේ ප්‍රතික්ෂේප කලේ ඉන් පසුවය.

ඉක්බිති මෙඩික්වරුන් දෙදෙනා ජංගම විද්යුත් “ඩිෆිබ්‍රිලේටරයක්” යොදාගෙන මයිකල්ගේ හදවත යළි පණගන්වන්නට උත්සාහ කළේය. එයද හරි නොගිය තැන පෙනහළු ප්‍රසාරක වායු පොම්පයක් යොදාගෙන, මයිකල්ගේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය පණගන්වන්න තැත් කලේය. අවසානයේදී ඇඩ්‍රිනලින් එන්නත් කරන ලද්දේ එයින් පරිවෘත්තීය උත්තේජනයක් සිදුවී මයිකල් යළි පණගනු ඇතිදැයි බැලීමටය.

සියල්ල අසාර්ථක තැනදී, මයිකල්ව රොනල්ඩ් රේගන් රෝහළට ගෙන යෑම ඇරඹිණි.

මේ වනවිට මයිකල්ගේ අසල්වාසීන්, ඔහුගේ කැරොල්වුඩ් නිවස අවට නෙත්ලා සිටි පැපරාසින්, සහ ඔහුගේ දසුන් මාත්‍රයක් ලබන්නට නිතර පාහේ ඒ නිවසේ ගේට්ටු පෙනෙන මානයේ සිටි රසික රසිකාවියන් හරහා මයිකල් ජැක්සන් අසාධ්‍ය තත්වයෙන් පසුවන බව මුළු කැලිෆෝනියා ප්‍රාන්තයත්, ඉන් ඔබ්බට එක්සත් ජනපදයත් දැනගනිමින් උන්නෝය.

මයිකල්ගේ සමීපතම මිතුර, ඥාතීන්, සොයුරන් රොනල්ඩ් රේගන් රෝහල වෙත පැමිණෙන්නට වූහ. ඒ අය අතර ප්‍රමුඛතම වූයේ ඔහුගේ මව වන “කැතරීන් ජැක්සන්” මහත්මියයි. එමෙන්ම මයිකල්ගේ උමතු රසික රසිකාවියන් සිය ගණනින් රෝහල වෙත ගලා විත්, රෝහල් භූමිය අවට රැස් කන්නට වූහ.

පස්වරු 2.30 පමණ වනවිට වෛද්‍ය කූපර් ( ඉහත ) සහ මයිකල්ව නිතර පරීක්ෂා කරන වෛද්‍ය “තාවෝ උයෙන්” දෙදෙනා අතර සාකච්ඡාවක් ඇතිවිය. මයිකල් මියගොස් බොහෝ වේලාවක් වන බැවින්, තව දුරටත් ඔහුට ප්‍රතිකර්ම කරන්න උත්සාහ දැරීමේ ඵලක් නැතැයි ඔවුන් දෙදෙනා ඒකමතිකව තීරණයකට එළඹුණාහ. අවසානයේදී ඒ ගැන රෝහලේ වෙනම කාමරයක අසුන්ගෙන සිටි ජැක්සන් පවුලේ සාමාජිකයන්ට දන්වන ලදී.

කැතරීන් ජැක්සන් මහත්මියට, ජෙරමෙයින් ජැක්සන්ට සහ මයිකල් ජැක්සන්ගේ දරුවන් තිදෙනාගෙන් “බ්ලැන්කට්” යනුවෙන් හඳුන්වන බාළම පුතු හැර අනෙක් දෙදෙනාට සිය පුතු / සොයුරා / පියා නිසලව වැතිර සිටින ආකාරය දැකගන්නට අවස්ථාව සැලසිණි. මයිකල් පිළිබඳව සංවේග ජනක පුවත ලොවට කීමේ වගකීම ජෙරමෙයෙන් ජැක්සන් මහතාට පැවරිණි.

පරපුරක් නැටවූ, ලොවක් නැලවූ,නර්ත-මියැසි වසන්තයක අවසන් හිරු එළිය කැලිෆෝනියාවෙන් ඔබ්බේ පැසිෆික් සමුදුරේ සන්ධ්‍යා රටා මවද්දී, පොප් සංගීතයේ මහා නරපතියාගේ හදවත සදහටම නිසලව ගිය පුවත කියන්නට ජෙරමේයින් ජැක්සන් රෝහල ඉදිරිපිට පඩිපෙළට ආවේය. සාත්පසින් කැමරා අමෝරාගත් මාධ්‍ය සෙනඟ ඉදිරියේ සිටගත් ඔහු “මෙය අසීරුයි !… මගේ සහෝදරයා වන, සුප්‍රකට පොප් සංගීතයේ රජු ලෙස විරුදය ලත්, මයිකල් ජැක්සන් , 2009 ජූනි මස 25 වැනි බ්‍රහස්පතින්දා, පස්වරු 2.26 ට අභාවප්‍රාප්ත විය. ඔහුගේ මරණයට හේතුව නිවසේදී සිදුවූ හෘදයාබාධයක් බව විශ්වාස කෙරේ. ” යනාදී වශයෙන් මරණයේ නිළ නිවේදනය මුළු ලොවටම දුන්නේය.

මයිකල්ගේ මරණය සැළවීමත් සමඟ ලොවපුරා මිලියන සංඛ්‍යාත රසික රසිකාවියන් එය තහවුරු කරගන්නට පොදි කමින් අන්තර්ජාලයට පිවිසීම නිසා, අන්තර්ජාලය කඩා වැටීමක අද්දරට ගිය බව කියැවේ. අන්තර්ජාල ඉතිහාසයේ තනි පුද්ගලයෙකු හෝ ප්‍රපංචයක් නිසා එබඳු බලපෑමක් ඉන් පෙර කිසිදාකත්, ඉන් පසුව මේ දක්වා කිසිදාකත් පැමිණ නොමැත.

ගූගල්, ඇමරිකා ඔන් ලයින් සෙවුම් යන්ත්‍ර විනාඩි 40 කට පමණ අකර්මණ්‍ය විය.

විකිපීඩියා සහ ට්විටර් වෙබ් ජාලා අකර්මණ්‍ය විය.

සිය වෙබ් පිටුවට එක් පැයක් තුළ දෙකෝටිකයකට වඩා පිවිසීම නිසා, තදබදය දරාගත නොහැකි වූ බව සී.එන්.එන් පැවසූහ.

ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන රැසක වෙබ් පිටු අකර්මණ්‍ය විය. යුරෝපයේ අන්තර්ජාල සේවාවට බාධා එල්ලවිය...

අවසන් රාත්‍රිය නිදි වර්ජිතව ගත කළ මයිකල්, තමා ඇබ්බැහි වී සිටි වේදනා නාශක මෙන්ම නිදි මාත්‍ර ඖෂධ වලින් “ප්‍රොපෆෝල් ” නම් ඖෂධය ඉල්ලා හඬා වැටුණු හැටිත් ඉහත සවිස්තරාත්මකව සඳහන් විය.

එදා රාත්‍රියේ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වන කොන්-රැඩ් මරේගේ ක්‍රියා කළාපය සහ පසුදින මයිකල්ගේ මරණය සිදුවන මොහොත ආශ්‍රිතව ඔහුගෙන් ඵල වූ “වෘත්තිමය නොවන” හැසිරීම සමඟ, “මෙහි සිදුවූයේ කුමක්දැයි” ඇතැම් අයට සාධාරණ සැකයක් ජනිත විය.

රහස් පරීක්ෂකයෝ සැකයක් ලුහු බඳිති........
2009 වසරේ ජූලි මස 7 වැනිදා ලොස් ඇන්ජලස් නුවර ස්ටේප්ල්ස් මධ්‍යස්ථානයේදීම පැවැත්වුනු මයිකල්ගේ අවමංගල්‍ය උත්සවයේ ගුණ කථන මැද, ඔහුගේ දියණිය වන පැරිස් ජැක්සන් කළ සංවේදී කථාව අසා ලොවම ඇස් කඳුළින් බර වෙද්දී, සැක සිතූවෝ කොන්-රැඩ් මරේ පස්සේ වැටුණාහුය.

මයිකල්ගේ අවසාන හෝරා කිහිපය ගැන කොන්-රැඩ් මරේ 911 හදිසි සේවාවේ පැරාමෙඩික් වරුන්ට දුන් තොරතුරු මොනවාද?… මරේ ලෝස් ඇන්ජලස් පොලීසියට මයිකල්ගේ අවසන් හෝරා කිහිපය ගැන දුන් තොරතුරු සමඟ ඒවා ගැළපෙනවාද?

මේ සැකය තදින්ම හිසට වැදුණේ ලොස් ඇන්ජලස පොලිස් දෙපාර්තමේන්තුවේ සොරකම් සහ මිනීමැරුම් පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක ඕලැන්ඩෝ මාටිනස්ටය. එම සැකයම අඩු හෝ වැඩි වශයෙන් ඇතිකරගත් තවත් අයෙකු වන්නේ එම දෙපාර්තමේන්තුවේම ජ්‍යේෂ්ඨ රහස් පරීක්ෂකයෙකු සහ පොලිස් ප්‍රධානියෙකු වන ස්කොට් ස්මිත්ටය.

911 පැරාමෙඩික් වරුන්ව මයිකල්ගේ නිවසට කළින් ගෙන්වා නොගත්තේ ඇයි? ..පැරාමෙඩික්වරුන් දී තිබූ සාක්ෂි ප්‍රකාරව ඔවුන් පැමිණෙන විටත් මයිකල් ජැක්සන් බේරාගත නොහැකි තත්වයක සිට ඇති අතර, මයිකල්ගේ සෞඛ්‍ය තත්වය අර්බුදකාරී වන්නට පටන් ගත් මොහොතේම ඔවුන්ව ගෙන්වූවා නම් මයිකල්ව බේරාගන්නටත් තිබිණි. පළපුරුදු වෛද්‍ය වෘත්තිකයෙකු ඒ මොහොතේ එම නිවසේ ඉඳලාත්, පැරාමෙඩික්වරුන්ව නියමිත වේලාවට ගෙන්වා ගෙන, උපකරණ සහිත මූලික ප්‍රතිකාර ලබාදෙමින් මයිකල්ව රෝහලට ගෙනියන්නට කටයුතු නොකළේ ඇයි?

ලොස් ඇන්ජලස් පොලීසිය අභ්‍යන්තරයේ මෙම ගැටළු සාකච්ඡාවට ගැනෙද්දී, මයිකල් ජැක්සන්ගේ වැදගත්කම සළකා මේ පිළිබඳව සිදුකිරීමට නියමිතව තිබූ පරීක්ෂණයට රහස් පරීක්ෂකයන් 3 දෙනෙක් නම් කරන ලදී. ඔවුන් තිදෙනා වූයේ ඕලැන්ඩෝ මාටිනේස්, ඩෑන් මයර්ස් සහ ස්කොට් ස්මිත් නැමැති නිළධාරීන්ය. මුළදී ඔවුන් තිදෙනාගේද පෞද්ගලික ආකල්පය වූයේ මයිකල්ගේ මරණය ස්වභාවික හෝ අත්වැරදීමකින් සිදුවූ මරණයක් විය හැකි බවය.

ඔවුන් තිදෙනා වූයේ ඕලැන්ඩෝ මාටිනේස්, ඩෑන් මයර්ස් සහ ස්කොට් ස්මිත් නැමැති නිළධාරීන්ය.

ඔවුන් කළ පළමු කාර්ය වන්නේ මයිකල් ජැක්සන්ගේ දිවියේ අවසන් වසර පහ පමණ ඇතුළත සියලු වෛද්‍ය වාර්ථා සහ සෞඛ්‍ය තොරතුරු පරීක්ෂා කර බැලීමයි.

මරණය සිදුවූ දිනයේම සවස රහස් පරීක්ෂක ඕලැන්ඩෝ මාටිනෙස් සිය පශ්චාත් මරණ ගවේෂණයේ පළමු රාජකාරී කටයුත්ත වන මයිකල්ගේ අවසන් හෝරා කිහිපය තුළ සයනය අසළ සිටි වෛද්‍ය මරේගෙන් කට උත්තරයක් ගැනීම සඳහා “රොනල්ඩ් රේගන්” රෝහලට පැමිණෙන විට කොන්-රැඩ් මරේ එහි නොසිටියේය. පොලීසිය සහ මාධ්‍ය මඟහරිමින් මරේ රෝහලෙන් ඉවත්ව ගොස් තිබූ බව ඔහුට දැනගන්නට ලැබිණි.

මයිකල් මිය යන මොහොතේ එම නිවසේ සිටි සියළුම දෙනා පාහේ ඒ වනවිටත් රෝහලේ රැඳී සිටි අතර, ඇතැම් අය මාධ්‍ය වලට සහ පොලීසියට පවා අදහස් දක්වා තිබූ නිසා, මරේ හැකි ඉක්මණින් පිටව යාමම, ඔහු ගැන සැකයක් මාටිනෙස්ගේ හදවතේ තැන්පත් කරන්නට ප්‍රමාණවත් විය.

මයිකල්ගේ මරණය ලොවට සැළකිරීමෙන් පසුව, ලොස් ඇන්ජලස් පොලීසියෙන් පත් කරන ලද රහස් පොලිස් නිළධාරීන් මයිකල්ගේ නිවසට ගියේ ඔහුගේ අවසන් මොහොත ගත කළ කාමරය පරීක්ෂාවට ලක් කිරීමටය. එසේ කිරීම රාජකාරී පටිපාටිය විය. මේ අතර පොලීසියෙන් කොන්-රැඩ් මරේ ව සම්බන්ධ කරගන්නට කිහිප වතාවක්ම උත්සාහ කළ නමුදු ඔහු ඇමතුම් වලට සම්බන්ධ වූයේද නැත.

මයිකල් ජැක්සන්ට අවසන් මොහොතේ විවිධ් ඖෂධ ලබාදීම සඳහා භාවිතා කරන ලද උපකරණ වල කොටස්
රොනල්ඩ් රේගන් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥයන් මයිකල් ජැක්සන්ගේ මරණය හෘද්‍යාබාධයකින් හදවත අකර්මණ්‍ය වීමක් නිසා සිදුවූවක් බවට මුලින් ප්‍රකාශ කළේ කොන්-රැඩ් මරේ මයිකල්ට අවසන් මොහොතේ ලබාදුන් ඔසු ගැන කිසිවක් ඔවුන්ට දැනුම් නොදුන් නිසාය. මරේ ඒ සියලු තොරතුරු සදහටම වහන් කරන්නට උත්සාහ කළේය.

රහ්ස් පරීක්ෂකයන් තිදෙනා මයිකල්ගේ නිවසට පැමිණේ...... 
කැරොල්වුඩ් නිවස්නය අවට ඒ වනවිට මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක ජංගම සම්ප්‍රේෂක වෑන් රථ වලින් සහ මාධ්‍ය කණ්ඩායම් වල සාමාජිකයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි. කැරොල්වුඩ් මන්දිරයේ පිවිසුම් වලින් එකක් හැර අන් සියල්ල පොලීසිය විසින් අවහිර කර තිබුණු අතර, රහස් පරීක්ෂක කණ්ඩායම කෙළින්ම උඩු මහලේ පිහිටි මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික නිදන කාමරයට යනවිට, එම කාමරයේ කිසිවක් කිසිම අයුරකින් වෙනස් කරන්නට ඉඩක් නොතබා එලෙසම තබන්නට ලොස් ඇන්ජලස් පොලිස් නිළධාරීන් ක්‍රියා කර තිබිණි.

සේලයින් බෑග්, වෙනත් ඖෂධ වර්ග, සේලයින් එල්ලා තබන රැක් ආදිය සමඟ එම කාමරය රෝහලක ශල්‍යාගාරයක වෙස්ගෙන තිබිණි. රහස් පරීක්ෂකවරුන් මුලින්ම කළ දෙය වන්නේ ස්කොට් ස්මිත් නම් රහස් පරීක්ෂකවරයාගේ හිතවත් වෛද්‍යවරයෙකු අමතා මයිකල්ගේ සයනය අසළින් හමුවන එක් එක් ඖෂධය “කුමන රෝගී තත්වයක් සඳහා භාවිතා කරන ඔසුවක්දැයි” විමසා සිටීමය.

මේ අතර ඕලැන්ඩෝ මාටිනෙස් නම් රහස් පරීක්ෂකවරයාද තමන්ගේ අසල්වැසියෙකු වන විශේෂඥ වෛද්‍යවරයෙකු පරීක්ෂණය සඳහා සම්බන්ධ කරගත්තේය.

සාමාන්‍යයෙන් මිනිසෙකු මියගිය විට, එය මිනී මැරුමක්දැයි තීරණය කරගැනීමට නීතියේ නිළධාරීන් බොහෝ කොට සොයන්නේ “දුම දමන පිස්තෝලයක් හෝ ලේ තැවරුණු සැතකි “. නමුත් මයිකල් ගේ මරණය සම්බන්ධ පරීක්ෂණය අපරාධ පරීක්ෂණයක් බවට පත්කරන්නට තුඩු දුන් සාධකය ලෙස රහස් පරීක්ෂක මාටිනෙස්ට මේ සයනාගාරයේ තිබී හමුවූයේ හිස්වූ බෙහෙත් කුප්පියකි. එම බෙහෙත් කුප්පිය කොතනකින් හෝ බිමට වැටී පෙරැළී ගොස්, මයිකල්ගේ සයනය අසළ තැනක තිබියදී අහම්බෙන් මාටිනෙස්ගේ නෙත ගැටිණි. එහි ලේබලයේ “ප්‍රොපෆෝල් ” යැයි සඳහන්ව තිබිණි.

මේ වනවිටත් එම කාමරයේ තිබී හමුවූ බෙහෙත් කුප්පි වල වට දවටන අඩංගු නම් එකින් එක වෛද්‍යවරුන්ගෙන් විමසමින් සිටි රහස් පරීක්ෂකවරුන් මේ “ප්‍රොපෆෝල්” භාවිතා කරන්නෙ කුමකටදැයි මාටිනෙස්ගේ හිතවත් වෙදැදුරාගෙන් ඇසූහ.

එම නම අසනවාත් සමඟම දුරකථනයේ සිටි එකී වෛද්‍යවරයා මවිතයට පත්ව “දෙයියෝ සාක්කි ! මොකක්ද ඔතන තිබිලා තියෙන්නෙ, ශල්‍යාගාරයක්ද?… ඒ ගොල්ල ඔය කාමරේ ශල්‍යකර්මත් කරලද?…. ඔය ප්‍රොපෆෝල් ඇවිල්ලා නිර්වින්දක ඖෂධයක්නේ ….!… ඕක දෙන්නෙ රෝගීන් ශල්‍යකර්ම සඳහා භාජනය කරනකොට පූර්ණ නිර්වින්දනයකට ( General anesthesia ) ලක් කරන්න නේ ! ඕකෙන් මොකක්ද ඒ ගොල්ල ඔතන කරලා තියෙන්නෙ ?” යැයි කීවේය …. ( පූර්ණ නිර්වින්දනයක් යනු රෝගියා ශල්‍ය කර්මය සඳහා සම්පූර්ණයෙන්ම සිහි නැති කරවීමය. පූර්ණ නිර්වින්දක ඖෂධ යනු සේලයින් ඔස්සේ ඒ සඳහා සිරුර තුළට එන්නත් කරන ඖෂධය – General Anesthesia Drugs )
රහස් පරීක්ෂක මාටිනෙස්ගේ හිසේ අනතුරු ඇඟවීමේ එළි කිහිපයක්ම එකවර දැල්වෙන්න පටන් ගත්තේ මේ මොහොතේ සිටය.

මයිකල්ගේ අවසන් රාත්‍රියේදී ඔහුට ලබාදුන් ඖෂධ ලෙස වෛද්‍ය කොන්‍රැඩ් මරේ විසින් රොනල්ඩ් රේගන් රෝහළට හෙළි කර තිබුණු ඖෂධ ලැයිස්තුවේ “ප්‍රොපෆෝල්” නොතිබිණි….

ලොස් ඇන්ජලස් පොලීසිය එතැන් සිට වෛද්‍ය කොන්‍රැඩ් මරේ සම්බන්ධ කරගැනීමට දරන උත්සාහයන් දැඩි කළහ. ලොස් ඇන්ජලස් පොලීසියට කෙසේ හෝ කොන්‍රැඩ් මරේ සම්බන්ධ කරගන්නට උවමනා බව දන්වමින් මාධ්‍ය නිවේදනද නිකුත් කළහ.

තවත් පැය 13 කට පමණ පසුව මරේගේ නීතිඥයෙකු පොලීසිය සමඟ සම්බන්ධ විය. එම නීතිඥවරයා හරහා වෛද්‍ය මරේද පොලීසිය සමඟ දුරකථනයෙන් සම්බන්ධ විය. එම දුරකථන ඇමතුම පොලීසිය පටිගත කළ අතර, එහිදී මරේගෙන් ප්‍රශ්ණ ඇසුවේ රහස් පරීක්ෂක මාටිනෙස්ය. මරේ මයිකල් ජැක්සන් ළඟ සේවයට බැඳුණේ කුමන වසරේද, ඒ කාලයේ සිට මරේ මයිකල් ගැන දන්නෙ මොනවාද?… යනාදී මූලික ප්‍රශ්ණ කිහිපයක් අසමින් එම සාකච්ඡාව ඇරඹිණි.

මයිකල්ව නින්දට දමන්නට වෛද්‍ය මරේ විසින් වෙනත් ඖෂධ කිහිපයක්ම අධි මාත්‍රාවෙන් දුන් ආකාරයත්, එයින් මයිකල්ට නින්ද නොගොස් බලවත් වෙහෙසට පත්ව සිටින විට “මට “කිරි” දෙන්නැයි ” ඉල්ලා හඬා වැටුණු ආකාරයත් සඳහන් කර තිබිණි. මරේගේ කට උත්තරය සමඟ නැවත අන්න ඒ “මිල්ක්” නම් හැඳින්වීම කරළියට ආවේය. “මිල්ක්” හෙවත් “කිරි” යනුවෙන් හඳුන්වන්නේ උණුසුම් හෝ සිසිල් කිරි වීදුරුවක්දැයි රහස් පරීක්ෂකයන් විමසා සිටි අතර, එවිට පළමු වරට මරේ “මිල්ක්” යනුවෙන් හඳුන්වනු ලබන්නේ ප්‍රොපෆෝල් නම් නිර්වින්දකය බව හෙළි කළේය.

එමෙන්ම මෙතරම් ප්‍රබල නිර්වින්දක ඖෂධය ඔහු පුරා දින 30 ක් තිස්සේ, එක් දිනයක් වත් මඟ නොහැර, දිනපතාම මයිකල්ට ලබාදුන් බවද පිළිගත්තේය ! ඒ වනාහි රෝගියෙකුට එම ඖෂධය ලබා දෙන්නට ජාත්‍යන්තර වෛද්‍ය ආයතන විසින් අනුමත කර තිබෙන පරිමාවන් 600% ගුණයකින් පමණ ඉක්මවා යෑමකි.

අන් වචනයෙන් කියතොත් ඔහු මයිකල් ජැක්සන්ට නිදන්නට අපහසු වූ විට දිනපතාම ඔහුව නින්දට දමා ඇත්තේ “නිර්වින්දනය කර විසංඥ” කරලාය !

රහස් පරීක්ෂකයා සහ වෛද්‍යවරයා අතර ඇති වූ සංවාදයේ වැදගත් කොටස්.....
මයිකල් ජැක්සන්ට ප්‍රොපෆෝල් ලබාදී වෛද්‍ය මරේ වැසිකිළියට ගොස් එනවිට මයිකල්ගේ හුස්ම ගැනීම නතර වී ඇති බව තමා දුටුවේ යැයි මරේ කීවේය.
ඉන් පසුව මුඛයට මුඛය තැබීමෙන් කරන කෘත්‍රිම ශ්වසන සහාය ඇතුළු හෘද ක්‍රියාන්විතය යළි අරඹන මූලික ක්‍රියාකාරකම් ( Cardiopulmonary resuscitation – CPR ) තමා කළ බව හෙතෙම කීවේය.

අනතුරුව හෙතෙම කෑ ගසා මයිකල්ගේ අංගාරක්ෂක නිලධාරියා වන “ඇල්බර්ටෝ ඇල්වාරෙස්” ව කාමරයට කැඳවා ගත් බවද, ඇල්වාරෙස් ඉන් අනතුරුව 911 හදිසි සේවාවට ඇමතුමක් ගත් බවද මරේ සඳහන් කළේය.

දින දෙකක් තිස්සේ අතුරුදහන්ව සිටි මරේ නැවත මතුවී ලොස් ඇන්ජලස් පොලීසියේ රහස් පරීක්ෂකයන්ට දුන් කට උත්තරය අනුව ඔහු සියළු දේ නිසි පරිදි සිදුකර තිබිණි. එහෙත් ප්‍රොපෆෝල් ඖෂධය නිසාවෙන් මරේ කළ වරදක් නිසා මයිකල්ගේ ජීවිතය අවසන් වූවාද යන සැකය වඩා තීව්‍ර ලෙස ඉස්මතු වන්නට විය.

මරේගේ ඖෂධ බෑගය......
මයිකල්ගේ අවසන් රාත්‍රියෙහිදී පටිගතව තිබූ එම නිවසේ සී.සී.ටී.වී කැමරා දර්ශණ පරීක්ෂා කළ රහස් පරීක්ෂක වරුන් තවත් වැදගත් දෙයක් දුටහ. එනම් එදින රාත්‍රියේ කැරොල්වුඩ් මන්දිරයට සේවයට වාර්ථා කරන විට කොන්-රැඩ් මරේ රැගෙන ආ විශාල බෑගය, ඔහු රොනල්ඩ් රේගන් රෝහලට එනවිටත්, ඉන් පිටවී යනවිටත් ඔහුගේ අතේ නොතිබූ බවය.

වහාම ක්‍රියාත්මක වූ රහස් පරීක්ෂකයන් වෛද්‍ය මරේගෙන් “එම බෑගයට වූයේ කුමක්දැයි” ප්‍රශ්ණ කළහ.

එතෙක් වේලා එබඳු බෑගයක් තමා සන්තකයේ පැවති බව රෝහල් බළධාරීන්ගෙන්, මයිකල් ජැක්සන්ගේ පවුලේ අයගෙන් සහ පොලිසියෙන් සඟවාගෙන සිටි කොන්-රැඩ් මරේ මේ ප්‍රශ්ණයත් සමඟ තරමක් තිගැස්සුණේය. මෙහිදී ඉතාම සූක්ෂම වූ රහස් පරීක්ෂකයන් තමාට දැනටම මරේගේ බෑගය හමුවී තිබේද, නැද්ද යන්න මරේට හෙළි නොකර සිටින්නට වගබලා ගත්හ. මරේ සිතුවේ “මේ ප්‍රශ්ණය මගෙන් අසන්නේ මොවුන්ට දැනටම බෑගය හමුවී තිබෙන නිසාය” කියාය. එනිසා ඔහු උත්තර දුන්නේ “එහි තිබුණේ මා මයිකල්ට ලබා දෙන ඖෂධ අඩංගු ඇසුරුම් කිහිපයකි” කියාය.

ඒ මොහොත වනවිට එම බෑගය මරේ දමා ගොස් තිබුණේ, මයිකල් අවසන් රාත්‍රිය ගතකළ කාමරයට යාබද කාමරයකය. කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිය ප්‍රකාරව මරණයක් සිදුවූ ස්ථානයක විශේෂිත වරෙන්තුවකින් තොරව පොලීසියට සෝදිසි කළ හැකිව තිබුණේ අදාළ පුද්ගලයා මියගිය කාමරය බවට සළකන කාමරයේ පමණි. එනිසා, බෑගය ඇත්තේ කොතනද යන තොරතුරු මරේගේ කටින්ම ගන්නේ නැතිව එම කාමරය පරීක්ෂා කර බැලීමට රහස් පරීක්ෂකයන්ට හැකිවිය. ඒ සඳහා ඇවැසි වූයේ, තමන්ගේ බෑගය රහස් පරීක්ෂකයන්ට හසුවී නොමැති බව නොදත් මරේගේ කටින්ම එය තිබෙන තැන අසාගෙන පටිගත කරන කෝල් එකකට හසු කරගැනීම පමණි. තම බෑගය ඒ වනවිට රහස් පරීක්ෂකයන් අතට පත්වී නොමැත, යන කරුණ නොදන්නා මරේ “එම බෑගය ඇඳුම් කාමරයෙන් දකුණට හැරී, එහි ඇති අල්මාරියක ඉහළ බැලූ විට හමුවනු ඇත” කියා කීවේය.

පොලීසියට මයිකල්ගේ පෞද්ගලික යහන් ගබඩාව වන කාමරයට යාබද කාමරය පරීක්ෂා කර බැලීම සඳහා නීතියේ ප්‍රකාරව සැකකරුවෙකු වන මරේගේ එම ප්‍රකාශය සෑහිණි. ඊළඟ සඳුදා උදෑසනම එම කුටිය වෙත ගිය රහස් පරීක්ෂකයන්ට අදාළ අල්මාරිය මුදුනේ කොටුවක තිබී මරේගේ බෑගය හමුවිය.

අදාළ බෑගය පරීක්ෂා කර බැලූ නිළධාරීන්ට ප්‍රොපෆෝල්, ලොරේසපෑම් සහ මිඩසෝලෙම් යන ඖෂධ තුන අඩංගු කුප්පි සහ කුණු ගොඩෙන් අහුලාගෙන බෑගයට දමාගන්නා ලද සේලයින් සහ එන්නත් ලබාදීමට භාවිතා කරන ලද කටු, සේලයින් සඳහා භාවිතා කරනු ලබන නාළ පද්ධති, හිස් බෙහෙත් කුප්පි යනාදී බොහෝ දේ දක්නට ලැබිණි.

නඩු නිමිත්ත.....
කොන්‍රැඩ් මරේ මයිකල්ට ඖෂධ ලබාදී හිස්වූ කුප්පි, සිරින්ජර, එන්නත් කටු සහ වෑල්ව සියල්ල බෑගයට ඔබාගත්තේ කොයි වෙලාවේද?…. ඒවා කරන්නට ඔහු මිඩංගු කළ කාලය වැය කළ යුතුව තිබුණේ කුමකටද?… මේ කරුණු සැළකිල්ලට ගෙන බලනවිට රහස් පරීක්ෂකවරුන්ට පෙනී ගිය දේ වන්නේ, කොන්-රැඩ් මරේ එක්කෝ මයිකල් ජැක්සන්ට කෘත්‍රිම ශ්වසනය සහ “සීපීආර්” ලබාදීම කරමින් සිට එක්තරා මොහොතකදී එය නවතා දමා මේ සියල්ල අස් පස් කර තම බෑගයේ දමාගන්නට කටයුතු කළ බවය. නැතහොත්, මයිකල්ගේ ජීවිතය බේරාගැනීමට නම් සීපීආර් ලබාදීම අත්‍යාවශ්‍යවම තිබූ මොහොතේ එය කිරීම ප්‍රමාද කරමින්, ඒ කාලය වැය කර මේවා අස්පස් කර ගත් බවය. මේ දෙකෙන් කොයි එක කළත් ඔහු මයිකල්ගේ ආශ්වාස ප්‍රශ්වාසය නතර වූ මොහොතේ සිට සීපීආර් ලබා දුන් බවට රෝහලට කියා තිබුණේ බොරු නොවේද?

එමෙන්ම මයිකල්ගේ ජීවිතය ගළවා ගැනීමට කළ යුතු සියල්ල කඩිනමින් කරනවා වෙනුවට, සහ මුලින්ම 911 ආධාර ඉල්ලා සිටිනවා වෙනුවට, මරේ තමා එදින රාත්‍රියේ මයිකල්ට දුන් ඖෂධ සහ ඒවා එන්නත් කළ ක්‍රමවේදයන්ගේ සාක්ෂි මකා දමමින්, සියල්ල ශුද්ධ කරමින් සිටියේ ඇයි?

මේ සියලු කරුණු සමඟ මරේ මයිකල් ජැක්සන්ගේ මරණය පිළිබඳව චෝදනා ලැබිය යුත්තෙකු බව ලොස් ඇන්ජලස් රහස් පරීක්ෂකයෝ තීන්දු කළහ. එම වගකීමෙන් ඔහුට ගැලවී යා නොහැකි බවද, ඒ සඳහා ඔහු දඬුවම් ලැබිය යුතු බවද ඔවුහු තීරණය කළහ.

ලොස් ඇන්ජලස් යනු බොහෝවිට ඇමරිකාවේ අතිශය ජනප්‍රිය තරු පිළිබඳව අපරාධ පරීක්ෂණ මෙහෙයවන්නට සිදුවන පොලිස් දෙපාර්තමේන්තුවකි. සුපිරි තාරකා නිතර ගැවසෙන හොලිවුඩ් පුරය මෙන්ම, සුපිරි ධන කුවේරයන් වසන “බෙවර්ලි හිල්ස්” තරු පහේ ලිපිනයන් පරිශ්‍රයද තිබෙන්නේ මේ ලොස් ඇන්ජලස් නුවර පොලිස් දෙපාර්තමේන්තුවේ නෛතික සීමාවේමය. ඕ.ජේ සිම්සන් නම් පාපන්දු ක්‍රීඩකයා කළ මිනීමැරුම්, මැරිලින් මොන්‍රෝ නම් සුපිරි නිළියගේ මරණය, එළිසබෙත් ෂෝට් ( “කලු දළ මල” නමින් මරණයෙන් පසුව ප්‍රචලිත වූ ) නම් නිළියගේ මරණය, චිත්‍රපට අධ්‍යක්ෂක විලියම් ටේලර්ගේ මරණය, තෙල්මා ටොඩ් නම් නිළියගේ මරණය, වැනි සුපිරි පැළැන්තියේ අයගේ ඝාතනයන් රැසක් පසුපස ලොස් ඇන්ජලස් පොලීසිය ලුහු බැඳ ගියද, ඒ එකුදු පරීක්ෂණයකින් වත් ඔවුන්ට එතරම් සාර්ථකත්වයක් නොලැබිණි. ඒ නිසා මයිකල් ජැක්සන්ගේ මරණය පිළිබඳව පරීක්ෂණයද තවත් එක් නොවිසඳුණු අබිරහසක් ලෙස නොතබන්නට ඔවුහු ඉටා ගත්හ.

මේ වනවිට එක්සත් ජනපදය පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත මයිකල් ජැක්සන් රසික රසිකාවියන්ද කොන්-රැඩ් මරේ මයිකල්ගේ අවසන් මොහොතේ කළ කී දෑ ගැන තොරතුරු මාධ්‍ය ඔස්සේ දැනගෙන සිටි හෙයින්, මයිකල්ට යුක්තිය ඉල්ලා ලොස් ඇන්ජලස් පොලිස් දෙපාර්තමේන්තුව පීඩනයට පත් කරන්නට වූහ. පොලිස් පරීක්ෂණයේ සෑම පියවරක්ම, හෙළි කරගන්නා අලුත් තතු සෑම එකක්ම ජනමාධ්‍ය කණ්ඩායම් වල දැඩි නිරීක්ෂණයට ලක්විය.

මරණ පරීක්ෂණයේ වාර්ථාව........
මේ අතර මයිකල් ජැක්සන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණේ ලොස් ඇන්ජලස් කවුන්ටියේ හදිසි මරණ පරීක්ෂකයා අතිනි.

පළමු මරණ පරීක්ෂණයෙන් ජැක්සන් මියගිය ආකාරය පිළිබඳව අමුතු කිසිවක් හෙළිදරව් නොවුණ අතර, එහිදී භෞතික විශ්ලේෂණයෙන් තහවුරු වූයේ රොනල්ඩ් රේගන් රෝහලේ වෛද්‍යවරුන් පැවසූ අන්දමටම, සහ කොන්-රැඩ් මරේ විසින් මුළින් හෙළිදරව් කළ අන්දමටම මයිකල් මියගිය හදවත අකර්මණ්‍ය වීම නිසා කියාය. නමුත් මයිකල්ගේ රුධිර සාම්පල ගෙන, ඒවා විෂ රසායනාගාර වල විශ්ලේෂණය සඳහා යවා, එම වාර්ථා ලැබෙනවිට තත්වය වෙනස් විය.

2009 වසරේ අගෝස්තු 29 වැනිදා මයිකල්ගේ මරණයේ පූර්ණ මරණ පරීක්ෂණ වාර්ථාව නිකුත් විය. එමඟින් මෙම ලිපියේ අලවා ඇති මරණ පරීක්ෂණ වාර්ථාවේ 12 වැනි පිටෙහි “මරණයට හේතුව ” ලෙස සඳහන් පරිදි, මයිකල් ජෝසෆ් ජැක්සන් මියගියේ ප්‍රොපෆෝල් නම් ඖෂධීය රසායනිකය අධි මාත්‍රාවෙන් ලැබ විෂවීම නිසාවෙනි යන සත්‍යය මුළු ලොවම හමුවේ තබන ලදී. ජනමාධ්‍ය අවකාශ සියල්ල මෙය අසා සෙලැවී ගිය අතර, මයිකල් ජැක්සන්ගේ මරණය ස්වභාවික හේතූන් මත සිදුවූවක් නොව මනුෂ්‍ය ඝාතනයක් බව හෙළිදරව් කෙරිණි. ඒ සමඟම සියල්ල උඩු යටිකුරු විය. සැකයේ තර්ජනාංගුලිය මයිකල්ගේ අංගාරක්ෂකයන්ට, පවුලේම සාමාජිකයන්ට, මයිකල්ගේ අවසන් ප්‍රසංග මාලාව ප්‍රවර්ධනය කරමින් සිටි ඒ.ඊ.ජී සමාගමට, යනාදී පාර්ශව ගණනාවකට එල්ලවිය. නමුත් එහි නියම උරුමකරුවා වන කොන්-රැඩ් මුරේ කරා එය ගෙනෙමින් සිටියේ ලොස් ඇන්ජලස් පොලිස් දෙපාර්තමේන්තුවයි. ගිනි සැරේට කට කථා පියාසර කරමින් පැවති මොහොතේ ඔවුහු මරේට එරෙහිව ක්‍රියාත්මක වූහ.

ලොස් ඇන්ජලස් පොලිස් නිළධාරීන් මරේට එරෙහි අපරාධ පරීක්ෂණයේ අවධානය යොමුවිය යුතු කරුණු පෙළ ගැස්වූයේ මෙපරිද්දෙනි.....

මරේ රොනල්ඩ් රේගන් රෝහල් බළධාරීන්ට සහ පොලීසියට තමා මයිකල්ට කළ දේ යැයි පැවසූ කරුණු වල සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාවෙහි ඇති නොගැළපීම.

මයිකල්ගේ ශරීරයෙහි විශාල ශාක භක්ෂක සතෙකු වුවත් විසංඥ කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රොපෆෝල් නිර්වින්දක මාත්‍රාවක් තිබී හමුවීම සහ එලෙස නිර්වින්දක මාත්‍රා ලබාදෙන විට, රෝගියා අනිච්ඡානුගව ශ්වසනය කිරීම නැවතුවහොත්, යළිත් රෝගියාගේ ශ්වසන ක්‍රියාවලිය පණ ගැන්වීමට ඇවැසි රෝහල් ශල්‍යාගාර වලට සූදානමින් තබා ඇති උපකරණ කිසිවක් මරේ සතුව එම කාමරයේ නොතිබීම ( මේ නිසා මරේගේ නොසැලකිල්ල හෝ උවමනාවෙන්ම මයිකල් මරා දැමීමේ අටියෙන් ඒවා ගෙන ඒම පැහැර හැරීම යන දෙපසටම රහස් පොලිසියේ අවධානය යොමුවිය.)

මයිකල්ගේ සයනය අසළ මූත්‍රා වලින් පුරවා තිබූ ප්ලාස්ටික් කෑන් එකක් නිසා, ඔහුට ඇඳෙන් නැගිට වැසිකිළියටවත් යෑමට හැකියාවක් නොමැතිව තිබුණු බව තහවුරු විය. එසේ වන්නේ යමෙකුට නින්දට යන්නට වෛද්‍යවරයෙකු උපකාර කරමින් සිටින විටෙක නොව, නින්දට නොයෑම නිසා තමාට කරදර කරන රෝගියෙකු අධි මාත්‍රා රසායනික චිකිත්සාවක් මඟින් විසංඥ කරවා, දුර්වල කරවා තබා තිබෙන මොහොතක බව පොලීසියේ නිගමනය විය. කොන්-රැඩ් මරේ මයිකල් ජැක්සන්ව නිර්වින්දන නින්දකට දමා ඔහු නින්දට නොයෑමේ කරදරයෙන් ඇඟ බේරාගෙන තිබුණි.

ලොස් ඇන්ජලස් පොලීසිය කෙළින්ම ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නිර්වින්දකවේදය පිළිබඳව මහාචාර්ය, වෛද්‍ය ස්ටීවන් ෂාෆර් මහතාගේ උපදෙස් පැතූහ. ස්ටීවන් ෂාෆර් යනු මයිකල්ට මරු කැඳවූ “ප්‍රොපෆෝල්” නම් නිර්වින්දක ඔසුවේ “නිර්මාතෘවරුන්ගෙන් කෙනෙකි”.

කොන්-රැඩ් මරේ පොලීසියට කියා තිබුණේ ඔහු මයිකල් ජැක්සන්ට ප්‍රොපෆෝල් මිලිග්‍රෑම් 25 ක් එන්නතකින් ලබා දුන් බවය. එමඟින් මයිකල්ගේ මරණය සිදුවූවාය යන අදහස මහාචාර්ය ස්ටීවන් ෂාෆර් එකහෙළාම ඉවත දැම්මේය. මහාචාර්යවරයා කියා සිටියේ ප්‍රොපෆෝල් මිලිග්‍රෑම් 25 ක් යනු ඉතාම ඉක්මණින් බළ රහිත වන කුඩා මාත්‍රාවක් බවත්, මයිකල් ප්ලාස්ටික් කෑන් එකකට මූත්‍රා පුරවමින් විසංඥව පැය ගණනක් සයනයේ තබන්නටත්, අවසානයේ ප්‍රොපෆෝල් විෂ වීමක් නිසා මරු කැඳවන්නටත් ඒ කුඩා මාත්‍රාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.

මේ අනුව මරේගේ තවත් බොරුවක් හෙළිදරව් විය. මරේ මයිකල්ට ලබා දුන් බව කියන මාත්‍රාව පමණක් නොව, මාත්‍රාව ලබාදුන් ක්‍රමවේදයද මුසාවාදයක් බව ඔප්පු විය. මක් නිසාද, මයිකල්ට සිදුවූ දේ සිදුවන්නට නම් එක් එන්නතකින් නොව, ක්‍රම ක්‍රමයෙන් බිඳුවෙන් බිඳුව ශරීරගතවන සේලයින් ක්‍රමවේදයක් මඟින් ඒ රසායනිකය ඔහුගේ සිරුරට ලබා දී තිබීම ( ඩ්‍රිප් සිස්ටම් ) අනිවාර්ය වීම නිසාය. විනාඩි 30 – 40 ක කාලයක් තිස්සේ මයිකල්ගේ සිරුරට සේලයින් මඟින් එම ඔසුව ලබාදී තිබුණු අතර, ඒ නිසා එය විෂ වීමෙන් ඔහුගේ මරණය සිදුවූ බව තහවුරු විය.

මයිකල්ගේ සයනය අසළ තිබූ එක් “අයි.වී ” සේලයින් බෑගයක් සම්පූර්ණයෙන්ම හිස්ව තිබූ අතර, සාමාන්‍ය සේලයින් බෑගයක තිබිය යුතු ජලය සහ සෝඩියම් ක්ලෝරයිඩ් වෙනුවට එහි “ඇතුළේ” තිබී හිස් ප්‍රොපෆෝල් බෝතලයක් සොයාගැනුණි. මෙම ක්‍රමවේදය මරී යොදාගෙන තිබුණේ පැයක් පමණ තිස්සේ සෙමෙන් මයිකල්ගේ සිරුරට ප්‍රොපෆෝල් එන්නත් කිරීමට පමණක් නොව, ඔහු විසින් මයිකල්ව නින්දට දැමීමට ( විසංඥ කිරීමට ) ප්‍රොපෆෝල් භාවිතා කරමින් සිටින බව ලොවෙන් වසන් කිරීමටත්ය.

රෝගියෙකුට ප්‍රොපෆෝල් වැනි බරපතළ නිර්වින්දක ඔසුවක් ලබාදිය හැක්කේ “නිර්විදනවේදය” ගැන පුහුණුවක් සහ දැනුමක් තිබෙන වෛද්‍යවරයෙකුට පමණි. ( Trained Anesthesian) කොන්-රැඩ් මරේව නිර්වින්දක වෛද්‍යවරයෙකු ලෙස පුහුණු කරවා තිබුණේ නැත. සාමාන්‍ය වෛද්‍යවරුන්ට ප්‍රොපෆෝල් වැනි දෑ රෝගීන්ට ලබාදිය නොහැකිය. මේ අනුව කොන්-රැඩ් මරේ විසින් මයිකල්ට ප්‍රොපෆෝල් අධි මාත්‍රා ලබාදීම හුදෙක් “අත්වැරදීමක්” නොවන බවට ලොස් ඇන්ජලස් පොලිසිය තීරණය කළහ.

කොන්-රැඩ් මරේගේ පෙම්වතිය වන නිකෝල් ඇල්වරෙස්ගේ නිවස පරීක්ෂා කළ පොලීසියට පොත් රාක්කයක සඟවා තිබියදී කොන්-රැඩේ මරේගේ නමට ෆාමසියකින් ප්‍රොපෆෝල් මිළට ගත් බිල්පතක් හමුවිය. එතැන් සිට පොලීසියට වසර කිහිපයක් තිස්සේ මරේ මයිකල් ජැක්සන් වෙනුවෙන් විවිධ ඔසු මිළටගත් වාර්ථා වැලක්ම හමුවිය. ඒ කිසිවක් මයිකල්ව රෝගයක් සඳහා නිශ්චය කළ වෛද්‍යවරුන් විසින් නිර්දේශිත ඔසු නොවේ. මයිකල්ගේ ඉල්ලීමට හෝ මරේගේ උවමනාවට අනුව මරේ විසින් හිතුමතයට මිළට ගන්නා ලද ඔසුය.

වතා ගණනාවකදීම මිලිග්‍රෑම් 100, 50, 20 ආදී වශයෙන් මාත්‍රා සහිත ප්‍රොපෆෝල් ඖෂධීය සංයුතිය විශාල ප්‍රමාණයක් මරේගේ පෙම්වතියගේ නිවහනට මෙකී ෆාමසියෙන් මිළට ගෙන යවා තිබිණි. වෛද්‍ය නිර්දේශ වලින් හෝ රෝගී තත්ව නිර්ණයකින් තොරවම මයිකල් තමාගේ ඖෂධ ඇබ්බැහිය සංසිඳවාලන්නට මේ ඔසු ඉල්ලා යදින විට, ඒවා මරේ මයිකල්ට ගෙනගොස් දෙන්නේ මේ පෙම්වතියගේ නිවහනේ සිටය.

මේ සියළු තොරතුරු හෙළිවීම සමඟ කොන්-රැඩ් මරේගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව පුළුල් පොලිස් ගවේෂණයක් ඇරැඹිණි. එහිදී සොයාගත් කරුණු වලට අනුව මරේ පෙම්වතියන් සහ බිරින්දෑවරුන් කිහිප දෙනෙකුම සිටින, ඔවුන්ගෙන් ඔහු නිසා ලත් දරුවන් කිහිප දෙනෙක්ම සිටින්නෙකි.

එමෙන්ම ඔහු නිරතුරුවම වැඩිහිටි විනෝදාස්වාදය සපයන සමාජ ශාලා ආදියට ගොස්, ඒවායේදී එක් රාත්‍රියකට විශාල මුදලක් වැය කර ප්‍රීති වන්නෙකි.

කැලිෆෝනියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් නිවසක් හෙතෙම ණය මුදලක් ලබාගෙන මිළයට ගත් අතර, එහි එක් වාරිකයක වටිනාකම ඇමරිකානු ඩොලර් 10,000 ක් පමණ වේ.

සිය කෙළිලොල් දිවිය සහ තමන්ට ළඟාවන්නට නොහැකි තරම් වටිනා කමකින් යුතු දේපළ මිළට ගැනීම හේතුවෙන් ඔහු බරපතළ ණය උගුලක වැටී සිටියේය.

මරේගේ වෛද්‍ය දිවියේ පෙර වැරදි රැසක් හේතුවෙන් ඇමරිකාව පුරා සම්මත බොහෝ වෛද්‍ය සභා සහ ආයතන වලින් ඔහුට එරෙහිව වාරණ නියෝග කිහිපයක්ම පණවාද තිබිණි. ඒවා ඔහුට සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස පුද්ගලික සායන පැවැත්වීමට පවා අවසර නොලැබෙන තරමේ වාරණ විය. නමුත් මයිකල් තමාට නිර්දේශිත නොවන ඔසු ලබාගැනීම සඳහා මොහුව තෝරාගෙන ඇත්තේ දැනට එළිපිට සිය සායනික කටයුතු කරන කිසිදු වෛද්‍යවරයෙකු මයිකල්ගේ ඉල්ලීම් ඉටුකරන්නට සිය වෘත්තියට ඇති ආසාව හේතුවෙන් නොපෙළඹීම නිසාය.

මේ ණය තුරුස් ගෙවන්නට මරේට බොහෝ මුදල් උවමනාවී තිබේ. මරේට මයිකල් මුණ ගැසෙන්නේ ඒ අතර තුරය. ලෝකයට හොර රහසේ මයිකල් තමා ඇබ්බැහිවී සිටි ඔසු ගෙන්වා ගන්නට මරේ තියාගත් අතර, ඔහුගේ “දිස් ඊස් ඉට්” නම් අවසන් සංගීත චාරිකාව කරනවිට තමා සමඟ යන කණ්ඩායමේ මරේ සිටිය යුතු බව පවසා ඒ.ඊ.ජී සමාගමෙන්ද මසකට ඇමරිකානු ඩොලර් ලක්ෂ එකහමාරක ආදායමක් මරේට එන ලෙසට සකස් කරන ලදී.

මයිකල් මේ උපකාරය මරේට කරන විට මරේගේ මුළු ණය තුරුස් කන්දරාව ඇමරිකානු ඩොලර් 1,180,000 ක් පමණ වී තිබිණි. මයිකල් යටතේ සේවය කළ සමයේ මෙම ගණන යම් පමණකින් අඩු කරන්නට මරේ සමත් වූවත් ලැබෙන සෑම සතයක්ම වියදම් කළ නිසා මරේට සිතු පරිදි ණය ගෙවාගන්නට බැරි විය. මයිකල් මිය යනවිට මරේගේ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 780,000 ක් පමණ වී තිබිණි.

2010 වසරේ පෙබරවාරි මස 8 වැනිදා කොන්-රැඩ් මරේට මයිකල් ජෝසෆ් ජැක්සන් අචේතනිකව මරා දැමීම උදෙසා මිනීමැරුම් චෝදනා නිළ වශයෙන් පැවරිණි. එදිනම සවස මූලික නඩු කටයුතු ආරම්භ කෙරිණි. ඇමරිකා එක්සත් ජනපදයේ මනුෂ්‍ය ඝාතන ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට වර්ගීකරණය වන අතර, “Involuntarily Manslaughter ” හෙවත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන යනු මිනිසෙකු මැරීමේ චේතනාවෙන් යුතුව නොකළද, තමන් කරන දෙය අවධානම් සහගත සහ භයානක දෙයක් බව දැන දැනම, කිසිම වගකීමකින් තොරව කරන බරපතළ දෙයක් නිසා කෙනෙකුගේ මරණය සිදු කිරීමයි.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ජනතාව එදිරිව කොන්-රැඩ් රොබර්ට් මරේ නඩු විභාගය.....
2011 වසරේ ජනවාරි මස 11 වැනිදා කොන්-රැඩ් මරේව නඩු විභාගයට පෙනී සිටීම සඳහා උසාවිය හමුවට කැඳවන ලදී. නමුත් මරේගේ නීතිඥයන් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින්, සිය සේවා ලාභියාට අධිකරණයට එන්නට තව දුරටත් සූදානම් වීමට ඇවැසි බැවින්, ඒ සඳහා වැඩි කාලයක් ඉල්ලා සිටියහ. ඒ අනුව නඩු විභාගය 2011 වසර පුරාවටම කල් යමින් ඇදී ගියේය. මේ පිළිබඳව මයිකල් ජැක්සන්ගේ පවුලේ අය නොසතුට ඵල කළහ. මයිකල්ගේ පියා කොන්-රැඩ් මරේගෙන් වන්දි ඉල්ලා සිවිල් නඩුවකුත්, මයිකල්ගේ මව, රෝගීව සිටි සිය පුතු ලවා ප්‍රසංග මාලාවක් කරවා ගැනීමට උත්සාහ කර ඔහුගේ ජීවිතය අනතුරේ දැමීම වෙනුවෙන් ඒ.ඊ.ජී සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවකුත් වෙනම ගොණු කළද, ඒ නඩු විභාග සාර්ථක වූයේ නැත.

වසර දෙකක පමණ කාළයක් තිස්සේ මෙම නඩුව විභාග කෙරිණි. මූලික වශයෙන් අයදුම් පත් 500 කින් පමණ ජූරි සභාවක් ඒ වෙනුවෙන් තෝරා ගැනිනි. නඩු විභාගය ඇතැම් දිනවල රූපවාහිනියෙන් සජීවීව පෙන්වන ලද අතර, මිලියන 18.5 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් එය ඉතාම උනන්දුවෙන් නැරඹූහ.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ වැදගත්ම සාක්ෂි.......
මයිකල් ජැක්සන්ගේ අංගාරක්ෂකයෙකු වන ඇල්බර්ටෝ ඇල්වාරෙස් – මයිකල්ගේ අවසන් රාත්‍රියේදී වෛද්‍ය මරේ තමාට එන්නත් සඳහා ඇවැසි “වයල්” ගෙන එන ලෙස දැනුම් දුන් බව හෙළි කලේය.

රොනල්ඩ් රේගන් රෝහලේදී මයිකල්ගේ හදවත යළි පණගන්වන්නට වෙර දැරූ වෛද්‍යවරයෙකු වන “තාවෝ ඔයෙන් “ – මයිකල් රෝහලට ගෙනෙන විටත් මියගොස් සිටි බවද, තමන් දැරූ උත්සාහය අර්ථ විරහිත බව මුලින්ම අවබෝධ කරගත් බවද කීවේය

ඉහත සඳහන් කළ ප්‍රොපෆෝල් ඖෂධය සොයාගැනීමට දායක වූ මහාචාර්ය ස්ටීවන් ෂාෆර් – ප්‍රොපෆෝල් ඔසු මයිකල්ට ලබාදීමේදී වෛද්‍ය කොන්-රැඩ් මරේ අදාළ නිසි පටිපාටියේ බරපතළ කඩකිරීම් 17 ක් කර ඇති බව කීවේය. එමෙන්ම එම ඖෂධය “නින්ද නොයෑමේ රෝගය ” හෙවත් “ඉන්සොම්නියා” සඳහා ප්‍රතිකාරයක් ලෙස කිසිදු අවස්ථාවක ලබා නොදිය යුතු බවද අවධාරණය කර සිටියේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය ෂාෆර් කියා සිටියේ මයිකල්ගේ සයනය අසළ ඔහුට සේලයින් සමඟ ප්‍රොපෆෝල් ලබා දීම සඳහා කොන්-රැඩ් මුරේ විසින් සාදන ලද උපකරණ සංවිධිතය නිසා, සේලයින් නොලැබෙන විටක මයිකල්ට ඉතාම වේගයෙන් අධි මාත්‍රාවෙන් ප්‍රොපෆෝල් සිරුර තුලට ලැබිය හැකිව තිබූ බවත්, ප්‍රොපෆෝල් රෝගියෙකුට දෙන්නේ බිඳෙන් බිඳ ඉතාම සියුම් මාත්‍රාවලින් නිසා, ඒ සැකැස්මද මයිකල්ගේ ජීවිතය අනතුරේ දැමීමක් බවත්ය.

නඩු විභාගය තුළ මයිකල්ගේ අවසන් හෝරා කිහිපය ඇසින් දුටු ඇල්බර්ටෝ ඇල්වාරෙස් වැනි අය දුන් තොරතුරු වල උපකාරයෙන් පැමිණිල්ලේ නීතිඥයන් සහ විශේෂඥයන් විසින් මයිකල්ට ප්‍රොපෆෝල් ලබාදුන් ආකාරය උසාවි ශාලාවේදී රඟ දක්වා පෙන්වන ලදහ.

කොන්-රැඩ් මරේගේ පාර්ශවයෙන් ( විත්ති පාර්ශවයෙන් ) පෙනී සිටි වැදගත් සාක්ෂිකරුවන් –
මයිකල් ජැක්සන්ගේ දිගු කාළීන මිතුරෙකු වන වෛද්‍ය ඇලන් මෙට්ස්ගර් – මයිකල් තමාගෙන්ද දිගින් දිගටම ප්‍රොපෆෝල් වැනි නිර්වින්දක ඖෂධ ඉල්ලා ඇවිටිලි කළ බව උසාවියේදී හෙළි කලේය.

පෝෂණවේදී හෙදියක වන චෙරිලින් ලී – ඇය මයිකල්ට ප්‍රොපෆෝල් යන ප්‍රබල නිර්වින්දකය නින්දට පත් කරන ඔසුවක් ලෙස භාවිතයට ගැනීමට එරෙහිව තදින්ම අවවාද කළද, මයිකල් ඒ අවවාද පිළි නොගත් බවද, ඉන් පසුව ඇය මයිකල් නුදුටුව බවද කියා සිටියාය. ( ඇයගෙන් එම ඔසුව මයිකල් ඉල්ලා තිබුණද, ඇය ඒවා ලබාදී තිබුණේ නැත)

 වෛද්‍ය රොබට් වොල්ඩ්මන් – මයිකල්ගේ චර්ම විශේෂඥ වන වෛද්‍ය ආර්නෝල්ඩ් ක්ලේන් ගේ වාර්ථා උසාවියේ ගෙනහැර දක්වමින්, මයිකල් “ඩෙම්‍රෝල්” නම් වේදනා නාශකයට බෙහෙවින්ම ඇබ්බැහි වී සිටි බවත්, යම් මොහොතක නොලැබී ගිය පසුව එහි “විත්ඩ්‍රෝල් සිම්ටම්ස්” හෙවත් අහිමිවීමේ රෝග ලක්ෂණ ලෙස Insomnia නින්ද නොයෑමේ රෝගී තත්වය උත්සන්න වන බවත්, ඒ හේතුවෙන් කොන්-රැඩ් මරේගෙන් කෙසේ හෝ තමාව නින්දට දමන ලෙස ඉල්ලා සිටින්නට ඇති බවත් පෙන්වා දුන්නේය.

නමුත් මෙම සාක්ෂි දීමේදී වෛද්‍ය රොබට් වෝල්ඩ්මන් මයිකල් ජැක්සන්ට අප්‍රේල් මාසයේ දින තුනක් පමණ ඇතුළත ඩෙමරෝල් මිලිග්‍රෑම් 775 ක් පමණ ලැබී තිබුණු බව පිළිගත්තේය. ඒ වනාහි මයිකල්ට මරේ විසින් ප්‍රොපෆෝල් ද වැඩි මාත්‍රා වලින් ලබා දුන් සමය ලෙස පැමිණිල්ල හඳුනාගැණිනි.

මේ වන තෙක් කොන්-රැඩ් මරේගේ වාසියට කැරකෙමින් තිබුණු නඩුව පැමිණිලි පාර්ශවය දෙසට කරකැවූ ආන්දෝලනාත්මක සාක්ෂි දෙකෙන් පළමුවැන්න එයයි. එම සාක්ෂිය අත් වැරදීමකින් පැමිණිල්ලේ ඔඩොක්කුවට නඩුවේ වාසිය විසි කළ සාක්ෂියකි. නමුත්, කොන්-රැඩ් මරේගේ ඉරණම විසඳූ සාක්ෂිය එය නොවෙයි.

පැමිණිල්ල නියෝජනය කරමින් මහාචාර්ය ෂාෆර් ආවාසේම, මරේගේ පාර්ශවයෙන් ඔහු වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමටද ප්‍රොපෆෝල් විශේෂඥයෙකු ගෙන්වාගෙන තිබිණි. ඒ වෛද්‍ය පෝල් වයිට් මහතාය. නමුත් පැමිණිල්ලේ නීතිඥයන් හරස් ප්‍රශ්ණ ඇසීමේදී පෝල් වයිට් දුන් එක් පිළිතුරකින් හෙවත් පැමිණිල්ලේ ප්‍රශ්ණයට විත්තියේ අවසිදායක ප්‍රතිචාරයක් පිළිගැනීම හේතුවෙන් නඩුවේ වාසිය පැමිණිල්ල දෙසට යොමුවුනා පමණක් නොව, එම සාක්ෂිය සහ ෂාෆර්ගේ සාක්ෂිය යන දෙකම එක්වී මරේගේ ඉරණම විසඳූහ.

එම පිළිගැනීම වූයේ මයිකල් ජැක්සන්ට කොන්‍රැඩ් මරේ විසින් ප්‍රොපෆෝල් ලබාදුන්නේ නිසි පටිපාටියට පිටින් බවත්, නිසි අයුරින් ප්‍රොපෆෝල් ලබා දුන්නා නම් මයිකල් මිය යෑමට ඉඩක් නොතිබුණු බවත් තමන් පිළිගන්නා බව පෝල් වයිට්ට පැමිණිල්ලේ හරස් ප්‍රශ්ණ හමුවේ කියන්නට සිදුවීමය.

එතැනින් විත්තියේ සාක්ෂි කැඳවීමද අවසන් වූ අතර, තමා පරාජය වීම නියත බව දුටු මරේ මහත් කණස්සල්ලට පත්ව සිටිනු දක්නට ලැබිණි.

පුරා වසර දෙකකට ආසන්න කාලයක් සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි විභාග කිරීමෙන් පසුව 2011 වසරේ නොවැම්බර් මස 3 වැනිදා නඩුවේ තීන්දුව දීම ජූරි සභාවට පවරන ලදී.

2011 වසරේ නොවැම්බර් මස 7 වැනිදා, පුරා පැය 9 ක් පැවති ජූරි සභාවේ සාකච්ඡාවකින් පසුව, වෛද්‍ය කොන්‍රැඩ් රොබර්ට් මරේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වරදකරු බවට තමා තීන්දු කරන බව ජූරිය විසින් ප්‍රකාශ කරන ලදී. එකෙණෙහිම කොන්-රැඩ් මරේව රිමාන්ඩ් භාරයට පත් කරන ලද අතර, ඔහුට දඬුවම් පැමිණවීම නොවැම්බර් මස 29 වැනිදාට කල් තබන ලදී.

නොවැම්බර් 29 වැනිදා මයිකල් ජෝසෆ් ජැක්සන්ට ප්‍රොපෆෝල් නම් නිර්වින්දක ඖෂධය, නින්ද නොයෑමේ රෝගයට පිළියමක් ලෙස නිර්දේශ වී නොතිබියදීත්, උවමනාවෙන්ම, නිසි පටිපාටියෙන් තොරව, අධිමාත්‍රාවෙන් ලබාදීම නිසා ඔහුගේ මරණය සිදුකිරීමේ වරදට වෛද්‍ය කොන්‍රැඩ් රොබර්ට් මරේට සිවු වසරක සිර දඬුවමක් නියම කෙරිණි. අධිකරණ ශාලාවෙන් පිටත රැස්ව සිටි මයිකල්ගේ රසිකයන් මේ තීන්දුව අසා ප්‍රීතිඝෝෂා කළ අතර, අධිකරණයට පැමිණ සිටි මයිකල්ගේ මව සහ සහෝදරයෙකු වන ජෙරමේයින් ජැක්සන් මයිකල්ට අද යුක්තිය ඉටුවූ බව පවසමින් පිටව යනු දක්නට ලැබිණි...

.............අන්තර්ජාලය ඇසුරෙනි............දැනුම සොයන්න මේ පාරෙන් එන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොප් මහ රජු මයිකල් ජැක්සන්ගේ අවසන් දින කිහිපය (Mr. Michael Jackson) පොප් මහ රජු  මයිකල් ජැක්සන්ගේ අවසන් දින කිහිපය (Mr. Michael Jackson) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 25, 2022 Rating: 5

0 comments:

Post a Comment