Your Choice Way

පිරිමින්ට ශාපයක් වූ ඉන්දියාව නැවත ඉල්ලන කොහිනූර් දියමන්තිය (Kohinoor Diamond)

පිරිමින්ට ශාපයක් වූ ඉන්දියාව නැවත ඉල්ලන කොහිනූර් දියමන්තිය (Kohinoor Diamond) - Your Choice Way

හිමි වූ සෑම පිරිමියෙකුටම තමන්ටම තමන්ගේ ජීවිතේ එපා වන තරමටම අභාග්‍ය උරුම කරදුන් මහා රාජ්‍යන් පවා බිද හෙලූ ග්‍රෑම් 37.2 ක් බර කාබන් කුට්ටිය කොහිනූර් දියමන්තියයි. වසර 500 ක් ලිඛිත ඉතිහාසයක් හිමි මෙම අද්විතීය පාශාණය මේ වෙද්දී පවුම් අටකෝටි දහසය ලක්ශයක් එනම් ලංකා මුදලින් කෝටි දෙදහසක් පමන වටිනා කමක් දරයි. කඳුකරයේ ආලෝකය නමින් විරුධාවලිය ලැබූ මේ දියමන්තිය 13 වන සියවසේ ඉන්දියාවේ ආන්ද්‍රාවේ කාකටියා රාජ පරපුරට අයත් පතලකින් සොයා ගනිද්දි කැරට් 700 ක බරින් යුක්ත වූ විස්තර කල නොහැකි තරම් සුන්දර වස්ථුවකි. එය අවර්ණය .වශී කරවන සුලු පෙනුමකින් යුක්තය. ගුප්තය. මේ සියල්ලටම වඩා භයානක වන්නේ එය වටා ක්‍රියාත්මක වන මහා ශාපයයි. මේ දියමන්තිය හිමි වන හෝ සොරකම් කරන අධිරාජ්‍යකු වුවත් එතැනින් පසු සිය ජීවිතය අපායක් කර ගනී. තමා ජීවත් වන්නේ ඇයිදැයි සිතෙන තරම් ශෝකජනක ඉරණමකින් පසු මරු වැළඳ ගනී.එහෙත් මේ අරුම පුදුම ශාපය ක්‍රියාත්මක වන්නේ දියමන්තිය හිමි කරගන්නා පිරිමින්‍ට පමණි. යම් ස්ත්‍රියක මෙය තමා සතු කර ගතහොත් ඇය ලොව ඉහළම වාසනාවට සහ භාග්‍යට සියලුම යහපතට හිමිකම් කියයි. ඊට හොඳ ම උදාහරණය මේ වෙද්දී එහි සාඩම්බර හිමිකාරිත්වය දරන දෙවන එලිසබත් මහ රැජිනයි...

එංගලන්ත මහ රජුගේ හෝ රැජිනියගේ ඔටුන්න සරසන මැණික් ගණනාවකි. ඒ අතර ප්‍රසිද්ධම මැණික වූයේ ‘කොහිනූර්’ නමැති දියමන්තියයි. ලොව වඩාත් ප්‍රසිද්ධියට පත් වූත් වැඩිම දෙනකුගේ කතාබහට ලක්වූත් මැණිකක් වී නම් ඒ කොහිනූර් දියමන්තියම විය යුතුය.   

කොහිනූර් නම ඇසෙන විටම එය අරාබි වචනයක් යැයි නිකමට මෙන් සිතේ.   

පුදුමය වන්නේ කොහිනූර් දියමන්තිය එංගලන්ත රාජකීය ඔටුන්න සැරසූයේ කෙසේද යන්නය. එ් ප්‍රශ්නයට විසඳුම් සොයාගන්නට නම් දියමන්තියේ ඉතිහාසය සොයා අතීතයේ අහමුළු ඇවිස්සීමට සිදුවේ.   

වාර්තා වන හැටියට මේ දියමන්තියේ උපත සිදුව ඇත්තේ ක්‍රිෂ්ණ ගංගාවේය. ගොල්කොන්ඩා රාජධානියට අයත් කොල්ලූර් ප්‍රදේශයේ ක්‍රිෂ්ණ ගංගාවේ දකුණු ඉවුරෙහි හෑරූ පතලක මඩ අතර තිබීය. ඒ ද අඩි දහතුනක පමණ ගැඹුරකය. මඩ සෝදාගත් ඒ වටිනා දියමන්තිය ගියේ රජුගේ සම්පත් අතරටයි. දිල්ලි සුල්තාන් රාජ්‍යය මේ වනවිට බලවත් වෙමින් පැවතිණි. එහි දෙවැනි පාලකයා වූයේ අලහුදීන් ඛල්ජි ය. ඔහු දකුණු ඉන්දියාවේ කුඩා රාජ්‍ය ආක්‍රමණය කළ අතර අර කොහිනූර් දියමන්තිය ඔහුට පැහැරගත හැකිවිය. 1304 දී සිදුවූ මේ ආරවුලෙන් පසුව ගෙවීගියේ වසර දෙසීයක් පමණි. ඒ වනවිට බලවත් වෙමින් සිටියේ මෝගල්වරු ය. මෝගල් අධිරාජ්‍යයේ බාබුර්, දිල්ලි සුල්තාන් රාජ්‍යය ආක්‍රමණය කරමින් පනිපත් සටන ඇරඹුවේය. එහිදී අග්‍රා සහ දිල්ලි බලකොටු යටත් කරගන්නට සමත් වූ ඔහු කොහිනූර් දියමන්තිය පැහැර ගත්තේය. පස්වැනි මෝගල් අධිරාජ්‍යයා වූ ප්‍රතාපවත් ෂා ජෙහාන් ඔහුගේ විසිතුරු සිංහාසනයේ වටිනාකම තවත් වැඩිකරගනු පිණිස එම දියමන්තිය සිංහාසනයේ සවිකර ගත්තේය.   

ප්‍රේමාතුර අධිරාජයා මුම්ටාස් බිසව වෙනුවෙන් ටජ්මහල ඉදි කළේය. රාජ්‍ය පාලනය නොසලකා වැලපෙමින් සිටි සමයේදී ඔහුගේ පුත් ඖරසෙබ් රාජ්‍යය පැහැර ගත්තේය. කොහිනූර් දියමන්තිය සිංහාසනයෙන් ගැලෙව්වේය.   

ඔහු මේ දියමන්තිය කපා ඔපමට්ටම් කරවූ අතර එවිට ගලෙහි බර කැරට් 186 ක් දක්වා අඩු වූ බවද සඳහන්ය. ඉනික්බිති මේ දියමන්තිය ගියේ ඖරසෙබ් මූගල් අධිරාජයාගේ භාණ්ඩාගාරයටය. එහෙත් දියමන්තියේ ශාපයට දෝ මූගල් අධිරාජ්‍යයට එරෙහි ආක්‍රමණයක් හට ගත්තේය. ඒ 1739 වසරේදීය. එවර දිල්ලිය ආක්‍රමණය කරන ලද්දේ පර්සියාවේ නදීර් ෂා රජුය. ඔහුගේ හමුදාව මූගල් අධිරාජයාගේ අනගි භාණ්ඩාගාරය කොල්ලකෑ අතර එහි තිබූ වටිනා කියන හැම දෙයක්ම පැහැර ගත්තේය. ඒ සම්පත් අතර සුරක්ෂිතව සඟවා තිබූ කොහිනූර් දියමන්තිය ද වූවේය.   

මේ අනගි දියමන්තිය ගැන කලින් අසා තිබූ පර්සියන් අධිරාජයා තමන් සතු වූ දියමන්තිය ඔසොවා ආලෝක ශිඛරය යැයි කෑ ගෑවේය.   

ඔහු මූගල් අධිරාජ්‍යයෙන් පැහැරගත් අන් හැම මැණිකකටම වඩා මේ කොහිනූර් දියමන්තියට ඇලුම් කළේය. එහි දීප්තිය ඔහුට දැනුණේ හිරු කිරණක් සේය. එහෙත් 1747 අවුරුද්දේදී මේ පර්සියානු රජුට උදාවූයේ අවාසනාවකි. ඔහු ඝාතනය කරනු ලැබිණි. එවිට අර ආලෝක ශිඛරය උරුම වූයේ රජුගේ මුනුබුරාටය. ඔහු නමින් ෂූජා ෂා ය. ෂූජා මේ දියමන්තිය අත් පළඳවනාවක් ලෙස පාවිච්චි කළේය. පසු කලෙක පර්සියාව ඇෆ්ගනිස්ථානය සමග සටනකට අර අදිද්දි ෂූජා ෂා ආරක්ෂාව පතා ලාහෝරයට පලා ගියේය. එවක ලාහෝරය පාලනය කළේ රංජිත් සිං ය. ෂූජා වෙත දිගු කළ මිත්‍රත්වයේ හස්තය වෙනුවෙන් ප්‍රතිඋපකාර ලෙස මැණික් ලබා දෙන්නයැයි රංජිත් ෂූජාට පැවසුවේ ඔය අතරය. ෂූජා ඔහු අත පැළඳි දියමන්තිය රංජිත්ට දුන්නේය. 1813 වසරේදී රංජිත් සිං ප්‍රාර්ථනා කළ පරිදිම කොහිනූර් අනගි දියමන්තිය ඔහුට ලැබුණේය. එහෙත් ෂූජා විශ්වාස කළේ රංජිත් නොවේ. එබැවින් ඔහු දියමන්තිය ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දී මනා පරීක්ෂාවකට ලක් කළේය. ඔවුන් දින දෙකක් තිස්සේ පරීක්ෂා කිරීමෙන් පසුව එය කොහිනූර් නමැති අගනා දියමන්තිය බව තහවුරු කළේය. මෙහි වටිනාකම? රංජිත් සිංගේ ඊළඟ ප්‍රශ්නය එය විය.   

එහෙත් ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දියමන්තියේ වටිනාකම තක්සේරු කිරීම උගහට විය. රංජිත් සිංට දැනුණේ මෙතෙකැයි කිව නොහැකි සතුටකි. ඔහු රුපියල් 125,000 ක මුදලක් ෂූජාට පරිත්‍යාග කළේය.   

ලොව වටිනාම දියමන්තිය හිමිකර ගැනීමේ සතුට දරාගන්නට රංජිත් අපොහොසත් විය. ෂා ජහාන් වැන් රජවරු සතුව තිබූ දියමන්තියක හිමිකරු වීමේ ප්‍රීතිය දරාගනු බැරි වූ ඔහු සිය හිස් වැස්මේ ඉදිරියෙන් මේ දියමන්තිය සවිකරවා ගත්තේය. තම මංගල හස්තියා පිට නැගුණු ඔහු මහත් උජාරුවෙන් වීදි සංචාරය කළේ නගර වැසියන්ට දියමන්තියේ අපූරුව දැකබලා ගන්නටය. සුවිශේෂ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී දියමන්තිය රැගෙන යාම පුරුද්දක් කරගත් ඔහු බ්‍රිතාන්‍යය නිලධාරීන්ට, සුවිශේෂ අමුත්තන්ට දියමන්තිය ප්‍රදර්ශනය කළේය.   

හැබැයි ඔහු සිටියේ බියෙනි. අතීතයේ දවසක රංජිත් සිං බීමත්ව සිටි මොහොතක ඔහුගේ ස්වර්ණාභරණ සහ මැණික් සොරකම් කර තිබිණි. එපරිද්දෙන්ම මේ අනගි දියමන්තියත් සොරෙකුගේ ග්‍රහණයට අසුවිය හැකිය. මේ බිය නිසාම ඔහු කළේ බලකොටුව තුළ ආරක්ෂිතව තැන්පත් කර තැබීමය. එහෙත් තම පම්පෝරිය කිවයුතු නිසා විශේෂිත අමුත්තන් හමුවේ දියමන්තිය ප්‍රදර්ශනය කිරීමට රංජිත්ට අවශ්‍ය විය. මේ නිසා බලකොටුවේ සිට දියමන්තිය ප්‍රවාහනය කිරීමට ඔහු ඔටු හමුදාවක් යොදා ගත්තේය. මේ හැම ඔටුවාගේ පිටකම සමාන භාජනයක් තැන්පත් කර තිබිණි. දියමන්තිය ඇත්තේ කුමන ඔටුවාගේ පිට මතද යන්න සියල්ලන්ටම රහසක් විය. එය දැන සිටියේ රංජිත්ගේ භාණ්ඩාගාරයේ පාලක මිස්රි බෙලි පමණක්ම විය. 

ගෙවී ගියේ වසර තිස්හයක් පමණි. එක් දිනෙක රංජිත් සිං ආඝාතයට ගොදුරු විය. එය ඔහු ආඝාතයට ගොදුරු වූ තුන්වැනි අවස්ථාව විය. තවදුරටත් ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තු ඔහුටවත් වෛද්‍යවරුන්ටවත් නොතිබිණි. මරණ මංචකයේ සිට සිය සම්පත් ඔහු පූජනීය ස්ථානවලට පවරා දෙන්නට විය. කතා කිරීමට අපහසු වූ ඔහු සියල්ල කළේ හස්ත මුද්‍රාවෙනි. වැඩිමහල් පුත් බාරක් සිංට රාජ්‍යය පවරාදුන් පසුව පැන නැගුණු ලොකුම ගැටලුව වූයේ කොහිනූර් දියමන්තියයි. රංජිත් සිංගේ ප්‍රධාන බ්‍රාහ්මණයා මේ මොහොතේ සිටියේ ඔහු අසලය. ඔහු දියමන්තිය පූරි නගරයේ පිහිටි ජගන්නාත් දේව කෝවිලට ලබාදෙන ලෙස ඉල්ලීය. රජු හස්ත මුද්‍රාවෙන් කුමක් කීවත් බ්‍රාහ්මණයා කීවේ රජු එය තමාට දුන් බවයි. එහෙත් භාණ්ඩාගාරික බෙලි පැවසුවේ මේ දියමන්තිය රාජ්‍ය දේපලක් මිස පුද්ගලික දේපලක් නොවන බවය. එනිසා එය මෙතෙක් කලක් පැවති ලෙසම බලකොටුව තුළ සුරක්ෂිතව තැන්පත් කර තැබිය යුතු බවය. එසේම එහි අයිතිය බාරක් සිං ට පැවරිය යුතු බවය. තර්ක විතර්ක අවසන බෙලිගේ අදහස ජය ගත්තේය. දියමන්තිය භාණ්ඩාගාරය තුළ සුරක්ෂිත විය. දියමන්තිය ලාහෝරයෙන් පිටතට ගෙන නොයා යුතු බවට බාරක් සිං අණ කළේ අනතුරුවය.   

බාරක් සිංගේ අගමැති ලෙස කටයුතු කළේ ටියන් සිං ය. බාරක් සිං අධිරාජ පදවිය දරා හරියටම මාස තුනහමාරකට පසුව එළැඹි දවසක අගමැති, අධිරාජයාගේ බලය පැහැර ගත්තේය. එසැනින්ම අගමැතිගේ සොයුරු ගුලාබ් සිං අනගි දියමන්තිය තමන් සන්තක කර ගත්තේය. බලයෙන් පහකළ බාරක් සිං සිරගත කර සිටි අතර ඔහු සිර ගෙය තුළදී මිය ගියේය. ඔහු ස්වභාවික මරණයකට ගොදුරු වීද නැතිනම් මරා දැම්මාද යන්න ඉතිහාසයෙන් සැඟවී ගිය කාරණාවකි. හැබැයි බාරක් සිංගේ මරණයෙන් දින කිහිපයකට පසුව ඔහුගේ පුතුද අභිරහස් ලෙස මිය ගියේය. ඒ සමගම අගමැති මියන් සිං රාජ්‍යයේ පාලන බලය සියතට ගත්තේ අනාගත හිමිකරුවකුගේ නැගී සිටීම ගැන බියක් සැකක් නැතුවය. එහෙත් අවාසනාවකටදෝ ගුලබ් සිංට මේ අනගි දියමන්තිය ළඟ තබාගත හැකි වූයේ ටික කාලයක් පමණි.   

ගෙවී ගියේ දෙවසරක් පමණි. අජිත් සිං නමැත්තෙකු බලයට කෑදරව, ෂෙර් සිං සහ අගමැති ටියන් සිං යන දෙදෙනාම ඝාතනය කළේය. අනතුරුව ඔහු බලයට පත්වීමට උත්සාහ කළේය. එහෙත් ඊට පසුදාම මියන් සිං ගේ පුතු හීරා සිං ක්‍රියාත්මක වී අජිත් සිංගේ දිවි තොර කළේය. අනතුරුව ඔහු අගමැති ලෙස පත්ව පස් හැවිරිදි දුලිප් සිං අධිරාජයා ලෙස පත් කළේය. කොහිනූර් දියමන්තිය ඉනික්බිතිව ගියේ දුලිප් සිංගේ අත් පළඳනාවකටය.   

ඉන් මාස කිහිපයකට පසුව හීරා සිං ද ඝාතනය කරනු ලැබිණි. මෙතෙක් කලක් ජම්මු ප්‍රදේශය පාලනය කළ ගුලාබ් සිං ලාහෝරයේ සිදුවීම් දෙස බලා සිටියේය. එහෙත් හදිසියේ පැන නැගුණ ඉංග්‍රීසි - සික් යුද්ධයේදී ගුලාබ් සිං, සික් අධිරාජ්‍යයේ අගමැති භූමිකාව හෙබවීය. ඔහු යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවීමට උත්සාහ කළත් ජය ගත්තේ ඉංග්‍රීසීන් ය. එහෙත් ගුලාබ් සිංට ජම්මු කාශ්මීරයේ මහරාජා තනතුර හිමිවිය.   

ඉන් අවුරුදු පහකට පසුව නැවත වරක් ඉංග්‍රීසි - සික් දෙපාර්ශ්වය අතර යුද ගිනිදැල් මතුවිය. එම යුද්ධයෙන්ද ජයගත්තේ ඉංග්‍රීසීන්ය. පන්ජාබය බ්‍රිතාන්‍ය පාලනය යටතට ගැනුණු අතර ඒ සමගම අනගි කොහිනූර් දියමන්තිය බ්‍රිතාන්‍ය රාජිනියට පවරාදීමට පරාජිතයන්ට සිදුවිය. එ් සමගම දුලිප් සිං එංගලන්තයට පිටුවහල් කෙරුණු අතර තවදුරටත් සික් රාජ්‍යයක් ඉන්දියාවේ නොවීය.  

දැන් කොහිනූර් දියමන්තිය බ්‍රිතාන්‍ය මහරැජිනිය සතු වස්තුවකි. එහෙත් එය පළමුවෙන් හිමිවූයේ ආණ්ඩුකාර ලොගින්ගෙන්ටය. මෙය එංගලන්තයට යැවීම ඊළඟ අභියෝගය විය. ඒ සඳහා චීනයේ සිට පැමිණි වාෂ්ප නැවකින් දියමන්තිය යවනු ලැබීය. යකඩ සේප්පුවක බහාලූ රතු මැණික් පෙට්ටියක මේ දියමන්තිය තැන්පත් කර තිබිණි. කෙසේ හෝ වේවා මේ නාවික ගමනටද අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවිය. නැව මුරුසියේ තිබියදී කොලරාව පැතිරිණි. ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම වූයේ හැකි ඉක්මණින් නැවට පිටමං වන ලෙසය.  

ඊළඟට නැවට දරුණු සුළි කුණාටුවකටද මුහුණදීමට සිදුවිය. කෙසේ වෙතත් නැවට නිරුපද්‍රිතව එංගලන්තයට ළඟාවීමට හැකිවිය. 1850 ජූලි 1 වැනිදා ඩිපිට්හෙඩ් වරායේදී කොහිනූර් දියමන්තිය එංගලන්ත පොළොව මතුපිටට සම්ප්‍රාප්ත වූවේය. එය බ්‍රිතාන්‍ය මහරැජින වෙත පිළිගන්වන ලද්දේ ඉන් දෙදිනකට පසුව බකිංහැම් මාලිගයේදීය. එදින නැගෙනහිර ඉන්දීය වෙ​ෙළඳ සමාගමට වසර 250ක් පිරුණු දිනය වීම ද සුවිශේෂ සිදුවීමකි. හිමිකරුවන් කිහිප දෙනකු අතර හුවමාරු වෙමින් තිබූ අනගි දියමන්තිය එංගලන්ත වැසියන්ට දැකබලා ගන්නට දිය යුතු යැයි රැජිනට සිතිණි. එහෙත් ඇය ලාහෝරයේ රංජිත් සිං මෙන් හිස්වැස්මේ පැළඳගෙන අලියා පිට නැගී නගරය වටා ගියේ නැත. ඇය කළේ ලන්ඩනයේ හයිඩ් පාක් හිදී ප්‍රදර්ශනයක් පැවැත්වීමය.  

මේ ප්‍රදර්ශනයට මිලියන දෙකක තරම් ජනතාවක් පැමිණි අතර ඔවුන් කොහිනූර් දෙස බැලුවේ තම රටට හිමි වූ මහඟු සම්පතක්ය යන හැඟීමෙනි. ආඩම්බරයෙනි. එහෙත් මේ දියමන්තියට නරඹන්නන් සතුටු කිරීමට නොහැකි වූයේ එහි සැබෑ වටිනාකම නරඹන්නන්ට වටහාගත නොහැකි වීම නිසාය. හේතුව වූයේ දියමන්තිය නිසි අයුරින් කපා නොතිබීමය. මේ නිසා දියමන්තියට සැබෑ වටිනාකමක් ලැබෙන පරිදි යළිත් කැපීමට සහ ​ඔප දැමීමට ඇල්බට් කුමරු තීරණය කළේය. මේ සඳහා දවස් තිස් අටක් ගත වූ අතර මුදලින් පවුම් අටදහසක් ද වියදම් විය. ඒ සමගම දියමන්තියේ බර ද කැරට් 105.6ක් දක්වා අඩුවිය. දියමන්තිය පැති හැට හයකින් යුක්ත වූ අතර එය සාමාන්‍ය දියමන්තියක පැති සංඛ්‍යාවට වඩා පැති හයකින් වැඩිවීමකි.  

කෙසේ හෝ වේවා මේ අනගි දියමන්තිය වික්ටෝරියා රැජිනගේ අමන්දානන්දයට හේතු විය. ඒ වනවිට එංගලන්තයේ රැකවලෙහි සිටි ලාහෝරයේ දුලිප් සිං මහාරාජාට පෙන්වීමට වික්ටෝරියා රැජිනට අවශ්‍ය විය. දුලිප් සිං ​මේ අපූරු දියමන්තිය දැක පුදුමයට පත්වූයෙන් ඔහුගේ මුව ගොළුවී දෙනෙත් නලලට ගියේය. වික්ටෝරියා මහ රැජින මියගියේ 1902 දීය. ඉනික්බිති රජ කිරුළ උරුම වූයේ හත්වැනි එඩ්වඩ් රජුටය. ඔහුගේ බිරිඳ ඇලෙක්සැන්ඩ්‍රා රැජිනගේ ඔටුන්නට මේ අනගි කොහිනූර් දියමන්තිය සවිකිරීමට එඩ්වඩ් රජු තීරණය කළේය. එතෙක් කලක් පිරිමින් සන්තකයේ පැවති දියමන්තිය 1911 දී මේරි රැජිනගේ ඔටුන්න වෙතද 1937 දී මව්රැජිනගේ ඔටුන්න වෙත ද ඇය මිය ගිය විට ඇගේ දේහය මතද තැන්පත් කර තිබිණි.  

ඉනික්බිති මෙය ලන්ඩන් ටවරයේ ස්වර්ණාභරණ මාළිගයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණි. එහෙත් දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේදී වැඩි ආරක්ෂාව පතා මේ දියමන්තිය වින්ඩ්සර් මාළිගය වෙත රැගෙන ගියේය. එය පොකුණක් තුළ සඟවා තබා තිබුණේ යුද්ධයෙන් පූර්ණ ආරක්ෂාව සැලසෙන පරිදිය. එය යළි ලන්ඩන් කුළුණට රැගෙන ගියේ යුද්ධය නිමාවීමෙන් අනතුරුවය.  

කොහිනූර් දියමන්තිය හිමිකරගත් පිරිමින්ට ශාපයක් වූ බව පවතින විශ්වාසයයි. ඉතිහාසගත සිදුවීම් එකින් එක ගෙන බලන විට ඒ විශ්වාසයේ වැරැද්දක් ද නොපෙනේ. එය හිමිකරගත් හැම පිරිමියකුටම පාහේ එක්කෝ රජකම අහිමි විය. නැතිනම් ජීවිතය අහිමි විය. ඒ නිසා අප සිතිය යුත්තේ කොහිනූර් පිරිමින්ට විනාශයක් ගැහැනුන්ට වාසනාවක් ගෙනා අරුම පුදුම දියමන්තියක් විදිහටය. සිංහාසනයටත් ඔටුන්නටත් ආලෝකයක් වූ දියමන්තියක් ජීවිතයට අවාසනාවක් වූයේ කෙසේද යන්න සදහටම ගැටලුවකි.....

රාජකීය දියමන්තියට ඉන්දියාව අයිතිවාසිකම් කියයි...?
ඉන්දියාවේත් බි‍්‍රතාන්‍යයේත් සාමාන්‍ය ජනතාව අතරත් රාජ්‍යතාන්ති‍්‍රකයන් අතරත් මේ කාලයේ වැඩි අවධානයක් යොමු වූ කාරණාවක් වූයේ කොහිනූර් දියමන්තිය සම්බන්ධ ප‍්‍රශ්නය යි. මෙම ආරවුලට දීර්ඝ ඉතිහාසයක් පවතින අතර මෑතක සිට එය නැවතත් සමාජ කරළිය වෙත පැමිණ ඇත.

කොහිනූර් දියමන්තිය
මෙය කැරට් 105 ක් බර වන අතර එය ලොව විශාලතම දියමන්තිවලින් එකක් ලෙස සැලකේ. (මෙය කපා ඔප දැමීමට පෙර ස්වභාවික හැඩයෙන් පවත්නා විට එහි බර කැරට් 793ක් බවට වාර්තා වේ) එහි ඇති විශාලත්වය නිසා ම මෙම නම පටබැදී ඇති අතර එහි අදහස ‘ආලෝකයේ පව්ව’ යන්න යි. ඉන්දියාවේ අන්ද‍්‍රාවල ගුන්ටූර් ප‍්‍රදේශයෙන් මෙය සොයා ගෙන ඇත. අද වන විට මෙය බි‍්‍රතාන්‍ය මහ රැුජිනගේ ඔටුන්නෙහි සවි කර ඇති ආභරණයක් ලෙස පවතී.

අයිතිය පිළිබද ආරවුල......
කෙසේ වෙතත් මෙම දියමන්තියේ අයිතිය පිළිබදව රටවල් දෙක අතර දීර්ඝ කාලයක සිට ආරවුලක් පවතී. ඉන්දියාවට නිදහස ලැබුණු වහා ම 1947 දී මෙම දියමන්තිය නැවත ලබා දෙන ලෙස ඉන්දීය රජය විසින් පළමුවරට ඉල්ලීමක් කර ඇත. දෙවන එළිසබෙත් මහ රැුජිනගේ රාජාභික්‍ෂේකය සිදු වුණු 1953 දී දෙවන ඉල්ලීම සිදු කර ඇත. ඒ අවස්ථා දෙකෙහි දී ම බි‍්‍රතාන්‍ය රජය විසින් ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

1976 දී පකිස්ථානයේ අලි බූතෝ අගමැතිවරයා විසින් බි‍්‍රතාන්‍ය රජයට ලිපියක් මගින් කියා සිටිනේ යටත් විජිතකරණය නැවැත්වූ බවත් එය තවදුරටත් බි‍්‍රතාන්‍යය රජය අනුමත නොකරන බවත් ලෝකයට පෙන්වා දීමට කොහිනූර් දියමන්තිය තමන්ගේ රටට ලබා දෙන ලෙසත් ය. එහෙත් එම ඉල්ලීම ද බි‍්‍රතාන්‍යය බැහැර කරන ලදී. ඉන්පසු 2000 දී නැවතත් ඉන්දියාවේ පාර්ලිමේන්තු නියෝජියන් කිහිපදෙනෙකු විසින් මෙම දියමන්තිය නැවත ඉන්දියාවට ලබා ගත යුතු බවට මතයක් ඉදිරිපත් කරන ලදී. 2010 දී  එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් ඉන්දීය සංචාරයකට පැමිණි අවස්ථාවේ මෙම ඉල්ලීම ගැන පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ එම ඉල්ලීම ඉටු කිරීම ඉතා අපහසු බවයි. මන්ද එවිට යටත්විජිත ලෙස පැවති සියලු ම රටවල් විසින් ඔවුන්ට අයත් යැ යි කියන පැරණි වස්තු ඉල්ලිය හැකි බවත් එසේ වුවහොත් එක්සත් රාජධානියේ කෞතුකාගාර වසන්නට සිදුවෙන බවත් ය. ඔහු පසුව සිදු කළ 2013 සංචාරයේ දී දියමන්තිය ලබා දිය නොහැකි බවට නැවතත් පැවසීය.

2016 දී එරට සංස්කෘතික ඇමතිවරයා එය කෙසේ හෝ ලබාගන්න කටයුතු කරන බවට පැවසීමෙන් මේ ගැන නැවතත් කතාබහක් ඇතිවෙන්න පටන්ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනු කර තිබුණි.

දියමන්තියේ නඩුව.....
මේ සම්බන්ධයෙන් නඩු කිහිපයක් ම වාර්තා වේ. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහිත්. එංගලන්තයේ ලන්ඩන්හි ඉහළ අධිකරණයේත් නඩු පවතින අතර පකිස්ථානයේ ලාහෝර්හි ඉහළ අධිකරණ විනිසුරුවරයෙකු – පකිස්ථානු නීතිපතිවරයා සහ පන්ජාබයේ නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පෙත්සමක් ඉන්දියානු රජය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිති.

ඉන්දීය ශ්‍රේෂාඨාධිකරණ නඩුවේ දී එරට සොලිසිටර් ජෙනරාල්වරයා පවසන ලද්දේ මෙම දියමන්තිය රංජීත් සිංග් මහරාජා විසින් 1849 දී එවකට සිටි නැගෙනහිර ඉන්දීය බි‍්‍රතාන්‍ය පාලකයන් හට භාර දී ඇති බව ඒ සම්බන්ධ ගිවිසුමෙහි පැහැදිලිව සදහන් වන බැවින් මෙය ත්‍යාගයක් ලෙස ප‍්‍රදානය කරන ලද්දක් විනා සොරකම් කර ගත් දෙයක් ලෙස සැලකිය නොහැකි බව යි. ඒ නිසා එය නැවත ඉන්දියාවට ලබා දෙන ලෙසට බි‍්‍රතාන්‍යයට බල කිරීමට ඉන්දියානු රජයට නීත්‍යනුකූල අයිතියක් නැති බව දක්වන ලදී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වන පෙත්සමේ දී අදාළ පාර්ශ්වයන් සදහන් කරන්නේ අදාළ ලේඛනය මත පිහිටා කටයුතු කළ නොහැකි බව යි. මන්ද ඔවුන් දක්වන පරිදි එය මහරාජාගේ මුනුබුරා වන දලීප් සිංග්ගෙන් බි‍්‍රතාන්‍ය පාලකයන් ලබාගෙන ඇත්තේ බලහත්කාරයෙන් බව යි. මේ අනුව එය ත්‍යාගයක් ලෙස සැලකිය නොහැකි බවත් එය ඉන්දියාවෙන් සොරකම් කරන ලද්දක් බවත් අදාළ දියමන්තිය සොයා ගත් ප‍්‍රදේශය වර්තමානය වන විට අයත් වන්නේ පකිස්ථානයට නිසා එහි අයිතිය ද පකිස්ථානු ජනතාවට හිමි විය යුතු බවත් ය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ව්‍යාපාරිකයන් පිරිසක් සහ බොලිවුඩ් නළු නිළියන් පිරිසක් ද අවධානය යොමු කර ඇති අතර ඔවුන් විසින් එංගලන්තයේ ලන්ඩන්හි මේ ගැන නඩුවක් පවරා ඇත. ඔවුන් පවසන්නේ මෙම දියමන්තිය ඉන්දියානු ජනතාවට අයත් එකක් නිසා එය නැවතත් ඉන්දියාවට භාර දිය යුතු බව ය. යටත් විජිතකරණය නිසා බි‍්‍රතාන්‍යයන් විසින් ඉන්දියාව විනාශ කර දැමූ බවත් එහි පාඩුව පියවීම සදහාවත් මෙම දියමන්තිය නැවත ලබා දිය යුතු ව ඔවුහු තවදුරටත් පවසති. ඔවුන් මෙම නඩුව එංගලන්තයේ Holocaust (Return of Cultural Objects) Act නම් පනත යටතේ පවරා ඇත. එය පනවා ඇත්තේ සොරා ගත් කලා කෘති – පුරාණ වස්තු නැවත ලබා ගැනීම සදහා ය.

එපමණක් නොව පොදු නීතියෙහි ඇතුළත් ‘අනවසරයෙන් භාණ්ඩ වෙත ප‍්‍රවේශ වීම’ (Trespass of Goods) නම් සිද්ධාන්තය උපයෝගී කරගැනීමට ද අපේක්‍ෂා කරන බවටත් පවසා ඇත. එසේ ම යම් හෙයිකින් තමන්ට සාධාරණයක් ඉටු නොවුණහොත් මෙම ගැටලුව අන්තර්ජාතික යුක්ති අධිකරණය (International Court of Justice) වෙත රැුගෙන යාමට පවා ඔවුන් කටයුතු කර බවත් මාධ්‍යයට පවසා තිබුණි

අවසානය....
කෙසේ වුව ද මේ ගැන ලෝකයේ බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටින්නේ කුමක් සිදු වේවි දෝ යි සිතමිනි. නමුත් ඇතැමුන් පවසන්නේ මෙය තාවකාලික කතාබහක් බවත් මෙහි උණුසුම ටික දිනකින් පහව යනු ඇති බවත් ය. ගී‍්‍රසිය ද මීට පෙර ඔවුන්ගේ කලා කෘතියක් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයට එරෙහිව නෛතික කි‍්‍රයා මාර්ග ගැනීමට උත්සාහ කළ ද අතරමග දී එය ඔවුන් විසින් අතහැර දමන ලදී. මෙවරත් එය එසේ ම වේවි ද?

.................අන්තර්ජාලය ඇසුරෙනි.........දැනුම සොයන්න මේ පාරෙන් එන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පිරිමින්ට ශාපයක් වූ ඉන්දියාව නැවත ඉල්ලන කොහිනූර් දියමන්තිය (Kohinoor Diamond) පිරිමින්ට ශාපයක් වූ ඉන්දියාව නැවත ඉල්ලන කොහිනූර් දියමන්තිය (Kohinoor Diamond) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, April 11, 2022 Rating: 5

0 comments:

Post a Comment