සුප්‍රසිද්ධ ජුලියස් සීසර් (ක්‍රි.පූ. 100–44) එතෙක් තනි මිනිසෙකු අතට ලබා ගත හැකි ඉහළම බලය ලබා ගැනීමට කටයුතු කරන ලදී. එහෙත් ක්‍රි.පූ 44 දී ඔහු අමානුෂික ලෙස ඝාතනය කරන ලදී. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඔක්ටේවියන් ඔහුගේ ලොකු මාමා වූ සීසර් ආරම්භ කළ දේ අවසන් කළේය. ඔක්ටේවියන් රෝමයේ පළමු මහා අධිරාජ්‍යයා බවට පත් විය. එනම් ඔගස්ටස් අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 27-ක්‍රි.ව. 14) නමිනි.
ඔගස්ටස් යනු මානව ඉතිහාසයේ සිටි වඩාත්ම ඵලදායී හා බුද්ධිමත් නායකයෙකි. එහෙත් බලය සඳහා වන ගැටුම් වලක්වන අනුප්‍රාප්තික ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඔහු අසමත් විය. ඔහුගේ පරම්පරාව අධිරාජ්‍යයේ සිංහාසනය වෙනුවෙන් කෙතරම් දරුණු ලෙස සටන් කළ හැකිද යන්නට කුරිරු ආදර්ශයක් සපයයි. ක්‍රි.ව. 68 දී නීරෝ අධිරාජ් යයාට බලහත්කාරයෙන් සියදිවි නසා ගැනීමට පෙලබවීමත් සමඟ ඔගස්ටස්ගේ රාජවංශයට අධිරාජ්‍යයේ පාලනය අහිමි විය.
එතැන් සිට සිංහාසනය ඉතා ම්ලේච්ඡ සහ බලවත් පුද්ගලයාට ලබා ගත හැකි බව පැහැදිලි විය. එම අවධියේදී රෝමයේ සැබෑ ලෙසම ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාව රග දැක්වෙන ලදී.
ක්‍රි.පූ 27 සිට ක්‍රි.ව. 395 දක්වා කාලයේ රෝම අධිරාජ්‍යය අධිරාජ්‍යයන් හැත්තෑපස් දෙනෙකු විසින් පාලනය කරන ලදී. මෙම අවුරුදු 422ක කාලය තුළ එක් අධිරාජ්‍යයක්ගේ සාමාන්‍ය පාලන කාලය වසර 5ක් හෝ 6ක් විය. රෝම අධිරාජ්‍යයන්ගෙන් 70% කට වැඩි පිරිසක් අස්වාභාවික හේතූන් නිසා මිය යන ලදී. ඔවුන් අතුරින් ඝාතනයට ලක් වූ පිරිස 37%කි. සටන් වලදී 12%ක් මිය යන ලදී. 11%ක් දෙනා දඬුවමක් ලෙස හිස ගසා දමා ඝාතනය කර ඇත. සියදිවි නසා ගැනීමට බල කිරීම් වලින් 8% ප්‍රමාණයකුත්, විෂ වර්ග ලබා දීමෙන් 3% ප්‍රමාණයකුත් ඝාතනය කර ඇත. එක් රෝම අධිරාජ්‍යයෙකු (වැලරියන්) පර්සියානු වහල්භාවයෙ සිටියදී මරා දමන ලදී.
ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගියේ අධිරාජ්‍යයන් දෙදෙනෙකු පමණි. ක්‍රි.ව.305 දී ඩයොක්ලෙටියන් අධිරාජ්‍යයා (ක්‍රි.ව.284-ක්‍රි.ව.305) කැමැත්තෙන්ම සිංහාසනය අත්හැරියේය. එහෙත්, ඔහුගේ සම-පාලන ක්‍රමය අසාර්ථක වීම දැක ක්‍රි.ව.311 දී ඔහුද සියදිවි නසා ගත්තේය. වෙට්රානියෝ අධිරාජ්‍යයාට (ක්‍රි.ව.356 දී මිය ගියේය) ක්‍රි.ව.350 දී තම ධුරයෙන් ඉවත් වීමට සිදුවිය. ඔහු සිය ජීවිතයේ ඉතිරි අවුරුදු හය සාමකාමීව ගත කරන ලදී. ස්වාභාවික හේතූන් නිසා මිය ගියේ රෝම අධිරාජ්‍යයන් දහනව දෙනෙක් පමණි. ස්වාභාවික හේතූන් නිසා මියගිය වඩාත් ප්‍රසිද්ධ රෝම අධිරාජ්‍යයන් වූයේ ඔගස්ටස්, වෙස්පේසියන්, ට්‍රේජන්, හැඩ්රියන් සහ මාකස් ඕරෙලියස් ය.
රෝම සිවිල් යුද්ධ අතරතුරදී බොහෝ මිනිසුන් තමන් අධිරාජ්‍යයන් ලෙස ප්‍රකාශ කළහ. ඩයොක්ලෙටියන් අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද සම-පාලන ක්‍රමයක් වන ටෙට්‍රාචි මගින් එම කාලය තුළ රෝම අධිරාජ්‍යයට එකවර අධිරාජ්‍යයන් හතර දෙනෙක් සිටියහ.
රෝම හමුදා භටයන්ද බොහෝ විට කැරලි ගසා අධිරාජයන්ව බලයෙන් පහකර දමනා ලදී. එයට හේතු වූයේ අඩු වැටුප්, ජෙනරාල්වරුන්ට බලය ලබා දීමට හෝ යුද්ධයක් ආරම්භ කිරීමට අධිරාජ්‍යයෙකු අකමැති වූ විටය. රෝම හමුදාවේ පක්ෂපාතීත්වය ඇති තැනැත්තාට අධිරාජ්‍යයෙකු වීමට හොඳ අවස්ථාවක් තිබුණි. ක්‍රි.ව.69 දී නැගෙනහිර හමුදා ඔවුන්ගේ ජෙනරාල්වරයා වූ වෙස්පෙසියන් (ක්‍රි.ව.69-ක්‍රි.ව.79) නව අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඉන් මාස කිහිපයකට පසු ඔවුන් ඒවකට සිටි අධිරාජ්‍යයා වූ විටෙලියස් අධිරාජ්‍යයාට වධහිංසා පමුණුවා ඝාතනය කරන ලදී.
ක්‍රි.ව.235 දී රෝම හමුදා විසින් ඇලෙක්සැන්ඩර් සෙවරස් අධිරාජ්‍යයාව (ක්‍රි.ව.208–ක්‍රි.ව.235) ඝාතනය කරන ලදී. අධිරාජ්‍යයාගේ ඝාතනයට හේතුව වුයේ සෙවරස් අධිරාජ්‍යයා ජර්මානු ගෝත්‍රිකයන් සමඟ යුද්ධයකට යාම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වෙනුවට ඔහු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණි.
මීට අමතරව අධිරාජ්‍යයාගේ පවුල තුළ කෙනෙක් බොහෝ විට ඔහුගේ පාලන සමයට ඇති තවත් ලොකුම තර්ජනයක් විය. නීතියට අනුව, අධිරාජ්‍යයාගේ සෑම නෑදෑ කෙනෙක්ම සිංහාසනයේ නීත්‍යානුකූල උරුමක්කාරයෙක් බවට පත් විය. බොහෝ අධිරාජ්‍යයන් සිංහාසනය සඳහා වූ තරඟය නැති කිරීම සදහා ඔවුන්ගේම පවුල්වල පුද්ගලයින් ඝාතනය කළහ.
දෙවන රෝම අධිරාජ්‍යයා වූ ටයිබීරියස් (ක්‍රි.ව.14-ක්‍රි.ව.37) ඔහුගේ උරුමක්කාරයා වූ ජර්මානිකස්ට වස දී මරා දමන ලදී. ඉන් නොනැවතුණු ඔහු ජර්මනිකස්ගේ පුතුන් දෙදෙනෙකු ද ඝාතනය කළේය. එමෙන්ම කැලිගුලා අධිරාජ්‍යයා (ක්‍රි.ව.37-ක්‍රි.ව.41) සිහසුනට වූ තරඟය තුරන් කිරීම සඳහා ඔහුගේ නෑදෑ සහෝදරයා, මස්සිනා සහ මාමණ්ඩියද මරා දැමීය. ක්ලෝඩියස් අධිරාජ්‍යයා (ක්‍රි.ව.41-ක්‍රි.ව.54) ක්‍රි.ව. 54 දී ඔහුගේ බිරිඳ ජූලියා ඇග්‍රිපිනා විසින් ලබා දුන් වසක් පානය කර මිය යන ලදී. ඇග්‍රිපිනා තම පුත් නීරෝට ඒ සමග රෝම අධිරාජ්‍යයේ සිංහාසනය හිමි කර ගැනීමට ඉඩ සලසා දුන්නේය. කැරකැල්ලා අධිරාජයයාට (ක්‍රි.ව.198–ක්‍රි.ව.217) තම සහෝදරයා වන ගෙටා අධිරාජ්‍යයා (ක්‍රි.ව.209–ක්‍රි.ව.211) සමඟ සිංහාසනය බෙදා ගැනීමට අකමැති විය. එම නිසා ඔහු තම මව බැලීමට ගිය විට තම සොහොයුරා ඝාතනය කරන ලදී.
මීට අමතරව අධිරාජ්‍යයා ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද විශේෂ හමුදාවක් වූ ප්‍රීටෝරියානු ආරක්ෂක හමුදාව බොහෝ විට කළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ප්‍රීටෝරියානු ආරක්ෂකයින්ට අධිරාජ්‍යයෙකු සෑදීමට හෝ බිඳ දැමීමට හැකි විය. නව අධිරාජ්‍යයෙක් ඔවුන්ට ප්‍රමාණවත් වැඩි මුදලක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළහොත් ඔවුහු පරණ අධිරාජ්‍යයා ඝාතනය කළහ. සමස්තයක් ලෙස ප්‍රීටෝරියානුවන් රෝම අධිරාජ්‍යයන් දහතුන් දෙනෙකු ඝාතනය කළහ. ක්‍රි.ව.41 දී කැලිගුලා අධිරාජ්‍යයා, ක්‍රි.ව.192 දී කොමදෝස් අධිරාජ්‍යයා, ක්‍රි.ව.217 දී කරකැල්ලා අධිරාජ්‍යයා සහ ක්‍රි.ව.222 දී එලගබාලස් අධිරාජ්‍යයා ඔවුන් එලෙස ඝාතනය කරන ලද අයගෙන් කිහිප දෙනෙකි.
ක්‍රි.ව.193 දී ප්‍රීටෝරියානුවන් රෝම අධිරාජ්‍යයේ සිංහාසනය වැඩිම ලංසුකරුට වෙන්දේසි කළහ. ධනවත් සෙනෙට් සභිකයෙකු වූ ඩිඩියස් ජූලියනස් (ක්‍රි.ව.193) ඉහළම මිල ගණන් ගෙවා නව අධිරාජ්‍යයා බවට පත්විය. දින හැට හයක පාලන කාලයකින් පසු ඔහුවද ඝාතනය විය.
ක්‍රි.ව. 68 දී නීරෝ අධිරාජ්‍යයා තම හමුදාව ඔහුට විරුද්ධව කැරලි ගැසීම නිසා පසුව කඩු පහරකින් සියදිවි නසා ගැනීමට තීරණය කළේය. ඔහු භීතියෙන් මුසපත්ව සිටි නිසා ඔහුගේ දාසයා ඔහුට එම කාර්යය අවසන් කිරීමට උදව් කළේය. ඔහුගේ සියදිවි නසා ගැනීමෙන් පසු වසරේදී ඔතෝ අධිරාජ්‍යයාද සිය දිවි නසා ගන්නා ලදී. පළමුවන ගෝර්ඩියන් අධිරාජ්‍යයා (ක්‍රි.ව.238) ඔහුගේ හමුදාවේ පරාජය පිළිබඳ පුවත ලැබීමෙන් පසු ගෙල වැලලාගෙන මිය ගියේය. ඔහු රජකම් කළේ දින විසිඑකක් පමණි.
ස්වාභාවික හේතූන් නිසා මිය ගියේ රෝම අධිරාජ්‍යයන් හැත්තෑපස් දෙනාගෙන් 19 දෙනෙක් පමණි. ඔවුන්ගෙනුත් සමහරෙකුන් පවා ඉතිහාසඥයින් අනුමාන කරන්නේ සැබවින්ම ඝාතනයට ලක්ව ඇති බවයි. සමහර අධිරාජ්‍යයන් මහලු වීමෙන් මිය ගිය අතර සමහර අය රෝග වලින් මිය යන ලදී. මාකස් ඕරෙලියස් අධිරාජ්‍යයා, ලුසියස් වෙරස් අධිරාජ්‍යයා සහ ක්ලෝඩියස් ගොටිකස් අධිරාජ්‍යයා වසංගත රෝගවලින් මිය ගියහ.
සමහරු පවසන්නේ පුරාණ රෝමයේ වඩාත්ම භයානක රැකියාව ග්ලැඩියේටර්වරයකු වීම බවයි. එහෙත් ග්ලැඩියේටර්වරුන්ට ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ ඇස් දෙස කෙලින් බැලීමේ වාසිය තිබුණි. එහෙත් රෝම අධිරාජ්‍යයන්ට සිටියේ රහසේ වැඩ කරන බොහෝ විට ඔවුන් අසලටම වී සිටින සතුරන්ය.
0 comments:
Post a Comment