දෙවන ලෝක සංග්‍රාමයෙන් බිහි වු මත් ද්‍රව්‍ය යුද්ධය (Drug War)

දෙවන ලෝක සංග්‍රාමයෙන් බිහි වු මත් ද්‍රව්‍ය යුද්ධය (Drug War) - Your Choice Way

ඇඩොල්ෆ් හිට්ලර්ගේ අවසාන වීඩියෝ පටවලින් එකක් වන්නේ ඔහු තරුණ වියේ පසුවන සොල්දාදුවන් කිහිප දෙනෙක් සමග කතා කරමින් අතට අත දෙන වීඩියෝවකි. එහෙත් මෙම වීඩියෝවේ ඇති විශේෂත්වය වන්නේ ඔහු සෑම විටම එක් අතක් පමණක් පෙනෙන්නට තබා ගෙන සිටීම සහ අනෙක් අත පිටුපසට කර තබා ගෙන සිටීමයි. හොදින් නිරීකෂණය කළ විට පෙනෙන්නේ ඔහුගේ ඒ පිටුපසට කරගෙන සිටින අත වේගයෙන් ගැහෙනා බවයි. එයට හේතු ලෙස බොහෝ දෙනා පවසන ප්‍රසිද්ධ මතය වන්නේ ඔහු පාකින්සන් රෝගයෙන් පෙලී සිටීම බවයි. නමුත් අනෙක් මතය වන්නේ ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි අයෙකු බවයි. හිට්ලර්ගේ පුද්ගලික වෛද්‍යවරයා වන වෛද්‍ය තියඩෝර් මොරල්ට ඔහුට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට නොහැකි වීමත් සමග හිට්ලර් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියේය.

මොරල් ඇඩොල්ෆ් හිට්ලර්ට දිය හැකි සෑම ඖෂධයකම වැඩි මාත්‍රා  එන්නත් කළේය. හිට්ලර්ට දිනපතා ඇම්ෆෙටමින්, බාර්බිටියුරේට් සහ ඔපියට් වල එකතුවක් ලබා දෙන ලදී. හිට්ලර් මොරල් මත කොතරම් රඳා පැවතුනේද යත් හිට්ලර් නිතරම ඔහු අසල රදවාගෙන සිටින ලදී. ඔහුගේ “සේවය” සඳහා හිට්ලර් මොරෙල්ව හමුදාවේ ඉහළම සම්මානය වන නයිට්ස් ක්‍රොස් සම්මානයද පිරිනමා ඇත.

ඔපියට් ඔක්සිකෝඩෝන් ඉතා ඉක්මනින් හිට්ලර්ගේ ප්‍රියතම මත්ද්‍රව්‍ය බවට පත්විය. ඔක්සිකෝඩෝන් යනු ප්‍රබල වේදනා නාශකයක් වන අතර රෝගයකින් තොරව එය ලබා ගැනීම ප්‍රීති ප්‍රමෝදයටද හේතු වේ යැයි කියැවේ. 

එහෙත් නාසීන්ට ඉතා දැඩි මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිපත්තියක් තිබුණි. හෙරොයින්, අබිං සහ කොකේන් "දුර්වලයන්ගේ ඖෂධ" ලෙස සලකනු ලැබූ අතර ඒවා තහනම් විය. මේවා භාවිතා කල  මිනිසුන් අත්අඩංගුවට ගෙන සිර දඬුවම් පවා නිකුත් කරන ලදී. එහෙත් හිට්ලර්ට මත් ද්‍රව්‍ය නැතිවම බැරි දෙයක් විය. 

ආදරණීය වෝල්ටර් වයිට් චරිතයත් සමග ලොව පුරා ජනප්‍රිය වූ ක්‍රිස්ටල් මෙත් නම් මත් ද්‍රව්‍යයද එකල නාසින් අතර ජනප්‍රියව තිබූ මත් ද්‍රව්‍යයකි. මෙතම්ෆෙටමින් යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම මත් ද්‍රව්‍යය දෙවන ලෝක යුධ සමයේ ජර්මන් භටයන් පසුපස තිබූ ඉන්ධනය ලෙසද බොහෝ දෙනා හැඳින්වීය. මෙතම්ෆෙටමින් ජර්මනියේ අලවි කරනු ලැබුවේ 'පර්විටින්' යන නමිනි.  එය එකල ජර්මනියේ කෝපි වලට වඩා ලාභදායී වූ අතර සෑම කෙනෙක්ම වාගේ භාවිතා කළහ.  පර්විටින් පුදුම සහගත මත් ද්‍රව්‍යයක් ලෙස ඔවුන් හදුන්වනු ලැබීය. නාසින් විශ්වාස කළේ ඉන් සුපිරි සොල්දාදුවන් නිර්මාණය කරන බවයි. නාසීන්ට අවශ්‍ය වූයේ පර්විටින් කොකාකෝලා හි ජර්මානු අනුවාදය බවට පත් කිරීමටය. ඔබට මෙතම්ෆෙටමින් ඇතුළත් චොකලට් පවා එකල ජර්මනියෙන් මිලදී ගැනීමට හැකි විය.

එකල ජර්මානුවන් එක දිගට එල්ල කරන ලද ප්‍රහාර මාලවන්ගෙන් යුරෝපයේ සහ රුසියාවේ විශාල ප්‍රදේශයක් අල්ලා ගැනීමට සමත් විය. සතුරු හමුදා පුදුමයට පත් කරවන ආකාරයේ වේගයක් සහ ජවයක් ජර්මානු හමුදා සතු විය. සොල්දාදුවන්ට මෙසේ දින කිහිපයක් එක දිගට අවදියෙන් හා සිහියෙන් සිටීමට හැකි වූයේ කෙසේද? එයට පිළිතුර මෙතම්ෆෙටමින් ය.

මෙතම්ෆෙටමින් 20 වන සියවසේ මුල් භාගයේදී නිෂ්පාදනය කරන ලද්දකි. ජර්මනියේ එය නිෂ්පාදනය කරන ලද්දේ ටෙම්ලර් නම් ඖෂධ සමාගම විසිනි. 1939 දී ටෙම්ලර් සමාගම ජර්මානු සන්නද්ධ හමුදාවන්ට මෙතම්ෆෙටමින් ටැබ්ලට් මිලියන 38 ක් සැපයූ අතර ඒවා පෝලන්තය හා ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා සොල්දාදුවන් අතර බෙදා හරින ලදී. මෙතම්ෆෙටමින් මගින් අවධානය, අවදිවී සිටීම, ශක්ති මට්ටම් වැඩි කරන අතර තෙහෙට්ටුව සහ ආහාර රුචිය අඩු කරයි. මෙමගින් කර්මාන්තශාලා නිෂ්පාදකයින්ට කර්මාන්තශාලා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා හෝ ඉදිරිපස පැය ගණනාවක් ගත කරන සොල්දාදුවන්ට ලබා දීම සඳහා සුදුසුම මත් ද්‍රව්‍ය මෙය විය.

දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි ජර්මනියේ දෙවන බලවත්ම පුද්ගලයා හර්මන් ගෝරිං ය. ඔහු දෙවැනි වුයේ ඇඩොල්ෆ් හිට්ලර්ට පමණි.  ඔහු ජර්මානු ගුවන් හමුදාවේ ප්‍රධානියා වූ අතර ආර්ථිකයේ සියලු අංශ  යුද්ධය සදහා බලමුලු ගැන්වීමේ වගකීම දැරීය. තිස් ගණන්වල මුල් භාගයේ අනතුරකින් බරපතල තුවාල ලැබීම හේතුවෙන් ගෝරිං මෝෆින් වලට තදින් ඇබ්බැහි විය. 1946 දී සිය දිවි නසා ගන්නා තෙක් ඔහුගේ මේ ඇබ්බැහි වීම පැවති බව කියැවේ.

මීට අමතරව ජර්මානු ජෙනරාල් අර්වින් රොමෙල් යනු උතුරු අප්‍රිකාවේ යුධ පිටියේ ප්‍රවීණයෙකු විය. ඔහුද දිනපතා ක්‍රිස්ටල් මෙත් භාවිතා කළ බව කියැවේ.  

ජර්මානු සොල්දාදුවන්ගේ නිමක් නැති ශක්තිය හා යුරෝපය පුරා ඔවුන් වේගයෙන් ගමන් කිරීම නිසා මිත්‍ර පාක්ෂිකයින් මවිතයට පත් විය. මෙම අභිරහස 1940 දී  වෙඩි පහරකින් බිම වැටුණු ජර්මන් යුධ ගුවන් යානයකින් ක්‍රිස්ටල් මෙත්  සොයා ගැනීමත් සමග විසදුණි. එතෙක් මිත්‍ර හමුදා සෙබළුන් තම ශක්තිය වැඩි කර ගැනීම සඳහා භාවිතා කලේ කෝපි පමණි.

මේ නිසා "ස්පීඩ්" ලෙස ද හැඳින්වෙන ඇම්ෆෙටමින් භාවිතා කිරීමට මිත්‍ර පාක්ෂිකයින් තීරණය කරන ලදී. බෙන්සෙඩ්‍රින් යන වෙළඳ නාමය යටතේ ඇම්ෆෙටැමයින් ඉන්හෙලරයක ආධාරයෙන් හෝ ටැබ්ලටයක් ලෙස ලබා දෙනු ලැබීය. මිත්‍ර පාර්ශවයේ ගුවන් නියමුවන් දිගු බෝම්බ හෙලීම් සදහා දිගු වේලාවක් අවදියෙන් සිටීමට ඇම්ෆෙටමින් භාවිතා කළහ. උතුරු අප්‍රිකාවේ ජර්මානුවන්ට එරෙහිව සටන් කරන බ්‍රිතාන්‍ය හමුදාවන්ද ඔවුන්ගේ සතුරන් සමඟ කටයුතු කිරීමට ඇම්ෆෙටමින් භාවිතා කළහ. මීට අමතරව නාවික නිලධාරීන්ද පැය 24 ක් හෝ ඊට වැඩි කාලයක් සබ්මැරීන දඩයම් කිරීම සදහා යන විට ඇම්ෆෙටමින් ලබා ගත්හ. මිත්‍ර හමුදා වල චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා 1942 දී බ්‍රිතාන්‍ය ජෙනරාල් බර්නාඩ් මොන්ට්ගොමරි උතුරු අප්‍රිකාවට බෙන්සෙඩ්‍රින් ටැබ්ලට් මිලියන භාගයක් ගෙන එන ලදී.

උතුරු අප්‍රිකාවේ මිත්‍ර හමුදා සෙබළුන්ට දිනකට ඇම්ෆෙටමින් මිලිග්‍රෑම් 20 ක් ලැබුණි.  එය ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය වීමට උපකාරී වූ බව කියැවේ. අවසානයේ සිදු වූයේ උතුරු අප්‍රිකාවේ සටන් බිම ස්පීඩ් සහ ක්‍රිස්ටල් මෙත් අතර සටනක් බවට පත් වීමයි. අවසානයේ සියල්ලන්ම දන්නා පරිදි ස්පීඩ් ඉන් ජය ගන්නා ලදී.

කමිකාසේ (ජපන් භාෂාවෙන් “දිව්‍යමය සුළඟක්” යන අර්ථය) යනු ජපාන ගුවන් හමුදාවන්ගේ විශේෂ ගුවන් ප්‍රහාරක ඒකකය විය. ඔවුන්ගේ ඉලක්කය වූයේ ජපානය දෙසට එමින් තිබූ ඇමරිකානු යුද නැව්වලට ගුවන් යානා කඩා වැට්ටවීම මගින් ඒවා විනාශ කිරීමේ සියදිවි නසා ගැනීමේ මෙහෙයුම් ය. මෙසේ සියදිවි නසා ගැනිමේ මෙහෙයුමට ප්‍රථම ඔවුනටද  මෙතම්ෆෙටමින් විශාල මාත්‍රාවක් එන්නත් කරන ලදැයි කියවේ. මීට අමතරව මෙතම්ෆෙටමින් සහ හරිත තේ (green tea) අඩංගු ටැබ්ලට් ද ඔවුන්ට ලැබුණි. ඔවුන් එම පෙති හැඳින්වූයේ “කුණාටු ටැබ්ලට්" ලෙසය.

මීට අමතරව ක්‍රිස්ටල් මෙත් භාවිතය සියලු ජපන් සොල්දාදුවන් සහ කර්මාන්තශාලා සේවකයින් අතර පුළුල් ලෙස ව්‍යාප්ත විය.  ජපානයේ මෙතම්ෆෙටමින් විකුණනු ලැබුවේ ෆිලෝපොන් යන වෙළඳ නාමය යටතේ ය. ජපන් ජාතිකයන් ක්‍රිස්ටල් මෙත් “සෙන්රියෝකු සොකියෝ සායි” එසේත් නැතිනම් “සටන් ආත්මයන් දිරිගැන්වීම සඳහා දෙන ඖෂධයක්” ලෙස හැඳින්වීය.

දෙවන ලෝක යුද්ධයට බොහෝ කලකට පෙර සිටම සොල්දාදුවන් විසින් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි කියවේ. වයිකිං රණශූරයන් යුද්ධයට යාමට පෙර හලූසිනොජනික් නම් හතු පානය කළ බව කියවේ. එමගින් ඔවුන් දරුණු කෝපයෙන් සටන් කර ඇත.

කෙසේ වෙතත් දෙවන ලෝක සංග්‍රාමයෙදී මීට පෙර ලෝකය දැක නොතිබූ තරම් විශාල පරිමාණයේ මත් ද්‍රව්‍ය හඳුන්වා දෙන ලදී. දෙවන ලෝක සංග්‍රාමය මත්ද්‍රව්‍ය තරඟයක් ආරම්භ කළේ වෙහෙසට පත් නොවූ, කුසගින්නෙන් හෝ බියෙන් නොසිටින සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ අරමුණින් ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පරම්පරා ගණනාවක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ වේදනා නාශක වලට ඇබ්බැහි වූවන් නිර්මාණය වී ඇත.  ඔබ මෙම ලිපිය කියවන මොහොතේද එය අපගේ සමාජය විනාශ කරන වසංගතයකි.

දෙවන ලෝක සංග්‍රාමයෙන් බිහි වු මත් ද්‍රව්‍ය යුද්ධය (Drug War) - Your Choice Way
හිට්ලර් විසින් මොරල්ට නයිට්ස් ක්‍රොස් සම්මානය ලබා දෙමින්

දෙවන ලෝක සංග්‍රාමයෙන් බිහි වු මත් ද්‍රව්‍ය යුද්ධය (Drug War) - Your Choice Way
නාසි ජර්මනියේ පර්විටින් කෝපි වලට වඩා ලාභදායී විය. පර්විටින් එක් බහාලුමක ටැබ්ලට් තිහක් අඩංගු විය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දෙවන ලෝක සංග්‍රාමයෙන් බිහි වු මත් ද්‍රව්‍ය යුද්ධය (Drug War) දෙවන ලෝක සංග්‍රාමයෙන් බිහි වු මත් ද්‍රව්‍ය යුද්ධය (Drug War) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2022 Rating: 5

0 comments:

Post a Comment