Your Choice Way

වික්ටෝරියා උයනේ සැරි සරණ වික්ටෝරියාගේ ආත්මය (Victoria)

වික්ටෝරියා උයනේ සැරි සරණ වික්ටෝරියාගේ ආත්මය (Victoria) - Your Choice Way

එදා සීතල දවසක්.පුංචි හිරිපොදයකුත් තිබුණා.ඒත් මම එදා සීයත් එක්ක ඇවිදින්න ගියා.අපි ගියේ වික්ටෝරියා උද්‍යානයට.නුවර එළියේ සීතල හුළඟ වැදිලා, වික්ටෝරියා උයන හරහා ගලායන දියපාර උඩින් දමා තිබුණු යකඩ පාලමේ අත්වැට සීතල වෙලා තිබුණා.අපි හිටියේ අත්වැටට හේත්තු වෙලා.මීදුමකින් මුළු උයනම වැහිලා තිබුණා.විටින් විටේ මීදුම තුරන් වෙලා උයනේ වවලා තිබුණු රෝස පාට මල් පෙනුණා.ඒත් සුළු වෙලාවකට විතරයි.

මම ඇඳන් හිටියේ සුදුපාට ජර්සියකුයි,නිල් පාට දෙනිම් කලිසමකුයි.මගේ ඔළුවට දාලා තිබුණු අයිස් කැප් එකේ තැන් තැන් වල පිනි බිංදු රැඳිලා තිබුණා.මීදුම මැද හිටන් ඉන්න මාව ලස්සනට අනිත් අයට පේනවා ඇති නේද කියලා මට හිතුණා.උද්‍යානයේ දොරටුව ගාව උණු උණුවෙම කඩල විකුණන කඩලකාරයාගේ ලාම්පුවේ කහපාට එළිය මීදුම අතරින් බොඳවෙලා පෙනුණා.
මම ජර්සියේ සාක්කුදෙක ඇතුලට මගේ අත්දෙක ඔබාගෙන සීයත් එක්ක කතාකරන්න වුණා.
"ඔයා ඇත්තටම එයාට කැමතිද?"

සීයා ඇහුවා.අපි කතාකරමින් හිටියේ මගේ පෙම්වතා ගැන.ඇත්තටම මට එයා ගැන ලොකු අදහසක් තිබුණේ නෑ.එයා හොඳ කෙනෙක් කියලා මට දැනුණා.නමුත් එයාගේ සමහර වැඩ වල විකාර ගතියක් තිබුණා.මොනවා වුණත් එයා මට ගොඩක් ආදරේ කරනවා කියලා මම දැනන් හිටියා.
මම උත්තරයක් නොදී දියපාරේ වතුර ගලා යනවා බලන් ඉන්න ඇති.
"කවදාවත් දුවේ කෙනෙක්ට බොරුවට ආදරය කරන්න එපා.ඒක විඳවන්න දවසක් එනවා."
සීයා ලොකු හුස්මක් පාතට හෙලනගමන් මට කිව්වා.

"ඇයි සීයේ එහෙම කිව්වේ?"
මම සීයා දිහා බලාගෙන ඇහුවා. සීයගේ ඇස් යොමුවෙලා තිබුණේ ඈත අහසට.මීදුම අස්සෙන් ඈත අහස දිහා බලාගෙන මොනවාහරි පරණ දෙයක් මතකයට ගන්න සීයා උත්සාහ කරනවා කියලා මට දැනුණා.
"වික්ටෝරියා"
සීයාගෙ තොල් වෙව්ලුවා.
"මොකක්?"
මම ඒ දේ තේරුම් නොගිය නිසා ආයෙත් සීයා දිහා බලාගෙනම ඇහුවා.
"අපි ඉන්නේ වික්ටෝරියා උයනේ තමයි."
මම කිව්වා.

"නෑ......මට මුලින්ම ආදරය කරපු කෙල්ල;එයාගේ නම වික්ටෝරියා"සීයා මිමිණුවා.
"ආ....ඒකද මේ...ඉතිං එයාට මොකද වුණේ?"
මම සීයව අවුස්සන අදහසින් තමයි එහෙම ඇහුවේ
"එයා නැතිවුණා.සියදිවි නසා ගත්තා."
සීයා දුකෙන් කිව්වා.මම සීයගෙන් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු වුණේ නෑ.මගේ මූණත් මැලවිලා යන්න ඇති.
"මොනවා වෙලාද?ඇයි ඒ?"

මගි ඊළඟ ප්‍රශ්නයේ තියෙන්න ඇත්තේ වෙන ස්වරයක්.
"ඒ මං නිසා.එයා මට ගොඩක් ආදරය කළා.ඒත් මම එයාට බොරු කළා.මට මතකයි රෑට අඳින ඩ්‍රෙසිං ගවුම පිටින් එයා එල්ලිලා ඉන්නවා.ඒ මූණේ තිබුණේ මං දිහාට හෙලපු නපුරු බැල්මක්.අසරණී......."
සීයා හීල්ලුවා.
"ඉතිං සීයා ඒකට විඳවන්නේ කොහොමද?"
මම ඇහුවා.
"මට තාමත් විඳවන්න වුණේ නෑ.ඒත් මගේ හිත කියනවා ළඟදිම එහෙම වෙයි කියලා"
ඒ ස්වරයේ තිබුණේ ශෝකී බවක්.
"විකාර"

මම එහෙම කියන ගමන් සාක්කුවේ තිබුණ කුඩය ඉහළලා සීයා අතට දුන්නේ සීයව පොද වැස්සෙන් තෙමෙන නිසා.
"මම ගිහින් කඩල ගොට්ටක් අරන් එන්නම්"
මම එහෙම කියන ගමන් උයනේ දොරටුව දිහාට දුවලා ගියා.මට මිනිත්තු පහකට වඩා ගතවෙන්න නැතුව ඇති.ම්ම උණු කඩල ගොට්ටත් අරගෙන ආපහු එද්දී පාලම සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා.ළඟ පාත කවුරුවත්ම හිටියෙ නෑ.මීදුම අතරින් එකපාරටමමම සීයට දීල ගිය කුඩේ රෝල් වෙලා සුළං පාරක් එක්ක ආවා.කියන්න බැරි අමුතු බයක් නිසා මගේ ඇඟේ හිරිගඩු පිපුණා.මම මීදුම අස්සෙන් පාලම දිහාට දුවගෙන ගියා.

ඊළඟට මට සිද්ධ වුණේ එතනම නතර වෙන්න.සීයා පාලම උඩ උඩුබැලි අතට වැතිලා හිටියා.කව්දෝ කෙනෙක් සීයා ළඟ බිම දණගහගෙන සීයගේ මූණට එබිලා හිටියා.මීදුම නිසා මට එයාව හරියටම පෙනුණේ නෑ.ඒත් එයා ඇඳන් හිටියේ සුදු පාට ඩ්‍රෙසිං ගවුමක්!මම එතනට යද්දි එයා සීයා ළඟින් නැගිටලා මීදුම අසේ සැඟවිලා ගියා.

සීයගේ කට ඇදවෙලා තිබුණා.අතකුත් පණනැහැ කියලයි මට තේරුණේ.සීයට සීයට කතා කරන්න බැරිවෙලා තිබුණා.

ඊට මාස තුනකට පස්සේ දුක් විඳ විඳ හිටපු සීයා නැති වුණා.ඊට පස්සෙ මම කවදාවත් වික්ටෝරියා උයන පැත්තේ ගියේ නෑ........................................
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වික්ටෝරියා උයනේ සැරි සරණ වික්ටෝරියාගේ ආත්මය (Victoria) වික්ටෝරියා උයනේ සැරි සරණ වික්ටෝරියාගේ ආත්මය (Victoria) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, October 19, 2021 Rating: 5

0 comments:

Post a Comment