ඝාතකයෙකුට වීරයකු විය හැකිද ? ( Can A Killer Be A Hero ? )

ඝාතකයෙකුට වීරයකු විය හැකිද ? ( Can A Killer Be A Hero ? ) - Your Choice Way
"ඉතිහාසය පිළිබඳ වාර්තා වලට අනුව තුන්වන රයික්හි දොළොස් වසර තුලදී ජර්මනියේ පුරවැසියන් විසින් ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කිරීම සඳහා ඝාතන උත්සාහයන් 42 කට නොඅඩු ප්‍රමාණයක් සිදු කර ඇත."

ජෝන් විල්ක්ස් බූත්, ලී හාවි ඔස්වල්ඩ්, ජේම්ස් අර්ල් රේ යන පුද්ගලයන්ගේ නම් ඉතිහාසයේ සහ අපගේ සාමූහික මනසවල් තුළ සදාකාලික ලෙස සටහන් වී ඇත්තේ ඔවුන් සියලු දෙනාම කෲර ඝාතකයන් වූ නිසාම පමණක් නොව ඔවුන් අදාල ඝාතනයන් සිදු නොකළේ නම් ලෝකයේ අනාගතයට එය කෙලෙස බලපානු ඇතිද යන්න පිළිබඳව ඇති ප්‍රශ්ණය නිසාය. මෙවැනි ඝාතකයන්ගේ නම් අතරට එක් වන තවත් එක් පුද්ගලයකුගේ නමක් ලෙසට අපට "ජෝර්ජ් එල්සර්ගේ" නමද සදහන් කළ හැක.

එල්සර් යනු එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් මගින් සමස්ථ ඉතිහාසයේම ගමන් මග මුළුමනින්ම වෙනස් කරලීමට උත්සාහ දැරූ පුද්ගලයෙකි. ඒ කෙසේ වෙතත් ඔහුට සාර්ථක වීමට හැකි නොවූ අතර එම හේතුව නිසා වර්තමානයේ ලොව බොහෝ දෙනෙකුට ඔහුගේ නම අමතකව ගොස් ඇත. එහෙත් යම් හෙයකින් ඔහුගේ උත්සාහය සාර්ථක වූයේ නම් එමගින් කුමක් සිදු වනු ඇතිදැයි සිතා ගැනීමට පවා නොහැක.

නමුත් සැබැවින්ම ඔහු දැරූ උත්සාහය කුමක්ද? 1939 දී ජෝර්ජ් එල්සර් විසින් ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කල යුතු බවට තීරණය කරන ලදී.

එල්සර් 1903 ජනවාරි 4 දින ජර්මනියේ පහළ මධ්‍යම පාන්තික උපත ලැබීය. ඔහු කුඩා කල සිටම යාන්ත්‍රික අංශයේ වැඩ වලට ආශා කළ අතර එම නිසා ඔහු අධ්‍යාපනයට වැඩි ඇල්මක් දැක්වූයේ නැත. එමෙන්ම ඔහු දේශපාලනයටද එතරම් ඇල්මක්ද නොදැක්වූ අතර වැඩි වියට පත් වීමෙන් පසු පවා හැකි තරම් දේශපාලනයෙන් ඈත්ව සිටීමට ඔහු උත්සාහ කරන ලදී.

එහෙත් 1933 දී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් ධුරයට පත් විය. හිට්ලර්ගේ පත් වීමත් සමඟ ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී භීෂණය වීදි බසින ලද අතර ඔහු විසින් පුද්ගල නිදහසද එකින් එක උදුරා දමන ලදී. එමෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය නිසා ජර්මනිය සහ යුරෝපය ක්‍රමයෙන් යුද්ධයකටද සමීප විය.

නාසීන් විසින් 1938 දී  'යුද ආර්ථික නියෝගය'  ක්‍රියාත්මක කළ විට එල්සර් ඇතුළු බොහෝ ජර්මානුවන් කලබලයට පත් විය. නාසීන් විසින් පැනවු මෙම නව නීතිය මඟින් ජර්මනියේ සියලුම වෘත්තීය සමිති තහනම් කළ අතර වැඩ කරන ජනතාව සතු වූ නිදහස බොහෝ ලෙස අඩු කරන ලදී. අවසානයේ එල්සර් තීරණය කළේ මේ පිළිබදව තමා කුමක් හෝ කල යුතු බවයි. තමා වෙනුවෙන් නොව තම රට වෙනුවෙන් යමක් කළ යුතු බවට ඔහු තීරණය කරන ලදී.

1939 මුල් භාගයේදී එල්සර් විසින් හිට්ලර්ගේ ප්‍රධානත්වයෙන් එම වසරේ නොවැම්බර් 8 වනදා මියුනිච්හි ජනප්‍රිය බියර් ශාලාවක් වන බර්ගර්බ්‍රකූකෙලර් හිදී නාසි රැලියක් පැවැත්වීමට නියමිත බවට පුවත්පතක පලවී තිබෙනු දකින ලදී. ඒ අනුව මෙය තම අවස්ථාව බව එල්සර්ට වැටහෙන ලදී. නොවැම්බර් 8 වනදාට යෙදී තිබුණේ 1923 දී තරුණ හිට්ලර් ප්‍රථම වතාවට බලය අල්ලා ගැනීමට ගිය (එහෙත් එය අසාර්ථක වූ අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි) "කුප්‍රකට බියර් ශාලා කුමන්ත්‍රණයේ" දහසය වන සංවත්සරයයි. නාසීන්ට මෙම දිනයේ තිබූ විශාල වැදගත්කම නිසා එදිනට අනිවාර්යයෙන්ම හිට්ලර් මෙයට සහභාගී වන බවට සහතික විය. ඒ අනුව ජර්මනිය බේරා ගත යුත්තේ කවදාද සහ කොතැනද යන්න එල්සර් තීරණය කරන ලදී.

1939 අගෝස්තු මාසයේදී ජෝර්ජ් එල්සර් මියුනිච් බලා ගිය අතර ඔහු සෑම දිනකම රාත්‍රියේ බර්ගර්බ්‍රකූකෙලර් බියර් ශාලාව වෙත යාමට පටන් ගත්තේය. මෙම කාලය තුලදී ඔහු එම ශාලාවේ සෑම වර්ග අඩියක්ම හොදින් අධ්‍යයනය කළ අතර එමගින් ඔහු ඉතා ඉක්මනින් නිර්භීත සැලැස්මක් සකස් කළේය. මෙහිදී එල්සර්ගේ සැලසුම වූයේ හිට්ලර් කතාව පැවැත්වීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි ස්ථානයට ලගින් පිහිටි කුලුනක කොටසක් හිස් කර ඒ තුළට බෝම්බයක් දමා හිට්ලර් කතාව කරන නිශ්චිත වේලාවට එය පුපුරවා දැමීමට සැලැස්වීමයි.

ඒ අනුව සෑම දිනකම රාත්‍රියේ බියර් ශාලාව තුළට පැමිනෙන එල්සර් සියලු දෙනාම පිටව යන තුරු ගබඩා කාමරයක සැඟැවී සිටින ලදී. සියලු දෙනාම පිටව ගිය පසු සැඟැවී සිටි තැනින් එළියට පැමිණෙන ඔහු සිය විදුලි පන්දමේ එළියෙන් බියර් ශාලාව තුල තිබෙන කුළුණ හෑරීමට පටන් ගන්නා ලදී.

දින ගණනකට පසු කුළුණ හාරා අවසන් වූ විට ඊළඟට ඔහු සිදු කළේ නවීන කාල බෝම්බයක් නිපද වීමට පටන් ගැනීමයි. කුඩා කල සිටම යාන්ත්‍රික කටයුතු කෙරෙහි ඔහු තුළ තිබූ දක්ෂතාවයත් ඊට පෙර ඔරලෝසු කම්හලක සේවය කිරීමෙන් ලබා ගත් පළපුරුද්දත් ඔහුට මෙම බෝම්බය සෑදීමට උපකාරී විය. බෝම්බය සාදා අවසන් වූ පසු ඔහු එය කණුවේ කුහරය තුළට දමා මුද්‍රා තබන ලදී.

මේ අතරතුර දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් ආරම්භ කරමින් 1939 සැප්තැම්බර් 1 වන දින හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කරන ලදී. මේ හේතුව නිසා එල්සර්ට වෙන කවරදාටත් වඩා තමා විසින් ජර්මනිය විනාශයෙන් බේරා ගත යුතු බවට ඒත්තු ගිය අතර ඔහු බලාපොරොත්තු වූවාක් මෙන් මේ කිසිම හේතුවක් නිසාවත් මියුනිච් බියර් ශාලාවේ පැවති රැලිය කල් දැමුවේ හෝ වෙනස් වූයේ නැත. එදිනට හිට්ලර් සිය කතාව සිදු කිරීමට නියමිතව තිබුණේ රාත්‍රී 8.30 සිට රාත්‍රී 10.00 දක්වාය. ඒ අනුව එල්සර් තම බෝම්බය රාත්‍රී 9:20ට පුපුරා යන ලෙස ක්‍රමාංකනය කරන ලදී.

හිට්ලර් සහ ඔහුගේ ගෝලබාලයින් වූ ජෝසප් ගොබෙල්ස්, හෙන්රිච් හිම්ලර්, රයින්හාර්ඩ් හයිඩ්රිච් සහ රුඩොල්ෆ් හෙස් ඇතුළු පිරිවර එදින මියුනිච් වෙත දුම්රියෙන් පැමිණෙන ලදී. එහෙත් මෙම කාලය වෙද්දී යුද්ධය ආරම්භ වී තිබීම හේතුවෙන් හිට්ලර් බර්ලිනයෙන් පිටත වැඩි කාලයක් ගත කිරීමට මැලි විය. මේ හේතුව නිසා අවසාන මොහොතේ ඔහු තීරණය කරනු ලැබුවේ නියමිතව තිබූ වේලාවෙන් පැය බාගයකට පෙර ඔහුගේ කතාව ආරම්භ කොට ඉක්මනින් එය අවසන් කිරීමටය. එමගින් ඔහුට හැකි ඉක්මනින් යළි අගනුවර වන බර්ලින් බලා යාමට හැකි වනු ඇත.

එදින රාත්‍රියේ එම ශාලාව පුද්ගලයන් 3,000 කට ආසන්න ප්‍රමාණයකින් පිරී තිබුණි. එම දිනවල හිට්ලර් කොහේ ගියත් ඔහු බලයට පත් වූ මුල් කාලයේ මෙන් විශාල ජන ප්‍රසාදයක් ඔහුට හිමි විය. රාත්‍රී 8.00 පසු වී මිනිත්තු කිහිපයකට පසු හිට්ලර් වේදිකාවට ගොඩ වී තම සුපුරුදු කෝපාවිෂ්ඨ කථාව ආරම්භ කළ අතර එය අවසන් වූයේ රාත්‍රී 9:07 ට පමණ ය. ඉන් ටික වේලාවකට පසු ඔහු සන්නද්ධ කාරයකින් දුම්රිය ස්ථානය බලා ආපසු යන ලදී.

ඉන් විනාඩි දහතුනකට පසු එනම් හරියටම 9:20 ට එල්සර් සැලසුම් කළ පරිදිම බෝම්බය පුපුරා ගිය අතර එමගින් විනාඩි කිහිපයකට පෙර හිට්ලර් සිටගෙන සිටි වේදිකාව මුළුමනින්ම විනාශ වන ලදී. ඔහුගේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 7දෙනෙකු මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලබන ලදී. එහෙත් එල්සර් ඉලක්ක කරගෙන සිටි නාසි නායකයින් සියලු දෙනාම ඒ වන විට බොහෝ දුරක් ගොස් අවසන් වී තිබුණි. පිපිරීම පිළිබඳ ආරංචිය ලැබීමත් සමඟම තමා එම මොහොතේ මරණයට කෙතරම් සමීපව සිටියේද යන්න පිළිබදව හිට්ලර්ට අවබෝධ විය. ඔහු සෑම විටම පවසා සිටියේ තමාට "යක්ෂයාගේ වාසනාවක්" පවතින බවයි.

ඊටපසු දින එල්සර් දේශසීමාව හරහා ස්විට්සර්ලන්තයට යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගැනුණි. ගෙස්ටාපෝ නිලධාරීන්ගේ කෲරතර ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී ඔහු බෝම්බය සවි කළ බවට පාපොච්චාරණය කල අතර පසුව ඔහුව සච්සන්හවුසන් වධකාගාරය වෙත යවන ලදී. ඔහු දෙවන ලෝක යුද්දය අවසාන කාලය වන තුරුම එහි සිරකරුවෙකු ලෙස ගත කළ අතර යුද්ධයේ අවසාන කාලයේදී ඔහුව ඩචාවු කදවුර වෙත මාරු කරනු ලැබීය.

1945 අප්රේල් 9 වන දින එස්එස් නිලධාරීන් විසින් ඔහුව මරා දමන ලදී. ඔහුගේ මරණය පිළිබඳ ප්‍රවෘත්ති ජර්මානු පුවත්පත්වල වාර්තා වූ නමුත් ඒවායේ කියැවුණේ ඔහුගේ මරණයට හේතුව මිත්‍ර හමුදා ගුවන් ප්‍රහාරයකින් සිදු වූ තුවාලයක් නිසා බවයි. ඉන් මාසයකටත් වඩා අඩු කාලයකදී ජයග්‍රහණය පිළිබඳව තිබූ සියලු අවස්ථා නැති වී යාමත් සමඟ ඇඩොල්ෆ් හිට්ලර් සියදිවි නසා ගන්නා ලදී. ඉන්පසු දින කිහිපයක් ඇතුළත නාසි ජර්මනිය කොන්දේසි විරහිතව යටත් විය.

සමහරවිට එම දිනයේ එම විනාඩි කිහිපය හිට්ලර් සහ ඔහුගේ නාසි ප්‍රධානීන් කිහිප දෙනා එම ශාලාව තුල සිටියේ නම් බොහෝ දුරට දෙවන ලෝක යුද්ධය ඇති වීම ඒ මොහොතේදීම අවසන් වීමටද ඉඩ තිබුණි. ඊට අමතරව විශාල සමූල ඝාතනයන් නතර වී මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බේරීමටද ඉඩ තිබුණි. 

කෙසේ වෙතත් මෙම විශේෂිත මිනිසා තමාට එම මොහොතේ නිවැරදි යැයි සිතුණු දෙය නිර්භයව සිදු කරන ලදී. මුළු ලොවක් භීතියට පත් කළ විසිවන ශතවර්ෂයේ බිහි වූ දරුණුතම ඒකාධිපතියාට එරෙහි වීමට තරම් මේ තනි පුද්ගලයා නිර්භය විය. ඔහු සිදු කළ ක්‍රියාව ප්‍රචණ්ඩකාරී මාරාන්තික ක්‍රියාවක් වුවද එල්සර් යනු ඉතිහාසය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට තමන්ට හැකි පමණින් උත්සාහ කළ තනි මිනිසෙකි.

විශ්මිත ඉතිහාසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඝාතකයෙකුට වීරයකු විය හැකිද ? ( Can A Killer Be A Hero ? ) ඝාතකයෙකුට වීරයකු විය හැකිද ? ( Can A Killer Be A Hero ? ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2021 Rating: 5

0 comments:

Post a Comment