සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - දෙවන කොටස (American Crime Story - Part Two)

සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - දෙවන කොටස (American Crime Story - Part Two) - Your Choice Way
සිම්සන් පුල පුලා කියා සිටියේ තමා මෙම මිනීමැරුම් චෝදනාවලට "සියයට සියයක්ම වැරදිකරු නොවන බවයි." එමෙන්ම පෙර සිදු වූ සිදුවීම් මාලාව නිසා සහ සිම්සන්ගේ ජනප්‍රියත්වයත් නිසා මෙම නඩුවට පෙර නොවූ විරූ ආකාරයේ ජනප්‍රියත්වයක් ලැබෙන ලදී. විශේෂයෙන් ඇමරිකානු කළු ජාතිකයන් සියල්ලන්ම වාගේ සිම්සන්හට සහයෝගය දක්වනු ලැබීය. එමෙන්ම මෙම නඩුවට මුහුණ දීම සඳහා සිම්සන් එකල සිටි දක්ෂතම නීතිඥ මඩුල්ලක් තම සේවය සඳහා යොදා ගන්නා ලදී. පැමිණිලි පාර්ශවය සඳහා රජයේ නීතිඥයන් වන මාර්ෂියා ක්ලාක් සහ ක්‍රිස්ටෝපර් ඩර්ඩන් පෙනී සිටින ලදී.

කෙසේ හෝ  මෙම නඩුව විභාගයට ගැනීමට සූදානම් වූ අතර ඒ අනුව මෙම නඩුවේ විනිසුරුවරයා ලෙස විනිසුරු ලාන්ස් ඉටෝ මහතා පත් කරන ලදී. පැමිණිලි පාර්ශවය ආරම්භයේදීම කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය මෙම විත්තිකරුට මරණීය දණ්ඩනය ලබා දීම නොව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දීම බවයි. ඊළඟට උදා වූයේ ජූරි සභිකයන් තෝරා ගැනීමයි. ඒ අනුව දෙපාර්ශවයම තමන්ගේ පාර්ශවයට වැඩි වාසි ලැබෙනු ඇතැයි සිතූ ජූරි සභිකයන් තෝරා ගැනීමට මහත් අරගලයක් සිදු කළ අතර ඒ අනුව අවසානයේදී පිරිමි හතර දෙනෙකුගෙන් සහ කාන්තාවන් අට දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඔවුන් තෝරා ගන්නා ලදී. මෙම පිරිසෙන් අට දෙනෙක්ම කළු ජාතිකයන් වූ අතර එක් පුද්ගලයෙක් සුදු ජාතිකයෙක් විය. ඊට අමතරව ඉතිරි තුන් දෙනා මිශ්‍ර ජාතිකයන් විය. ඒ අනුව මෙම නඩුව විභාගයට ගැනුනු අතර 1995 ජනවාරි 24 වන දින පැමිණිලි පාර්ශවය විසින් සිය ආරම්භක ප්‍රකාශය සිදු කරන ලදී.

එහිදී පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥ මාර්ෂියා ක්ලාක් ප්‍රකාශ කර සිටියේ නිකොල් බ්‍රවුන් සහ රොනල්ඩ් ගෝල්ඩ්මන් යන දෙදෙනාගේ ද්විත්ව ඝාතනයට සිම්සන් වගකිව  යුතු බවයි. වැඩි දුරටත් ඇය ප්‍රකාශ කර සිටියේ නිකොල් පැහැදිලිවම ගෝල්ඩ්මන් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ නිසා එය සිම්සන්ට දරා ගත නොහැකි වීම හේතුවෙන් මේ ආකාරයට දෙදෙනාම පිහියෙන් ඇන මරා දමා ඇති බවයි. "ඊර්ෂ්‍යාව නිසා ඔහු ඇයව මරා දැමුවා" යැයි පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා වූ ඩර්ඩන් ජූරි සභාවට ප්‍රකාශ කර සිටින ලදී.

එමෙන්ම වැඩි දුරටත් තර්ක කරමින් පැමිණිලි පාර්ශවය සදහන් කළේ ඝාතනය රාත්‍රී 10.15 ට සිදු වුවා නම් මිනීමැරුම සිදු කොට, පිරිසිදු වී යළි රාත්‍රී 11.00 වෙද්දී ආපසු නිවසට යාමට සිම්සන්ට ප්‍රමාණවත් කාලයක් තිබෙන බව ය. තවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ අපරාධ ස්ථානයෙන් හමු වූ සියළුම ප්‍රධාන සාක්ෂි වන අත්වැසුමේ, හිස් වැස්මක සහ ලේ තැවරුණු සපත්තු අඩියේ තිබූ DNA සිම්සන්ගේ DNA සමඟ ඉතා හොදින් ගැලපෙන බවයි. එමෙන්ම මිනීමැරුම් සිදු වූ ස්ථානයේදී සහ සිම්සන්ගේ නිවසේ තිබී හමු වූ අත් වැසුම් දෙකේම නිකොල්, සිම්සන් සහ ගෝල්ඩ්මන් යන තිදෙනාගෙම රුධිරය තිබූ බවට ද අධිකරණ වෛද්‍ය නිලධාරින් තහවුරු කළේය. 

මීට අමතරව ඔවුන් තවදුරටත් කියා සිටියේ සිම්සන්ගේ ඇඟිල්ලකද කැපීමක් සිදු වී ඇති බවයි. එමෙන්ම අපරාධය සිදු වූ ස්ථානයේ තිබී හමු වූ තොප්පියේ තිබී සිම්සන්ගේ හිස කෙස් සොයා ගනු ලැබූ අතර එෆ්බීඅයි කෙස් සහ කෙඳි රසායනාගාරය එය ඔහුගේ බව තහවුරු කළේය. ඊට අමතරව නිකොල්ගේ ලේ සහිත මේස් සිම්සන්ගේ නිවසේ තිබී හමු වීමද පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කල තවත් චෝදනාවකි. එමෙන්ම අපරාධය වූ ස්ථානයේ තිබූ සපත්තු සලකුණද සිම්සන්ගේ සපත්තුවට මනා ලෙස ගැලපෙන ලදී. එමෙන්ම පැමිණිලි පාර්ශවය චෝදනා කලේ ඝාතනය සිදු කිරීමට භාවිතා කල පිහියට සමාන පිහියක් ඊට දින කිහිපයකට පෙර සිම්සන් විසින් මිලදී ගෙන ඇති බවයි. කෙසේ වෙතත් ඝාතනය සිදු කළ පිහිය කිසි විටෙකත් හමු නොවූ අතර අමතක නොකල යුතු දෙය නම් සිම්සන්ට ගෘහස්ථ හිංසනය පිළිබඳ ඉතිහාසයක් ද පැවතීමය.

මේ චෝදනා සියල්ලෙන්ම පෙනී ගියේ සිම්සන් මෙම අපරාධය සිදු කර ඇති බවයි. එහෙත් ඔහු සතුව ප්‍රබල නීතිඥ මඩුල්ලක් සිටි අතර ඔවුන්ගේ දක්ෂතාවය නිසා මේ සියලු ප්‍රබල සාක්ෂි වෙත ජූරියේ තිබූ අවධානය වෙනස් කොට ඒ වෙනුවට නඩුව වෙනත් අතකට රැගෙන යාමට ඔවුන් සමත් විය. විත්තිය පාර්ශවය වෙනුවෙන් සිය ආරම්භක ප්‍රකාශය සිදු කරමින් විත්තියේ නීතිඥවරයෙකු ජූරි සභාවට ප්‍රකාශ කර සිටියේ "මෙම නඩුව විනිශ්චය කිරීමට ඉක්මන් නොවන ලෙසයි."

වැඩි දුරටත් තර්ක කරමින් විත්තියේ පාර්ශවයේ නීතිඥයින් ප්‍රකාශ කර සිටියේ අධිකරණ වෛද්‍ය කණ්ඩායම සාක්ෂි රැස් කිරීමේදී නොසැලකිලිමත් වී ඇති බවයි. මේ තර්කයත් සමග එය ජූරි සභාවේද අවධානයට ලක් වූ අතර එයත් සමාගම මෙම නඩුව නව මාවතකට යොමු වන ලදී. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ සාක්‍ෂි ප්‍රවාහනයේදී ඒවා නිවැරදිව ඇසුරුම් කර නොතිබූ බවත් වෑන් රථය රත්වන විට සාක්‍ෂි වෙනස් විය හැකි බවත්ය. ඒත් සමගම පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලැබූ සාක්‍ෂි දැන් සැක සහිත යැයි සැලකෙන අතර එය සිම්සන්ට ඉතා වාසිදායක විය.

මීට අමතරව සිම්සන්ගේ නීතිඥ කණ්ඩායම නීතිය ක්‍රියාත්මක කිරීමේදී උපායමාර්ගිකව ජාතිවාදය සහ වර්ගවාදය මත පදනම්ව නිලධාරීන් විසින් දඩුවම් ලබා දෙන ආකාරය පිළිබදව අදහස් ඉදිරිපත් කරන ලදී. මෙය ඉදිරිපත් කිරීමට මූලිකම හේතුව වුයේ සිම්සන්ට විරුද්ධව තිබූ ප්‍රබලම සාක්ෂි රාශියක් සොයා ගත් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක මාර්ක් ෆර්මන්ගේ ක්‍රියාකලාපයයි.

මාර්ක් ෆර්මන් යනු මෙම අපරාධය සිදු වූ ස්ථානයට මුලින්ම ඇතුළු වූ නිලධාරියා විය. ලේ තැවරුණු අත්වැසුම් ඇතුළු තවත් ප්‍රබල සාක්ෂි රැසක් ප්‍රථම වරට සොයා ගනු ලැබුවේද ඔහු විසිනි. එහෙත් බොහෝ දෙනා චෝදනා කරනු ලැබුවේ ෆර්මන් විසින් සිම්සන් වැරදිකරුවෙකු කිරීම සඳහා හිතා මතා එම සාක්ෂි සකස් කළ බවයි. ඔහුට මෙසේ චෝදනා කිරීමට ප්‍රධානතම හේතුව වූයේ මාර්ක් ෆර්මන් යනු උග්‍ර ජාතිවාදී ආකල්ප වලින් පිරුණු නිලධාරියෙකු වීම හේතුවෙන් නිසා වන අතර ඔහු අප්‍රිකානු-ඇමරිකානුවන් පිළිකුල් කරන ලදී. මේ හේතුව නිසා බොහෝ දෙනෙක් විශ්වාස කළේ ඔහු සිම්සන්ව මෙම අපරාධයට කොටු කිරීමට උත්සාහ ගන්නා බවයි.

මෙම චෝදනාව තම වාසියට හරවා ගත් විත්තියේ නීතිඥයින් චෝදනා කරනු ලැබුවේ ෆර්මන් සිතා මතාම තම සේවාදායකයාව මෙම අපරාධයේ පටලා ඇති බවයි. විත්තියේ නීතිඥයින් තර්ක කර සිටියේ ෆර්මන් විසින් අත් වැසුම් සහ ලේ සලකුණු ආදී සියල්ල සිතා මතා සිම්සන් හසු වීම සඳහා දමා ගොස් ඇති බවයි.

ඒ අනුව රහස් පරීක්ෂක මාර්ක් ෆර්මන් උසාවියට කැඳවූ අතර එහිදී ඔහුගෙන් අසන ලද හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ තමා ජාතිවාදියකු යැයි කියන ප්‍රකාශය තමා තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බවයි. එමෙන්ම සාක්ෂි විකෘති කිරීමෙන් ඔහු විමර්ශනය අඩපණ කළ බවට නැගූ චෝදනාවද ඔහු තරයේ ප්‍රතික්ෂේප කරන ලදී.

එහෙත් සියල්ල වෙනස් වුයේ විත්තියේ පාර්ශවය විසින් ෆර්මන් වාර්ගික අපහාසයන් රාශියක් සිදු කරමින් පටිගත කර තිබූ පැරණි හඬ පටයක් ජූරි සභාවට ඉදිරිපත් කිරීමත් සමඟය. හරස් ප්‍රශ්න ඇසීමේදී ඔහු තරයේ ප්‍රකාශ කර තිබුණේ තමා කිසිදු දිනෙක එවැනි ජාතිවාදී ප්‍රකාශයක් සිදු කර නැති බවයි. එහෙත් ඔහුගේ මෙම දැඩි ජාතිවාදී අදහස් වලින් සමන්විත වූ හඩ පටයෙන් සියල්ල වෙනස් විය. එම හඬ පටයේ ෆර්මන් කළු ජාතිකයන්ට පොලිස් හිංසනය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ පිළිකුල් සහගත පුරසාරම් දෙඩවීමක් අඩංගු වේ.

මෙම සිදු වීමත් සමග උසාවියෙන් පිටත දී මෙම නඩුව පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති විය. කළු ජාතීන්ගේ අයිතීන් පිළිබඳ විශාල කතා බහක් ඇති වූ අතර කළු ජාතිකයන් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයන්ද සිම්සන් නිර්දෝෂී බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටින ලදී. සිම්සන්ගේ නීතිඥ මඩුල්ලද ඉතා කපටි ලෙස මුළු නඩුවේම අවධානය ප්‍රධාන සාක්ෂි වලින් බැහැර කොට මෙය වෙත රැගෙන ඒමට තරම් දක්ෂ විය.

එමෙන්ම ඔවුන්ගේ ඊළග අවධානය යොමු වූයේ අපරාධ ස්ථානයෙන් හමු වූ අත්වැසුම් පිළිබඳවය. සැබැවින්ම මෙය සිම්සන්ට අයත් අත් වැසුම් යුගලක් වූ අතර එය මිලදී ගැනීමේදී ලබා ගත් බිල් පත් පවා පැමිණිලි පාර්ශවය විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් විත්තියේ පාර්ශවය ප්‍රකාශ කර සිටියේ මෙය තම සේවාදායකයාගේ නොවන බවයි.

මේ පිළිබදව සිදු කරන ලද බොහෝ වාද විවාද අවසානයේ පැමිණිලි පාර්ශවයේ නීතිඥ ඩර්ඩන් විසින් සිම්සන්ට විසින් ජූරි සභාව ඉදිරිපිටදී එම සම් අත්වැසුම දා ගන්නා ලෙස ප්‍රකාශ කරන ලදී. ඒ අනුව සිම්සන් ඒවා ජූරි සභාව ඉදිරියේදී අත් වලට දැමීමට උත්සාහ කරන ලදී. එහෙත් ඒවා ඔහුගේ අතට නොගැලපුණු අතර ඔහුගේ අතට වඩා ඒවා කුඩා විය. සිම්සන් අපහසුවෙන් මෙන් එය පැළඳගෙන "මෙය ඉතා තදයි" ලෙස ප්‍රකාශ කරන ලදී. ඔහුගේ නීතීඥයා “එය නොගැලපේ නම් ඔහු නිදොස් කොට නිදහස් විය යුතුයි” ලෙස ප්‍රකාශ කරන ලදී. එහෙත් පැමිණිලි පාර්ශවය තර්ක කළේ සිම්සන් ඕනෑකමින් එම අත් වැසුම් තම අත් වලට නොගැලපෙන බවට පෙන්වීමට උත්සාහ කළ බවයි.

මේ ආකාරයෙන් මුලදී පැමිණිලි පාර්ශවයට ඉතා වාසිදායක ලෙස තිබූ නඩුවක් විත්තිය පාර්ශවයේ නීතිඥවරුන්ගේ දක්ෂතාවය නිසාම ක්‍රමයෙන් උඩු යටිකුරු වීමට පටන් ගන්නා ලදී. ඔවුන් පැමිණිලි පාර්ශවය නගන චෝදනා කෙසේ හෝ බිඳ දැමීමට සමත් වූ අතර එසේ බිඳ දැමීමට නොහැකි තරම් ශක්තිමත් සාක්ෂි ඉදිරිපත් වූ විට ඔවුන් කළේ ජූරි සභාවට ඒ පිළිබඳ තිබූ අවධානය වෙනස් කිරීම සදහා වෙනත් කුමක් හෝ දෙයක් ඉස්මතු කිරීමයි. එමගින් ප්‍රධාන සාක්ෂි රාශියක් යට ගැසී ගිය අතර මෙවැනි සාක්ෂි යට ගැසීමේ ප්‍රධාන සාධකයක් ලෙස ඔවුන් ජාතිවාදය යොදා ගන්නා ලදී.

එමෙන්ම මෙම නඩුව මාස 11ක් තරම් දීර්ඝ කාලයක් ඇදී ගිය අතර මෙම කාලය පුරා ජූරි සභිකයන් 12 දෙනා හුදකලා කර තිබූ අතර නඩුවට අපක්ෂපාතී සහ සාධාරණ තීන්දුවක් ලබා ගැනීම සදහා පිටත ලෝකය සමඟ ඔවුන්ට තිබූ සියලුම සම්බන්ධතා සීමා සහිත කරන ලදී. ඒ අනුව නඩු වාරය අවසානයේ ඔවුන් සියලු දෙනා නතර වී සිටි ස්ථානයට කෙලින්ම ගොස් දැමුනු අතර ඔවුන් කිසිවෙකුටත් නඩුව පිළිබඳ කතා කිරීම තහනම් විය. එමෙන්ම මෙම කාලය තුල ඔවුන්ට පුවත්පත් හා රූපවාහිනි පුවත් නැරඹීමද තහනම් කර තිබූ අතර පිටත ලෝකයේ මෙම නඩුව සම්බන්ධව සිදු වන කිසිදු සිදු වීමක් ඔවුන් නොදැන සිටින ලදී.

එහෙත් මෙම නඩුව කිසිවෙක් නොසිතූ පරිදි මාස 11ක් වැනි දීර්ඝ කාලයක් ඇදී ගිය අතර මේ හේතුව නිසා ජූරි සභිකයන් පසු වූයේ දැඩි පිඩනයකිනි. ඔවුන්ට බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවක් මෙම කාලය තුල නොතිබූ අතර කොටු වී ජීවත් වීමටද සිදු විය.

අවසානයේ 1995 ඔක්තෝබර් 3 වනදා නඩුවේ තීන්දුව ලබා දෙන දිනය උදා විය. මෙම නඩුව නිසා ඇති වූ මහත් ආන්දෝලනාත්මක තත්ත්වය නිසා මුළු මහත් ඇමරිකාවේම අවධානය එයට යොමු විය. මිලියන 150 කට ආසන්න ජනතාවක් සජීවීව මෙම අවසන් තීන්දුව ලබා දෙන ආකාරය නරඹා ඇත. අවසානයේ ජූරි සභිකයන් නඩුවේ අවසන් තීන්දුව ලබා දීම සඳහා සාකච්ඡා කිරීමට වෙනම කාමරයක් වෙත රැස් වන ලදී. සාමාන්‍යයෙන් නම් මෙවැනි ආන්දෝලනාත්මක නඩුවක තීරණයක් ගැනීම සඳහා ජූරි සභිකයන්ට දිනයක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් ගත වේ. එහෙත් සියල්ලන්ම පුදුමයට පත් කරමින් ජූරි සභිකයන් පැය 4ක ඉතා කෙටි සාකච්ඡාවකින් පසුව සිය තීරණය ඉදිරිපත් කරන ලදී.

අවසානයේ O.J.සිම්සන් මෙම දිවිත්ව ඝාතන සඳහා වැරදිකරු නොවන බවට ජූරි සභාව විසින් තීරණය කරන ලදී. ඒ අනුව සිම්සන් ඉතා ජයග්‍රාහී ලෙස නිදහස් මිනිසෙකු බවට පත් විය. ජූරි සභාවේ කළු ජාතිකයින් අට දෙනෙකු සිටි හෙයින් මෙම තීරණයට එයද බලපෑ බව බොහෝ දෙනා විශ්වාස කරති. සීඑන්එන් පුවත් සේවයට අනුව නිකෝල් සහ ගෝල්ඩ්මන්ගේ ඝාතනයට සිම්සන් වරදකරු යැයි 1994 දී සමස්ත ඇමරිකානුවන්ගෙන් 66% ක් විශ්වාස කළ අතර 2014 වන විට එම ප්‍රතිශතය 83%ක් දක්වා වර්ධනය විය.

ඒ කෙසේ වෙතත් කිසිවක් ස්ථිරව කිව නොහැක. මෙම ඝාතනයට සිම්සන් සම්බන්ධ වූ බවට සාක්ෂි ඕනෑවටත් වඩා ඇති නමුත් එක්සත් ජනපදයේ එකල පැවති විවෘත ජාතිවාදී ආකල්පයන්ද නොසලකා හැරිය නොහැක. සැබැවින්ම එය මෙම නඩුවේ තීන්දුව උඩු යටිකුරු කිරීමට සමත් වූ ප්‍රධානතම සාධකය විය.

කෙසේ වෙතත්  සිම්සන් නිදොස් කොට නිදහස් වී වසර ගණනාවකට පසු ගෝල්ඩ්මන්ගේ පියා සිවිල් උසවියකදී ගොනු කල නඩුවකින් සිම්සන් ඔහුගේ හිටපු බිරිඳ වන නිකොල් සහ ගෝල්ඩ්මන්ගේ ඝාතනයන්ට වරදකරු බවට ජූරි සභාව තීන්දු කළ අතර ඔහුට ඩොලර් මිලියන 33.5 ක මුදලක් එම පවුල් සඳහා ගෙවීමට නියම විය.

එමෙන්ම 2007 දී ඔහු ලාස් වේගාස්හිදී  සන්නද්ධ කොල්ලකෑමේ සහ පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අතර පසුව ඊට වරදකරු වී වසර 33ක සිරදඬුවමක් නියම විය. ඒ අනුව ඔහු නෙවාඩා හි ලොව්ලොක් වැරදි කරුවන් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයේ වසර 9 ක් ගත කළ අතර 2017 ඔක්තෝබර් 1 දින ඉන් නිදහස් වීමට ඔහු සමත් විය. වර්තමානයේ 74 හැවිරිදි සිම්සන් බලධාරීන්ගෙන් අධීක්ෂණය යටතේ ලාස් වේගාස් හි ජිවත් වේ.

විශ්මිත ඉතිහාසය
සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - දෙවන කොටස (American Crime Story - Part Two) - Your Choice Way
පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා අපරාධය සිදු වූ ස්ථානයේ තිබී සොයා ගත් ආකාරයේ අත් වැසුම් ඊට පෙර සිම්සන් විසින් පැළඳ සිටි ආකාරය ඉදිරිපත් කරමින්

සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - දෙවන කොටස (American Crime Story - Part Two) - Your Choice Way
ඔහුගේ නිදහස් වීම New York post පුවත්පතේ පළවූ අයුරු

සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - දෙවන කොටස (American Crime Story - Part Two) - Your Choice Way
අපරාධ ස්ථානයේ තිබී හමුවූ සාක්ෂි

සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - දෙවන කොටස (American Crime Story - Part Two) - Your Choice Way
සිම්සන් සහ නිකෝල්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - දෙවන කොටස (American Crime Story - Part Two) සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - දෙවන කොටස (American Crime Story - Part Two) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2021 Rating: 5

0 comments:

Post a Comment