Your Choice Way

ජිතේන්ද්‍ර සහ ඉන්දිරා - ආදරය වෙනුවෙන් සිය ජාතියට සහ ආගමට එරෙහි වූ ඉන්දීය රාජකීය යුවළ (Jitendra and Indira)

ජිතේන්ද්‍ර සහ ඉන්දිරා - ආදරය වෙනුවෙන් සිය ජාතියට සහ ආගමට එරෙහි වූ ඉන්දීය රාජකීය යුවළ (Jitendra and Indira) - Your Choice Way
1913 අගෝස්තු මස 25 වන දින කෙටි විවාහ උත්සවයකින් අනතුරුව තරුණ යුවළක් ලන්ඩනයේ පැඩිංටන්හි පිහිටි විවාහ රෙජිස්ටර් කාර්යාලයෙන් පිටව ගියහ. මේ මනාලයා ඉන්දියානු කුමාරයෙකුගේ සහෝදරයෙකු වූ අතර ඔහුගේ මනාලිය ඉන්දියාවේ සිටි දෙවන බලවත්ම පාලකයාගේ දියණිය විය. ඔවුන්ගේ ආදරය හා සම්බන්ධතාවය ඉන්දියාවේ පැවති සෑම සම්ප්‍රදායක්ම බිඳ දැමූ හෙයින් ඔවුන්ට මෙලෙස හොර රහසේ විවාහ වීමට සිදු විය.

එය බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව පාලනය කරනු ලැබූ කාල පරිච්ඡේදයයි. එම කාලය වෙද්දී බ්‍රිතාන්‍යයන් සෘජුවම ඉන්දියානු උප මහද්වීපයෙන් තුනෙන් දෙකක් පාලනය කරනු ලැබීය. ඉතිරි කොටස බ්‍රිතාන්‍ය කිරීටයට පක්ෂපාතී බව දිවුරුම් දුන් ස්වදේශික කුමාරවරුන් විසින් පාලනය කරන ලදී. මෙවැනි ස්වදේශික ප්‍රාන්ත 600ක් පමණ එම කොටස තුල දක්නට ලැබුණි.

අප කතා නායකයා වන ජිතේන්ද්‍ර නාරායන් කුමරු 1886 දී බටහිර බෙංගාලයේ කූච් බෙහාර් ප්‍රාන්තයේ මහාරාජා නිපේන්ද්‍ර නාරායන් සහ මහරාණි සුනිති දේවිගේ දෙවන පුත්‍රයා ලෙස උපත ලබන ලදී. අනෙක් බොහෝ ඉන්දියානු රාජකීයයන් මෙන්ම ඔහුද අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේදී ය. එහිදී ඔහු ඊටන් විද්‍යාලයටත් ඉන් පසුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයටත් ඇතුළත් විය. එහිදී ඔහු ඔහුගේ පියා සහ වැඩිමහල් සහෝදරයා මෙන්ම වෘත්තීය පෝලෝ මෙන්න පළමු පන්තියේ ක්‍රිකට්ද ක්‍රීඩා කරන ලදී.

එමෙන්ම ඉන්දියාවේ අනෙක් රාජකීයයන් මෙන්ම ජිතේන්ද්‍ර සහ ඔහුගේ පවුලේ පිරිස ගිම්හාන සමය තුළ යුරෝපයේ සහ ලන්ඩනයේ සංචාරය කළ අතර එහිදී ඔවුන් ඉංග්‍රීසි රාජකීයයන් සහ රදළ පැලැන්තිය සමඟ නැටුම්, සාද හා උත්සව සදහාද සහභාගී විය. එහෙත් 1911 වසරේදී ජිතේන්ද්‍රගේ පියා එංගලන්තයේ බෙක්ස්හිල්-ඔන්-සී හිදී මිය ගිය අතර ඔහුගෙන් පසුව ජිතේන්ද්‍රගේ වැඩිමහල් සහෝදරයා වූ රාජේන්ද්‍ර පාලකයා ලෙස පත් විය.

අප කතා නායිකාව වන ඉන්දිරා රාජේ කුමරිය 1892 දී වර්තමාන ගුජරාටයේ බාරෝඩා ප්‍රාන්තයේදී උපත ලබන ලදී. ඇය බාරෝඩාවේ මහාරාජා ගයික්වාඩ් වූ III වන සයාජිරාඕගේ එකම දියණිය වූ අතර ඔහු ඉන්දියාවේ දෙවන බලවත්ම කුමරාද විය. ඔහු වාර්ෂිකව රුපියල් මිලියන 13.5 ක ආදායමක් සහිතව වර්ග සැතපුම් 8,000 ක (වර්ග කි.මී. 21,000) භූමියක් පාලනය කරන ලදී. 

ලක්‍ෂි විලස් නම් වලව්වේ සිතා ගැනීමටවත් බැරි තරම් සැප සම්පත් රැසක් මැද ඉන්දිරා සිය සහෝදරයන් සමඟ හැදී වැඩුණි. අධ්‍යාපනය පිළිබඳව ඇයගේ දෙමාපියන්ගේ තිබූ ප්‍රගතිශීලී අදහස් හේතුවෙන් පාසලට සහ විශ්ව විද්‍යාලයට ගිය ප්‍රථම ඉන්දියානු කුමරිය බවට පත් වීමටද ඇය සමත් වූවාය. ජිතේන්ද්‍ර මෙන්ම ඇයද එංගලන්තයේ සහ යුරෝපයේ සංචාරය කරමින් හැදී වැඩුනු අතර ඇයගේ පියා එංගලන්තය තුලද ඉතා ජනප්‍රිය හා බලවත් පුද්ගලයෙකු වූ අතර ඇයගේ මවද බොහෝ බ්‍රිතාන්‍ය පුණ්‍යායතන සඳහා අනුග්‍රහය දැක්වනු ලැබීය. වැඩිවියට පත් වෙද්දී ඉන්දිරා, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව යන රටවල් දෙක තුළම ප්‍රසිද්ධියට පත් වූයේ ඇයගේ සුන්දරත්වය නිසා සහ බුද්ධිමත් බව නිසාය.

ඉන්දිරාගේ මේ සුන්දර පෙනුම නිසා ඉන්දියානු කුමාරවරුන් කිහිප දෙනෙකුගේම අවධානයට ඇය ලක් විය. ඒ අතුරින් ග්වාලියර්හි මහරජ වූ මාධෝ රාඕ සින්ඩියා ඉදිරියෙන් සිටින ලදී. ග්වාලියර්ද ඉන්දියානු ස්වදේශික රාජ්‍යයන්ගෙන් පොහොසත්ම, විශාලතම සහ බලවත්ම එකක් විය. මේ හේතුව නිසාම ඔහුගේ සහ ඉන්දිරාගේ සම්බන්ධය පරිපූර්ණ විවාහ සන්ධානයක් බවට පත් වනු ඇත.

නමුත් මෙම මාධෝ රාඕ සින්ඩියා ඇයට වඩා අවුරුදු විස්සක් පමණ වැඩිමල් වූ අතර ඔහු ඒ වන විටත් විවාහ වී සිටි අයෙකු විය. ඔහුට අවශ්‍ය වූයේ ඇයගෙන් තම පරම්පරාව ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය පිරිමි උරුමක්කාරයෙකු ලබා ගැනීම පමණි. එහි කිසිදු ආදරයක් නොතිබුණු අතර හුදෙක් මෙම විවාහය ව්‍යාපාර ගනුදෙනුවක් පමණක් විය. මේ නිසා ඉන්දිරා මහත් ශෝකයෙන් පසු වූ අතර එහෙත් ඇගේ දෙමාපියන්ට මෙම අවස්ථාව ප්‍රතික්ෂේප කළ නොහැකි තරමේ හොඳ එකක් විය. ඒ අනුව 1910 දී ඉන්දිරාට වයස අවුරුදු 18 ක් වූ විට ඇයගේ සහ මාධෝ රාඕ සින්ඩියාගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කරන ලදී.

ඉන්දිරාගේ විවාහ ගිවිස ගැනීමෙන් වසරකට පසු එනම් 1911 දෙසැම්බරයේදී, ඉන්දියාවේ රාජකීයයන් සහ වංශවත් අය සියල්ලෝම ඉන්දියාවේ නව අගනුවර වන දිල්ලි හි දිල්ලි දර්බාර් වෙත රැස් විය. එහිදී ඔවුන් පස්වන ජෝර්ජ් රජු ඉන්දියාවේ අධිරාජ්යයා ලෙස පත් වීම සමරනු වස් ඉන්දියානු රාජකීය ශෛලියෙහි ජන සම්මේලනයක් පවත්වනු ලැබීය. දහස් ගණන් සහභාගී වූ මෙම උත්සවයේදී ඉන්දියාවේ සියලුම පාලකයින් අධිරාජ්‍යයාට ගෞරව දැක්වීම සිදු කරනු ලැබීය.

ඉන්දිරා සහ ජිතේන්ද්‍ර ප්‍රථම වරට මුණගැසුණේ මෙහිදීය. ඔවුන් මුණගැසුණේ කෙසේද සහ එම උත්සවයේ ඔවුන් එකට ගත කළේ කෙසේද යන්න පිළිබඳ එතරම් සදහනක් නොමැති වුවත් ඔවුන්ගේ ආදර අන්දරය ආරම්භ වූයේ ඒ මොහොතේදී ය. ඉන් පසු ඉන්දිරා තම සිත හදා ගත් අතර ඒ වන විටත් ඇය ජිතේන්ද්‍ර සමඟ ආදරයෙන් බැඳී සිටින ලදී. මේ නිසා වෙන කිසිවෙකු සමඟ විවාහ නොවන බවට ඇය අධිෂ්ඨාන කර ගත්තාය.

තමන් විවාහ වීම සඳහා වෙන කෙනෙක් සොයා ගත් නිසා ඇගේ දෙමව්පියන් මාධෝ රාඕ සින්ඩියා සමඟ තිබූ විවාහය බිඳ දමනු ඇතැයි ඉන්දිරාට සුළු බලාපොරොත්තුවක් තිබුණි. මේ හේතුව නිසා ඇදහිය නොහැකි තරම් ධෛර්යයකින් යුතුව මේ දහඅට හැවිරිදි කුමරිය තමා විවාහ ගිවිසගත් සහකරුට තමාව විවාහ කර නොගන්නා ලෙස ලිපියකින් ලියා යැව්වාය. ඇගේ දෙමව්පියන්ට මේ ගැන ආරංචි වූයේ විවාහ මංගල්‍ය සූදානම් කරමින් සිටින විට මාධෝ රාඕ සින්ඩියා විසින් එවනු ලැබූ විදුලි පණිවුඩයක් ලැබුණු විටදී ය. එහි සදහන්ව තිබුණේ "කුමරිය ඇගේ ලිපියේ ලියා තිබූ දෙයින් අදහස් කරන්නේ කුමක්ද?" ලෙස පමණි.

ඉන් පසු ඉන්දිරාට ඇයගේ දෙමාපියන් විසින් පවුලේ ගෞරවය සහ එයින් ඇති විය හැකි අපකීර්තිය පිළිබඳ කියා විශාල ලෙස බැණ වදින ලදී. නමුත් ඇය බලාපොරොත්තු වූ දෙය අවසානයේදී සිදු වෙන ලදී. මෙහිදී මධෝ රාඕ ආදර්ශවත් ලෙස හැසිරුණු අතර කිසිදු කලබලයක් ඇති කර නොගෙන මහාරාජා ගයික්වාඩ්ට අවබෝධතා ලිපියක් ලියා වෙනත් තැනකින් වෙනත් බිරිඳක් ඔහු සොයා ගත්තේය. දැන් ඉන්දිරාට ඇති ගැටලුව වූයේ ජිතේන්ද්‍ර කුමරු සමඟ විවාහ වීමට ඉඩ දෙන ලෙස ඇගේ දෙමාපියන්ට ඒත්තු ගැන්වීමයි. ඇය සහ ජිතේන්ද්‍රගේ මාවතේ ගැටලු රාශියක් පැවතුනි.

මෙහි පළමු ගැටලුව වූයේ ඔවුන්ගේ ආගම සහ ජාතිය ය. ගයික්වාඩ් සහ ඔහුගේ පවුල මරතා සම්භවයක් ඇති අතර දැඩි ඕතඩොක්ස් හින්දු භක්තිකයන් ය. එහෙත් කුච් බෙහාර්වරුන් විසින් හින්දු ආගමේ ඒක දේවවාදී අනුවාදයක් වූ බ්‍රහ්ම සමාජය ක්‍රියාත්මක කළහ. එමෙන්ම ජිතේන්ද්‍රගේ මව වූ මහරානි සුනිති මහා බ්‍රහ්ම සමාජ දාර්ශනිකයෙකු සහ නායකයෙකු වූ කේෂාබ් චන්ද්‍ර සෙන්ගේ දියණියක් විය. එමෙන්ම ඔවුන් බෙංගාල ජාතිකයන් විය.

දෙවන ගැටලුව වූයේ ප්‍රමුඛතාවය සහ කීර්තිනාමය පිළිබඳ ගැටලුවයි. ඉන්දියාවේ ප්‍රාන්ත වල කුමාරවරුන්ගේ ධනය, ප්‍රමාණය, ඉතිහාසය සහ වැදගත්කම අනුව බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ව දැඩි ලෙස ධූරාවලියකට යටත් කරන ලද අතර, මෙම ප්‍රමුඛතාවය කුමාරයකුගේ ජීවිතයේ සෑම දෙයක්ම පාහේ තීරණය කරන ලදී. මෙම ධූරාවලියට අනුව බාරෝඩාවේ ගයික්වඩ්වරුන් යනු ඉන්දියාවේ දෙවන කීර්තිමත්ම කුමාරවරුන් ය. නමුත් කූච් බෙහාර්හි මහාරාජා මෙහි සිටියේ හතළිස් හය වන ස්ථානයේය. මෙයත් ඔවුන්ගේ සම්බන්ධතාවයට එල්ල වූ තවත් මරු පහරකි.

ඊට අමතරව වැදගත්ම දෙය නම් ඉන්දිරාගේ පියා ජිතේන්ද්‍රව සැලකුවේ බීමත්ව හැසිරෙන සල්ලාල පිරිමි ළමයෙකු  (සාධාරණව කිවහොත් එය සම්පුර්ණයෙන්ම වැරදි නැත) ලෙසය. ඊට අමතරව ඇයගේ පියා ඔහුව සිංහාසනයට පත් වීමේ බලාපොරොත්තුවක් නැති පුද්ගලයෙකු ලෙසද, පොදුවේ ඔහුගේ පවුල සැලකුවේ බටහිරකරණයට ලක් වූ හා අපකීර්තියට පත් වූ අය ලෙස ය.

කෙසේ වෙතත් ඊළඟ වසර දෙක තුළදී ජිතේන්ද්‍ර සහ ඉන්දිරා පෞද්ගලිකව කිහිපවරක් මුණ ගැසෙන ලදී. මේ හේතුව නිසා මහාරාජා ගයික්වාඩ් ජිතේන්ද්‍රව බාරෝඩාවට කැඳවා ඔහුගේ දියණිය සමඟ විවාහ වීම සඳහා කිසිදු දිනෙක සිහින නොදකින ලෙස තර්ජනය කරන ලදී. නමුත් විවාහය තවදුරටත් ප්‍රතික්ෂේප කිරීම මගින් ඉන්දිරා පැන යාමට හැකි බවත් හා එමගින් ඊටත් වඩා විශාල අපකීර්තියක් ඇති විය හැකි බවත් ඔවුන් අවබෝධ කර ගන්නා ලදී. මේ හේතුව නිසා 1913 වසන්තයේ දී ඉන්දිරාගේ දෙමාපියන් අවසානයේදී යටත් වූ අතර බාරෝඩා හි ඉන්දිරා කුමරියගේ සහ කූච් බෙහාර්හි ජිතේන්ද්‍රගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කරන ලදී.

මේ වන විට ජිතේන්ද්‍රගේ සහ ඉන්දිරාගේ ආදර සම්බන්ධය ඉන්දියාවේ සහ බ්‍රිතාන්‍යයේ විශාල ලෙස ප්‍රසිද්ධියට පත් වී තිබුණු අතර බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත්පත්, විශේෂයෙන් ඩේලි මේල් විසින් මේ පිළිබඳ නිතර වාර්තා කරන ලදී. එමෙන්ම පාඨකයන් ද මේ පිළිබඳව කියවීමට මහත් ආශාවක් දක්වන ලදී.

නමුත් 1913 මැයි මස 5 වෙනිදා උදෑසන පුවත්පත් වල පලවී තිබූ පුවතකින් පාඨකයින් විශ්මයට පත් වන ලදී. එහි සදහන් වූයේ ජිතේන්ද්‍රගේ සහ ඉන්දිරාගේ විවාහ උත්සවය පැවැත්වීමට දින දෙකකට පෙර එය අත්හිටුවා ඇති බවයි. මහාරාජා ගයික්වාඩ් යළි තම අදහස වෙනස් කරගෙන ඇත. එමෙන්ම ඔහු තම දියණියද රැගෙන ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇත. නමුත් මේ කිසිදු දෙයකට ඉන්දිරාගේ අදහස වෙනස් කිරීමට නොහැකි විය. වාර්තාකරුවන් ඇයගෙන් මේ පිළිබඳ විමසූ විට ඇය එකහෙලාම මෙසේ පැවසුවාය.

"මම ජිතේන්ද්‍ර කුමරු සමඟ බොහෝ කලක සිට විවාහ ගිවිසගෙනයි සිටින්නේ. එමෙන්ම මම ඔහු සමඟ විවාහ වීමටත් ඉතාම කැමැත්තෙන් තමයි පසු වෙන්නේ. නමුත් අන්තිම මොහොතේදී මගේ දෙමාපියන් මගේ විවාහය අනුමත කිරීම ප්රතික්ෂේප කළා".

ඉන්දිරාගේ මෙම ප්‍රකාශයත් සමග ඇය තම පියාට විශාල පීඩනයක් එල්ල කිරීමට සමත් වූවාය. මේ වන විට ඇයගේ සහ ජිතේන්ද්‍රගේ ආදර කතාව ඉන්දියාව සහ බ්‍රිතාන්‍යයේ බොහෝ දෙනාගේ හදවත් තුළ ලැගුම් ගෙන තිබූ අතර ඉන්දිරාගේ මෙම ප්රකාශය සමඟ නිල වශයෙන්ම ඇයගේ පියා මෙම ආදර කතාවේ දුෂ්ටයා බවට පත් කර තිබේ.

එමනිසා ඊළඟ අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස් හි පවුලේ නිවාඩුවක් ගත කරමින් සිටියදී, මහාරාජා ගෙක්වාඩ් ඉන්දිරාට ලන්ඩනයට ගොස් නිහඬව ජිතේන්ද්‍ර සමඟ විවාහ වීමට කැමැත්ත ලබා දුන්නේය. කෙසේ වෙතත් ඇය තනිවම ලන්ඩනය බලා ගිය අතර විවාහය සඳහා ඇගේ පවුලේ එක සාමාජිකයෙකු හෝ විවාහයට පැමිණියේ නැත. එහෙත් මේ කිසිවක් පිළිබඳ ඉන්දිරා තැකීමක් කළේ නැත.

ලන්ඩනයට පැමිණි ඉන්දිරා බකිංහැම් පැලස් හෝටලයේ ජිතේන්ද්‍ර සහ ඔහුගේ පවුලේ අය සමඟ නතර විය. දැඩි ලෙස රෝගාතුරව සිටි ජිතේන්ද්‍රගේ සහෝදරයා වූ මහාරාජා රාජේන්ද්‍රට මෙයට සහභාගී  වීමට නොහැකි විය.

1913 අගෝස්තු 25 දින ජිතේන්ද්‍ර කුමරුගේ සහ ඉන්දිරා කුමරියගේ විවාහය සිදු විය. එම දිනය උත්සව තුනකට බෙදා තිබුණි. පළමුවැන්න එදින උදෑසන බකිංහැම් පැලස් හෝටලයේදී සිදු වූ අතර එහිදී ඉන්දිරා බ්‍රහ්ම සමාජයට පිළිගනු ලැබීය. ඉන්පසු පැඩිංටන් රෙජිස්ට්ර් කාර්යාලයේදී දෙවන කුඩා උත්සවයක් පවත්වන ලදී. එහිදී ඔවුන්ට සුබ පැතීම සදහා 300ක් පමණ දෙනා සහභාගී විය. ඉන්පසු අවසන් උත්සවය යළිත් බකිංහැම් පැලස් හෝටලයේදී පවත්වන ලදී. 

බ්‍රිතාන්‍යය රජතුමා සහ රැජිනගෙන් ඇතුළුව ඉන්දියාව, යුරෝපය සහ බ්‍රිතාන්‍යයේ බොහෝ දෙනෙකුගෙන් ඔවුන්ට සුබ පැතුම් ගලා ආවේය. එමෙන්ම ඉන්දිරා සහ ජිතේන්ද්‍රගේ නිල මංගල ඡායාරූපය ඉන් දින කිහිපයකට පසු ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේද පළ විය. 

ජිතේන්ද්‍ර සහ ඉන්දිරා සිය මධුසමය ගත කළේ බර්ක්ෂයර්හි මේඩන්හෙඩ් හි ය. නමුත් ඔවුන්ගේ මධුසමය ගත කිරීමේ සතුට වැඩි කල් පැවතුනේ නැත. එයට හේතු වූයේ විවාහයෙන් සති තුනකට පසු ජිතේන්ද්‍රගේ සොහොයුරා වූ මහරාජා රාජේන්ද්‍ර එංගලන්තයේ බටහිර වෙරළ තීරයේ ක්‍රොමර්හිදී අධික මත්පැන් පානය හේතුවෙන් මිය යාමයි. ඒ අනුව ජිතේන්ද්‍ර සහ ඉන්දිරා කූච් බෙහාර්හි මහාරාජා සහ මහාරාණි බවට පත් විය. එමෙන්ම ඔවුන් දැන් මිලියන ගණනක ජනතාවකගේ පාලකයන් වූ අතර වහාම රාජේන්ද්‍රගේ සියලු රාජකාරි ජිතෙන්ද්‍ර විසින් භාර ගන්නා ලදී.

මහාරාණි ඉන්දිරා ඉක්මනින්ම ඇගේ දෙමාපියන් සමඟ යළි හිතවත් වූ අතර සමහර විට ඒ ඇගේ නව තනතුර නිසා විය හැක. ඒ අනුව ඇය තම පියා සමඟ යළි සාදවලට සහභාගී වන අයුරුද වැඩි කල් නොගොස් දැක ගැනීමට හැකි විය. ජිතේන්ද්‍ර, තවත් බොහෝ ඉන්දියානු කුමාරවරුන් මෙන් 1914දී පළමු ලෝක යුද්ධය ආරම්භයේදී ඉන්දියානු හමුදාව සමඟ ප්‍රංශයට ගොස් ලුතිනන්වරයෙකු වී, යුද්ධයෙන් පසුව නයිට් පදවියක්ද හිමි කර ගන්නා ලදී. එමෙන්ම මේ දෙපළට ළමුන් පස් දෙනෙකු සිටින ලදී.

එහෙත් අවාසනාවන්ත ලෙස මත්පැන් පානය කිරීමේ ශාපය කූච් බෙහාර්හි රාජකීය නිවසට නැවත වරක් පහර දුන් අතර  ඔවුන් විවාහ වී වසර 9 ක් ගත වූ පසු ජිතේන්ද්‍ර 1922 දී මිය යන ලදී. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 36 කි. ඔහුගේ 30 හැවිරිදි වැන්දඹුව වන ඉන්දිරා ඇගේ හත් හැවිරිදි පුත්රයා සඳහා රජකමට පත් වූ අතර, කිසි විටෙකත් සම්ප්රදායන් රඳවා තබාගෙන රාජකීය වැන්දඹුවක් ලෙස සීමා නොවී කටයුතු කරන ලදී. ඒ. අනුව 1968 ඇය මිය යන තෙක්ම ඇය සාද, උත්සව ආදියට බොහෝ ලෙස සහභාගී වූවාය.

විශ්මිත ඉතිහාසය
ජිතේන්ද්‍ර සහ ඉන්දිරා - ආදරය වෙනුවෙන් සිය ජාතියට සහ ආගමට එරෙහි වූ ඉන්දීය රාජකීය යුවළ (Jitendra and Indira) - Your Choice Way
1901 දී කුච් බෙහාර්හි මහාරාජා නිපේන්ද්‍රගේ පුතුන් සිව්දෙනා

ජිතේන්ද්‍ර සහ ඉන්දිරා - ආදරය වෙනුවෙන් සිය ජාතියට සහ ආගමට එරෙහි වූ ඉන්දීය රාජකීය යුවළ (Jitendra and Indira) - Your Choice Way
1900 දී බාරෝඩාවේ III වන සයජිරාඕ ගයික්වඩ් සහ ඔහුගේ දරුවන්

ජිතේන්ද්‍ර සහ ඉන්දිරා - ආදරය වෙනුවෙන් සිය ජාතියට සහ ආගමට එරෙහි වූ ඉන්දීය රාජකීය යුවළ (Jitendra and Indira) - Your Choice Way
මධෝ රාඕ සින්ඩියා

ජිතේන්ද්‍ර සහ ඉන්දිරා - ආදරය වෙනුවෙන් සිය ජාතියට සහ ආගමට එරෙහි වූ ඉන්දීය රාජකීය යුවළ (Jitendra and Indira) - Your Choice Way
ජිතේන්ද්‍ර සහ ඉන්දිරා. මෙම ඡායාරූපය බොහෝ පුවත්පත් වල සහ ඩේලි මිරර් කවරයේ පවා පළ විය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජිතේන්ද්‍ර සහ ඉන්දිරා - ආදරය වෙනුවෙන් සිය ජාතියට සහ ආගමට එරෙහි වූ ඉන්දීය රාජකීය යුවළ (Jitendra and Indira) ජිතේන්ද්‍ර සහ ඉන්දිරා - ආදරය වෙනුවෙන් සිය ජාතියට සහ ආගමට එරෙහි වූ ඉන්දීය රාජකීය යුවළ (Jitendra and Indira) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, September 21, 2021 Rating: 5

0 comments:

Post a Comment