සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උදව් කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - දෙවන කොටස ( India - Part Two)

සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උදව් කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - දෙවන කොටස ( India - Part Two) - Your Choice Way
1857 දී, එසේත් නැතිනම් ප්ලේසි හි ක්ලයිව්ගේ ජයග්‍රහණයෙන් සියවසකට පසුව නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගමේ හමුදාවේ සේවය කළ ඉන්දියානු ‘සිපෝයිස්’ භටයන් සමාගම් පාලනයට එරෙහිව කැරැල්ලක් ආරම්භ කරන ලදී. 1857 මැයි 10 දා බෙංගාලයේ ගරිසන් නගරයේදී ආරම්භ වූ එම කැරැල්ලට ඉන්දීය සොල්දාදුවන්ට අමතරව සිවිල් වැසියන්ද එක් වූ අතර අවසානයේ මෙය උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ පුරා වේගයෙන් ව්‍යාප්ත විය.

සමහර ස්වදේශික පාලකයින් සමාගමේ බලපෑම් වලින් මිදීමට සහ සිය සිහසුන යළි ලබා ගැනීමට මෙම කැරැල්ල අවස්ථාවක් කර ගන්නා ලදී. මරාතා අධිරාජ්‍යයේ නායකයාව සිටි II වන නානා සහීබ්ට බ්‍රිතාන්‍යයන් විසින් ඔහුගේ ප්‍රදේශය ඈදා ගැනීමත් සමග සියලු බලතල අහිමි වී යන ලදී. එයට පළිගැනීමක් ලෙස ඔහු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගෙන් කාන්පූර් බේරා ගැනීමට සහ දිවි ගලවා ගත් අයව මරා දැමීමට ඉන්දියානු සටන්කරුවන්ට නායකත්වය ලබා දෙන ලදී. 

ඊට අමතරව ජන්සිහි මහා රාණි වූ ලක්‍ෂ්මීබායිට දරුවන් නොසිටි අතර ඇයගේ අනුප්‍රාප්තිකයා වූයේ ඇය විසින් දරුකමට හදාගත් පුත්‍රයෙකි. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් පැනවූ 'අනුප්‍රාප්තිකයෙකු නැති වීමේ මූලධර්මය' යටතේ ඇයට සහ ඇය දරුකමට හදාගත් පුතුගේ රාජ්‍යත්වය 1854දී ප්‍රතික්ෂේප කරන ලදී. මේ හේතුව නිසා ඇයද ඉතා දැඩි ලෙස බ්‍රිතාන්‍යය පාලනයට විරුද්ධව ක්‍රියා කළ අතර පසුව ඇය ජාතික වීරයකු ලෙසද හදුන්වනු ලැබීය. ඊට අමතරව බ්‍රිතාන්‍යයන් සමඟ ‘අනුබද්ධ සන්ධානය’ යටතේ සිටි ඉන්දෝර්හි හොල්කාර් වැනි සමහර පාලකයින්ද කැරැල්ලට සහභාගී විය. එපමණක් නොව 81 හැවිරිදි මෝගල් අධිරාජ්‍යයා වූ බහදූර් ෂා සෆර් පවා තමා මුළු ඉන්දියාවේම අධිරාජ්‍යයා බව ප්‍රකාශයට පත් කරමින් මෙම කැරැල්ලට සහභාගී විය. නමුත් ඔහු එසේ සිදු කළේ සටන්කාමීන් විසින් දිල්ලිය අල්ලා ගෙන ඔහුට එසේ කිරීමට බල කිරීමෙන් පසු ඉතා අකමැත්තෙනි.

ඒ කෙසේ වෙතත් බොහෝමයක් ස්වදේශික පාලකයින් තවමත් සමාගම සමඟ මිත්‍රශීලීව සිටි අතර ඔවුන් තමන්ගේ සම්පත් හා භටයින් කැරැල්ල මර්ධනය සදහා බ්‍රිතාන්‍යයන් වෙත ලබා දෙන ලදී. හයිද්‍රාබාද්හි නිසාම් තම දකුණේ බලය සහතික කර ගැනීමට සමාගමට ලක්ෂ ගණන් මුදල් හා සම්පත් පරිත්‍යාග කරන ලදී. ඊට අමතරව පටියාල, කපුර්තලා, ජින්ද් සහ නාභා යන ප්‍රදේශ වල රජවරුන් පෞද්ගලිකවම බ්‍රිතාන්‍යයන්ට සහයෝගය දැක්වීම සඳහා භට පිරිස් හා සැපයුම් සපයමින් පන්ජාබය තුළ තම බලය තහවුරු කර ගන්නා ලදී. මේ හේතුව නිසා  කැරැල්ල මහාද්වීපයේ උතුරට පමණක් සීමා වූ අතර ස්වදේශීය පාලකයන්ට ස්තූතිවන්ත වන්න එය ව්‍යාප්ත වීමද වැලකුණු අතර බ්‍රිතාන්‍යයන්ට තම රටෙන් සහාය එන තුරු එයට මුහුණ දීමටද හැකි විය.

1857 මැද භාගය වන විට අමතර බ්‍රිතාන්‍ය හමුදාවක් ඉන්දියාවට පැමිණි අතර ඔවුන් යළිත් තමන්ට අහිමි වූ භූමිය අත්පත් කර ගැනීමට පටන් ගත්හ. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී ඔවුන් දිල්ලිය වැටලූ අතර ඉන්පසු මෝගල් අධිරාජ්යයා අල්ලාගෙන, ඔහුව බලයෙන් පහ කර, දේශද්රෝහී ක්‍රියාවන්ට වැරදිකරුවෙක් කොට බුරුමයට පිටුවහල් කළේය. කාන්පූර් සහ ලක්නව් නැවත අල්ලා ගනු ලැබීමේදී ඔවුන් අතිශය කෲර ක්‍රම භාවිතා කරනු ලැබීය. එහිදී ඔවුන් මුස්ලිම්වරුන් එල්ලා මැරීමේදී ඌරන්ගේ සමෙන් සාදන ලද පටි භාවිතා කිරීම සහ කාලතුවක්කු තුළට ඉන්දියානුවන් දමා වෙඩි තැබීම වැනි දරුණු සාහසික ක්‍රියාවන් සිදු කරන ලදී. ඒ අනුව ඊළග වසර වෙද්දී කැරැල්ල අවසන් වූ අතර බ්‍රිතාන්‍යයන් සුපුරුදු පරිදි නැවත සිය පාලනය ආරම්භ කළහ.

සැබැවින්ම මයිසූර්, කාශ්මීරය, හයිද්‍රාබාද් වැනි ප්‍රදේශ වල ස්වදේශික පාලකයන්ගේ සහයෝගය නොලැබුණේ නම් බොහෝ දුරට මෙම කැරැල්ල සාර්ථක වන්නටද ඉඩ තිබුණි. මේ හේතුව නිසා ආණ්ඩුකාර ජෙනරාල් චාල්ස් කැනින් ඔවුන් ලබා දුන් එම සහාය හැඳින්වූයේ "කුණාටුවක දියකඩනයක්" ලෙසය. ඒ අනුව වෙන කවරදාටත් වඩා බ්‍රිතාන්‍යයන්  මෙම පාලකයන් මිතුරන් ලෙස කොතරම් වටිනවාද යන්න සහ ඔවුන් ඉන්දියාවේ 'ස්වාභාවික' පාලකයින් ලෙස කෙතරම් වැදගත්ද යන්න පිළිබඳ අවබෝධ කර ගන්නා ලදී.

කැරැල්ලෙන් පසු නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගම ඉන්දියාව වැනි ඔවුන්ගේ විශාල වැදගත් වත්කමක් පාලනය කිරීමේ සිය නොහැකියාව ඔප්පු කර පෙන්වීය. මේ හේතුව නිසා ඉන්දියාවේ පාලනය සහ ධනය බ්‍රිතාන්‍යයන් අත තබා ගැනීම සහතික කිරීම සඳහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විසින් 1858 අගෝස්තු 2 දින "ඉන්දියානු පනත" නම් පනතක් සම්මත කර ගන්නා ලදී. එමගින් නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම බල රහිත කොට එය සතු සියලු දේපල, වත්කම්, ඉඩම් සහ කාර්යයන් බ්‍රිතාන්‍යය ඔටුන්න යටතට පැවරුණි. ඒ අනුව ඉන්දියාව "බ්‍රිතාන්‍ය රාජ්" (British Raj) නමින් වික්ටෝරියා රැජින සහ බ්‍රිතාන්‍ය රජය භාරයට ගනිමින් නව යුගයක් ආරම්භ විය.

මෙසේ අලුත් වූ පාලනයද, ඊට පෙර නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම පාලනය කරන ලද ඉන්දියාවේ කොටස්ම පාළනය කරන ලදී. ඒ අනුව ඔවුන් දළ වශයෙන් ඉන්දියාවෙන් පහෙන් තුනක් සහ එහි ජනගහනයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් පාළනය කරන ලදී. ඒ අනුව එම ප්‍රදේශ පාලනය සඳහා රැජිණ විසින් සහ බ්‍රිතාන්‍යය නිත්‍ය නියෝජිතයාගේ උපදෙස් මත ඉන්දියානු කවුන්සිලය මගින් පන්ජාබ් සහ බොම්බාය වැනි ප්‍රදේශවලට තාවකාලික ආණ්ඩුකාරවරුන් පත් කරනු ලැබූ අතර ඔවුන් මෙම පත් කිරීම් සිදු කරනු ලැබුවේ ඉන්දියානු ජනතාවගෙන් කිසිදු වීමසීමකින් හෝ මැතිවරණයකින් තොරවය.

ඉන්දියාවේ ඉතිරි තුනෙන් දෙකක කොටස තවමත් එහි ස්වදේශික පාලකයන් සතුව පැවතුනි. එම ප්‍රදේශ ඔවුන්ට පාලනය කිරීමේ අයිතිය 1858 නොවැම්බර් 1 දින වික්ටෝරියා රැජින විසින් නිකුත් කරන ලද "ඉන්දියාවේ කුමාරවරු, අධිපතීන් සහ මහජනතාව පිළිබඳ ප්‍රකාශය" මගින් තහවුරු විය. එමගින් ඉන්දියාව බ්‍රිතාන්‍යය ඔටුන්න යටතට පත් වූ බව ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම මෙම ප්‍රකාශය මගින් තවදුරටත් ඉඩම් ඈදා ගැනීමක් සිදු නොවන බවට පොරොන්දු වූ අතර ඊට අමතරව ‘ස්වදේශික පාලකයන්ගේ අයිතිවාසිකම් වලට, ගෞරවයට හා පිළිගැනීමට ගරු කළ යුතු බවටද එමගින් ප්‍රකාශ කරන ලදී.

මෙම ප්‍රකාශය මඟින් ‘ඉන්දියානු ස්වදේශික රාජ්‍යයන්’ නිර්මාණය වූ අතර බ්‍රිතාන්‍යය තමන්ට අයත් ප්‍රදේශ පාලනය කරන අතර අනෙක් ප්‍රාන්ත 500-600යේ පාලනය එම පාලකයන්ගේ වගකීමක් විය. මෙම 'නාමිකව පමණක් ස්වාධීන' පාලකයන්ට තමන්ගේම භාණ්ඩාගාරයක්, බදු එකතුකිරීම්, සන්නද්ධ හමුදා සහ නීතිමය කටයුතු පාලනය කළ හැකි වූ නමුත්, බ්‍රිතාන්‍ය නියෝජිතයකු ඔවුන්ගේ සෑම උසාවියකම සිටි අතර අවසානයේදී ඔවුන් බ්‍රිතාන්‍ය කිරීටයට පිළිතුරු සැපයීමට බැදී සිටින ලදී.

ඉතිහාසඥ බර්නාඩ් කෝන් පෙන්වා දෙන පරිදි ‘බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ ක්‍රියාත්මක කළේ ධූරාවලිය පිළිබඳ සාමාන්‍ය න්‍යායකි. එහිදී පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබා දී ශ්‍රේණිගත කරනු ලබයි.' ඉන්දියාවේ සියළුම දෙනා තම ස්ථාවරය/තත්ත්වය පිළිබඳ දැන සිටියහ. එමෙන්ම රජය සහ සිවිල් සේවාවද දැඩි ලෙස ධූරාවලියට හසු වූ අතර ඉන්දියාවේ අතිමහත් ජනගහනය කාර්යක්ෂම කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් පැරණි කුල ක්‍රමයද ක්‍රියාත්මක කරන ලදී.  ස්වදේශික ජනපද වල පාලකයන්ටද ඒ ආකාරයෙන්ම මෙම ධූරාවලි සදහා මුහුණ දීමට සිදු විය.

ඒ අනුව 1858 සිට සෑම රාජ්‍යයක්ම සහ එහි පාලකයන්ට ආචාර කල යුතු ආකාරය අනුව ශ්‍රේණිගත කරනු ලැබීය. එනම් රාජකාරී උත්සව අවස්ථාවකදී එම පාලකයාට කොපමණ ආචාර වෙඩි මුර ප්‍රමාණයක් නිකුත් කළ යුතුද යන්න එමගින් තීරණය විය. ඔවුන්ගේ ස්ථානය තීරණය වූයේ අදාල පාලකයාගේ ප්‍රාන්තයේ ප්‍රමාණය, ඔවුන්ගේ ආදායම, එහි ප්‍රාදේශීය වැදගත්කම, ඓතිහාසික වැදගත්කම (මෝගල් අධිරාජ්‍යයේ වැනි) ආදිය අනුවය. ඊට අමතරව අදාල පාලකයා බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් ඉටු කළ ඇති සේවය සහ ඔවුන් බ්‍රිතාන්‍යයන් සමඟ පැවැත්වූ සම්බන්ධතාවයේ ස්වරූපයද ඔවුන්ගේ ස්ථානය තීරණය කිරීමට වැදගත් විය.

උදාහරණයක් ලෙස හයිද්‍රාබාද්හි නිසාම් යනු මෙම පාලකයන්ගෙන් පොහොසත්ම තැනැත්තා වූ අතර ඔහුගේ රාජ්‍යයද විශාලතම රාජ්‍යය විය. එමෙන්ම එයට පොහොසත් ඉතිහාසයක්ද තිබූ අතර ‘අනුබද්ධ සන්ධානය’ යෝජනා ක්‍රමයට එකඟ වූ ප්‍රථමයාද ඔවුන් විය. එමනිසා ඔහුට මෙම ශ්‍රේණිගත කිරීමෙහි ඉහළම ස්ථානයක් හිමි වූ අතර ඔහුට ආචාර වෙඩිමුර 21 ක ආචාරයක්ද හිමි විය. ඊට අමතරව බාරෝඩා, මයිසූර්, ග්වාලියර් සහ කාශ්මීරයේ පාලකයන්ටද වෙඩිමුර 21 ක් හිමි විය. ඉතිරි ප්‍රාන්තද ඒ අනුව ශ්‍රේණිගත කරනු ලැබූ අතර කුඩා නමුත් විශාල ධනයක් තිබූ පටියාලා පාලකයාට වෙඩිමුර දාහතක් සහ කුඩා නමුත් පක්ෂපාතී පාලකයකු වූ කුච් බෙහාර් මහාරාජාට වෙඩි මුර දහතුනකුත් හිමි විය. මේ ආකාරයට මෙම දාමය වෙඩිමුර නවයක් සහිත පිළිගැනීමක් ලැබෙන රාජ්‍කොට් හෝ සොනෙපූර් වැනි කුඩා පාලකයන් වෙත ළඟා වන තුරු පැවතුණි.

මෙම ශ්‍රේණිගත කිරීමේ පිහිටීම මත පාලකයකුගේ ජීවිතයේ සියල්ල තීරණය වෙන ලදී. රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඔවුන් වාඩි විය යුතු ස්ථානය, විදේශීය සම්භාවනීය අමුත්තන් විසින් ඔවුන්ට සලකනු ලබන ආකාරය, උත්සව වලදී ඔවුන් අසුන් ගන්නා ස්ථානය ආදී සියල්ලම තීරණය වනු ලබන්නේ මෙම ශ්‍රේණිගත කිරීම අනුවය. 

1877 දී සිදු වූ ඉන්දියාවේ වැදගත් සියලුම පාලකයන් හමු වූ අධිරාජ්‍ය රැස්වීමේදී මෙම ශ්‍රේණිගත කිරීමට වැඩි ප්‍රමුඛතාවක් හිමි විය. ඊට පෙර වසරේ එනම් 1876දී රාජකීය තනතුරු පනත මඟින් වික්ටෝරියා රැජිනව ඉන්දියාවේ අධිරාජිනිය  (කයිසර්-අයි-හින්ද්) යන පදවිය පිරිනමන ලදී. ඒ අනුව එහි පාලකයන් දැන් ඔවුන්ගේ නව අධිරාජ්‍යයාගේ සහ ඇගේ නිත්‍ය නියෝජිතයාගේ වැඩවසම් සේවකයෝ බවට පත්ව ඇත. එම නිසා ඔවුන් මෝගල්වරුන් යටතේ සිටි කාලයේදී මෙන් වැඩවසම් මුදල් බ්‍රිතාන්‍යයට ගෙවිය යුතු විය.

මෙම වැදගත් අවස්ථාව සැමරීම සඳහා මෝගල් සම්ප්‍රදායක් වූ "දර්බාර්" උත්සවය පැවැත්වීමට බ්‍රිතාන්‍යය නිත්‍ය නියෝජිත ලිට්න් සාමිවරයා තීරණය කළේය. දර්බාර් යනු සිය අධිරාජ්‍යයාට හෝ පාලකයාට ගෞරව දැක්වීම සඳහා ප්‍රාදේශීය පාලකයන් සහ වංශාධිපතීන් එක්රැස් වූ මෝගල් සම්ප්‍රදායකි. ඒ අනුව 1876 ​​දෙසැම්බර් මාසයේදී වැදගත් පාලකයන් 63 දෙනෙකුට එයට සහභාගී වීමට ආරාධනා කරන ලද අතර 84,000ක පමණ ජනතාවක් එයට සහභාගී විය.

එහිදී ඔවුන්ට සත්කාර කිරීම සඳහා සැතපුම් පහක් පමණ පළල කඳවුරක් ඉදිකරන ලද අතර අදාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඔවුන්ට බ්‍රිතාන්‍යය නිත්‍ය නියෝජිතයාගේ කූඩාරමට කෙතරම් සමීපයෙන් සිටිය හැකිද යන්න තීරණය කරන ලදී. ඊට අමතරව ඔවුන්ට කොපමණ සේවකයින් ප්‍රමාණයක් සිටිය හැකිද යන්න තීරණය කෙරුනේද ඒ අනුවය. ආචාර වෙඩිමුර දාහතක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි පුද්ගලයන්ට සේවකයන් 500 ක් තබා ගත හැකි නමුත් ආචාර වෙඩිමුර නවයක් පමණක් හිමි අයට තබා ගත හැක්කේ 200 ක් පමණි.

මෙම ස්ථානයේ මධ්‍යයේ ඔවුන් රැස්වීම පවත්වන ලදී. බ්‍රිතාන්‍යය නිත්‍ය නියෝජිත ලිටන් සාමිවරයා වික්ටෝරියා රැජිනගේ රුව ඇද තිබූ චිත්‍රයක් ඉදිරිපිට උස් වේදිකාවක වාඩි විය. ඔහුට ඉදිරියෙන් පාලකයන් සහ  අනෙකුත් වැදගත් සාමාජිකයින් රළු අර්ධ වෘත්තාකාර පුටු වල අසුන් ගන්නා ලදී. ඉන්පසු වැඩවසම් සබඳතාව සහ ධූරාවලිය පෙන්නුම් කරමින් සෑම පාලකයෙකුටම නව ආයුධ කට්ටලය බැගින් ලබා දෙන ලදී.

1877 ජනවාරි 1 වෙනිදා ලිටන් සාමිවරයා මණ්ඩපයට ඇතුළු වී රැස්ව සිටි පාලකයන්ට වික්ටෝරියා රැජිණ සහ සිංහාසනය පිළිබඳ ඉංග්‍රිසි සහ උර්දු භාෂාවෙන් (මෝගල්වරුන්ගේ භාෂාව) ප්‍රකාශයක් කියවීය. මෙය කියවා අවසන් වූ වහාම ග්වාලියර්හි මහරාජා සින්ධියා කෑගැසුවේය;

"දෙවියන් වහන්සේ ඔබලාට ආශීර්වාද කරයි.  ඉන්දියාවේ පාලකයින් වන අප ඔබට ආශීර්වාද කරන අතර ඔබගේ අණ සදහටම සහ ස්ථිරව පවතිනු ඇතැයි ප්‍රාර්තනා කරමු."

තුන්වන කොටසින් හමුවෙමු...විශ්මිත ඉතිහාසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උදව් කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - දෙවන කොටස ( India - Part Two) සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උදව් කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - දෙවන කොටස ( India - Part Two) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2021 Rating: 5

0 comments:

Post a Comment