දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු (China)

දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු (China) - Your Choice Way

මිනිසා මෙතෙක් දැක ඇති සුවිශාලතම ආර්ථික ආශ්චර්යය පිළිබඳ කතාව - දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු

වර්තමාන ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකයේද වැඩිපුරම කතා බහට ලක් වන රටක් ලෙසට චීනය පත්ව ඇත. චීන ණය උගුලට හසු වූ රටක් බවට ශ්‍රී ලංකාව පත්වී තිබීම සහ ඔවුන් සිදු කරන අනවශ්‍ය මැදිහත් වීම් නිසා ලංකාව තුළ අද වන විට විශාල චීන විරෝධයක් හට ගෙන ඇත. එමෙන්ම සමස්ත ලෝකය තුලද මේ චීන විරෝධය වර්තමානය වන විට උත්සන්න වෙමින් පවතී. එයට ආසන්නතම හේතුව ලෙසට කොවීඩ් - 19 වසංගතය චීනය විසින් නිපදවන ලද ජෛව අවියක් බවත් එය ඔවුන් විසින් සිතාමතා පතුරුවන ලද්දක් බවත් විවිධ මත පළවේ. කෙසේ වෙතත් අද වන විට ඔබ ඔවුන් හෙළා දුටුවත්, අගය කළත් චීනය යනු ලෝකය තුළ නොසලකා හැරිය නොහැකි සාධකයක් බවට පත්ව අවසන්ය.

2020 දී ගෝලීය ආර්ථිකය විශාල ලෙස කඩා වැටෙන විට චීන ආර්ථිකය ධනාත්මක වර්ධන වේගයක් ලබා ගැනීමට සමත් විය. එපමණක් නොව චීන ආර්ථිකය පසුගිය දශක තුන තුළ සීඝ්‍ර වර්ධන වේගයකින් වර්ධනය වී තිබේ. එම නිසා මෙම ලිපියෙන් චීන ආර්ථික නැගීමේ රහස් මෙන්ම දශක හතකටත් අඩු කාලයකදී නූතන චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වූයේ කෙසේද යන්න පිලිබඳ විශ්ලේෂණය කරමු.

එමෙන්ම චීන ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස මානව සම්පත් යොදාගත් ආකාරය සහ කාලයේ අවශ්‍යතාවයට අනුව එක් කර්මාන්තයකින් තවත් කර්මාන්තයකට මාරුවෙමින් ඔවුන් සිය ආර්ථිකය වර්ධනය කර ගත් ආකාරය අගය කළ යුතුය. 

ලෝක බැංකු වාර්තා වලට අනුව 1990 දී දළ දේශීය නිෂ්පාදිත අගයන් ඉන්දියාව සහ චීනයේ දළ වශයෙන් සමාන විය. එහෙත් චීනයේ වර්තමාන දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 14.5 කි. එය ඉන්දියාවේ අද වන විට ඩොලර් ට්‍රිලියන 3 කි. එමෙන්ම චීනය එක්සත් ජනපද ආර්ථිකයටද අනාගතයේදී තර්ජනයක් විය හැකි අතර සමහර ආර්ථික අනාවැකි වලට අනුව ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතය මෙම දශකය අවසන් වන විට එක්සත් ජනපදය පවා අභිබවා යනු ඇතැයි පැවසේ. 

ඒ හැරුණු විට රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි වර්තමාන ආර්ථික බලවතුන් ඔවුන්ගේ ආර්ථික දියුණුව වර්ධනය කර ගත්තේ ඔවුන්ගේ භූමියේ ඇති ස්වාභාවික සම්පත් පදනම් කරගෙන ය. එහෙත් චීනය සතු එවැනි ස්වාභාවික සම්පත් ප්‍රමාණය ඉතා සීමිතය. එසේ නම් සැලකිය යුතු තරම් ස්වාභාවික සම්පත් ප්‍රමාණයක් නොතිබියදීත් චීනය ආර්ථික වශයෙන් සාර්ථක වූයේ කෙසේද? එය කොමියුනිස්ට් තන්ත්‍රයේ රාජ්‍ය පාලන ස්වභාවය නිසා සිදු වූවක්ද, නැතහොත් වෙනත් හේතුවක් නිසාද? අද අප ඒ පිළිබඳව අවධානය යොමු කරමු.

1976 වන තෙක් චීනය මෙහෙයවනු ලැබුවේ ‘මාඕ සේතුං’ විසිනි. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ඉතා ව්‍යසනකාරී අසාර්ථක එකක් විය. 1958 දී ඔහුගේ ‘මහා ඉදිරි පිම්ම’ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, චීන රජය සියළුම ඉඩම්වල අයිතිය අත්පත් කර ගත් අතර ගොවීන්ට ඒවායේ වැඩ කිරීමට බල කෙරුනි. කෙසේ වෙතත් මේ අකාර්යක්ෂම කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් චීනය පුරා සාගතයක් ඇති වූ අතර චීන සිවිල් වැසියන් දහස් ගණනක් මිය යන ලදී. 

ඉන්පසු චීන රජය අණ කර සිටියේ මහා ඉදිරි පිම්ම ප්‍රතිපත්තිය යටතේ වානේ නිෂ්පාදනය කරන ලෙසය. ඒ තුළින් ඔවුන් අපේක්ෂා කළේ චීනය තුළ කාර්මික විප්ලවයක් ඇති කිරීමයි. කෙසේ වෙතත් වැරදි කළමනාකරණය සහ දැනුම නොමැතිකම හේතුවෙන් මෙම ව්‍යාපාරයද අසාර්ථක විය. 

මෙම අසාර්ථකත්වයත් සමඟ චීන ආර්ථිකය පුළුල් ලෙස විනාශ වීම, සාගින්න සහ දරිද්‍රතාවය ඇති වීම විශාල ලෙස වර්ධනය විය. එමෙන්ම මෙහි ප්‍රතිඵලයක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය තුළද කැරලිකාර කණ්ඩායම් බිහි වීම සිදු විය. එයත් සමගම මෙම කැරලිකාර කණ්ඩායම් නිහඩ කිරීම සදහා මාඕ සහ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1966 දී “සංස්කෘතික විප්ලවය” නම් වැඩසටහනක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විරුද්ධ මතධාරී බොහෝ දෙනෙක් ඝාතනය කරන ලදී.

1976 දී මාඕ සේතුංගේ අභාවයෙන් පසු ඩෙන් ෂියාඕපින් බලයට පත්විය. 1990 දශකයේ මුල් භාගයේදී ඔහු මාඕගේ සියලු ප්‍රතිපත්ති වෙනස් කොට චීනයේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණක් සිදු කරන ලදී. එම වෙනස්කම් වල ප්‍රතිඵලය වූයේ චීනයේ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් සිදු වීමයි.

ඩෙන් ෂියාඕපින්ගේ මේ ප්‍රතිසංස්කරණ චීනයේ ක්ෂණික ආර්ථික ප්‍රගතියේ තීරණාත්මක සාධකයක් වූ නමුත් එහි ප්‍රශංසාව ඔහුට පමණක් හිමි නොවිය යුතුය. මන්දයත් ලෝකයේ එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ පළමු තැනැත්තා ඩෙන්ග් නොවන බැවිනි. ලොව පුරා තවත් බොහෝ රජයන් ද එසේ ම කළහ. එහෙත් එම රජයන් ආර්ථික අතින් අසමත්විය. එසේ නම් ඊට සමාන දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළ අනෙක් රටවල් අසමත් වෙද්දී චීනයේ එය සාර්ථක වූයේ කෙසේද?

එයට පිළිතුර චීනය සතු විශාල මානව සම්පතයි. ඩෙන්ග්ගේ මේ ප්‍රතිසංස්කරණවලට අමතරව චීනයේ මිලියන 95O ක දැවැන්ත ශ්‍රම බලකාය රටේ ආර්ථිකය විශාල අනුපාතයකින් වර්ධනය වීමට මග පෑදීය.

එහෙත් චීනයට විශාල ශ්‍රම බලකායක් තිබුණද එය බොහෝ දුරට නූගත් හා නුපුහුණු විය. මෙතරම් නුපුහුණු ශ්‍රමයක් බිහි වීමට මූලිකම හේතුව වූයේ කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා මාඕ විසින් පාසල් සහ විශ්ව විද්‍යාල කඩා බිඳ දැමීමයි. මීට අමතරව විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල, ගොවිපලවල බලහත්කාරයෙන් වැඩ කිරීමට ගොවීන්ට බල කල නිසා ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට එයද බාධාවක් විය. ඩෙන් ෂියාඕපින් ක්‍රමයෙන් නමුත් ස්ථීරව මෙය ආපසු හැරවීමට ක්‍රියා කරන ලදී.

ඩෙන්ග් විශාල ශ්‍රම බලකායක වටිනාකම හඳුනාගත් අතර බලහත්කාරයෙන් වැඩ කරන, බලහත්කාර ශ්‍රමය තිරසාර නොවන බව පිළිගත්තේය. ඩෙන් ෂියාඕපින් විසින් චීනයේ දැවැන්ත ශ්‍රම බලකායට අවශ්‍ය අත්දැකීම් හා දැනුමින් සන්නද්ධ කිරීමට විශාල කාලයක් හා වෑයමක් දැරීය.

ඩෙන්ග් විසින් චීනයේ කෘෂිකාර්මික ඉඩම් සඳහා රජය සතු පාලනය අහෝසි කොට පෞද්ගලික ගොවිතැන ප්‍රවර්ධනය කළේය. ඊට පෙර කෘෂිකාර්මික කර්මාන්තය මුළුමනින්ම රජය විසින් සිදු කරන ලදී. මාඕ විසින් සිදු කරන ලද්දේ වගා කරනු ලබන සෑම භෝගයක් සදහාම කලින් තීරණය කරන ලද මූලික වැටුපක් ගොවීන් වෙත ගෙවීමයි. මේ සදහා ගොවීන් සිය සියලුම භෝග රජයට ඉදිරිපත් කළ යුතු විය. මෙම ප්‍රතිපත්තිය අවලංගු කිරීමෙන් පසු චීනයේ කෘෂිකාර්මික කර්මාන්තය විශාල ලෙස වර්ධනය විය. චීනය ආහාර හිඟයක සිට ආහාර අතිරික්තයක් දක්වා පරිවර්තනය විය.

චීනයේ මේ කෘෂිකාර්මික අංශයේ ව්‍යාප්තිය මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මිදවීමට සමත් වූ අතර ගොවි ආදායම විශාල ලෙස වැඩි කළේය. අනපේක්ෂිත ලෙස ආදායම ඉහළ යාමේ ප්‍රථිපලයක් ලෙස උක් හා කපු වැනි වාණිජ භෝග සඳහා ආයෝජනය කිරීමට ගොවීන් දිරිමත් කරන ලදී. කපු  මුදල් මවන බෝගයක් බවට පත් වූ අතර එමගින් එය චීනයේ රෙදිපිළි විප්ලවයේ තීරණාත්මක සාධකයක් බවටද පත් විය. එමගින් චීනය සිය රෙදිපිළි කර්මාන්තය ගිනිකොනදිග ආසියානු රටවලටද ප්‍රවර්ධනය කරමින් ලෝකය මවිතයට පත් කිරීමට සමත් විය.

මීට අමතරව කෘෂිකර්මාන්තයේ බහුලව යෙදී සිටි නුපුහුණු ශ්‍රමිකයන් අඩු නිපුණතාවක් අවශ්‍ය මූලික භාණ්ඩ නිෂ්පාදනයට යොමු කිරීමට චීන රජය කටයුතු කරන ලදී. මෙය නගා සිටුවීම සදහා ඩෙන්ග් විසින් නාගරික සහ ග්‍රාමීය ව්‍යවසායකයින් නගා සිටුවීම සදහා කටයුතු කරන ලදී. මෙමගින් ගොවිපල මෙවලම්, පොහොර සහ වෙනත් කුඩා ගොවි යන්ත්‍ර නිෂ්පාදනය කරන අඩු නිපුණතා නිෂ්පාදන අංශයක් බිහි කිරීමට ඔහුට හැකි විය. රෙදිපිළි අංශයට සමගාමීව මෙයද චීන ආර්ථිකයේ පාදම බවට ඒ අනුව පත් විය.

එහෙත් මෙම නාගරික සහ ග්‍රාමීය ව්‍යවසායකයින්  පාලනය ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කළ නිසා ඔවුන්ට ප්‍රාදේශීය ගැටලු විසඳීමට නොහැකි වූ අතර දූෂණ වංචාද ඉහළ යන ලදී. මෙම නිසා මෙම ක්‍රමය නතර කිරීමට ඩෙන්ග් විසින් ඔවුන් පාලනය කළ ඉහළ රාජ්‍ය නිලධාරී ක්‍රමය අර්ධ වශයෙන් නතර කළ අතර මෙම කුඩා හා ක්ෂුද්‍ර ඒකක පාලනය කිරීමට පළාත් පාලන ආයතනවලට බලය ලබා දෙන ලදී.

වොලොංගොං විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව චීනයේ මෙම නාගරික සහ ග්‍රාමීය ව්‍යවසායකයින් 1985 දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතයට 13% කින් පමණ දායක වූ අතර 1990 දශකයේ මැද භාගය වන විට මෙම ප්‍රතිශතය 30% දක්වා වර්ධනය විය. වසර 15 ක් තුළ මෙමගින් රුබල් මිලියන 100 ක ග්‍රාමීය රැකියා උත්පාදනය කිරීමට සමත් විය.

කෘෂිකර්මාන්තය වාණිජකරණය කිරීමත් සමග වාණිජ භෝග ප්‍රවර්ධනය ඇරඹුණු අතර 1990 දශකයේදී චීනය ලොව විශාලතම කපු නිෂ්පාදකයා බවට ඒ අනුව පත්විය. මෙහි ප්‍රතිඵලය වූයේ චීනයේ රෙදිපිළි කර්මාන්තයේ සැලකිය යුතු ව්‍යාප්තියයි.  කෘෂිකර්මාන්තයේ දී මෙන් ම ඔවුන් රෙදිපිළි කර්මාන්තයටද පෞද්ගලික අයිතියක් ලබා දෙන ලදී. 

1993 අවසන් වන විට 95% ක අනුපාතයකින් වර්ධනය වූ රෙදිපිළි කර්මාන්තයේ ව්‍යාප්තියට දේශීය මිල අඩු ශ්‍රමය සහ කපු නිෂ්පාදනය විශාල ලෙස ආධාර විය. චීනය රෙදිපිළි අපනයනය කිරීම “විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ” කොටසක් ලෙස ආරම්භ කළ අතර එමගින් එහි ආර්ථිකය ගෝලීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ විය. "ලෝකයේම කර්මාන්තශාලාවක්" (world’s factory) බවට පත්වීමේ ඔවුන්ගේ අදහස ආරම්භ වූයේ මෙයත් සමගය. එහෙත් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔවුන්ට නුපුහුණු ශ්‍රම බලකාය පුහුණු ශ්‍රම බලකායක් බවට පරිවර්තනය කළ යුතුව ඇත.

මාඕ නායකයෙකු ලෙස කැරලිකරුවන්ගෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව නූගත් හා නුපුහුණු අය ලෙස තබා ගැනීමට උත්සාහ කළේය. එහෙත් මාඕ මෙන් නොව ඩෙන්ග් ජනතාවගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා විශාල උත්සාහයක් දැරිය. 1980 දශකයේ දී චීන රජය පාසල් අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය සදහා ඔවුන්ගේ වියදම් වලින් 70% ක කොටසක් වෙන් කරන ලදී.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් වෘත්තීය අධ්‍යාපනයද ඇතුළත් වසර නවයක පාසල් කාල සීමාවක් නියම කරන ලදී. 1990 දී ප්‍රාථමික අධ්‍යාපනයද චීනයේ සම්පූර්ණයෙන්ම ලබා දුන් අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස 1978 දී මිලියන 0.16 වූ උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 1990 දශකයේදී මිලියනය දක්වා වැඩි විය.

1990 දශකයේ මුල් භාගය වන විට ජපාන සහ දකුණු කොරියානු වෙළඳ නාම වන සැම්සුන්, සෝනි, පැනසොනික් සහ එල්ජී බටහිර ලෝකයේ ජනප්‍රියම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ බවට පත්වී තිබුණි. කෙසේවෙතත් බෙදාහැරීමේ ජාලය අඛණ්ඩව පවත්වාෙගන යාම සඳහා මෙම නිෂ්පාදන පුළුල් කිරීමට මෙම සමාගම්වලට අවශ්‍ය වූ නමුත් පවතින භූමියේ හිඟකම සහ මිල අධික ශ්‍රමය හේතුවෙන් එය කිරීමට නොහැකි විය.

මෙම ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගැනීමට චීනය සමත් විය. ශ්‍රම හිඟය අත්විඳින ජපානයේ සහ දකුණු කොරියාවේ කාර්මික සමාගම්වලට තම රටේ අතිදක්ෂ ශ්‍රම බලකාය ආයෝජන කිරීමට ඔවුන් සමත් විය. අද අප දන්නා ලෝකයේම කර්මාන්තශාලාව බවට පත්වීමේ චීනයේ පළමු පියවර වූයේ මෙයයි. 

දේශීය ව්‍යවසායකයින් මෙම සමාගම්වල දුරකථන, වීඩියෝ කැසට් රෙකෝඩර සහ රූපවාහිනී වැනි ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ සඳහා නිෂ්පාදන පහසුකම් චීනයේ ස්ථාපිත කළහ. මෙම සැලැස්ම යටතේ චීනය රට පුරා විශේෂ ආර්ථික කලාප ඇති කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම සිය නිෂ්පාදන කම්හල් වල බෙදාහැරීමේ දාමය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා චීනය මෙම විශේෂ ආර්ථික කලාප ක්‍රමය තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම ඔවුන් ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සදහා අධිවේගී දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග සහ විදුලි බලාගාර ඉදි කිරීම මෙන්ම අඩු බදු අයකර ගැනීමේ ප්‍රතිපත්තිද ක්‍රියාත්මක කරන ලදී.

මෙලෙස ආරම්භ කරන ලද චීනයේ පළමු විශේෂ ආර්ථික කලාපය ගුවැංඩොං පළාතේ ෂෙන්සන් හි පිහිටුවන ලදී. අද වන විට එම පළාතේ කර්මාන්තශාලා 60,000 ක් පමණ පවතින අතර එය දිනකට ඩොලර් මිලියන 300 ක් පමණ වටිනා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබයි. චීනයේ අපනයනයන්ගෙන් 30% ක් පමණ එම පළාතේ නිපදවනු ලබන භාණ්ඩ වලින් සිදු වන අතර ගෝලීය සපත්තු, රෙදිපිළි නිෂ්පාදන සහ සෙල්ලම් බඩු නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමණ සිදු කරන්නේ එම ප්‍රදේශයේය. එමෙන්ම චීනයේ ගුවැංඩොං කලාපය විද්‍යුත් තාක්ෂණයේ මධ්‍යස්ථානයක් ලෙසද කීර්තියක් අත්කර ගෙන ඇති අතර එය චීන සිලිකන් නිම්නය ලෙසද හැඳින්වේ.

ගුවැන්ඩොංහි අතිසාර්ථකත්වයත් සමග චීන කොමියුනිස්ට් පක්ෂය කරුණු දෙකක් අවබෝධ කර ගන්නා ලදී. එනම් ඉලෙක්ට්‍රොනික් කර්මාන්තය යනු අනාගතයේ රැල්ලයි සහ රෙදිපිළි අංශය සදහා මානව සම්පත යෙදවීම අවාසි සහගත බවත්ය. ඒ අනුව චීනය රෙදිපිළි නිෂ්පාදනය අවම කිරීමට කටයුතු කරන ලදී.

1990 දශකයේ අගභාගය වන විට එක්සත් ජනපදයේ අන්තර්ජාල හා පරිගණක තාක්ෂණයන් වේගයෙන් වර්ධනය විය. එච්පී, ඩෙල් සහ ඇපල් වැනි සමාගම් ඒ අනුව බිහි විය. එහෙත් මෙම සෑම සමාගමක්ම මුහුණ දුන් එක් පොදු ගැටලුවක් විය. එනම් ලාභදායී පුහුණු ශ්‍රමිකයන් නොමැති වීමයි. එක්සත් ජනපදය තුළ එවැනි පිරිස් ඉතා හිඟ විය.

ඉහත සදහන් කළා සේම මෙවරද පිළිතුර ලෙස චීනය ඉදිරිපත් විය. එහි ප්‍රතිඵලය වූයේ "බාහිර නිෂ්පාදන ආයතන" (Manufacturing outsourcing) චීනය තුළ ස්ථාපිත වීමයි. මෙවර චීනය ‘කොන්දේසි සහිත විදේශ ආයෝජන’ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ අතර එමඟින් දේශීය සමාගම් සමඟ හවුල් වීමට විදේශීය සමාගම් දිරිමත් කරන ලද අතර ඔවුන්ගේ තාක්ෂණයන් දේශීය චීන සමාගම් සමඟ බෙදා ගැනීමට ද ඒ අනුව හැකි විය. මෙම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස චීන සමාගම් වලට උසස් තාක්ෂණික නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට හැකි විය.

නිදසුනක් ලෙස ඇපල් සිය නිෂ්පාදන චීනයේ ෆොක්ස්කොන් නම් සමාගමක් හරහා නිෂ්පාදනය කරයි.  ඩෙල්, එච්පී  ඇතුළු තවත් බොහෝ සමාගම් චීනයේ කුඩා සමාගම් හරහා තම නිෂ්පාදන නිෂ්පාදනය හා එකලස් කිරීම ආරම්භ කරන ලදී. 

කෙසේ වෙතත් දේශීය චීන ව්‍යාපාර වහාම මෙම සමාගම් වල තාක්‍ෂණය අවබෝධ කර ගෙන එය අඩු වියදමකින් නිපද විමට පටන් ගන්නා ලදී. මෙම කුඩා ව්‍යාපාර ජාලය ‘ෂන්ෂායි’ ලෙස හැඳින්වේ. ෂන්ෂායි යනු චීන භාෂාවෙන් “ව්‍යාජ” ලෙස හැඳින්වේ. 

එයත් සමගම මෙය චීනය අඩු වියදමින් ව්‍යාජ භාණ්ඩ විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඒවා තුන්වන ලෝකයේ රටවලට විකිණීම ආරම්භ කළ "ව්‍යාජ පිටපත් සංස්කෘතිය" බිහි කළේය. මෙයට හොදම උදාහරණය අඩු වියදම් චීන ස්මාර්ට්ෆෝන් සහ ලැප්ටොප් ය. මෙම අඩු වියදම් චීන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම තෙවන ලෝකයේ රටවල, විශේෂයෙන් 2000 දශකයේ මුල් භාගයේ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

මුලදී, ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය අතිශයින් අඩු විය. කෙසේ වෙතත් පසුව ඔවුන් අඩු ගුණාත්මක නිෂ්පාදන විකිණීමෙන් ලබාගත් මුදල් යෙදවීමෙන් නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කළහ. මෙලෙස සිදු වූ චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින්ගේ සීඝ්‍ර වර්ධනය නිසා සැම්සුන් සමාගමට ඔවුන් 1992 දී ඉදිකරන ලද කර්මාන්තශාලාව 2019 දී වසා දැමීමට පවා සිදුවිය.

කලින් සදහන් කළ පරිදි චීන ආර්ථික ප්‍රතිපත්ති ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී. මයික්‍රොසොෆ්ට්, ෆේස්බුක් සහ ගූගල් හි වර්ධනය හේතුවෙන් 2000 දශකයේ මැද භාගයේදී එක්සත් ජනපදය තුළ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයද වේගයෙන් වර්ධනය වූ අතර චීනය ඔවුන්ගේ නිපුණ ශ්‍රමය හේතුවෙන් එයින් ද ප්‍රතිලාභ ලැබීය. මෙම පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ සේවා කර්මාන්තය 1975 දී 25% සිට 2019 දී 54% දක්වා ඉහළ ගියේය. 

ෂොන්ගුවාන්කුන් තාක්‍ෂණ උද්‍යානය මෙහිදී ප්‍රමුඛ ස්ථානයක් ලබා ගනී. මෙම ෂොන්ගුවාන්කුන් තාක්‍ෂණ උද්‍යානය තුල ගූගල්, ඉන්ටෙල්, ඔරකල්, ෆේස්බුක් සහ අයිබීඑම් ඇතුළු තාක්‍ෂණික දැවැන්තයින් රාශියක් සිය චීන මූලස්ථාන සහ පර්යේෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. මයික්‍රොසොෆ්ට් සමාගම පමණක් මෙහි ඩොලර් මිලියන 280 ක පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.

කාර්මික ව්‍යාපාර තුළ මෙන්ම සේවා කර්මාන්තය තුලද චීනය තම සුපුරුදු ‘ව්‍යාජ පිටපත් සංස්කෘතියක’ පවත්වාගෙන යාමට සමත්ව ඇත. අලිබබා මේ සඳහා හොඳ උදාහරණයක් වන අතර එයට ඊ බේ, ඇමේසන් සහ ගූගල් වැනි වෙබ් අඩවි වලින් ලබා ගත් අංග ඇතුළත් කර ඇති අතර එය මුළුමනින්ම අද්විතීය සමාගමක් ඔවුන් ඉදිරිපත් කරනු ලබයි. WeChat, Baidu සහ Youku වැනි සියල්ලම කොපි කරන ලද ඒවා වුවත් ඒවා සියල්ලම චීනය තුළ ඉතා සාර්ථකවී ඇත.

මීට අමතරව වර්තමාන චීනයේ කෘතිම බුද්ධිය සහ 5G වැනි නව තාක්‍ෂණයන් පිළිබඳවත් ඉදිරියෙන් පසු වේ. නිදසුනක් ලෙස චීනය ‘සෙලියුලර් ජාල උපකරණ’ නිෂ්පාදනයේ ද මූලික මූලාශ්‍රය වන අතර ZTE සහ Huawei වැනි චීන තාක්‍ෂණ දැවැන්තයින් මෙම නිෂ්පාදන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් එක්සත් ජනපදය වැනි රටවල් මෙම සමාගම් තම රට තුළ තහනම් කර ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ මෙම සමාගම් චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් අන් රටවල ඔත්තු බලන බවයි.

1990 සිට 2007 දක්වා වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය චීන ආර්ථිකය බවට පත් විය. කෙසේ වෙතත් ඉහළ යන ශ්‍රම පිරිවැය, වයස්ගත ජනගහනයේ වර්ධනය සහ 2008 මූල්‍ය අර්බුදය වැනි කරුණු සියල්ල චීන ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් 2008දී පමණ ඇති කළේය. 

මේ හේතුව නිසා වර්තමාන චීන ජනපති ෂී-ජින්පින් තම රටේ සියලු ව්‍යාපාර වලට ජාත්‍යන්තර වෙළඳපලවල ආයෝජනය කරන ලෙස නියෝග කරමින් ‘ගෝ ග්ලෝබල්’ නමින් නව උපායමාර්ගයක් හදුන්වා දෙන ලදී. ‘ගෝ ග්ලෝබල්’ උපාය මාර්ගයේ වඩාත්ම දෘශ්‍යමාන ප්‍රකාශනය වන්නේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩසටහනයි. බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩසටහනේ කොටසක් ලෙස චීන ආයෝජන දැන් බොහෝ රටවල් පුරා ව්‍යාප්ත වී ඇත.

චීන ආර්ථිකයට මානව ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් පැවතියද, මෙම සමෘද්ධිය වහල්භාවය සහ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම ආදී සදාචාරාත්මක ගැටලු රාශියක් මතු කරනු ලබයි. මීට හොදම උදාරණය වන්නේ අනිවාර්ය සීමාවාසික පුහුණුවකට යැයි කියා චීන පාසල් සිසුන්ව, සේවකයෙකු ලෙස වැඩ කිරීම සඳහා  ෆොක්ස්කොන් සහ ක්වන්ටා වැනි විද්‍යුත් කර්මාන්තශාලා වෙත යවනු ලැබීමයි.

නිල වශයෙන් චීනයේ ව්‍යවස්ථාවෙන් බලහත්කාරයෙන් වැඩ ගැනීම තහනම් කොට ඇත. කර්මාන්ත කිහිපයක පමණක් බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමය පවතින බවත් එය තුරන් කිරීමට ඔවුන් කටයුතු කරන බවත් චීනය කියා සිටියි. එහෙත් විවෘතභාවයක් නොමැතිකම නිසා අපි කිසි විටෙකත් එහි යථාර්ථය නොදනිමු.

විශ්මිත ඉතිහාසය
දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු (China) - Your Choice Way
මාඕ සේතුං

දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු (China) - Your Choice Way
කොළ පැහැයෙන් දැක්වෙන්නේ චීනයේ ගුවැන්ඩොං පළාතයි.

දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු (China) - Your Choice Way
බෙල්ට් ඇන්ඩ් රෝඩ් සහයෝගීතා ලියකියවිලි අත්සන් කළ රටවල් නිල් පැහැයෙන් දැක්වේ

දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු (China) - Your Choice Way
ඩෙන් ෂියාඕපින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු (China) දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු (China) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2021 Rating: 5

0 comments:

Post a Comment