ලෝක ජනගහනයෙන් 5%ක පමණ ප්‍රමාණයක් ඝාතනය කළ විනාශයේ අධිපතියා - ටිමූර් (ටමර්ලේන්) (Timur (Tamerlane))

ලෝක ජනගහනයෙන් 5%ක පමණ ප්‍රමාණයක් ඝාතනය කළ විනාශයේ අධිපතියා - ටිමූර් (ටමර්ලේන්) (Timur (Tamerlane)) - Your Choice Way
1941 ගිම්හානයේදී ජොසෙෆ් ස්ටාලින් උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පිහිටා තිබූ අද්භූත සොහොන් ගැබක් විවෘත කරන ලෙස ඔහුගේ සහචරයන්ට නියෝගයක් නිකුත් කරන ලදී. මිථ්‍යා කතාන්දර පිළිබද විශ්වාසයක් තිබූ එම ප්‍රදේශයේ ජනතාව සෝවියට් සංගමයේ මේ ඒකාධිපතියාට මෙම සොහොනෙහි තිබූ ශාපයක් පිළිබඳව අනතුරු ඇඟවීය. එහෙත් ඒ කිසිවක් මායිම් නොකළ සෝවියට් පුරාවි්‍යාඥයන් විසින් 1941 ජුනි 20 වන දින සොහොන් ගෙය විවෘත කරන ලදී. එතුලට පිවිසි ඔවුනට දක්නට ලැබුණේ එහි ලියවී තිබුන ශාපයකි. එහි සදහන්ව තිබුණේ "මම යළි මළවුන්ගෙන් අවදි වූ විට, මුළු ලෝකයම බියෙන් හැකිළී යනු ඇත" කියාය. නමුත් එම ශාපය පිළිබඳ තැකීමක් නොකළ ඔවුන් එහි තිබූ සිරුර රැගෙන යන ලදී.

පුදුමයකට මෙන් ඉන් දින දෙකකට පසු, එනම් 1941 ජුනි 22 වන දින හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමණය කරන ලදී. ඉන් පසු මේ නිර්භීත ඒකාධිපති ස්ටාලින් ශාපය පිළිබඳ විශ්වාස කළ අතර ඔවුන් දේහය යළි සොහොන් ගෙය වෙත ආපසු ගෙන ගොස් තබන ලදී. ඔහුගේ සොහොනෙන් පවා දරුණු ඒකාධිපතියෙකු සහ තවත් මිනිසුන්ගේ හදවත් තුළ බිය ඇති කිරීමට සමත් වූයේ කවුද? අද අප ඒ පිළිබඳව විමසා බලමු.

ටිමූර් (ටමර්ලේන්) උපත ලැබුවේ 1336 දී නූතන උස්බෙකිස්තානයේ ට්‍රාන්සොක්සියානා හිදීය. ටිමූර් යන්නෙහි චගතායි භාෂාවෙන් අර්ථය යකඩ ය. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔහු මොන්ගෝලියානු ජාතිකයකු බවයි. එහෙත් තවත් සමහරක් විශ්වාස කරන්නේ ඔහු මුස්ලිම් තුර්කි ජාතිකයෙක් බවය.

ඔහුගේ තරුණ අවධියේදී සිදු වූ සටනකදී ටිමූර් තුවාල ලැබූ අතර ඉන් ඔහුගේ දකුණු අතේ ඇගිලි දෙකක් අහිමි විය. මේ හේතුව නිසා ඔහුගේ සතුරන් ඔහුව හැඳින්වූයේ ටිමූර්-ඉ-ලැන්ග් ලෙසය. එහි තේරුම වුයේ "අලස ටිමුර්" යන්නයි. මෙය යුරෝපයට පරිවර්තනය වෙද්දී ඔහුගේ අන්වර්ථ නාමය ටමර්ලේන් ලෙස වැරදියට සදහන් වී ඇත. ඉන් පසු ඔහුව යුරෝපයේ ප්‍රසිද්ධියට පත් වූයේ ටමර්ලේන් ලෙසය.

ඔහුගේ මේ ආබාධිත තත්ත්වය නිසා බොහෝ විට ඔහුට සටන් වලදී අවාසි සිදු විය. එකල පැවති සමාජයේ බලවතෙකු වීමට නම් අනිවාර්යයෙන්ම සටන් කිරීමට හැකියාවක් තිබිය යුතුය. එහෙත් තරුණ ටිමූර්ට ස්වභාවයෙන්ම නායකයෙක් සතු විය යුතු ගුණාංග වන ප්‍රතාපවත් බව හා බුද්ධිමත් බව පිහිටා තිබුණි. ඔහු සෑම විටම මහා අධිරාජයයෙක් මෙන්ම මහා ඝාතකයකු ද වූ මොන්ගෝලියානු නායක ජෙන්ගිස් ඛාන්ගේ චරිතයෙන් ආභාෂය ලබා ගත් බව කියැවේ. ටිමූර්ටද අවශ්‍ය වූයේ මහා මොන්ගෝලියානු අධිරාජ්‍යය නැවත ගොඩනැඟීමට ය.

යෞවනයෙකු ලෙස ඔහු සොරුන් කණ්ඩායමක් මෙහෙය වූ බව කියැවේ. ඔවුන් බැටළුවන් සොරකම් කිරීම සහ දේශීය වෙළෙන්දන් සහ සංචාරකයින් කොල්ලකන ලදී.

ඔහු සතු වූ යුධමය කුසලතා හා උපක්‍රම මගින් සහ ඔහුට ලැබුණු අවස්ථා වලින් උපරිම ඵල නෙළා ගැනීමට සමත් වූ ටිමූර් 1370 වන විට චගතායි ඛානාටේ පාලනය සියතට ගැනීමට සමත් විය. ඛනාටේ යනු මහා මොන්ගෝලියානු අධිරාජ්‍යයේ විශාලතම රාජ්‍යයන්ගෙන් එකකි. ඔහු එහි අගනුවර ලෙස සමර්කන්ඩ් නම් කරන ලදී. ටිමූර්ගේ පාලනය යටතේ මෙම නගරය 14 වන සියවසේ ධනවත්ම අගනගරයක් බවට පත්විය.

1395 දී ටිමූර් ගෝල්ඩන් හෝඩ් හි නායකයා මෙන්ම ඔහුගේ හිටපු සාගයෙකුද වූ ටොක්ටාමිෂ් පරාජය කරන ලදී. ඉන් අනතුරුව ඔහුගේ හමුදාවට මොස්කව් නගරය යටත් කර ගැනීමට හැකියාව තිබුණද ඔවුන් පර්සියාවට පහර දුන් බව කියැවේ.

ටිමූර් යනු ඇතිදක්ෂ හමුදා නායකයකු සහ කුරිරු විරුද්ධවාදියෙකු වූ බව කියැවේ. ඔහු කිසි විටෙකත් කිසිදු සටනක් පරාජය වී නොමැත. ඔහුගේ ඔටෝමාන් යුධ ව්‍යාපාරය (1400-1402) ඔහුගේ හමුදා දක්ෂතාවයට හොඳම උදාහරණයයි. 

මෙම යුද්ධයට හේතු වූයේ ඔටෝමාන් සුල්තාන්වරයා වූ බේසිඩ්, ටිමූර් යනු බියගුල්ලෙකු යැයි පවසමින් සමච්චල් කිරීමයි.  ඔටෝමාන් හමුදාවන් ලාවා ටීමූර්ගේ භාර්යාවන් දූෂණය කරන බව ඔහු පැවසීය. මේ නිසා ටිමූර් ඔටෝමාන්වරුන්ට පාඩමක් ඉගැන්විය යුතු යැයි තීරණය කරන ලදී.

ක්‍රි.ව.1400 දී ටිමූර් දැවැන්ත හමුදාවක් සමඟ මේ ආක්‍රමණයට පැමිණෙන ලදී. ඒ වන විට ඔටෝමන් සුල්තාන් බේසිඩ්ගේ හමුදා කොන්ස්ටන්ටිනෝපල් වැටලීම සදහා ගොස් සිටි අතර මේ ආක්‍රමණය ගැන කන වැකුණු විට ඔවුන් එම වටලෑමෙන් වහා ඉවත් වී ආක්‍රමණිකයා දෙසට ගමන් කළේය. 

උපක්‍රමශීලී ලෙස ඔටෝමාන්වරුන් මගහැරි ටිමූර් අන්කාරා නගරය ආක්‍රමණය කොට අල්ලා ගන්නා ලදී. මෙයින් පුදුමයටත් කෝපයටත් පත් බෙසිඩ් ප්‍රමුඛ ඔටෝමන් හමුදාව යළි ආපසු අන්කාරා වෙත ගමන් කරන ලදී. මේ වන විට ඔටෝමන්වරුන් ඉතා වෙහෙසට පත්ව සිටින ලදී. ඔවුන් කොන්ස්ටන්ටිනෝපල් සිට මෙහි පැමිණ තිබූ අතර විවේක ගැනීම සදහා කිසිදු වේලාවක් නොතිබිණි. සොල්දාදුවන් පිපාසයෙන් මිය යමින් සිටින ලදී. එහෙත් නගරය අසල ගඟක් ඇති බව ඔවුහු දැන සිටියහ. නමුත් ඔවුන් ගඟට ළඟා වන විට එහි තිබුණේ කුඩා වතුර ස්වල්පයක් පමණි. ටිමුර්ගේ පිරිස ඔවුනට ජලය නොලැබෙන ලෙස ගඟට ඉහළින් වේල්ලක් ඉදිකර ජලය රැස් කර තබා ගන්නා ලදී.

මේ හේතුව නිසා වෙහෙසට පත්ව පිපාසයෙන් සිටි ඔටෝමාන්වරුන්ට අවසානයේ ටිමුර් ගේ හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට සිදු විය. සටන මැදදී ටාටාර් නම් අශ්වාරෝහකයෝද පැති මාරු කර ඔටෝමාන්වරුන්ට පහර දෙන ලදී. ටිමුර් සටනට මාස කිහිපයකට පෙර ටාටාර්වරුන් සම්බන්ධ කර ගෙන තිබුණි. ඔටෝමාන්වරුන් පාවාදීම වෙනුවෙන් ඔහු ඔවුන්ට විශාල වස්තුවක් ලබා දෙන බවට පොරොන්දු වී තිබිණ.

ටිමුර්ගේ හමුදා ඔටෝමාන් හමුදා විනාශ කර දැමීය. අවසානයේ ඔවුන් බේසිඩ්ව අල්ලා ගත් අතර ඔහුව නැවත සමර්කන්ඩ් වෙත ගෙන යන ලදී. අවසානයේදී ඔහු එහිදී මිය යන ලදී.

එකල ප්‍රංශය, එංගලන්තය සහ ස්පා්ඤයේ පාලකයෝ ටිමුර්ගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට සුබ පැතුම් එක් කළ බව කියැවේ. ඔටෝමාන්වරුන් මේ ආකාරයෙන් විනාශ කිරීමේ හැකියාව ගැන යුරෝපීය රජවරු බියට මෙන්ම විශ්මයටද පත්වූ බව කියැවේ. 

ටිමූර් යනු විනාශ කරන්නෙක් විය.  ඔහු තමාගේම නගරය වන සමර්කන්ඩ් අලංකාර කිරීම හැරුණු විට ඔහු කල් පවතින කිසිදු ඉදිකිරීමක් ගොඩනඟා නැත. ක්‍රි.ව.1398 දී ඔහු සිදු කළ දිල්ලි ආක්‍රමණයෙදී ඔහු හින්දු සිරකරුවන් පමණක් 100,000 පමණ ඝාතනය කොට තිබේ. ඔහු දිල්ලි නගරය විනාශ කළ අතර නගරය යථා තත්ත්වයට පත් කිරීමට සියවසකට ආසන්න කාලයක් යළි ගත විය.

ඊට අමතරව ඔහු බැග්ඩෑඩ් නගරය ආක්‍රමණය කලේ එහි නායකයා ඔහුට අබ්බගාතයා ලෙස අපහාස කළ නිසාය. සුවිශාල හමුදාවක් සමග බැග්ඩෑඩ් ආක්‍රමණය කළ ඔහු හමුදාවට අණ ලබා දුන්නේ ඔහු හිස්කබල් වලින් සෑදීමට බලාපොරොත්තු වන පිරමීඩය සෑදීම සදහා සෑම සොල්දාදුවෙක්ම මිනිස් හිස් දෙකක් රැගෙන ආ යුතු බවයි. එසේ ගෙන ඒමට අසමත් වන සොල්දාදුවාගේ හිස ගසා දමන බවටද ඔහු පැවසීය. අවසානයේ ඔහු බැග්ඩෑඩ් නගරයේ සුන්බුන් මත මිනිස් හිස් වලින් පිරමීඩ 120ක් ඉදි කරන ලදී. ඊට හිස් 90,000ක් පමණ ඇතුළත් වූ බව කියැවේ.

ඊට අමතරව ඔහු නැගී එන පර්සියානු නගරයක් වූ ඉස්ෆහාන් නගරයේ සිටි සියල්ලම සමුල ඝාතනය කරන ලදී. එයට හේතුව ඔවුන් ටිමූර්ගේ බදු එකතු කරන්නෙකු ඝාතනය කිරීමයි. ඔවුන් එහි සිටි 100,000ක් පමණ වූ සමස්ත ජනගහනය සමූල ඝාතනය කරන ලදී. එහිදී ඔවුන් එහි සිටි බල්ලන්, පුසන් වැනි සතුන්ද ඝාතනය කළ බව සදහන් වේ.

ක්‍රි.ව.1399 දී ඔහු මධ්‍යම තුර්කියේ ශිවස් නම් නගරය ආක්‍රමණය කළ අතර එහි පුරවැසියන් යටත් වුවහොත් කිසිදු ලේ වැගිරීමක් සිදු නොකරන බවට ටිමූර් පොරොන්දු විය. එම නිසා එහි පුරවැසියන් දොරටු විවෘත කළ අතර ටිමූර් ඔහුගේ වචනය එලෙසම රැකි අතර ඔහු කිසිදු ලේ වැගිරීමක් සිදු නොකොට එහි සිටි පුරවැසියන් 3,000ම පණපිටින් වළලනු ලැබීය.

මීට අමතරව ඔහු ආර්මේනියාව සහ ජෝර්ජියාව ද ආක්‍රමණය කළේය.  ඔහුගේ සොල්දාදුවන් අහිංසක මිනිසුන් මරා මුළු නගරයම ගිනිබත් කරන ලදී.  ඔවුන් වහලුන් 60,000ක්ද එහිදී අල්ලා ගන්නා ලදී.

ඔහුගේ හමුදා මිලියන 17කට වැඩි පිරිසක් මරා දමා ඇති බව කියැවේ. එය 14වන සියවසේ ජනගහනයෙන් 5%ක පමණ ප්‍රමාණයකි.

ක්‍රි.ව.1405 දී ඇති වූ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් හේතුවෙන් ඉතිහාසයේ බිහි වූ මේ කුරිරු රණශූරයා මිය යන ලදී. මිය යන විට ඔහුට වයස අවුරුදු හැට අටකි. ඉන් පසු ඔහුගේ පුත්‍රයා ඔහුගේ අනු්‍රාප්තිකයා ලෙස පත් වුවද ඔහුට පියා මෙන් සාර්ථක වීමට නොහැකි විය. ඊට අමතරව ටිමූර්ගේ මී මුණුබුරෙකු වන බාබර් ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යය ආරම්භ කරන ලදී.

වර්තමානයේ ටිමූර් යනු උස්බෙකිස්තානයේ වීරයෙකි. එහෙත් ඉරාකයේ, ඉරානයේ, පාකිස්තානයේ සහ ඉන්දියාවේ ඔහු මිලියන ගණනක් පුද්ගලයින් ඝාතනය කළ ඝාතකයෙකි.
ලෝක ජනගහනයෙන් 5%ක පමණ ප්‍රමාණයක් ඝාතනය කළ විනාශයේ අධිපතියා - ටිමූර් (ටමර්ලේන්) (Timur (Tamerlane)) - Your Choice Way
1405 දී ටිමූර් මිය යන විට ඔහුගේ අධිරාජ්‍යය

ලෝක ජනගහනයෙන් 5%ක පමණ ප්‍රමාණයක් ඝාතනය කළ විනාශයේ අධිපතියා - ටිමූර් (ටමර්ලේන්) (Timur (Tamerlane)) - Your Choice Way
ගුර්-ඊ-අමීර්, උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පිහිටි ටිමූර්ගේ සොහොන් ගෙය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝක ජනගහනයෙන් 5%ක පමණ ප්‍රමාණයක් ඝාතනය කළ විනාශයේ අධිපතියා - ටිමූර් (ටමර්ලේන්) (Timur (Tamerlane)) ලෝක ජනගහනයෙන් 5%ක පමණ ප්‍රමාණයක් ඝාතනය කළ විනාශයේ අධිපතියා - ටිමූර් (ටමර්ලේන්) (Timur (Tamerlane)) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2021 Rating: 5

0 comments:

Post a Comment