මායා ගෝත්‍රික අමුතුම ගැහැනිය (Magical Women)

මායා ගෝත්‍රික අමුතුම ගැහැනිය (Magical Women) - Your Choice Way
අවුරුදු දාහතර දහසකට පෙර ගල් ගුහාවක් තුළ දිය වළක වැටී මියගිය මායා ගෝත්‍රික කාන්තාවකගේ මුහුණේ අස්ථි කොටස් අනුව ඇගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරන්නට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. “ඊව්” හෙවත් “නහරෝන් කාන්තාව” යනුවෙන් හැඳින්වුණු මෙම කතගේ මළ සිරුර මෙක්සිකෝවේ සිස්ටෙමා නරන්ජල්හි ගුහාවක් තුළ අඩි සිය ගණනක් පහළින් වූ දිය වළකින් සොයා ගන්නා ලද්දේ වසර දෙදහස් ගණන්වලදීය. මළ සිරුරක මුහුණේ අස්ථි කොටස් අනුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ මුහුණ ප්‍රතිනිර්මාණය කිරීමේ වෝහාරික තාක්ෂණය අනුව මෙම මායා ගෝත්‍රික කාන්තාවගේ මුහුණේ හැඩරුව ප්‍රතිනිර්මාණය කිරීමට පර්යේෂකයෝ සමත් වූහ.

ඊව්ගේ උස අඩි හතර හමාරක් පමණ බවත් මිය යන විට ඇයගේ වයස් ප්‍රමාණය අවුරුදු 20 – 25 පමණ වන්නට ඇති බවත් පර්යේෂකයන් පැවැසූහයි ස්පාඤ්ඤයේ “එෆේ” පුවත් සේවය වාර්තා කෙළේය. ඇගේ ඇටසැකිල්ල සොයා ගැනුණු අවස්ථාවේදී එහි අස්ථි කොටස්වලින් සියයට අසූවක්ම කිසිදු වෙනසක් නැතිව තිබිණැයි ඔක්ටේවියෝ ඩෙල් රියෝ නමැති පර්යේෂකයා ප්‍රකාශ කෙළේය. කාන්තාවගේ මුහුණේ අස්ථි කොටස් අනුව මුහුණ නිර්මාණය කිරීමේ කාර්යය භාරගත් “ජාතික මානව විද්‍යා සහ ඉතිහාස” ආයතනය එම කාර්යය සඳහා ත්‍රිමාන සැලසුම් ශිල්පී සිසෙරෝ මොරායස්ගේ සහායද ලබා ගත්තේය. කාන්තාවගේ මුහුණේ පැවැති විශේෂ අංග ලක්‍ෂණ හා ඒවා ආවරණය වුණු සමේ ස්වභාවයත් නිර්මාණය කරනු පිණිස සිසෙරෝ මොරායස් පළමුවෙන්ම හිස් කබලේ පරිලෝකනය (ස්කෑන්) ඡායා සපයා ගත්තේය. ස්වාභාවික හිස් කබලේ ස්වාභාවික ත්‍රිමාන නියෝජනය නිර්මාණය වීම මෙම තාක්‍ෂණයේ ප්‍රතිඵලය බව ඩෙල් රියෝ “එෆේ” පුවත් සේවයට පැවැසීය.

මෙක්සිකෝවේ ක්වන්ටානාරූ නමැති ගුහා පද්ධතියේ දිය වළවල්හි වැටී මෙම ඛේදජනක ඉරණමට මුහුණ පෑ එකම කාන්තාව ඊව් නොවේ., මෑත වසර කීපය තුළදී තවත් මෙවැනි මළ සිරුරු අටක් සොයා ගැනීමට පුරා විද්‍යාඥයනට හැකි විය. ඒ අතර “නායියා” නමැති ප්‍රකට තරුණියගේ සිරුරද විය. ඒ හැම සිරුරක්ම අවුරුදු 11,000 – 14,000 දක්වා පැරැණි යැයි තක්සේරු කෙරිණි.

⚠️️⚠️️ මායා ශිෂ්ටාචාරය බිඳ වැටීම
අවුරුදු සිය ගණනක කාලයක් තුළ මායාවරුන් ඇමෙරිකාවේ විශාල ප්‍රදේශයක ආධිපත්‍ය පතුරුවාගෙන සිටි නමුත් ක්‍රි.ව. අටවැනි හා නවවැනි සියවස්වලදී එම ශිෂ්ටාචාරයෙන් ඉතා විශාල කොටසක් බිඳ වැටුණේය. ඒ පරිහානියට පාදක වූ හේතුව බොහෝ කාලයක් තිස්සේ උණුසුම් වාද විවාදවලට පදනම් වූ නමුත් නිශ්චිත නිගමනයක් ඒ සම්බන්ධයෙන් ඇති නොවූයේය. එහෙත් දැන් තමන්ට නිශ්චිත පිළිතුරක් සපයා ගැනීමට හැකිවී ඇතැයි සලකන විද්‍යාඥයෝ ඒ අන් කිසිවක් නොව, ශත වර්ෂයක් පුරා පැවැති දරුණු නියඟය යැයි ප්‍රකාශ කරති.

දීර්ඝ කාලයක් තිස්සේ වැසි නොලැබීම නිසා ශිෂ්ටාචාරය කැඩී බිඳී යෑමට හේතුවූ බවත් දෙවැනි වරටද එහි ඇති වියළි කාලගුණය නිසා ජනතාව ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවත් බෙලිශ්හි “ගේ‍ර්ට් බ්ලූ හෝල්” නමැති ආවාටයේ අවසාධිත සම්බන්ධයෙන් පැවැත්වුණු අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. මායාවරුන්ගේ සමෘද්ධිමත්ම කාලය නියඟයක් හේතු කොටගෙන පරිහානියට පත්විණැයි යන්න සහමුලින්ම අලුත් සිද්ධාන්තයක් නොවන නමුත් මේ සම්බන්ධයෙන් පැවැත්වුණු නවතම අධ්‍යනයේ සම කර්තෘවරයකු වූ ටෙක්සාස්හි රයිස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ඩ්‍රි ඩේ‍රාක්ස්ලර් ඒ පැරැණි සිද්ධාන්තය තවදුරටත් තහවුරු කරන අලුත් සාධක ඉදිරිපත් කර ඇත.

⚠️️⚠️️ වසංගත රෝග හා විදේශික ආක්‍රමණ
මායාවරුන්ගේ විනාශයට හේතුවූ බව දක්වන නොයෙක් සිද්ධාන්තද කලක් තිස්සේ ඉදිරිපත් වූ නමුත් ක්‍රි. ව. 800ත් 1000ත් අතර කාලය තුළ නිවර්තන කලාපීය සුළි කුණාටු දෙකකට වඩා වාර්තා වී ඇතැයි ආචාර්ය ඩේ‍රාක්ස්ලර් ප්‍රකාශ කළේය. එපමණක් නොව වෙනත් කාලවලදී නිවර්තන කලාපීය සුළි කුණාටු හයක් පමණ හටගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. එයින් අදහස් කෙරෙන්නේ එම කාල සීමාව තුළ ඇතිවූ දරුණු නියඟය හේතුකොටගෙන හට ගත් දුර්භික්‍ෂය නිසා මායා ජනතාව අතර මහා කැලඹීමක් ඇති වූ බව යැයිද ආචාර්ය ඩේ‍රාක්ස්ලර් ප්‍රකාශ කරයි. ක්‍රි.ව. 1000ත් 1100ත් අතර කාලය තුළ හට ගත් දෙවැනි නියඟයක ප්‍රතිඵලයක් වශයෙන් “චිචන් ඉට්ශා” නමැති මායා ගෝත්‍රික නගරය බිඳ වැටුණු බවද වාර්තා වී ඇතැයි පර්යේෂකයෝ කියති.

ක්‍රි.ව. 660 – 1000 අතර කාලය තුළ ඇති වූ කාලගුණ විපර්යාස හා නියං ද දේශපාලන හා වෙනත් ගැටුම්ද හේතු කොටගෙන හට ගත් සමාජ අස්ථාවරත්වයේ අවසාන විපාකය වූයේ “ශේ‍ර්ෂ්ඨ මායාවරුන්ගේ බිඳවැටීම” යනුවෙන් හැඳින්වුණු ව්‍යසනයයි. එයින් අනතුරුවද යළිත් ක්‍රි.ව. 1020 – 1100 අතර කාලය තුළ හටගත් ඉතා දරුණු නියඟය අවසන් වූයේ අස්වනු විනාශය දුර්භික්‍ෂය, මරණ, සංක්‍රමණ හා මායා ජනගහනයේ අවසානයද සමඟය.

නහරෝන්හි ඊච් නමැති කාන්තාවගේ මළ සිරුර ඇමෙරිකාවෙන් හමුවුණු පැරැණිතම මානව මෘත දේහය වශයෙන සැලකෙන අතර එම අස්ථි පඤ්ජරය අවුරුදු 13,600ක් පමණ පැරැණි යැයි ඒ පිළිබඳ විශ්ලේෂණයෙන් අනාවරණය විය. ඇය ජීවත්ව සිටි යුගයේ යුකැටන්හි ජනතාව දඩයමෙන් දිවි ගෙවූවන් බව ප්‍රකටව ඇතත් ඇය පිළිබඳ වතගොත ඉතා රහසිගතය. යුකැටන්හි ගල්ගුහා හැම විටම ජලයෙන් යට නොවූ නමුත් හිම යුගයේ අවසානයේ මුහුදේ ජල මට්ටම ඉහළ නැඟීමෙන් එම ගුහා ජලයෙන් යට විය. බිලි පූජාද ඇතුළු මායා පුද සිරිත් සඳහා ඔවුන් මේ ප්‍රදේශය යොදා ගන්නට ඇතැයිද අදාළ විශේෂඥයෝ කියති.

උපුටාගැනිමකි❤✍️ 
පරිවර්තනය ප්‍රේමචන්ද්‍ර අල්විස්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මායා ගෝත්‍රික අමුතුම ගැහැනිය (Magical Women) මායා ගෝත්‍රික අමුතුම ගැහැනිය (Magical Women) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment