ඉරි වකුටුල්ලා - ලංකාවට ආවේණික සර්පයෙක් 😋😍 (Silybura Phillipsi)

ඉරි වකුටුල්ලා - ලංකාවට ආවේණික සර්පයෙක් 😋😍 (Silybura Phillipsi)
දුම්බර කඳුවැටියට ආවේණික තවත් එක් සර්ප විශේෂයක් ලෙස ඉරි වකුටුල්ලා සඳහන් කළ හැක. නකල්ස් කඳුවැටියේ ගම්මඩුව ප්‍රදේශයෙන් සොයාගත් නිදර්ශක මගින් 1929 දී විදු ලොවට එක් වූ මෙම විශේෂය එවකට Silybura phillipsi ලෙස හැඳින්විය. ශ්‍රී ලංකාවේ හමුවන Uropeltidae  කුලයේ සර්පයන්ගේ වල්ගපලිහ හා අනෙක් ලක්ෂණ වල ඇති වෙනස්කම් හේතුවෙන් මෑතක් වනතුරු ඔවුන්ව ගණයන් කිහිපයකට වර්ග කරන ලදී. Uropeltis ගණය නියෝජනය කල සර්පයන්ගේ වල්ග කෙලවර අනෙක් Uropeltidae කුලයේ සර්පයන්ගේ මෙන් ඇබයක හෝ පලිහක ආකාරයක් දක්නට නොලැබෙන අතර ඔවුන්ව පොදුවේ වකුටුල්ලන් ලෙස නම් කර ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කල වකුටුල්ලන් තුන් දෙනෙක් (කළු වකුටුල්ලා, ඉරි වකුටුල්ලා හා රුහුණු වකුටුල්ලා) සිටිය අතර අද වන විට ඉන් එක්  විශේෂයක් (රුහුණු වකුටුල්ලා) ශ්‍රී ලංකාවේ හමු නොවන විශේෂයක් ලෙස සලකනු ලබයි. තවද මෙම කුලයේ සර්පයන්ගේ වංශප්‍රවේණිය සැලකූ විට ඔවුන් සියලු දෙනාම වර්ථමානයේදී Rhinophis ගණයෙහිලා වර්ගකරනු ලබයි. මේ අනුව Uropeltis ගණය ඉන්දියාවට ආවේණික වේ.

යුරෝපෙල්ටිඩාවන් අතුරින් ඉතාමත් අලංකාර විශේෂයක් ලෙස ඉරි වකුටුල්ලා හැඳින්විය හැක. එම සත්වයන්ගේ ශරීරයේ ඇති කහ පැහැති ඉරි හා පාර්ශවික පුල්ලි හේතුවෙන් මෙම දැකුම්කළු පෙනුම ඔවුනට ලැබී ඇත. ශරීරයේ තරමක් රොම්බසාකාර හැඩයෙන් යුත් සුමට කොරළ දක්නට ඇත. ශරීර වර්ණය නිල් මිශ්‍ර කළු ස්වභාවයක් ගනී. පාර්ශවික කොරළ පෙළක සිට කොරළ මධ්‍යයේ කහ පැහැති රේඛාවක් පිහිටයි. මෙම රේඛා ආරම්භ වන්නේ ගෙලට මදක් පිටුපසින්ය. මෙලෙස සෑම කොරළයකම මෙම රේඛාව පිහිටන හෙයින් ශරීරයේ වල්ගය දෙසටම යන තෙක් ඇති තනි රේඛා සේ දිස් වේ. මෙවැනි රේඛා 7ක් පමණ ශරීරයේ දක්නට ඇත. මීට අමතරව සිරුරේ ද්වීපාර්ශවිකව කහ පැහැති පුල්ලි වැනි සලකුණු දක්නට ලැබේ. මේවා පෘෂ්ඨීයව ඇති රේඛා හැරුන කොට පාර්ශවිකව ඇති රේඛා මත පිහිටයි. හිස පෙදෙස වඩා තද වර්ණයක් ගනී. වල්ග පහිලද කුඩා වන අතර කහ පැහැයක් ගනී. එහි පෘෂ්ඨීයව කුඩා ගැටිති වල්ග පලිහේ කෙළවර සිට මධ්‍ය දෙසට වන්නට පිහිටයි. පාංශු වාසී සංචරනයටම පරිණාමිකව හිමි වූ උල් හිස බුරුල් පස තුලින් හාරා යෑමට උපකාරී වේ. දිවියෙන් වැඩි කලක් පාංශු වාසීව සිටින බැවින් අනෙක් සර්පයන්ගේ මෙන් අක්ෂි පිහිටා නොමැත. පාරගම්‍ය පටලයක් වැනි කොරළයකින් එය වැසී ඇත. පැහැදිළි ගෙලක් රහිතය. උදරීයව ලා පැහැයක් ගනී.

ගැඩවිලුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. වර්ෂාවත් සමග පොළව මතුපිටට පැමිණෙනු දැකිය හැක. ගෙවතු, කෘෂි භූමි හා වනාන්තර මෙන්ම තෘණ භූමි වල හමුවේ. නිසාචර සත්ව විශේෂයක් වේ. අන්ඩජලාබුජ තාව මගින් පැටව් බිහිකරයි. වැඩුන සතෙක් 25cm පමණ වේ. කලබල වූ විට ගුලිවී හිස සඟවා ගනී. කිසිවිටෙකට සපා කෑමට තැත් නොකරයි. මනිසා හා නිතර නොගැටුනත් පස් කැපීම , කෘෂි භූමි පිළියෙළ කිරීම් වැනි ක්‍රියාකාරකම් මෙම සතුන්ගේ පැවැත්මට ඇති තර්ජන සේ සැළකිය හැක. මේ වන විට රතු දත්ත සටහනේ වඳ වීමේ අවදානමට ලක් වූ සර්ප විශේෂයක් (Endangered) ලෙස නම්කොට ඇත.

ඉරි වකුටුල්ලා සම්බන්ද විශේෂ කරුණු,
  1. පරිණාමිකව කළු වකුටුල්ලා (Rhinophis melanogaster-Gray, 1858) හා කුවියර්ගේ වල්ගා ඇබයා (Rhinophis philippinus-Cuvier, 1829) හට ලගම නෑකම් දක්වයි 
  2. ශ්‍රී ලංකාවේ පක්ෂීන් හා ක්ෂීරපායීන් පිලිබඳ ග්‍රන්ථ කතුවරයෙක් හා පරිසර වේදියෙක් වූ බ්‍රිතාන්‍ය ජාතික William Watt Addison Phillips හට ගෞරවයක් ලෙස නම් කොට ඇත. මාතලේ ගම්මඩුවේ පිහිටි ඔහුගේ බංගලාවේ සිටින කාලයේදී මෙම සත්වයාගේ පළමු නිදර්ශක එකතු කර ඇත.
සටහන - සංජය කණිෂ්ක
ඉරි වකුටුල්ලා - ලංකාවට ආවේණික සර්පයෙක් 😋😍 (Silybura Phillipsi)

ඉරි වකුටුල්ලා - ලංකාවට ආවේණික සර්පයෙක් 😋😍 (Silybura Phillipsi)

ඉරි වකුටුල්ලා - ලංකාවට ආවේණික සර්පයෙක් 😋😍 (Silybura Phillipsi)

ඉරි වකුටුල්ලා - ලංකාවට ආවේණික සර්පයෙක් 😋😍 (Silybura Phillipsi)
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉරි වකුටුල්ලා - ලංකාවට ආවේණික සර්පයෙක් 😋😍 (Silybura Phillipsi) ඉරි වකුටුල්ලා - ලංකාවට ආවේණික සර්පයෙක් 😋😍 (Silybura Phillipsi) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 16, 2020 Rating: 5

0 comments:

Post a Comment