ලෝකයේ මිල අධිකම කෝපි වර්ගය හදන හැටි (How To Make The Most Expensive Coffee In The World)

ශ්‍රී ලංකාව කියන්නෙත් කෝපි නිෂ්පාදනයට ප්‍රසිද්ධ රටක්. ලංකාවේ කෝපි නිෂ්පාදනය ඇරඹුණේ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් සැමුවෙල් බර්ඩ් විසින් 1824 දී ප්‍රථම කෝපි වගාව ආරම්භ කළායින් පස්සේ. එදා සිට අද දක්වා ලංකාවේ කෝපි වගාව සිදු වෙන නමුත්, මේ වන විට ලෝකයේ කෝපි සඳහා ලංකාවට වඩා ප්‍රසිද්ධ රටවල් තිබෙනවා.ඒ වගේම විවිධ රටවල් වලින් විවිධ ආකාරයේ කෝපිත් නිපදවෙනවා. කෝපි වල වටිනාකම සහ මිල ගණන් තීරණය වෙන්නේ බොහෝවිට එම කෝපි නිෂ්පාදනය කිරීමේ දී සිදු කරන්න වෙන අසීරු ක්‍රියාවලිය මතයි.

ඉතින් අපි මේ කියන්න හදන්නේ හදන්නෙ ඒ වගේ අමුතුම විදියකට නිපදවන ලෝකේ මිල අධිකම කෝපි වර්ගය ගැනයි.මේ මිල අධිකම වටිනාම කෝපි වර්ගය ගැනත් ඔබ සමහරවිට අහලත් ඇති.ඒෙකෙ නම තමයි කොපි ලුවැක්. (kopi luwak) කොපි ලුවැක් යනු ආසියානු පාම් සිවෙට් එහෙමත් නැත්නම් Asian Palm Civet (Paradoxurus hermaphroditus) නම් සත්වයා විසින් ආහාරයට ගෙන අර්ධ වශයෙන් ජීර්ණය කරන ලද කෝපි චෙරි වලින් සමන්විත මළපහයි. එබැවින් එය සිවට් කෝපි (Civet coffee) ලෙසද හැඳින්වෙනවා.
ඔවුන් විසින් ආහාරයට ගන්නා කෝපි ඇට බඩවැල් හරහා ගමන් කරන විට පැසවීම සිදු වන අතර අනෙකුත් ද්‍රව්‍ය සමඟ එකතු වී ඌ විසින් මළපහ කළ පසු මිනිසුන් ඒවා එකතු කරගනු ලැබේ. මේ නිසා පෙනුමෙන් පූසෙකු වැනි මෙම සතුන් වැඩි වැඩියෙන් මිනිසුන් විසින් වනයෙන් සොයාගෙන වෙළඳාම් කරනවා.කොපි ලුවැක් ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියාව, ජාවා, සුමාත්‍රා,බාලි සහ නැගෙනහිර ටිමෝරය වැනි ප්‍රදේශ වල නිපදවනවා. පිලිපීනයේදී මේවා වනාන්තර වලින් රැස් කරන අතරම ඒ ආශ්‍රිත ගොවිපොළවල්වල වෙනම නිපදවනවා. ඒ වගේම මේ කොපි වර්ගය එක එක ප්‍රදේශ වල විවිධ නම් වලින් හඳුන්වනවා.

කෝපි නිෂ්පාදකයන් මෙම ක්‍රියාවලිය ප්‍රධාන අදියර දෙකක් යටතේ සිදුවන බව පවසනවා .ඒ තෝරා ගැනීම සහ ජීරණයයි. තෝරාගැනීම යටතේ සිවෙට් සත්වයන් විසින් හොඳම වර්ගයේ කෝපි ඇට තෝරාගැනීම මතත්, ජීර්ණය යටතේ ඔවුන්ගේ ආහාර මාර්ගය තුළ සිදුවෙන කෝපි ඇට වල සංයුතිය වෙනස් කරන ජෛව රසායනික ක්‍රියාවලිය මතත් මෙම කෝපි වල උසස් තත්ත්වය රඳා පවතින බව ඔවුන් පවසනවා.

සාම්ප්‍රදායික ලෙස මෙම සිවෙට් සත්වයන් ගේ මළපහ වණාන්තර වලින් එකතු කිරීම වෙනුවට මේ වන විට ඔවුන් අල්ලා ගෙනවිත් ගොවිපලවල් වල ඇති කරන තත්ත්වය දක්වා මෙම ක්‍රමය වෙනස් වී තිබෙනවා. එහිදී එම සත්වයන්ට කෝපි ඇට ආහාරයට ගැනීමටත් බල කරවනවා. නමුත් මෙම අමානුෂික ක්‍රියාව මතභේද වලට මේ වන විට තුඩු දී තිබෙනවා. එයට හේතුව මෙම සත්වයන් ඉතා කුඩා කූඩුවල ගාල් කිරීමත්, අනෙක් සතුන්ගෙන් වෙන් කිරීම සහ ඉතාම කුඩා ආහාර වේලක් ඔවුන් වෙත සැපයීම වැනි හේතු නිසයි. ඒ වගේම ගොවිපලවල ඇති කිරීම නිසා එම සතුන්ගේ මරණ අනුපාතය ද ඉහළ ගොස් තිබෙනවා.
කෝපි ඇට මෙම සිවෙට් සත්වයන්ගේ ආහාර මාර්ගය තුළින් තුළින් ගමන් කරන විට ක්‍රියාවලි තුනකට බඳුන් වෙනවා. ඒ ආම්ලික ක්‍රියාවලියක්, පැසවීමක් සහ එන්සයිම ක්‍රියාත්මක වීමක් ලෙසයි. එහිදී විවිධ අම්ලවලට සහ ජීර්ණ එන්සයිම සමග ගැටෙන කෝපි ඇට වල ඇති ප්‍රෝටීන කුඩා පෙප්ටයිඩ බවට කැඩී යනවා.එහිදී එම ඇමයිනෝ අම්ලවල සංයුතිය වෙනස් වෙනවා. ලුවැක් කෝපිවල සුවඳට හේතු වන්නේ මෙම ක්‍රියාවලියයි.

2010 වන විට මෙම කෝපි වලින් රාත්තලක් ඇමරිකානු ඩොලර් 100 ත් 500 ත් අතර මිලකට අලෙවි වුණා. මෙම කෝපි සඳහා වැඩිම ගනුදෙනුකරුවන් පිරිසක් සිටින්නේ ආසියාවෙන්ය. ඒ අතර ජපානය චීනය දකුණු කොරියාව වැනි රටවල් විශේෂයි. මෙම කෝපි වර්ගය ඉතාම ඉහළ මිලකට අලෙවි වුනත්, ඉන්දුනීසියාව වැනි රටවල් වල මෙම කෝපි ඇට එකතු කරන්නන් වෙනුවෙන් ගෙවන්නේ කිලෝග්රෑමයකට ඇමරිකානු ඩොලර් 20ක් පමණ මුදලක්.

විශේෂ කෝපි අලෙවිකරණ අලෙවිසැල්ල් වන මෙම කෝපි කෝප්පයක් ඇමරිකානු ඩොලර් 35-80ත් අතර මිලක් වෙනවා. එය හරියට ලංකාවේ මුදලින් රු.7000- 15,000ක් පමණ මුදලක් ගෙවා කෝපි කෝප්පයක් බීමකට සමානයි.කොපි ලුවැක් වලට ව්‍යාජ අනුකාරක දක්නට ලැබෙන අතර එම ව්‍යාජ කෝපි කිලෝග්‍රෑමයක් ඇමරිකානු ඩොලර් 3ක පමණ මුදලට අන්තර්ජාලයෙන් මිලදී ගැනීමට තිබෙනවා.

කෙසේ නමුත් සැබෑ කොපි ලුවැක් කිසිසේත්ම මිලෙන් අඩු නොවන අතර සොයා ගැනීමට ඉතා අපහසුයි.මේ ආකාරයටම වවුලන් වෙත හොඳින් ඉදුණු කෝපි ඇට සහ වෙනත් පලතුරු ආහාරයට දී ඔවුන්ගේ මළ පහ ආශ්‍රයෙන් නිපදවන කෝපි වර්ගයක් ද තිබෙනවා. මෙය වවුල්ම කෝපි / Bat coffee ලෙස හඳුන්වන අතර මෙම කෝපි වර්ගය තරමක පළතුරු රසයකින් යුක්තයි.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝකයේ මිල අධිකම කෝපි වර්ගය හදන හැටි (How To Make The Most Expensive Coffee In The World) ලෝකයේ මිල අධිකම කෝපි වර්ගය හදන හැටි (How To Make The Most Expensive Coffee In The World) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2020 Rating: 5

0 comments:

Post a Comment