අතීතයේ හෙළයන් භාවිතා කර විමාන (Aircraft Using Helas In The Past)

විමාන සහ අහස් තර යනුවෙන් හෙළ බසින් ද, විමාන හා වෛමාන ලෙස සංස්කෘතයෙන්ද හැඳින්වුණේ ගුවන් යානාවයි. බෙංගාල බසින් මෙය බිමාන ​ෙව්. බිමාන එයාර් ලයින්ස් (Bimana Airlines) යනු බංගලිදේශ් ජාතික ගුවන් සේවාවයි. “අප ගමන් බිමන් යෑම” යනුවෙන් අදත් භාවිත කරන්නේ පොළොව මතුපිට ගමන් කිරීම වුවද ගමන් යනු පොළොව මතුපිට යාමයි. බිමන් යන අහසින් යාමයි. බැංගලෝරයෙන් ලැබී 1923 ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද භාරද්වාජගේ (සංස්කෘත) ග්‍රන්ථයේ ගුවන් ගත කිරීම “නැග්ම” යන වචනයෙන්ද පොළොවට පාත් කිරීම “ලැග්ම” යන වචනයෙන්ද (ලැගීම) දක්වා තිබුණි. 

මේ පක්ෂියාගේ නොහොත් කුරුල්ලාගේ ගමන අනුව යාමයි. 1967 දී ටිබෙට් රටින් සොයාගෙන චීන රජය විසින් ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයට දී ඉංග්‍රීසියට පරිවර්තනය කරගත් පොතේ තිබුණේ ග්‍රහලෝකවලට පවා මෙම විමානවලින් ගමන් කළ හැකි බවය.පරිවර්තන මණ්ඩලයේ ප්‍රධානි ආචාර්ය රූත් රේනර් මහත්මිය ඒ බව ප්‍රකාශ කර තිබුණි. ගුවන් යානාවක් නිපදවීම හා පදවාගෙන යාම පුද්ගලයකුට හෝ එක් ගුරුකුලයකට සීමාවුවක් මිස එය සමාජ විද්වත් හෝ සමාජ තාක්ෂණයක් නොවීය. 

එය ඍෂි නොහොත් විශ්වකර්ම විසින් නිර්මාණය කරන ලද “ලංකාපුරය සහ දඬුමොනර යානය” එසේ සැදුවේ සිංහමුඛ නොහොත් මාල්‍යවන්ත කුමරුටය. ඔහුගෙන් හිස් වූ ලංකාපුරය හා යානය විශ්‍රවස් මුණි අත්පත්කර ගති. රාවණ විසින් විශ්‍රවස් මුණිව ලංකාවෙන් පිටකර ​ෙ​ෙකලාශ කූටයට (අද සංචාරක මධ්‍යස්ථානයකි.) යවා තමන් විසින් ලංකාපුරය හා යානය අයිතිකර ගති.ආරම්භක කෘත යුගයේදී යානාවක් රහිතව සිතිවිලි මාත්‍රයෙන් මිනිසාට අහසින් යා හැකි වු බව ලේඛනගතව ඇත. දෙවැනි ද්වාපර යුගයේ අවසාන භාගය වනවිට ආවරණය සාදා ගැනීමට සිදුවිය. ඒ ඔහු තම පංචස්කන්ධය ඒ තුළ රඳවාගෙන ගමන්කළ නිසාය. ඒ තුළ මන්ත්‍ර ජප කරමින් ඔහු ගමන් කළේය.තේත්‍රා නමැති තුන්වන යුගය වන විට ලෝහ ආවරණය හා යානය ක්‍රියාත්මක වන එන්ජිමක් සහිතව විමානය ගමන් කළේය. කෘත යුගයේ මිනිසා අධි මානසික බලවලින් පරිපූර්ණව සිටි නිසා (4/4) සියල්ල සිතුවිල්ලෙන් ක්‍රියාත්මක විය. ද්වාපර යුගයේදී පූර්ණත්වය අඩක් (2/4) අඩු විය.

තේත්‍රා යුගයේදී අධි මානසික බල 1/4ට අඩුවී මන්ත්‍ර වැඩි​ෙයන් අවශ්‍ය විය. වත්මන් කලියුගයේදී අධි මානසික බල මුකුත් නැතිව හුදෙක් ද්‍රව්‍යමය ලෙස (භෞතික හා රසායන විද්‍යාවෙන්) ගුවන් යානා නිපද වේ. නමුත් දැන් පෙනී යන්නේ බලවත්ම අධිවේගී ගුවන් යානාවලට සිතිවිල්ල කෘත්‍රිම ලෙස වායු තරංග වලට කවා එම වායු තරංග (මන්ත්‍ර) මගින් ද්‍රව්‍යය ස්පර්ෂකර ක්‍රියාත්මක කරන බවය. මෙහි විස්තර පෙනෙන ගුවන් යානා තාක්ෂණය භාරද්වජගේ “විමාන ශාස්ත්‍ර” වලින් උපුටා ගත් අතර එහි දැක්වෙන්නේ තේත්‍රා යුගයේ ගුවන් යානා තාක්ෂණයයි.

ලෝහ වර්ග තෝරාගැනීම. නියමුවා සම්පූර්ණ වූ (නියම වූ) පසුව පමණක් යානය සෑදීම විස්තර වේ. මානව අවශ්‍යතාව අනුව ද්‍රව්‍ය ක්‍රියාකාරිත්වය දෙවනුව පුරුදු පුහුණුකර ඇත්තේ හෙළ ශිෂ්ටාචාරයේය. අදත් සිංහල අවුරුද්ද දිනට පළමුවෙන්ම සිදුවන්නේ පාරිභෝගික අවශ්‍යතාව මූර්තිමත් කරන ලිප ගිනි මොළවා කිරිබත් පිසින කාර්යය පළමු නැකතට සිදු කිරීමය. මේ මව හා දූවරුන් විසිනි. වැඩ අල්ලා ගනුදෙනු කර නිෂ්පාදන ක්‍රියාව මූර්තිමත් කරන්නේ පියා හා පුතුන් විසින් දෙවනුවය.පෘථිවිය අභ්‍යන්තරයේ ලෝහ නිධි දරාගත් පාෂාණ තට්ටු 3000ක් ඇත. 7 වැනි ස්ථරයේ ඇති මෙවැනි ලෝහ වර්ග 27කි. මධ්‍ය ආකර්ෂණ බලය, පෘථිවි හා වායු ගෝලීය ආකර්ෂණය, සූර්ය පිටාරයත්, වායුන්ගේ බලයත්, ග්‍රහලෝක හා තාරකාවල බලය, හිරු සඳු ආකර්ෂණ බලය, විශ්ව ගුරුත්වාකර්ෂණ යනාදී වූ සියලු බලවේගයන් පෘථිවියේ 3, 8, 11, 5, 2, 6, 4, 9 යන ස්ථරවලට අනු පිළිවෙළින් ඇතුළු වේ. එමගින් නොයෙකුත් වර්ගවල හා තත්ත්වයන්ගේ ලෝහ වර්ග නිර්මාණය වේ.මේ අතුරින් සෞමක, සෞන්දල හා මෞත්විත ලෝහවර්ග තුන තෝරා ගැනේ.

මේවායේ ඇති විශේෂ බල සහ ගුණාංග විවිධ ශබ්දයන්ට ආදේශ කර වටිනාකම් මනිනු ලැබේ. මෙම තෝරා ගැනීම් කරන්නේ සූර්යාගේත්, එහි පරිවාර ග්‍රහයන්ගේත්, තාරකාවල හා අභ්‍යාවකාශයේ අනන්ත වූ ග්‍රහ තාරකාවන්ගේ බලශක්තීන් පෘථිවියේ කිනම් ස්ථානවල ඇති ලෝහයන්හි අන්තර්ගතදැයි දැනගැනීමෙන් පසුවය.අභ්‍යාවකාශයේ ගමන් කරනවිට විවිධ රශ්මීන්ට සහ උණුසුම් තත්ත්වයන්ට, සුළං හා වා රැළිවල ගැටීම් වලට, වසවිස ස්ථරවලට, ධූම පටලයන්ට යානය ඔරොත්තුදීමට හැකිවීමටය. පස් සහ වෙනත් විවිධ පාෂාණ කොටස් මිශ්‍ර අපිරිසිදු ස්වරූපයෙන් හාරාගත් ලෝහ වර්ග උණුකර සුද්ධකර ගැනීමට අවශ්‍යය.

ලෝහ උණු කිරීම.සෞමක – මෙම ලෝහය කට පළල් භාජනයක පුරවා පැඟිරි, දෙහි, එඬරු, සියඹලා, ජම්බු ආදී යුෂයන් මිශ්‍රකර දවසේ උෂ්ණත්වය මෙන් (90°f හෝ 28​°c) 27 ගුණයක උෂ්ණත්වයෙන් (2430°f හෝ 756°c) උණුකරගත යුතුය. මෙසේ උණුකරගත් ලෝහය තෙල් වර්ග 8ක් සමග සහ ඉන් අනතුරුව අම්ල සමග උණුකර වත් කෙරේ.සෞන්දල – සිලින්ඩරාකාර භාජනයක දමා අම්ල වර්ග 6න් හා තෙල් වර්ග 7න් උණුකර වත්කර ගත යුතුය.මෞර්විත – ඉහත සඳහන් සෞමක හා සෞන්දල මෙන්ම අම්ල සහ තෙල් වර්ග කීපයකින් නියමිත උෂ්ණයන්හි උණුකර වත්කර ගනු ලැබේ. විමාන සඳහා ලෝහ උණුකරන උඳුන් සාදන ආකාරයද විශේෂිත වේ. එක් වර්ගයකට 76ක් වන වර්ග 7ක උඳුන් 532 ඇත. මේ සඳහා සුළං පිඹිනයන් (Blowers) වර්ග 532ද ඇත. උඳුන් සෑදීමට ගන්නේ ගස්වල පොතු, සතුන්ගේ හම්වර්ග, කිරිවල ඇති ක්‍රීම්, රෙදි, සේද, කපු, පුවක් මුල් ආදී දීර්ඝ වට්ටෝරුවකි.විමාන ක්‍රියාත්මක වීම සඳහා ශක්තිය.

විමානය ක්‍රියාත්මක වීම සඳහා ශක්තීන් 7ක් ක්‍රියාත්මක විය යුතුය. මෙම ශක්ති උපදවන්නේ මෝටර් මගිනි. ඉන් නිපදවෙන ශක්තිය රැහැන් යොදා ක්‍රියාකාරීත්ව කොටස (එන්ජිම) වෙත ගමන් කරවනු ලැබේ. හැම මෝටරයක්ම ඊට ආවේණික ශක්තිය උපදවයි. ශක්ති ප්‍රශාවත නමැති යන්ත්‍රය විමානය ගමන් කිරීමටද. අපතර්පන යන්ත්‍රය විසින් සතුරු යානයක ශක්තිය ලොප් කිරීමද, අම්පුසා යන්ත්‍රයෙන් සූර්ය ශක්තිය උරාගැනීමද ආදී ලෙස මෙම ශක්ති 7 විස්තර කළ හැක. ශක්තිය උපදවන මූලයන්ද 7කි. ඒ ගින්දර, පො​ෙළාව, වායුව, සූර්යයා, චන්ද්‍රයා, ජලය හා අවකාශ මගිනි. ශක්තීන් ග්‍රහණය කරන්නේ ශබ්ද (මන්ත්‍ර) මගිනි. “ර” අක්ෂරය සූර්ය ශක්ති 12, “ස” අක්ෂරය සතුරු බල උරාගැනීමද, “ත” අක්ෂරය මූල ශක්තිය ස්පර්ෂ කිරීමද ආදී ලෙස එම හත විස්තර වේ. මෙම ශබ්ද මන්ත්‍ර ලෙසට සංග්‍රහ කර ප්‍රයෝජනයට ගනු ලැබේ.

විමානයක ඇති ප්‍රධාන කොටස් තිස් එක.මෙම කොටස් 31 යටතේ වැදගත්ම කොටස් 7 වන්නේ දර්පණතල නොහොත් ප්‍රධාන කණ්ණාඩි 7යි.
  1. විශ්වකාර්ය දර්පණය (ගුවන් නියමුවා අසල ඇති කරකැවෙන අසුනක සවිකළ හාත්පස පෙනෙනා දර්පණය. (උකුසු ඇටකටු කොටසක්, රසදිය කොටස් 5ක්, මුතු ඇට කුඩු කොටස් 8ක් ආදී වර්ග 14 අමුද්‍රව්‍ය අවශ්‍යයි.)
  2. ශක්තියාකර්පණ දර්පණය – (සූර්යාලෝකය, සුළං හා ගින්දර නිසා ඇතිවෙන අහිතකර ප්‍රතිඵල 122 ඇති අතර එම අන්තරායන් මෙම දර්පණය මගින් ඇදගන ආරක්ෂාව සලසයි.)
  3. විරූප දර්ශන (සතුරු යානයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරන විට භයංකර විරූප දර්ශනයක් මැවීමට මින් හැක. විරූප දර්ශන 27කි. ගින්දර, ජලය, සුළං, වලසා, කොටියා, සිංහයා, දැවැන්ත කුරුල්ලන් ආදියයි)
  4. කුත්තිනී දර්පණය – පහළ වායුගෝලයේ ජීවය ආරක්ෂා කර දෙන ස්වභාවික ක්‍රම ඇත. ඉහළ අහසේ හා අභ්‍යාවකාශයේ භූත, ලේ, මේද, මාංශ, ඇට, සම හා බුද්ධිය රෝගී කරවීම සිදුවේ. කුත්තිනී දර්පනයෙන් ඒ සියල්ල ආරක්ෂා කරයි.
  5. පින්ජුලා දර්පණය – සූර්ය ශක්තියේ ඇති එකිනෙක ගැටෙන විරූඪ බලවේග පින්ජුලා නම් වේ. ඉන් ඇසේ කළු ඉංගිරියාවට බලපා අන්ධ කරයි. මෙම දර්පණයෙන් ඊට ආරක්ෂාව සලසයි.
  6. ගුහා ගර්භ දර්පණය – සුළංවල රශ්මිවල ඇති එකිනෙක අතර ඇතිවෙන විදුලිය බල ගැටීම මගින් යානය තුළ සිටින අය ශක්තියෙන් පිරිහෙළා අක්‍රීයකර දමයි. මෙම දර්පණයෙන් එම ශක්තීන් ඊට එකතුකර පිටට විහිදුවා හැරේ. සතුරු යානයක් එන්නේ නම් ඊට එල්ල කළ හැක.
  7. රෞදි දර්පණය – සූර්ය රශ්මියේ අහිතකර බලයත් එකතුකර විද්‍යුත් බලයෙන් විහිදුවා හැර තමන්ට වුවමනා යානයක් උණුකර වගුරුවා හැරිය හැක. (ටිබෙට් පොත්වලින් ඉගෙනගන හිට්ලර්ට යුද ටැංකි උණුකරන ආලෝක කිරණ නිපදවීමට හැකි විය.)ආහාර අධිකාරිය.
විමානයක් පදවන අයගේ ආහාරය පො​ෙළාව මතුපිට ජීවත්වන අයකුට වඩා වෙනස්ය. වසන්ත හා ග්‍රීස්ම සෘතුවලදී, ශීත සෘතුවේදී, වර්ෂා සහිත සරත් සෘතුවේදී ගතයුතු ආහාර වෙනස් වන්නේය. මෙය නොදන්නේ නම් ආහාර විෂවීමට පුළුවන.අහසේ ඇති ජලීය ස්වභාවයේ වෙනස්වීම් හා ජලීය ප්‍රමාණයේ අනුපාත අඩුවැඩි වීම් ශරීරයට යහපත් හා අයහපත් ආකාරයන්ට බලපායි. ඉහළ අහසේ 1/16 පමණක් ජලය ඇති 7 වැනි ආකාශ ස්ථරයේ සීතාවලී සහ කුහෝ නමැති යෝග සමග වායු බලවේග 101 ප්‍රමාණය ගැටේ. මේවා පසලොස්වක හා අමාවක සමග පුර හා අවපක්ෂ වලදී විවිධ ප්‍රතිඵලයන්ය.සාමාන්‍ය ජීවිතයේ ප්‍රධාන ආහාරවේල් 2ක් හෝ 3ක් ගන්නා අය කුස පිරෙන්නට ආහාර ගත්තද ආකාශගාමියා ඊට වෙනස්ය.

ප්‍රමාණයෙන් අඩු වූද පෝෂ්‍ය ගුණයෙන් හා ඔෟෂධීය ගුණයෙන් වැඩි වූද ආහාරයන් අඩංගු ගුළි සහ බෝලද දියරයන්ද (තලප, සුප් ආදී) මේ සඳහා නිර්දේශ කෙරේ. බෝල ආහාර තුනපහ කුළුබඩු ආදිය සමග පිසගත යුතුය. මේ හැරුණු විට ඖෂධීය ගුණ පමණක් ඇති පිටි රහිත (විටමින්) ගුළි බෝල හා දියරද අවශ්‍ය. ඇල්කලයින් (ශීත) ආහාර හා අම්ල (උෂ්ණ) ආහාරද යන දෙවර්ගයම ගත යුතුය. ගෙඩි වර්ග, අල, පලතුරු, මී පැණි, ගිතෙල් වැඩි වශයෙන්ද පිෂ්ඨය අඩු වශයෙන්ද තිබීම අවශ්‍යය. ධාන්‍ය පිෂ්ටය අඩුවෙන් හා අල වර්ගවල පිෂ්ටය වැඩිවෙන අයුරුද මෙම ආහාර සැකසිය යුතුය. කුඩා පැළෑටි හා පඳුරුවලින්ද ආහාර සැකසේ. දුර්වා තෘණ වර්ග 6ක්, මන්ජු හණවර්ග 6ක්, දික්තෘණ වර්ග 4ක්, කාරුවේලී, චන්ද්‍රවේලී සූර්යවේලී ආදී පැළෑටිද මේ අතර වේ.

වස්ත්‍රාධිකාරය (ඇඳුම්) – පෘථිවියේ සූර්යයා වටා ගමන නිසා ඇතිවන සෘතු භේදයට වඩා වෙනස් සෘතු භේදයකට ගගනගාමියාට මුහුණදීමට සිදුවේ. මස්පිඩු තදවීම, රුධිර සංසරණය අඩුවැඩිවීම, රුධිර ගලනය, තෛල සංයුතින් හා කොටස්වල වෙනස්කම්, මාංශ කොටස්වල වැඩීම හා ක්ෂයවීම ආදී විවිධ බලපෑම් මෙනිසා ඇතිවිය හැක. අයහපත් බලපෑම් 25ක් ඇති අතර ඒවා හම, ඇට, මස්, මේදය, මස් පිඩු, ස්නායු, සන්ධි සහ නියමුවාගේ වෙනස් ශරීරාංගවලටද ඒවා බලපෑ හැක.මෙය විස්තර කරන “පට-සංස්කාරයට” අනුව සේද, කපු, පෙඳ, ලෝම, මයිකා, හම් යන අමුද්‍රව්‍ය මයිකා සංතෘප්ත ජලයෙන් සෝදා නූල් කූට අනතුරුව 25 වරක් සේදිය යුතුය. කේතකී මල කෙඳි, අර්ක,මදාර සූර්යකාන්ති පොල්කෙඳි ජූට් ආදී කෙඳි නම් 8 වරක් සේදිය යුතුය.

තලතෙල්, තුලසි නොහොත් බැසිල්, ෆාම් නොහොත් ඇකේෂියා හා අබ තෙල්වල හොඳින් පොඟවා තබා දිනකට පස්වර බැගින් සතියක් අව්වේ වේලාගත යුතුය. මෙසේ රෙදි සෑදීමේ වට්ටෝරු හා තාක්ෂණය බොහෝ දිගට විස්තර කෙරේ. මෙසේ දැක්වූ රෙදි නියමුවාගේ ශරීරයේ හැඩයට කපා මසා ගැනේ. මෙම ඇඳුම්වලින් උවදුරු දුරුකිරීම, ශරීර සමබරතාව රැකීම, මානසික ප්‍රභාත්වය, සපුරා උනන්දුව, උද් යෝගය හා ශක්තිය ලබා දේ. යානය තුළ ගමන් අරඹන්නේ මෙම වස්ත්‍ර ඇඳගෙනය.

නියමුවා දැකගත යුතු රහස් 32 – අංග සම්පූර්ණ දුතක නොහොත් අභ්‍යාවකාශගාමී නියමුවා දැන සිටිය යුතු රහස් 32කි. මින් කීපයක් පහත දැක්වේ. මන්ත්‍ර – භෛරවී, වේගිනී, චින්තමස්ත, සිඩාම්බර ආදී 12 කාණ්ඩයක මන්ත්‍ර ඇත. නොකැඩෙන, නොබිඳෙන, ගිනි නොගන්නා, කැපිය නොහැකි, විනාශ කළ නොහැකි යානයක් නිපදවීමට නම් අමුද්‍රව්‍ය සියල්ල භූවනේස්වර මන්ත්‍ර ජපකර සිද්ධි කළ යුතුය. යානය පෙනීමට, නොපෙනී යාමට, විරූපි කර දැක්වීමට මෙම මන්ත්‍ර ජප කිරීම අවශ්‍යය. තන්ත්‍ර – මහාමාෂා, ෂම්බාර, ත්‍රෛත වැනි බල ලබාගෙන යානයට ආදේශ කිරීමට තන්ත්‍ර දත යුතුය. ක්‍රීටක – විවිධ මෝස්තරවල යානා සෑදීමට මය (විශ්වකර්ම) ජයාපරුන්, මනු, මාධ්‍ය ආදී ප්‍රවීන සැලසුම්කරුවන්ගේ ක්‍රම සහ විධි දත යුතුය.අන්තරාල – වායුතල වෙන්වන සීමාවලදී, සුළංවැල් එකිනෙක ගැටෙන මායිම්වලදී, තවත් යානයක ගැටෙන්නට යනවිට යානය නතර කිරීමේ හෝ බේරාගැනීමේ ක්‍රම.

රූපාන්තර – විමානය සිංහයකු, කොටියකු, සර්පයකු, කන්දක් ආදී ලෙස පෙනෙන්නට සැලැස්වීම. ස්තබ්දක – සතුරු යානයේ අය සිහි නැති කරවීමට. ක්‍රියාග්‍රහණ – ​ෙපාළොවේ සිදුවන ක්‍රියාවලි දැන ගැනීමේ විධිය. කර්ෂණ – උෂ්ණත්ව සුක්කානම 87 ගුණයක් වැඩිකර කරකවා පිලිස්සීමේ ශක්තිය වැඩිකර ආලෝකධාරා යවා (ලේසර්) සතුරු යානය පිලිස්සීමට මේ කරුණු 7කි. කරුණු 32ම නියමුවකු දත යුතුව ඇත. ගුවන් ධාවන පථ. අහසේ කලාප 5ක් ඇත. රේඛාපත, මණ්ඩල, කක්ෂ්‍ය, ශක්ති, කේන්ද්‍ර යනුවෙන් ඒවා හැඳින්වේ. මෙම කලාප 5 තුළ ගුවන් ධාවන පථ 5, 10, 800ක් ඇත. ලෝක 7ට මේවායින් ගමන් කළ හැක. ලක්ෂ ගණනක් ධාවන පත අතුරින් තමනට වුවමනා ධාවන පථය ​ෙත්රා ගන්නේ මන්ත්‍රයක් කීමෙනි. භූලෝක, භුවර්ලෝක, සුවර්ලෝක, මහෝලෝක, ජනෝලෝක, තපෝලෝක, බ්‍රහ්මලෝක විමානවලට සුදුසු කලාපවල ඒ ඒ කොටස් පමණක් ගමන් කිරීම සඳහා සුදුසුය. පෘථවි මනුෂ්‍යයන් හැර වෙනත් ලෝකවල අයද තම විමානවලින් අභ්‍යාවකාශයේ ගමන් කළ බව දැක්වේ.ආවර්ත නොහොත් වාසුලි ඉහත සඳහන් කලාප තුළ බහුලය. රේඛාපත – ශක්ති සුළං. මණ්ඩල පථ – සුළඟින් උපදින සුළි, කක්ෂාපථ – සූර්ය රශ්මි සුළි, ශක්තිපථ – ශීතාවර්ණ සුළි, කේන්ද්‍රපථ – සර්ෂණාවර්ථ සුළි.

විමාන වර්ග හතර. වර්තමාන ගුවන් යානා මෙන් හෝ රොකට් මෙන් නොව වෘත්තාකාර හැඩයෙන් යුතුව කෝප්පයක් මුනින් නැමුවා වැනි හැඩයෙන් යුතු විමාන අතීතයේදී විය.
  1. ශකුණ විමාන – අහසේ යාමේදී පුෂ්පයක් උඩු අතට හැරවූවාසේ වුවද පො​ෙළාවට බෑමේදී දෙපස ඇති පියාපත් දිග හැරී අත්තටු සලමින් වේගය අඩුකර ගනී. කුරුල්ලා සිහිගන්වන නිසා මෙය ශකුණ විමාන විය.
  2. සුන්දර විමාන – පූර්ණ වෘත්තිකාර හැඩයෙන් හා තැටියක ස්වරූපයෙන් යුතුය. පියාඹන පිරීසි ලෙස අප හඳුනාගෙන ඇති මෙය ප්‍රහාරක යානයකි.
  3. ත්‍රිපුර විමාන – තට්ටු තුනකින් යුතුය. පළමු තට්ටුවට පො​ෙළාව දිගේ යා හැකි අයුරු රෝද 2×10 ක් 20ක් ඇත. දෙවැනි තට්ටුවට දිය මතුපිට හා දියයටින් (සබ්මැරීන් ලෙස) තුන්වැනි තට්ටුවට අහසේ පියාසර කළ හැක.
  4. ප්ලේටෝ විසින් වාර්තා කළ අත්ලාන්තික් පුරවරයේ (ලංකාපුර) දිය යටින්ද අහසින්ද යන ගුවන් යානා ඇති බව සඳහන්ය.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අතීතයේ හෙළයන් භාවිතා කර විමාන (Aircraft Using Helas In The Past) අතීතයේ හෙළයන් භාවිතා කර විමාන (Aircraft Using Helas In The Past) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2020 Rating: 5

0 comments:

Post a Comment