හරි ක්‍රමයට අකුරු කියවන්න

මවුපිය යුවළකට ලැබුණු වාසනාවන්ත දරුවකු පාසල් යෑම ඇරැඹීමට පෙර සිදුකරන ප්‍රධාන චාරිත්‍ර 07කි. එනම්, 
1. රන්කිරි කටගෑම 
2.දොරට වැඩීම 
3.නම් තැබීම 
4. කන් විදීම 
5. හිසකෙස් කැපීම 
6. බත් කැවීම 
7. මංගල අකුරු කියැවීම වේ. 

දරුවකුගේ අනාගතය වෙනුවෙන් ගතයුතු වැදගත්ම පියවරක් ලෙස මංගල අත්පොත් තබා අකුරු කියැවීම හැඳින්විය හැකිය. දරුවකුට වයස අවුරුදු දෙක සම්පූර්ණ වී තුන්වැනි වර්ෂය තුළ අකුරු කියැවිය යුතු අතර (4 වැනි වර්ෂයේ පටන් පෙර පාසල් යන නිසා) අවුරුදු 4 සම්පූර්ණ වී 05 වැනි වර්ෂය තුළද අකුරු කියැවීමට සුදුසු බව පුරාණ ආචාර්ය මතය වේ. නිසි වයස එළැඹුණු පසු ජේ‍යාතිෂය නිසි පරිදි උගත් ජේ‍යාතිෂවේදියකු හමුවී දරුවාගේ කේන්දර පිටපත ලබා දී දරුවාගේ නැකැතට සීහෙන සරස්වතී යෝගයක් යෙදෙන සුබ දිනයක් තුළ දරුවාගේ පක්ෂියා, රජ, භෝජන, ගමන අවස්ථාවක යෙදෙන අකුරු කියැවීමේ සුබ මුහුර්තය සකසා ගෙන දරුවාට අකුරු කියැවීම සිදුකිරීම දරුවාට හිතවත්, උගත්, දැහැමි වැඩිහිටියකුට වේලාසන දිනයක බුලත් හුරුල්ලක් දී ආරාධනා කළ යුතුය. ඉන් අනතුරුව නැකැත් කඩදාසියේ සඳහන් පරිදි නැකැත් දිනයට (ඉරිදා- කහ, රඹ/ සඳුදා – සුදු/ කුජදා – රතු/ බුධදා – සුදු, ළාකොළ/ ගුරුදා – කහ, දම්/ ශුක්‍රදා – ලානිල්, රෝස/ ශනිදා – නිල්, දම්) අදාළ ජය වර්ණයෙන් යුත් ඇඳුමක් මිලට ගත යුතුය.

මෙසේ කළයුත්තේ නැකැත් දිනට ආසන්නයේ කඩිමුඩියේ ඇඳුම් සෙවීමට යෑමෙන් දරුවාගේ ප්‍රමාණයට මෙන්ම ජය වර්ණයට සරිලන ඇඳුමක් මිලට ගැනීමට නොහැකි වූ අවස්ථාවන් අත්දැක ඇති බැවිනි. නැකැත් දිනට පෙරදින සූදානම අකුරු කියවන මොහොත වන විට අවම වශයෙන් වරු 03ක්වත් පවුලේ සියලු දෙනා කිලිවලට හසු නොවී මාංස කෑමෙන් වැළකී සිටිය යුතුය. එසේම පහත කියැවෙන ප්‍රතිමා ඇතුළු පසු දිනට අවශ්‍ය පූජා ද්‍රව්‍ය සියල්ල රැස්කර තබා දරුවා සමඟ මවුපියන් නා පිරිසුදු වී ළඟම විහාරස්ථානයට ගොස් බෝධිපූජා පවත්වා බෝධීන් වහන්සේ පැන්වලින් නහවා තුන් සූත්‍රය, ජය පිරිත සජ්ජායනය කොට අනතුරුව සමස්ත දේව මණ්ඩලයටම පින් අනුමෝදන් කොට ඉන්පසු සියලුම මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමෙන් පසු විහාරාධිපති නාහිමියන් බැහැදැක උන්වහන්සේට පිරිකර පූජාවක් සිදුකොට උන්වහන්සේගේද ආශීර්වාදය දරුවාට ලබා දෙන්න. එසේම අකුරු කියවන අවස්ථාවට වේලාසන පවුලට ඉතාම හිතවත් ළඟම ඥාතීන්ටද ආරාධනා කරන්න. ඔවුන් නිවෙසට එක්රැස් වීම දරුවාගේ සිතට සතුටක් උපදවනු ඇත. එසේම දරුවාගේ මව විසින් දරුවාට පසුදින කෙරෙන අකුරු කියැවීම පිළිබඳ කෙරෙන පූජාවේ කටයුතුත් අකුරු කියැවීමේ වැදගත්කමත් කියා දීමෙන් නැකැත් වේලාවේදී අනිසි චකිතයක් ඇති නොවනු ඇත.

එසේම බාහිර අයකු විසින් දරුවාට අකුරු කියවන්නේ නම් පෙර දිනයේදී ඔහු නිවෙසට කැඳවා හෝ ඔහු ළඟට දරුවා රැගෙන ගොස් ඔහු සමඟ දරුවාට මිත්‍ර වීමට සලස්වා ආගන්තුක බව ඉවත්කරලිය යුතුය. නැකැත් දිනයේදී චාරිත්‍ර සිදුකිරීමට පෙර සූදානම නිවෙස, පූජා ප්‍රදේශය පිරිසුදු කර කහ වතුර ඉස මේසයක් මත ස්ටූල් එකක් තබා සුදු, ඇතිරිල්ලක් මත බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක්ද, දෙපස දකුණතින් ආනන්ද මහ රහතන් වහන්සේගේ හා වම්පසින් සැරියුත් මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාවක්ද තබා මල් බඳුන් 03ක් කිරිබත්, කෙසෙල්, හකුරු සහිත ආහාර පූජා 03ක්, පැන් බඳුන් 03ක්, දැහැත් පූජා 03ක්, සුවඳ පූජාද දැල්වූ හඳුන්කූරු හා පහන් 03ක් පූජා කරන්න. ඉහත ප්‍රතිමා 03ට පහතින් ගණ දෙවියන්ගේ ප්‍රතිමාවක් මැදිකර දෙපසින් සරස්වතී දෙවඟන සහ ලක්ෂ්මී දෙවඟනගේ ප්‍රතිමා 02ක් තැන්පත් කරන්න. (සියලු ප්‍රතිමා වෙනුවට අංගසම්පූර්ණ රූපයන්ද භාවිත කළ හැකිය) ඊට ඉදිරියෙන් වී අතුරා වී මත බුලත් කොළ 21ක් තබා බුලත් මත කහ වතුරින් සේදූ පඬුරු 21ක් තබන්න.

ගණ දෙවියන්ට හා ලක්ෂ්මී දෙවඟනට රතු නෙලුම් මල් සහිත රතු වර්ණ මිශ්‍ර මල් වට්ටි 02ක්ද, සරස්වතී දෙවඟනට සුදු නෙලුම් මල් වර්ණ මල් මිශ්‍රිත වට්ටියක්ද, තැඹිලි ගෙඩි 03ක්ද (ඇස්ස කැපූ) ගණ දෙවියන්ට කළු උක් කැබලි සහිත පලතුරු 07 වර්ගයක් සහිත ලක්ෂ්මී හා සරස්වතී දෙවඟනන්ට උක් කැබලි නොමැති පලතුරු 07ක් සහිත (කෙසෙල්, අඹ, බෙලි, ‍ෙදාඩම්, අන්නාසි, මිදි, ඇපල්, පේර ආදිය) පූජා වට්ටි පූජා කරන්න. එසේම මුරුතැන් බත් සහිතව හකුරු, හබල පෙති, කැවුම්, කොකිස්, අතිරස, ආස්මි, පැණි වළලු, මුංකැරලි, තලගුළි, අලුවා යන කැවිලි වර්ග 07 ඇතුළත් ආහාර භාජන 03ක්ද පූජාවට තබන්න. ගණ දෙවිඳුන්ට මෙහිදී ලඩ්ඩු, බූන්දි, ‍ෙදා‍ෙදාල් යන රසකැවිලි ද ආහාර පූජාවට එකතු කරන්න. තවද සුද්ද කළ කහ දියරෙන් සෝදා දෙපළු කරගත් පොල් ගෙඩියක මුඩ්ඩ පැත්තේ බෑයේ පොල් වතුර සහිත පොල් බෑ දෙකද පූජාවට තබන්න. එසේම බුලත්, පුවක්, සාදික්කා, වසාවාසි, ඉඟුරුපියලි ආදියද පිරිසුදු පීරිසි තට්ටුවක තබා පූජා කරන්න. පැන් භාජන 03ක් හා කිරි බඳුන් 03ක්ද දැල් වූ හඳුන්කූරු ආදියද පූජා කරන්න. තවද අඹ කොළ 05ක් මත පෙරාගත් ජලය 3/4ක් පිරවූ කුඩා නැවුම් කළයක්ද තබා ඒ අසල පිරිත් කළ නූල්ද චාරිත්‍රයේදී ගන්නා සිංහල, දෙමළ, ඉංගී්‍රසි අකුරු ඇතුළත් ගල්ලෑලි, ගල්කූරු, ලියන පොත්, පෑන්, පැන්සල්, මකන ආදියද තබන්න.

පූජා මේසයට පස්මල් (විළඳ, සුණුසහල්, එළ අබ, ඊතණ, සමන් පිච්ච) පැකට් එකක් විසුරුවා හරින්න. අවසානයේ පිනි දියර කුප්පියක් කඩා පූජා මේසයටත් අනතුරුව දරුවාටත්, මවුපියන්ටත් අකුරු කියවන්නේ බාහිර අයකු නම් ඔහුට හෝ ඇයටත් ඉසින්න. ඊට පෙර කලින් සකස් කරගත් කහ දියර දෙහි අත්තකින් හෝ පුවක් මල් කිනිත්තකින් ඉසිය හැකිය. මීළඟට සුදු හඳුන්, රත් හඳුන්, අගිල්, දේවදාර, සැවැන්දරා, සුවඳ කොට්ටං, සාම්බ්‍රානි, කපුරු යන සුවඳ ද්‍රව්‍ය 08ක් හොඳින් වියළා ඉතා සිහින්ව කුඩු කර සාදාගත් අෂ්ට ගන්ධ ධූපය ගිනි අඟුරු කබලකට දමා පූජා මේසයටත් දරුවා ඇතුළු රැස්ව සිටින සැමටත් මුළු නිවෙස ඇතුළත හා පිටතටත් දුම් අල්ලන්න. කහවතුර, පිනි දියර ඉසීම හා දුම් ඇල්ලීමට පෙර පූජාවට දේව රූප නොව ප්‍රතිමා තුනක්ම ගන්නේ නම්ප 1. ළමුව පෙරූ ජලයෙන්ද 2. දෙවැනුව තැඹිලි දියෙන්ද 3. තුන්වැනුව කිරිවලින්ද 4. සිවු වැනුව සඳුන් කුඩු දියකරගත් දියෙන්ද 5. නැවත මේ දියර සියල්ල ප්‍රතිමාවලින් ඉවත්වන පරිදි පෙරාගත් පිරිසුදු ජලයෙන්ද ප්‍රතිමා තුන නෑවීම කළ හැකි නම් ඉතාම සුබය.

නැකැත් වේලාවට පැයකට පෙර සිට නැකැත් මොහොත දක්වා කෙරෙන කටයුතු සිංහල බෞද්ධ චාරිත්‍රය පළමුව බුදුන් වහන්සේටත් දෙවැනුව ආනන්ද මහ රහතන් වහන්සේටත් සැරියුත් මහ රහතන් වහන්සේලාට අදාළ සියලු පූජාවන් තිසරණ සහිත පංචශීලයෙහි පිහිටුවීමෙන් පසු අදාළ ගාථා කියා පූජා කරන්න. මේ අවස්ථාවට දරුවාත් අකුරු කියවන්නාත් පූජා මණ්ඩපය ඉදිරිපස මණ්ඩපයට වඩා පහත් මේසයක් ඉදිරිපිට පහත් පුටු දෙකක වාඩි වී සිටිය යුතු අතර කියැවීමට අවශ්‍ය පොත්පත් ආදියද පූජා මණ්ඩපයෙන් රැගෙන දරුවාගේ මේසය මත තබාගත යුතුය. සියලු පූජාවන් පූජා කිරීමෙන් පසු තුන් සූත්‍රය හා ජය පිරිත කලින් ආරාධනය කර වඩමවා ගත් ස්වාමීන් වහන්සේ නමක් ලවා පැමිණ සිටින සියලු දෙනාගේම සහභාගිත්වය ඇතිව සජ්ජායනය කර එම පින් දෙවියන්ට අනුමෝදන් කරන්න.

සිංහල – හින්දු චාරිත්‍රය මෙහිදී ගණ දෙවියන්, සරස්වතී හා ශ්‍රී ලක්ෂ්මී දෙවඟනන් ඇතුළු සියලුම දේව මණ්ඩලයටම පූජා මණ්ඩපයට වඩින ලෙස ආරාධනා ස්තෝත්‍ර ගායනා කරන්න. ඉන් අනතුරුව පිළිවෙළින් ගණ දෙවියන්ට, සරස්වතී, ශ්‍රී ලක්ෂ්මී දෙවඟනන්ට බීජ මන්ත්‍ර, ගයත්‍රී මන්ත්‍රයද, ස්තෝත්‍ර ගායනා කරන්න. සියලු පූජාවන් ඉහත දෙවිවරු තිදෙනා ඇතුළු සියලුම දේව මණ්ඩලයට පූජා කරන්න. (මෙම කටයුතුවලදී ඔබ බීජ, ගයත්‍රි මන්ත්‍ර හා ස්තෝත්‍ර නොදන්නේ නම් සුරා සූදුවෙන් තොර දැහැමි ප්‍රියමනාප චාරිත්‍රකරුවකු කලින් ආරාධනා කර කැඳවා ගන්න.) අනතුරුව දෙවැනි වරටත් පූජා මණ්ඩපයට අෂ්ටගන්ධ ධූපය අල්ලන්න. චාරිත්‍රකරුවා නොමැති නම් දරුවාගේ පියා හෝ මව විසින් තමන්ට හැකි අයුරින් ඉහත දෙවිවරුන් ඇතුළු දේව මණ්ඩලයට පින් අනුමෝදන් කරන්න.

එසේම පියා හෝ මව විසින් මගේ ආදරණීය දුවට, පුතාට සිද්ධාර්ථ කුමාරයාට මෙන් සකල ශිල්ප ශාස්ත්‍ර පිහිටත්වා! යැයිද (බුදුන් වහන්සේට සම වන සේ ප්‍රඥාව පිහිටන ලෙස කිසිදු විටෙක නොඉල්ලන්න) සැරියුත් මහ රහතන් වහන්සේට මෙන් ප්‍රඥාව හා නුවණ ලැබේවා යැයිද ආනන්ද මහ රහතන් වහන්සේට මෙන් ධාරණ ශක්තිය පිහිටත්වා යැයි ප්‍රාර්ථනා කරන්න. නැකැත් වේලාවට විනාඩි කිහිපයක් තිබියදී සියලු පූජා කටයුතු අවසන් කරන්න. අනතුරුව චාරිත්‍රකරුවකු නොමැති නම් තමන්ට හැකි අයුරින් තම ආදරණීය දුව, පුතාට දැනුම, බුද්ධිය, ප්‍රඥාව, ධාරණ ශක්තිය, කලාව, ජයග්‍රහණ, වීර්යය, වාසනාව ලබාදී මතු අනාගතයේදී බහුශ්‍රැත පඩිරුවනක් කිරීමට ආශීර්වාදය ලබාදෙන ලෙස ඉහත දෙවිවරුන් වෙත වෙන වෙනම කන්නලව් කර පහන් වැටිවලින් ගත් තෙල් ස්වල්පයකින් දරුවාගේ නළලේ තිලකයක් තබන්න. හැකි නම් කන්‍යාවන් තිදෙනකු ලවා අෂ්ටක කියවන්න.

දරුවාට අකුරු කියවන්නාගේ කාර්ය භාරය. සියලු පුද පූජා මේ වන විට අවසන් බැවින් දරුවාගේ හිස තමාගේ වම් අතින් පිරිමදිමින් “ස්වස්ථි සිද්ධම්” කියා කියැවීමට අවශ්‍ය හෝඩි පොත නැකැත් වේලාවට විනාඩි කිහිපයකට කලින් දරුවාගේ අතට දී නියමිත නැකැත් වේලාවට පළමුව අම්මාගේ රූපය පෙන්වමින් ඒ අසල ඇති “අ” යන්නත්, දෙවැනුව සමනලයා පෙන්වමින් ඒ අසල ඇති “ස” යන්නත් උස් හඩින් දරුවාට කියවන්න. අකුර කියැවූයේ නැත්නම් රූපය පෙන්වා මේ කවුදැයි අසා දරුවාට අකුර ඉබේම කියැවීමට සලස්වන්න. යම් චකිතයක් ඇති වී දරුවා අකුරු කියැවූයේ නැතිනම් දුක් නොවන්න. හේතුව අප ඉල්ලා සිටි උත්තමයන් සියල්ලන්ටම අදාළ පූජාවන් පවත්වා දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර දෙන ලෙස ඒ උත්තමයන් සියල්ලන්ටම බාර කර ඇති හෙයිනි.

සිංහල අකුරු කිහිපයක් කියවා අවසන් වූ පසු පිළිවෙළින් දෙමළ, ඉංගී්‍රසි අකුරුද කියවන්න. ඉන්පසු තිත් ඉරි සහිත අකුරු ඉලක්කම් ලිවීමේ පොතක් භාවිත කරමින් සිංහල, දෙමළ, ඉංගී්‍රසි අකුරු හා ඉලක්කම් මත ලියවන්න. ඉන්පසුව ස්වල්ප වේලාවක් දරුවාට නිදහසේ පොත්පත්, පෑන්, පැන්සල්, මකන, ගල්ලෑලි, ගල්කූරු සමඟ වැඩ කිරීමට ඉඩ හරින්න. ඉන්පසුව පැමිණි ඥාති හිතමිතුරන් ගෙනා ත්‍යාග දරුවාට පිළිගැන්වීමට සලස්වා දරුවා ඇතුළුව සියලු දෙනා එක්ව නිර්මාංස වූ ආහාර සංග්‍රහයක් භුක්ති විඳීමට සැලැස්වීමෙන් කුඩා කාලයේ සිටම ත්‍යාග ලබා දුන්නන්ට කළගුණ සැලකීමටත්, ආගන්තුක සත්කාරය පිළිබඳ පාඩමක්ද ඉගෙනීමට දරුවාට මහඟු අවස්ථාවක්ද උදා වෙනවා. එමඟින් දරුවාගේ අනාගතය සම්පූර්ණයෙන්ම සාර්ථක එකක් වනු ඇත. අධ්‍යාපන කටයුතුවලට දුර්වලකම් ඇති දරුවන්ටද ඉහත පූජාවන් සිදුකොට ආශීර්වාදය ඉල්ලා සිටීමෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකි බව මා හට ප්‍රත්‍යක්ෂ වී තිබෙන බවද දන්වා සිටින්නට කැමැත්තෙමි. 2020 වර්ෂයේ දරුවන් අකුරු කියැවීමට යෙදී ඇති සුබ දිනයන් පහත දැක්වේ. 

04. සැප්තැම්බර් 09 වැනි සඳුදා 05 සැප්තැම්බර් 16 වැනි බ්‍රහස්පතින්දා සරස්වතී යෝග දිනයන්ය. එසේම, 07. අප්‍රේල් 30 වැනි ගුරුද 08. මැයි 04 වැනි සඳුද 09. මැයි 27 වැනි බදාදා 10.ජුනි 15 වැනි සඳුදා 11. ජූලි 03 වැනි සිකුරාදා 12. අගෝස්තු 20 වැනි ගුරුදා 13. අගෝස්තු 21 වැනි සිකුරාදා 14. සැප්තැම්බර් 14 වැනි සඳුදා 15. සැප්තැම්බර් 18 වැනි සිකුරාදා ශුභ දිනයන්ද වේ.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හරි ක්‍රමයට අකුරු කියවන්න හරි ක්‍රමයට අකුරු කියවන්න Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2020 Rating: 5

0 comments:

Post a Comment