මෙරට හයවන කොරෝනා මරණය වාර්තාවෙයි / පුද්ගලයින් 255 දෙනෙකු කොරෝනා යැයි සැක සහිතව දිවයින පුරා රෝහල් 32 ක / ලොව පුරා මරණ 81,000 ඉක්මවයි - ඇමරිකාවේ දිනක් තුළ මරණ 1970ක් : අනෙකුත් පුවත් එකම පොස්ට් එකකින්...

මෙරට හයවන කොරෝනා මරණය වාර්තාවෙයි
කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඊයේ උදෑසන මිය ගොස් තිබෙනවා.

ඔහු 80 හැවිරිදි වියේ පසුවන්නෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මේ අතර, බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවට වාර්තා වනවා.

අවුරුදු 62 සහ 72ක පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.



පුද්ගලයින් 255 දෙනෙකු කොරෝනා යැයි සැක සහිතව දිවයින පුරා රෝහල් 32 ක
මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 185 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ තවදුරටත් 137 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

සුවය ලබා හතළිස් දෙදෙනෙකු පිටව ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 255 දෙනෙකු කොරෝනා යැයි සැක සහිතව දිවයින පුරා රෝහල් 32 ක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.

මේ අතර හලාවත - ඉරණවිල ඇමරිකානු හඩ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා ප්‍රතිකාර සිදුකරන රෝහලක් ලෙස ඊයේ විවෘත කෙරුණා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එක්ව සිටියා.

එමෙන්ම ටොන් 10 ක ඖෂධ ඇතුලූ වෛද්‍ය සැපයුම් රැගත් ඉන්දීය ගුවන් යානයක් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.

ලක් රජයේ ඉල්ලීම මත මෙම ඖෂධ තොගය ලබාදුන් බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

නිවෙස්වලට යා නොහැකිව තවදුරටත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තාවකාලික ලැගුම්හල්වල සිටින පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය රජයෙන් ඉල්ලීමක් කළා.

ලොව පුරා මරණ 81,000 ඉක්මවයි - ඇමරිකාවේ දිනක් තුළ මරණ 1970ක්
ලොව රටවල් රැසක් පුරා පැතිර ගොස් ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,987ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

14 ලක්ෂ 25,932කට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව තුන්ලක්ෂ එක්දහස් අටසිය විසි අටක්.

ඇමරිකාව තුළ ඊයේ දිනයේ පමණක් මරණ 1970ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරටින් මෙතෙක් වාර්තා වූ මුළු මරණ 12,813 ක්.

එමෙන්ම, ලක්ෂ හතරකට මේ වන විට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට සහය වන ආකාරයට කටයුතු කරන බවට චෝදනා කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඔවුන්ට ලබාදෙන ආධාර නතර කරන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකාව ඩොලර් මිලියන 58ක මුදලක් ලබාදීමට නියමිතව තිබුණා.

ප්‍රංශයේ දිනක් තුළ මරණ 1417ක් වාර්තා වන අතර, එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 10,328 ක්. ආසාදිතයින් එක්ලක්ෂ නවදහස් හැට නවයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ස්පාඤ්ඤයේ දිනක් තුළ මරණ 704ක් වාර්තා වන අතර ඒ අනුව එහි සමස්ත මරණ සංඛ්‍යාව 14,045ක්. එක්ලක්ෂ 41,942ක් ආසාදිතයින් එරටින් වාර්තා වනවා.

ගත වූ පැය 24 තුළ පමණක් ඉතාලියේ මරණ 604 ක් වාර්තා වන අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 17,127ක්. ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 35,586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍යයෙන් නව මරණ 786ක් වාර්තා වන අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 6159ක්.

ආසාදිතයින් 55,242ක් ද වාර්තා වනවා. ඊයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තවදුරටත් එහි ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය යහපත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන්දියාවේ මරණ 150 සිමාවට පැමිණ ඇති අතර එරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 5311ක්.

කොරෝනා වෛරසයේ තිඹිරිගෙය වූ චීනයේ වූහාන් නගරය ජනවාරි 23 වසා දැමීමෙන් අනතුරුව යළි විවෘත කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ දිනයේදී එරටින් කිිසිදු නව මරණයක් හෝ ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි.

ඇඳිරි නීතිය උල්ලංගණය කළ 17,717 ක් අත්අඩංගුවට

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පනවා ඇති ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම හේතුවෙන් පුද්ගලයින් 17,717 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1815 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සති 11කට පසු වූහාන් නගරය විවෘත කරයි
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය සති 11ක කාලයක් වසා දැමීමෙන් පසු අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ එහි වසා දැමීම් විවෘත කිරීමට චීනය කටයුතු කළේය.

ඒ අනුව වූහාන් නුවරින් පිටතට ගමන් කිරිම සඳහා බෝහෝ පිරිසක් අධිවේගි මාර්ගයේ ගෙවිම් කරන ස්ථානවල හා දුම්රියන්ට ගොඩවීම සඳහා පැමිණ සිටියේය.

අධිවේගී මාර්ගවලින් අද (08දා) වාහන විශාල පිරිසක් වූහාන් නුවරින් පිටතට ගමන් කරනු ඇතැයි වුහාන් රථවාහන පොලිසිය විශ්වාස කරයි.

දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ අගනුවර වන ගුවැන්ෂු බලා ගමන් කරන බදාදා අලුයම් දුම්රිය වන K81 දුම්රියට එක්වීම වෙනුවෙන් මගීන් 442ක් වුචැං දුම්රිය ස්ථානයේ සිටියේය.

මගීන් 55,000 කට වැඩි පිරිසක් බදාදා දිනයේදී දුම්රිය භාවිතයෙන් වූහාන් නුවරින් පිටත්වීමට අපේක්ෂා කරයි. මගී දුම්රිය 276 ක් වුහාන් සිට ෂැංහයි, ෂෙන්ෂෙන් සහ වෙනත් නගර කරා පිටත්වීමට නියමිතය. වුහාන් ටියැන්හේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බදාදා අලුයම දේශීය මගී ගුවන් ගමන් නැවත ආරම්භ කළේය. ඒ අනුව බදාදා දිනයේදී එම ගුවන් තොටුපොළින් ගුවන් ගමන් වාර 200ක් පමණ සිදුකිරීමට නියමිතය.

දිවයින පුරා ඖෂධ අලෙවිසල් හෙට යළි විවෘතයි
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් හෙට දිනයේදී විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා මෙලෙස ඖෂධ අලෙවිසැල් විවෘත තැබෙන බවයි ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේ.

ලෝක සංවිධාන 100 කින් බලවත් රටවලට ඉල්ලීමක්
සංවර්ධනය වෙමින් පවතින රටවල් ලබා ගත් ණය නැවත අය කිරීම් වසරකට අත්හිටුවන ලෙස ලෝක සංවිධාන 100 කට අධික ප්‍රමාණයක් ලොව බලවත් රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් සංවර්ධිත රටවල නායකයින්ගෙන් මෙන්ම, ප්‍රධාන පෙලේ මහබැංකු වලින් ඉල්ලා ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල් ලබා ගත් ණය ඩොලර් බිලියන 25 කට අධික බැවින් පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ණය ගෙවීම් සිදුකිරීමට නොහැකි අර්බුදයකට එම රටවල් මුහුණදී ඇති බවයි.

දුන්නෙ නැත්තම් පළි ගන්නවා - ට්‍රම්ප්ගේ තර්ජනයෙන් පසු ඉන්දියාව හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අපනයන තහනම ඉවත් කරයි (VIDEO)
කොරෝනා වයිරස රෝගීන් සඳහා ප්‍රතිකාරකයක් ලෙස නම්කර ඇති හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය සඳහා ඉන්දියාව විසින් පැනවූ අපනයන තහනම ඉවත් නොකළහොත් පලිගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනතුරු ඇඟවීමක් සිදුකළා. ඒ අනුව එම අනතුරු ඇඟවීම සිදුකර පැය කිහිපයකට පසුව ඉන්දියාව විසින් එම අපනයන තහනම ඉවත් කිරීමට එකඟ වී තිබෙනවා.
මැලේරියා රෝගය සඳහා භාවිතා කරන ක්ලෝරොක්වීන් වලට බොහෝ සෙයින් සමාන  හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය රූමැටික් ආතරයිටීස් සහ දද වැනි චර්ම රෝග සඳහා ප්‍රථිකාර ලෙස යොදා ගන්නා අතර හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්  ප්‍රතිවෛරස කාරකයක් ලෙසද පසුගිය දශක කිහිපය පුරා වෛද්‍ය විශේෂඥයන් විසින් භාවිතා කරනු ලැබුවා. නමුත් ඇතැම් වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබුණේ එය කොවිඩ් 19 සුවකරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. 
කෙසේ නමුත් ඖෂධය සම්පූර්ණයෙන්ම අපනයනය තහනම් කිරීමෙන් පසු ඉන්දියාව  සඳහන් කළේ කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව සිටින රටවලට  හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය ලබාදෙන බවත්, අසල්වැසි රටවලට යම් ප්‍රමාණයකින් ඖෂධය සපයන බවත්ය.
මේ අතර අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලකමණ්ඩලය විසින් කොරෝනා රෝගයට ප්‍රථිකාර කිරීම සඳහා  හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය අනුමත කර ඇති බවත්,  එය භාවිතා කිරීම ගැටලුවක් නොවන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඇඳිරි නීතිය අවසන් වනතෙක් දකුණේ සියලු සුරාසැල්වලට මුද්‍රා - මත්පැන් අලෙවි කළ කොළඹ සුපිරි වෙළෙඳ සැල් දෙකකටත් මුද්‍රා තබයි
පොලිස් ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලු සුරාසැල් මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

විදේශිය සංචාරකයින් නවාතැන්ගෙන සිටින සංචාරක හෝටල්වල ඇති සුරාසැල් විවෘත කර තිබීම ඊට හේතුව බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.

එසේම පොලිස් ඇඳිරි නීති කාලය තුළ නීති විරෝධීව මත්පැන් අලෙවි කළ කොළඹ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැල් 2 කට ද මුද්‍රා තැබු බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර නිවාස ආශ්‍රිතව නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වල වැඩිවීමක්ද දක්නට ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරත් ප්‍රකාශ  කළේ.

පුත්තලමෙන් ගෙනා ගස්ලබු නිසා තිස්සමහාරාමයේ 13කට සිදුවූ දේ
තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා නොරොච්චෝලේ සිට ගෙනා බව කියන ගස්ලබු කිලෝ 5000ක තොගයක් සමඟ ලොරිය සීල් තබා ආපසු හරවා යැවූ බවත් තිස්සමහාරාම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර සිරි විජේමුණි මහතා පවසයි.

එම ගස්ලබු තොගය බෑමට සහය ලබාගත් බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් 13 දෙනකු නිරෝධායනය කිරීමට ඊයේ පියවර ගත් බව ඒ මහතා කිය. කොරෝනා වයිරසය පැතිරයාමේ අවධානමක් සහිත ප්‍රදේශයක් බවට හඳුනාගත් පුත්තලම දිස්ත්‍රීක්කයට අයත් නොරොච්චෝලේ සිට මෙම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරීමට ගෙනැවිත් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

එම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගෙනැවිත් ඇති අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම ගස්ලබු තොගය සම්බන්ධයෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී ගස්ලබු තොගය ගෙනා පුද්ගලයන් පවසා ඇත්තේ මේවා සූරියවැව ප්‍රදේශයේ සිට ගෙනා බවයි.

කෙසේ වුවද මොවුන්ගේ පොලිස් ඇඳිරි නීති බලපත්‍රය පරීක්ෂා කිරීමේදී මොවුන් නොරොච්චෝලය ප්‍රදේශයේ සිට මෙම ගස්ලබු තොගය ගෙනා ඇති බවට අනාවරණය වී තිබිණ.

පොලිස් ඇඳිරි නීති බලපත්‍රය පමණක් උපයෝගී කරගෙන මොවුන් පැමිණ ඇති අතර සෞඛ්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය ඔවුන් සතුව නොතිබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිස් ස්ථානය දැනුම්වත් කර එම ගස්ලබු තොගය යළි ලොරි රථයට පටවා සීල් තබා ලොරි රථයේ පැමිණි දෙදෙනා සමඟ ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබිණ.


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෙරට හයවන කොරෝනා මරණය වාර්තාවෙයි / පුද්ගලයින් 255 දෙනෙකු කොරෝනා යැයි සැක සහිතව දිවයින පුරා රෝහල් 32 ක / ලොව පුරා මරණ 81,000 ඉක්මවයි - ඇමරිකාවේ දිනක් තුළ මරණ 1970ක් : අනෙකුත් පුවත් එකම පොස්ට් එකකින්... මෙරට හයවන කොරෝනා මරණය වාර්තාවෙයි / පුද්ගලයින් 255 දෙනෙකු කොරෝනා යැයි සැක සහිතව දිවයින පුරා රෝහල් 32 ක / ලොව පුරා මරණ 81,000 ඉක්මවයි - ඇමරිකාවේ දිනක් තුළ මරණ 1970ක් : අනෙකුත් පුවත් එකම පොස්ට් එකකින්... Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 08, 2020 Rating: 5

0 comments:

Post a Comment