අපේ මතකයෙන් ඈත්වී ගිය අම්බරුවා (Ammaruwa)

අපේ මතකයෙන් ඈත්වී ගිය අම්බරුවා (Ammaruwa) - Your Choice Way

අද නැති වුණත් එදා ලාංකිකයාගේ සංස්කෘතියෙ  ප්‍රධානම තැනක රැඳිලා ඉන්න මී ගවයාට පුළුවන් වුණා.
“ගවයා තරම් සම්පතක් ගොවියාට තවත් නෑ”

කෘෂිකර්මාන්තයට නැතිවම බැරි මී ගවයින් ගොවියගේ ජීවීතය සමඟින් ඉතාම තදින් බැඳී සිටියා.  ගොවියාගේ ළඟම මිතුරා වුණේ ගවයා. ගොවියගෙ හොඳම සහයකයා වුණේ ගවයා. එදවස ගොවියගෙ  දවසෙ වැඩි හරියක් ගෙවුණේද මී ගවයින් සමඟයි.

සමහර වෙලාවට ගොවියා මී වස්සන්ට අප්පා කියනවා. මී වැස්සියන්ට අම්මා කියනවා. තවත් වෙලාවකට  පුතා, මාපුතා ආදී ආදරණීය ඇමතුම් වලින් මී ගවයන්ව ආමන්ත්‍රණය කළේ ඔවුනොවුන් අතර තිබුණු ළෙන්ගතුකම වැඩි නිසාම වෙන්න ඇති.

සත්ව සුභසාධනය ගැන එදා ගොවියන්ට අමුතුවෙන් ඉගෙනගැනීමට දෙයක් තිබුණේ නැත.  පොතින් පතින් ගව පාලනය ගැන ඉගෙන නොගත් ගොවියා මී ගවයන්ගෙ අවශ්‍යතා මෙන්ම හැඟීම් දැනීම් ආදිය  අත්දැකීමෙන් ම ඉගෙන ගෙන තිබුණා. එය පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණ අධ්‍යාපනයක්.

දැනට දශක හයකට පමණ එහායින් තිබුණ ගොවියුගය තෙක්ම මී ගවයා සෑම ගොවියෙක්ගෙම ජීවිතයේ කොටස්කරුවෙක් වුණා.  ගව පට්ටියක ඉන්න ගවයින් ප්‍රමාණය අනුව කෙනෙක්ගෙ වත් පොහොසකම් කියන්න පුළුවන්. දුප්පත්ම ගොවියෙකුට වුණත් ගවයින් තුන් හතර දෙනෙක් අයිති වුණා.

මී ගවයන් සාමාන්‍යයෙන් කළු පාටයී. එකම හැඩරුව. සියළුම ගවයන් එකම වගේ පෙනුණත් ගොවියාට තම පට්ටියේ ගවයින් එකිනෙකාගෙන් වෙන් කරගැනීමේ හැකියාව තිබුණා. තමන්ගෙ ගවයින් විතරක් නෙවෙයි ගමේ ඕනෑම ගවයෙක් කාට අයත්දැයි  කියන්න හැකියාව තිබුණා.  ගවයින් සතු කුඩා වෙනස්කමක් හෝ හඳුනාගැනීමට තරම් ගොවියන්ගේ දෑස් ගවයින්ට සමීප වුණා.

ගවයගේ සිරුරෙ තියෙන සුළි, ගවයන්ගෙ අං වල  ස්වරූපය  , මුහුණෙහි පෙනුම ආදී එකිනෙකාට අනන්‍ය වූ ලක්ෂණ  ගවයන් එකිනෙකාගෙන් වෙන් කරල අඳුරගන්න ගැමියන් භාවිතා කරලා තියනවා.

කුඹුරු අස්වද්දන කාලේට ඒවාට උදව් කරන ගවයා , ආයෙ කාලෙකට ලැබුණ  අස්වැන්න ගෙට ගැනීමට උදව් කරනවා. කුඹුරු වැඩ නැති කාලෙට ගවයින් නිදහසේ ඉන්නවා.  ගොවිතැන් කටයුතු කළද නොකළද ගොවියන් විසින් මී ගවයන් වෙනුවෙන්ම දිනකට කළ යුතු වතාවත් තියනවා.

කිරි ගතහැකි දෙනුන් සිටිනවානම් ගොවියා පාන්දරම අවදි විය යුතුය. කිරි ලබාගැනීමේදී පැටියට බීමට ඉතිරි කළ යුතු කිරි ප්‍රමාණය ගැන හොඳ අවබෝධයක් ද ගැමියට තිබුණා.

මී ගවයින් වතුරට ඉතාමත්ම ප්‍රිය කරන සත්ව විශේෂයක්. අනිවාර්යයෙන් දිනකට පැයක පමණ කාලයක්වත් නෑම වෙනුවෙන් ගත කිරීමට ඔවුන්ට අත්‍යවශ්‍ය වෙනවා.

ඒ හින්දා මද්දහන පහුවෙද්දි , අව්ව සැර වැඩි වෙද්දි ගවයින්ව නාවන්න රැගෙන යෑම ගැමියාගේ දින චර්‍යාවෙ අනිවාර්ය අංගයක්.  ඔවුන්ව නෑමට ගෙනයෑමට නම් හොඳ පළපුරුද්දක් තිබිය යුතුමයී. 

ගොවියට හිතෙන ඕනෑම වෙලාවක නාන තොටුපොළට ගවයන් ගෙනයෑමේ හැකියාවක් නෑ.

ගවයන් නෑමට රැගෙන යාමේදී ගමේ හැමෝටම ඉබේම සකස්වුණ කාල සටහනක් තිබුණ. කාලයත් සමඟම ගැමියන් ඒ කාලරාමුවට ඉබේම හැඩගැහුණා.

එක ගමක ගවයන් වෙනුවෙන් වෙන්වුණ තොටුපළක් හෝ තොටුපොළවල් කිහිපයක් තිබුණා. නිශ්චිත වෙලාවකදී තොටුපොළ බහින්නේ එම වෙලාවට අදාළ ගව පට්ටි පමණයි.

එක ගොවියෙකුගේ ගව පට්ටියක් තොටුපොළට බැසගත් පසුව වෙනත් ගව පට්ටියක් ඒ තොටුපළට පැමිණෙන්නෙ නෑ.

ඒත් හදිසියකදී  වැරදීමකින් හෝ තොටුපොළට වෙන ගොවියෙකුගෙ ගවයින් පැමිණියහොත් , දෙවෙනියට පැමිණි ගොවියට සිද්ධ වෙනවා ටික වෙලාවක් බලා සිටීමට. එතෙක් ඔහු තම ගව පට්ටිය නැවතත් ටික වෙලාවකට  තණකොළ ඇති තැනකට රැගෙන යනවා.

ගවයන්ට සුදුසු තොටුපළක් හඳුනාගැනීම ගොවියෙකුගේ ප්‍රධානම වගකීමක්. හැමදාම භාවිතා කරන තොටුපොළ සම්බන්ධව නම් ගැටළුවක් ඇති වෙන්නෙ නෑ. ඒත් ගමේ තොටුපොවල් හැමදාම එකම ආකාරයෙන් වතුර පිරිලා තියෙන්නෙ නෑ.

වතුර හිඟ කාලයක් පැමිණි විටකදී ගොවියා ගවයින්ව ඈත තොටුපළකට රැගෙන යනවා. ඔවුන්ව එසේ රැගෙන යාමට කලින් දිනයකදී ගොවියා වෙනත් තොටුපොළවල් වලට  ගොස් සොයා බැලිය යුතුය.

තොටුපළ තුළ ගල් තිබිය නොහැකිය.  පාවෙලා පැමිණි ගස් වල කඳන් තිබේදැයි බැලිය යුතුය. ගැඹුරු වළවල් තිබේද යන්න ගැනත් විමසිලිමත් වෙනවා.  ඉහත කරුණු නිසා තරුණ මී ගවයින්ට අනතුරු සිදුවීමේ හැකියාව නැති වුවද කුඩා පැටවුන් අනතුරු වලට ලක්වීමේ හැකියාව තියනවා.

ගවයන්ව තොටුපොළ තුළට නිදහස් කළ පසුව ගොවියාගේ කාර්‍ය නිමා වෙන්නේ නැත.

තොටුපොළ ට පළමුවෙන්ම බහින්නේ ගව පට්ටියේ ඉන්න  ශක්තිවන්තයින්. තරුණයින්. ඔවුන් තොටුපොළ ට බැසගත් පසුව සමහරවිට පැටවුන්ට,  මී දෙනුන්ට ඉඩ මදි වෙනවා.

තවත් සමහර ගවයින්ට  වතුර බොන්න උවමනාවක් නෑ. තොටුපොළ අවට වැවිළා තියෙන තණකොළ ආදිය කකා කාලය ගත කරමින් ඉන්නවා.

 ගොවියට සිද්ධ වෙනවා මේ වතුර බොන, නොබොන ගවයින්ව  මතකයේ තියාගන්න. මොකද අනිවාර්යයෙන්ම තොටුපොළින්  පිටවීමට කලියෙන් සියලුම ගවයන්ට  ජලය පානය කිරීමට  සලස්වන්න ඕනෑ.

තොටුපොළට බැසගත් ගවයින් ගොඩ ඒමට කැමත්තක් දක්වන්නේද නෑ.  ඔවුන්ව ගොඩට ගැනීමටද ගොවියාට හැකියාවක් තිබිය යුතුමයි.

තොටුපොළට හෝ වෙනත් කාර්‍යක් සඳහා ගවයින්ව රැගෙන යනවානම් ඊට කලින් ගොවියා ගමේ මේ වෙලාවට එහෙ මෙහෙ යන ගව පට්ටි ගැන කල්පනා කරනවා.   සමහරවිට එකම පාරෙ ගව පට්ටි දෙකකට  මාරුවෙන්න සිදු වුණොත් උනුන්  පොරයකට එන්න තියන ඉඩකඩ වැඩියි.  දරුණු, පොර වලට එන ගවයන් ගැනද ගොවියා විමසිලිමත් වෙනවා.

තමන්ගේ මී ගව පට්ටියට හොඳ දළු තණකොළ ලබාදීම සෑම ගොවියෙක්ගෙම අරමුණක්.  ගමේ තණකොළ වැවීම ගැනත් ගොවියාගෙ හිතේ චිත්‍රයක් ඇඳිලා තිබුණා.

තොටුපොළට ගෙනගිය ගවයන්ව  නැවුම් තණකොළ ඇති තැනකට ගෙනගොස් ගොවියා නිවසට පැමිණෙන්නේ හවස තුන , හතර වන විටදී. දිවා ආහාරය ලබාගන්නෙ ඒ වෙලාවට. දිවා ආහාරය ප්‍රමාද වීම ගැන හෝ කිසිම කණගාටුවක් ගොවියාගෙ හිතේ ඇතිවන්නේ නැත.

අඳුර වැටීගෙන එද්දි ගවයින්ව එක තැනකට ගාල් කරනවා. සමහර ගොවියන් කැඩුණු මැටි භාජයනකට කොහොඹ කොළ  , මදුරු තලා  කොළ ආදි මදුරු විකර්ශනය කරන පත්‍ර යොදා දුම අල්ලනවා. එ මැසි , මදුරු උවදුරන්ගෙන් තම ගවයින්ව රාත්‍රියේ දී ආරක්ෂා කරගැනීමට.

ඉතාමත් ඈත අතීතයේදී නම් සමහර ප්‍රදේශ වලදී  ගමේ සිටින සියළුම ගවයන් එකම පට්ටියක් ලෙසට සලකා සහයෝගයෙන් බලාගත් අවස්ථාද තිබිලා තියනවා.

කුඹුරු වැඩට සී සාන විට මී ගවයන් දෙදෙනෙක් එක වියගහකින් සම්බන්ධ කරනවා. සීසෑමට දායක වන ගවයන්ගෙන් 80%ක පමණ ප්‍රතිශතයක්ම ගැහැණු සතුන්. එයට හේතුව පිරිමි සතුන් හීලෑ වීමට දක්වන අකමැත්ත.

සී සාන විට ගවයන් කැරකෙන්නෙ දක්ෂිණාවර්තව.  “හෝ” සහ “පිට” ලෙසට ගොවියා විසින් සී සෑමේදී භාවිතා කරන ප්‍රධාන වචන දෙකක් තියනවා.

“හෝ පොළ ” කියන්නෙ ගවයන් ගමන් කරන වෘත්තාකාර මඟෙහි ඇතුල්පැත්ත.  “පිට පොළ” කියන්නෙ ගමන්ගන්න මඟෙහි වම් පැත්ත.

“හෝ පොළේ” සිටින්නෙ ඉතාම කීකරු ගවයෙක්. ගොවියා හෝ හෝ කියන විටදී දක්ෂිණාවර්තව  හැරිය යුතු බව ගවයා දන්නවා.

මේ පොළවල් මාරුවුණ විටදීත් සී සෑමේ රාජකාරිය නිසිලෙස ඉටුනොවෙන්න පුළුවන්.

හුරුපුරුදු ගවයන් සී සාන වෙලාවෙදී ,  තුනත්තක තියන ඉන්නක බැඳපු ගවයෙක් බලාගෙන ඉන්නවා දකින්න පුළුවන්. ඒ සිටින්නේ මීට කලින් සී සෑමට දායකවෙලා නැති නවක ගවයෙක්. මෙම ගවයව විවිධ ප්‍රදේශ වල ගොවියන් විවිධ ආදර නාමයන්ගෙන් අමතනවා.

ඉර මුදුන් වීගෙන එද්දි සී සෑම නවත්වන ගොවියා ,  ගවයන් රැගෙන යනවිටදිම මේ ආධුනික  ගවයවත්  කුඹුරෙන් රැගෙන යනවා.

දවස් කීපයක් මෙහෙම හිටපු ගවයව එක් දිනයකදී “පිට පොළට” බඳිනවා.

මුලින්ම හාන බිං හීයට නම් මේ නවකයාව ගන්නෙ නෑ. සීසෑමට හුරු කරන ගවයව  සම්බන්ධ කරගන්නෙ දෙවෙනි හීයට. නමුත් පුරුදු නැති ආධුනිකයා කලබල වෙනවා. ඒත් “හෝ පොළේ”  සිටින ගවයා කීකරු නිසාත් එකම වියගහට දෙදෙනාම සම්බන්ධ වී තිබෙන නිසාත් ගැටළුවක් වෙන්නෙ නෑ.

වියගහෙන් දැනෙන අපහසුතාවය නිසා නවකයා දඟලන විටදී නිවැරදි මඟ ගමන්නොකරන නිසා  ඒ හීය එතරම් සාර්ථක නෑ. නමුත් දෙවෙනි හීය නිසා ලොකු ගැටළුවක් වෙන්නෙත් නෑ. ලියද්දක් විතර මෙහෙම හාලා ආධුනිකයාව  නිදහස් කරලා ආයෙමත් තුනත්තක බඳිනවා.

සී සානවිටදී ගවයා දකුණට හැරිය යුතු තැන් වලදී ගොවියා “හෝ” කියනවා.  ලියද්දක කෙලින්ම ගමන් කරනවානම්  අඬහැරය කියනවා. ගවයන් බාන වම් පැත්තට වීමට අවශ්‍ය නම් “පිට” කියනවා.

මේ අඬහැරය ගම් දෙක තුනක් වුණත් ඈතට ඇහෙන්න කියන්න සමහර ගොවියන්ට පුළුවන්.

“හානා හීය පානා අඬහැරෙන් දැනේ”

මෙහෙම අඬහැරය පාද්දී ගවයන්ට යම් ප්‍රබෝධමත් බවක් දැනෙන නිසා හීය සාර්ථක වෙනවා.

සමහර ගොවියෝ අඬහැරය පාන්නෙ නෑ. “හෝ” “පිට” කියන වචන විතරක් ගවයට ඇහෙන්න කියනවා.  “හොරෙන් හානවා” කියන්නෙ එහෙම නිහඬව හානවිටදී.

එහෙමවත් වචන නොකියා කෙවිටෙන් පමණක් ගවයන් හසුරවන ගොවියන් එදාත් කලාතුරකින් ඉඳලා තියනවා.
අස්වැන්න නෙළන කාලෙට කමතේදී ගවයන්ව “අම්බරුවෝ” ලෙසට හඳුන්වනවා.

කමත මැද්දෙ තියන කපපු ගොයම් හඳුන්වන්නෙ “කොළේ” යනුවෙන්.

කොළ පාගන කාලෙටත් කමතෙ “කොළේ” මතින් ගවයන් ගමන් ගන්නේද දක්ෂිණාවර්තව.

“කොළේ” අරය ඔස්සෙ ගවයන් තුන්දෙනෙක් හෝ ඊට වැඩියෙන්  එකට කාණ්ඩ කරනවා.

මෙහිදී අම්බරුවන් එකිනෙකාට සම්බන්ධ කරන්නේ  ගවයන්ගේ බෙල්ල හරහා තිරස්ව යන ලණුවකින්. එසේ සම්බන්ධ කරන අම්බරුවන් “ඈඳුත්ත” ලෙසට හඳුන්වනවා.

“ඈඳුත්තෙ” ඇතුළු පැත්තේ , “කොළේ” මුදුනට වෙන්න එහෙම නැත්නම්  කමතෙ මැද්දට වෙන්න ඉන්නෙ මුදුනා. කමතෙ අයිනට වෙන්න ඉන්න “කළාතේ”.  ගවයෙකුව සී සෑමට හුරු කිරීමට පෙර කන්නයකදී “කළාතෙට ඈදනවා”.  “කළාතෙට” විශාල වෘත්තයක ගමන් ගන්න වෙනවා.

ඒත් “මුදුනාට” එකම තැන කැරකෙන්න වෙනවා. ඒ නිසා කලන්තෙ හැදිලා වැටෙන්න තියන හැකියාව වැඩියි.   මුදුනා ශක්තිවන්තයෙක්. පලපුරුදු කාරයෙක්. මුදුනා වෙන්නෙ කාලයක් ගතවෙනවා. “කන්න” කීපයක් කලාතේ සිටි ගවයෙක් කාලයත් සමඟ මුදුනා දක්වාම උසස් වෙනවා. අනිත් ගවයන් ගමන් මඟ වෙනස් කරන්න උත්සහ කරන විටදී  ඉතාම ශක්‍තිමත් මුදුනෙක්  සිටින්නේ නම් එයට ඉඩ ලැබෙන්නෙ නැත.

 එකම තැන කැරකෙන මුදුනාගේ කකුළෙ “වෙනිය ගැහෙනවා.”  ගොවියා ඒ ගැන හෝදිසියෙන් සිටිය යුතුමයී. වෙනිය ගැහෙනවා කියන්නෙ පිදුරු වලින් ලණුවක් සෑඳී එය මුදුනාගෙ පයක පැටළැවීම.  තදින් “වෙනිය ගැහුනාම” එය ගැළවීම ඉතාම දුෂ්කරයි.

සමහරවිට “වෙනිය ගැහෙන” වෙලාව ගැන හෝදිසියෙන් නොසිටියහොත් මුදුනා පය පැටළී බිමට වැටීමට වුණත් ඉඩ තියනවා. බහුතරයක් ගව පට්ටි වල ශක්තිමත් මුදුනෙක් දකින්න ලැබෙන්නෙ නෑ. එහෙම වෙද්දි  කමතට කොළ දාන්න කලින් කමතෙ මැද කණුවක් හිටවනවා. කණුවට ගවයන් සම්බන්ධ කරනවා. මේ කණුව විවිධ ප්‍රදේශවල විවිධ නමින් හඳුන්වනවා.

මුදුනා ස්ථායි නොවන, ශක්තිමත් නොවන සෑමතැනකම මේ ආකාරයට කණුවක් දැකගන්න පුළුවන්.  එහිදීත් මුලින්ම කණුවට සම්බන්ධ වෙන ගවයා ද මුදුනා ලෙසම හඳුන්වනවා.

සී සෑමේදීවත්, කොළ පැඟීමේදීවත් කිසිම විටකදී වයස්ගත ගවයන් ඒ සඳහා යොදාගත්තෙ නෑ. තමන්ට ශක්තිමත් තරුණ පරපුරක් ලැබී තිබෙන්නේ පට්ටියේ සිටින වැඩිහිටියන් නිසා. ගවයින් ගැන ඉගැන්නුවේ පට්ටියේ සිටින වැඩිහිටියන්.  ඒ ගරුත්වය හැමදාම ගොවියන්ගේ හිතේ තිබුණා. මහළු ගවයන්ගෙන් ප්‍රයෝජනයක් නැති වුවද ඔවුන් මියෙනතෙක්ම පට්ටියේ හිටියා. ගොවියා ඔවුන්ට වැඩිපුර ආදරය කරුණාව දැක්වූවා.

ඔවුන් හා මිනිසුන් අතර ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් අතීතයේ තිබිලා තියනවා.

ලොව මී ගවයන් විශේෂ බොහෝමයකි. ඉන් අප රටේ දක්නට ලැබෙනුයේ (Bubalus Bubalis) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ජල මීගවයන් (Water Buffalo) ය. ශ්‍රී ලංකාව සහ දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේත් චීනයේත් දක්නට ලැබේ. පසුව මොවුහු ඇමෙරිකා සහ අප්‍රිකා මහද්වීපවලටත් ව්‍යාප්තව සිටිති.

විද්‍යාත්මක වශයෙන් එකම ප්‍රභේදයක් වුවද, ශ්‍රී ලංකාවේ මී ගවයන් කොටස් තුනක් වශයෙන් විස්තර කෙරේ. එනම් වල් මීගවයා හෙවත් කුළුමීමා, ගෘහස්ථ මී ගවයා සහ වල්මත් වූ මී ගවයා වශයෙනි. මොවුන් අතුරින් වල් මී ගවයා හෙවත් කුළුමීමා අතිශයින් දරුණු සතෙකි. සෙසු දරුණු බොහෝ වන සතුන් මිනිසුන්ට ප්‍රහාර එල්ල කොට මරා දමා එම කාරිය එතැනින් නිමවන අතරේ කුළු මීමකු මිනිසකුට පහර දී ඔහු මියගිය පසු එම ශරීරයේ ස්වභාවික හැඩය මැකී යනතුරුම තම සටන අත්නොහරින බව කියනු ලැබේ. එහෙත් ඔවුන් අතරින් අල්ලාගෙන මිනිස් වාසයට ගෙනෙනු ලබන කුළුමීමුන්ගේ ඊළඟ පරම්පරාව මිනිස් සමාජයට අතිශය හිතවත් හා නම්‍යශීලී ලෙසින් කටයුතු කරනු දැකීම විස්මයට කරුණක් බවද ඇතැමුන්ගේ මතයයි. එසේම සෙසු ගව විශේෂවලට සාපේක්ෂව මීහරකා අතිශය ඉවසිලිවන්ත සතෙකු ලෙසද ප්‍රකටය.

ඉංග්‍ර්‍රීසි යටත් විජිත සමයේ පුරාවිද්‍යා උප අධ්‍යක්ෂ ධුරය හෙබ වූ ජෝන් ස්ටීල් විද්වතාණන් විසින් ලියන ලද Jungle Tide නම් කෘතියෙහි හීලෑ මී ගවයන් සහ කුළුමීමුන් පිළිබඳ බොහෝ තොරතුරු අඩංගු වේ. එමෙන්ම ඔහු එමගින් ඔවුන් පිළිබඳ ප්‍රශංසාත්මක කතා කොට තිබීම ද විශේෂත්වයකි. වරක් හීලෑ මී ගවයන් පලවා හැර හීලෑ දෙනුන් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටි කුළු මීමකු ගම්මුන්ගේ ඉල්ලීම පිට මරා දැමීම සිදු වූ බව ජෝන් ස්ටීල් විස්තර කරනුයේ අතිශයින් හැඟීම්බරවය.

විශාල වැව් පිටියක් මැද තමන් විසින් අත්පත් කරගත් හීලෑ මීදෙනුන් සමග සිටි කුළුමීමා ඉදිරියට ගොස් තමන් වෙඩි දෙකක් තැබූ බව පවසන ජෝන් ස්ටීල් ඒ මොහොතේ එම මී ගවයා තමන්ට වෙඩි වැදුණු බවක්වත් නොහඟවා රාජකීය ලීලාවෙන් හිස ඔසවා තමන් දෙස ඍජුව බලා සිට එක්වරම මැරී වැටුණු බව පවසනුයේ තමන් එතරම් ශ්‍රේෂ්ඨ සතකු කිසිදා නොදුටු බවක්ද අවධාරණය කරමිනි. එමෙන්ම තමන් එක් දවසක් පුරාම මී ගවයකුගේ පිටේ නැගී ගිය ගමනක් පිළිබඳ ජෝන් ස්ටීල් තම කෘතිය මගින් රමණීය විස්තරයක් කොට තිබේ.

එමෙන්ම කුඹුරු වැඩට, තවලම් සහ කරත්ත ඇදීමට යොදා ගන්නා මී ගවයන්ගෙන් කොටසක් සතුන් දඩයම් කිරීම පිණිස යොදා ගන්නා ‘දඩමීමුන්’ ලෙස පුරුදු පුහුණු කෙරෙන බව සඳහන් කරන ජෝන් ස්ටීල් දඩමීමකු පුහුණු කළ තම ගැමි හිතවතකුද සමග එම දඩමීමාට මුවා වී වන සතුන්ට සමීපව ඔවුන් නැරඹූ අවස්ථාවක් පිළිබඳවද විස්තර කරයි. ඒ තමන් විසින් දැක ඇති ගව කුලයට අයත් බුද්ධිමත්ම සත්ත්වයා එම ‘දඩමීමා’ බව අවධාරණය කරමිනි.

අතීතයේ වෙහෙර විහාර, දාගැබ් තැනීම පිණිස මිනිස් ශ්‍රමයට අමතරව සත්ත්ව ශ්‍රමයද යොදා ගැනුණු බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් එවන් උදාර ජාතික, ආගමික සංස්කෘතික මෙහෙවරක යෙදුණු සියවස් ගණනක ජනතාවට ඒ සඳහා ජීවය ලබාදුන් බත සැපයීමට දිවි හිමියෙන් ශ්‍රමය පිදූ ගව මහීෂාදීන්ට එවන් කෘතවේදීත්වයක් පළ කිරීමේ යම් දොසක් තිබේද? එමෙන්ම අප මේ වෙහෙර විහාර, දාගැබ් තැනවීමට ඒවා ආශ්‍රිතව තම ශ්‍රමය කැප කළ අලි ඇතුන් සහ අශ්වයන්ට සාපේක්ෂව අප රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිදු වූ අක්කර ලක්ෂ ගණනක වී ගොවිතැන උදෙසා මීගවයන් කොපමණ සංඛ්‍යාවක් ඒ උදෙසා ශ්‍රම ඒකක කීයක් නම් කැප කරන්නට ඇද්ද? එම නිර්ණායකය අනුව බලන විට ගවයෝ ඇතුන්ට සහ අසුන්ට බොහෝ ඉදිරියෙන් සිටිති. 

වර්තමානයේ මී ගවයාගේ තත්ත්වය මෙතරම් ශෝචනීය වුවද, අතීතයේ එම සත්ත්වයා පිළිබඳ සංකේතයක් පූජනීයත්වයට පත් ව තිබූ බවටද සාධක තිබේ. මොහෙන්ජෝදාරෝ කැණීම්වල දී හමු වූ සතුන් පිරිවරා සිටින අං යුවළක් සහිත දෙවි කෙනකුගේ මුද්‍රාව ඒ සම්බන්ධ වැදගත් සාක්ෂියකි. තවත් සතුන් වට කරගෙන හිඳින එම දෙවියා සතුන්ට අධිපති ‘පශුපත්’ බවට පුරාවිද්‍යාඥයෝත්, ඉතිහාසඥයෝත් අනුමාන කරති. 

අප රටේ වී ගොවිතැන යම් ප්‍රමාණයකට සීමා වීමෙන් වී ගොවිතැන සඳහා ට්‍රැක්ටර්, ඇතුළු මීගවයන්ගේ කාර්යභාරය සඳහා නවීන තාක්ෂණික උපකරණ භාවිතයට ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ මී ගව ගහනය ශීඝ්‍රයෙන් අඩුවීමට පටන් ගෙන තිබේ. එසේම මීකිරි කර්මාන්තය සඳහා පමණක් මී ගවයන් ඇති කිරීම ඇරඹීමත් සමග එක් මුරයකදී කිරි ලීටර් දෙදහසක් පමණ ලබාගත හැකි මූරා, සූර්ති, නිළි, රවි වැනි ඉන්දියානු ගව විශේෂ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සමග දේශීය මී ගවයා ශීඝ්‍රයෙන් වඳ වීමේ තත්ත්වයක් උදා වි තිබේ. එමෙන්ම එවන් තත්ත්වයක් යටතේ ද පසුගිය වසරවල ශ්‍රී ලංකාවේ මීකිරි කර්මාන්තය සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇති බව මහ බැංකු වාර්තාව පෙන්වා දී තිබෙන්නේ 2016 මහ බැංකු වාර්තාවට අනුව කිරි ලබා ගන්නා මීදෙනුන් 83150 ක ගණනය වී ඇති අතර එය 2015 ගණනය වූ සංඛ්‍යාවට වඩා 9.2% ක අඩු වීමක් බව සඳහන්ය. එමෙන්ම කිරි ලබා ගැනීම හැරුණු කොට මීගවයන්ගෙන් ලබා ගන්නා සෙසු සේවා ඇනහිටීම, මී ගවයන් ඇති කිරීම පණිස වන භූමි ප්‍රදේශ අහිමි වීම ආදී සාධක මත මීදෙනුන්ට හිමිවන ජීවත් වීමේ වාසනාව මී වස්සන්ට කුඩා කාලයේදීම අහිමි කිරීම නිහඬ ඛේදවාචකයකි.

ශ්‍රී ලංකාවේ සෙසු බොහෝ ප්‍රදේශවල සේම අගනුවර තදාසන්න ප්‍රදේශවලද හැත්තැව දශකය තෙක් මීගව කර්මාන්තය පුළුල් ලෙස සිදුකොට ඇත. අගනුවර උතුරු මායිමේ පිහිටි කැලණි ගඟින් ඔබ්බෙහි පිහිටි මුතුරාජවෙල සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඇතුළු හැත්තෑව දශකයෙන් පසු නව ඉදිකිරීම් සිදුකළ දියවන්නාව අද්දර වගුරුබිම් ප්‍රදේශය ඉන් ප්‍රධානය.

සිංහල ජාතිය නියෝජනය කරන සිංහයා ජාතිය නියෝජනය කිරීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සත්ත්වයකුවත් නොවේ. එමෙන්ම සිංහල ජාතිය සහ සිංහයා අතර ඇති සබැඳියාව හුදෙක් අස්වාභාවික පුරාවෘත්තයක් මත පදනම් වූවකි. විවිධ ජාතීන් තමන්ගේ ජාතිය සංකේතවත් කිරීම පිණිස සත්ත්ව නාම, සත්ත්ව රූප ආදිය යෙදීම මානව විද්‍යාවේ හැඳින්වෙනුයේ ගෝත්‍ර විහ්නවාදය (Totemism) යනුවෙනි.

එහෙත් සිංහල ජාතිය සහ සිංහයා අතර පවත්නා සබැඳියාව එවන් අස්වාභාවික පදනමක තිබියදී සිංහල ජාතිය සමග වසර දහස් ගණනක් මුළුල්ලේ මීගවයා විසින් දක්වා අැති අවයෝජනීය යාවජීව සබැඳියාව අපි ඉතා අකාරුණික ලෙස අමතක කොට ඇත්තෙමු. කොටින්ම මෙරට බෞද්ධ සංස්කෘතියේ මුදුන්මල්කඩවන රුවන්වැලිය නම් මහා ථූපය තැනීමට පවා මේ මහා ’දායකයා’ගෙන් ලැබුණු සුවිසල් ශ්‍රම දායකත්වය ඛේදනීය ලෙස අමතක කොට ඇත්තෙමු.

ඒ වෙනුවට අප සිදු කරනුයේ කමත් භාෂාවේදී ‘අම්බරුවා’ යන ගරු නම්බු සහිත වදනින් හඳුන්වනු ලැබූ මෙම ගුණ නැණ බලෙන් යුතු උසස් සත්ත්වයා සඳහා අමතන  ‘මීහරකා’ යන වදන මෝඩ, පහත් මිනිසුන්ට බැණ වැදීමට යොදා ගැනීම පමණි. මෙය අප වහා නිවැරදි කරගත යුතු අපේ ජාතිකත්වයේ බරපතළ අඩුවක්, වරදක් නැතහොත් දෝෂයක් වන්නේය.

මුලින්ම අත් ට්‍රැක්ටරයක් ගෙන්වා සීසෑමේ උත්සවයකදී  සිටි ඩී. එස්. සේනානායක මැතිතුමා අසල සිටි කෙනෙකු එතුමාගෙන්  අසා තිබෙනවා “හොඳට හෑවෙනවා නේද ” යනුවෙන්.

“ඔව් හොඳට හානවා. ඒත් ගොම වැටෙන්නෙ නෑ”

ඩී.එස්. සේනානායක මැතිතුමාගෙ පිළිතුර වුණේ එයයී. ගවයාගේ සහ ට්‍රැක්ටරයේ  වෙනස එදා  වෙන කවුරුවත් නොදැක්කද ඔහු හොඳින්ම දකින්න ඇති. සැබවින්ම කුඹුරට ගොම නැති වුණා. 

එදා සිට ලාංකිකයන්ට නැති වුණේ ගොම විතරක්ම නොවෙයී.  ගමේ සෑම තැනකම දක්නට සිටි ගවයන් අඩු වුණා. සතුන් සමඟ මිනිසාගේ බැඳීම අඩු වුණා.  සංවේදනා නැති මිනිසුන් බිහිවුණා.

ට්‍රැක්ටරයේ ආගමනය සමඟ ගොවියන්ගේ ජීවිතය විශාල පෙරළියට ලක්වුණා.  සංස්කෘතියේ තිබූ ගොවි ජීවන රටාව බිඳ වැටුණා.

එය “හොඳ” හෝ ” නරක” ලෙස තර්ක කිරීමේ හැකියාව තියෙනවා.

නමුත් දැන් ඒ ගවයා සහ මිනිසාගේ තිබුණ මිත්‍රත්වය අතීතයට එක්වී හමාරය. එය නැවත ඇතිකිරීමට නොහැකි තරම් දුරකට ගොවියා ගමන් කර සිටියි

තිලක් සේනාසිංහ.............අන්තර්ජාලය ඇසුරෙනි...........දැනුම සොයන්න මේ පාරෙන් එන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අපේ මතකයෙන් ඈත්වී ගිය අම්බරුවා (Ammaruwa) අපේ මතකයෙන් ඈත්වී ගිය අම්බරුවා (Ammaruwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, July 08, 2022 Rating: 5

0 comments:

Post a Comment