සෙල් ලිපි වල සඳහන් පුරාණ ශ්‍රී ලංකාවේ පැරණි අධිකරණ ක්‍රමය (Sel Lipi)

සෙල් ලිපි වල සඳහන් පුරාණ ශ්‍රී ලංකාවේ පැරණි අධිකරණ ක්‍රමය (Sel Lipi) - Your Choice Way

මානව ඉතිහාසයෙහි ආරම්භක අවධියෙහි පටන්ම මානවයා තමාට උද්ගත වූ විවිධ ගැටලුකාරී සංකීර්ණතාවන්ට පිළිතුරු සෙවීමේ ක්‍රියාදාමයක නිරත වූහ. සමාජ ප්‍රගමනයට හා සමාජ පැවැත්මට බාධාවන සාපරාධී ක්‍රියාවලට හා චාරිත්‍ර වාරිත්‍ර වැනි සමාජ සම්මුතීන්හි අතික්‍රමණය වීම් ආදී සංකීර්ණතා හමුවේ ඒවාට පිළියම් සෙවූ මිනිසා සමාජ පැවැත්ම ආරක්‍ෂා කරගනු වස්‌ 'නීතිය', 'දණ්‌ඩනය' වැනි සම්මුතීන්හි පිහිටියහ. යම්කිසි රටක අධිකරණ කාර්යයෙහි භාවිත නීතීරීති හා ද`ඩුවම් ක්‍රම ආකස්‌මිකව පහළ වන්නක්‌ නොව සමාජයෙහි සර්වප්‍රකාරයෙන්ම සිද්ධ වන සිද්ධවිය හැකි අපරාධ මර්දනය කරනු වස්‌ යම් මූල සිද්ධියක්‌ පාදක කොට සකස්‌ කරගත්තකි.

මානව සමාජයේ සාමාජිකත්වය ලබාගත් සෑම පුද්ගලයෙක්‌ම යම්කිසි නීති පද්ධතියකට, එසේත් නැත්නම් යම්කිසි ආචාර ධර්ම පද්ධතියකට යටත් වූවෙක්‌ වෙයි. එහෙයින් නීති කඩකිරීමේ වරදට දඩුවම් පැමිණවීම ලොව ඕනෑම සමාජයක සම්මතය. මිනිස්‌ සමාජය අපරාධයන්ගෙන් හා දුරාචාරයන්ගෙන් මුදවා යහ පැවැත්ම ස්‌ථාපිත කිරීම එමගින් අපේක්‍ෂිතය. අනෙක්‌ අතට වරදට දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය සමාජ අවශ්‍යතා සපුරාලන්නක්‌ වෙයි. 

උක්‌ත අරමුණු මුඛ්‍ය ලක්‍ෂණය කොටගත් අධිකරණ ක්‍රමයක භාවිතය පැරණි ලක්‌දිව සමාජ ව්‍යqහය තුළ විද්‍යමාන බැව් හදුනාගත හැකිය. 

සුසංවිධිත අධිකරණ ක්‍රමයක්‌ පැරණි ලක්‌දිව පැවති බවට සාධක විද්‍යමාන වුවත් ඒ හා සම්බන්ධ ග්‍රන්ථයක්‌ ලියෑවූ බවට සාක්‍ෂි මතුවන්නේ පොළොන්නරු යුගයෙනි. ඒ ආයෂ්මන්ත සෙනෙවියාගේ ධර්මාධිකරණ ශාස්‌ත්‍රයයි. මෙම ග්‍රන්ථය ද දැනට අවිද්‍යමාන බැවින් හා ඒ පිළිබඳ වංශකථා මගින් වැඩියමක්‌ තොරතුරු හෙළි නොවන හෙයිනුත් පැරණි ලක්‌දිව අධිකරණ කටයුතු පිළිබඳ තොරතුරු අන්තර්ගත ප්‍රාථමික මූලාශ්‍රයක්‌ ලෙස සෙල්ලිපිවලට හිමි වනුයේ ප්‍රමුඛස්‌ථානයකි. පිහිටි ස්‌ථානය අනුව ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි යනුවෙන් තත් මූලාශ්‍රය වර්ගීකෘත වෙයි. 

විධායක, ව්‍යවස්‌ථා, අධිකරණ යන තුන් ඈදුතු බලතලයන්හි නිසි බලධරයා ලෙසින් ප්‍රකාශිත වූ රජු විසින් නිපදවන ලද පාලන රාමුවක්‌ තුළ පුරාණ ලාංකේය සමාජය ස්‌ථානගතව පැවතියේය. සමස්‌ත රටවැසියාගේ එකම ආරක්‍ෂකයා වූයේ රජුය. එහෙයින් සමාජයෙහි යුක්‌තිය හා සාධාරණය ස්‌ථාපිත කිරීමෙහි නියුක්‌ත වූ රජු ඒ සඳහා සිදු කළ ප්‍රමුඛතම කාර්යය වූයේ නීති ව්‍යවස්‌ථාවන් පිහිටුවීම හා සම්මත නීති උල්ලංඝනය වූ ආස්‌ථාවන්හි දී වරදෙහි ස්‌වභාවය අනුව වරදකරුවනට දඩුවම් පැමිණවීමයි. නීති ප්‍රකාරව වරදකරුවන් හඳුනා වරදට ලක්‌ වූවනට සාධාරණය ඉටු කරන ලද්දේ අධිකරණයෙනි.

අධිකරණ ක්‍රමයෙහි මූල සාධකයක්‌ වූ නීති සම්පාදනය වනාහි සාධනීය මූල බීජයන් හේතු ප්‍රත්‍යව සකස්‌ වූවකි. ලක්‌දිව සෑම සංස්‌කෘතිකාංගයකට මෙන්ම අධිකරණ කාර්යයන් සඳහා ද උත්තර භාරතීය බලපෑම ලැබුණු බවට සාධක වේ. ලාංකීය සංස්‌කෘතිය සඳහා භාරතීය ආභාෂය ප්‍රමුඛ වශයෙන් බලපෑවේ විජයාගමනය හා මහින්දාගමනය පාදක කොටගෙනය. වංශකථාගත සාධකයන්ට අනුව ක්‍රි.පූ. සවැනි සියවසේ ලංකාවේ ප්‍රථම රජු ලෙස හැදින්වෙන විජය රජු සහ ඔහුගේ පරපුර මනුනීතිය අනුව රට පාලනය කිරීම හා ඒ අනුව නීතික්‍රම සම්පාදනය කිරීම කරන්නට ඇත. විජය උත්තර භාරතීය ප්‍රාන්ත රජ කෙනෙක්‌ හෙයින් ඔහුගේ නීතිමය දැනුම ලක්‌දිව නීති ක්‍රමයෙහි සැකැස්‌ම සඳහා බලපෑම අනිවාර්ය සාධකයකි.

ධර්මාශෝක රාජ්‍ය සමයට මඳක්‌ ප්‍රථමයෙන් සිටි කෞටිල්‍ය නීති ක්‍රමයන් අනුව ධමර්ශෝකයෝ රාජ්‍ය පාලනය කලහ. අසල්වැසි රාජ්‍ය ගිල ගැනීමේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කරන ලද්දේ එහෙයිනි. පසුව එතුමා බුදුදහමේ ආභාෂයත් සමග දසරාජධමර්ම ප්‍රතිපත්ති මත රාජ්‍ය පාලනයෙහි නියුක්‌ත විය. ධමර්මාශෝක - දේවානම් පියතිස්‌ස මිත්‍ර සන්ථවයෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ලක්‌දිවට බුදුදහමේ දායාදය ලැබීම ආගමික පරිපෝෂණය සඳහාම නොව නීතිය වැනි අනෙකුත් සංස්‌කෘතික අංගයන්ගේ වැඩීම පිණිස ද හේතු විය. ඒ අනුව කෞටිල්‍ය අර්ථ ශාස්‌ත්‍රය හා බෞද්ධ දසරාජ ධර්ම ප්‍රතිපත්තියෙහි සම්මිශ්‍රණයෙන් සැකසුණු නීති මාලාවකට අනුව පැරණි ලක්‌දිව අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන්නට ඇතැයි යන්න පිළිගත හැකි කරුණකි. 

දිය ගොඩ දෙකෙහිම හිමිකරුවා රජු වූයෙන් මහජනයා රජුට 1/6 කොටසක්‌ හෝ 1/10 කොටසක්‌ ප්‍රදානය කළ යුතු වූයේ, 1/6 ක කොටසක්‌ මහජනයාගෙන් ගෙන ප්‍රජාව ආරක්‍ෂා කරන හෙයිනි. ෂඩ්භාගෙ හෘතෙ රාජා රක්‍ෂේත් ප්‍රජාම් පැරණි ලක්‌දිව මෙම නීතිය එලෙසම ක්‍රියාත්මක වූ බව බොජකපති දසකැර ඈ බදු ක්‍රමයන්ගෙන් පැහැදිලි වේ. මනුනීතිය, කෞටිල්‍ය අර්ථ ශාස්‌ත්‍රය ආදී න්‍යාය ග්‍රන්ථයන්ගේ ආභාෂය නිශ්ශංකමල්ල රජතුමා ලැබූ බව ගල්පොත ශිලා ලිපියෙහි එන, රජදරුවන් මනුෂ්‍ය රූපයෙන් සිටියද නරදෙවතා හෙයින් දෙවියන් සේ දැක්‌ක යුතුයෑ මැන්දහත් රජුන් ලැබීම බුදුන් ලැබීම් සේ සැලකිය යුතුයෑ යන පාඨයෙන් පැහැදිලිය. මහතී දේවතා නර රූපේණ තිෂ්ඨති යන මනුස්‌මෘති පාඨයෙන් හා රජුන් දැකීම බුදුන් දැකීම සේ සැලකිය යුතුය යන පාඨයෙන් ප්‍රකට වන්නේ අනිකක්‌ නොව පැරණි භාරතීය නීති ග්‍රන්ථයන්හි ආභාෂය සහිතව මෙකල අධිකරණ කටයුතු සිදු වූ බවයි. 

ලක්‌දිව බුදු දහමේ ආභාෂය ලැබූ දා පටන් ම රජවරු ක්‍රියාත්මක වූයේ ධාර්මික ප්‍රතිපදාවෙනි. දශරාජධමර්ම ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කළ රජුන් නීතික්‍රම ආරක්‍ෂා කිරීමෙහි මහජනයා පෙළඹූයේ ධමර්ය එකම ප්‍රතිෂ්ඨාධාරවය. රජවරුන් පිහිටුවා ඇති සෙල්ලිපිවල ඇති නීතිරීති කඩ කළ උන් බලු කපුටන් වන බවත් අපාය වැනි දුර්ගතීන්හි උත්පත්තිය ලබන බවත් ශිලා ලේඛනයන්හි ව්‍යවස්‌ථාපිත නීති මාලාවට මත්තෙන් දක්‌වා ඇත. ඒ අනුව නීතිය, ආඥාව හා දණ්‌ඩ භය යනුවෙන් වූ දඩුවම් පැමිණවීමේ සාම්ප්‍රදායික පරිපාටිය වෙනස්‌කොට ඒ සඳහා නව ආදේශකයන් ලෙස නීතිය, ආයාචනය හා දුර්ගති භය යන ක්‍රමවේදය පැරණි ලක්‌දිව්හි රජුන් අනුගමනය කොට ඇත්තේ බුදුදහමේ ආභාෂය නිසාවෙනි. (විහාරාරාම සම්බන්ධ නීතියකි.) 

අධිකරණ කාර්යයෙහිලා බලපෑ මූල සාධක අතර 'පෙර සිරිත්වලට' ලැබෙනුයේ ප්‍රමුඛස්‌ථානයකි. ''සතළොස පිරිනිවියන් වහන්සේ දවස කළ වැවස්‌ථා සේ පෙර සිරිත් දඩ ගනුත් මිස අනියා නොකරනු ඉසා'' යන බදුලු ටැම් ලිපි පාඨයට අනුව පෙර සිරිත් යනුවෙන් අදහස්‌ කොට ඇත්තේ පෙරසිට පැවත එන නීතිය විය හැකිය. පෙර සිරිත් රැකීමේ ප්‍රතිපත්තිය පැරණි ලක්‌දිව රජහු මහත් ඉහළින් ආරක්‍ෂා කිරීමෙහි වගබලාගත් අයුරු නිශ්ශංකමල්ල රජුගේ (ක්‍රි.ව. 1187 -1196) අනුරපුර සෙල් ලිපියෙහි මහාපරාක්‍රමබාහු රජු වෙත දෝස මුඛයෙන් එල්ලකරන ''මාලු පරාක්‍රමබාහු වහන්සේ පූර්ව රාජ චාරිත ඉක්‌මැ කළ අති දඩ අවිනවෙන් පීඩිත වූ දිළින්දු වැ සොරකම් කොට ජීවත් වන බොහෝ ජනයා ජීවිතාශා හැරැ සොරකම්කරන්නේ ධනාශාවෙන් වෙද යි'' යන පාඨයෙන් ප්‍රකට වෙයි. 'පුරාණ කාලයේ පටන් පරම්පරාගතව පැවත ආ සාධු ජන චාරිත්‍ර පෙර සිරිත්' යනු මේ යෑයි දක්‌වන වල්පොල රාහුල හිමියෝ පවසති.

පැරණි ලක්‌දිව නීති සම්පාදනයෙහිලා පෙර සිරිත් සේම බලපෑ අන්‍ය සාධකයක්‌ නම් 'ගම් සිරිත්ය'. ගම් සිරිත් යනු එක්‌ අතකින් ගමට ආවේණික වූ සිරිත්ය. ඒ අනුව එම නීති එක්‌ ගමකට පමණක්‌ සීමා වූ අතර සෙසු ප්‍රදේශයන්ට ඉන් බලපෑමැක්‌ වී නොමැත. මේ සදහා ප්‍රාමාණික සාධකයක්‌ ලෙස සිව්වැනි මිහිදු රජුගේ (ක්‍රි.ව. 956-972) මිහින්තලා සෙල් ලිපියෙහි එන ''කුඩින් කළ වරදක්‌ ඇත ගම් සිරිත් දඩ් කරා කිරූ ද`ඩ් මිනැ ඇකැ අවට සොළොස්‌ රියන් ගැම්බුරැ රියන් කබුල් බැගින් ගෙනැ වැව් මෙහෙ කැරැ වියෑ යුතු'' පාඨය දැක්‌විය හැකිය. චේතියගිරි විහාර අභ්‍යන්aතර පාලනය පිළිබද ව්‍යවස්‌ථා කියෑවෙන මෙහිs අවට වැසියන්ට දඩුවම් කිරීම නියම කොට ඇත්තේ ගම් සිරිත අනුවය. 

රටෙහි ප්‍රමුඛතම ආඥාදායකයා වූ රජු සෙසු සෑම කාර්යයකදී මෙන්ම අධිකරණ කාර්යයෙහිදී ද ප්‍රමුඛස්‌ථානය ගෙන ඇත. රජු හා නීතිය යනු වෙන්වෙන්ව පවතින්නක්‌ නොව වරෙක රජු නීතිය වූ අතර තවත් වරෙක නීතිය රජුම විය. පැරණි ලක්‌දිව නීති පද්ධතිය තුළ රාජ්‍ය අපරාධ පිළිබඳ නීතිවලට ප්‍රමුඛ තැනක්‌ හිමි වූයේ එබැවිනි. රාජාණ්‌ඩු ක්‍රමයක්‌ වශයෙන් පැවති පැරණි ලක්‌දිව පාලන ක්‍රමයෙහි ස්‌ථාවරය පවත්වා ගනු පිණිස පැන වූ එම නීති ලෙස රජුට හා රාජ්‍යයට ද්‍රෝහි නොවීම.රාජ්‍ය නීති ව්‍යුහය ඉක්‌මවා නොයාම.

දැක්‌විය හැකි ය. රජුට විරුද්ධව කැරලි ගැසීම, රාජ ආඥාව කෙරෙහි අවනත නොවී එය ඉක්‌මවා කටයුතු කිරීම නීති කඩ කිරීමක්‌ සේ සලකා දැඩි දඩුවම්වලට යටත් කොට ඇත. මෙම නීති කඩ කිරීමෙහි බරපතළ බව කොතරම් ද යන්න රාජෙද්‍රෝහී වීම පංචානන්තරිය පාප කර්මයක්‌ සේ සලකා නොකට යුතු බවට නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත ශිලා ලිපිය සාධක සපයයි. 

අධිකරණයෙහි එක ම අඥාදායකයා රජු වුවද පරිපාලනයෙහි පහසුව සඳහා බලය විමධ්‍යගත කිරීමෙහි යෙදුණි. පැරණි ලක්‌දිව්හි රජවරු අග්‍රවිනිශ්චය කාරයෙකුට නැතහොත් අධිකරණ නායකයකු හට අධිකරණ බලතළ පමුණුවා ඇත. අධිකරණ කටයුතුවලදී ද ප්‍රධානියා වශයෙන් රජු ක්‍රියා කළ නමුත් සාමාන්‍ය වශයෙන් නඩු ඇසීම හා දඩුවම් දීම බාරව සිටියේ දණ්‌ඩනායක නමැති නිලධරයා යි. ඔවුහු ''සභායේ සම්දරුවන්, දඩනායක, දසගම ප්‍රධානීන්'' වශයෙන් හැදින්වෙති. ඔවුනට අධිකරණ බලතල පැවති බවට සාධකයක්‌ ලෙස පස්‌වන කාශ්‍යප රජුගේ රාජසභා ටැම් ලිපිය දැක්‌විය හැකිය. 

''මෙ ගමැ දෙ කැබැල්ලට්‌ කැම්බුර් කඩවරට්‌ වූ වියවුලක්‌ ඇත සබායෙ හින්ද්න සම්දරුවන් සාහා පිසින්ද්වන්නා ඉසා''

(මේ ගමේ කැබලි දෙකට හා කැම්බුර් කඩවර් ඉඩමට වියවුලක්‌ ඇති වුවහොත් රාජ සභාවේ සිටින සම්දරුවන් විනිශ්චය කර සංසි`දිය යුතුය)

මේ අනුව සම්දරුවන් යනු අධිකරණ නිළධාරීන් බවත් නඩු විසඳීම සිදු කළ අධිකරණශාලා 'සභා' නමින් හැඳින් වූ බවත් නිගමන කළ හැකිය. 'සභා' නමින් හැඳින් වූ අධිකරණශාලා හේතුවෙන් නොයෙක්‌ පළාත්වල සිදු වූ අසාධාරණ හා අයුක්‌ති සහගත ක්‍රියාවන් වාරණය වූ බව නිශ්ශංකමල්ල රජතුමා ප්‍රීතිදානක නම් සෙල්ලිපියෙහි සඳහන් කරයි. අපරාධකරුවන්ගේ සාපරාධී ක්‍රියාවන් මැඩපවත්වනු වස්‌ ස්‌ථාපනය කළ අධිකරණ ශාලාවන්ගෙන් යුක්‌ත නගර යහපත් නගර ලෙසට එතුමා සළකා ඇත. 

සිව්වැනි දප්පුල රජුගේ කොණ්‌ඩවට්‌ටවාන් ටැම් ලිපියෙහි දඩුවම් දෙන්නන්ගේ ප්‍රධානියා හෙවත් විනිශ්චය කාරයා යන අර්ථයන්ගෙන් අධිකරණ නිළධාරියා 'දඩනායක' නමින් හදුන්වා ඇත. හෝපිටිගම වෙළද පොළෙහි අධිකරණ කටයුතු භාරව සිටි නිළධරයා 'පදිලද් දඩනායක' නමින් බදුලු ටැම් සදහන් වෙයි. අධිකරණ කාර්යයෙහි සර්ව බලධාරියා වූ රජු එකී බලතල ගම් මට්‌ටමින් බෙදාහැරීමෙහි ද ක්‍රියාකර ඇති බවට සාධක වේ. සිව්වැනි මිහිදු රජුගේ වේවැල් කැටිය ලිපියට අනුව 'දස ගම ප්‍රධානීන්ට' අධිකරණ බලතළ පමණක්‌ නොව දඩුවම් පැමිණවීමෙහි බලතළ ද ලබා දී ඇති බැව් තවත් ලිපිය සාක්ෂි සපයයි. මෙහි එන විශේෂ ලක්‍ෂණයක්‌ නම් නඩු විනිශ්චයේ දී අවසන් තීන්දුව දුන් පසු සාක්‍ෂි ලියා තැබීම අනිවාර්යය වූ බවට එන සඳහනයි. -උපන් දැයට පෑ හැකිසේ ලියා තබා..... යන පාඨයෙන් එය ප්‍රකට වේ. අධිකරණයෙහි හුන් විනිශ්චයකරුවන්ගේ විශ්වසනීය භාවය තහවුරු කිරීම මෙන්ම වරදකරුට ඇප ලබාගැනීමේ පූර්ණ අයිතිය මෙකල අධිකරණ ක්‍රමයෙහි පැවති බවට මෙය හොඳම නිදසුනක්‌ වන්නා සේම පැරණි ලක්‌දිව අධිකරණ ක්‍රමයෙහි පැවති විධිමත් භාවය මින් මොනවට පැහැදිලි වෙයි. 

වත්මන් අධිකරණ ක්‍රමයෙහි මෙන් පැරණි ලක්‌දිව ද නිළධාරීන් දුන් තීරණවලට විරුද්ධව ඇපැල් [Appeal] ගැනීමේ අයිතියක්‌ විත්ති පාර්ශ්වයට පැවති බවට පස්‌වන කසුබ් රජුගේ ලිපියෙහි එන සදහන පැරණි ලක්‌දිව අධිකරණ කාර්යයෙහි විද්‍යමාන වෙසෙස්‌ ලක්‍ෂණයක්‌ බව කිවමනාය. ''සම්දරුවන් ගත් දඩැ ගිගිරියක්‌ ඇත සම්දරුවන් දඩ නායකයන් හින්දැ විචාර කොට හැරියෑ යුතුවක්‌ හර්නා ඉසා'' මෙහිදී සම්දරුවන් ගත් දඩ නිමිති කොට උද්ඝෝෂණයක්‌ ඇතොත් සම්දරුවන් හා දඩ ගැසීමට බලය ඇති නිලධාරීන් ද හිද නඩු විචාරා එම දඩය අත් හැරිය යුතු බව සදහන් වේ.

යම් නඩුවක්‌ විනිශ්චය කළ පසු නැවත නඩුව ඉදිරිපත් වීමකට ඉඩ නොතබාම නඩුව පිළිබඳ අවසන් තීන්දුව දීමෙහි විනිශ්චය කරුවන් ක්‍රියාකාරී වූ බව පනාකඩුව තඹ සන්නසෙහි සඳහන් වන 'පටවා' යන වචනයෙන් තහවුරු වේ. මේ මගින් පැහැදිලි වන්නේ ඇපල් ගැනීමේ තහනමක්‌ නොව එකල අධිකරණ ක්‍රමයෙහි පැවති වඩා වැඩි කාර්යක්‍ෂමතාවයි. 

පැරණි ලක්‌දිව සංචාරක විනිශ්චය කරුවන්ගේ ස්‌වභාවය ගත් පිරිසක්‌ අධිකරණ කාර්යයෙහි නියුක්‌ත වූ බව සෙල්ලිපි මගින් හෙළි වේ. ඔවුන් සතු ප්‍රධානතම කාර්ය භාරය වූයේ සංචාරයෙහි යෙදී හටගත් දැඩි ආරවුල් සමථයට ලක්‌ කිරීම හා නව නීති පැමිණ වීමයි. වේවැල් කැටිය සෙල්ලිපියට අනුව වර්ෂයකට වරක්‌ ද පස්‌වන කසුබ් රජුගේ පුවරු ලිපියට අනුව දෑ අවුරුද්දකට වරක්‌ ද ඔවුහු සඤ්චරණයෙහි යෙදුණහ. 

අධිකරණයෙහි නියුක්‌ත නිළධාරීන් නොනීතිය මුලිනුපුටා දැමූ බව ගල්පොත නමැති සෙල්ලිපියෙන් ප්‍රකට වේ. රටවැසියා හට යුක්‌තිය හා සාධාරණය ඉටු කිරීමෙහි නිරත වූ අධිකරණ නායකයාට සෙසු නිළයන් හා සාපේක්‌ෂව ප්‍රමුඛස්‌ථානයක්‌ ලැබුණු බව සිතිය හැක්‌කේ අධිකරණ සඳහා ධමාධිකරණ නාමය පරියාය වශයෙන් භාවිත වූ හෙයිනි. 

වර්තමානයෙහි මෙන් පැරණි ලක්‌දිව අධිකරණ ව්‍යුහය තුළ අපරාධ දණ්‌ඩ නීතිය හා සිවිල් දණ්‌ඩ නීතිය ක්‍රියාත්මක වූ බැව් පෙනේ. රාජද්‍රෝහී වීම වැනි වැරදි අපරාධ දණ්‌ඩ නීතිය යටතේ ක්‍රියාත්මක වූ අතර ඉඩම් භුක්‌ති ක්‍රම පිළිබඳ නීති ක්‍රියාත්මක වූයේ සිවිල් දණ්‌ඩ නීතිය යටතේ ය. මෙලෙස සුලු හා බරපතළ දඩුවම් පැමිණ වීමක්‌ අධිකරණ කටයුතු හා සම්බන්ධව පැවතියේ අන්කරුණක්‌ නිසා නොව අපරාධකරුවන්ගෙන් හෝ අන් අයගෙන් එවැනි සාපරාධී ක්‍රියාවක්‌ මතුවට සිදු නොවනු පිණිසය. නීතිය හා දණ්‌ඩනය මූලිකව සැකසුණු පැරණි ලක්‌දිව අධිකරණ ක්‍රමයෙහි ව්‍යවස්‌ථාපිත නීති සංග්‍රහය අධ්‍යයනයේ සුකරතාව පිණිස රාජ්‍යත්වය හෝ රාජ්‍ය අපරාධ හා සම්බන්ධ නීති, වෙහෙර විහාර සම්බන්ධ නීති, ඉඩම් භුක්‌තිය හා සම්බන්ධ නීති හා වාණිජ කටයුතු සම්බන්ධ නීති වශයෙන් දැක්‌විය හැකිය....

පුරාණ දඬුවම් ක්‍රම ගැන සඳහන්  වේවැල් කැටිය පුවරු ලිපිය....
අපේ රටේ ඇති තවත් අගනා සෙල්ලිපියක් ගැනයි මේ සටහන. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ආසන්නයේ ඇති වේවැල්කැටිය පුවරු ලිපිය. පුරාවිද්‍යාව, ඉතිහාසය එහෙම තැන්නම් ලංකාවේ පැරණි නීතිය හා සමාජ ක්‍රමය වගේ දේවල් ගැන හොයනබලන අයට නම් මේ ලිපිය ආගන්තුක එකක් නෙවෙයි.

රඹෑව ප්‍රදේශිය ලේකම් පාලන ප්‍රදේශයේ මැදවච්චිය සිට හොරොව්පොතානට යන මාර්ගයේ 11 වැනි සැතපුම් කණුව ආසන්නයේ තියෙන මේ සෙල්ලිපිය ගැන ඉස්සෙල්ලම වාර්තා කරල තියෙන්නේ 1875 අවුරුද්දේ දී ගෝල්ඞ් ස්මිත් මැතිතුමා. 1885 දී එඩ්වර්ඩ් මුලර් වගේම 1891 අවුරුද්දේ දී එච්.සී.පී. බෙල් ද මේ ලිපිය ගැන කරුණු දක්වලා තියෙනවා. ඊට පස්සේ කාලෙක මේ සෙල්ලිපිය ගැන ප්‍රමාණවත් විස්තරයක් සපයල තියෙන්නේ දොන් මර්තීනු ද සිල්වා වික්‍රමසිංහ මැතිතුමා විසින්. ඒ ලංකාවේ පැරණි ලියවිලි ගැන සඳහන් වන Epigraphia Zeylanica පළමු වැනි වෙළුමේ 241 සිට 251 දක්වා පිටුවල. ඊටත් පස්සේ ලංකාවේ පැරණි ලියවිලි පිළිබඳ අසහාය විද්වතා වුණු මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමාගේ අවදානය ද මේ ලිපියට යොමු වෙලා තියෙනවා. සෙල්ලිපි පිළිබඳ දැන් ලංකාවේ ඉන්න ඉහළම විද්වතෙකු වන මහාචාර්ය සිරිමල් රණවැල්ල මැතිතුමා මේ ලිපියේ අවසාන වරට සංස්කරණයක් පළකරල තියෙනවා Inscriptions of Ceylon, Volume V, Part II කෘතියේ. ඒ පොතේ 173 පිටුවේ ඉදල 182 පිටුව දක්වා තියෙන්නේ මේ ගැන රණවැල්ල මැතිතුමා දක්වලා තියෙන අදහස්.

මීට අවුරුදු 1,000කට විතර ඉස්සෙල්ල එහෙම නැත්නම් ක්‍රිස්තු වර්ෂයෙන් 10 වැනි සියවසේ පමණ ලංකාවේ තිබුණු නීතිය වගේම දඬුවම් ගැන මේ ලිපියෙන් දැනගන්න පුළුවන්. පැරණි අධිකරණ හා නීතිරිති පිළිබඳ දැක්වෙන මේ සෙල්ලිපියේ තිියෙන තවත් වැදගත්කමක් වන්නේ ලංකාවේ විවිධ තැන්වලින් පිටපත් ගණනාවක් හමු වීම. මේ විදිහට ඒ කාලෙම ලියැවුණු පිටපත් 20ක් විතර හමුවෙලා තියෙනවා. රණවැල්ල මහාචාර්යතුමා දක්වලා තියෙන විදිහට කහටගස්දිගිලිය (1896), දොඹවලගම (1898), අනුරාධපුර වෙස්සගිරිය (1911), මළුවේයාය (1912), හඟුරක්ගොඩ (1934), නාවුළ ගිරිතලේ පාර අද්දර කොට්ටාපිටිය (1949), ත්‍රිකුණාමලේ ආසන්නයේ නාථනාර් කෝවිල (1953), හලාවත ඉලක්කාට්ටු එබ (1969), අල්ලෙයි අසළ වන්නඩි පාලම (1974), වවුනියාව ආසන්නයේ කරුම් පුලියන්කුලම් (1975), සේරුවිල සෝමපුර (1977), කැකිරාව මීහොඳවැව (1984) හා කොළඹ ජාතික කෞතුකාගාරය ඒ අතුරින් කීපයක්. මේ ලිපියේ් පිටපත් මේ විදිහට ලංකාවේ විවිධ ස්ථානවල පිහිටුවීමෙන් මේ ලිපියේ තියෙන අදහස් ජනතාව අතර පතළ කිරීමට පැවති උනන්දුව පේනවා.

පොළොවෙන් මතුපිටට ඇති අඩි 6ක් විතර උස අඩි 1 හමාරක් විතර පළල ගල් පුවරුවක පේළි 45ක් විදිහට මේ ලිපිය සටහන් කරල තියෙනවා. ගල් පුවරුවේ පැත්තක පිළිවෙළට රූල් ගහලයි මේ ලිපිය සටහන් කරල තියෙන්නේ. ක‍්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසේ අකුරින් සටහන් කර ඇතිි මේ ලිපියේ අකුරක් සාමාන්‍යයෙන් අගලක් පමණ විශාලයි. බස මධ්‍ය කාලීන සිංහල.

අවශ්‍ය කෙනෙකුගේ කියවා ගැනීම ස`දහා සිරිමල් රණවැල්ල මහාචාර්යතුමා දක්වලා තියෙන ආකාරයට වේවැල්කැටිය ලිපියේ සම්පූර්ණ පෙළ පහළ සිංහල අකුරින් දක්වලා තියෙනවා. වරහන් ඇතුළේ දක්වලා තියෙන්නේ අදාළ පේළි අංකය.

(1) ශ්‍රී සිරිබර් කැත්කුල කොත් ඔකාවස් රජ පරපුරෙ(2)න් බට් කැත් උසබ්නට් අග මෙහෙසුන් වූ ලක්දිව් පොළො(3)යොන පරපුරෙන් හිමි වූ සිරිසග්බො අභා මහරජ්හු (4) පුත් සිරිසඟ්බො අභය් මහරජ්හු සත් ලැඟූ දෙව(5)න හවුරුදුයෙහි උන්‍ද්වප් සන්‍ද් පෙරෙ අඩමස්හි දස(6)පක් දවස් උතුර්පසැ අම්ගම්කුළියෙහි කිබින්‍දු (බි)(7)ම්හි දෙමෙළ් වෙහෙර් පමණියෙන් දසගමට් එකකි (😎 නායකයන් කිබිගම් ඇපැ දුන් නායකයන් කුඩි(9)න් මෙහි ඇතුළත් තාක් තැනැ කුහිවකු මරා කෙටුව (10) කඩපළා සොරකම් කළ තිරැ කොට් ගෙනැ දසගැමැ ඇ(11)ත්තන් හින්‍දැ විචාරා උපන් දැයට් පෑ හැකිසෙ ලියා (12)තබා මරවහු මරා පට්වනු කොට් ඉසා කඩපළා සොරු(13)න් ගත් අයතියෙන් නියත කළාක් අයැති ස්වාමි(14)නට් ගෙන දී එල්වනු කොට් ඉසා තිරැ නො කළ දසගැ(15)මැ අත්තන් පන්සාලිස් දවසෙකින් සොයා ගෙනැ පට්(16)වනු කොට් ඉසා සොයා නො ගත දසගැමින් එක් (17)සිය පස්විසි කළන්‍දක් රන් රදොලට් දෙනු කොට් ඉසා (18)නො මරා කෙටුව දිවි මිලැ පනැස් කලන්‍දක් රන් ගන්නා (19) කොට් ඉසා නො පොහොත් ගෙදඩි ගන්නා කොට් ඉසා තිරැ (20) නො කළ දසගැමින් පනැස් කළන්‍දක් රන් රදොලට් දෙනු කො(21)ට් ඉසා අත්පා වහලට් ගියාකුගෙන් දඩැ පනැස් කළ(22)න්‍දක් රන් ගන්නා කොට් ඉසා නො පොහොත් ගෙදඩි ගන්නා කො(23)ට් ඉසා ගෙදඩි නැත අත් කපා පටිවනු කොට් ඉසා සි(24)පුදඩි සිහින්දඩි පෙරෙ සිරිත් සෙ ගම්ලද්දන් පමණු (25) ලද්දන් බෙදා ගන්නා කොට් ඉසා මීවුන් ගෙරිගොන් එළු(26)වන් මැරුවන් මරා පටවනු කොට් ඉසා නො මරා සොරා(27)ගෙන ගිය නියත කොට් ඔවුන් ඔවුන් කසිලියෙන් ල(28)කුණ් ඔබා හරිනා කොට් ඉසා තිරැ නොවත් කොටා පට්ව(29)නු කොට් ඉසා බැහැරින් ඇරැ විකුණන මීවුන් ගෙරි (30) ගොන් එළුවන් හැන්‍දිනැ ඇපැ ගෙනැ ගන්නා කොට් ඉසා (31) අණ මැකුවන් රත් කළ යමර වඩියැ සිටිවනු කො(32)ට් ඉසා මේ දසගැමැ කුඩින් තමන් තමන් කුලෙහි වැ(33)ටෙන මඟුල් වමඟුල් පලන්‍ද්නා පැරැහැර් නොඉක්මැ (34) වැටෙනු කොට් ඉසා ඟමේ දසගමට් වැවස්ථා කළ තැනි(35)න් මත්තෙ අවුද් වන් කුඩි කෙනෙකුන් ඇත හැන්‍දිනැ ඇ(36)පැ ගෙනැ හින්‍ද්වනු කොට් ඉසා නො යෙදෙන්නක් කොට් ව(37)න් කෙනෙකුන් ඇත ඇපැ ගත දැ පළමු වූ ගැමැ ඇත්ත(38)න් පට්වන්නට් හර්නා කොට් ඉසා මෙ දසගැමැ ඇ(39)ත්තන් මෙ කී තාක් දැයින් ඉක්මැ වැටුණ හවුරුදු (40) හවුරුදු පතා ඉල්ලන්නට් ගිය රද්කොල් සම්දරු(41)වන් කෙළෙකැ වත්නා කොට් වජාල එක්තැන් සමියෙ(42)න් ආ රජ් සභායෙ හින්‍ද්නා හෙළුග්ගමු රක්සා ඉසා (43) කඩැ සෙනු ඉසා මෙය්කාප්පර් කුබුර්ගමු ලොකෙ(44)හි ඉසා කැතිරි අග්බොයි ඉසා කුඩසලා රවිසෙන් (45) ඇතුළ් වැ මෙ තුවාක් සම්දරුවන් විසින් මේ වැවස්ථා කරනු ලදි.

වික්‍රමසිංහ විසින් හඳුනාගන්නා පරිදි සිරිසඟබො අබා නම් රජුගේ රාජ්‍ය වසරින් 2 වැනි අවුරුද්දේ උදුවප් මස දසවක් දවසේ මෙම ලිපිය ලියා ඇත. ඒ අනුව, මේ රජු ක්‍රිස්තු වර්ෂ 956 – 972 කාලයේ හිටිය IV වැනි මිහිඳු රජු වශයේ හඳුනාගෙන තියෙනවා. නමුත් මේ ලිපියේ උදා රජුගේ පරපුර පිළිබඳ විස්තරයක් නොමැති බැවින් මේ හඳුනාගැනීම පිළිබඳ ඇත්තේ අඩමානයක්. මේ ලිපියේ ඇති නම ලංකාවේ රජවරු කීප දෙනෙක්ම භාවිත කරල තියෙනවා. ඒ නිසා මේ හඳුනාගැනීම පිළිබඳ විවිධ ගැටලු ඇති වුනත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මැතිතුමාගේ අදහස වන්නේ මේ ලිපිය කළේ IV වැනි උදය (ක්‍රි.ව. 946-954) රජු බවයි.

එවකට පැවති ‘දසගම’ නම් පරිපාලන ඒකකයක් පදනම් කරගෙන මේ නිතිරිති ප්‍රකාශයට පත් කර ඇති අතර මේ ඒකකයකට ප්‍රධාන නිලධාරියෙක් සිටි බවත් පැහැදිලියි. ලිපියේ ඇති ආකාරයට දසගම් තුළ මිනිමැරීමක් සිදුවුවහොත් එම දසගම් ප්‍රධානින් විසින් නඩු අසා මිනිමරුවාට මරණිය දණ්ඩනය ලබාදිය යුතු අතර මේ නඩු හා දඩුවම් විස්තර ඉදිරියේ දි බලාගත හැකි ආකාරයෙන් ලේඛනගත කළ යුතු වේ.

මං පැහැරීමක් සොරකමක් කළහොත් අදාළ සොරා අල්ලාගෙන එකී පැමිනිල්ලට නියමිත ධනය නැවත ලබාගත හැකි අතර සොරාට මරණීය දණ්ඩනය ලබාදිය හැකි වේ. මේ දසගම් ප්‍රධානීන්නට මිනීමරුවා හෝ සොරා අල්ලාගත නොහැකි වූ අවස්ථාවක ඒ සඳහා අතිරේක දින 45ක් ලබා දෙන අතර ඒ අවස්ථාවේ දීත් එය නොකළ හැකි වුවහොත් රන් කළං 125ක දඩයකට යටත් විය යුතු වේ.

මිනී මැරිමේ චේතනාවෙන් තුවාල සිදුකළහොත් ජීවිත මිල වශයෙන් රන් කළන් 50ක දඩයක් ගෙවිය යුතු වේ. මේ දිවිමිල හිමිවන්නේ ආණ්ඩුවටයි. අපකාරයට උදවුකරුවෙක් හිටියහොත් ඔහුගෙන් ද රන් කළං 50ක් දඩ වශයෙන් ගත යුතුයි. මෙය දඩය ගෙවීමට නොහැකි නම් ගේදොර රාජසන්නත වේ. දේ පොළ හිමිකමක් නොමැත්තේ නම් අත්පා කපා දැමීමේ දඩුවමට යටත් විය යුතු වේ. අය කරගත් දඩ පෙර සිරිත් පරිදි ගම්ලද්දන් හා පමුණු ලද්දන් අතර බෙදා ගනී.

මී හරක්, එළ හරක් හා එළුවෝ මරණ ලද තැනැත්තන් මරණ දඩුවමට යටත් වේ. මේ සතුන් සොරා ගතහොත් ඔවුන්ගේ කිසිලි හණගසා අතහැරිය යුතු වේ. යම් අකාරයකින් ඔවුන් අල්ලා ගත හොහැකි වුවහොත් අත් පා කපා දැමීමට අවස්ථාව ඇත. රාජ නියෝග කඩකරන, ඉක්මවන හෝ නොසලකා හරින තැනැත්තන් රත් කළ යමර මත සිටිවිය යුතු වේ.

යම් ආකාරයකින් නිතිවිරෝධි දෙයක් සිදුකර දසගම් ඒකකයෙන් පිටත සිටින තැනැත්තෙක් නැවත දසගමට පැමිණි විට ඒ තැනැත්තා අල්ලාගෙන මුලැදෑනින් වෙත දක්වා ඒ අපරාධයට අදාළ දඩුවම් ලබාදිය හැකි වේ. දසගම තුළ වාසය කරන විවිධ රාජකාරි පැවරුණු අය සිටි නම් ඔවුන් මඟුල් අවමඟුල් ආදියෙහි කටයුතු නොයික්මවා සිදුකළ යුතු වේ. නොකරන්නේ නම් දසගම් අයට දඩුවම් පැමිණවිය යුතු වේ. දසගම තුළ සිදුවන දෙයට අදාළ බලය දසගම් නිලධාරින් සතු වේ. වාර්ෂිකව රජයේ ප්‍රධාන නිලධාරීන් දසගමට ගිය විට අධිකරණ විනිශ්චයන් පිළිබඳ පරික්‍ෂා කර බැලීමට එම නිළධාරින්ට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව තිබිය යුතු වේ.

මෙම ලිපිය අවසානයේ මෙම ව්‍යවස්ථාව පිහිටුවීම සඳහා සම්බන්ධ වූ නිළධාරින්ගේ නම් දක්වා ඇත. ඒ අනුව, ගොළුක්ගමු රක්සාඉම් කුඩෑ සෙනු, මෙයිකාප්පර් කුඹුර්ගමු ලොකේ, කැතිරි අග්බො, කුඩසලා රවිසෙන් ඇතුළු රාජ්‍ය නිලධාරින් විසින් විසින් මේ ව්‍යවස්ථාව කළ බව දක්වා තිබේ.

ඉතිං, මේ ලිපියේ් ඇති වැදගත්ම දේවල් ස්වල්පයක් විතරයි සරළ කරල දක්වල තියෙන්නේ්. කෙනෙකුට අවශ්‍ය නම් තරමක් මහන්සි වෙලා ඉහත දක්වලා තියෙන පෙළ බලළ මීට වඩා යමක් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා, එහෙම කරයි කියල අපේක්‍ෂාත් කරනවා. අදින් වසර 1,000කට පමණ පෙර අපේ රටේ පැවති නිතිරිති හා අධිකරණ ක්‍රමයන්ගේ විධිමත් භාවය පෙන්වන මෙවැනි ඓතිහාසික ලේඛන අපේ උරුමයේ කොටසක්. ඒවා පිළිබඳ දැනුවත් වීමත් මේ උරුමය ආරක්‍ෂා කරගැනීම සඳහාම ගත හැකි පියවරක්ම වනු ඇත.....

..............අන්තර්ජාලය ඇසුරෙනි.................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

සෙල් ලිපි වල සඳහන් පුරාණ ශ්‍රී ලංකාවේ පැරණි අධිකරණ ක්‍රමය (Sel Lipi) - Your Choice Way

සෙල් ලිපි වල සඳහන් පුරාණ ශ්‍රී ලංකාවේ පැරණි අධිකරණ ක්‍රමය (Sel Lipi) - Your Choice Way

සෙල් ලිපි වල සඳහන් පුරාණ ශ්‍රී ලංකාවේ පැරණි අධිකරණ ක්‍රමය (Sel Lipi) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සෙල් ලිපි වල සඳහන් පුරාණ ශ්‍රී ලංකාවේ පැරණි අධිකරණ ක්‍රමය (Sel Lipi) සෙල් ලිපි වල සඳහන් පුරාණ ශ්‍රී ලංකාවේ පැරණි අධිකරණ ක්‍රමය (Sel Lipi) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2022 Rating: 5

0 comments:

Post a Comment