සිංහල හින්දු අලුත් අවුරුද්ද පිලිබදව තොරතුරු එකතුවක් (Sinala Tamil New Year)

සිංහල හින්දු අලුත් අවුරුද්ද පිලිබදව තොරතුරු එකතුවක් (Sinala Tamil New Year) - Your Choice Way

මෙම නව වසර සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි.විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී.කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර වේ. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබීය.රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති.

අනෙක් අතට හින්දු ආගම ගැන සලකා බලන කල එය පුරාතණයේ සිටම බුදු දහම හා සමාන්තරව පැවතුනු ආගමක් ලෙස හඳුනා ගත හැක.එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු විය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතිනි. එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයන් අතර අවුරුදු චාරිත්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක.

මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ වලට අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයට නියත වශයෙන්ම බැඳී පවතී.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන 'ඉන්ද්‍රදේව'පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී.

වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි.එම නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැක.

උත්සව....
ග්‍රෙගරි දින දර්ශණයට අනුව (අටවන ග්‍රෙගරි පාප්තුමා 1582 දී හන්දුන්වා දුන් දින දර්ශණය ) අප්‍රේල් මාසයේ, එනම් බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය ශ්‍රී ලාංකිකයන් නව වසර උදාවන දිනය ලෙස සමරති. සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට අලුත් අවුරුද්ද යෙදේ. සිංහල භාෂාවෙන් මෙය 'අලුත් අවුරුද්ද' වන අතර දෙමළ භාෂාවෙන් මෙය 'පුත්තාන්ඩු' ලෙස හඳුන්වයි.එසේම මෙම මාසය කෘෂි කාර්මික අස්වනු නෙලා අවසාන වන කාලය වන අතරම සූර්යයා ශ්‍රී ලංකාවට සමපාත වන එනම් ඍජුව ඉහලින් පිහිටන කාලය ලෙසත් හඳුනාගත හැක.

කෙසේ වුවත් විශේෂයෙන් බටහිර රටවල (ග්‍රෙගරි දින දර්ශනය භාවිත කරන රටවල ) දෙසැම්බර් මස 31 මධ්‍යම රාත්‍රියේදී නව වසර උදාව සමරනු ලැබුවද ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නව වසර උදවනු ලබන්නේ නක්ෂත්‍රකරුවන් විසින් නිශ්චය කරනු ලබන දිනයටයි. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී සැමරුම් උත්සවයට අනුව ගෙවුනු වසර මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී නව වසරක් එවෙලේම උදාවෙයි. නමුත් සිංහල හින්දු අලුත් අවුරුද්දට අනුව පරණ අවුරුද්ද අවසාන වීමත් නව වසරේ උදා වීමත් අතර පැය කිහිපයක වෙන්ව පැවතීමක් ඇත. (මෙම කාල සීමාවද නක්ෂත්‍රකරුවන් විසින් තීරණය කරනු ලබයි ) මෙම කාල සීමාව නොනගත කාලය හෙවත් උදාසීන කාලය ලෙස හඳුන්වයි. මෙම කාලය තුල සිංහල ජනයා සාම්ප්‍රදයිකව සියලු ව්‍යාපාර, වැඩ කටයුතු නවතා ආගමික වතාවත් වල හා සාම්ප්‍රදායික ක්‍රීඩාවල යෙදීම සිදුකරති.

සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ වීම සිදු වන්නේ අලුත් අවුරුද්ද උදාවීමෙන් පසුව නිවස පිරිසිදු කර පොල්තෙල් පහනක් දැල්වීමෙනි.සමහර ගැමි සමාජ වල කාන්තාවන් එක් රැස් වී රබන් වැයීමෙන් නව වසරක් ආරම්භ වූ බව නිවේදනය කරති.නිවෙස්වල පවුලේ සියලු දෙනා එකතු වී අවුරුදු චාරිත්‍ර ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නැකැත් වේලාවන්හිදී සිදු කරනු ලබයි. මෙම කටයුතු වලදී නිවසේ ගෘහණියට ප්‍රමුඛත්වය හිමි වන අතර ඇය නව වසරේ පළමු කටයුත්ත ලෙස නිවසේ මුලුතැන්ගෙට ගොස් නැකතට ලිප ගිනි මොළවා කිරි උතුරවා කිරිබතක් පිලියෙල කරයි. මෙම කටයුතු වලදී නිවසේ සියලු දෙනාගේම දායකත්වය ලැබේ.ඇතැම් විට සමහර ප්‍රදේශ වල මෙම චාරිත්‍ර ක්‍රම ඉතා ස්වල්ප වශයෙන් වෙනස් විය හැකි වුවත් සෑම දෙනාම එකලෙස මෙම සංස්කෘතික මංගල්‍යය සමරති.

අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය. එක් එක් චාරිත්‍රය ඉටු කිරීම සඳහා සුභ මොහොත උදාවූ බව සංඥා කරනු ලබන්නේ රතිඤ්ඤා හඬ මඟිනි. විශේෂයෙන්ම කුඩා ළමයි රතිඤ්ඤා දැල්වීමට මහත් අභිරුචියක් දක්වති. ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික උත්සව වලදී රතිඤ්ඤා දල්වීම සෑම ප්‍රදේශයකම පාහේ සිදුවේ.ගෘහණිය නිවසේ අවුරුදු කෑම මේසයට කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් අනිවාර්යයෙන්ම පිළියෙල කර ගනියි. නැකතට ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා හිස තෙල් ගෑම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර වේ. 

මෙම වැදගත් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව සියලු දෙනා මාර්ගයේ, නිවෙස්වල හෝ එකට එකතු වී අවුරුදු ක්‍රීඩා වල යෙදෙති. පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම ඉන් කිහිපයකි. ඊට අමතරව එළිමහනේ අවුරුදු ක්‍රීඩා උත්සව පැවත්වීම සඳහා ගම්වැසියන් සියලු දෙනා දායක වෙති.කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැඟීම,කඹ ඇඳීම, අවුරුදු කුමරිය තේරීම වැනි තරඟ ඉසව් වලට මෙහිදී මුල් තැන හිමි වේ. බොහෝ විට නාගරික ජන ජීවිතය තුලට වඩා ගැමි සමාජය තුල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමත් අවුරුදු උත්සව පැවත්වීමත් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් දැකිය හැකිය.

අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට හා දෙමළ හින්දු ආගමිකයින්ට ඉතා වැදගත් ජාතික නිවාඩු දිනයකි. අලුත් අවුරුද්ද සැමරීම ආවරණය සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යද එකසේ දායකත්වය ලබා දෙති. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමාජ සම්බන්ධතා වැඩි දියුණු වීමටත් පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වාගැනීමටත් එකිනෙකා අතර අනෞන්‍ය විශ්වාසය වැඩි දියුණු වීමටත් ඉවහල් වේ.

අස්වනු මංගල්‍යය....
ශ්‍රී ලංකාවේ නව වසර උදාවත් සමඟ ජ්‍යොතිෂ විද්‍යානුකූලව වී අස්වනු නෙලීමේ කාලයද එලඹේ.එම නිසා ශ්‍රී ලාංකික ගොවි ජනතාව සඳහා අලුත් අවුරුද්ද,සාම්ප්‍රදායික නව වසර මෙන්ම අස්වනු මංගල්‍යයද වේ.

කෝකිලයා ....
ආසියානු කොවුලා (කොහා, කෝකිලයා) සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුල දැකිය හැකි සුවිශේෂී පක්ෂියෙකි. අලුත් අවුරුද්ද හා කොහා අතර ශක්තිමත් සම්බන්ධතාවයක් පවතියි. අප්‍රේල් මාසය ආරම්භයේ පටන්ම කොහාගේ කෝකිල නාදය ඇසිය හැකිය. කොවුලා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙකු නොවන අතර සංක්‍රමණික කුරුල්ලෙකි. ඔවුන් සංවාස කාලය සඳහා මාර්තු,අප්‍රේල් කාලයේදී ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට පැමිණෙති. කොහාගේ 'කුහු කුහූ' නාදය අලුත් අවුරුද්ද ළඟ බවට පවසන පණිවිඩයක් වැනිය.

එරබදු මල් ...
මාර්තු ,අප්‍රේල් මාස වන විට වසන්ත සමය නිසා සියලු ගස් වැල් මලින් ඵලින් බර වේ. සිංහල අවුරුදු කාලයට පිපෙන සුවිශේෂී මල් වර්ගයක් ලෙස එරබදු මල් හැඳින්විය හැක. අප්‍රේල් මාසයේදී එරබදු ගස් රතු පාට මලින් වැසී යන්නේ අලුත් අවුරුද්ද උදාවන බවට ඉඟි කරමිනි...

ජනවාරියේ  සැමරෙන අලුත් අවුරුදු උදාව...
ලොව පුරා පැතිරී සිටින විවිධාකාරයේ ජාතීන්, ගෝත්‍ර හෝ ජන කොට්ඨාස අලුත් අවුරුදු උදාව සැමරීම ආරම්භ කර ඇත්තේ අවම වශයෙන් මීට වසර හාරදහසකටවත් පෙර යි. වර්තමාන ලෝකයේ බොහෝ දෙනා ජනවාරි මස පළමුවන දින නව වසරෙහි උදාව සමරන මුත් ලොව විවිධ ස්ථානවල, විවිධ ජන වර්ග වෙනත් දිනවල නව වසර සමරනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික සිංහල හා හින්දු ජනයා අප්‍රේල් මස සිදුවන සූර්ය සංක්‍රාන්තියත් සමඟ නව වසරේ උදාව සිදුවන බව සලකා, ඒ අනුව සිය සාම්ප්‍රදායික කටයුතු සිදු කරනවා,

ශ්‍රීලංකාවට අමතර ව තවත් දකුණු හා ගිනිකොණදිග ආසියාතික රටවල්වල ජනයා මෙදින සිය නව වසර ලෙස සලකා, උත්සව වැනි දේ පවත්වනවා. කෙසේ නමුත් ලොව පුරා සියලු රටක ම පාහේ ජනවාරි පළමුවන දිනත් නව වසරේ උදාව සමරන්නේ, ජෝර්ජියානු කැලැන්ඩරය ලොව නිල කැලැන්ඩරය ලෙස සම්ම්ත කරගෙන ඇති නිසා යි. එදින බොහෝ දෙනා විවිධාකාරයේ කෑම පිසින අතර, ගිනිකෙළි වැනි දේ දල්වමින් සිය ප්‍රීතිය අන් අයත් සමඟ බෙදාගන්නවා.

ආදිතමයන් නව වසර සැමරූ හැටි
නව වසර උදාව සැමරූ බවට මුල් ම සාක්ෂි හමු වී ඇත්තේ පුරාණ බැබිලෝනියාවෙන්, මීට වසර 4,000 කට පමණ පෙරාතුව යි. ඔවුන් වසන්තයේ උදානය සිදු වන දිනය හෙවත්, මාර්තු මස සමකයට හිරු මුදුන් වෙන දිනයෙන් පසු එළැඹෙන පූර්ණ චන්ද්‍රයා සහිත දිනය සිය නව වසරෙහි උදානය ලෙස සලකා තිබෙනවා. ඔවුන් එය 'අකිටු' නම් විශාල ආගමික් උත්සවයක් පවත්වමින් සමරා තිබෙන අතර, එය පුරා දින 11ක් පුරාවට සිදු කර තිබෙනවා. 'අකිටු' නම් සුමේරියානු වදනෙහි අර්ථය 'බාර්ලි' වන අතර, බාර්ලි අස්වැන්න වසන්තයේ දී නෙළාගැනීම මේ නම නව වසර උදානය සඳහා වූ උත්සවයට යොදාගන්නට හේතු වන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. 

මෙම උත්සව මාලවේ එක් එක් දිනයට එක් එක් චාරිත්‍රය බැගින් ඔවුන් ඉටු කර තිබෙනවා. නව වසර සැමරීමට අමතර ව 'අකිටු' උත්සවයේ දී බැබිලෝනියානු ආකාශ දේවතාවා වන මර්ඩුක්, ක්‍රූර සාගර දේවතාවා වන ටියාමට් පරාජය කෙරීම ස්මරණය කිරීම ද සිදු කෙරුණා. නව පාලකයන් රාජාභිෂේක කිරීම හෝ ඒ වන විට රාජ්‍යත්වය හොබවන පාලකයා සංකේතාත්මක ලෙස නැවත රාජ්‍යයත්වයේ පිහිටුවීම මේ කාලයේ දී සිදුකෙරුණා.

බැබිලෝනියානුවන්ගෙන් පසු හෝ ඒ සමකාලීන ව ලොව පුරා විවිධ ශිෂ්ටාචාරවලට අයත් ජන සමූහ කිහිපයක් ම නව වසර සැමරීම ආරම්භ කොට තිබෙනවා. ඔවුන් තම තමන්ට අනන්‍ය වූ දින දර්ශන පවා නිපදවා තිබෙනවා. ඔවුනට අනුව නව වසරේ උදාව කිසියම් කෘෂිකාර්මික හෝ නක්ෂත්‍රමය සංධිස්ථානයක් කරණකොටගෙන සිදුවන අයුරින් යොදා ගැනුණා. උදාහරණ ලෙස ඊජිප්තු ජනයා සිය නව වසරේ උදාව ලෙස සැලකුවේ නයිල් නදිය වාර්ෂිකව පිටාර ගැලීමේ ආරම්භය යි. මේත් සමඟ ම සිරියස් තාරුකාව ද අහසේ දිස්වීම සිදුවන නිසා එය ද සිය අලුත් අවුරුදු චාරිත්‍රවලට ඔවුන් ඈඳා ගත්තා. චීන ජාතිකයන් සිය නව වසරේ උදාව ලෙස සැලකූයේ ශීත ඍතුවේ ආරම්භය සිදුවන, මකර නිවර්ථනයට හිරු මුදුන් වන දෙසැම්බර් මස 21 වන දිනට පසු දෙවන වරට පූර්ණ චන්ද්‍රයා දිස් වන දිනය යි.

ජනවාරි 1 නව වසරේ උදාව වූ හැටි....
පැරණි රෝමානු කැලැන්ඩරයේ මාස 10 ක් සහ දින 304 ක් වුණා. සෑම නව වසරක් ම උත්තරායනයේ දී සමකයට හිරු මුදුන් වන මාර්තු මස 21 වන දින ආරම්හ වූ අතර එය රෝමයේ ආරම්භකයා වන රොමියුලස් විසින් සකසන ලද එකක් බවට සැලකෙනවා. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසෙහි රෝමයේ රජ කළ නුමා පොම්පියුලස් මේ කැලැන්ඩරයට ජැනුවෙරියක් හා ෆෙබ්‍රවරියස් නම් මාස දෙකක් එක්කාසු කළා.

මේ කැලැන්ඩරය පෘථිවියේ පරිභ්‍රමණය හා හා නොගැළපුණු අතර, වසරෙන් වසරට ඍතු මාරුවීම කැලැන්ඩරයේ විවිධ දිනවලට සිදුවීම නිසා විවිධ කටයුතු වලට බාධා පැමිනුණා. මේ නිසා ක්‍රිස්තු පූර්ව 46 දී රෝම පාලක ජුලියට් සීසර් මේ ගැටලුව විසඳීමට තීරණය කළා. ඔහු එකල රෝමයේ සිටි විශිෂ්ටත ම ගණිතඥයන් හා තාරකා විද්‍යාඥයන් හමුවී මේ ගැන සාකච්ඡා කළ අතර අවසානයේ වර්තමාන ජෝජියන් කැලැන්ඩරයට බොහෝ සෙයින් සමාන ජුලියානු කැලැන්ඩරය නිපදවීමට ඔහු සමත් වෙනවා. මෙය සියවස් ගණනාවක් ලොව පුරා විවිධ රට වල භාවිත වුණා.

සීසර් ජනවාරි 1 නව වසරේ පළමු  දිනය ලෙස සැකසූ අතර, එම මාසයට කරුණු කාරණාවල ආරම්භය සංකේතවත් කරන රෝම දේවතාවා වන ජානුස් ගේ නම තැබුවා. ඔහුගේ හිසෙහි දෙපස ඇති මුහුණු දෙකෙන්  එක් වර ඉදිරිය හා පසුපස බැලිය හැකි යැයි රෝමවරුන් විශ්වාස කළ අතර ඔවුන් නව වසර ආරම්භයේ දී ජානුස්ට විවිධ පුද පූජා පැවැත්වූවා.

මෙහිදී ඔවුන් එකිනෙකා හා තෑගි හුවමාරු කරගැනීම ද, සාද පැවැත්වීම ද සිදුකළා. මධ්‍යතන යුරෝපයේ ක්‍රිස්තියානු නායකයන් ජනවාරි මස 1 වැනි දින වෙනුවට දෙසැම්බර් මස 25 වන දින නව වසර සැමරීමට කටයුතු කළේ එදිනට නත්තල් උත්සවය යෙදී තිබීම නිසා යි. කෙසේ නමුත් අටවන ග්‍රෙගරි පාප්තුමන් 1582 වසරේ දී නැවතත් නව වසරේ උදාව ජනවාරි පළමුවන දිනට ම ගෙන ආවා.

ලොව පුරා පැවැත්වෙන විවිධාකාරයේ නව අවුරුදු චාරිත්‍ර...
ලොව පුරා බොහෝ දෙනා දෙසැම්බර් මස 31 වන දින සිට ම නව වසරට සූදානම් වෙනවා. ඔවුන් විවිධාකාරයෙන් එය සමරන්නට සූදානම් වන අතර, ලොව සමහරක් ජාතීන් ඉතා සුවිශේෂී චාරිත්‍ර එහි දී ඉටු කරනවා. ස්පාඤ්ඤය ඇතුළු ස්පාඤ්ඤ භාෂාව කථා කරන රටවල අය අවුරුදු උදාවට මොහොතකට පෙර මිදි ගෙඩි දුසිමක් ගිල දමන්නේ නව වසරේ ඔවුන්ගේ බලාපොත්තු සඵල වේවායි පතමිනු යි. තවත් රටවල් රාශියක ජනයා එදිනට මාෂභෝගවලින් හැඩ වූ ආහාර ගන්නේ අනාගත ආර්ථිකමය සාර්ථකත්වය ලබන බලාපොරොත්තුවෙනු යි. 

තවත් සමහර රටවල ජනයා ඌරුමස් බුදින අතර, තවත් රටවල මුදු හැඩැති බිස්කට් වර්ග ආහාරයට ගන්නේ නව වසර උදාවීම නැවත නැවතත් සිදුවන චක්‍රාකාර ක්‍රියාකාරකමක් බවට සංකේතවත් කිරීම සඳහා යි. නෝර්වේ හා ස්වීඩනය වැනි රටවල, සහල්වලින් සෑදූ පුඩිමක ආමන්ඩ් ඇට සඟවන අතර, එය සොයා ගන්නා අයකුට ඉදිරි මාස 12 පුරාව ම වාසනාව ළඟාවෙන බවට ඔවුන් විශ්වාස කරනවා. ඉංග්‍රීසි කතා කරන සමහර රටවල ගීතිකා ගැයීම ද සිදුවෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර ජනයා  එක්තරා අපූරු නව අවුරුදු චාරිත්‍රයක් සිදු කරනවා. නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රයට  ඔවුන් හරියට ම රාත්‍රී 12 ට යෝධ  බෝලයක් අත්හරින අතර, මිලියන ගණන් ජනයා එය නැරඹීමට එක් රැස් වෙනවා. මෙය 1907 වසරේ සිට සෑම වසරක ම පාහේ සිදු කෙරෙන අතර, මෙය අඩි 12 ක විෂ්කම්භයක් සහිත, රාත්තල් 12,000 ක් බැරැති එකක් වෙනවා. මෙය තනා ඇත්තේ කුඩා ත්‍රිකෝණ හැඩයට සැකසූ  ලී හා යකඩ කොටස් 2000 කට වඩා වැඩි ප්‍රමාණයකිනු යි. වර්තමානය වන විට අමෙරිකාවේ තවත් සමහර ස්ථානවල මෙම චාරිත්‍රය ම සිදු කරනවා...

එදා හෙළයේ අවුරුදු අසිරිය......
පැරණි ලක්දිව ගමක් තවත් ගමකින් වෙන් වුණේ ස්වභාවික පාරිසරික සීමා මායිම්වලිනි. ගංගා, ඇළ දොළ කඳු වනබිම් වැනි ස්වභාවික මායිම් ද මංපෙත් වෙල්යායන්ද ගමක් තවත් ගමකින් වෙන් කරන මායිම් විය. ගමේ වෙසෙන ගැමියන්ගේ ගෙවතු වෙන් කෙරෙන මායිම් සඳහා බොහෝ විට වූයේ පැලඉනි වැටකි. වැට එඬරු, එරබදු, ගිනිසීරියා, ගංසුරියා, අන්දර ආදී පැළැටි හා ගස් ගෙවතු වටා දක්නට ලැබුණි. ගෙවතු කිහිපයක් එක දිගට මායිම් වන පැළ ඉනිවැටක් ඇතිවිට ඒ ආශ්‍රිතව බඩවැටියක් තිබෙනු දක්නට ලැබුණි. බෝවිටියා, මාදං, පලුකං, කරඹ, ඇඹිල්ල, බාලොලියා, බලුදං, පේරආදියෙන් යුක්ත මේ බඩවැටිය ගමේ ළමුනට නදුන් උයනක් විය.

බක්මහ උදාවෙත්ම බඩවැටිය පුරා ගස්වැල් මලින් බරවේ. දෙවැට දිගේ එරබදු ගස්වල රතුමල් කිනිති පිපෙද්දී කජු ගස්වලද අඹ ගස්වල ද මල් කැකුළු  හට ගන්නේ බක්මහ  අසිරියට ඔච්චම් කරමිනි. අලුත් අවුරුදු ළඟ ළඟ එන බව පවසන මේ සොබා දහමේ පණිවුඩුය  හඬගා කියන  එරබදු  ගහේ ලගින කොහාගේ කුහු කුහුවට නිගාදෙමින් මී මැසි බඹර කැල අඹ කජු බක්මී මල් ගොමුවල සිට  ගුමු ගුමු නද දෙති. 

මාස් කන්නයේ වී අස්වනු කොළදින් කරන ගොවියෝ මැටි ගා පිරියම් කළ වී බිස්සට හෝ අටුවට හෝ වී අස්වනු පුරවති. ගැමි දරුවෝ කැපුණු ඉපනැල්ලේ  චක්ගුඩු පනිති. ලුණු අදිති. ගුඩු ගසති. බුහු කෙළිති. අලුත් වියෙන් කෙටු සහල් ද අඩුම කුඩුමද රැගෙන සංහිදගාවට යන ගෙවිළියෝ හා එක්ව ගැමියෝ අලුත් සහල් මංගල්ලේ පවත්වති.

අලුත් සහල් මංගල්ලෙන් ඇරඹෙන අලුත් අවුරුදු උත්සවය සඳහා ගැමියෝ ද තරුණ තරුණියෝද ළමා ළපටියෝ ද ලහි ලහියේ සූදානම් වෙති. කාන්තාවෝ   ගේ දොර පිරිබඩ ගා අවශ්‍ය කළමනා එක්රැස් කර ගැනීමෙහි නිරත වෙති. ලුණු ඇටයේ සිට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයද මුළුතැන් ගෙය එකසිය අටක් වු ආම්පන්න ද පැදුරු කොට්ට මෙට්ට ආදිය ද එක්ලස් කර ගන්නේ  බවලත් ඇත්තියන්ය. වී සහල් කොටන්නේද ධාන්‍ය අඹරන්නේද ඔවුන්ය. කැවිලි පෙවිලි සෑදීම ද ඔවුනටම බාරවූවකි. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම ගෘහ මූලිකයාගේ කාරියකි. එහෙත් දූ දරුවන් සඳහා ඒවා මස්වා ගැනීම කරන්නේ මව විසිනි. 

ගමේ ගොඬේ ඇඳුම් මැහීමේ කාරිය කරන ඇත්තියන්ට ඒ දිනවල ගජරාමෙට වැඩය. 

මේ වනවිට ගම ආසන්නයේ පිහිටි වෙළඳ පොළ වඩාත් සරු බවක් දක්වයි. කෑම බීමට අවශ්‍ය කළමනා මෙන්ම රෙදිපිළිද, කරවලද, ඇඳුම් පැළඳුම් ද පිඟන් කෝප්පද ලූණු මිරිස් ද රතිඤ්ඤා පෙට්ටි ද වෙළඳ සැල්වල ගොඩගසා ඇත්තේ එළැඹෙන සැණකෙළිය සඳහා උපකාර කිරීමට මෙනි. 

මේ අතර ගමේ තරුණ ගැටව් කුඩා කණ්ඩායම් වශයෙන් එකතුවී ජන ක්‍රීඩා සඳහා සුදානම් වෙති. කතුරු ඔංචිල්ලා බඳින්නේ වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද ලබමින්  ඒ සඳහා  යුහුසුළු වෙති. 

ගැමියන් ගම්බාර දෙවියන්ට බාර හාර වී කතුරු ඔංචිල්ලා බැඳීම ආරම්භ කරන්නේ අවුරුද්දට සති දෙක තුනකට පෙරය. එය එතරම්ම අසීරු කාරියකි. ඒ සඳහා අවශ්‍ය දැව දඩු හා රැහැන් සපයා ගන්නේ අවට පරිසරයෙනි. මේ  හැරෙන්නට ගහක හරස් අත්තක  හෝ  ගස් දෙකක් අතරේ හරස් අතට බැඳුන ලී කඳක පැද්දුම් ඔංචිල්ලා බැඳීම ද සිදු කරන්නේ දින කිහිපයකට පෙරය. 

මෙසේ බැඳෙන පැද්දුම් ඔංචිල්ලාව ළමුන් සඳහා  වෙන්වෙන අතර වාරම් ඔංචිල්ලාව තරුණ තරුණියන්, ගැටවර ගැටවරියන් සඳහා වෙන්වේ. සිංහල අලුත් අවුරුදු උත්සවයේ නැකත් සිරිත් විරිත් වලින් පසු එදිනෙදා වැඩකටයුතු වලින් නිදහස් වන ගැමි ළඳුන් ද තරුණ තරුණියන් හා එක්ව ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව වාරම් කවි කියමින් ඔංචිලි පදින්නේ මල්මල් චීත්ත රෙද්දෙන් හා ඊටම ගැළපෙන හැට්ටයකින් ද සැරසී ගෙනය. සුවඳ කොකුම් ඇඟ තවරා, වරළස මලින් සරසාගත් යුවතියෝ කෙළිබර සිනා හඬින් යුතුව  එකිනෙකා පරයන කිංකිණි  හඬින් වාරං කියමින් ඔංචිලි පදින රඟ බැලීමට ගමේ තරුණයෝ එතනට පැමිණෙති. උසුළු විසුළු කරති. එවිට තරුණ කෙල්ලෝ තව තවත් උකුළු මුකුළු පාමින් ඔංචිලි වාරං ගයමින් ඔංචිලි පදිති. එදා ගැමි තරුණියන්
ගැසූ ඔංචිලි වාරං අතර 
පදින කලට අඟනෝ             ඔංචිල්ලා 
අඳින සළුව තදකර ඇඳ         ගල්ලා 
තදින අතින්වැල් අල්ලා         ගල්ලා 
සොඳින වරල බැඳගෙන පැද        පල්ලා 
ගෝමර වට පෙති ළැමදේ         දිලෙනා
රූබර ලඳවරු දැකමන         මතිනා
ඒ සුරඟන මෙන් රැඟුමෙන්         ඉතිනා 
මේ වර පැදපන් ලෙස වට         පෙනෙනා 

ආදී කවිද ගායනා කෙරුණි. ගමේ ළඳුන් මේ අන්දමට ඔංචිලි වාරම් ගයමින් ඔංචිලි පදින්නේ අලුත් අවුරුද්ද එළැඹීමෙන් පසුවය. ඊට පෙර ඔවුනට කළ යුතු කාර්යයන් බොහෝය. අලුත් අවුරුද්දේ මෙහෙයුම් කටයුතු මෙන්ම සම්පත් දායකත්වය සම්පූර්ණයෙන්ම සපුරන්නේ මව විසිනි. 

අලුත් අවුරුද්ද ආසන්න වෙත්ම මව ඒ සඳහා සූදානම් වන්නීය. හිරුගේ ශක්තියෙන් හා අම්මාවරුනගේ ක්‍රියාකාරිත්වයෙන් එළැඹෙන සුර්ය මංගල්‍යය උදෙසා  අවශ්‍ය කෑම බීම සකස් වන්නේ මවගේ අතිනි. අලුත් සහල් පිදීමෙන් සිය මවුපියන් සහ නැදි මයිලන් වෙතද වැඩිහිටි ඥාතීන් වෙත ද අලුත් සහලෙන් පිසූ ආහාර වේලක් ගෙන ගොස් දීමත් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වී, සහල්, කුරහන්, මුං ඇට ආදිය ගෙන ගොස් දීමත් සිදු කෙරෙයි. 

ඉන්පසු අවුරුදු සමයට අවශ්‍ය සහල්, මුං, උඳු ආදිය කොටා පොළා සකස් කර ගැනීමත් රස කැවිලි සකස් කර ගැනීමට අවශ්‍ය සහල් පිටි, උඳු පිටි, මුං පිටි ආදිය  සකස් කර ගැනීමත් පැණි හකුරු සපයා  ගැනීමත්  ගෘහිණිය සතු කාර්යයකි. එම කටයුතුවලදී පවුලේ අනෙකුත් ගැහැනුන්ගේද සහය ලැබුණි. වී හාල් කෙටුණේද පිටි කෙටුණේද  ඇඹරුණේ ද වංගෙඩි හා මෝල් ගස් වලිනි. එකළ අවුරුදු සමය ලංවෙත්ම හැම ගෙදරකම ඇසුනේ වංගෙඩි මෝල්ගස් ගැටෙන හඬය. එසේ නොඇසුණේ  නම් ඒ ගෙදර මූසල කාලකන්ණි  අති දුප්පත් ගෙදරකි. 

අලුත් අවුැද්දට ගමේ ගැහැනුන් මෙලෙස සූදානම් වෙද්දී අලුත් අවුරුද්ද සඳහා නව සඳ බැලීමේ දිනය උදාවෙයි. ඒ බව සඳහන් වන අවුරුදු  සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය එක් එක් ප්‍රදේශවල සුළු සුළු වෙනස්කම් සහිතව සිදු කෙරෙයි. 

නව සඳ බැලීමේ චාරිත්‍රයෙන් පසු උදා වන්නේ කැවිලි බැඳීම සඳහා තෙල් වළං ළිප තැබීමේ චාරිත්‍රයකි. අවුරුදු සිීට්ටුවේ සඳහන් සුබ දිනයේදී සුබ නැකතින් තෙල් වළං ළිප තබා කැවුම්, කොකිස්, ආස්මී ආදි රස කැවිලි පිසීම ආදියේ සිට පැවත එන සිරිත මේවනවිට වියැක ගොස් ඇතත් දුම්බර හා වයඹ පළාත්වල ඈත එපිට ගම්මානවල තවමත් නියමිත පරිදි සිදු කෙරෙති. මෙසේ සකස් කර ගන්නා අතිරස, හැඳි කැවුම්, කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, අළුවා, අග්ගලා, මුං කැවුම්, මුං ගුලි, ආස්මී, කොළනාවුල්, කොකිස්, දොදොල් ආදිය  ලොකු මැටි බඳුන්වල බහා වසුන් බැඳ දුම් මැස්සේ  හෝ සුරක්ෂිත ස්ථානයක තබති. අවුරුද්ද සඳහා සකස් කරන රස කැවිලිවලට අමතරව කල්තබා ගත හැකි ඇඹුල් තියල්, අච්චාරු ලුණු දෙහි, ලුණු ඇඹුල්, කෝන් ඇඹුල් ආදිය ද දින දෙක තුනකට පෙර සකස් කර බඳුන්වල බහා තබති. 

ජන සමාජයේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් ද ජාතීන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව හා සුහදතාව ශක්තිමත් කෙරෙන සේවාවන් ලබාගැනීමට එකල අවුරුද්ද සැමරීමේ අත්‍යවශ්‍ය අංගයක් විය. 

අලුත් අවුරුද්ද ලබන්නට සති කිහිපයකට පෙර මුළුතැන් ගෙට අවශ්‍ය වළං සියල්ල කුඹල්කරුවන් විසින් ගමේ ගෙයක් ගෙයක් පාසා කද බැඳගෙන ගෙනවිත් දෙයි. ඒ වෙනුවට ගැමියන් වී හාල්, මුං මෑ, පැණි හකුරු ආදිය ඔවුනට දිය යුතු වේ. ඇතැම් විට ඒ හැරෙන්නට කිසියම් මුදලක් දීමට ඇතැම්හු අමතක නොකරති. 

මුළුතැන් ගෙට අවශ්‍ය මිරිස් ගල, කුරක්කන් ගල, දෝනිගල ගැමියාට සපයන්නේ දෙමළ ජාතික ගල් වඩුවන් විසිනි. මිරිස් ගලට බරපැන වශයෙන් වියලි මිරිස් හා වී හාල් දිය යුතුවේ. කුරක්කන් ගලට හිලවු කරන්නේ කුරක්කන් කරල් ප්‍රමාණයක්ය. වී, මුං, තල වැනි ධාන්‍ය වර්ගද ගිතෙල්, පැණි හකුරු පස්ගෝ රස ආදිය ද මෙම සේවාවන් සැපයීම වෙනුවෙන් දිය හැකිය.

අවුරුදු  චාරිත්‍ර වාරිත්‍ර අතර සිදු කෙරුණ මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය තුළ මුදල් වෙනුවට භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක වූ නමුත් කුලභේදයක සේයාවකුදු දක්නට නොවීය. මීට අවුරුදු පනහක හැටක පමණ කාලයකට පෙර මෙම සේවා සැපයුම් ක්‍රමය දක්නට ලැබුණ ද වර්තමානයේ එම චරිත්‍රය වියැකී ගොසිනි. එකල අවුරුදු උත්සවය සඳහා 

ගැමියනට අවශ්‍ය ඇඳුම් පැළඳුම් රෙදිපිළි ගෙනවිත් දුන්නේ මුස්ලිම් වෙළෙන්දන්ය. පොට්ටනි කාරයන් යැයි හැඳින්වූ ඔවුන් කාසි මුදල්වලට ද ධාන්‍ය වර්ග වලටද රෙදිපිළි හුවමාරු කළේය.  මීට අමතරව මාල, වළලු, පනා, සබන්, කණ්නාඩි, විසිතුරු භාණ්ඩ ආදිය  ගම්වලට ගෙන ගොස් විකුණු  මුස්ලිම් වෙළෙන්දෝ  ද වුහ. කඩගම් පෙට්ටිධාරීන්  තොරම්බලකාරයන් මනි බඩු කාරයන් යනුවෙන් ඔවුන් හැඳින්විය. 

වසරක් පුරා කුලවතුන්ගේ සේවා අවශ්‍යතා සැපයුවන් සඳහා පරණ  අවුරුදු දිනයේදී හෝ ඊට පෙර දිනකදී  ඌලියම් කුලී  දිය යුතුය. රෙදි අපුල්ලන හේනේ මාමාට රිදී නැන්දාට මෙන්ම කම්මල්  නයිදේට ද ඔවුන්  විසින් කරන ලද ඌලියම් වෙනුවෙන් ඌලියම් කුලී  ගෙවිය යුතු වේ. රෙදි අපුල්ලන්නන් රජක කුලේය. කැති පොරෝ උදලු හදා දෙන්නේ නවන් දන්නා  කුලේය. හැළිවං සාදා දෙන්නේ කුඹල් කරුවන්ය. මංගල්‍ය කටයුතුවලදී  දැකුම් කද ගෙනි යන්නේ කන්ද  ගැමියන් හෙවත් දේව වංශිකයන්ය. ඔවුන් සඳහා ඌලියම් කුලිය හා තෑගි වශයෙන් වී හාල් කුරක්කන් ධාන්‍ය  වර්ගත් කුළුබඩු ද බුලත් පුවක්, පැණි හකුරු කෙසෙල් කැන් ආදියත් දීම සිරිතකි. එක් එක් කර්මාන්තයෙහි දක්ෂ වූවන් පාරම්පරිකව පැවත ආ දක්ෂතා අනුව මේ අන්දමට කර්මාන්තයෙහි නියුක්ත වූ අතර එම වෘත්තීමය නිපුණතා දැක්වූවෝ පසු කාලයේදී  කුලහීනයන් ලෙස දැක්වීමේ විපාක නිසා ලාංකීය  ජන සමාජයේ ආර්ථික  සමාජිය  පරිහානිය සිදුවිය. අලුත් අවුරුදු සමයේදී ඔවුනට තෑගි බෝග ලබාදීමේ සිරිත තුළින් 

ගොඩනැගුණු සමාජ ඒකාග්‍රතාව ඇතිකිරීමේ මූලික අඩිතාලම විය. මේ වනවිට එම සිරිත වියැකී යාම හේතුවෙන් එකල තිබුණු සමාජ බැඳීම ද කැඩී බිඳී ගොස් ඇති බව පැහැදිලි කරුණකි. 

සිංහල අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය, බක්මහ උළෙල හුදෙක් සිංහල ජාතියට පමණක් වෙන්වූ අවුරුදු උත්සවයක් නොවේ. සුර්යා පෘථිවිය වටා එක් ගමන් වාරයක් ගොස්  අවසන් කර තවත් ගමන් වාරයක් අලුතින් ආරම්භ කිරීම නිමිත්තෙන් පවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව විදහා දක්වන සැමරුම් උත්සවයකි. එම උත්සවය පරිසරය හා බැදුන සතියක් පමණ කාලයක් පවත්වන අර්ථික සමාජීය  සංස්කෘතිමය උත්සවයකි. මෙවැනි ජාතික උත්සවයක් ලෝකයෝ කිසිම රටක දක්නට නැත. ජනේරුව, නත්තල ද වෙනත් රටවල පවත්වන ජාතික උත්සවයද දවසකට හෝ දෙකකට සිමාවෙයි. 

සිංහල අලුත් අවුරුද්ද බක්මහ උළෙල සුර්ය මංගල්‍යය ආදී විවිධ නම්වලින් හැඳින්වෙන අපේ ජාතික උත්සවයට සමගාමීව යාපනයේ වෙසෙන ජනතාව  වසන්ත උත්සවයක් පවත්වති. උතුරු ඉන්දියාවේ  හින්දු ජනතාවද අප්‍රේල් 14 දින වසන්ත උත්සවය සමරති. එයද හිරු දෙවියන් මුල් කරගත් උත්සවයකි. 

ඉන්දියාවේ පමණක් නොව බුරුමය, තායිලන්තය, වියට්නාමය, ජපානය, ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ග්‍රීසිය ආදි රටවලද අප්‍රේල් 14දා වසන්ත උත්සව  පවත්වන බව වාර්තා වෙයි. ලංකාවේ උතුරේ වෙසෙන දමිළ ජනයාගෙන් ඇතැම් පිරිසක් සිත්තර පුත්තාණ්ඩු නම් උත්සවයක් පවත්වති.  අලුයම  අවදිවී ස්නානය කර කෝවිලට ගොස් පූජා පවත්වා අවුත් ළිප ගිනි මොලවා කිරි ඉතිරිවීම ද  කිරිබත් පිසිමද ඔවුහු සිදු කරති. 

මෙදින ගෙදරට අමුත්තෙකුට ආරාධනා කරන අතර බුලත් කොළයක ඔතන ලද කාසි හුවාමරු  කර ගනුදෙනු සිදු කරති. අනතුරුව පවුලේ  සියලුදෙනාම එකතුවී කිරිබත් කැවුම්  කෙසෙල් ආදිය අනුභව කරති. සිංහල අලුත් අවුරුද්ද  පවත්වන අප මෙන්ම ඔවුන්ද සිත්තර පුෂ්තාන්ඩු උළෙල සඳහා ගෙවත්ත හා ගේදොර පිරිසිදු කිරීමත් උත්සව දිනයේදී අලුත් ඇඳුම් ඇඳීමත් සිදු කරන ලද අතර  සාම්ප්‍රදායිකව කෙරෙන කෙසෙල් ගස් සිටුවා  අගිකොළ, කොහොඹ කොළ එල්වා ගෙදර අලංකාර කිරීමද සිදුකරයි. මධ්‍යාහ්නය වනවිට ඔවුන්ගේ  උත්සවය අවසන් වෙයි.  ඉසතෙල් ගෑමත් ජලස්නානයක් ඔවුන් ගේ චාරිත්‍රා අතර නැති අතර අප මෙන් අවුරුදු  උත්සවය  දින කිහිපයක් පැවැත්වීමද නොකරයි. 

මේ අනුව සිංහල අලුත් අවුරුද්ද ලාංකික ජනයා විසින් නව වසරක් ආරම්භවීම නිමිත්තෙන් කාලයක සිට පවත්වාගෙන ආ ජාතික  උත්සවයක් බව නිගමනය කළ හැකිය. සුර්යාගේ ගමන පදනම් කර ගෙන බක් මහේදී පවත්වනු  ලබන මෙම උත්සවය සිංහල අලුත් අවුරුද්ද යනුවෙන් ව්‍යවහාරයට පත්ව ඇත්තේ ලාංකික ජනතාවගෙන් බහුතරය සිංහල ජාතිකයන් වීම නිසා විය හැක. එය ජාතියක්  මුල්කර ගත් අවුරුදු උත්සවයක් නොවුවද ඉංග්‍රීසින්ගේ පාලන සමයේදී ක්‍රි.ව. 1886 දී සම්මත වූ ජාතික නිවාඩු දින පණතට අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් නීතිගත කෙරිණි. ඉන්පසු 1984 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය යටතේ සිංහල හින්දු  අලුත් අවුරුද්ද යන්න සංශෝධනය කර සිංහල දමිළ අලුත් අවුරුද්ද බවට පත් කෙරුණි. (1986.01.15 හැන්සාඞ් වාර්තාව අංක 4 රජයේ නිවාඩු පණත) 

එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ  පැවැති සිංහල අලුත් අවුරුද්ද යන පොදු ව්‍යාවහාරය තවමත් වෙනස් නොවී බහුලව අප අතර ව්‍යවහාරයේ පවතී. සුර්යා මුල්කරගෙන පැවැත්වෙන සිංහල අලුත් අවුරුද්ද යනු එක් නිෂ්පාදන වර්ෂයක් අවසන්වී අලුත් නිෂ්පාදන වර්ෂයක්  ආරම්භවීම නිමි්ත්තෙන් පවත්වන සැමරුම් උත්සවයක් ද වන්නේය.

මෙය සූර්ය මංගල්‍ය වශයෙන්ද නම්කිරීමට අපි පුරුදුව සිටිමු. ලෝකයේ පැවැත්මට බලපාන ප්‍රධාන ග්‍රහ වස්තුව සූර්යා නිසා හිරු දේවත්වයේලා සැලසු බව පැවසෙන වෘතාන්ත බොහෝය. එය මිත්‍යාවක් නොවේ. හිරුගේ ශක්තිය ප්‍රවාහය නිසා ලෝකයේ පැවැත්ම සිදු වන්නේ හිරු දේවත්වයේලා සැලකීම කවර වරදක්ද? 

හිරු තරම්ම බලවත් නොවූවද ජීවින්ගේ පැවැත්ම උදෙසාත්  පරිසරයේ සමබරතාවය උදෙසාත් චන්ද්‍රයා ද වැදගත්වේ. එහෙයින් පැරැන්නෝ සඳු ද දෙවියකු කොට සැලකූහ. අවුරුදු චාරිත්‍ර අනුව හිරු සඳු දෙදෙනාටම සැලකිලි දැක්වේ. අපේ ජීවිත පැවැත්මට පරිසර පද්ධතියේ සුරක්ෂිතාවය කෘෂි නිෂ්පාදන සරුවී සශ්‍රිකත්වය උදාවීමට සූර්යාගේ බලපෑම උපකාරි වන අතර ඒ මේ කටයුතු සඳහා සඳුගේ බලපෑමද යම් තරමකින්  උපකාරි වනු හෙයින් කෘතගුණ පුර්වකව සූර්ය ගමන මුල්කර ගනිමින් අලුත් අවුරුදු සංකල්පය බිහිවී ඇත. හිරුගේ ප්‍රභාෂ්වරයෙන් දිලෙන චන්ද්‍රයාද සුර්ය මංගල්‍යය පැවැත්වෙන උත්සව සමයේදී පරණ අවුරුද්දට සඳ බැලීම, නව වර්ෂය සඳහා සඳබැලීම තුළින් කෘතගුණ පූර්වකව ස්මරණය කෙරෙයි. 

ලෝකයාට සෞභාග්‍යය ගෙනෙන හිරු-සඳු දෙදෙනාට අමතරව සෞභාග්‍ය උදා කරන දෙවඟනක ලෙස පත්තිනි දේවිය පිදීම ද සිංහල අලුත් අවුරුද්දේදී සිදු කෙරෙන චාරිත්‍රයකි. ඒ සඳහා බොහෝ විට  යොදා ගැනෙන්නේ ජන ක්‍රීඩා ආදියයි. දරු සම්පත් ලබාගැනීම සඳහාත් දරු ගැබ ආරක්ෂා කරගැනීම උදෙසාත් පමණක් නොව රෝග පීඩාදියෙන් වළක්වාලීම උදෙසාත් පත්තිනි  දෙවියන් පිදීම අපේ සිරිතකි. අං ඇදීම, පංච කෙළිය, පොර  පොල් ගැසීම ආදිී ජනක්‍රීඩා අවුරුදු සමයේදී සිදු කරන්නේ  පත්නිනි දේවියගේ ගුණ ගයමිනි. කතුරු ඔංචිලි බැඳීමේදී ද පැදීමේ ද ගැයෙන ඇතැම් වාරම් කවි වලින් හිරු සඳු දෙවියන් ද පත්තිනි දෙවියන් ද සමරති. 

ඉර බාරයි ඉරවට යන         ගිරවුන්ට 
සඳ බාරයි  සඳවට යන         සාවුන්ට
මල බාරයි මලවට යන         බමරුන්ට 
අප බාරයි සත් පත්තිනි         දෙවියන්ට
ආදි කවි ගායන අතර අංකෙලියේදී ද පොර පොල් කෙළියේදී ද 

රන කෙළි කෙළියේ දෙවිඳුගේ         නාමට 
පද කර කවි කිව්වේ ඔබේ         නාමෙට 
පත්තිනි මම පැන්නෙද ගිනි         ජාලයට 
දෙවොල් පතිනි වැඩියයි         අංකෙළියට 
එරන් තැඹිලි පොල් අරගෙන         සුරතට 
වරන් ලැබුණු ගිනි  පත්නි         අපහට 
සියලු රෝග දුරුවෙයි         හළඹට 
බිඳුනා උඩු පිළියේ පොල්         හනිකට 
ආදී කවි ගායනා කෙරෙති. සිංහල අලුත් අවුරුද්ද සමරමින් ගැමියන් එක්වී සාමූහිකව මේ අන්දමට ජනක්‍රීඩාවල  යෙදීම සුවිශේෂ  ලක්ෂණයකි. ලොකු කුඩා උසස් පහත් භේදකින් තොරව සැවොම එක්වී ප්‍රීතිවෙති. රසමුසු අහර බුදිමින්  ප්‍රීතිය  සතුට අත්විඳිමින් ගුණ දහම් හා චාරිත්‍ර  වාරිත්‍ර රකිමින් සෑම දෙනාම වර්ණවත්  ඇඳුමෙන් සැරසී අවුරුදු සමරති. එකම දවසක එකම වෙලාවක  ආගමික ස්ථාන කරා ගොස් ආගමික වතාවන්හි යෙදෙන  ලක් වැසියෝ පුණ්‍යකාලය තුළ ගුණ දහම් රකිමින් නිරහාරව උපවාසයේ යෙදෙති. දුගී දුප්තාගේ සිට රජ මාළිගයේ වෙසෙන රජ දරුවන් දක්වා වූවෝ එකම වෙලාවක චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙමින් නියමිත වේලාවට  ලිප් බැඳ කිරි උතුරවති.  කිරිබත් පිස එකම මොහොතක  ආහාර අනුභව කරති. දෙමාපියන් වැඩිහිටියන් වැඳ ගනුදෙනු කරති.  නව වසර සඳහා වැඩ අරඹති. 

එදා සිට පැවත එන මේ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීම හේතුවෙන් රටපුරා හැම ගෙදරකම එකම වෙලාවක කිරිඉතිරවීම  කෙතරම් අසිරියක්ද? එකම වෙලාවක ආහාර අනුභවය මොන තරම් ඉසුරුමක් බවක්ද?  වෙනත් කිසිදු රටක සිදු නොකරන  මෙවන් ජාතික උත්සවයක්  අපට හිමිවුයේ පෙර වාසනා මහිමයෙනි. 

සිංහල අලුත් අවුරුද්දේ වැදගත්ම අංගය වන්නේ එම ඉපැරණි සිරිත් විරිත් පණ ගැන්වීමයි.  අපේ ජාතිය සතු මහඟු දායාදයක් වූ අවුරුදු සිරිත් විරිත්  මතුවටත් රැක ගැනීම අපේ  යුතුකමකි. පැරණි හෙළයේ පැවැති සිංහල   අවුරුදු අසිරිය ගැන කියවෙන 
වැදගත් නිලතල  කරනා මැති     හට 
බඳකත් ගොස් දෙති රඹකැන් සහ     තුට 
පිසගත් කැවුමුත් අතිරස එක්     කොට 
මෙහෙමත් ලොව ඇති අවුරුදු     වෙනුවට 
යන කවියෙන් කියවෙන්නේ ද පින්සාර හෙළයන්ගේ පැරණි අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව යශෝරාවයයි....

සිංහල අලුත් අවුරුද්ද මාර්තු 26 වෙනිදාද...?
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න 😃

අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස සලකා එය උත්සවාකාරයෙන් සමරනු ලබන බව පෙනේ.

වර්තමානයේදී විවිධාකාර අංග එක්වෙමින් නවීකරණය වී හෝ පරිහානියට ලක්ව ඇති අලුත් අවුරුද්ද යන සංකල්පය අතීතයේදී සැමරූ ආකාරය විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි. එහිදී මෑත අතීතය ලෙස සැලකිය හැකි අවසන් රාජධානිය වන මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය සළකා බැලීම සිදු කළ හැකිය.  

එහිදී දෙවන රාජසිංහ රජ සමයේදී වසර 19 ක් උඩරට රාජ්‍යයේ සිරකරුවෙක් ලෙස කල් ගත කළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් [කණිෂ්ඨ] විසින් රචනා කරන ලද Historical Relations of the Island of Ceylon කෘතියේ කරුණු පිළිබඳව අවදානය යොමු කළ හැක.  ලාංකියයන් සමඟ එකට ජීවත් වෙමින් රැස් කර ගත් කරුණු පදනම් කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු රැසක් හෙළිදරව් කරන කෘතියක් රොබට් නොක්ස් රචනා කර ඇති බව පෙනේ.

නොක්ස් දක්වන පරිදි මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය පවත්වා ඇත්තේ මාර්තු 26,28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනයකදීය. වර්තමාන තත්වය සමඟ මේ කරුණු බෙහෙවින් පරස්පර වන අතර වර්තමානයේදී අප්‍රේල් 13 වනදා පරණ අවුරුද්ද ලෙසත් අප්‍රේල් 14 වනදා අලුත් අවුරුද්ද ලෙසත් සලකනු ලබන බව ඔබත් මමත් හොඳාකාරවම දනිමු. මේ පරස්පරය ඇතිවන්නට ඇත්තේ සිංහල හෝරා ක්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක්‍රමය අතර පවතින පරස්පරතාව නිසායැයි අනුමාන කළ හැක. 

කෙසේ නමුත් ඉහත දැක්වූ පරිදි දින තුනෙන් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස තෝරාගත් පසු ඒ දිනයේදී රජතුමා උදෑසනම පිබිදී නැකැත්කරුවන්ගේ උපදෙස් පරිදි ස්නානය කරන බව දැක්වේ. වර්තමානයේදී පරණ අවුරුද්දට ස්නානය කිරීම නමින් මේ චාරිත්‍රය පවතින බව සිහිපත් කළ යුතුය. 

අලුත් අවුරුද්දට නැකැත් අනුව වැඩ අත් හරින බවත් පසුව නක්ෂත්‍රකරුවන් දැක්වූ සුභ මොහොතට පිරිමි තමන්ගේ කෘෂිකාර්මික දිවි පෙවෙත සමඟ බැදුණු උපකරණ වන උදළු, කැති ආදිය අතට ගෙන වැඩ අල්ලන බවත් කාන්තාවන් ඉදළ, කුල්ල ආදී දෛනික දිවියේ භාවිතා කරන උපකරණ  අතට ගෙන වැඩ අල්ලන බව නොක්ස් දක්වයි.

සුභ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලුත් අවුරුදු චාරිත සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුභ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය. 

අලුත් අවුරුද්ද සමඟ බැඳුණු විශේෂිතම ක්‍රීඩාව ලෙස නොක්ස් හඳුන්වන්නේ පොර පොල් ගැසීමයි. ඒ හැරෙන්නට අං ඇදීමද සිදුවූ බව නොක්ස් දක්වතත් ඒ ක්‍රීඩාවේ යෙදීමේදී ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් සිදු කළ අශෝභන ක්‍රියා නිසා රජතුමා අං ඇදීම තහනම් කළ ක්‍රීඩාවක් ලෙස නම් කළ නිසා ක්‍රමයෙන් එම ක්‍රීඩාව අභාවයට යන බව දැක්වේ. 

වරක් ගම්පොළ ප්‍රදේශයේ පිරිසක් රහසිගතව අං ඇදීමේ නියැලී ඒ බව මහ වාසළට සැලවීමත් සමඟ ඒ සඳහා දඬුවම් කිරීමට පැමිණි අදිකාරම්වරයෙක් උපායශීලීව මිනිසුන් රැස් කරවා ගෙන දඩ මුදල් අය කළ බව නොක්ස් විස්තර කරයි. 

කෙසේ වෙතත් පොර පොල් ගැසීම මෙන්ම අං ඇදීම යන ක්‍රීඩා දෙකම පත්තිනි දෙවියන් මුල් කොටගෙන සිදු කරන ක්‍රීඩා වන අතර එම ක්‍රීඩාවන්ගේ උපත දක්වන කතා පුවත්වලදීද පත්තිනි දෙවියන් පිළිබඳව සඳහන් හමුවේ. ඒ අනුව රෝග නිවාරණය කරන, සෞභාග්‍යය සලසන පත්තිනි දෙවියන් මුල් කොටගෙන අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීම හරහා උදාවූ නව වසරේ නීරෝගීභාවය හා සෞභාග්‍යය පොදු ජනයා පැතූ බව පෙනේ. 

අලුත් අවුරුද්ද සඳහා පිළියෙල කළ කැවිලි වර්ග පිළිබඳව විමසා බැලීමේදී නොක්ස් කැවිලි වර්ග සුළු ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කළද ඊට වඩා වැඩි ප්‍රමාණයක් පැවති බව වර්තමානයේ පවතින කැවිලි අනුව අනුමාන කළ හැකිය.

නොක්ස් දක්වන පරිදි සහල් පිටි සහ පැණි එක් කර අනා තෙල් බැද ගන්නා කැවුම් නමින් රස කැවිල්ලක් වූ අතර ලංකාවට ඕලන්දයන් පැමිණි මුල්ම අවස්ථාවේදී I වන විමලධර්මසූරිය රජු ඕලන්දයන්ට කැවුම්වලින් සංග්‍රහ කර ඇත. කැවුම් රස බැලූ ඕලන්දයන් මේවා මිනිස් අතකින් නිර්මාණය කළ එකක්යැයි සිතිය නොහැකි නිසා මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක්දැයි විමසූ බව දක්වයි. ඒ කරුණ සත්‍යයක් ලෙස ගතහොත් කැවුම් සහ රස කැවිලි සැකසීමේලා ලාංකීය කාන්තාවන් දැක්වූ හැකියාව පිළිබඳව මනා තක්සේරුවක් එයින් ලබාගත හැකිය. 

කැවුම් හැරෙන්නට බැදි හාල් පිටි පැණියෙන් අනා එයට ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු පොතු ආදිය මිශ්‍ර කොට ගුළි ලෙස තනා ගන්නා රස කැවිල්ල අග්ගලා වශයෙන් හැඳින්වූ බව නොක්ස් දක්වන අතර අග්ගලා ලෙසට අලුවා නම් කැවිල්ලක් සකසා ගන්නා බවද ඔහු කියයි. අලුවා හැඩයෙන් පැතිලි වන බව විශේෂයෙන් දක්වා තිබේ.

අලුත් අවුරුද්ද හා බැඳුණු රජ වාසළ සිරිත් විරිත් සම්බන්ධව නොක්ස් වැඩි අවදානයක් දක්වා ඇති බව පෙනෙන අතර සාමාන්‍ය ජනයා අලුත් අවුරුද්ද සැමරූ ආකාරය පිළිබඳව ඔහු දක්වන්නේ අල්ප තොරතුරකි. ලාංකේය වංසකතා රචනා වූ සමයේ පටන් ඒ තත්වය පොදුවූ බව පෙනේ. 

නොක්ස් දක්වන පරිදි අලුත් අවුරුදු උත්සවය සඳහා රජ මාළිගය විශේෂයෙන් සැරසීමකට ලක් කරන අතර එහිදී මාළිගාවේ දොරටුවක් දොරටුවක් පාසාම තොරණ් බැඳ සරසා ඇත. එහිදී එක් එක් පෙළට සතක් හෝ නමයක් වන පරිදි මධ්‍යයට පැමිණෙන විට උස් වන පරිදි රිටු සිටුවා එම රිටි සඳහා හරස් ලී පෙළක් බැඳ දොරටුවේ ආරක්කු එන පරිදි සකසා ඇත. තොරන් මුදුනේ පිහිටි හරස් ලීවල ගෙඩි පොකුරු එල්වා තිබෙන අතර මිනිස්, සත්ව රූ සහිත අලංකාර ධජ විවිධ වර්ණවලින් යුතු ධජද ඒවායේ එල්වා ඇත. මේ හැරෙන්නට උස් රිටි සිටුවා ඒවායේද විවිධ වර්ණයේ ධජ එල්වා මිණිගෙඩි එල්වා ඇත. 

මේ ආකාරයෙන් අලංකෘත වූ රාජ මාළිගාව දෙව් විමනක් හා සමාන බව මිනිසුන් පැවසූ බව නොක්ස් ප්‍රකාශ කරන අතර රාසිං දෙවියන් නමින් රජුව දෙවියෙක් ලෙස ගරු බුහුමනට පත්ව තිබූ බව මෙමඟින්ද පැහැදිලි වේ. 

අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජකීය හමුදාව පෙළ ගැසී සිටින බවත් රජතුමා සර්වාභරණයෙන් සැරසී රාජකීය හමුදාව පිරික්සා බලන අතර ඒ අවස්ථාවේදී රජුට ගරු කිරීමක් ලෙස ආචාර වෙඩි මුර පැවැත්වීම කාලතුවක්කු සේනාංකය මඟින් සිදුකර ඇත. 

පසුව අදිකාරම්වරුන්ගේ සිට පහළ තනතුරු හොබවන නිලධාරීන් දක්වා වන රාජකීය නිලධාරීන් රජු වෙනුවෙන් අලුත් අවුරුදු "පෙනුම් කත්" රැගෙන එන අතර ඒ යටතේ රජු ප්‍රිය කරන්නේ යැයි හැඟෙන අවි ආයුධ, ආභරණ, වස්ත්‍ර, මුතු මැණික් ආදිය රජුට පිළිගන්වා ඇත. මේ සිරිත අද දක්වාම අලුත් අවුරුද්දේදී වැඩිහිටියන්ට ත්‍යාග පිරිනැමීම ලෙස පවතින බව පෙනේ. 

රොබට් නොක්ස් විසින් දක්වන විස්තරවලින් පැරැන්නන් අලුත් අවුරුදු උළෙල සැමරූ ආකාරය පිළිබඳ 100% ක් තොරතුරු ලබාගත නොහැක්කා සේම 100% නිවැරදි තොරතුරුද ලබාගත නොහැක. ඒ කෙසේ වෙතත් ලැබෙන තොරතුරු විමසිල්ලෙන් සැලකීමේදී පැහැදිලි වන්නේ ඉතාමත් සරල අයුරින් පැරැන්නන් අලුත් අවුරුදු උත්සවය සමරා ඇති බවයි. වර්තමානයේ අලුත් අවුරුද්ද සංකීර්ණ කොටගනිමින් එයින් පීඩා විඳින ජනයාට අතීතය කදිම පාඩම් උගන්වයි.

[මෙම සටහන ලිවීමේදී රොබට් නොක්ස් රචනා කළ කෘතිය "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කෘතිය පාදක කොටගෙන ඇත.]

...................අන්තර්ජාලය ඇසුරෙනි..................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිංහල හින්දු අලුත් අවුරුද්ද පිලිබදව තොරතුරු එකතුවක් (Sinala Tamil New Year) සිංහල හින්දු අලුත් අවුරුද්ද පිලිබදව තොරතුරු එකතුවක් (Sinala Tamil New Year) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2022 Rating: 5

0 comments:

Post a Comment