භාවනාව මගින් ධ්‍යාන ලබාගන්න පියවර

භාවනාව මගින් ධ්‍යාන ලබාගන්න පියවර - Your Choice Way
‘‘සබ්බේ රසං ධම්ම රසං ජිනානි’’ මෙම බුදු වදනේ සඳහන් වන්නේ සදහම් අමා සුවය ගතට හා සිතට භාවනාව තුළින් ළඟාකර ගත හැකි බවයි. මේ තුළින් එක් එක් වූ ධ්‍යාන සමාපත්තීන් ළඟා කර ගත හැකි අතර ඒ පිළිබඳව කතා කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය ආචාර්ය මොරගොල්ලාගම උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බන්ධකර ගත්තෙමු.ධ්‍යානයක් කියන්නේ කුමක්ද?ධ්‍යානයක් කියන්නේ කෙලෙස් දැවීමක් නැතිනම් කෙලෙස් යටපත් කිරීමක්.භාවනා කරන කෙනෙක් ඉන් බලාපොරොත්තු වෙන්නේ ධ්‍යාන ලබාගැනීම. ඒ සඳහා භාවනානුයෝගී වන පුද්ගලයා තමාගේ සිතේ තිබෙන කෙලෙස් දුරුකළ යුතුයි. ඒ කියන්නේ සිතේ තිබෙන රාග, ද්වේශ, මෝහ ආදී මේ කිලිටි තාවකාලිකව දවාහැරීමක් නැතිනම් යටපත් කිරීමක් කරනවා.ධ්‍යානයක් ලබාගැනීමේදී සම්පූර්ණයෙන් කෙලෙස් සංසිඳීමක් සිදුවෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලයට පෙර කාලයේ සිට විවිධ ආගම් සහ දර්ශනවලින් සිය ඉගැන්වීම්වලට අනුව පුරුදු පුහුණු කරගන්න භාවනා අනුව ධ්‍යාන ලබා ගෙන තිබෙනවා.

ධ්‍යාන වර්ගීකරණයකට ලක්වෙනවාද? ඔව්. ලෞකික ධ්‍යාන හා ​ලෝකෝත්තර ධ්‍යාන ලෙස වර්ගීකරණයක් තිබෙනවා. ලෝකෝත්තර ධ්‍යාන අයිතිවෙන්නේ බුදු දහමට පමණයි. ඒත් ලෞකික ධ්‍යාන බුදු දහමේ වගේම අන් ආගම්වලටත් තිබෙනවා. ඒ වගේම මෙම ධ්‍යාන රූප ධ්‍යාන 4 ක් සහ අරූප ධ්‍යාන 4 ක් ලෙසත් වර්ගීකරණයකට ලක්කරනවා. ඉන් රූප ධ්‍යාන හතර වන්නේ.
  1. ප්‍රථම ධ්‍යානය
  2. ද්විතීය ධ්‍යානය
  3. තෘතීය ධ්‍යානය
  4. චතුර් ධ්‍යානය යනුවෙනි.
මේ ධ්‍යාන හතර පිළිබඳව බුදු දහමේ වගේම අන් ආගම්වලත් උගන්වලා තිබෙනවා. අරූප ධ්‍යාන හතර වන්නේ ආකාසඤ්ඤායතනය, විඤ්ඤාණංචඤ්ඤායතනය, ආකිඤ්වඤ්ඤායතනය සහ නේවසඤ්ඤානාසඤ්ඤායතනයි.ධ්‍යාන ලබාගන්නේ කො​ෙහාමද? ධ්‍යාන ලබා ගැනීම සඳහා කාමච්ඡන්ද (පංචකාම සම්පත්තියට ඇති ආශාව) විචිකිච්ඡා-බුදුන් වහන්සේ ධර්මය මහා සංඝරත්නය, මෙලොව පරලොව කර්මය පුනර්භවය යන බුද්ධාදී අටගුණ පිළිබඳ ඇති සැකය ව්‍යාපාද- (තරහ) උද්ධච්ච කුක්කුච්ච සිතේ විසුරුණු සොබාවය ථීනමිද්ධ- තමන්ගේ සිතේ හා කයේ ඇති මැලි බව යන පංචනීවරණ ධර්ම යටපත් කළ යුතුයි. ඉන් ලෞකික ධ්‍යාන ලබාගත හැකියි. ලෝකෝත්තර ධ්‍යාන ලබාගන්නේ සෝවාන් ආදී මාර්ග ඵලත් එක්කයි. සෝවාන් තත්ත්වයේදී යමෙක් ධ්‍යානයක් ලැබුවොත් ඉන් කෙලෙස් නැතිවීමක් සිදුවෙනවා. ඒ වගේම මේ කියන කර්මස්ථාන අනුව භාවනා කරන කෙනා තම තමන්ගේ චරිතයට ගැළපෙන කර්මස්ථාන තෝරාගත යුතුයි.අභිධර්ම සාහිත්‍යයේදී අපට චරිත හයක් හමුවෙනවා. රාග චරිත, ද්වේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ඛ චරිත ඒ චරිත හයය.මේ චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් ඔවුනට ගැළපෙන කමටහන් තෝරාගත යුත්තේ මෙසේයි.බුදුන් වහන්සේගේ කාලයේ ඒ ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ හඳුනාගෙන ඒ ඒ පුද්ගලයාට අනුව කමටහන් දීම සිදුවුණා. වර්තමානයේදී ගුරුවරයෙක් ළඟට ගොස් හෝ නැති නම් තම තමන්ගේ චරිත ලක්ෂණ අවබෝධ කරගෙන තමාට ගැළපෙන කමටහන් තෝරාගැනීම යෝග්‍යයි.විශේ‍ෂයෙන්ම සද්ධා චරිතයක් තිබෙන කෙනාට ගැළපෙන්නේ බුද්ධ, ධම්ම, සංඝ දේවතා වගේ අස්සති. උදා: බුදුන් පිළිබඳ මෙනෙහි කරමින් භාවනා කිරීම. එසේ භාවනා කරන කෙනාට උපචාර සමාධි කියන තත්ත්වයේ ධ්‍යානයක් ලබා ගන්න පුළුවන්. බුද්ධි චරිතයක් තිබෙන කෙනා තෝරාගන්න ඕනා මරණානුස්සතිය. ඒ වගේම උපසමානුස්සතිය. රාග චරිතයක් තිබෙන කෙනා තෝරා ගන්න ඕන පිළිකුල් භාවනාව නැතිනම් කායානුස්සතිය.ද්වේශ චරිතයක් තිබෙන කෙනා තෝරා ගන්න ඕන සතර අප්පමඤ්ඤා (මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා) මෙවැනි අයට ධ්‍යාන හතරටම යාමේ හැකියාව තිබෙනවා.සියලුම දෙනාට ගැළපෙන කමටහන් තමයි පඨවි ආපෝ තේජෝ වායෝ යන කසින මෙනෙහි කිරීම. ඔවුන් හට පුළුවන් සියලුම ධ්‍යාන ලබා ගන්න. ඒ වගේම සමථ භාවනාවේදී සමථ කර්මස්ථාන 40 ක් දක්වා තිබෙනවා. ඒත් සමග දශ කශන දශ අශුභ දශ අනුස්සති, සතර අප්පමඤ්ඤ, ආහාරයේ පටික්කුල සඤ්ඤා මතු ධාතු අවත්තාන සතර ආරුක්ඛ, සතර කර්මස්ථාන වලිනුයි ධ්‍යාන ලබාගත හැකිවෙන්නේ.

ධ්‍යානයක ලක්ෂණ මොනවාද? ප්‍රධාන ධ්‍යාන වර්ග අපි ඉහතින් හඳුන්වා දුන්නා. ඒවායේ ස්වභාවය මෙසේයි. පළමු ධ්‍යානයේදී ඒ තැනැත්තා කාමයෙන් වෙන්වෙනවා. අකුශලයෙන් වෙන් වෙනවා. ඒ වගේම විතර්ක සහිත වෙනවා. විචාර සහිත වෙනවා. විවේකයෙන් උපන් සැපය ලැබෙනවා. පළමු ධ්‍යානය රූපාවචර ධ්‍යානයක්. ඉන් තමන්ගේ සිතේ තිබෙන පංච නීවරණ ධර්ම දශ අකුසල් සිතින් යටපත් කරගත හැකියි. එයා විතක්ක විචාර සූති ඒකාග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය ලබා ගන්නවා. දෙවැනි ධ්‍යානයේදී විතක්ක විචාරවලින් තොර වෙනවා. අධ්‍යාත්මයේ මහා පැහැදීමක් ඇති කරනවා. සිතේ එකඟ බවක් අැති වෙනවා. මේ සියලු දේ වගේම තමා ගැන උපන්නාවූ ප්‍රීතිය සිතේ ඇතිවෙනවා. ඉන් ප්‍රීති සුඛ ඒකාන්ත සහිත ද්විතීය ධ්‍යානය ලබා ගන්නවා. තෙවැනි ධ්‍යානයෙන් සිතේ භීතිය නැති වෙනවා. උපේක්ෂාව ඇති වෙනවා. සිහිය වඩාත් පිහිටුවනවා. ප්‍රඥාව දියුණු වෙනවා. කායික සුවයක් විඳිය හැකිවෙනවා. ඉන් සුඛ ඒකාග්ගතා සහිත තෘතිය ධ්‍යාන සිත ඇති වෙනවා.හතර වන ධ්‍යානය කියන්නේ උපේක්ඛා ඒකාග්ගතා සහිත චතුර්තන් ධ්‍යාන සිත පිළිබඳව. ඉන් ළඟා කර ගත හැක්කේ සැපය ප්‍රහීන වීම, දුක ප්‍රහීන වීමයි. සොම්නස දොම්නස කියන එක සම්පූර්ණයෙන්ම නැතිවී යනවා. දුක හා සැප නැති වුණාම සිතේ උපේක්ෂාව ඇති වෙනවා. මින් සම්පූර්ණ සිත සමාධි තත්ත්වයට පත්කරගත හැකියි.

මෙවැනි ධ්‍යාන ලබාගත් අය උපදින්නේ කොහේද?රූපාවචර ධ්‍යාන ලබාගත් අය රූප ලෝකවල ඉපදෙනවා. අරූපාවචර ධ්‍යාන ලබාගත් අය අරූපලෝක වල ඉපදෙනවා. එය තවත් සරලව පැහැදිලි කළොත් ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය තෘතීය ධ්‍යානය හා චතුර් ධ්‍යානය යන ධ්‍යාන ලබාගත් අය රූප ලෝකවල ඉපදෙනවා. ඒ සඳහා භූමි 16 ක් තියෙනවා. ඒවා රූපාවචර බ්‍රහ්ම ලෝක ලෙස හඳුන්වනවා.
  • ප්‍රථම ධ්‍යානය ලබා ගත් අය උපදින ස්ථාන
  • බ්‍රහ්මපාරි සජ්ජය
  • බ්‍රහ්ම පොරෝහිතය
  • මහා බ්‍රහ්ම
  • ද්විතීය ධ්‍යාන ලබාගත් අය උපදින ස්ථාන
  • පරත්තාභ
  • අප්‍රමාණභ
  • ආභස්සර
  • තෘතීය ධ්‍යානය ලබාගත් අය උපදින ස්ථාන
  • පරත්ත ශුභ
  • අප්‍රමාණ ශුභ
  • ශුභ තිත්නය
  • චතුර් ධ්‍යානය ලබාගත් අය උපදින ස්ථාන
  • වේහප්ඵලය
  • අසඤ්ඤාසත්තය
ලොකෝත්තර ධ්‍යානලාභීන් උපදින (ශ්‍රද්ධාවාය) භූමි 5 ක් තිබෙනවා. එනම් අවිත, අතප්ප, සුදස්ස, සුදස්සී සහ අකතිට්ඨ යනුයි. අරූපාවචර ධ්‍යාන ලබාගත් අය ඉපදෙන ලෝක හතරක් තිබෙනවා. සිත සහ සියුම් ශරීරයක් ඇති මේ පිරිස් ආකාසඤ්ඤායතනය, විඤ්ඤාණංචඤ්ඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන සතර ලෝකවල ඉපදෙනවා.​ෙම්වාහි දුර ප්‍රමාණය වෙනස්. ඒ දුර ප්‍රමාණය වෙනස් වෙන්න වෙන්න ආයුෂ ප්‍රමාණය වෙනස් වෙනවා. එය ලබාගන්නා ධ්‍යාන අනුවයි සිදුවන්නේ. අතිඡාභිසංඛාර හෙවත් අරූප ධ්‍යාන වැඩූ අයයි මේවායේ ඉපදෙන්නෙ.
සමහර විට මේ අයගේ වැඩූ ධ්‍යානය අනුව ජීවිත කාලය බුදුන් වහන්සේලා කීප දෙනෙක් ඉපදෙන තුරු වෙන්නත් පුළුවන්.

ධ්‍යාන ලබා ගත් පුද්ගලයකු හඳුනාගන්නේ කො​හොමද? පුද්ගලයාගේ සොභාවය දෙස බලා ධ්‍යාන ලාභියෙක්ද කියා හඳුනා ගැනීම අපහසුයි. බුදුන් වහන්සේ කාලයේ විවිධ ක්‍රමවලින් ධ්‍යාන ලබාගත් අය හිටියා. ආලාර කාලාම උද්ධකරාමපුත්‍ර වැනි අය පංච අභිඤ්ඤා අෂ්ඨ සමාප්තිය ලබාගෙන හිටියේ. ඒ වගේම ධ්‍යාන ලබාගත් පින්කුර භාරද්වාජ වගේ හාමුදුරුවෝත් හිටියා. මේ පිළිබඳව හොඳ කතාවක් තිබෙනවා. බුදුන්ගේ කාලයේ සිටි එක් බ්‍රාහ්මණයෙක් උස කණුවක පාත්‍රයක් තියලා අහසින් යන්න දක්ෂයෙක් ඉන්නවා නම් ආහාර පිරවූ පාත්‍රය ගනිත්වා කියලා ප්‍රකාශ කරනවා. එය ඇසුණු පින්කුර භාරද්වාජ හාමුදුරුවෝ අහසින් වැඩලා අර පාත්‍රය අරගන්නවා. එය දැනගත් බුදුරජාණන් වහන්සේ එවැනි දේවල් භික්ෂූන් වහන්සේලා නොකළ යුතු බවට හේතු කාරණා පෙන්වා දෙනවා. හේතුව මැජික්කාරයන්ටත් එවැනි දේ කළ හැකි නිසයි. ධ්‍යාන ලබාගත් කෙනෙකුට අහසින් යාමේ හැකියාව ලැබෙනවා. අනුන්ගේ සිත් දැන ගත හැකිවෙනවා. යම් යම් අදෘශ්‍යමාන ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. බුදුන්වහන්සේ එවැනි දේ භික්ෂූන් විසින් මිනිසුන් ඉදිරියේ නොකළ යුතු බව දේශනා කර තිබෙනවා. ඒ නිසා ධ්‍යාන ලාභීන් හඳුනාගැනීම අපහසුයි. ​ෙකාටින්ම කියනවා නම් රහතන් වහන්සේ කෙනෙක් වුවත් එතුමන්ගේ බාහිර පෙනුම දිහා බලලා රහත්වෙලා කියලා කියන්න බැරිවෙනවා. ඒත් ධ්‍යාන ලාභියෙකු හඳුනාගත හැකි බුද්ධිමය ක්‍රම තිබෙනවා.එක්තරා අවස්ථාවක බ්‍රහ්මාණයෝ 16 දෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මුවින් ප්‍රශ්න අහන්නේ නැතිව සිතින් ප්‍රශ්න සිතනවා. බුදුරජාණන් වහන්සේගේ දිබ්බචාකු සහ දිබ්බ සෝත තුළින් බ්‍රාහ්මණයන් සිතන ප්‍රශ්න වටහාගන්නවා. ඊට පසු ඊට ගැළපෙන පිළිතුරු ලබා දෙනවා. අප අතරත් අපි හිතන දේ දැන ගන්න අය ඉන්න පුළුවන්. ඒක අපිට දැනෙනවා. ඒ වගේ අයට යම් මානසික ශක්තියක් නැතිනම් ධ්‍යානයක් ඇති බව සිතන්න පුළුවන්. ඒත් බාහිර පෙනුමින් ධ්‍යාන ලාභියෙකු බව තීරණය කරන්න බෑ.

ධ්‍යාන ලැබූ අයෙකුට ළඟාවිය හැකි තත්ත්වයන් මොනවාද? ලෞකික ධ්‍යාන සහ ලෝකෝත්තර ධ්‍යාන බොහෝ දෙනෙක් පටලවා ගන්නවා.ලෞකික ධ්‍යාන ලබාගත්ත කෙනෙකුට ලෞකික ධ්‍යානවලින් ගිලිහීමේ අවස්ථාව තිබෙනවා. අෂ්ඨ සමාප්තිය ලබාගත්ත පුද්ගලයෙකු වුවත් නේවසඤ්ඤානාසඤ්ඤා තත්වෙට පත්වුණත් ඒ පුද්ගලයා මේ සසරට එනවා. ඒ නිසයි බුදුන් වහන්සේ ලෞකික ධ්‍යාන කිසිම තැනක වර්ණනා නොකරන්නේ. උන් වහන්සේ නිතරම වර්ණනා කළේ ලෝකෝත්තර ධ්‍යානයි. ලොකෝත්තර ධ්‍යාන පිළිබඳ කතා කිරීමේදී ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැදගත් වෙනවා. සම්මා දිට්ඨි (යහපත් දැකීම), සම්මා සංකප්ප (යහපත් කල්පනාව), සම්මා වාචා (යහපත් වචන), සම්මා කම්මන්ත (යහපත් කර්මාන්ත), සම්මා ආජීව (යහපත් ජීවිතය), සම්මා වායාම (යහපත් වෑයම), සම්මා සති (යහපත් සිහිය), සම්මා සමාධි (යහපත් සමාධිය) යනුයි. සමාධි කියන තත්ත්වයට පත්වූ පුද්ගලයා අනිවාර්යයෙන්ම ලෝකෝත්තර ධ්‍යාන ලාභියකු බවට පත්වෙනවා. ලෝකෝත්තර ධ්‍යාන ලබා ගත් පුද්ගලයා එතැනින් නවතින්නේ නෑ. එම පුද්ගලයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත යුතුයි.ඒ අවබෝධය තුළින් ධ්‍යාන ලබාගැනීමත් සමග සෝවාන් මාර්ගඵල තත්ත්වයට පත්වෙනවා. මේ තැනැත්තා කිසිම අවස්ථාවක අපායගාමී පුද්ගලයකු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමත්ත යන සංයෝජන ධම්ම තුන දුරස්කළ අයෙක් වෙනවා.සමථ භාවනාව වඩා ධ්‍යාන ලබා ලෝකෝත්තර තත්ත්වයට පත්වූ පුද්ගලයාට සෝවාන් සකෘධාගාමී, අනාගාමි, අරහත් යන තත්ත්වයට පත්විය හැකියි. සෝවාන් කියන තත්ත්වයට පත්වූ පුද්ගලයාට අනාගාමී තත්ත්වයට පත්වී එතැනින් එහාටත් ඔහුට ගමන් කළ හැකියි. රහත්වීමටත් පුළුවන්කම තිබෙනවා.ධ්‍යාන ලාභීන් ශාරීරික වශයෙන් වෙනස්වීමට ලක්වෙනවාද? සමාජයේ ප්‍රභවය පිළිබඳ කතා කරනකොට ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අග්ගඤ්ඤ සූත්‍රය.ඊට අනුව මේ ලෝකය කාලයකදී හැකිලෙනවා. (සංවට්ට කප්ප) එය මනුස්ස වාසයට නුසුදුසු තැනක් බවට පත්වෙනවා. කාලයාගේ ඇවෑමෙන් නැවත වතාවක් මිනිස් වාසයට සුදුසු තැනක් බවට පත්වෙනවා. ඊට කියන්නේ ආපසු ලෝකය විවෘත වීම (විවිට්ට කප්ප) කියලා. මේ ලෝකය ජීවත්වීමට නුසුදුසු තැනක් වෙනකොට එහි ජීවත් වෙන සිල්වත් පිරිස් බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා. කාලයාගේ ඇවෑමෙන් ඒ අය මේ ලෝකයට ආවාම ජීවත්වෙන්නේ තමාගේ ශරීරයේ ප්‍රභාවෙන් (සයත් පබා) (අන්තලික්ක චරා) එයාලා අහසේ සැරිසරන්නේ, ප්‍රීතිය අනුභව කරන්නේ. ඒ කාලය වන විට ලෝකයේ සඳ හිරු නෑ. දිවා රෑ නෑ. දවස් නෑ. ඒත් කාලයක් සමග අහසේ ඇවිදිමින් ජීවත් වන මේ පිරිසගේ හිතේ තන්හාව ඇති වෙනවා. ඉන් ශරීරයේ ප්‍රභාව නැතිවෙනවා. සියුම් ශරීර ඝන ශරීර බවට පත් වෙනවා. ඒ නිසා අහසින් පොළොවට ඒම සිදු වෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ මිනිසුන් කෙලෙස් බරවීම නිසා ශරීරය රළු වීමයි. කෙලෙස් දුරු කරන තැනැත්තාගේ ශරීරය ප්‍රසන්නයි. මනස ප්‍රසන්නයි. ඒ නිසා ශරීරය ප්‍රභාශ්වරයි. එවැනි පුද්ගලයෙකුගේ සිරුරින් රශ්මිධාරාවක් නිකුත් වෙනවා.

ධ්‍යානලාභී පුද්ගලයා සේවාන් ආදී මාර්ගඵල ලබා ගන්නා විට කෙලෙස් දුරුකරන විට තමන්ගේ සිත වගේම ශරීරයත් සැහැල්ලු වෙනවා. ඒ මගින් අන් අයටත් පෙනෙන පරිදි ඒ තැනැත්තාගේ ශරීරයෙන් රශ්මිධාරාවක් දෘෂ්‍යමාන විය හැකියි. බුදුන්ගේ සිරුරින් ශඩ්වර්ණ රශ්මි ධාරාවක් නිකුත් වූවා කියන එක සුවිශේෂී කාරණාවක්. කිසිම කෙනෙකුට එහෙම දෙයක් සිදුනොවුණා කියලා අභියෝග කරන්න බෑ.ධ්‍යානලාභියකු වීම සඳහා සමථ භාවනාව වඩන්නේ කොහොමද? මෙහිදී සම සතළිස් කර්මස්ථාන හඳුනාගැනීම අවශ්‍යවෙනවා. ඒ වගේම තමාගේ චරිත ලක්ෂණ හඳුනා ගැනීම වැදගත්. චරිතයට ගැළපෙන කමටහන් තෝරා ගත යුතුයි. භාවනාවට සූදානම් වීමේදී ඔහු ශීලවන්ත තත්ත්වයට පත්විය යුතුයි. හේතුව ශීලයෙනුයි සමාධියට යන්නේ. සමාධියෙනුයි ප්‍රඥාවට යන්නේ. භාවනා කරන කොට එම කාර්යයේ අනුපිළිවෙළක් තිබෙනවා. එය අපි පූර්ව කෘත්‍ය ලෙස හඳුන්වනවා. කමටහන් පිළිබඳ දැනගත යුතුයි. ඒ වගේම භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳ යම් අවබෝධයක් තිබිය යුතුයි. මේ සඳහා පරකම්ම නිමිත්ත (අරමුණ හඳුනා ගැනීම), උග්ගහ නිමිත්ත (චරිතවලට ගැළපෙන අරමුණ), පඨිභා නිමිත්ත (සමාධියට සිත එළඹෙන අවස්ථාව) යන අවස්ථා පසුකළ යුතුයි. ඉන්පසු පරකම්ම සමාධි (අරමුණ හඳුනා ගෙන සමාධියට පැමිණීමේ අවස්ථාව), උපචාර සමාධි (ධ්‍යානයට එළඹීමෙන් සිටින අවස්ථාව), අර්පණා සමාධි (ප්‍රථම ධ්‍යානයට එළැඹෙන අවස්ථාව) මෙසේ ක්‍රමානුකූලව සිතේ ඇති කෙලෙස් යටපත් කරමින් භාවනාව කිරීම තුළින්.ප්‍රථමත් ධ්‍යානයට පත්විය හැකියි. මේ ආකාරයට ක්‍රමානුකූලව පියව​ෙරන් පියවර භාවනුයෝගීව කටයුතු කිරීමෙනුයි ධ්‍යානලාභී තත්ත්වයට පත්විය හැකිවෙන්නේ.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
භාවනාව මගින් ධ්‍යාන ලබාගන්න පියවර භාවනාව මගින් ධ්‍යාන ලබාගන්න පියවර Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2020 Rating: 5

0 comments:

Post a Comment