රූමස්සල අහසේ සැරි සරන පිටසක්වළ යානා (Rumassala Alien Spacecraft Hovering In The Sky)

 

මුහුද, අහස, වනාන්තරය, කඳුයාය වෙරළ තීරය දෙවනත් කරමින් කාන්තාවක් මහා හයියෙන් විලාප‍දෙන්නට වූවාය. ඒ රූමස්සල වනයේ හදිසියේ මිය ගිය තරුණ කාන්තාවගේ හඬයි. එය ඈත අතීතයේ සිදුවුවද එය අදටද ඇසෙන බව රූමස්සල වැසියෝ කියති.රූමස්සල කියූ සැණෙන් මතකයට නැග එන්නේ ඉපැරණි කතා පුවතකි. එනම් රාම-රාවණා යුද්ධය ගැනය. හනුමන්තලා රාවණාලා හා රාමා-සිතාලා ගැනය. තවත් පිරිසකගේ මතකයට එන්නේ විද්වත් ආතර් සී. ක්ලාක් වැනි විද්වතුන් මතු කළ විද්වත් තොරතුරු පද්ධතීන් ගැනය. ඒත් පරිසරවේදීන් දිගින් දිගටම ලියන්නේ මෙහි ඇතැයි කියන ජෛව විවිධත්වයන්, කොරල්පර වැනි ස්වාභාවික සම්පත් ගැන හා නමට පමණක් ගැසට් කොට ඇති අභය භූමියක් ගැනය. මේ සියල්ලටම වඩා වෙනස් ලෙස සිතන උදවිය ද සිටිති. ඒ කොටස වන්නේ ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් ය. 

ඔවුන් පවසන ආකාරයට පෘතුගීසින් පළමුව ගොඩබැස්සේ මේ බිමිකඩටය. පසු කලෙක ලන්දේසීන් මෙම භුමියේ තවත් කොටු දෙකක් නිර්මාණය කිරීමට පිඹුරුපත් සකස් කළද ඉංග්‍රීසින් විසින් ලන්දේසින් පන්නා දමා බලය ගත් නිසා මෙහි තවත් කොටුවක් ඉදිවූයේ නැත. වර්තමානයේ රූමස්සල ගැන පොත් ලියන්නෝ පට්ට ගසන්නේ මේ අතීත පුවත් හා කතන්දරයන්ය. මේවා ගැන බලන කියන පිටස්තර උදවියද පාසල් ළමයිද මේ කියන දේවල් බලන්නට ඉගෙන ගන්නට අධ්‍යාපන චාරිකා සකස්කර ගනිති. ඒ නිවාඩු කාලයේ ය.සැබැවින්ම රූමස්සල ඓතිහාසික, විද්‍යාත්මක දත්ත ගබඩාවකි. ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර ඇති ආකාරයට ලෝකයේ කිනම් රටකින් හෝ යවනු ලැබූ චන්ද්‍රිකාවක් කිනම් හේතුවක් නිසා හෝ අක්‍රිය වූයේ නම් ඒ සියල්ලම පාවී විත් රැඳී ඇත්තේ මේ රූමස්සල ගුවන් ගැබේය. මේ වන විටත් එවන් චන්ද්‍රිකා රැසක් මෙහි රැඳී ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්ව්න් ආරියද‌ාස මහතා සඳහන් කරයි.

ලංකාවට පැමිණි ආතර් සී. ක්ලාක් මහතා මේ පියසේ නැවතී කලක් ජීවත් වූයේ ද මෙහි ඇති මේ ජීවගුණය විද්‍යාත්මක වටිනාකම් හා නව විද්වත් සොයාගැනීම්වලට මේ බිම්කඩ අපූරු තෝතැන්නක් වූ නිසාය. එපමණක් නොව ලෝකයේ ඇති හොඳම වෙරළ දෙ‌‌‌ාළහෙන් එකක් ලෙස මේ රූමස්සල එහා අන්තයේ වැල්ලේ දේවාල වෙරළ එද‌ා පත්වී තිබූ බවද සඳහන් කළ යුතුය. මේ ඓතිහාසික සිදුවීම්වල රැඳී තිබූ පියසටහන් අනාගත පරපුරට ද‌ායාද කරන්නට කිසිවකු මෙතෙක් වැඩපිළිවෙළක් ආරම්භ කර නොමැත. එපමණක් නොව මේ වන විට රූමස්සල සොබාදමින් පණ ලැබූ ගහ කොළ සතා සීපාවා පවා අපට අහිමි වී තිබේ. ලෝකයේ දුර්ලභම කොරල්පරය විනාශය වෙත වේගයෙන් ගමන් කරමින් තිබේ.කළුනික පවා තිබුණේ යැයි කියූ මේ මහා රූස්ස කැලේ අද ඇත්තේ අතරින් පතර ඇති මලානික ගස් කොළන්ය.

සත්තකින්ම, අද ඇත්තේ එද‌ා පොතපතින් ජනකතාවලින් අප ඇසූ රූමස්සල නොව, නවීන රූමස්සලක්ය. නවීන ලෝකයේ ඉදිරියෙන් අද සිටින්නේ සංචාරක ව්‍යාපාරය. රජයේ ඉදිරි සංවර්ධන සැලසුමේ ප්‍රමුඛතාවක් ලබා දී ඇත්තේද මේ සංචාරක ව්‍යාපාරයටය. එයිනුත් විදේශිකයින්ගේ වඩාත් නැඹුරුව ඇත්තේ පාරිසරික සංචාරක ඉසව්වන් වෙතය.ගාල්ල නගරය දියුණු කරන්නට යන්නේ ද ඒ අවට දියුණු කරන්නට යන්නේද මේ සංචාරක කර්මාන්තය අරමුණු කොටගෙනය. ඒ යන ගමනේ හොඳම ඉලක්කය කරගත යුතුව ඇත්තේ මේ රූමස්සල බව අවිවාදිතය. රජය, පළාත් සභාව හෝ සංචාරක මණ්ඩලය තවමත් ඇස ගසා නැත්තේ ඇයිද යන්න ගැටලුවකි.මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? මේ සොබාදහමේ අපූරු මැවීමක් වන රූමස්සල අද බලවන්තයන්ගේ යටත් බිමක් බවට පත්ව ඇති බවය.මෙහි ඇති බිමිකඩහි සොඳුරුම ඉසව්ව වන්නේද වෙරළ ආසන්න භූමියයි. එහි අයිතිය මේ වන විටත් ඇත්තේ වරාය අධිකාරියටය. මේ බිමේ ඇති සුවිශේෂී කොටසක් වන්නේ සුදුවැල්ල නම් වූ ඉසව්වය. එය සුන්දර වෙරළකින් හා මනා සෙවණැති අපූරු වන රොදකින් යුක්තය. පෘතුගීසින් පළමු වරට පැමිණ ඇත්තේද මෙම ස්ථානයට බව සැලකේ. 

මනාසේ ස්භාවිකව පිහිටා ඇති වෙරළ හා නොගැඹුරු මුහුද ඉතා සුරක්ෂිත නාන තටාකයකි. දිනපතා මෙහි පහස ලබා ගැන්මට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ ගණන මෙතෙකැයි කිව නොහැක. එහෙත් අද මෙම ස්ථානය බලහත්කාර අත්පත්කර ගැනීම් සහ පවත්වාගෙන යන අවන්හල මා‍ෆියාවක් බවට පත්ව තිබේ. මේ සඳහා කිසිදු ආයතනයකින් බලපත්‍රයක් ලබා ගෙන නැත. මෙහි එන සංචාරකයන් පවා ඔවුහු විශාල වශයෙන් ගසා කති. නීතියක් නැත අවනීතියක් දැකිය හැකිය.කුඩා බීම බෝතල් දෙකක් හා බියර් බෝතලයක විකුණුම් මිල රුපියල් 1500කි. මෙතැන නාන්නට හෝ විවේක‍යක් ගන්නට හෝ එන ස්වදේශිකයකුට මෙහි වැඩි වෙලාවක් ඉන්නට ඉඩක් නැත. අද මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වයට මෙය හොඳම උද‌ාහරණයකි. වෙරළ සම්පූර්ණයෙන්ම මෙම කල්ලියේ (ගැන්සිය කල්ලිය) අණසකට යටත් වී ඇත. විදේශිකයින් සඳහා බංකු ඇඳවල් සකස් කරගෙන ගසාකන්නේ නියමිත පරිදි අනුමත හෝටල් සංකීර්ණයක් ලෙසය. මහ ගස් කොළන් කපා දමා ඇත. නමට පමණක් ‘පරිසරය රැකගනිමුයි’ කියා බෝඩ් ගසා ඇති නමුත් එයට මඳක් ඈතින් වන මැද රහසේ ගොඩනගාගෙන ඇති මහා කසළ කන්දකි. වගකියයුත්තන් කවුරුන්දැයි සොයා ගන්නට ද නැතත් එවැනි ස්ථාන දෙකක් කැලය මැද නිර්මාණය කර ගෙන ඇත්තේ සැමට රහසෙනි.

කවද‌ා හෝ මේ කන්දට ගිනි ඇවිළී ගියහොත් මුළු රූමස්වල කෑලැවම ගිනි රකුසා විසින් බිලිගනු නියතය. මෙවන් කසළ එකතුවක් මෙයට ඔබ්බෙන් ඇති පුංචි වැල්ල ප්‍රදේශයේද දක්නට ඇත. මේ පුංචිවැල්ල ද අනවසර අයකු විසින් මෙයට පෙර සුදුවැල්ල මෙන් සිය අණසකට යටත් කරගෙන ‍වෙරළ මාෆියාවක් පවත්වා ගෙන ගොස් තිබිණ. මේ සම්බන්ධයෙන් ඇති වූ විරෝධය නිසා වරාය අධිකාරිය විසින් නඩු කියා එම කොටසෙහි අයිතිය නැවත අධිකාරිය වෙත පවරාගෙන තිබේ. එසේ නඩු කියා ලබා ගත් මේ බිම්කඩ සහිත නාන වෙරළ උද්‍යානය නිසි අයුරින් ප්‍රයෝජනයට ගත හැක. නිසි වැඩපිළිවෙළක් නිර්මාණය කර නැත. හබරාදුව ප්‍රාදේශීය සභාව මෙහි පාලනය ගෙන ගියද එහි ප්‍රමිතියක් නැත.මෙම ඉඩම් වරාය අධිකාරියට අයිති ඒවාය. අප එහි යන විටත් සුදු වැල්ලට හැරෙන ස්ථානයේ මුර කුටියක ආරක්ෂකයින් දෙදෙනකු සිටිනු දක්නට ලැබිණ. ඒ දෙදෙනා වරාය අධිකාරියේ ආරක්ෂකයන් දෙදෙනෙකු බව පැවසූ අතර වරාය අධිකාරිය සතු කොටස්වල අනවසර ඉදිකිරීම කරනවා දැයි විමසිලිවන්ත වීම සඳහා ඔවුන් මෙම ස්ථානයේ රඳවා තිබේ.

එහෙත් වෙනද‌ා මෙන් නොව ලෝක උරුම ගාලු කොටුව නරඹන්නට එන පිරිස්වලට වඩා වැඩි දෙස්-විදෙස් පිරිස් දිනපතා මෙහි එන බව ගම් වැසියෝ පවසති.මෙමගින්, ඍජු හා වක්‍ර රැකියා මගින් හොඳ ආද‌ායම් ලබන බව පෙනී යයි. මෙහි දැනටමත් රථ ගාල් ස්ථාපිතව තිබේ. ගැටලුව බවට පත්ව ඇත්තේ රජයේ කිසිදු අවසරයක් හෝ අධීක්ෂණයක් ‍නොමැතිව ඉතා අවිධිමත් ලෙසින් මේ සියල්ල සිදුවීමය.රූමස්සල පාරිසරික හා සංචාරක පාරාදීසයක් ඇති කිරීමට හැකි ස්ථානයකි. එහෙත් අවාසනාව බවට පත්ව ඇත්තේ මේ වන තෙක් රජය හෝ සංචාරක මණ්ඩලය හෝ මේ ස්වාභාවික භෞතික සම්පතින් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට සැලසුම් නොකිරීමය. රූමස්සල හොඳ සංචාරක පුරයක් කරන්න හැකි ඉක්මනින් රජය මැදිහත් විය යුතුය. නැති නම් සිදුවන්නේ අයාලේ යන සංචාරක පුරයක් බවට රූමස්සල පත්වීමය. රූමස්සල පරිසර වැදගත්කම් සහ සංචාරක ආකර්ෂණය ඉහළ යන ලෙස මෙම ප්‍රදේශය නවීකරණය කිරීම සැමගේ වගකීම බවය. ශ‍්‍රී ලංකාවටම ආවේණික වූ අලුත් ම කොරල් වර්ග දෙකක් අප විසින් ම අපේ රටෙන් සොයා ගැනීම මෙම අමරණීය සිහිවටනයයි.

මෙම කොරල් වර්ග පොඩබේසියා ලංකෙන්සිස් (PODABACIA LANKAENSIS) හා පොරයිටිස් ඩිසිල්වෙරි (PORITES DESILVERI) ලෙසින් නම් කොට ඇත. දකුණේ ඇති ඉහළ ඝනත්වයක් හා සෞඛ්‍ය සම්පන්න බවින් වැඩි මිරිස්ස කොරල්පරයේ දර්ශනයක් හික්කඩුව-මිරිස්ස රූමස්සල කොරල්පරවලින් සොයා ගැනුණු මෙම විශේෂිත කොරල් වර්ග දෙක තවමත් නිල වශයෙන් නම් කොට නැති නමුදු, එය විශේෂ වර්ග දෙකක් ලෙසට පිළිගෙන ඇතැයි රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා හා සාගර භූ විද්‍යා අධ්‍යයන අංශ ප‍්‍රධානී ආචාර්ය පී.බී. ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පැවසුවේය.දස වසරකට අධික කාලයක් තිස්සේ මාලදිවයින, කෙන්යාව, ටැන්සානියාව, ජපානය, නවසීලන්තය, ඕස්​ෙ‌ට්‍ර්ලියාව හා ස්වීඩනය යන රටවල සාගර විද්‍යාව පිළිබඳ පර්​ෙ‌ය්ෂණයන් හි නියැළී සිටි ඔහු මිරිස්ස නිජබිම කරගත් රුහුණු පුත‍්‍රයෙකි. අලුතින් ඉදිකෙරෙන හම්බන්තොට වරාය පිළිබඳ මුහුදු ශක්‍යතා වාර්තාව සකස් කළේ ද ආචාර්ය ප‍්‍රදීප් කුමාර ය. මේ සප්ත මහා සාගරය මහා සම්පත්වලින් පිරුණ නිධානයක් බඳුය. භෞතික මෙන් ජෛව විවිධත්වයෙන් යුත් ජීව සම්පත්වලින් ද අනූන ය. 

එමෙන් ම මේ ලෝකය අතිසුන්දරය. මෙයට දශක තුනකට ප‍්‍රථම ලොව ප‍්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් සහ මයික් විල්සන් වැන්නෝ අපේ රටේ මුහුදු පතුලේ අසිරිසිරිය දැක ගත්හ. ඔවුන් දුටුවේ ද මේ අසිරියෙන් බිඳක් යැයි ඔවුහුම පැවසූහ. සාගර හා මුහුදු විද්‍යාඥයෝ කොරල්පර ජලයේ ඇති නිවර්තන වැසි වනාන්තර ලෙස හඳුන්වති. ලොව මත්ස්‍ය සම්පතෙන් සියයට 25ක ළමා කාලය ගෙවෙනුයේ මේ කොරල්පර ආශ‍්‍රිතවය.මත්ස්‍ය සම්පතේ ගොදුරු බිම් හා තිඹිරිගෙවල් වන්නේ ද මේ කොරල්පරය. ලංකාවේ අප තවමත් මේ මහා කොරල් සම්පතෙහි සැබෑ අගය හඳුනාගෙන නැතැයි කීම වඩාත් නිවැරදිය. කොරල්පර නිසා යම්තාක් දුරකට සංචාරක ව්‍යාපාරය සඳහා ද‌ායකත්වයක් ලැබුණ ද මේ සම්පත ජාතික සම්පතක් ලෙස රැක ගැනීමට අද‌ාළ අංශ අසමත් වීම කනගාටුද‌ායකය.

ලෝකයේ දැනට හඳුනාගෙන ඇති කොරල්පර වර්ග ගණන තුනක් බව ආචාර්ය ටර්නි අප සමඟ පැවැසීය.ඒවා නම් ධාර පර, බාර්පර නොහොත් බාධක පර හා අතෝර පරය. ධාරපර ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ නොගැඹුරු දියේ දක්නට ඇත. හික්කඩුව බොනවිස්ටාව සහ මිරිස්ස ආදී ප‍්‍රදේශ මේ අතර සුවිශේෂය. බාර්පර නොහොත් බාධක පර ඇත්තේ ගැඹුරු මුහුදෙහිය.මේවා බොහෝවිට නැගෙනහිර මුහුදු තීරයේ පාසිකුඩා, කල්පිටිය සහ නිලාවැලි වැනි ප‍්‍රදේශවල දී දැකගත හැකි ය. අතෝර පරයන් ඇත්තේ මාලයක් ලෙසට ය. ඒවා ලංකාවේ තවමත් දැකගැනීමට ලැබී නැතැයි පවසන ටර්නි මහතා ඒවා මාලදිවයින වැනි දූපත් අවට මුහුදේ ඇතැයි පවසයි.ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනයට යොද‌ාගත හැකි හොඳම දෙයක් තමා මේ ජීව කොරල්පර ප‍්‍රදර්ශනය කිරීම. එහෙත් අවාසනාවකට දෝ මේ සියල්ල ටිකෙන් ටික අපට නැතිවෙමින් යනවා. ස්වාභාවික හේතු මෙන් ම මානව ක්‍රියාකාරකම් ද එයට හේතුවක්. ඩයිනමයිට් දැමීම, අපද්‍රව්‍ය සාගරයට දැමීම සහ කෘමිනාශක භාවිතය ආදිය මේ කොරල්පර විනාශයට එක එල්ලේ බලපානවා.දකුණු දිග මුහුදු තීරයේ ඇති බොහෝ කොරල්පර විනාශ වී යන බවත්, සමහර ඒවා මැරීගෙන යන බවත් අපේ අලුත් ම ගවේෂණ දත්තවලින් හෙළි වෙනවා.

ලංකාවේ හොඳම ජීව කොරල්පර ඇතත් නැගෙනහිර මුහුදු තීරයේ එයින් පසු අපට එද‌ා දැක ගත හැකි හොඳම කොරල්පර වූයේ හික්කඩුව හා ලෝ ප‍්‍රකට උණවටුන, රූමස්සල බොනවිස්ටා කොරල් පර.එද‌ා උණවටුන කොරල්පරය ජෛව විවිධත්වය අතින් හරිම ඉහළයි. දුර්ලභ කොරල් හා ජීවීන්ගෙන් පිරිලා තිබුණා. හික්කඩුවත් එහෙමයි. නමුත් මේ වන විට ඒ කොරල්පරවල ඇති ජීවී ගතිය මැරීයමින් පවතිනවා. මින් රූමස්සල තත්ත්වය හරිම කනගාටුද‌ායකයි.2003 දී රජය විසින් අභය භූමියක් ලෙස නම් කරන ලද මී‍ටර 120ක් උස කන්දක් වූ හෙක්ටයාර 170 රූමස්සල සතුව හෙක්ටයාර 20ක රක්ෂිත වනාන්තරයකින් සමන්විතයි.රූමස්සල කඳු වැටිය ලොව කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි පරිසර සම්පතක් බවත් මෙයට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයක් ලෙසත් ලොව ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා මෙම කඳු වැටිය හඳුන්වා ඇත. ලොව වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් ඇති ප්‍රදේශය ලෙස විද්‍යාඥයන් හඳුන්වන්නේ ද රූමස්සලයි. ඔහු 1956 දී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔහුගේ ප්‍රථම නිවස ඉදිකොට ගෙන ඇත්තේද උණවටුන ප්‍රදේශයේයි. එහෙත් මේ කන්දේ ආරම්භය ගැන නම් ජනප්‍රවාදයේ නම් කතා ‍බොහෝම වෙනස්ය.එහි ප්‍රසිද්ධම කතාව වන්නේ වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ සඳහන් පරිදි රාමගේ සොහොයුරු ලක්‍ෂමනයන් රාමගේ හී පහරකින් විපතට පත්වූ අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා එවකට සිට ඍෂිවරයෙක් හිමාල අඩවියෙන් ඖෂධ කිහිපයක් ගෙන එන්නට හනුමන්ට නියම කර තිබූ අතර සටන ගැන සිතමින් හිමාලය බලාගිය හනුමන්ට ගෙන ඒමට කියූ ඖෂධවල නම්, අතරමගදී අමතක වී තිබිණ.

මේ නිසා හිමාලයෙන් කොටසක්ම උස්සා ගෙන ආ හනුමන්තාගේ ඇගිලි දෙකක් අතරින් ඒ ගෙනා ආ හිමාල කොටසින් වැටුණු කොටස රූමස්සල බව පැවසේ. එයින් වැටුනු අනිත්‍ කොටස උනා වැටුණු ස්ථානය දැන් උණවටුන බව වේ. එම කතාව සිහියට නගන්නටම ඉදි කරන ලද විශාල හනුමා ප්‍රතිමාවක් රූමස්සල කන්දේ ඇති ජපන් බෞද්ධ විහාරයේ දක්නට ලැබේ. එහි දක්නට ඇත්තේ හනුමා නමැති වානරයා එක් අතකින් යගද‌ාවක් ද අනෙක් අතින් කඳුවැටිය ද ගෙන සිටින අයුරුයි. සත්තකින්ම තවත් කතාව වන්නේ ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණා රජු, ඇය රූමස්සල කන්දේ පිහිටි ගල් ලෙනක සිර කර තබා ඇති අතර ඇය සොයමින් පැමිණි රාම රජු රාවණා රජු සමඟ යුද කොට ඇයව බේරා‍ ගෙන ඇත්තේ, රූමස්සල කන්දේ සීතා කුමරිය සිර කර තබා තිබූ ගල්ලෙන් දොරටුවෙහි වූ දැවැන්ත ගල්කුළක් ඔසවා විසිකර දැමීමෙනි. ඒ අනුව ‘රාම ඉස්සූ ගල’ යන අරුතෙන් රාමස්සගල, රූමස්ගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව තවත් කතාවකි. අතීතයේ මෙහි යෝගී ඍෂිවරුන් වාසය කළ බවටද මතයක් පවතී.

එහි තිබෙන ජපන් සාම චෛත්‍ය විහාරයත් කාගේත් සිත් ඇදගන්නා සුළු ස්ථානයකි. එහි චෛතය මලුව වෙත නැගී බැලූ වි‍ට පෙනෙන දර්ශනය ඉතාම සිත්ගන්නා සුලුයි.හිමාලයේ දකින්නට ලැබෙන බෙහෙත් පැළෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳු වැටියේ දකින්නට ලැබීම මෙම කඳුවැටියේ ඇති විශේෂත්වයයි. කලාපයට, වියළි කලාපයට මෙන්ම ශුෂ්ක කලාපයට ද අයත් ශාක ප්‍රජාවන්ගේ නිවහනකි. අතීතයේ රුහුණු ඔසු උයන ලෙසින් ප්‍රකටව පැවති මෙහි 1991 වන විට බෙහෙත් පැළෑටි 150ක් පමණ තිබී ඇත. එයින් බෙහෙත් පැළෑටි 141 ක්ම රූමස්සලට ආවේණිකව එහි ස්වාභාවිකවම වැඩී තිබුණු ඒවාය. බක් මී, මිල්ල, අරළු, බුළු, වෙනිවැල්, කෝන්තාලම් ආදිය මෙහි ඇති දුර්ලබ බෙහෙත් පැළෑටි කිහිපයකි.ලෙඩ රෝග 108 කට ප්‍රත්‍යක්ෂ ගුණ ලබාදෙන ගොපලු ගුළිය නමැති වටිනා ඖෂධයේ ප්‍රධාන ලෙස යොද‌ාගන්නේ කෝන්තාලම් ගසේ ගෙඩියයි. කෝන්තාලම් ගස් දෙකක් අදටත් උණවටුන වැල්ලේ දේවාල භූමියේ දැකිය හැකිය. මෙහි තිබුණු බෙහෙත් පැළෑටි බොහොමයක් වඳ වී ඇති අතර. සුදුහඳුන්, යක් කපු, ගම්මාලු, ඇත්දෙමට, බුලු, හල්, දුම්මැල්ල, කලු බෝවිටියා එවැනි වඳ වී ගිය බෙහෙත් පැළෑටි සමහරකි. මෙම කඳුවැටියේ පක්ෂි විශේෂ 72ක් වාසය කරන ලද බව සොයා ගෙන තිබේ. එලෙසම මෙහි ජීවත් වෙනවායි සලකන සමනල වර්ග ගණන 84කි. රූමස්සල කඳුවැටිය පාමුල කිලෝමීටරයක් තරම් දුරට විහිදෙන බොනවිස්ටා කොරල්පරය දැක ගත හැකිය. 1796 දී පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන් විසින් පෘතුගීසි බසින් බොනවිස්ටාව ලෙස නම් කළ මෙහි සිංහල තේරුම සොඳුරු දසුන යන්නයි.

අප මුලින්ම සඳහන් කළ පරිදි, මෙය ලංකාවේ ඇති විශිෂ්ටතම ගණයේ කොරල්පරයක් ලෙස සමුද්‍ර ජීවී විද්‍යාඥයින් හඳුනාගෙන ඇත. 71%ක් සජීවී කොරල්පරයක් වන මෙහි ඝන අඩි 30කට වැඩි කොරල්පර 35ක් ඇති බව සොයාගෙන ඇත. හික්කඩුව කොරල්පරයේ සජීවී බව 39%කි. මෙයින් මසුන් 491ක් සොයා ගෙන ඇති අතර දුර්ලභ ගණයේ මත්ස්‍යයෝ 320ක් වෙන බව සඳහන් වේ. එලෙසම ලොව වඳ වී යාමට මුහුණ පා ඇති මත්ස්‍ය වර්ග 72 කින් 36 ක්ම මෙහිදී සොයාගත හැකිය. මෙවැනි කොරල්පර දැකිය හැකි වන්නේ නිරක්ෂයේ සිට අංශක 30 බැගින් උතුරු හා දකුණු දිශාවන්ට ඇති සීමිත ප්‍රදේශයක් තුළ පමණක් මීටර 50 දක්වා ගැඹුරු ඇති හිරු එළිය වැටෙන ප්‍රදේශවල පමණක් බව පැවසේ. වෙරළ කලාපයේ උෂ්ණත්වය ද මීට රුකුලක් බව පැවසේ. පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන්ගේ බිරිඳ විසින් රූමස්වල පාඨශාලාවක් ඉදිකළ අතර වර්තමානයේ එය බොනවිස්ටා පාසල ලෙස හඳුන්වන අතර මාර්ටින් වික්‍රමසිංහයන්, මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මූලික අධ්‍යාපනය ලබා තිබුණේ එතැනිනි. ඇය විසින්ම මුලින්ම ඉදිකරන ලද ‍ගොඩනැගිල්ල අද පාසලේ විදුහල්පතිතුමාගේ කාර්යාලය බවට පත්ව ඇත. ඊට අමතරව බොනවිස්ටා කනිෂ්ඨ පාසලක්ද දැන් පිහිටවා ඇත. 

ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුද‌ා විසින් සතුරු නැව් ගල්පරවල හප්පා විනාශ කිරීමට ව්‍යාජ පහන් කණුවක්ද රූමස්සල පිහිටුවා ඇත. වසර 1875 දී ලන්දේසින් ඉදිකළ මෙය බර්ටන් කණුව ලෙස නම් කර ඇත. ඒ එය ඉදිකළ ඩබ්. බර්ටන් නම් පුද්ගලයා වෙනුවෙන් විය හැකිය.පසුව බ්‍රිතාන්‍ය ජාතිකයෝ එය තවත් වැඩිදියුණු කළහ. මෙම ව්‍යාජ පහන් කණුවෙන් නිකුත් කළ ආලෝක ධාරා ඔස්සේ පැමිණෙන සතුරු නාවික යාත්‍රා බොහොමයක් ඒ අවට මුහුදේ ඇති ගල්පරවල හැපී මුහුදුබත් කිරීමට මෙය නිර්මාණය කරන්නට ඇති බව සඳහන් වේ.එහි දැන් පහනක් නොදැල්වුවත් එම කණුව මුහුදට හොඳින් පෙනෙන බව මුහුදු යන ධීවරයන් පවසයි. සාම චෛතය වෙත එන අතරමගින් හැරී ගිය කිලෝමීටරයකට වැඩිදුරක් ගිය විට මේ පැරණි පහන් කණුව දකින්නට හැකිය.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රූමස්සල අහසේ සැරි සරන පිටසක්වළ යානා (Rumassala Alien Spacecraft Hovering In The Sky) රූමස්සල අහසේ සැරි සරන පිටසක්වළ යානා (Rumassala Alien Spacecraft Hovering In The Sky) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, October 07, 2020 Rating:

0 comments:

Post a Comment