ගණ දෙවියන් සදහටම ගල් වුණේ මෙහෙමයි

මෙහි පෞරාණික කතා පුවත අතිශය සුන්දරය. මේ කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගමය. එවකට මෙහි විසූවෝ ආදිවාසීන් බවට මතයකි.එනිසාම ආදිවාසී පරපුරෙන් පැවැත එන කතාව ද සුන්දරය.ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් කළ විවරණය මෙසේය.ගමණ්ඩි වන්නියලැ ඇත්තන්ට පුතුන් දෙළොස් දෙනෙක් හිටියහ. එහෙත් එකම දුවකු වත් නොසිටියාය. මහා විෂ්ණු දෙවියන් නමින් පහනක් පත්තු කළ ගමණ්ඩි වන්නියලැ ඇත්තෝ ගැහැනු දරුවකු (කැකුළියක) ලබා දෙන්නැයි දෙවියන්ට කන්නලව් කළේය.කන්නලව්වට සවන් දුන් දෙවියෝ මුව දෙනෙකුගේ බඩින් ගැහැනු දරුවකු (කැකුළියක) ප‍්‍රසූත කරවීමට සැලැස්වීය. මුව දෙන විසින් එම කැකුළිය ප‍්‍රසූත කළේ වළක් තුළය.මුවදෙනක් වළක් වටා කැරකි කැරකී සිටිනු දුටු ගමණ්ඩි වන්නියලැ ඇත්තෝ සමීපයට ගියේය. එවිට වළ තුළ සිටින කැකුළිය දුටුවේය.වහා ගෙදර ගොස් මේ අපූරු සිද්ධිය බිරියට කීවේය. බිරියද කැටුව විගසින් යළි කැකුළිය සිටි වළ ළඟට දිව ආවේය. 
වළට බැස ඉතා පිරිස්සමින් කැකුළිය අතට ගෙන බිරිඳට දුන්නේය. වළක උපන් නිසා ඇයට වල්ලි යැයි නම තැබිණ.ගමණ්ඩි වන්නියලැ දෙමහල්ලෝ වල්ලි හොඳින් රැකබලාගෙන ඇති දැඩි කළහ. ගමණ්ඩි වන්නියලැ ඇත්තන්ගේ හේන පිහිටා තිබුණේ මේ ඉසව්වේය. තණ, මෙනේරි වැනි බෝග එහි වගාකර තිබිණ.හේනේ පැලේ වල්ලි තනි වූ මොහොතක කඳ කුමරු ඇගේ රූප සොබාව දිවැසින් දුටුවේය.තුරුණු වියට පත්ව සිටි වල්ලි ගේ රූප සෝබාවට වහ වැටුණු කඳ කුමරු වහාම මෙම දිවයිනට පැමිණියේය.එසේ පැමිණ වැඩිහිටි කන්දේ නතර විය. ඉන්පසු මහලු මිනිසෙකු සේ වෙස් වළාගෙත් හේ සැරයැටියක් අතින් ගෙන එය බිම අනිමින් වල්ලි සිටින පැල දෙසට ගියේය.

නාඳුනන මේ මහලු මිනිසා දුටු වල්ලි බිය විය. තනි පංගලමේ සිටින විට වෙනත් කිසිදු පිරිමි කෙනෙක් මේ පැලට ආවේ නැත. ”අප්පිල ඇත්තෝ ආවොත් ඔයා මරයි ඉක්මනට යන්න” කියා වල්ලි මහලු මිනිසාට අනතුරු ඇඟවීමක් කළාය.එහෙත් මහලු මිනිසා එය ගණනට නොගෙන වල්ලි සමග කතාවට උත්සාහ කළේය.‘‘මේ ළමයට බය නැද්ද මේ පැලට වෙලා ඉන්න ?’’ ‘‘මම මේ කැලේ එකම එකාටයි බය. ඒ බොටකදාට. (අලියා) වෙනත් කාටවත් බය නැතැයි’’ වල්ලි උත්තර දුන්නාය .‘‘ඒ කතාවලින් වැඩක් නැහැ. අප්පිලැ ඇත්තෝ එන්න කලින් මැරම් නොකා මෙතනින් යන්න’’ වල්ලි යළිත් කෑගසුවාය.‘‘ඔහොම තරහ ගන්න එපා. අඩු ගානේ මේ ළමයාගේ නමවත් කියන්න” මහලු මිනිසා යළි ඇවිටිලි කළේය.

වල්ලි ඇගේ නම කීවේ නැත. “අප්පිල ඇත්තෝ ආවොත් ඔයා මරණවාමයි. ඉක්මනට යන්න” වල්ලි යළිත් කෑ ගැසුවාය.ඒ වන වටිත් ගමණ්ඩි වන්නියැල ඇත්තෝ වල්ලිට කෑමට මීවදයක් රැගෙන පැමිණෙමින් සිටියේය.කඳ කුමරු නිවසින් පිටවී ගොස් පැල පෙනෙන මානයේ කැලේ සැඟවී සිටියේය.වල්ලිට කෑම දුන් ගමණ්ඩි වන්නියැල ඇත්තෝ ‘‘වල්ලි ප‍්‍රවේශමෙන් හිටපං මම ඉක්මනට එන්නම්’’ කියා ඇගේ හිස අතගා පැලෙන් පිටව යනු කඳ කුමරු දුටුවේය.ඇගේ නම ”වල්ලි’’ බව කඳ කුමරු දැනගත්තේ එවිටය . කඳ කුමරු යළි වැඩිහිටි කන්දට ගියේ තවත් සැලසුමක් ගැන සිතමිනි. වළලු වෙළෙන්ඳකු සේ සැරසුණ කඳ කුමරු පසුදා වල්ලිගේ පැලට ගියේ ලස්සන වළලු රැසක් මවාගනිමිනි.වළලු දුටු වල්ලි ට ඒවාට ආශා සිතුණි.‘‘අපට ඉතින් වළලු ගන්න සල්ලි නැහැනේ’’ ඇය කීවාය.‘‘කමක් නැහැ. අතට දාලා බලන්න’’ කියමින් කුමරු වල්ලිගේ අතට වළලු දමන අතර ඇගේ අත මිරිකුවේය.

ඒ විහිළුවට වල්ලිට හොඳටම තරග ගියාය. ඇය වළලු විසිකර ‘‘අරන් පලයන් උඹේ වළලු ආයෙත් මේ පැත්ත පළාතේ එන්න එපා’’ කියමින් බැණ වැදුණාය.කනස්සල්ලට පත් කඳ කුමරු එසැණින් ඉන්දියාව ගියේය. ගොස් සිය සොයුරු ගණ දෙවියන් මුණ ගැසිණ . ‘‘අයියේ වල්ලි කියලා ලස්සන කෙල්ලක් ජම්බුද්වීපයේ ඉන්නවා. ඇය කොහොම හරි අයිතිකර ගන්න ඕනෑ. බලෙන් හරි ගන්න ඕනෑ’’ කඳ කුමරු කීවේය. ‘‘එයා බය අලියට විතරයි. වෙන කාටවත් බය නැහැ’’ කඳ කුමරු තවත් විස්තර කීවේය. සියලු විස්තර ඇසූ ගණ දෙවියෝ ඊට කදිම සැලසුමක් සකස් කළේය. ‘‘වල්ලි අලියට බය නම් මම අලි වෙසක් මවාගෙන එන්නම්. වල්ලි බය වෙන කොට ඔයා වල්ලිව අරන් පැනල යන්න. හැබැයි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මං ඔයාට පැන් කළයක් දෙනවා. වල්ලි පැහැරගත් ගමන් මල්ලි ඒ පැන් කළේ මගේ ඔළුවට හලන්න ඕනෑ. 

එතකොට තමයි මගේ අලි වෙස් වෙනස් වී යළි දේව වෙස් එන්නේ. ඒ නිසා ඒක හොඳටම මතක තියාගන්න’’ ගණ දෙවියෝ පුන පුනා කීවේය. වල්ලි පැහැර ගැනීමෙන් පසු දිය කළය ගණ දෙවියන්ගේ හිසට වත්කරන බවට කඳ කුමරු පොරොන්දු විය.ඒ පොරොන්දුව මත විශ්වාසය තැබූ ගණ දෙවි අයියා අලි වෙසක් මවා ගත්තේය. ඉන් පසු දෙදෙනාම වල්ලි සොයා ගමන් ඇරඹූහ. කඳ කුමරු ඒ අසල කැලේ සැඟවී සිටියේය. අලි වෙස් ගත් ගණදෙවියෝ පැල ළඟටම ගියේය. අලියා (ගණ දෙවියෝ) දුටු වල්ලි බිය වී කෑ ගසාගෙන දිව යද්දී ඒ අසල කැලෑවේ සැඟවී සිටි මල්ලි වල්ලි ව රැගෙන පැන ගියේය. එහෙත් කඳ කුමරු ගණ දෙවියන්ට වූ පොරොන්දු පරිදි නොව අලි හිස හැර කඳ කොටසට පමණක් දිය බඳුන හැලුවේය. කඳ කුමරුට වඩා ගණ දෙවියෝ ලස්සන නිසා වල්ලි අයියා එක්ක හාද වේවි යැයි වූ සැකය නිසා පැන් බඳුන වත් නොකළේය.

පොරොන්දුව නිසි ලෙස ඉටු නොකිරීමේ හේතුවෙන් ගණ දෙවියෝ සදා කාලිකවම අලි හොඬයක් ඇත්තකු විය. කඳ කුමරු වල්ලි රැගෙන කැලේ මැදින් පලායද්දී ද්‍රවිඩ ජනයා මුණ ගැසිණ. කැලේ ගත කිරීම සඳහා පැලක් හදා දෙන්නැයි ද්‍රවිඩ ජනයාගෙන් ඉල්ලා සිටියහ. එහෙත් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ ද්‍රවිඩ ජනයා මෙන්න කෙල්ලෙක් අරන් පැනල යනවෝයි හූ කියන්නට වූහ. එවිට කඳ කුමරු ඔවුනට සාප කළහ.එහෙත් වැදි ජනයා මොවුනට පැලක් සාදා දුන්හ. එය අතු ඉති සෙවිලි කරන ලද්දකි. ඔවුන් එහි නතර වී කැලේ ගමන් කරද්දී ගසක් උඩ වැද්දකු මීයක් කඩමින් සිටිනු දක්නට ලැබිණ.

එම ගස මුල තවත් වැද්දෝ සිටියහ. බිම සිටි වැද්දා කඳ කුමරු දෙවියෙක් බව නොදැන “අපි පැණි කනවා. පැණි ටිකක් කාලා යන්න ඉන්නැ”යි කතා කළේය.ලස්සන තරුණයකු හා තරුණියක ගස මුල සිටිනු දුටු ගසේ සිටි වැද්දා මේ දෙදෙනාටත් තමා කඩන පැණි දෙන්න වේයැයි සිතා හොඳ පැණි ගස උඩ සඟවා මල් වද සහ පිලා වද රැගෙන ගසෙන් බැස්සේය.ඒවා කැන්ද කොළයක තබා මෙම යුවළට පිළිගැන්වූයේය. වැද්දාගේ මේ සොරකම දුටු කඳ කුමරු පැණි කෑම ප‍්‍රතික්ෂේප කළේය.‘‘ඔයාලගේ ඇත්තෝ හරිම හොරයි. ඒ නිසා මට එපා. ඔයාම පැණි කන්න කියා වල්ලිට දොස් කීවේය. එසේ කියමින් කඳ කුමරු වැද්දාට සාප කළ නිසා එතැන් පටන් වනේ මී පැණි මෙන්ම අනෙක් කෑමද හිඟ වී ජනයා කන්න නැතිව අසරණ වන තත්ත්වයට පත්වූහ.

එවිට වල්ලි කඳකුමරුගේ දෙපාළඟ වැඳ වැටී හඬමින් කෑම ටිකක් හොයා ගන්න තම වරිගයාට වරමක් ලබාදෙන්නැයි අයැද සිටියාය. ඉන්පසු කෑම ටික ටික ලැබෙන්න සැලැස්වූයේය. එහෙත් අදටත් වදවල පැණි අඩුය. වන සතුන් දඩයම් අඩුය. කඳ කුමරුගේ ශාපය තවමත් පවතින නිසා එසේ වී ඇතැයි වැද්දෝ විශ්වාස කරති.වල්ලිට සහ කඳ කුමරුට වැද්දන් විසින් හදා දුන් පැල සිහිවීම පිණිස අදත් කතරගම දේවාලවල දඹ අතු යොදා වහල සකස් කරති. වල්ලි සහ කඳ කුමරු පැන යද්දී හූ කියූ දමිළ ජනයාට කඳ කුමරු කළ සාපය නිසා අදත් ඔව්හු දුක් විඳිති. කටේ පිටේ උල් ගසාගෙන කතරගම පැමිණෙන්නේද බිම පෙරළෙන්නේද හරෝ හරා කියමින් හඬ දෙන්නේද ඒ ශාපය නිසාය.කතරගම දේවාලයේ පෙරහර වල්ලි අම්මා කෝවිලට එන විට දුන්නේ ඊතලය මානාගෙන වැද්දෙක් මග අවුරා සිටි ඔහු හඳුන්වන්නේ කපුවල ඇත්තෝ නමිනි.පෙරහරේ ඉදිරියෙන්ම එන අධිකාරම්ට කපුවල ඇත්තෝ ඊතලයෙන් විදින්නට සැරසෙයි. එවිට සල්ලි පොට්ටනියක් හෙවත් කප්පම් පොජ්ජ කපුවල ඇත්තන් දිය යුතුය.කුරුණියක් පිරවූ සල්ලි පලතුරු හා රතු රෙද්දක් එම කප්පම් පොජ්ජට ඇතුළත් වෙයි. කප්පම් පොජ්ජ දුන් පසු පෙරහැරට වල්ලි අම්මාගේ දේවාලයට ඇතුළු වීමේ අවසරය ලැබේ.

එහි පුද සිරිත්වලින් පසු පෙරහර පෙරමගට එක්වී කපුවල ඇත්තෝ සහ වැද්දන් කීප දෙනෙක් දුනු හී මානාගෙන ගමන් කරන්නේ පිටු පස්සෙන් පිටුපස්සටය.මේ අයිතිය තම වරිගේ ඇත්තන්ට ලැබී ඇත්තේ වල්ලි අම්මා නිසා බවත් ඇය වැදි පරමිපරාවේ කෙනෙකු නිසා බවත් යැයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසුවේ මේ අපූරු වෘත්තාන්තය අවසන් කරමිනි.රුහුණු කතරගම මහ දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්ධර සොමිපාල ටී. රත්නායක මහතා කියන කතාව ඊට ටිකක් වෙනස්ය. එය මෙසේය.ඉන්දියාවේ ඝෘෂි දේවතාවකට අපල කාලයක් උදා විය.දේවිය දක්ෂ නක්ෂස්ත‍්‍රකරුවන් ගෙන්වා මේ පිළිබදව විමසිමේදී ඔවුන් පෙන්වා දී ඇත්තේ දේවියට විශාල අපලයක් තිබෙන බවය.ඒ අපල දුරුවෙන්න නම් තමන්ගේ කුසින් උපන් දරුවකු ජම්බුද්වීපයේ කොහේ හරි ගිහින් තබන්න යැයි නක්ෂත‍්‍ර කරුවන් උපදෙස් දී තිබේ. එහෙම කළොත් අපල උපද්‍රව සියල්ල දුරුවන බවද පවසා තිබේ. මෙසේ තිබියදී ඇයට දරුගැබක් හටගෙන ඇත. දරුවා බිහිවෙන්න කිටිටු වන ඇය ජම්බුද්වීපයේ මේ ඉසව්වට පැමිණ තිබේ. එකල මෙම පෙදෙස දඹුව නමින් හැඳින්විණ. සල්මල්පැලැස්ස එදා වැද්දන් ගේ වාඩිය තිබූ තැනයි.මහ වනයේ දිවි ගෙවූවෝ ආදිවාසීන්ය. (වැද්දන්ය) වැදි නායකයා ‘‘නන්ද’’ නම් විය. මහ වනයේ දඩයමින් හා වගාවෙන් වැදි පරපුර ජීවත්වූහ. මානුග ගසේ රතු පාට ගෙඩි හටගන්නා කාලයට දඩයම් පහසුය.

මානුග ගසින් වැටෙන මේ ගෙඩි කන්න වන සතුන් පුරුද්දක් කරගෙන තිබිණ. ඒ අනුව මුවන් කොටු කරගැනීම සඳහා ඒ ගස යට වැද්දන් විසින් උගුලක් අටවා තිබිණ.ඝෘෂි දේවතාවිය එම මානුග ගස අසලට ළඟා වූ විට විලි රුදාව හැදී ගැහැනු දරුවකු ප‍්‍රසූත කළාය. දේවිය ඒ සොඳුරු දියණිය නුග ගස අසල වළකට දමා නොපෙනී ගියාය.එවිටම ලොකු මුව රංචුවක්. මානුග ගෙඩි කෑමට රොක්වූහ. සිඟිත්තකු හඬන හඬ ඇසී මුව රංචුව ඈත් වුවත් මුව දෙන සෙනෙහසින් සිටිනු වැද්දන්ට දක්නට ලැබිණ.මුවදෙන විසින් දරුවා ප‍්‍රසූත කළැයි විශ්වාස කළ වැද්දෝ මෙම දරුවා රැගෙන ගොස් නන්ද නමැති වැදි නායකයාට දුන්නේය. දරුවා හැදුවේ ආලත්ති අම්මලා විසිනි. ඉන්දියාවේ සිට පැමිණි අරුණ ගිරි නාදන් සාමි මේ කැලෑවේ තපස් රැක්කේය. වල්ලි ඇති දැඩි කළේ නන්ද නමැති වැදි නායකයා හා බිරිඳ විසිනි. වල්ලි ගුහාව ළඟ තල හේනක් හදලා පැලක් හදලා තිබුණේය. 

වල්ලි එහි කුරුල්ලන් එළවන්න ගිය වෙලේ සින්දු කියමින් නටන්නීය.තපස් අරුණගිරි නාදන් මේ සුරූපිය දැක දිව්‍යාංගනාවක සදිසි රුව ඇති ඇය ගැලපෙන්නේ තම හිතවතා වන කන්දසාමිට බව කල්පනා කළේය. අරුණගිරි නාදන් ගේ දැනුම්දීමට අනුව කඳ කුමරු මෙරට පැමිණ වැඩිහිටි කන්දේ නතර වූයේය.ඉක්බිති දෙදෙනා අතර වූ දැන හැඳිනගැනීම් වලින් පසු විවාහය සිදුවිය. සොමිපාල මහතාද අවධාරණය කළේ කතරගම පැරැණිම ස්ථානය සෙල්ලකතරගම වල්ලි ගුහාව බවයි. ඔහු මෙසේද කීවේය. මේ ඉසව්වේ පාරම්පරික ඔප්පුවක් අපටත් තියෙනවා. මම දන්න කාලේ ඔය ප‍්‍රදේශයේම හිටියේ එක මනුෂ්‍යයයි. සෙල්ලකතරම ගණදෙවි කෝවිල හැදුවේ පසුකාලෙක යාපනෙන් සිට පැමිණි රාජරත්නම් කියල කෙනෙක්. පසුව තමයි ජනාවාස වුණේ යැයිද සොමිපාල මහතා කීවේය.වයස රජ දවස දක්වා වූ ඉතිහාසයක් ඇති සෙල්ලකතරගම පුරාවිද්‍යාත්මක ගවේෂණයකට ලක් කළ යුතු ප‍්‍රදේශයක් වුවත් එය මෙතෙක් සිදුවී නැත.ඓතිහාසික වල්ලි මාතා ගුහාව ආශ‍්‍රිත මේ ප‍්‍රදේශය පූජා භූමියක් බවට පත්කොට ආරක්ෂා කළ යුතු බව කොයි කාගේත් අදහසය.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගණ දෙවියන් සදහටම ගල් වුණේ මෙහෙමයි ගණ දෙවියන් සදහටම ගල් වුණේ මෙහෙමයි Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, September 03, 2020 Rating:

0 comments:

Post a Comment