ඉල්ලා අස්වන ලෙසට ජනපති කළ ඉල්ලීමට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර (Mahinda Rajapaksa)

ඉල්ලා අස්වන ලෙසට ජනපති කළ ඉල්ලීමට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර (Mahinda Rajapaksa) - Your Choice Way

රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්, ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වනවා. 

වසර 50 ක දේශපාලන අත්දැකීම් ඇති තමන්ට රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ. ඊයේ පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දන්වා තිබුණා.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කැබිනට් අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ ආචාර්ය නාලක ගොඩහේවා ද එකගතාව පළ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. කෙසේවෙතත් අමාත්‍ය විමලවීර දිසානායක, එහිදී සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් කිසිඳු ඵලක් නොවන බවයි. ඊයේ පැවැති මෙම විශේෂ කැබිනට් රැස්වීමට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ද සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ. 

මේ අතර එළඹෙන සඳුදා දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ඒ අනුව එළඹෙන සතියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ද වාර්තා වනවා. 

මේ අතර ඊයේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණ තිබෙනවා. එම පිරිස අතර මේවනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් ද සිටි බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment